ලාඕස්හි පැවති ආසියා යුරෝපීය සමුලුව ආර්ථික හා මූලෝපායික ආතතීන් උලුප්පයි

Asia Europe Meeting in Laos marked by economic and strategic tensions

By Joseph Santolan , 9 November 2012

නොවැම්බර් 5,6 දිනවල ආසියාවේ හා යුරෝපයේ ආන්ඩු 52ක් නියෝජනය කල දේශපාලන නායක‍යෝ, වාර්ෂික ආසියානු යුරෝපීය රැස්වීම හෙවත් ඇසෙම් රැස්වීම සඳහා ලාඕස් නගරයට එක්වූහ. රැස්වීම පැවැත්වුනේ, මහා අවපාතයෙන් මෙපිට අතිවූ නරකම ගෝලීය ආර්ථික අර්බුදය හා ඔබාමා පාලනයේ ඊනියා ආසියාව වෙත ‘හැරීම’ සමග ගනන් බලා සිදුකරන චීනය වැටලීමේ ප්‍රතිපත්තිය මගින් කලාපයේ දේශපාලන හා මිලිටරි ආතතීන් තියුනු ලෙස පැතිරයන තතු තුලය. මෙම කාරනා දෙක සමස්ත සමුලුවේම තානය සැකසී ය.

රැස්ව සිටියවුන් අතර ජපන් අගමැති යොෂිහිකෝ නෝඩා, චීන අගමැති වෙන් ජියාබාවෝ, යුරෝපීය කවුන්සිලයේ සභාපති හර්මන් වෑන් රොම්පූයි හා යුරෝපීය කොමිසමේ සභාපති ජොසේ මැනුවෙල් බරෝසෝ ද වූහ. වියන්ටියෙන්හි පැවති රැස්වීමේ මුලසුන ගත්තේ ලාඕස් අගමැති තොන්සින් තමවොන්ග්ය.

යුරෝ කලාපයේ පැතිර යන ආර්ථික අර්බුදය සමහන් කිරීමේ යාන්ත්‍රනයක් ලෙස ආසියානු රටවල් යුරෝපීය භාන්ඩ සඳහා සිය ඉල්ලුම වැඩිකල යුතුය යන්න යුරෝපීය නායකයින් පුනරුච්ඡාරනය කල අතර න්‍යාය පත්‍රයේ මුල්තැන ගත්තේය. ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා හොලන්ද් එක එල්ලේ මෙසේ පැවසීය. "ආසියානුවන් අපගේ වර්ධනයෙන් බොහෝ පල නෙලාගෙන තිබේ. ඔවුන්ගේ ඉල්ලුම වැඩිකරමින් අපගේ වර්ධනයට තල්ලුවක් දීමට දැන් ඔවුන්ට කාලය එලඹ තිබේ.”

මෙම ඉල්ලුම එහි සංයුක්ත ප්‍රකාශනය හෙලි දැක්වූයේ යුරෝපීය නියෝජිතයින් ඉදිරියට ගෙන ආ විවිධාකාර නිදහස් වෙලඳ ගිවිසුම් (නිවෙගි) වලිනි. යුරෝපීය කොමිසමේ සභාපති බරෝසෝ, සමුලුව නිමා කරමින් මෙසේ පැවසීය. "යුරෝපය, දකුනු කොරියානු ගිවිසුම පාද ලාංචනය ලෙස ගනිමින් නව පරම්පරාවක නිවෙගි අනුගමනය කරයි. ආරක්ෂනවාදය බැහැර කිරීම මගින් සංවර්ධනයට පිවිස සිටින අප විශාලතම වෙලඳපොල ද වන බැවින් ආසියාවට ද ආරක්ෂනවාදයෙන් මිදීම වැදගත් වන්නේය. හැකි තරම් සමබර ක්‍රීඩාංඟනයක් ලබාගැනීම පිනිස යුරෝ කොමිසමට ආරක්ෂනවාදය ඉවත් කිරීම අවශ්‍ය වන්නේය. ඇතුලතට නැඹුරුවීමේ පෙලඹීම මගහැර ගැනීම රටවල් වලට වැදගත් වන්නේය.”

යුරෝ කලාපීය නායකයින් බලන්නේ, තම ආසියානු සහචරයින් ලවා ඔවුන්ගේ රටවල ආර්ථිකයන්ගේ කුමන හෝ නියාමන නැත්නම් තීරුබදු බාධක මුලුමනින්ම ඉවත්කරවා ගැනීමට ය. මෙය කුරිරු කප්පාදු පියවරයන් බලගැන්වීමට ද අදාල වන්නේය.

සමුලුවේ ඒකාබද්ධ ප්‍රකාශනය තුල බරෝසෝ හා වෑන් රොම්පූයි මෙසේ ප්‍රකාශ කරති. "රාජ්‍ය නය පහත හෙලීමටත්, සෞඛ්‍ය සම්පන්න බැංකු ක්‍රමයක් සහතික කර ගැනීමටත්, තිරසාර වර්ධනයක් හා ස්ථාවර පොදු හුවමාරු අනුපාතිකයක් සඳහාත් යුරෝපීය සංගමය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. අනෙක් අය ද තමන්ගේ කොටස ඉටුකිරීම අවශ්‍ය ය. විශේෂයෙන්ම අපි ආසියානු රටවලින් ඉල්ලුම් කරන්නේ, තම පොදු වියදම් ස්ථාවර කර ගන්නා ලෙසත්, තම වර්ධන රටාව යෝග්‍ය පරිදි ප්‍රති තුලනය කරන ගමන් ගෝලීය ප්‍රකෘතිය තිරසාර කර ගැනීමට සහයෝගීව අප සමග වැඩකරන ලෙසයි.”

මෙය ආසියානු කම්කරු පන්තියට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. මේ වනාහි, ග්‍රීසිය හා ස්පාඤ්ඤය වැනි රටවල් වනසා දමමින් දැනට ක්‍රියාත්මක කරන රුදුරු කප්පාදු බලගැන්වීම සඳහා යොදාගන්නා එම බාසාවම ය. ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මෙන්ම යුරෝපය පුරා ද කම්කරුවන් දැනටමත් විනාශයට ඇද දමා තිබෙන යුරෝපීය ස්වෛරී නය අර්බුදය මගහරවා ගැනීමට උදව්වක් වශයෙන්, ආසියාවේ කම්කරුවන් මත නව බර පැටවීමට යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධන අධිකාරීහු උත්සාහ දරමින් සිටිති.

අවසන් ප්‍රකාශන කෙටුම්පතේ සාරාංශගතකර තිබෙන පරිදි යුරෝපීය නය අර්බුදය මගින් පටවන ලද "සැලකියයුතු අවිනිශ්චිත භාවයක් හා පතුලේ ඇති අවදානම් වලට ආසියා යුරෝපීය රැස්වීමේ සහකරුවන්ට” මුහුනපෑමට සිදුව ඇතැයි යන කනස්සල්ල මගින් ආසියානු නායකයින් ඊට ප්‍රතිචාර දැක්වූහ.

ආසියානු යුරෝපීය නායකයින් ද දන්නා පරිදි චීනයේ හා අවශේෂ ආසියාවේ ඉල්ලුම මගින් යුරෝපීය මූල්‍ය අර්බුදය විසඳිය නොහැකි ය. ධනවාදයේම අති මූලික ප්‍රතිවිරෝධයන් තුල මුල්බැස ඇති 2008 ආරම්භවූ ආර්ථික අර්බුදය ගෝලීය මෙන්ම පද්ධතිගත අර්බුදයකි. යුරෝ සංගම් හා එක්සත් ජනපද පසුබෑම හා එකතැන පල්වීම, චීනයේ හා අවශේෂ ආසියානු ආර්ථිකයන්ගේ අපනයන කර්මාන්තයන් මත ප්‍රගාඪ රිනාත්මක ප්‍රතිවිපාක ජනනය කර තිබේ. "වෙලඳාම, යුරෝපීය අර්බුදය සඳහා කෝකටත් තෛලයක් ලෙස අපි දකින්නේ නැත” යනුවෙන් කියන විට බරෝසෝ ද මෙය පිලිගෙන තිබේ.

මෙම සමුලුවට එක්සත් ජනපදයේ ඉහල ප්‍රතිපත්ති සම්පාදකයින් කිසිවෙකුත් සහභාගී නොවුන ද වැසූ දොරවල් පිටුපස දෙදිනක් තිස්සේ පැවති පූර්න සමුලු සැසිවාරයන්හි දී සමුලු න්‍යාය පත්‍රය මෙන්ම නිගමන ද කෙටුම්පත් කිරීමේ දී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් යුරෝ සංඟමයේ විදේශ කටයුතු පිලිබඳ හා ආරක්ෂාව පිලිබඳ ප්‍රධාන නිලධාරිනිය වන කැතරින් ඇෂ්ටන් 2012 ජූලි 12දා නොම්පෙන්හි දී හමුවූ අතර එහිදී සමුලුවේ මූලික වැඩසටහන ගෙනහැර දැක්වීය. ඔවුන්ගේ සාකච්ඡාවේ සමාප්තිය "ආසියානු පැසිෆික් කලාපයේ යුරෝ සංගමය හා එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශය” ලෙස ප්‍රසිද්ධියට පත්කරනු ලැබිනි. එහි මෙසේ සඳහන් විය. "සාගරයේ නීතිය ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි පිලිබිඹු වන ආකාරයට ජාත්‍යන්තර නීතිය මත පදනම්ව සාගරික ආරක්ෂාව දැඩි කිරීම පිලිබඳව ආසියානු සහකරුවන් සමග දෙපක්ෂයම වැඩ කරනු ඇත.” මේ සන්දර්භය තුල දකුනු චීන මුහුද තුල චර්යාධර්ම පද්ධතියක් සඳහා වන අවශ්‍යතාවය ප්‍රකාශය තුල පැහැදිලිවම සඳහන් වෙයි.

කලාප‍යේ එදිරිවාදීන් මත වොෂින්ටනයේ ආසක්තයන් පැටවීම පිනිස එක්සත් ජනපදය යොදාගන්නා අවිය ලෙස මෙවන් චරියාවන් සඳහා තල්ලුව ඇතිවෙයි. මතභේදාත්මක මුහුදු ප්‍රදේශයේ ප්‍රතිවාදී හිමිකම් පාන්නවුන් එකිනෙකා හා තමන් අතර ඒකපාර්ශවික සාකච්ඡා වෙනුවෙන් චීනය කැඳවුම් කරයි. වොෂින්ටනය අවධාරනය කරන්නේ, එක්සත් ජනපදය ප්‍රමුඛ සම්බන්ධීකරන ක්‍රියාවලිය ඉටුකරනු ලබන, බහු පාර්ශවික සාකච්ඡා මත පදනම් වූ චරියා ධර්ම පද්ධතියක අවශ්‍යතාවයයි.

වියට්නාමය හා ෆිලිපීනය වැනි රටවලට චීනය සමග ඇති සිය භෞමික මතභේද වඩාත් ආක්‍රමනශීලී ලෙස පෙරට ගෙනයාමට දිරිදීම මගින් දකුනු චීන මුහුදේ ආතතීන් නාටකාකාර ලෙස තියුනු කිරීමට වොෂින්ටනය මැදිහත්වී තිබේ. කලාපීය ඝර්ෂන උසිගන්වන අතර එක්සත් ජනපදය, චීනයේ නොදැමුනුකම ලෙස එය ඉදිරිපත්කරන කාරනය විවේචනය කරමින් මැදිහත්කරුවෙකු ලෙස තම තත්වය නංවාගැනීමට උත්සාහ කරයි.

සමුලුව විසින් නිකුත් කරන ලද 2012 වියන්ටයින් ප්‍රකාශන‍යේ සමාප්තිය තුල චරියාධර්ම පද්ධතියක් වෙනුවෙන් කැඳවුම යලි ගෙනහැර දැක්වෙයි. ආසියාන් හෙවත් ඊසානදිග ආසියානු ජාතීන්ගේ වාර්ෂික සම්මේලනය දෙසතියක ඇවෑමෙන් කාම්බෝජයේදී පැවැත්වීමට නියමිත ය. ඊට සහභාගිවන ඔබාමා පසුව බුරුමයට හා තායිලන්තයට යනු ඇත. චීනය මත ආර්ථික. මිලිටරි හා දේශපාලනික පීඩනය දැඩි කිරීමට මේ මාසය අවසානයේ දී ආසියා යුරෝපීය සමුලුවේ පසුබිම වොෂින්ටනය විසින් යොදාගනු ඇති අතර කලාපීය ආතතීන් තවත් තියුනු කරමින් ගැටුමක අන්තරාය තවත් වැඩි කරනු ඇත.

Share this article: