ග්‍රීසිය: කප්පාදු පියවර බල ගැන්වීමට සිරිසාහි සහාය බලාපොරොත්තුවෙයි

Greece: SYRIZA support sought to enforce austerity measures

By Christoph Dreier, 15 May 2012

මැයි 7දා ඇතන්ස්හි උද්ඝෝෂනයේ යෙදුනු සිරිසා ආධාරකරුවෝ [Photo: Adolfo Indignado Cuartero]

යුරෝපා සංගමයේ ආඥා ක්‍රියාවට දමන ආන්ඩුවක් සමග හවුල්වීමට ඇති කැමැත්ත සිරිසා දැනටමත් සංඥා කො‍ට ඇත. කිසිදු තත්ත්වයක් යටතේ යුරෝපා සංගමයෙන් ග්‍රීසිය ඉවත් නො විය යුතු බව මැතිවරන ව්‍යාපාරය තුල ප්‍රකාශ කල එය ඒ වෙනුවට අයවැය කප්පාදු හා නය ආපසු ගෙවී‍ෙම් කො‍න්දේසි පිලිබඳව යලි සාකච්ඡා කිරීමේ මං සෙවිය යුතු යයි කීවේ ය. ප්‍රධාන බැංකුවලින් නියෝග ලබන යුරෝපා සංගමයේ සම්මුති විරහිත ආකල්පයේ තතු යටතේ මෙය සමවෙන්නේ, කප්පාදු පැටවීමට සහභාගි වීමකට ය.

කප්පාදු පිලිවෙත් පිලිබඳ වගකීමට ක්ෂනිකව කරගැසීමට අකමැති සිරිසා, ග්‍රීක පාර්ලිමේන්තුව තුල තම තත්ත්වය ශක්තිමත් කිරීමේ හැකියාව සහිත දෙවන මැතිවරනයක් කැඳවා ගැනීම සඳහා උපාමාරු දැමීමට මනාප වේ.

පසුගිය සතිය පුරා මැතිවරනයේ දී වැඩි ම ඡන්ද ප්‍රමානයක් ලත් එන්ඩී ද දෙවන හා තෙවන ස්ථාන ලත් සිරිසා හා පැසොක් ද අවශ්‍ය පාලන බහුතරයක් ගලතා ගැනීමට අසමත් වූහ. සති අන්තයේ දී පැසොක්, එන්ඩී හා සිරිසා යන පක්ෂවල නායකයන් සමග සාකච්ඡා පැවැත්වූ ග්‍රීක ජනාධිපති කැරෝලොස් පැපෝලියස්, ඉන්පසුව අනෙකුත් පක්ෂවල නියෝජිතයන් සමග තනි තනි සාකච්ඡා පැවැත්වීය.

සාකච්ඡාවලින් පසුව සිරිසා සභාපති ඇලෙක්සිස් සිප්රාස් යලිත් වරක් ප්‍රකාශ ‍කලේ, පවතින කොන්දේසි යටතේ ග්‍රීසිය තුල යුරෝපා සංගමයේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමා ඇති පැසොක් හා එන්ඩී යන හිටපු පාලක පක්ෂ දෙක සමග සභාගයක් තැනීමට තමන් සූදානම් නැති බව යි.

පක්ෂ දෙක සමග සභාගයක අර්ථය වන්නේ, ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්තිවලට විරුද්ධ පක්ෂවලට විශාල වසයෙන් ඡන්දය දුන් ඡන්ද දායකයන්ගේ අභිලාෂය නො තකා හැරීමක් යයි සිප්රාස් කීවේ ය.

සමස්තයක් ලෙස එන්ඩී, පැසොක් හා ඩිමාර් යන පක්ෂ, නියෝජිතයන් 300කින් යුතු පාර්ලිමේන්තුවේ ආසන 168ක පැහැදිලි බහුතරයක් ලබාගෙන ඇතැයි කී සිප්රාස් මෙසේ පැවසිය: “සිරිසා සභාගයකට එක්විය යුතු බවට ඔවුන් කරන ඉල්ලීම්, පෙරනුවූ විරූ හා නීති විරෝධී ය.” නව ආන්ඩුවක් පිලිබඳ සාකච්ඡා ප්‍රසිද්ධියේ පවත්වන ලෙස ඔහු පැපෝලියස්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉන්පසු ඩිමාර් සභාපති ෆෝටිස් කොවුවේලිස් කියා සිටියේ, සිරිසා නොමැති සභාගයකට සහභාගි වීමට තම පක්ෂය සූදානම් නැති බව යි. “සිරිසා නොමැති ආන්ඩුවකට අවශ්‍ය මහජන හා පාර්ලිමේන්තු පිටුබලය නැතැ” යි ඔහු කීවේ ය.

කොන්සර්වැටිව් නායක ඇන්ටනීස් සැමරාස් ද පසුගිය සතියේ ඒ හා සමාන අදහස් පල කලේ ය. සාකච්ඡාවලින් පසුව කිසිදු ආන්ඩුවකට හවුල් වීමට සිප්රාස් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු මැසිවිලි නැගීය. “ඔවුන් කොහේ යන්නේදැ’යි මම අවංකව ම දන්නේ නැතැ” යි ඔහු පැවසීය.

සභාගයක් ඇටවීමේ අවසන් උත්සාහයක් ලෙස ජනාධිපතිවරයා, ප්‍රධාන පක්ෂ හතරේ නායකයන් සහභාගි වන රැස්වීමක් සඳුදා හැන්දෑවට කැඳවා ඇති අතර, තමන් එවැනි සාකච්ඡාවලට සහභාගි වන්නේ දක්ෂිනාංශක ජනතාවාදී ස්වාධීන ග්‍රීකයන් හා ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (කේකේඊ) ඊට සහභාගි වන්නේ නම් පමනක් බව සිප්රාස් ප්‍රකාශ කොට ඇත.

කප්පාදුවලට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය, සිරිසාහි ආධාරය ඇතිව පාලනය කරගත හැකි බව, ග්‍රීසියේ හා යුරෝපා සංගමයේ පාලක ප්‍රභූහු පැහැදිලි ලෙස ඒත්තු ගෙන සිටිති. කප්පාදු පියවරවලට ප්‍රකාශිත විරුද්ධත්වය සමගින්, මැතිවරනයේ දී ශක්තිමත් දෙවන දේශපාලන බලය ලෙස සිරිසා ඉස්මතු විය.

යුරෝපා සංගමයේ ආඥාවන් ජනගහනයේ පුලුල් කොටස් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ තරම මැතිවරන ප්‍රතිඵලවලින් පිලිබිඹු විය. මිලිටරි ආඥාදායකත්වය අවසන් වූ 1974 පටන් රටෙහි දේශපාලන ආධිපත්‍යය දරා ඇති හා මෑත මාසවල දී සභාග ආන්ඩුවක් තැනූ පාලක පක්ෂ දෙකට ඡන්දය භාවිතා කලේ ඡන්දදායකයින්ගෙන් පහෙන් එකක් පමනි.

මෙම අපකීර්තිමත් පක්ෂ දෙකට තවදුරටත් පාර්ලිමේන්තු බහුතරයක් තැනිය හැකි වීම, කොතරම් කුඩා වුවත් බහුවිධ පක්ෂයකට අමතර ආසන 50ක් සහතික කරන ග්‍රීක ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන පද්ධතියට‍ සම්බන්ධ කාරනයකි. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබාගත් සියයට 18.8ට සාපේක්ෂව සිරිසා සියයට 16.8ක් ලබාගත්ත ද “වාමාංශික” යයි සැලකෙන සිරිසාවේ ආසන 52ට සාපේක්ෂව එන්ඩී වෙත පාර්ලිමේන්තුව තුල ආසන 108ක් ලැබී තිබේ.

මේ අතර, දැනටමත් මහා පරිමාන විරැකියාවට හා දරිද්‍රතාවට හේතු වී ඇති අයවැය පරතරය අඩු කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් කිසිදු සහනයක් නො දෙන බව යුරෝපා සංගම් නිලධාරියෝ පැහැදිලි කර ඇත්තාහ. අති උද්ධමනයට හා වඩාත් දරුනු කාලකන්නි භාවයට තල්ලු කෙරෙන පියවරක් වන ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවත් කිරිම ඉල්ලා සිටීම කෙරෙහි වැඩෙන අත්වැල් ගායනයක් පවතී.

මෙම තීරනාත්මක තත්ත්වයේ දී ග්‍රීක හා යුරෝපීය ප්‍රභූන්ට මුඛ්‍ය ප්‍රශ්නය වන්නේ මහජන විරුද්ධත්වය පාලනය කරගැනීමේ යාන්ත්‍රනයක් සොයා ගැනීම යි. මුලුමනින් ම පැසොක්, එන්ඩී හා ඩිමාර් මත රැඳී සිටින ආන්ඩුවකට වඩා, සිරිසා ඇතුලත් වන ආන්ඩුවකට කුඩා මතුපිට එවැනි තන්ත්‍රයකට සහභාගි වීම කෙරෙහි ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් සිරිසා වෙත නොමැත. පසුගිය සතියේ ආන්ඩු සභාගයක් වෙනුවෙන් සිරිසා, එන්ඩී හා පැසොක් සමග සාකච්ඡා ඇරඹූ අතර පැය කිහිපයකට පසුව සැමරාස් සාකච්ඡා වරමක් සම්මත කලේ ය. ආන්ඩුවක් තැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ‍බිඳීගිය දක්ෂිනාංශික අන්ඩක් වන ස්වාධීන ග්‍රීකයන් සමග පවා එකට වැඩකිරීමට තමන් සූදානම් යයි සිප්රාස් කීවේ ය.

සිරිසා සිය අ‍ාස්ථානය වෙනස් කලේ, නව මැතිවරනයේ ජයග්‍රාහකයා ලෙස තමන් ඉස්මතු විය හැකි යයි පෙන්නුම් කරන නව මත විමසුම් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පමනි. පාලක දෙපක්ෂය සමග තමන් සහයෝගී නො වන බවත්, ඒ වෙනුවට කප්පාදුවලට විරුද්ධ බලවේග සමග සභාගයක් තැනීමට තමන් අපේක්ෂා කරන බවත් ඉන්පසුව සිප්රාස් ප්‍රකාශ කලේ ය.

ඒ සමගම, නය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලුම් කරමින් තමන් කලින් නිකුත් කල නිවේදනයක් පසෙකට දමමින් හා යුරෝපා සංගමයේ ඇනවීම්වල කොන්දේසි පිලිබඳව යලි සාකච්ඡා කිරීම අවධාරනය කරමින් ඔහු තම කප්පාදු-විරෝධී වාචාලයේ සැර බාල කලේ ය.

සිරිසා ඇතුලත් සභාගයක මූලික අරමුන වනු ඇත්තේ, යුරෝපා සංගමය, යුරෝ මුදල හා යුරෝපීය ධනවාදය රැක ගැනීම යි. නො සැලකිය යුතු හා සොච්චම් වෙනස්කම් කිහිපයක් කරගසා ගනිමින් ද වාම වාචාලකම් හා වෘත්තීය සමිති සමග තමන්ට ඇති සබඳතා පාවිච්චි කරමින් ද එවැනි සභාගයක්, කම්කරුවන්ගේ විරුද්ධත්වයට එරෙහිව වඩාත් හොඳින් නව කප්පාදු පටවනු ඇත.

Share this article: