සැන්ඩි සුලි කුනාටුව හා ධනපති “නිදහස් ව්‍යවසාය”

Hurricane Sandy and capitalist “free enterprise”

1 November 2012

දස මිලියන ගනනක ජනතාවට බලපෑ සමාජ පීඩා, විශේෂයෙන්ම ජනතාව සැන්ඩි සුලි කුනාටු‍ෙව් ගමන් මගෙහි ශේෂ කල විනාශයට මුහුන දෙනවිට ඇමරිකානු සමාජයේ හදවතෙහිම පවතින මූලික ආර්ථික හා සමාජ ප්‍රතිවිරෝධතා අනිවාර්යයෙන්ම එලිමහනට පැමිනෙයි. නැගෙනහිර වෙරල තීරයේ මිලියන අටක ජනතාවට විදුලි බලය නොලැබීමත්, කිව් යෝර්ක් නගරයේ යටිබිම් සංකීර්නයන් හා නිව් ජර්සිහි ගමනාගමන හා ප්‍රවාහන පද්ධතියත්, රටේ වානිජ්‍ය ගුවන් සේවා කඩාකප්පල් වීම හා නිමක් නැති නිවැසියන් හා සාප්පු හිමියන් ආර්ථික ව්‍යසනයකට මුහුන දීමත්, පැහැදිලිවම ඉල්ලා සිටින්නේ දැවැන්ත හා මධ්‍යගතව සම්බන්ධීකරනය කල සමාජ ප්‍රතිචාරයකි.

සැන්ඩි මුදාහල ගංවතුර ප්‍රවාහය නුතන සමාජයේ සංකීර්න හා අන්තර් සම්බන්ධිත ස්වභාවයත්, බුද්ධිමත් හා සමාජීයව ක්‍රියාවට නඟන සැලසුම්කරනයක අවශ්‍යතාවත් යලි වතාවක් ඉස්මතු කර තිබේ.

ගනන් බලා ඇති හානිය ඩොලර් බිලියන 50-70 අතර ප්‍රමානයකි. එක්සත් ජනපදයේ රක්ෂන ක්‍රමය ආවරනය කරන්නේ සුලි කුනාටු විපත් වලින් සියයට පනහක් හෝ ඊට අඩු ප්‍රමානයකි. ඔවුන් නිවැසියන්ට ගංවතුර හානි සඳහා වන්දි ගෙවන්නේ නැත. කැතරිනා සුලිකුනාටුවේ දී හා බීපී තෙල් කාන්දුවේ දී සිදුවූ ආකාරයටම මේ සතියේ කුනාටුවෙන් මූල්‍යමය වශයෙන් ව්‍යසනයට මුහුනපාන අයට ද කිසිදු පිලිසරනක් නොලැබෙනු ඇත.

අවශ්‍ය වන්නේ බිලියන සිය ගනනක දැවැන්ත සම්පත් ප්‍රමානයක් යොදවා විදුලි බලය, ගමනා ගමන හා ප්‍රවාහනය යථා තත්වයට පත් කිරීම, හානි සිදුවූ යටතල පහසුකම් අලුත්වැඩියා කිරීම, කුනාටුවෙන් විපතට පත් පවුල් වලට සහන සැලසීම හා කුනාටු හානි අවම කිරීම හා ජල පාලන ක්‍රම, ගමනා ගමන හා ප්‍රවාහනය, විදුලි බල උත්පාදනය හා බෙදාහැරීමේ ක්‍රම නගාසිටුවීම සඳහා පුලුල් වැඩ සටහනක් දියත් කිරීමයි.

කෙසේ වෙතත් මෙවැන්නක් පවත්නා ධනේශ්වර ක්‍රමය තුල කල නොහැකිය. ධනවාදයේ අත්තිවාරම ලෙස පවතින නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය හා ආර්ථික ජීවිතය ව්‍යාපාර ලාභයට යටත් කිරීම, පොදු අවශ්‍යතා සඳහා සමාජයේ සම්පත් යෙදවුමට සෑම තැනකදීම හරස්ව පිහිටයි.

උපරිම කුනාටු තත්වය තුල "නිදහස් වෙලඳපොල” හා "කුඩා ආන්ඩුවක්” යන ප්‍රතිකර්ම පසෙකට දමමින් සියලු දෑස් යොමු වූයේ ආධාර සදහා වොෂින්ටනය වෙතය. ඒ අනුව නිව් ජර්සිහි අන්ත දක්ෂිනාංශික රිපබ්ලිකන් ආන්ඩුකාරයා වන ක්‍රිස් ක්‍රිස්ටි මැතිවරනයට දින ගනනක් තිබිය දී සිය ප්‍රාන්තය තුල ඉක්මනින්ම හදිසි තත්වය ප්‍රකාශ කර ෆෙඩරල් ආන්ඩුවේ යලි ගොඩනැඟීමේ අරමුදල් නිදහස් කිරීම පිලිබඳව ඔබාමාට බෙහෙවින් ප්‍රශංසා කලේය.

එහෙත් කුනාටුවෙන් ඉක්බිතිව, කුනාටුවෙන් සිදුවූ හානි පිලිසකර කිරීම සම්බන්ධයෙන් මධ්‍යගතව සංවිධානය කරන මහා පරිමානයේ ප්‍රතිසංස්කරන පිරිවැය හා ආන්තික කාලගුනික සිද්ධීන් හා එමගින් සිදුවන හානි අවම කිරීමට අවශ්‍ය කෙරෙන පියවර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යයේ හා දේශපාලන සංස්ථාපිතයේ ආදර්ශ පාඨය වූයේ, "මූල්‍ය සීමාවන්” ය.

"අතගැසිය හැකි සියලු සම්පත්” මුදාහරින බවට පොරොන්දු වූ අතර පවා ජනාධිපති ඔබාමා කියා සිටියේ "මෙම ප්‍රජාවන්ට ප්‍රකෘතිමත් වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන” බවයි. ඊට සමානව නිව් යෝර්ක්හි බිලියනපති නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් පැවසුවේ සැන්ඩි විසින් සිදුකල විනාශය "සැලකිය යුතු කාලයක් පුරා දැනෙනු ඇති” බවයි.

වොල් ස්ට්‍රීට් ජර්නලය සඳහන් කලේ, "පොලොව යට විහිදුම් සංකීර්න, මහාමාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරනය වෙනුවෙන් මූල්‍ය සම්පාදනයෙහිලා ප්‍රාන්තයේ මෙන්ම මධ්‍යම ආන්ඩුවේ බදු ගෙවන්නන් මූලිකත්වය ගනු” ඇති බවයි. වෙනත් වචන වලින් කිවහොත් මේ පිලිබඳව ජාතික මට්ටමේ කිසිදු බැරෑරුම් ප්‍රතිචාරයක් පල නොවන බවයි.

මූලික නිෂ්පාදන බලවේග පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පවතින, එම අවශ්‍යතා දේශපාලඥයින්ගේ හා ආන්ඩුවල ප්‍රමුඛතාවන් අනුව තීරනය කෙරෙන තත්වයක සියලු සම්පත් යොදවනු ලබන්නේ නිව් යොර්ක් කොටස් වෙලඳපොල ප්‍රකෘතිමත් කර 31දා වන විට එය ක්‍රියාත්මක කිරීමටය. ඒ අඳුරේ ගිලී ගිය මෑන්හැටන්, බ්රූක්ලීන් හා ක්වීන්ස්හි ප්‍රජාවන්ගේ පොදු නිවාස ව්‍යපෘතීන්හි වාසය කරන කම්කරු පන්තියට ඔවුන්ගේ නිවාස වලට විදුලිය සැපයීම සඳහා දින ගනනාවක් නැත්නම් සති ගනනාවක් හෝ ඊටත් වැඩි කලක් ගතවනු ඇති බවට බ්ලූම්බර්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේය.

පුලුල් වශයෙන් කථා කලහොත් "මූල්‍ය සීමාවන්,” වෝල් වීදියේ බැංකු ගලවා ගැනීමට ද මූල්‍ය සමපේක්ෂකයින්ගේ වාසනාවට බාධා නොවන පරිදි ඔවුන්ට සහන සැලසීම පිනිස බදු ගෙවන්නන්ගේ ඩොලර් ට්‍රිලියන ගනනක් මුදාහැරීමෙන් එක්සත් ජනපද ආන්ඩුව වැලැක්වූයේ නැත. සැන්ඩි සුලි කුනාටුව වැනි සිදුවීම් වලින් ඉස්මතු කරන්නේ, පරපුටු මූල්‍ය වංශාධිපති පැලැන්තියක් පවත්වාගෙන යාම සඳහා දැවැන්ත සමාජීය සම්පත් හරවා යවන ක්‍රමයක හානිකර ප්‍රතිවිපාකයන්ය.

සැන්ඩි යෝධ හා බෙහෙවින් විනාශකාරී කුනාටුවක් විය. එහෙත් කුනාටුවේ බලපෑම, දශක ගනනාවක සමාජ නොසැලකීම, එවන් සිදුවීමකට මුහුන දීමට අවශ්‍ය සූදානමක් නොතිබීම හා යටිතල ව්‍යුහයේ දිරාපත්වීම මගින් වඩාත් නරක අතට හැරුනි. මේවා පවා මුල්බැස ඇත්තේ ධනේශ්වර ‍ෙපෟද්ගලික අයිතිය හා ලාභ පද්ධතියේ ප්‍රමුඛතා තුලය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය 31දා වාර්තා කලේ, විද්‍යාඥයින් වසර ගනනාවක් තිස්සේ නිව් යෝර්ක් නාගරිකයේ හා රාජ්‍යයේ නිලධාරීන්ට පුලුල් ලෙස පැතිරෙන ගංවතුර තත්වයක් හා විදුලිබල, ගමනා ගමන හා ප්‍රවාහන ජාලයන්ට හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබුනු බවයි. දේශගුනික විපර්යාස "මුහුදු මට්ටම් ඉහලයාමක් නිරන්තර ගංවතුර හා ආන්තික කාලගුනික හැසිරීම්” නිර්මානය කිරීමට තුඩුදෙයි. ඔවුන් පවසා තිබුනි.

නිව් යෝර්ක් නාගරික ප්‍රවාහන අධිකාරිය 2007 පත්කල බ්ලූ රිබන් කොමිසමක්, මේ සතියේ සිදුවූ ආකාරයටම යටිබිම් කානු හා මාර්ග පද්ධතීන් ගංවතුරට යටවීමේ හැකියාව පිලිබඳව අනතුරු අඟවා තිබුනි. "නිව් යෝර්ක් නගරයේ වරාය හා මෝය කට සඳහා මූලෝපායිත කුනාටු බාධක” ඉදිකරන්නැයි එය ඉල්ලා තිබුනි.

කෙසේ වුව ද ,ටයිම්ස් ලිපිය, එවන් කුනාටු බාධක ඉදිකිරීම "යථාර්තවත් මූල්‍ය ගනන් බැලීම් අනුව තැතිගන්වන සුලු” යයි පිරික්සුම්කාරී විය. ඔවුන් තක්සේරුකර තිබූ වියදම වන ඩොලර් බිලියන 10 සැබවින්ම, බුෂ් හා ඔබාමා ජනාධිපතිවරු මෑන්හැටන් මූලස්ථානය කරගත් බැංකුවලට පොදු අරමුදල් වලින් දුන් බිලියන සියගනන් සමග බලන විට සොච්චමකි.

නිව් යෝර්ක්හි "මූල්‍ය යථාර්තයන්” පිලිබඳව නම්, ඔබාමා බ්ලූම්බර්ග් හා එහි ආන්ඩුකාර ඇන්ඩෘ කියුමෝ ආරක්ෂක අරමුදල් හෝ බැංකුවල කිසිදු බදු වැඩිකිරීමකට විරුද්ධවූ අතර ඔවුන් කියා සිටියේ සමාජ වැඩසටහන්, රැකියා හා රාජ්‍ය අංශයේ වැටුප්වල දරුනු කප්පාදු සිදුකල යුතු බවයි.

විදුලිබල පද්ධතිය තවත් අවධානය යොමුවූ කාරනයකි. නිව් යෝර්ක්හි පෞද්ගලික අයිතිය යටතේ ඇති උපයෝගිතා සමාගමක් වන කොන්සොලිඩේටඩ් එඩිසන්, සිය මූල්‍ය ශක්තිය පවත්වාගෙන යාම සදහා දශක ගනනාවක් තිස්සේ නවීකරනය කෙසේ වෙතත් නඩත්තු කටයුතු වෙනුවෙන් පවා නිර්ලෝභී නොවීය. කෙසේ ද වුවත් පසුගිය ග්‍රීෂ්මයේ, අලුතින් බඳවා ගන්නා අයගේ විශ්‍රාම සහන නිශ්චය කර ගැනීමටත් එහි කම්කරුවන් මත ඉහල සෞඛ්‍ය සේවා වියදම් පැටවීමටත් ශ්‍රමිකයින් මාසයක කාලයකට දෙට්ට දැමීම සඳහා කාලය මෙන්ම මුදල් ද සොයා ගැනීමට සමාගමේ කොන්එඩ් අසමත් නොවීය.

එක්සත් ජනපදයේ පවත්නා විදුලිබල උත්පාදන පද්ධතිය අතාර්කික, යල්පැනගිය හා දුර්වල ක්‍රියාකාරිත්වයකින් යුක්ත වන අතර එය එදිරිවාදී සමාගම්වල අච්චාරුවකි. එහි විදුලි උපයෝගිතා 3,100කට වඩා ඇත. ලාභ උපයන සමාගම් රටේ පාරිභෝගිකයින්ගෙන් සියයට 73කට විදුලිය සපයයි. ඇමරිකානු සිවිල් ඉන්ජිනේරුවන්ගේ සමාජය 2009දී රටේ බලශක්ති පද්ධතියට ලබා දුන්නේ ඩී+ වර්ගීකරනයයි. පසුගිය 30 වසර පුරාවට නව බෙදා හැරීමේ විදුලි ජනක සඳහා වාර්ෂික ආයෝජන පිරිහීගොස් හෝ එකතැන පල්වෙයි. 2030 වන විට විදුලි උපයෝගිතා වෙනුවෙන් කල යුතු ආයෝජනය ඩොලර් ට්‍රිලියන 1.5 න් වැඩිකල යුතු බවට එය ගනන් බලා තිබුනි.

ගෝලීය උනුසුම්වීම හා යටිතල ව්‍යුහය නංවාලීම ද ඇතුලු ගමන් මගේ හා සමාජ ප්‍රමුඛතාවන්හි පෙරලිකාරී වෙනසක් නොමැතිවුවහොත් සැන්ඩි සුලි කුනාටුව වැනි ව්‍යසනයන් එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් ජන ජීවිතයේ වඩ වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත. ගෝලීය ආර්ථික අර්බුදයේ හා මහා විරැකියාවේ කොන්දේසි හමුවේ මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව කෙරෙහි ඇතිකෙරෙන බලපෑම පෙර නොවූ විරූ තරම් රුදුරු වනු ඇත.

මෙම තර්ජනයට මුහුනදීමේදී වැඩකරන ජනතාව, ගැටලුවේ මූලය ධනපති ක්‍රමයම බව වටහා ගත යුතු අතර සමාජවාදය සඳහා සටන් වදින ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමට දැනුවත් තීන්දුවක් ගත යුතුය. නිෂ්පාදන මාධ්‍යයන් පුද්ගලික අයිතියෙන් ඉවත් කල යුතුය. මහා ව්‍යාපාර හා බැංකු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ ජනසතු කල යුතුය.

සමාජ ධනය සමානව හා පෞද්ගලික ලාභය හා පෞද්ගලික කෑදරකම සඳහා නොව පොදු සමාජ ශුභසාධනය වෙනුවෙන් යෙදවීම සඳහා තාර්කික සැලසුමකට අනුව ආර්ථික ජීවිතය වර්ධනය කරන කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා පදනම මේ අනුව සම්පාදනය කරනු ඇත.

මිනිසාට ස්වාභාවික විනාශයන් අහෝසි කල නොහැක. එහෙත් ඔහුට ඒවා ඇතිවන වාරගනන හා ඒවායේ ප්‍රචන්ඩත්වය පවා අවම කිරීමටත් ඒ අනුව පොදු යහපත උදාකිරීමටත් හැකිය. එසේ කිරීම සඳහා ඔහු පලමුවෙන් තමන්ගේ සමාජයේ පාලනය සියතට ගත යුතුය.

බැරී ග්‍රේ

Share this article: