එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වෙති

US, Britain gear up for war on Iran

By Bill Van Auken, 28 February 2012

ඉරානයට එරෙහිව දියත් කිරීමට අපේක්ෂිත යුද්ධයකට සූදානම් වීම් වසයෙන් එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය යන දෙරටේ ම මිලිටරි අනදෙන්නෝ ඉහල අරමුදල් ද පර්සියානු ගල්ෆ් කලාපයට ආයුධ හා සෙබලුන් රැස්කිරීමේ ද ක්‍රම සොයති.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ක්‍රියාන්විතය අධීක්ෂනය කරන මධ්‍යම බලමුලුවේ ඉල්ලීම මත කටයුතු කරන පෙන්ටගනය යුද සූදානම වැඩි කිරීමට මිලිටරි වියදම් තුල ඩොලර් මිලියන 100ක් ‍යලි වෙන්කරන ලෙස ඉල්ලා ඇත.

ලෝකයේ නිර්යාත කල තෙල්වලින් සියයට 20ක් ප්‍රවාහනය ‍කෙ‍රෙන මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කරන තර්ජනයට ප්‍රතිචාර දැක්වීම ඉලක්ක කරගත් ආරක්ෂිත පියවරවල් ලෙස ජර්නලය මෙම සූදානම් වීම් විස්තර කර යි. ඉරානයේ එම තර්ජනය පැමිනියේ බාධා කිරීමකට හා යුද පියවරකට සමානව එක්සත් ජනපදය හා බටහිර යුරෝපය විසින් අනවන ලද වෙලඳ සම්බාධක හා තහංචිවලට ද එරටට බෝම්බ හෙලන බවට ඊස්රායලය කරන විවෘත තර්ජනයන්ට ද ප්‍රතිචාර වසයෙනි.

“ඉල්ලීම් මත අදහස් දැක්වූ ආරක්ෂක නිලධාරීන් කියන පරිදි බිම් බෝම්බ අනාවරනය කරගැනී‍මේ හා ඉවත් කිරීමේ නව උපකරන කල්තබා ස්ථානගත කිරීමට සහ සමුද්‍ර සන්ධිය තුල හා ඒ වටා විමර්ශන හැකියාවන් විස්තාරනය කිරීමට ඇති සූදානම පිලිබඳව එක්සත් ජනපද මිලිටරිය කොංග්‍රසයට දැනුම් දී ඇතැ”යි ජර්නලය වාර්තා කරයි. “ වේගයෙන් පහර දෙන ඉරාන බෝට්ටුවලට මෙන් ම වෙරලේ සිට එල්ල කරනු ලබන කෲස් මිසයිලවලට එරෙහිව භාවිතා කිරීම සඳහා ‍ නෞකා මත ආයුධ පද්ධති ක්ෂනිකව නවීකරනය කිරීමත් මිලිටරියට අවශ්‍ය වෙතැයි ආරක්ෂක නිලධාරීහු කීහ.”

පෙන්ටගන‍යේ සැලැසුම් යටතේ එක්සත් ජනපද යුද නැව්වලට, යුද ටැංකි නාශක ආයුධ හා අධිවේගී මැෂින් ගන් තුවක්කු ද ඉරාන නාවික හමුදාවේ කුඩා වේග බෝට්ටුවලට එරෙහිව භාවිතා කිරීමට සැහැල්ලු ආයුධ ද සම්පාදනය කරනු ලැබිය යුතු ය. මිනිසුන් රහිත ඩ්‍රෝන්යානා වඩා වැඩි සංඛ්‍යාවක සහාය ඒවාට ලැබෙනු ඇත.

“ඉරානය සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කලහොත් ඇතිවන ඕනෑ ම මිලිටරි ක්‍රියාවක දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාන ගත එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත භට කන්ඩායම් සහභාගි වනු ඇතැ”යි ජර්නලය තව දුරටත් කියා සිටියේ ය.

එක්සත් ජනපදය දැනට මත් යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් හා යූඑස්එස් කාල් වින්සන් යුද නැව් දෙක ම දියත් කරමින් පර්සියානු ගල්ෆ් කලාපය තුල ස්ථාන ගත කර ඇති ගුවන් යානා ප්‍රවාහක භට කන්ඩායම් ගනන දෙගුන කොට තිබේ. අරාබියානු අර්ධද්වීපයේ සිට ක්‍රියාත්මක වන සැලකිය යුතු යුද යානා සංඛ්‍යාවක් ද ඉරානයේ ඇෆ්ගනිස්ථාන හා කුවේට් දේශසීමා අසල භටයන් දස දහස් ගනනක් ද එය සතු වේ.

නව යුද සූදානම් වීම් “ධවල මන්දිරයේ හා ආරක්ෂක සේවාවල ඉහල නායකයින් යුද්ධය පිලිබඳ කතා නො තකා හැරීමට හා අනෙකුත් විකල්ප අවධාරනය කිරීමට උත්සාහ කරද්දී පවා යුද සැලසුම්කරුවන් ඉරානය සමග වියහැකි ගැටුමකට සූදානම් වීමේ දිසාවට ගන්නා පැහැදිලි පියවරවල ප්‍රමානය” පෙන්නුම් කරති යි ජර්නලය සඳහන් කරයි.

ඊස්රායලය ඉරානය මත ප්‍රකෝප නො කල මිලිටරි ප්‍රහාරයක් එල්ල කරති යි පෙන්ටගන සැලසුම්කරුවන් අපේක්ෂා කරන හේමන්තය වන විට ගල්ෆ් කලාපය තුල මිලිටරි ශක්තිය ස්ථාපිත වී තිබීම පෙන්ටගනයට අවශ්‍ය කරති යි ජර්නලයේ,/em> වාර්තාව ඉඟි කරයි.

වොෂින්ටනය හා ඊස්රායල රාජ්‍යය අතර ඉරානය පිලිබඳ ඉහල පෙලේ සාකච්ඡා එලැඹෙන දින කිහිපය තුල පැවැත්වීමට නියමිතව ඇති අතර ආරක්ෂක ඇමති එහුඩ් බරක් එක්සත් ජනපද නිලධාරීන් සමග දෙ‍දින සාකච්ඡා සඳහා සඳුදා ඊස්රායලයෙන් පිටව ‍ගොස් ඇති අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාර්තු 5දා ඔබාමා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඉරානයට එරෙහි අපේක්ෂිත යුද්ධයට අරමුදල් ඉල්ලීමේ නවතම පියවරට කලින් ජනවාරියේ දී “විශාලතම සාම්ප්‍රදායික බංකර නාශක බෝම්බය වන රාත්තල් 30,000ක් බරැති යෝධ කාලතුවක්කු විනිවිදිනය වැඩිදියුනු කිරීමට” පෙන්ටගනය ඩොලර් මිලියන 82ක් ඉල්ලා සිටියේ යයි පුවත්පත සඳහන් කලේ ය. “නිලධාරීන් පැවසූ පරිදි එම බෝම්බය ඉරානය තම වඩාත් සංවේදී න්‍යෂ්ටික වර්ධන වැඩසටහන් ආරක්ෂා කිරීමට භාවිතා කරන බංකර විනාශ කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.”

පසුගිය වසරේ ඔබාමා පරිපාලනය සියොන්වාදී රාජ්‍යයට සම්පාදනය කල රාත්තල් 5,000ක් බර නියත මෙහෙයුම් බෝම්බ ඒකක 28 (ජීබීයූ 28) බංකර නාශක බෝම්බයට වඩා සැලකිය යුතු ලෙස බලවත් රාත්තල් 30,000 ආයුධ ඊස්රායලයට සපයන්නේ ද යන්න අරබයා තියුනු විවාද පවතින බවට ඉඟි පවතී.

නිව් යොක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන වොෂින්ටන් වාර්තාකාර ඩේවිඩ් සැන්ගර් එක්සත් ජනපද පාලක සංස්ථාපිතයේ කොටස් අතර වර්ධනය වන යුද බෙරවැයීම් පහත පරිදි සම්පින්ඩනය කලේ ය: “සිරියානු කැරලිකරුවන් සන්නද්ධ කරනු! අප එලෙස කරද්දී ම ඊස්රායලය ඉරානයට පහර දීමට තීරනය කරන්නේ නම් එය පලමු වතාවේ ම නිවැරදිව කිරීමට ඔවුන්ට හැකි වන පරිදි බංකර නාශක බෝම්බ හා යලි ඉන්ධන සැපයිය හැකි ගුවන් යානා වැනි ඔවුන්ට අවශ්‍ය දේ දෙනු.”

සිරියාව තුල වොෂින්ටනයේ ඉලක්කවලට ඉරානය තුල “තන්ත්‍ර මාරුවක්” සඳහා එරට දුර්මුඛ කිරිම සමග සෑම සම්බන්ධයක් ම ඇතැයි පිලිගනිමින් සැන්ගර් දිගට ලියූ පරිදි: “මේ දිනවල ධවල මන්දිරය තුල හා ඉන් පිටත පොදුවේ ඇසෙන තර්කය වන්නේ අසාද් ආන්ඩුව ඉරිතැලී ගියහොත් හෙස්බුල්ලාවරුන්ට හා හමාස් සංවිධානයට ආයුධ සැපයීම‍ට ඉරානයට පවතින හැකියාවට දැඩි ලෙස හානි වී එහි බලපෑම ඒ අනුව හැකිලී යනු ඇති බව යි. එලෙස ම න්‍යෂ්ටික අවියක් තැනීම අද්දරට ඉරානය ගන්නා පියවර හොඳින් ස්ථානගත කල ජීබීයූ-31 බංකර නාශක බෝම්බ කිහිපයකින් ආපසු හරවනු ලැබිය හැකි අතර ඊස්රායලයට හා සවුදි අරාබියට අභියෝග කරමින් කලාපයේ බලවත් ම බලය බවට නැගී සිටීමේ එරටේ (ඉරානයේ) අපේක්ෂාවන් විලම්බනය වනු ඇත.”

වෙනත් වචනවලින් කියතොත් ඉරාන‍ය න්‍යෂ්ටික අවියක් අයත් කරගැනීමට ආසන්න යයි අතිශයෝක්තියෙන් කරන සියලු අනතුරු ඇඟවීම්වලට පිටුපසින් පවතින යථාර්ථය වන්නේ බලශක්තියෙන් පොහොසත් පර්සියානු ගල්ෆ් හා මධ්‍යම ආසියානු කලාප මත වොෂින්ටනයේ ආධිපත්‍යයට අභියෝග කිරිමේ හැකියාවැති කලාපීය බලයක් බවට ඉරානය පත්වීම වැලැක්වීම සිය ඉලක්කය කරගත් ආර්ථික, දේශපාලනික හා මිලිටරි ආක්‍රමනීය උද්ඝෝෂනයක එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සහචරයින් නිරතව සිටින බව යි.

කලාපය තුල නව යුද්ධයකට සූදානම් වීම සඳහා කඩතුරාව ලෙස න්‍යෂ්‍ටික හේතුව භාවිතා කරනු ලබන්නේ එක්සත් ජනපදයේ 2003 ඉරාක ආක්‍රමනයට පෙරාතුව “මහජන සංහාරක අවි” යොදාගත් පරිදි ම ය.

දශකයකට පෙර ඉරාකයේ සිදු වූ පරිදි ම ජාත්‍යන්තර පරමානුක බලශක්ති අධිකාරියේ (අයිඒඊඒ) නිරීක්ෂන සේවය කරන්නේ අධිරාජ්‍යවාදී ආක්‍රමනයට සූදානම් වීමේ බලල් අන්ඩක් ලෙස යි. ඉරාක‍යට මෙන් ම එක්සත් ජනපද, ඊස්රායල හා බටහිර යුරෝපීය රහස් තොරතුරු ඒජන්සි විසින් හසුරුවනු ලබන අයිඒඊඒය කල නො හැක්කක්, එනම් එය න්‍යෂ්ටික අවියක් වර්ධනය කිරීමේ යෙදී නො සිටී යයි තහවුරු කරන ලෙස, ඉරානය මත අනවා සිටී. බැග්ඩෑඩයට එරෙහි එහි මෙහෙයුම් පරිදි ම න්‍යෂ්ටික අවිහරන ගිවිසුමට අත්සන් කර ඇති රටවල් කිරීමට අවශ්‍ය නොවන ආඥාවන්ට යටත් වන ලෙස ටෙහ්රානය මත අනවමින් අයිඒඊඒය එය ප්‍රකෝපකරනය කරයි.

මේ අනුව පසුගිය සිකුරාදා අයිඒඊඒය වාර්තාවක් නිකුත් කලේ බෝම්බයක් තැනීමට අවශ්‍ය කරනවාට වඩා‍ඉතා අඩු ලෝහමය යුරේනියම් ප්‍රමානයක් න්‍යෂ්ටික පර්යේෂන අඩවියකින් නැති වී ඇති බව සහ ඉරානය ආයුධවලට අවශ්‍ය ශ්‍රේනියේ නොව ගිවිසුම යටතේ ඉතා ම නීත්‍යානුකූල වන න්‍යෂ්ටික බලාගාර ඉන්ධන වසයෙන් භාවිතා කිරීමට අවශ්‍ය යුරේනියම් ප්‍රවර්ධනය වැඩි කර ඇති බව කියමිනි.

ටෙහ්රානයෙන් සැතපුම් 18ක් පමන ගිනිකොන දිගට වන්නට පිහිටි පාචින් මිලිටරි සංකීර්නය නැරඹීමට තමන් යැවූ කන්ඩායමකට අවසර නුදුන් බවට ද එය චෝදනා කලේ ය. න්‍යෂ්‍ටික නො වන ස්ථානයක් හා ඒජන්සියේ අධීක්ෂනයට අයත් නො වන එම සංකීර්නය නිරීක්ෂනයට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින්නැයි එක්සත් ජනපදය යලි යලිත් අයිඒඊඒය‍පොලඹවා ඇත. එහි ඇති බංකරයක් න්‍යෂ්ටික බෝම්බ සඳහා පිපිරුම් ට්‍රිගරයන් පරීක්ෂා කිරීමට යොදා ගනිමින් තිබෙන බවට වොෂින්ටනය චෝදනා කිරීමෙන් පසු, 2004 හා 2006 අතරතුර ඉරානය සංවේදී පහසුකම තුලට යාමට පරීක්ෂකයන්ට ඉඩ දුනි.

තම රටේ න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් සාමකාමී අරමුනු සඳහා පමනකැයි අවධාරනය කර ඇති ඉරාන නිලධාරීන් කියා සිටියේ ටෙහ්රානයට එවන ලද අයිඒඊඒ කන්ඩායම එහි පැමිනියේ ඒජන්සිය හා‍ටෙහ්රානය අතර දිගු සහයෝගීතාවකට අවශ්‍ය “රාමුවක්” පිලිබඳව සාකච්ඡා කිරීමට බවත් එම කන්ඩායමේ න්‍යෂ්ටික නිරීක්ෂකයන් නො සිටි බව හා එයට පාචින් සංකීර්නයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටීමට අයිතියක් නොමැති බවත් ය.

ඊස්රායලය හා එක්සත් ජනපදය යන දෙරට ම ඉරානය මත පීඩනය දැඩිකිරීමට කඩතුරාවක් ලෙස වාර්තාව ඩැහැගත්හ. එම වාර්තාව “ඊස්රායලයේ තක්සේරු කිරීමේ නිවැරදි බවට සාධනයන් සම්පාදනය කරන බව හා ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන පරීක්ෂාවෙන් තොරව කරගෙන යමින් සිටින” බව කියමින් නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඊස්රායලය මත් න්‍යෂ්ටික අවිහරන ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ එහි න්‍යෂ්ටික බලාගාර අධීක්ෂනය කිරීමට අයිඒඊඒයට ඉඩ නො දෙමින් න්‍යෂ්ටික අවි 400ක් පමන නිපදවා තිබිය දී ය.

“ඉරානයේ ක්‍රියාකාරකම් පෙන්නුම් කරන්නේ එහි න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී යයි ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමට එය අසමත්ව ඇත්තේ මන් දැ”යි යන්න යයි ධවල මන්දිර ප්‍රකාශක ටොමී වීටර් කීවේ ය. එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ පීඩනයට ඉරානය යටත් නො වුන‍හොත් “ජාත්‍යන්තර ප්‍රජාවෙන් එහි හුදෙකලා වීම වැඩි වර්ධනය වනු ඇතැ”යි ද ඔහු කීවේ ය.

“ඉරානය සමග යුද්ධයට බ්‍රිතාන්‍යයේ සටන් සැලසුම්” යන යුදකාමී උද්ධෘතය යටතේ රූපට් මර්ඩොක්ගේ සන්ඩේ සන් පුවත්පත “කාරනය වන්නේ යුද්ධය පුපුරා යාවි ද නැද්ද යන්න නොව එය සිදුවන්නේ කවදාද -මාස 18ත් 24ත් අතර කාලපරාසයක් තුල ය- යන්නැ”යි ප්‍රකාශ කල නම් ප්‍රසිද්ධ නො කල බ්‍රිතාන්‍ය “ආරක්ෂක ප්‍රධානීන්” උපුටා දැක්වී ය.

ප්‍රහාරයකට සූදානම් වීම් වසයෙන් බ්‍රිතාන්‍යය “කලාපය තුල අ‍පගේ ශක්තිමත් සහකරුවා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කාලතුවක්කු භට කන්ඩායමක් යවන්නේ යැ”යි පුවත්පත වාර්තා කලේ ය.

“යුද සැලැස්ම යටතේ ටොමහෝක් කෲස් මිසයිලවලින් සන්නද්ධ දෙවන නැවක් දියත් කෙරෙනු ඇත. දැනට මත් කටාර්, ඕමාන්, බහරේන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථානගත කොට ඇති හෙලිකොප්ටර් හා ප්‍රවාහක යානා ශක්තිමත් කිරීමට රාජකීය ගුවන් හමුදාව ටයිෆූන් හා ටෝනාඩෝ ජෙට් යැවීමට නියමිත ය” සන් තව දුරටත් කීවේ ය.

“ආරක්ෂක අමාත්‍යාංශ සැලුසම්කරුවෝ වසර ආරම්භයේ දී ම ක්‍රියාකාරී වීම ඇරඹුවා. ඉරාන තන්ත්‍රය ඔවුන්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් පසුපස යන තාක්කල් ගැටුමක් වැලැක්විය නො හැකි” යයි පුවත්පත ජ්‍යෙෂ්ට වයිට්හෝල් නිලධාරියෙකු උපුටා දැක්වී ය.

Share this article: