අනුස්මරන දින ඝාතනයේ පටන් 75 වසරක්

Seventy-five years since the Memorial Day Massacre

29 May 2012,

1937 මැයි 30දා අනුස්මරන දින‍යේදී චිකාගෝ පොලිසිය, එම වසරේ "සුලු වානේ” වැඩවර්ජනය මධ්‍යයේ, රිපබ්ලිකන් වානේ සමාගමට එරෙහිව කම්කරුවන් පැවැත්වූ පෙලපාලියට වෙඩි තැබීමෙන් 10 දෙනෙකු මියගොස් තවත් දුසිම් ගනනකට තුවාල සිදු විය. බොහෝ කම්කරුවන්ට වෙඩි තබා තිබුනේ පලායද්දී ඔවුන්ගේ පිටුපසටය. තවත් 28 දෙනෙකුට පොලිස් බැටන් ප්‍රහාරයෙන් තුවාල සිදුවූ අතර ඉන් 9 දෙනෙක් සදාකාලිකව ම ආබාධිත තත්වයට පත් විය.

ඝාතනයෙන් පසුව "කම්කරුවන්ගේ මිතුරෙකු” ලෙස හුවා දක්වන ලද ඩිමොක්‍රටික් ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්, මිනීමැරුම් හෙලා දැකීම හෝ වානේ කම්කරු සමිති සම්මේලනයේ පැත්තෙන් වැඩවර්ජනයට මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම කැපී පෙනෙයි. එසේම ඉන් පසුව 1936 තම මැතිවරන ජයග්‍රහනය වෙනුවෙන් කැපවූ සීඅයිඕ යන කාර්මික සංවිධාන කමිටුව කැඳවීම ද ප්‍රතික්ෂේප කලේය. (ඉන් පසුව සීඅයිඕව කාර්මික සංවිධානයන්ගේ සමුලුව බවට පරිවර්තනය කිරීමට නියමිතව තිබුනි.) ඒ වෙනුවට රූස්වෙල්ට්, බොහෝකොටම ප්‍රචන්ඩත්වය සඳහා කම්කරුවන්ට චෝදනා කරමින්, "ඔබගේ ආයතන දෙකේම වසංගතයක් පැතිර ඇත” යන ඔහුගේ කුප්‍රකට ප්‍රකාශය කරනු ලැබීමය.

වැඩවර්ජිත වානේ කම්කරුවෝ, වානේ කම්කරුවන්ගේ සංවිධාන කමිටුව හෙවත් එස්ඩබ්ලිව්ඕසී යන සිය සමිතිය පිලිගන්නා ලෙස බල කලහ. එය 1942දී ඇමරිකාවේ එක්සත් වානේ කම්කරු සමිතිය හෙවත් යූඑස්ඩබ්ලිව් බවට පත් විය. සීඅයිඕහි කොටසක් වූ වානේ කම්කරු සංවිධාන කමිටුව ඒ කාලයේම, ඒඑෆ්එල් හෙවත් ඇමරිකානු කම්කරු සම්මේලනයෙන් කැඩී ගියේය. දශක ගනනාවක්ම ඒඑෆ්එල් සම්මේලනය තුල අධිකාරය දැරුවේ ඇහිඳගත් සමිති විසින්ය. එය මූලික කර්මාන්තයේ කම්කරුවන් සංවිධානය කිරීමේ උත්සාහයන්ට තිරිංඟයක් ලෙස ක්‍රියාකොට තිබුනි.

මාස ගනනකට පෙරාතුව වානේ සමිති සංවිධායක කමිටුවේ නායකයෝ, එක්සත් ජනපදයේ "විශාල වානේ” සමාගම සමග වැටුප් ගිවිසුමක් අත්සන් තබා සමිතියේ පිලිගැනීම ලබාගෙන තිබුනි. එමගින් ඔවුහු ඊට වඩා කුඩා වානේ නිෂ්පාදකයින්වූ රිපබ්ලිකන් වානේ, බෙත්ලෙහම් වානේ, යන්ග්ස්ටවුන් වානේ, ජාතික වානේ හා ඇමරිකානු රෝලිං ස්ටීල් (සුලු වානේ) යන සමාගම් ද ඒ මාවතට ඇදගත්හ. ඒ වෙනුවට සුලු වානේ සමාගම් බොහොමයක්, වෘත්තීය සමිතිවලට එරෙහිව කටුක අරගලයක නිමග්න වූහ. එක් ඉතිහාසඥයෙකුට අනුව, කම්කරුවන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා සූදානම් කිරීමේදී වානේ සමාගම්, 1933-37 අතර එක්සත් ජනපද මිලිටරියට වඩා වමනය ඇතිකරවන ගෑස් මිලට ගෙන තිබුනි.

වානේ නිෂ්පාදකයෝ 1870 ගනන්වලින් මොබ්බට, එක්සත් ජනපදයේ පැතිර පැවති කාර්මික සම්බන්ධතාවන්ගේ මෝස්තරය අනුගමනය කලහ. එම අවධිය අධිකාරවත් කලේ කම්කරු ඝාතන, සමාගම්වල ඔත්තුකරුවන් හා මැරයින් යොදාගැනීම, අධිකරන වාරන හා රාජ්‍යයේ කම්කරු විරෝධී ප්‍රචන්ඩත්වය මගිනි. අනුස්මරන දින ඝාතනය සිහිගන්වන්නේ, ඉතාමත් මූලික ප්‍රතිසංස්කරන දිනාගැනීම පිනිස ගෙනගිය කම්කරුවන්ගේ කටුක හා ලේවැකි අරගල මෙන්ම, ඇමරිකානු ධනපති පන්තියේ රුදුරු ස්වභාවයයි.

මෙම සිද්ධියේ අතිශයින්ම දැවෙන පාඩම වන්නේ, කම්කරු පන්තියේ විමුක්තිය සඳහා කෙරෙන අරගලය තුල දේශපාලනය, ඉදිරිදර්ශනය හා නායකත්වය දරන්නා වූ මූලික වැදගත්කම වටහා ගැනීමයි.

අනුස්මරන දින ඝාතනය ද ඉන් මසකට පසුව කරන ලද රූස්වෙල්ට්ගේ "ඔබගේ ආයතන දෙකම වසංගතයට ගොදුරුවී” ඇත ය කතාවත්, සීඅයිඕවේ දේශපාලන ඉදිරිදර්ශනයෙහි බංකොලොත්කම හෙලිදරව් කලේය. එනම් සමාජවාදී විරෝධය, ජාතිකවාදය හා කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීම ය.

සීඅයිඕව නැඟී ආවේ මහා අවපාතය කාලයේ කාර්මික කම්කරු පන්තියෙහි බලගතු පිබිදීමට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසය. මෙයට 1934 මිනියාපොලිස්, ටොලිඩෝ හා සැන් ෆ්‍රැන්සිස්කෝ මහා වැඩවර්ජන ද ඇතුලත්ය. එසේම මිචිගන්හි මෝටර් රථ කම්හල්වල පුපුරා විත්, උතුරු ඇමරිකාවේ මෝටර් රථ කර්මාන්තය හා අනෙකුත් කර්මාන්ත පුරා පැතිර ගිය, 1936 හා 37 වසරවල වාඩිලා ගැනීමේ වැඩවර්ජන ව්‍යාපාරය, එක්සත් මෝටර් රථ කම්කරු සංගමය (යූඒඩබ්ලිව්) බිහිවී වර්ධනය වීමට තුඩු දුන්නේය.

මෙම සියලු වර්ජනයන්හිදී මෙන්ම 1930 ගනන්වල ප්‍රන්සයේ හා ස්පාඤ්ඤයේ විප්ලවවාදී නැගිටීම්වලට සමගාමීව දිගහැරුනු අනෙකුත් මහා අරගල බොහොමයක දී සමාජවාදී හා සමාජවාදයට ලැදි කම්කරුවෝ මුඛ්‍ය ක්‍රියාකලාපයක් ඉටු කලහ. මෙය වානේ කර්මාන්තයට ද පොදු විය. එහිදී ඒඑෆ්එල්හි බංකොලොත් ඉදිරිදර්ශනයට එරෙහිව සටන් වැදීම පිනිස 1933 තරම් මුල් අවධියේ දී මතුව ආ කම්කරුවන් කන්ඩායමකගේ ව්‍යාපාරය දැකගත හැකි විය.

ආරම්භයේ පටන්ම සීඅයිඕහි එක්සත් පතල් කම්කරු සමිතිය හෙවත් යූඑම්ඩබ්ලිව් නායක ජෝන් එල්. ලෙවිස් හා ඇමරිකාවේ ඒකාබද්ධ ඇඟලුම් කම්කරු සමිතිය හෙවත් ඒසීඩබ්ලිව්ඒ සමිති නායක සිඩ්නි හිල්මන් යන නායකයෝ, කාර්මික සංඟමයේ ව්‍යාපාරය, සමාජවාදයෙන් ඉවතට දක්කා ඩිමොක්‍රටික් පක්ෂය සමග සන්ධානයකට ගෙන ඒමට උත්සුක වූහ. ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ද ආධාරය ලැබුනි. ඔවුහු ක්‍රෙම්ලිනයේ ප්‍රතිවිප්ලවවාදී "මහජන පෙරමුනු” ප්‍රතිපත්තියේ කොටසක් ලෙස රූස්වෙල්ට් හට සහාය දැක්වූහ.

එම ඉදිරිදර්ශනය, අනුස්මරන දින ඝාතනයේ අවධිය වන විටම දියබත්ව තිබුනි. සීඅයිඑඕහි හොඳම කාලය, ජෙනරල් මෝටර්ස් හා ක්‍රයිස්ලර් කම්හල්වල යූඒඩබ්ලිව් සමිතියට පිලිගැනීමක් ලබාගැනීමට හැකිවූ, 1936 අග හා 1937 මුල වාඩිලාගැනීමේ ව්‍යාපාරයයි. එක්සත් ජනපද වානේ කර්මාන්තය, ඊට මාස කිහිපයකට පෙරාතුව, ඩෙට්‍රොයිට් හා ෆ්ලින්ට් පෙදෙස් සොලවාලූ, පුපුරන සුලු වර්ගයේ අරගල වලක්වා ගැනීමේ උපායක් ලෙස, එස්ඩබ්ලිව්ඕසී-සීඅයිඕ සමිති පිලිගැනීම හරහා තම තරඟකරුවන්ට එදිරිව වෙලඳපොල වාසි දිනාගත්හ.

එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධාවතීර්න වීම ආසන්න වන තෙක් කම්කරුවන්ට කිසිදු මූලික සංවිධානාත්මක ජයග්‍රහනයක් ලබාගත හැකි වූයේ නැත. යුද්ධයේ දී ඒඑෆ්එල් හා සීඅයිඕ යන සංවිධාන දෙකම, යුද කාලීන වැඩවර්ජන අත්හිටුවීමේ පොරොන්දු බලගැන්වීමට එකඟවීම තුලින් රූස්වෙල්ට්ට හා ඇමරිකානු ධනේශ්වරයට සිය සේවය පුද කලහ. සීඅයිඕව අවසාන වශයෙන් සුලු වානේ හා ෆෝඩ් සමිගම්වල සංවිධාන ඇති කලේ මේ අවධියේය. එසේම මෙවකදී, මුලුමනින්ම පාහේ වෘත්තීය සමිතිගත නොකල, වාර්ගිකව කොන්කරනු ලැබූ දකුන, ඩිමොක්‍රටික් පක්ෂයේ අධිකාරයට යටත් කර අතහැර දමන ලදී.

ට්‍රොට්ස්කි, මෙක්සිකෝ සිටිහි සිය අවසන් පිටුවහලේ සිටිය දී ඇමරිකානු වර්ධනයන් සමීපව නිරීක්ෂනය කරන ලද අතර කාර්මික කම්කරුවන්ගේ නැගිටීම්වල ශක්‍යතාව මෙන්ම නිලධරය විසින් අටවන ලද දේශපාලන උගුල පිලිබඳව ද බෙහෙවින් සාවධාන විය.

ඔහු 1940දී මෙසේ ලිවීය. "සීඅයිඕවේ නැඟීම, කම්කරු ජනතාව තුල විප්ලවවාදී ප්‍රවනතා පිලිබඳ නිසැක සාධකයකි. කෙසේ වෙතත් ඉහලින්ම ඇඟවුම් සහගත හා සැලකිල්ලට ගත යුතු කාරනය වන්නේ, නව "වාම” වෘත්තීය සමිති සංවිධාන පිහිටවූ වහාම ඒවා අධිරාජ්‍යවාදී රාජ්‍යයේ වානේ ග්‍රහනයට හසු වීමය. පැරනි සම්මේලනයේ හා අලුත් සංවිධානයේ මුදුනන් අතර අරගලය බොහෝකොටම, රූස්වෙල්ට්ට හා ඔහුගේ කැබිනට්ටුවට අනුග්‍රහය හා සහාය පලකිරීම සඳහා ගෙන ගිය අරගලයකි.”

සීඅයිඕවේ විනාශයෙහි බීජ, එහි උපතේ පටන්ම ගැබ්කරගෙන තිබුනු බව ට්‍රොට්ස්කි දුටුවේය. මෙම අභිනිවේෂය තරයේම සනාථ වී තිබේ.

යුද්ධයේ අවසානයත් සමග ම වාගේ සමිති තියුනු ලෙස දකුනට පැද්දී ගියේය. 1945-46 එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම වර්ජන රැල්ල හමුවේ සීඅයිඕව, ප්‍රති කොමියුනිස්ට්වාදී දඩයමක් හා විරේකයක් දියත් කරමින්, 1933-37 කාලයේ අරගලයන්ට නායකත්වය ගත් සටන්කාමී කම්කරුවන් හා සංවිධායකයින් සිය සාමාජිකත්වයෙන් පහකර දැමූහ. මේ ආකාරයෙන් සමිති සම්මේලනය, රට තුලදී ධනවාදය ආරක්ෂා කිරීමහිලා සිය කැපවීමත්, විදේශයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සීතල යුද්ධ පිලිවෙතට දුන් සහායත් පැහැදිලිව ම ප්‍රදර්ශනය කලේය. මෙම ප්‍රතිගාමී පදනම මත සීඅයිඕව "ව්‍යාපාර සමිතිය” වන ඒඑෆ්එල් සමග 1955දී යලි එකමුතු විය.

සමිති නායකයින් ද සමාගම් හා මහා ව්‍යාපාරිකයේ දෙපක්ෂය ද අතර, 1940 ගනන් අග හරියේ සකසා ගැනුනු ව්‍යාපාරික "සමාජ ගිවිසුම” පදනම් වූයේ, පෞද්ගලික ලාභය ආරක්ෂා කිරීමත් විදේශයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහාය දීමත් මතය. කම්කරුවන් සංවිධානය කිරීම ද ඔවුන් සඳහා සීමිත ද්‍රව්‍යමය සහන සැලසීමෙහිලා ද හාම්පුතුන් සමග එක මේසයේ වාඩිවීමට තැනක් ලබා ගැනීම පිනිස අනුගමනය කල එම පිලිවෙතට අනාගතයක් පැවතුනේ, එක්සත් ජනපද කර්මාන්තයට ලෝක වෙලඳපොලවල අධිකාරයක් පැවති තාක් දුරට පමනි. 1970 හා 80 ගනන්වල මෙම මුදුන් තැන බිඳී ගිය කල ඒඑෆ්එල්-සීඅයිඕ තොග පිටින් දොට්ට දැමීම, වැටුප් කප්පාදුව හා වැඩ වේගවත් කිරීම් පැනවීම සඳහා සමාගම්වල උපකරන බවට පරිවර්තනය විය.

මෙම කම්කරු විරෝධී පිලිවෙත 2008 සැප්තැම්බරයේ වෝල් වීදියහි කඩාවැටීමත් සමග ආරම්භ වූ ධනේශ්වර ක්‍රමයේ ගෝලීය බිඳවැටීම හමුවේ, නව අදියරකට සේන්දු විය. කම්කරුවන්ගෙන් සූරාගනු ලබන ලාභයේ පංගුවකට හිලව් වශයෙන් අද දවසේ වෘත්තීය සමිති, සමාගම්වලට ලාභ ශ්‍රමය සම්පාදනය කරන ව්‍යාපාර ඒකකයන් බවට මුලුමනින්ම පරිවර්තනය වී තිබේ. එසේ ඔවුහු කම්කරු පන්තිය පසුගිය සියවසේ අරගලයන් තුලින් දිනාගත් සියලු ජයග්‍රහන අතුගා දැමීමේ අරමුන සහිත සමාජ ප්‍රති විප්ලවය සමග සහයෝගී වෙති.

2012 ජනාධිපතිවරනයේදී සමිති නිලධාරි තන්ත්‍රය, 1930 ගනන්වල රූස්වෙල්ට ප්‍රතිවිරෝධීව. සමාජ ප්‍රතිසංස්කරනය සමග මෙලොව සම්බන්ධයක් නැති, බරක් ඔබාමා ජනාධිපති ලෙස පත්කර ගැනීම සඳහා වෙන කවරදාකටත් වඩා විශාල වශයෙන් මුදල් පොම්ප කරන ආකාරය දැකගත හැකිය. ඔබාමා වෝල් වීදියට ට්‍රිලියන ගනනින් ඩොලර් කුට්ටි ලබාදුන් අතර මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් කපා හලේය. ඒ සමග ම ඔහු, නිදහස් අධ්‍යාපනය හා අනෙකුත් මූලික මහජන සේවාවන්ට දුර දිග යන ප්‍රහාර එල්ල කිරීමේ මුලිකත්වය ගෙන තිබේ.

අනුස්මරන දින ඝාතනයේ අවසන් පාඩම නම්, පාලක පන්තියේ පක්ෂ හෝ දේශපාලඥයින් කෙරෙහි කම්කරුවන්ට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය යන්නයි. වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් තමන්ගේ ම පක්ෂය ගෙඩනැඟිය යුතුය. මෙහි අර්ථය නම්, ධනේශ්වර ක්‍රමයට අවසන් තිත තබන අරගලයක්, ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම, පෞද්ගලික ලාභයේ නොව සමාජ අවශ්‍යතාවන්ගේ පදනම මත, එනම්, සමාජවාදී පදනමක තැබිය යුතු බවයි.

2012 ජනාධිපතිවරනයට ජෙරී වයිට් හා ෆිලිස් ෂරර් ඉදිරිපත් කරමින් සමාජවාදී සමානතා පක්ෂය ගෙන එන ඉදිරිදර්ශනය මෙයයි. විරැකියාවට, දුප්පත්කමට හා යුද්ධයට එරෙහිව සටන් කිරීමේ ඉදිරි මගක් සොයන සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අපගේ මැතිවරන ව්‍යාපාරයට ක්‍රියාශීලීව සහාය දෙන ලෙසත්, අපගේ ක්‍රියාමාර්ගය හදාරමින් සසපයට බැඳීමේ තීන්දුව ගන්නා ලෙසත්ය.

ටොම් මැකමන්

Share this article: