ආන්ඩුවේ බොරු පොරොන්දු මත ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති ශී‍්‍රලංගම කම්කරු වර්ජනය පාවා දෙයි

By Paninee Wijesiriwardhana, 22 March 2012

රජය සතු ශී‍්‍ර ලංකා ගමනාගමන මන්ඩලයේ (ශී‍්‍රලංගම) 35,000 කට අධික කම්කරුවන් තම වැටුප් ඉල්ලීම් මත ගෙන ගිය වර්ජනය ආන්ඩුවේ බොරු පොරොන්දු මත නතර කරමින් වෘත්තීය සමිති විසින් පසු ගිය සිකුරාදා එම අරගලය පාවා දුනි. මාර්තු 12 වන දා ඇරැඹුනු වැඩ වර්ජනයට දිවයින පුරා බස් ඩිපෝ 105 ක කම්කරුවෝ සහභාගි වූහ. පුද්ගලික බස් රථ කම්කරුවන් සහභාගි නොවූ තතු තුල වර්ජනය බස් සේවයට ආංශික වශයෙන් බලපෑවේය.

පමා වීම් වලින් තොරව නියමාකාරයෙන් වැටුප් ලබා දීම, ආන්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට පොරොන්දු වූ අවම වැටප ශී‍්‍රලංගම සේවකයන්ට ද ලබා දීම සහ විශ‍්‍රාමික සේවකයනට නිසි කලට දීමනා ලබා දීම කම්කරුවන්ගේ ඉල්ලීම් අතර විය.

2006 දී රාජපක්ෂ ආන්ඩුව නිකුත් කල චක‍්‍ර ලේඛයකට අනුව රාජ්‍ය සේවයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 11,730 ක් වුවද ශී‍්‍රලංගම කම්කරුවකුගේ වත්මන් අවම වැටුප රුපියල් 8,430 කි.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2010 දී කරන ලද තක්සේරුවකට අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාන්‍ය වියදම රුපියල් 40,000 ක් වන අතර, මෙම වැටුප එම අගයෙන් හතරෙන් එකකටත් වඩා අඩුය. මේ මගින් ශී‍්‍රලංගම කම්කරුවන් ශී‍්‍ර ලංකාවේ දුගීම කම්කරුවන් අතරට වැටෙන බැව් පෙන්වා දෙයි. මෙම සොච්චම පවා ලැබෙනුයේ පමා වී හා කොටස් වශයෙනි.

ඩිපෝ කීපයක කම්කරුවන් ස්වයංසිද්ධව ඇරැඹූ වර්ජනය පසුව දිවයින පුරා ව්‍යාප්ත විය. තම ග‍්‍රහනය නැතිවී යනු ඇතැයි භීතියට පත්, පාලක සන්ධානයෙන් පාලනය වන ශී‍්‍ර ලංකා නිදහස් ජාතික ප‍්‍රවාහන සේවක සංගමයේ (ශී‍්‍රලනිජාප‍්‍රසේස) සහ ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධිත සමස්ත ලංකා ප‍්‍රවාහන සේවා සංගමයේ (සලප‍්‍රසේස) නිලධරයන් වර්ජනයට ක්ෂනිකව මැදිහත් විය.

එමෙන් ම අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි කම්කරුවන් ද වැඩි වැටුප් ඉල්ලා අරගලයට පැමිනෙතැයි ආන්ඩුව සහ වෘත්තීය සමිති බිය පත් වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි මිල වඩ වඩාත් ඉහල යාම නිසා කම්කරු ජනයා අතර පුලුල්ව පැතිරුනු විරෝධයක් පවතී.

මාර්තු 16 දා නියෝජ්‍ය ප‍්‍රවාහන ඇමති රෝහන දිසානායක සමග එකට වාඩි වූ වෘත්තීය සමිති නිලධරය වර්ජනය බිඳ දැමීම සඳහා සම්මුතියකට එලැඹින. ඒ අනුව වර්ජනය නවතා දැමීම පහසු කරනු වස් තෙමසක් තුල ඉල්ලීම් සපුරා දෙන බවට "ලිඛිත පොරොන්දුවක්” නිලධරය දිසානායකගෙන් ලබා ගත්හ.

ජාමූඅ හි කොන්දේසිවලට අනුව 2016 වන විට ශී‍්‍රලංගම හි ආදායම හා වියදම සමාන කල යුතුය. වියදම් කපා හැරීමේ කොටසක් ලෙස 2010 සිට අය-වැයෙන් ශී‍්‍රලංගමට වෙන් කෙරෙන මුදල් කපා දමා ඇත.

වර්ජනය අතරතුර දී ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මෙසේ පැවසීය: "ශී‍්‍රලංගම ලාභ උපයන ආයතනයක් නොවූව ද අප අපේ උපරිමය කල යුතුය” (එම තැනට ගෙන ඒම සඳහා) "අපට හැමදාමත් භාන්ඩාගාරයට බරක් වෙන්න බෑ” යි ඔහු අවධාරනය කලේය.

ජාතිකවාදී පිලිවෙත්වල කොටසක් ලෙස බස් සේවය ජනසතු කරමින් 1958 දී ශී‍්‍රලංගම නිර්මානය කෙරින. විවෘත ආර්ථික පිලිවෙත්වල කොටසක් ලෙස 1977 සිට නැවත පුද්ගලික මගී ප‍්‍රවාහන සේවයට ඉඩ හරිමින් ශී‍්‍රලංගම කඩා බිඳ දැමීම ඇරැඹින. කම්කරු සංඛ්‍යාව දහස් ගනනින් කපා දැමුනු අතර සේවාවන් ක‍්‍රමානුකුලව පහතට ඇද වැටුනි.

කම්කරුවන් විසින් දිනා ගත් යම් සහන මෙතෙකුදු පවතී. වාර ප‍්‍රවේශ පත‍්‍ර ක‍්‍රමයෙන් කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ට දරා ගත හැකි මිලකට වාර ප‍්‍රවේශ පත‍්‍ර සැපයේ. එමෙන්ම නාගරික හා ගම්බද දුගීන්ට සැපයෙන තීරනාත්මක සේවාවක් ලෙස කම්හල්වල සිට ඈත ගම් දනව් කරා මැදියම් රෑ සේවාවන් ද ශී‍්‍රලංගමයෙන් සැපයේ.

ආන්ඩුව තම වියදම් කපා හරින තත්වය තුල මෙම සේවාවන් අනතුරේ පවතී. පුද්ගලික මගී සේවයෙන් ඇති කෙරෙන තරගය හේතුවෙන් ශී‍්‍රලංගම ට අවශ්‍ය කෙරෙන ආදායම උපයා ගත නොහේ. මෙය හේතුවක් ලෙස යොදා ගනිමින් කලමනාකාරිත්වය කම්කරු වැටුප් පමා කරති.

Homagama SLTB workersවර්ජනයේ යෙදුනු හෝමාගම ඩිපෝවේ කම්කරුවන්

හෝමාගම ශී‍්‍රලංගම ඩිපෝවේ කම්කරුවකු වන 45 හැවිරිදි පතිරාජ ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: "ආන්ඩුවටත් යූනියන්වලටත් ශී‍්‍රලංගම ලාභ ලබන ආයතනයක් කරන්න ඕන වෙලා තියෙනවා. අපි මේකට විරුද්ධයි. මේක මහජන සේවයක් මිස ලාභ උපයන ව්‍යාපාරයක් නොවෙයි. මගේ ලමයිත් ඇතුලුව ලක්ෂ ගනනක් පාසැල් ලමයි පාසැල් යන්නෙ අපේ සේවය නිසා. තව දුර කියනව නම් ලාභ නැති වුනාම පුද්ගලික බස් බොහෝ පාරවල්වල දුවන්න්නෙ නෑ. අපි තමයි දවස පුරා පාරෙ ඉඳන් මේ වැඩේ කරන්නෙ.”

වත්මන් ජීවන කොන්දේසිවලට අනුව ආන්ඩුව විසින් කල යුත්තේ සුභ සාධන කපා හැරීම නොව තව තවත් වැඩි කිරීම බැව් පතිරාජ තව දුරටත් සඳහන් කලේය.

හෝමාගම ඩිපෝවේ තවත් කම්කරුවෙකු මෙසේ පැවසීය: "වෘත්තීය සමිතිවලට අපි මුහුන දෙන තත්වය ගැන කිසිම වගක් නෑ. අපේ ඕනෑකම් වෙනුවෙන් කිසිම දෙයක් ඔවුන් කලේ නෑ. අනෙක් තැන්වල අපේ අය වර්ජනය කරනව දැකල අපි මේ වර්ජනයට එකතු වුනේ. අපි අපේ ඉල්ලීම් ඉල්ලල අරගලයට ආවම අපි ජාතිය පාවා දෙන්නො හැටියට හංවඩු ගහනව. මේ වර්ජනය ආන්ඩුව අමාරුවෙ දාන ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක කොටසක්ලූ. විරෝධතාවලට ආපු ධීවරයන්ටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටත් ආන්ඩුව කිව්වෙ ඕකම තමයි.”

ශී‍්‍ර ලංගම වර්ජනය පාවා දීමෙන් පසු ජවිපෙ නායකත්වය දෙන සලප‍්‍රසේස හි ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පාරම් බෑවේ "අදාල අධිකාරයන් විසින් අපේ ඉල්ලීම් නොතකා හැරියහොත් අඛන්ඩ වර්ජනයක නිරත වෙන්න අපට සිදු වෙනවා” යනුවෙනි. කම්කරුවන් ගොනාට ඇන්දවීම සඳහා ජවිපෙ වෘත්තීය සමිති නිලධරය මෙවන් ප‍්‍රකාශයන් නිතර සිදු කල ද ඔවුන් පවසන මෙම අරගල පසු ගිය මාසයන් තුල කිසි විටෙකත් පැමිනියේ නැත.

රාජපක්ෂ ආන්ඩුව 2006 දී බෙදුම්වාදී එල්ටීටීඊ යට විරුද්ධ යුද්ධය යලි ආරම්භ කල විට ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිති ඇතුලූ වෘත්තීය සමිති සියලූ කාර්මික කි‍්‍රයාවන් අවහිර කරමින් ආන්ඩුවේ යුද්ධයට පිටු බලය දුනි. එල්ටීටීඊ යට විරුද්ධව ගෙන ගිය දිගු කාලීන යුද්ධයේ දී කරන ලද මානව අයිතීන් උල්ලංඝනයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට එක්සත් ජනපදය රාජපක්ෂ ආන්ඩුවට එල්ල කරන තර්ජනයට එරෙහිව ආන්ඩුව ගෙන යන දේශපේ‍්‍රමී උද්ඝෝෂනය තුල මෙම වෘත්තීය සමිති නැවත වරක් කොටු වී සිටී.

ශී‍්‍රලංගම කම්කරුවන්ගේ වර්ජනය බිඳ විසුරුවාලීම මගින් වෘත්තීය සමිති යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ ඔවුන් නියෝජනය කරන්නේ කම්කරුවන් නොව ආන්ඩුව සහ ධනපති පන්තිය බවයි.

Share this article: