නිර්යාත කඩාවැටෙද්දී ජපාන ආර්ථිකය හැකිලෙයි

Japan’s economy contracts as exports plunge

By John Watanabe, 28 February 2012

2011 වාර්ෂික අනුපාතයට අනුව, ජපාන ආර්ථිකයේ සමස්ත වාර්ෂික හැකිලීම සියයට 0.9ක් වන පරිදි, සිව්වැනි කාර්තුවේ හැකිලීම සියයට 2.3ක් බවට පත්ව තිබේ. සිය ප්‍රමුඛ නිර්යාත වෙලඳපොලවල් වන චීනය, යුරෝපය හා උතුරු ඇමරිකාවේ ඉල්ලුමෙහි තියුනු පහත වැටීම පිලිබිඹු කරමින්, වසර 31ට පසු පලමු වතාවට එරට වෙලඳ හිඟයක් වාර්තා කලේය.

ජනවාරි මාසය තුල ද වෙලඳ හිඟය අඛන්ඩව පැවතීම කැපී පෙනෙයි. වාර්ෂික පදනමකින් ගත් කල සිව්වන මාසයටත් චීනය වෙත කරන ජපාන අපනයන පසුගිය වසර හා සසඳන කල සියයට 20න් පහත වැටුනි. චීනය සමග කල වෙලඳාමේ වැටීම ජනවාරියේ වෙලඳ හිඟයෙන් සියයට 40ක් විය. මෙම ප්‍රතිපල පෙන්වන්නේ, චීනයේ ආර්ථික මන්දගාමිත්වය මෙන්ම ජපානය හා ගෝලීය ආර්ථිකය කෙරෙහි එහි ඇඟවුම්ය.

ජපානයේ ජංගම ගිනුමෙහි අතිරික්තයක් පවතිද්දී ඉතිහාසයේ ලොකුම වාර්ෂික අලාභයට එය මුහුනපෑවේය. එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 230ක් වන එරට රාජ්‍ය නය ගෙවීමට ඇති ආන්ඩුවේ හැකියාවට වල කැපීමට තර්ජනය කරයි.

ජපාන නිෂ්පාදන කර්මාන්තයට විශේෂයෙන්ම දැඩි ලෙස පහර වැදී ඇත. යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ පහත වැටෙන විකුනුම්, යෙන් මුදලේ ඉහල අගය හා වැඩිකොටම නැ‍‍ෙගනහිර ආසියාවේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන වඩ වඩාත් තියුනු තරඟකාරිත්වය, මූලික කර්මාන්තයේ ශක්‍යතාවටම තර්ජනය කරයි.

යෙන් මුදල පශ්චාත් යුද්ධ උච්චස්ථානයට එනම් එක්සත් ජනපද ඩොලරයක් යෙන් 75ක් දක්වා ඉහල ගොස් එය 78ක මට්ටමේ රැඳී තිබීම හමුවේ අතිශයින්ම තරගකාරී වෙලඳ නාමයන් යටතේ කෙරෙන මෝටර් රථ හා විද්‍යුත් තාක්ෂනය වැනි මූලික කර්මාන්තයන්ට පවා වඩ වඩාත් ඔරොත්තු නොදෙන තත්වයක් උද්ගත කර තිබේ.

පසුගිය මාසයේදී ඉකොනොමිස්ට් සඟරාව වාර්තා කලේ, ජේපී මෝගන් අනාවැකියකට අනුව වසර 2014 වන විට, ජපාන මෝටර් රථ නිෂ්පාදකයින් ඔවුන්ගේ නිමැවුමෙන් සියයට 76ක්ම විදේශයන්හි පදනම් කරනු ඇති බවයි. මෙය 2003දී පැවතුනේ සියයට 49ක මට්ටමේ ය. මෙම ප්‍රවනතාවයේ නවතම පිලිබිඹුව තුල පෙබරවාරි 09දා ටොයොටා මෝටර් රථ නිෂ්පාදකයින් (ලෝකයේ දැනට වැඩියෙන්ම අලෙවි වන) නිවේදනය කලේ, තමන්ගේ (උසින් වැඩි) හයිලෑන්ඩර් සියුව් (SUV) නිෂ්පාදනය ජපානයේ සිට එක්සත් ජනපදයේ තම ප්‍රින්ස්ටන් කම්හලට මාරු කරන බවයි. මෙය එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ පහත වැටෙන ශ්‍රම පිරිවැයේ වාසිය ගැනීමට කෙරෙන්නක් බව නිසැකය.

එක් කර්මාන්ත නිරීක්ෂකයෙක් සඳහන් කලේ, “ජපානයේ නිෂ්පාදකයෙක් එක් හෝ තවත් මෝස්තරයක නිෂ්පාදනය, ජපානයෙන් එක්සත් ජනපදය, මෙක්සිකෝව හෝ කැනඩාව වෙත මාරු කරන බව නිවේදනය කරන මාසයක් නැති තරම්ය.” යනුවෙනි.

දෙසැම්බරයේදී ටොයෝටා සභාපති අකියෝ ටොයෝඩා බීබීසීය වෙත කියා සිටියේ, ජපානය තුල තිස් ලක්ෂයක් මෝටර් රථ නිෂ්පාදනය කරන්නේය යන ටොයෝටාහි ප්‍රතිඥාව යලි සලකා බැලීමට කාලය එලඹ ඇති බවයි. “ජපානයේ ව්‍යාපාරික වාතාවරනය සැලකිල්ලට ගත් කල්හි එය සැබවින්ම ශක්‍ය නොවේ. එතරම් ප්‍රමානයක් ජපානය තුල නිෂ්පාදනය කල නොහැකිය” යනුවෙනි.

එයට එකඟ වෙමින් මිට්සුබිෂි මෝටර්ස්හි සභාපති ඔසාමු මසුකෝ බීබීසී වෙත මෙසේ පැවසීය. “සරලව ම ජපානය තුල නිෂ්පාදනය ඉහල නැංවිය නොහැක” බීබීසී අනුව නිසාන් සමාගම ජපානය තුල ආයෝජනය කිරීම නවතා දමා ඇත. එහි ප්‍රධාන විධායක කාලෝස් ගොෂ්න් පැවසුවේ “ජපානය තුල පදනම් කල හැකි යයි අපට යුක්ති සහගත කල හැකි එකදු ව්‍යාපෘතියක්වත් ඇත්තේ නැත. එකක්වත් නැත. අප තවදුරටත් ජපානයේ සිට අපනයනය නොකල යුතුය.” යනුවෙනි.

දැවැන්ත රැකියා අහෝසියක් අපේක්ෂිතය. ජපාන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති හා නිසාන්හි ප්‍රධාන ක්‍රියාකාර නිලධාරී බ්ලූම්බර්ග් වෙත පැවසුවේ මෙසේය. “මෝටර් රථ කර්මාන්තයේ වැඩ කරන මිනිසුන් සංඛ්‍යාව දශ ලක්ෂ 5.3කි..... කර්මාන්ත ඉවත්කර ගැනීම මේ රැකියාවලට කෙලින්ම බලපානු ඇත”

කැටපිලර් සමාගම ද කුඩා ප්‍රමානයේ ට්‍රැක්ටර් හා එක්ස්කැවේටර් නිෂ්පාදනය ජපානයේ සගාමි වෙතින්, ඩොලර් මිලියන 200ක වපසරියකින් යුත් ජෝර්ජියාහි ඇතන්ස් කම්හලක් වෙත මාරු කිරීමට යයි. කැටපිලර්හි ප්‍රධාන විධායක ඩොග් ඔබර්හෙල්මන් පැවසුවේ, “කැටපිලර්හි ප්‍රමුඛත්වය රැකගැනීම පිනිස අපි ලෝකය පුරාම වැදගත් ආයෝජන වටයකට ම අතගසා සිටින්නෙමු” යනුවෙනි. සමාගම ඇමරිකානු, ජපාන හා අනෙකුත් කම්කරුවන් එකිනෙකා සමග තරඟයකට යොමු කරමින් වැඩියෙන්ම සූරාකෑමේ හැකියාව ඇත්තේ කවුරුන් ද යන්න සොයා බලයි.

සමහර විට ජපානයේ වඩාත්ම බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුනපා ඇත්තේ විද්‍යුත් තාක්ෂනික කර්මාන්තය විය හැක. ජපානයේ කර්මාන්තකරුවෙක් මුහුනපෑ දෙවැනි ලොකුම අලාභය වන යෙන් බිලියන 780ක් නැතිනම් ඩොලර් බිලියන 10කට වැඩි, කලින් බලාපොරොත්තු වූවාක් මෙන් දෙගුනයක අලාභයක් මාර්තුවෙන් අවසන්වන මුදල් වර්ෂය වෙනුවෙන් පැනසොනික් සමාගම විසින් තක්සේරු කර තිබේ. ලබන මාසයේදී එය රැකියා 17,000ක් කැපීමේ ක්‍රියාවලියකට අතගසා ඇත. සන්සන්දනාත්මකව ආසියාවේ විශාලතම බලශක්ති සමාගම වන ටෙප්කෝ, එයට අතිශය විනාශකාරී වන මෙම වර්ෂය තුල යෙන් බිලියන 695ක අලාභයක් පිලිබඳව ගනන් බලා ඇත. ප්‍රධානකොටම එයට හේතුව ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ ව්‍යසනයයි.

විද්‍යුත් තාක්ෂනික කර්මාන්තයේ තවත් යෝධයෙකු වන සෝනි සමාගම, සිය ශුද්ධ අලාභය යෙන් බිලියන 90 සිට යන්තම් ඩොලර් බිලියන 3ට පහතින් වන යෙන් බිලියන 220ක් දක්වා වැඩිවෙතැයි ගනන් බලා තිබේ. මූඩීස් හා ෆිච් යන ආයතන දෙකම මෑතකදී සෝනිහි නය වර්ගීකරනය පහත හෙලා ඇත. එසේම ෂාප් සමාගම, තම ඉතිහාසයේ ලොකුම අලාභය වන යෙන් බිලියන 290ක් මේ වර්ෂය සඳහා ගනන් බලා තිබේ. නින්ටෙන්ඩෝ දශක තුනකට පසුව සිය සමාගමේ පලමු වාර්ෂික අලාභය නිවේදනය කලේය.

වසරක් තුල සිය කොටස් අගය තුනෙන් එකකින් පහත වැටෙනු දැකගත් නෙක් (NEC) සමාගම, කලින් තක්සේරු කලාට වඩා හය ගුනයකින් වැඩි, යෙන් බිලියන 100ක ශුද්ධ අලාභයකට මුහුනදී ඇතැයි පැවසීය. තම ශ්‍රම බලකායෙන් සියයට 10ක් වන රැකියා 10,000ක් කපා හරින බවත් එයින් 7,000ක්ම ජපානයේ බවත් පවසා ඇත. සෝලියකට මුහනදී සිටින ඔලිම්පස් සමාගම ද ශුද්ධ පාඩුවක් අපේක්ෂා කරයි. එය ජපානයේ, බ්‍රිතාන්‍යයේ හා එක්සත් ජනපදයේදී ගිනුම් වංචාවක් පිලිබඳ පරීක්ෂනයකට මුහුනපෑමත් සමග වෙලඳපොල අගයෙන් අඩක් අහිමිකරගෙන ඇත.

ටොෂීබා සමාගම එහි කාර්තුවක ක්‍රියාකාරී ලාභයෙන් සියයට 72ක පහත වැටීමකට මුහුනපෑ අතර තම වාර්ෂික ලාභ අනාවැකිය තුනෙන් එකකින් කපා හලේය. හිටාචි සමාගමේ කාර්තුවක ක්‍රියාකාරී ලාභය සියයට 21ක පිරිහීමකට මුහුනපා ඇත ද ජපාන ව්‍යාපාරික ඉතිහාසයේ ඩොලර් බිලියන 10.33ක විශාලතම පාඩුවක් ඇතිවූ 2009 වසරින් පසුව මේ වසර සඳහා බිලියන 5කට වැඩි ලාභයක් අපේක්ෂා කරයි. හිටාචි තම “මෙහෙයුම් ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමක්” නිවේදනය කරමින්, “පලදායිතාවය නැංවීමේ පූර්න මෙහෙයුමක්” බලපොරොත්තු වෙයි. නොවරදවාම මෙයින් අර්ථගැන්වෙන්නේ, 360,000ක් වන එහි ගෝලීය ශ්‍රම බලකායෙන් තොග පිටින් දොට්ට දැමීමකි.

මේ සියල්ලට උඩින් 1980ට පසු පලමු වතාවට සියයට 17න් විදුලි ගාස්තු ඉහල දැමීම එල්බී සිටියි. ටෙප්කෝ විසින් සිදුකිරීමට යන මෙය ටෝකියෝව වටා සිටින දශ ලක්ෂ 45ක් ජනතාවට බලපානු ඇත. මෙය කාර්මික ව්‍යවසායන් 240,000කට අවසන් පහරක් බවට පත්වීමට නියමිත අතර එය අප්‍රේල් සිට ක්‍රියාවට නැ‍ඟෙයි. ගෘහ විදුලි පාරිභෝජන ගාස්තු වැඩිකිරීම අවුරුද්දේ දෙවන භාගය තුල ආන්ඩුව විසින් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

පසුගිය මාසයේ නිකුත් කරනු ලැබ, ජැපෑන් ටයිම්ස් හි පලකල සමීක්ෂනයකට අනුව, ජපානයේ ප්‍රමුඛ සමාගම් 05න් සියයට 70කටත් වැඩි සංඛ්‍යාවක් 2012 වසරේ කිසිදු වර්ධනයක් අපේක්ෂා නොකරයි. එන්එච්කේ යන ජාතික ප්‍රවෘත්ති ජාලය වර්තා කලේ කාර්මික නිමැවුම වසර 10කට පෙර පැවතියායින් අඩක් බවට පත්ව අති බවයි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය ඇරඹීමටත් පෙර සිටම ජපාන කර්මාන්ත වඩ වඩාත් රඳා පැවතුනේ ශ්‍රම පිරිවැය ද ජීවන තත්වයන් ද කැපීම මතය. මෙයට, ලාභ චීන කම්කරුවන් සඳහා ආන්ඩුවේ ප්‍රෝඩාකාරී “කාර්මික ආධුනිකත්ව” යෝජනා ක්‍රම ද හාම්පුතුන්ට ජාතික කම්කරු නීති මගහැර යාමට ඉඩ සලසන ජපන් සම්භවයක් ඇති බ්‍රෙසීල ජාතිකයින්ට විශේෂ විධිවිධාන සැලසීම ද ඇතුලත්ය. දැන් ජපන් කම්කරුවන් මුහුන දෙන්නේ තම රැකියා, සේවා කොන්දේසි හා ජීවන තත්වයන් මත පෙර නොවූ විරූ ප්‍රහාරයකි.

Share this article: