ඉරානය සමග යෝජිත ගෑස් නල මාර්ගය මුල්කරගෙන වොෂින්ටනය පකිස්තානයට තර්ජනය කරයි

Washington threatens Pakistan over proposed gas pipeline with Iran

By Ali Ismail, 9 March 2012

ඔබාමා පරිපාලනයෙන් එල්ල වන වැඩිවන පීඩනය හා තර්ජන හමුවේ, ඉරානයෙන් ස්වාභාවික ගෑස් ආනයනය කිරීමට නල මාර්ගයක් ඉදිකිරීමේ දීර්ග කාලයක් ප්‍රමාද වූ ව්‍යාපෘතිය සම්පූර්න කරනු ලබන බව ඉස්ලාමාබාදය අවධාරනය කර යි.

පකිස්තාන් විදේශ ඇමතිනී හීනා රබානි ඛාර් 05දා අදහස් දක්වමින්, එරට නිදන්ගත හා සැමදා නරක අතට හැරෙන බලශක්ති අර්බුදය විසඳීමට පවතින සියලු ම උපායන් හඹා යා යුතු යයි පැවසුවා ය. ඉස්ලාමාබාදය නල මාර්ග ව්‍යාපෘතිය අතහැර දැමුවේ නැතිනම් පලිගන්නා බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කරන තර්ජන පසෙකට දැමීමට අමතරව, පකිස්තානයේ නැගෙනහිර අසැල්වැසියා වන ඉරානයට එරෙහි හමුදා ප්‍රහාරයක්, සමස්ත කලාපයට ම “විනාශකාරී ප්‍රතිවිපාක ” ගෙන එනු ඇතැ යි ඛාර් අනතුරු ඇඟවූවා ය.

පකිස්තානය නල මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීමට යන්නේ නම්, එය ඉරාන සම්බාධක පනතේ දන්ඩනීය පියවරයන්ට යටත් වන බවට පෙබෙරවාරි 29 දා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩල කමිටුවක් ඉදිරියේ කරුනු දැක්වීමක දී ක්ලින්ටන් තරවටු කලා ය. ඉරාන සම්බාධක පනත මගින්, ඉරානයේ බලශක්ති ක්ෂේත්‍රය තුල ඩොලර් මිලියන 20ට වඩා ආයෝජනය කරන ඕනෑම විදේශීය (එක්සත් ජනපද නොවන) සමාගමක් මත තහංචි පැනවීමට එක්සත් ජනපද ආන්ඩුවට බලය දෙයි. මෙම නල මාර්ගය ඉදිකිරීමේ ප්‍රතිවිපාක පෙන්වාදීමේ දී අප ඉතා පැහදිලි ස්ථාවරයක සිට ඇතැ” යි ක්ලින්ටන් පැවසුවා ය. ඈ පකිස්තාන් ආර්ථිකයේ අඩමාන තත්වයට ඇඟිල්ල දිගු කිරීම මගින් එක්සත් ජනපද සම්බාධක තර්ජනයේ බරපතලකම අවධාරනය කලා ය. “ඔවුන්ගේ ආර්ථිකය මේ වන විටත් සෙලවෙමින් තිබෙන බැවින් මෙය විශේෂයෙන් ම පකිස්තාන් ආර්ථිකයට හානිකර විය හැක ” ක්ලින්ටන් පැවසුවා ය. “ මෙම අමතර පීඩනය...ඔවුන්ගේ ආර්ථික තත්වය තවදුරටත් බිඳ දමනු ඇත”.

ක්ලින්ටන්ගේ තර්ජනයට පකිස්තානය ඉක්මනින් ප්‍රතිචාර දැක්වීය. විදේශ ඇමති ඛාර් 06දා කියා සිටියේ ඉරානය සමග ඇතිකරගෙන තිබෙන ව්‍යාපෘති පකිස්තානයේ “ජාතික උත්සුකතා” බවත් ඕනෑම බාහිර බලපෑමක් නොතකා එය සම්පූර්න කෙරෙනු ඇති බවත් ය. අගමැති යූසුෆ් රාසා ගිලානි ද “ අපි ස්වාධිපත්‍ය සහිත රටක්, පකිස්තානයේ අවශ්‍යතා වෙනුවෙන් ඕනෑම දෙයක් අපි කරන්නෙමු” යයි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටිමින් ක්ලින්ටන්ගේ ප්‍රකෝපකාරී ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වී ය.

පසුගිය නොවැම්බරයේ පකිස්තාන් දේශ සීමා මුරපොලේ සිදුකල නේටෝ ගුවන් ප්‍රහාරයෙන් පකිස්තානු හමුදා භටයින් දුසිම් දෙකක් මරා දමන ලද අතර ඉන් පසුව ජනතා විරෝධය ඇවිලගියේ දෙරට අතර සම්බන්ධතා බෙහෙවින් අර්බුදයට හෙලමිනි. වොෂින්ටනය හා ඉස්ලමාබාදය යන දෙපාර්ශවයම සම්බන්ධතා යථා තත්වයට පත්කර ගැනීමට වෙහෙසුනි. පකිස්තාන මහජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව, පකිස්තාන් ආන්ඩුව හා හමුදාව, ඇෆ්ගන් යුද්ධයේ දී වොෂින්ටනය සමග සම්පූර්න හා විවෘත සහයෝගය යලි ගෙඩනගා ගැනීමේ අද්දරට පැමින සිටි අවස්ථාවක ක්ලින්ටන් එවැනි ප්‍රකාශයක් කිරීමට ඉදිරිපත් වීම ම අවධාරනය කරන්නේ, ඉරාන ආර්ථිකයේ ගෙල සිර කිරීම සඳහා එක්සත් ජනපදයට ඇති අධිෂ්ඨානය යි.

පසුගිය වසර පුරා, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උත්සුකයන්ට වඩා හිත පක්ෂපාතී අයෙකු නගා සිටුවමින් ටෙහෙරාන පාලන තන්ත්‍රය වෙනස් කිරීම කෙරෙහි වන සිය තල්ලුවේ කොටසක් ලෙස ඔබාමා පරිපාලනය, ඉරානය හුදකලා කිරීමේ හා අස්ථාවර කිරීමේ තම උත්සාහය තීව්‍ර කර ඇත. ඉරානයේ න්‍යෂ්ටික අභිලාශයන් ගැන තහවුරු නොකල ප්‍රකාශයන් පුනුරුච්චාරනය කරමින් හා තෙල්වලින් පොහොසත් එරට න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම වැලැක්වීමට “බලය පාවිච්චි කිරීමට පසුබට නොවන” බව ප්‍රකාශ කරමින් ජනාධිපති ඔබාමා පසුගිය 04දා පැහදිලිව ම ඉරානයට එරෙහිව යුද්ධයේ තර්ජනය එල්ල කලේ ය.

දශකයකට වැඩි කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව, 2010 ජූනියේ දී ඩොලර් බිලියන 7.6ක ඉරාන- පකිස්තාන ගෑස් නල මාර්ග ගනුදෙනුවට දෙරට අත්සන් කලහ. ගනුදෙනුවේ කොන්දේසිවලට අනුව, පකිස්තානයේ දැවෙන අවශ්‍යතාවක් වන ස්වභාවික ගෑස්, කියුබික් මීටර් මිලියන 21.5 බැගින් 2014 අවසානයේ සිට ඉරානය දිනපතා එරටට නිර්යාත කල යුතු ය. නල මාර්ගයේ විෂ්කම්භය අඟල් 56ක් වන අතර ඉරානයේ දකුනු පාස් ගෑස් බිමෙන් ආරම්භවී ආසන්න වශයෙන් කිලෝ මීටර් 2,000ක දුරක් ආවරනය කරනු ඇත.

ව්‍යාපෘතිය කොටස් වශයෙන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එක රටක් තමාට අදාල භූමිභාගයේ නලමාර්ගය ඉදිකිරීමේ වගකීම දර යි. ඉරානය මේ වන විටත් අසාලුයේ සිට ඉරාන්ෂාර් දක්වා කිලෝ මීටර් 900ක කොටස සම්පූර්න කර ඇත. ඉරාන් - පකිස්තාන් දේශසීමාව දක්වා වන ඉතුරු කිලෝ මීටර් 200 සැලැසුම් කෙරෙන අතර අවුරුදු දෙකක දී සම්පූර්න කිරීමට අපේක්ෂිත ය. පකිස්තානය තම නලමාර්ගයේ ඉදිකිරීම් 2014 අවසානයේ දී සම්පූර්න කිරීමට අපේක්ෂිත ය. සඳුදා අයිඑල්එෆ් කන්සල්ටින් ඉජිනියරින් නැමති ජර්මන් සමාගම නල මාර්ගයේ පකිස්තානු කොටස සඳහා ඩොලර් මිලියන 250ක උපදේශක පහසුකම් සඳහා ගිවිසුමක් අත්සන් කල බව තහවුරු කලේ ය.

2014 වන විට පකිස්තානය ගෑස් ප්‍රවාහය ආරම්භ කල යුතු ය. නැතහොත් නලමාර්ග ව්‍යාපෘතියට සම්බන්ධ රාජ්‍ය - ඇප ගිවිසුම යටතේ, දිනකට ඩොලර් මිලියන 8ක දඩයකට මුහුන දිය යුතු ය. මෙම වසර මුල දී ඉරානය මත පැටවූ දැඩි එක්සත් ජනපද සම්බාධක නිසා පකිස්තාන ආයතන, ව්‍යාපෘතියට මුදල් සැපයීම ප්‍රතික්ෂේප කලාට පසු, පසුගිය සතියේ දී ඉරානය නලමාර්ගයේ පකිස්තාන ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 250ක් එරටට ලබා දීමට එකඟ විය. අධිරාජ්‍යවාදී සම්බාධක මගින්, ඉරානය සමග ව්‍යාපාර කටයුතු කරන සමාගම් බටහිර ආධිපත්‍ය දරන ලෝක මූල්‍ය පද්ධතිය තුලින් ඉවත් කිරීමේ තර්ජනය ගෙන එයි. පකිස්තාන් රජයට අයත්, සීමා සහිත තෙල් හා ගෑස් සංවර්ධන සමාගම, තමන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නොවීමේ හේතු පැහැදිලි කරමින්, ඉරාන ව්‍යාපෘතියකට අරමුදල් සැපයීම, විදේශීය කොටස්කරුවන් තම සමාගමෙන් ඉවත්වීමට තුඩු දිය හැකි යයි බිය පලකලේ ය.

ඔබාමා පරිපාලනය ටර්ක්මනිස්තානය, ඇෆ්ගනිස්තානය, හා ඉන්දියාව සමග විකල්ප නලමාර්ග තෝරා ගන්නා ලෙස පකිස්තානය පොලඹවමින් සිටී. මෙය මධ්‍යම ආසියාවේ තෙල් හා ගෑස් ප්‍රවාහයන් රුසියාවෙන් ඉවතට හරවා යැවීමේ වොෂින්ටනයේ දිගුකාලීන මූලෝපායාත්මක අරමුනට ගැ‍ලපෙන්නේය. එහෙත් දශකයක් දිග එක්සත් ජනපද-නේටෝ ඇෆ්ගනිස්තාන වාඩිලාගැනීම, එවැනි නලමාර්ගයක් ඉදිකිරීමේ හැකියාවට වල කපමින් ඇෆ්ගනිස්ථානයට සාමය ලඟාකර දීමට අසමත් වී ඇත. තව ද, ඉරානයෙන් ආනයනය කෙරෙන ස්වභාවික ගෑස්, බලශක්ති උත්පාදනය සඳහා ලාභ ම හා ඉතාමත් යෝග්‍ය ඉන්ධන සපයනු ඇතැ යි ඉස්ලාමාබාදය අවධාරනය කර යි.

එක්සත් ජනපදය ඉරාන්-පකිස්තාන් නලමාර්ග ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම පිනිස දශකයක කාලයක් තුල සාර්ථක උත්සාහයක් මේ දක්වාමත් දරා ඇත. ආරම්භයේදී වොෂින්ටනය, ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායාත්මක හවුල්කාරිත්වයේ ” ප්‍රධාන අංගය වන, ඉන්දු-එක්සත් ජනපද සිවිල් න්‍යෂ්ටික ගිවිසුම වෙනුවෙන් ගාස්තුව ලෙස මෙම ව්‍යාපෘතියට ඉන්දියාව සහභාගී වීමෙන් වැලැක්වීමේ උත්සාහයක නිරත විය.

නලමාර්ගය පලමුවෙන් සාකච්ඡා කෙරුනු විට, එය ඉන්දු පකිස්තාන් සාම ක්‍රියාවලියට රුකුල් දෙනු ඇති බවට විශ්වාසයක් ඇති කලේය. ඒ, ආතතිය නිවා දැමීමට රටවල් දෙකට ම ප්‍රධාන ආර්ථික පෙලඹවීමක් මේ මගින් සැලසෙනු ඇතැයි යන විශ්වාසය මතය. එහෙත් ඉරාන ආර්ථිකය කඩාකප්පල් කිරීම වොෂින්ටනයට වඩා වැදගත් භූ-දේශපාලනික අරමුනක්ව තිබේ.

2009දී ඉන්දියාව නලමාර්ග ව්‍යාපෘතියෙන් ඉවත්වූවාට පසු ඉස්ලාමාබාදය, ඊට හවුල්වන ලෙස බීජීනයෙන් ඉල්ලා සිටියේ ය. නලමාර්ගයේ චීන කොටස, පකිස්තානයේ ගිල්ගිට් බල්ටිස්තානයේ උතුරු ප්‍රදේශය බටහිර චීනය සමග සම්බන්ධ කරන කරාකෝරම් මහමාර්ගය ඔස්සේ ඉදිකෙරෙනු ඇත. නලමාර්ග ව්‍යාපෘතියට තමන් එකතු වනවා දැ යි චීනය තවම තීරනය කර නැති නමුත් එවැනි නලමාර්ගයක් මගින් චීනයට, එක්සත් ජනපද නාවික බලයට ගොදුරුවන මලක්කා සමූද්‍ර සන්ධිය හරහා එරට ආනයනය කරන බලශක්ති ප්‍රමානය අඩුකිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත.

මෙම බලාපොරොත්තුව මගින් නිසැකව ම, පකිස්තාන්-ඉරාන නලමාර්ගය කඩාකප්පල් කිරීමේ වොෂින්ටන්හි තීරනය දැඩි කරනු ඇත.

නලමාර්ග ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ පකිස්ථාන අධිෂ්ඨානය, විදේශීය බලශක්තිය සඳහා වන එහි දැවෙන අවශ්‍යතාවෙන් පැන නංවන්නකි. මෑත වසරවල දී ගැඹුරුවන බලශක්ති අර්බුදයක් විසින් පකිස්තානය මංමුලා සහගත තැනකට පත්කර ඇත. එම තත්වය හේතුකොටගෙන පකිස්තානයේ කර්මාන්ත දුර්වල කර, මහජනතාවට සිය ජීවිතය වඩ වඩාත් දරාගත නොහැකි තැනකට පත්කර තිබේ.

පසුගිය මාසයේ දී, පැය 10ක් දක්වා පැවති අනපේක්ෂිත විදුලිය ඇන හිටීම් නිසා රටේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාර වසාදැමීමට සිදු විය. නිරන්තර විදුලිය ඇනහිටීම් කරච්චි හා අනෙකුත් කාර්මික මධ්‍යස්ථානවල කර්මාන්ත හිමියන් නිෂ්පාදනය නැවත්වීමට හා සිය දහස් ගනනක් කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීමට පොලඹවා ඇත. විදුලිය කැපීම් පසුගිය අවුරුද්දේ දී සෑම පලාතක ම ස්වාභාවික විරෝධතා පැන නැංවූ අතර පකිස්තාන පොලීසිය රුදුරු ලෙස බලය යොදා ගනිමින් ඊට ප්‍රතිචාර දක්වීය.

ආර්ථික වශයෙන් නලමාර්ගයේ අවශ්‍යතාවය අවධාරනය කිරීම අවිවාදිත ය. එහෙත් මධ්‍යම ආසියාවේ හා මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරී න්‍යාය පත්‍රය වෙනුවෙන්, තම තීරනාත්මක උත්සුකයක් කැප කරන ලෙසට එක්සත් ජනපදයේ තියුනු කෙරෙන බලපෑම පකිස්තාන් ප්‍රභූව නැවත වතාවක් වටහා ගනු ඇත. වොෂින්ටනයේ නියෝග අනුව පකිස්තානය, පසුගිය දශකය පුරා, තලිබාන් සංවිධානය හා පෙලගැසුනු සටන්කාමීන්ට එරෙහිව මෘග ත්‍රස්ත විරෝධී යුද්ධයක් ගෙන ගොස් ඇත. යුද්ධය පකිස්තාන් මහජනයා මත විනාශකාරී බලපෑමක් ඇති කර තිබිය දී එක්සත් ජනපදය, නව-යටත් විජිත ඇෆ්ගන් යුද්ධයේ තවත් බර කරට ගන්නා ලෙසට පකිස්තානය මත වඩ වඩාත් කුරිරු පීඩනයක් යොදමින් සිටී.

පකිස්තාන් ආර්ථිකයේ දුර්වලත්වය පිලිබඳ ක්ලින්ටන්ගේ ප්‍රකාශය ඉස්ලමාබාදය විසින් සරලව නොගනු ඇත. පිරිහෙමින් පවතින පකිස්තානයේ ආර්ථික තත්වය, වොෂින්ටනයේ න්‍යාය පත්‍රයට යටත් වන ලෙස එරට බියවැද්දීම පිනිස ගසා කෑමේ එක්සත් ජනපදය උත්සාහය නැවත නැවතත් ප්‍රදර්ශනය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නව නයක් ලබාගැනීමේ දී පකිස්තානයට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම හා ගංවතුර විනාශයට ලබාදුන් එක්සත් ජනපදයේ සහන සොච්චම් ආධාරයකට සීමා කිරීම එහි බියවැද්දීම් වලට ඇතුලත් ය. ඉලක්කම් දෙකේ උද්ධමනය, වැඩිවෙන විරකියාව, හා දැඩි සමාජ අසමානතාව සමාජ නැගිටීමක් පිලිබඳව පකිස්තාන් දේශපාලකයින්ගෙන් හා පුවත්පත් විස්තර කථකයින්ගෙන් නොකඩවා කෙරෙන අනතුරු ඇගවීම්වලට තුඩුදී ඇත.

Share this article: