ස්පාඤ්ඤ බැංකු නය යුරෝ කලාපයේ අර්බුදය උග්‍ර කරයි

Spanish bank debts deepen eurozone crisis

By Nick Beams, 14 May 2012

ස්පාඤ්ඤයේ බැංකු පද්ධතියෙහි නුබුන්වත්කම පිලිබඳ සැක සාංකා හා ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීමේ හැකියාව එන්ට එන්ටම වැඩිවෙද්දී, යුරෝපිය මූල්‍ය අර්බුදය තවත් නරක අතට හැරීමක් ගෙන තිබේ.

රටේ බැංකු ක්‍රමය පිරිසිදු කිරී‍ම පිනිස වසර තුනක් ඇතුලත දරන ලද සිව්වන උත්සාහයේ දී, ඉඩම් දේපල නයෙහි දැවැන්ත පාඩු ආවරනය කිරීම‍ට බැංකු, යුරෝ බිලියන 30ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 39ක් පසෙකට කල යුතු යයි ස්පාඤ්ඤ ආන්ඩුව පසුගිය 11දා නියෝග කලේය. එහෙත් මූල්‍ය වෙලඳපොලවල් පොදුවේ සලකන ලද්දේ, එම පියවර කුඩා වැඩි බව හා ප්‍රමාද වැඩි බවය. ස්පාඤ්ඤයට යුරෝපීය සංගමයෙන් ඇප පැකේජයක් ලබාගැනීමට සිදුවනු ඇති බවට බියක් පැතිර යාම හමුවේ, බැංකුවල කොටස් අගය පහත වැටුන අතර ස්පාඤ්ඤ බැඳුම්කර පොලිය දැරිය නොහැකි යයි සලකන මට්ටමකට එනම් සියයට 6 ඉක්මවා ඉහල ගියේය. වටිනාකම අතින් යුරෝපයේ ලොකුම බැංකුව ලෙස සලකන බැංකෝ සැන්ටැන්ඩර් ද ඇතුලු බැංකු කොටස් පහතට කඩා වැටුනි.

අමතර අරමුදල් පසෙකට කල යුතු බවට ස්පාඤ්ඤ ආන්ඩුවේ ප්‍රකාශයට පෙරාතුව, සතිය මුල හරියේ බැංකියා ව්‍යාපාර සමූහයේ යුරෝ බිලියන 4.5ක ආන්ඩුවේ සංචිත, ව්‍යාපාර වස්තු බවට පරිවර්තනය කිරීමේ තීරනය මගින් වහාම නය දෙන්නා ජනසතු කිරීමක් සිදු විය.

මෙම අත්පත්කර ගැනීම, ආන්ඩුවේ පිටුබලය සහිතව කලින් ගෙන එනු ලැබූ බැංකු ගලවා ගැනීමේ සැලැස්ම බිඳවැටීමක් සලකුනු කලේය. එය ආන්ඩුව මෙන්ම නියාමන බලධාරීන් ද දේපල වෙලඳපොල ස්ථාවරවී ඇති බවටත් බැංකු ප්‍රකෘතිමත් වීමේ මාවතට පිවිස ඇති බවටත් කරන ලද ව්‍යාජ ප්‍රකාශ ද හෙලිදරව් කලේය.

සියලු බැංකු තැන්පතුවලින් සියයට 10ක් හිමිකරගෙන සිටි බැංකියා 2010 වසරේදී පිහිටුවන ලද්දේ, 2008 මූල්‍ය අර්බුදය කඩාවැදීමෙන් පසුව ස්පාඤ්ඤයේ දේපල වෙලඳාමේ බුබුල පුපුරා යාමත් සමග මුලුමනින්ම පාහේ බුන්වත් භාවයට පත්ව තිබුනු ප්‍රාදේශීය බැංකු ඒකාබද්ධ කරමිනි. ඒකාබද්ධයට සම්බන්ධ වූ බැංකු හතෙහි එකතුවී තිබුනු බිලියන 55ක බොල් දේපල නය ප්‍රමානය ඒවායේ ඒකාබද්ධ ශේෂපත්‍රයන්ගෙන් සියයට 30කට ආසන්න ප්‍රමානයකි.

පසුගිය ජූලියේ දී එය කොටස් වෙලඳ පොලෙහි දියත්කල තැන් පටන්, විශාල ජාත්‍යන්තර ආයෝජකයින් සිය අරමුදල් ඉවත්කර ගැනීමේ හේතුව නිසා බැංකියාහි කොටස් අගය සියයට 45කට වඩා පහත ගියේය. ජාතික පුනර්ජීවනයකට සහාය දීමක් පිලිබඳ ආන්ඩු ව්‍යාපාරයට ප්‍රතිචාර දැක්වූ කුඩා ආයෝජකයින්, ආරම්භයේ දී කොටස් මිලට ගත්තවුන් අතර ප්‍රමුඛ විය.

දකුනු යුරෝපීය බාක්ලේස් බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ඇන්ටෝනියෝ පැස්කුවල්, පසුගිය මාස හය තිස්සේ ස්පාඤ්ඤයෙන් අරමුදල් විශාල වශයෙන් පිටතට ගලා ගිය බව පැවසීය. “ආර්ථික වශයෙන් විනාශකාරී අනුපාතයකින්” සිය අරමුදල් නිරාවරනය වීම අවම කිරීමට විදේශ ආයෝජකයින් දිගටම කටයුතු කල හොත්, බාහිර මූල්‍ය ආධාර අවශ්‍ය වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

සමස්තයක් ලෙස බැංකු යුරෝ බිලියන 308ක් තරම් ඉඩම් දේපල නය රැස්කරගෙන තිබෙන බවට ගනන් බැලේ. ඉන් බිලියන 184ක් “බොල් නය” ලෙස සැලකෙයි. මෙම බොල් නයට හේතුව, දේපල බිඳ වැටීමෙන් යලි භුක්තිය හිමිකරගත් නිවාස සංකීර්න, මිලට ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා ඒවා හිස්ව තිබීමයි. ඊට අමතරව මුලු එකතුව යුරෝ බිලියන 656ක් වන නිවෙස් උකස්කරයන්ට බැංකු නිරාවරනයවී තිබීම පිලිබඳව ද කනස්සල්ල වැඩි වෙමින් තිබේ. 2008 වසරේ පටන් නිවාස මිල ගනන් සියයට 25න් පමන කඩා වැටී තිබීමේ කාරනය නොතකා මෙම වත්කම්, තවමත් ඒවායේ මුල් අගයෙන්ම බැංකු පොත්වල සටහන් වී තිබේ. පසුගිය 10දා නිල සංඛ්‍යා පෙන්නුම් කලේ නිවාස අලෙවිය එක දිගට 13 වන මාසයටත් පහත වැටී ඇති බවයි.

අර්බුදයෙන් ගොඩඒම කෙසේ වෙතත් ආන්ඩුවේ මෑත ම පියවර මගින් එය උත්සන්න කරනු ඇත. යුරෝ බිලියන 27ක ආන්ඩුවේ වියදම් කප්පාදුව ද විරැකියාව සියයට 25කට නැඟීම ද සලකුනු කරන කප්පාදු වැඩසටහනකින් ස්පාඤ්ඤය දැනටමත් ග්‍රහනයට ගෙන තිබේ. ඒ අතර අවශ්‍ය අමතර අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුනපා සිටින වඩා දුර්වල බැංකු ගනනාවක් රාජ්‍යයේ මැදිහත්වීම ඉල්ලා සිටියි. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය ප්‍රකාශ කල පරිදි, මෙය විෂම චක්‍රයක් පන ගන්වා ඇත. එනම්, "ආන්ඩුවේ නය ඉහල නඟින විට තවත් කප්පාදු පියවර අවශ්‍ය කෙරෙන අතර, ආර්ථික වර්ධනය හකුලුවමින් නය දීමට බැකුවලට ඇති හැකියාව තවත් පහත හෙලනු ඇත.”

අතිශයින්ම පහත් පොලී අනුපාතිකයන් මත වසර තුනකට දුබල යුරෝපීය බැංකු සඳහා යුරෝ ට්‍රිලියනයක අරමුදලක් ගොඩනැඟීම යටතේ, එල්ට්‍රෝ නමැති යුරෝපීය මහ බැංකුවේ දිගු කාලින ප්‍රති මූල්‍යකරන ක්‍රියාවලියේ ප්‍රතිපලයක් වශයෙන්, එවැනිම ක්‍රියාවලියක් දිග හැරෙමින් තිබේ.

ස්පාඤ්ඤ බැංකු එම අරමුදල් ආන්ඩුවේ නයකර මිලට ගැනීමට යොදවයි. එය තවත් විෂම චක්‍රයක විභවයෙන් යුක්තවේ. බැංකුවල තත්වය දුබල වන විට හා ඒවා තව තවත් මුදල් නයකරයන්හි රඳවන කල බැංකු වඩ වඩාත් ස්වෛරී (රාජ්‍ය) නය මත අවදානමට ලක් වෙයි.

ස්පාඤ්ඤ වර්ධනයේ තව දුර පහත වැටීමේ සලකුනු හමුවේ අර්බුදය තවත් උත්සන්න කෙරෙයි. යුරෝපා සංගමය විසින් පලකල මෑතම අනාවැකිවලට අනුව, ස්පාඤ්ඤය තවත් දෙවසරක පහත වැටීමක් අත්විඳිනු ඇත. මෙහි අර්ථය, ආන්ඩුවේ ආදායම දිගටම පහත යනු ඇති බවත්, එහි දල දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව නයෙහි වැඩිවීම හා අයවැය හිඟ පිලිබඳ එහි ඉලක්ක සපුරාලීමට අසමත්වීමේ ප්‍රතිපල වශයෙන් කප්පාදු පියවර වෙනුවෙන් නව ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනු ඇත. යුරෝපීය කොමිසම අනාවැකි පලකොට ඇත්තේ, 2012 වසරේදී ස්පාඤ්ඤය, යුරෝපීය සංගමය ඉලක්කය වන සියයට 5.3ට ලඟා නොවන, දදේනි සමානුපාතිකව සියයට 6.4ක අයවැය හිඟයක් පවත්වාගනු ඇති බවට ය.

යුරෝපීය සංගමය, ස්පාඤ්ඤයට එහි අයවැය ඉලක්ක මත යම් පාඩු පිරිමසා ගැනීමේ කාලයක් සලසනු ඇති බවට කට කථා පවතින අතර, ආර්ථික කටයුතු පිලිබඳ කොමසාරිස් ඔල්ලි රෙන්, නයෙහි තත්වය “ප්‍රාදේශීය ආන්ඩුවල අතිරික්ත වියදම් කපාහරින ඉතා දැඩි ප්‍රතිකර්ම ඉල්ලා සිටින්නේ යයි” අනතුරු ඇඟවීය.

ස්පාඤ්ඤ නය අර්බුදයේ අලුත්ම හැරීම සමග අත්වැල් බැඳගනිමින්, ග්‍රීසියේ අස්ථාවර දේශපාලන තත්වය පිලිබඳ බියක් පවතියි. ග්‍රීසිය යුරෝ කලාපයෙන් හැලී යාමට තුඩුදෙන, එහි නව ආන්ඩුවක් ගොඩනැඟීම සඳහා පැවැත්වෙන සාකච්ඡා බිඳවැටී නැතුවා පමනි.

යුරෝපීය සංගමය විසින් පනවා ඇති කප්පාදු පියවර ක්‍රියාවට නැඟීමට අසමත් වුවහොත් අරමුදල් සැපයීම අත්හිටුවන බවට නිකුත්ව තිබෙන අනතුරු ඇඟවිම් මධ්‍යයේ ග්‍රිසිය, යුරෝ බිලියන 11.5ක් කැපීමේ වැඩ සටහන ලබන මාසයට සැලසුම් කර ඇත. මෙම කප්පාදුවලට මැයි 06දා මැතිවරනයේදී ග්‍රීක ජනතාව මුලුමනින්ම වාගේ ප්‍රතික්ෂේප කරන ලද එම පියවරයන්ම, එනම් වැටුප් හා විශ්‍රාම දීමනා තවත් අඩු කිරීම, ඇතුලත්ව තිබේ.

යුරෝපීය මහ බැංකු නිලධාරීහු සති අන්තයේදී කප්පාදු වැඩසටහන ක්‍රියාවට නැගීම වෙනුවෙන් යොදන පීඩනය තවත් දැඩි කලහ. එහි පාලක කවුන්සලයේ සාමාජික පැට්‍රික් හොනහැන්, ග්‍රීසියේ බැහැරවීම මූල්‍ය සංගමය පිලිබඳ විශ්වාසය පලුදු කිරීමට හේතු විය හැකි නමුදු එය “තාක්ෂනිකව” පිරිමසාගත හැකි බව පැවසීය.

ග්‍රීක ජනතාවට තවත් ආර්ථික ව්‍යසනයක තර්ජනය එල්ල කරමින් ජර්මානු මහ බැංකුවේ ප්‍රධානියා වන ජෙන්ස් වේඩ්මාන් මෙසේ අනතුරු ඇඟවීය. යුරෝ කලාපයෙන් ඉවත්වීම නිසා "ග්‍රීසියට අත්විඳීමට සිදුවන ප්‍රතිවිපාක කලාපයේ අවශේෂ කොටසට වඩා බෙහෙවින් බරපතල වනු ඇත.”

යුරෝ මහ බැංකුව හා අනෙකුත් නිලධාරීන් අවධාරනය කරන්නේ, ග්‍රීසියේ ඉවත්වීමෙන් ඇතිවන කුනාටුවෙන් යුරෝ කලාපයට බේරී ගත හැකිය යන්න පිලිබඳව සැලකිය යුතු සැක පවතින බවයි. බැංකු හා මූල්‍යායතන සිය මුදල් පෘතුගාලයෙන් ඉවත් කරගෙන ජර්මානු බැංකුවල තැන්පත් කිරීමත් සමග එරට වහාම ඉලක්ක වනු ඇති අතර ස්පාඤ්ඤය හා ඉතාලිය ඒ පසුපස ඇදී එනු ඇත.

බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ලේකම් වින්ස් කේබල් පැවසුවේ එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය හා ඉතාලිය කරා අර්බුදය පැතිර යාම වැලැක්වීමට, වසංගතය වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර සෑහෙන තරම් ශක්තිමත් බව තහවුරු වනු ඇති බව "අපේක්ෂා කල” යුතු අතර, නොඑසේ නම්, එය බ්‍රිතාන්‍යයේ වෙලඳාම කෙරෙහි "දැවැන්ත බලපෑමක්” ඇති කල හැකිය. වසංගතය එතැනින් නතර වනුයේ නැත. එය 2008 සැප්තැම්බරයේ ලේමන් බ්‍රදර්ස් බැංකුව බිඳවැටීමේ ප්‍රතිපල වශයෙන් ජනිත කල ගෝලීය අර්බුදයට බෙහෙවින් වැඩි කලබැගෑනියක් මුදාහරිනු ඇත.

Share this article: