ඊස්රායලය සිරියාවට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර යි

Israel launches missile strike against Syria

By Niall Green, 12 November 2012

පසුගිය සතියේ මැතිවරනයෙන් බරක් ඔබාමා නැවත පත්කර ගැනීමට පසුව වොෂින්ටනය හා එහි සහචරයරන් සිරියාවට එරෙහි සිය යුද ව්‍යායාමය වේගවත් කර ඇත. මෙම මැද පෙරදිග රටෙහි මාස 20ක ගැටුම දැඩි වීම හමුවේ ඊස්රායල් සන්නද්ධ හමුදා 11දා සිරියානු බල ප්‍ර‍ෙද්ශයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කලහ.

නවීන ටමූස් මෙහෙයුම් මිසයිල ප්‍රහාරය, 1973 යොම් කිපූර් යුද්ධයෙන් පසු ඊස්රායල් ආරක්ෂක හමුදා එල්ල කල පලමු පිලිගත් ප්‍රහාරය යි. ඊස්රායල් යුද ගුවන්යානා 2007 දී සිරියානු න්‍යෂ්ටික ව්‍යාපෘති මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කල නමුත් කිසි ම පාර්ශ්වයක් කිසිවිටෙකත් එය නිල වශයෙන් පිලිගත්තේ නැත.

දමස්කස් ආන්ඩුව සිදු වූ හානිය පිලිබඳව කිසිදු විස්තරයක් නිකුත් නොකල ද ඊස්රායල් මිසයිලය සිරියානු හමුදා කඳවුරකට එල්ල කල බව වාර්තා විය.

ප්‍රහාරය එල්ල කරන ලද්දේ, 1967 සිට ඊස්රායලය බලහත්කාරයෙන් වාඩිලාගෙන සිටින ගෝලාන් කඳුකරයට සිරියානු මෝටාර් වෙඩිල්ලක් පතිතවීමට ප්‍රතිචාර වශයෙනි. ඉලක්කය වැරදුනු බව පෙනෙන්නට ඇති මිමි120 සිරියානු ෂෙල් වෙඩිල්ල මගින් කිසිවෙකු මියගිය හෝ තුවාල ලැබූ බවට වාර්තා වී නොමැත.

ටමූස් මිසයිලය සිරියානු බල ප්‍ර‍දේශයට පහර දුන්නාට පසුව ඊස්රායල් හමුදා ප්‍රකාශයක් මෙසේ පැවසීය. "ආරක්ෂක හමුදා අනතුරු ඇඟවීමේ පහරක් එල්ල කරමින් තවත් ප්‍රහාරයන් පිලිබඳව අනතුරු අඟවන පනිවුඩයක් එක්සත් ජාතීන් හරහා සිරියානු හමුදාවන් වෙත යැවී ය. අමතර ප්‍රහාරයකට ක්ෂනිකව ප්‍රතිචාර දනවනු ඇත.”

පසුගිය මාස දෙක තිස්සේ සිරියානු ෂෙල් වෙඩි හතක් ගෝලාන් කඳුකරයේ ඊස්රායලය යටත්කරගෙන සිටින ප්‍ර‍දේශයට වැටී ඇතැ යි ඔවුන් පිලිගත්තේ ය. මේවා , ඊස්රායලයේ ප්‍රතිප්‍රහාරයකට තුඩු නොදුන් අතර සිරියානු ආන්ඩුවේ හමුදා හා "කැරලිකරුවන්” අතර සටනේදී ඉලක්ක වැරදී ගිය ප්‍රහාරයන්ගේ ප්‍රතිඵල වියහැක.

එක්සත් ජනපද මැතිවරනය දක්වා වූ සතිය තුල දී ඊස්රායලය සිරියානු ෂෙල් වෙඩි නොදුටුවාක් සේ සිටි බව පෙනුනු අතර දැන් ප්‍රහාරයක් එල්ල කිරීමට එරට ආරක්ෂක හමුදා ගනු ලැබූ තීරනය ඇඟවුම් කරන්නේ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව සමග ගැටුමේ නව අවධියකට වොෂින්ටනය හා එහි මිතුරන් අවතීර්න වෙමින් සිටින බව යි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක කාර්ය මන්ඩල ප්‍රධානී ජෙනරාල් සර් ඩේවිඩ් රිචර්ඩ්ස් විසින් ප්‍රධාන බලවතුන් හා සිරියානු තන්ත්‍රය සමග විවෘත ගැටුමක් දෙසට හැරීමක් පිලබඳ වැඩිදුර සාක්ෂි සපයන ලදී, සිරියාව තුලට බ්‍රිතාන්‍ය හමුදා මැදිහත්වීමක් සඳහා සැලසුම් නිසි පරිදි තිබෙන බව ඔහු 11දා බීබීසීයට හෙලි කලේ ය.

සීත කාලයේ දී සිරියාව තුල මානවහිතවාදී අර්බුදය නරකින් නරකට යනු ඇති අතර එමගින් "සීමාසහිත ආකාරයක මැදිහත්වීමක් සඳහා” පීඩනය වැඩි කරනු ඇතැ යි තමා බලපොරොත්තු වන බව ජෙනරාල් රිචර්ඩ්ස් බීබීසී රූපවාහියේ ඇන්ඩෘ මාර් ෂෝට පැවසී ය.

"සැබවින් ම අපි මේ සියලු දේ ආවරනය කිරීමට හදිසි සැලැසුම් සකස් කරනවා. අපට ඒවා මුදාහල හැකි ද ඒවා විශ්වාස කල හැකි ද යන්න සහතික කර ගැනීමට විකල්ප නොකඩවා සලකා බලනවා ද යන්න සහතික කර ගැනීම මගේ රාජකාරිය” යි යනුවෙන් ජෙනරාල් රිචර්ඩ් හෙලිකලේ ය.

එක්සත් රාජධානියේ ඉහල ම සොල්දාදුවා "මානවහිතවාදී” භාෂාවෙන් ඔහුගේ අදහස් වචනයට නගන අතර බ්‍රිතාන්‍ය හා මිත්‍ර හමුදාවන්ගේ ඕනෑ ම සිරියානු දේශසීමා ආක්‍රමනයක් යුද්ධ පියවරක් වනු ඇති අතර එය දමස්කසයේ හමුදා ප්‍රතිප්‍රහාර ඇවිලවීමට තර්ජනය කරමින් සිරියාව හා මුලු කලාපය ම වඩාත් ගැඹුරු කැලඹීකට ඇද දමනවා ඇත.

නේටෝ හා මැද පෙරදිග මිතුරන් සමග ක්‍රියාකරමින් බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය විසින් කෙරෙන එවැනි හමුදා මැදිහත්වීමක්, අසාද් තන්ත්‍රය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වාගෙන යන හා කලාපය තුල වොෂින්ටනය විසින් නායකත්වය දෙනු ලබන හමුදා ආක්‍රමනයක පිපිරී‍මේ කර්ජනය පිලිබඳව සංවේදී වන ඉරානය, රුසියාව හා චීනය සමග පුලුල් ගැටුමක් ද ඇවිලවිය හැක.

සිරියාවට එරෙහිව එවැනි ප්‍රධාන ප්‍රහාරයක් සඳහා සූදානම්වීමේදී ඔබාමා පාලනය, මේ වන තෙක් තමන් වාරු වී සිටි විපක්ෂ දේශපාලන කන්ඩායම් සමහරකගෙන් උපක්‍රමික වෙන්වීමක් අරඹා ඇත.

ඔක්තෝබර් 31වැනිදා ක්‍රොඒෂියාවේ ෂාග්‍රෙබ්හි මාධ්‍ය සමුළුවක් අමතමින් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කලේ, එක්සත් ජනපදය තම සහයෝගය සිරියානු ජාතික සභාවෙන් (එස්එන්සී) නව විපක්ෂ නායකත්වයක් වෙතට මාරුකරමින් සිටින බව යි.

වසරකට වැඩි කාලයක් එස්එන්සීය සිරියානු ජනතාවගේ "නීත්‍යානුකූල” නියෝජිතයන් ලෙස පිම්බීමෙන් පසුව දැන් ක්ලින්ටන් ප්‍රකාශ කරන්නේ ඔවුන් "තවදුරටත් විපාර්ශ්වයේ පැහදිලි නායත්වයක් ලෙස දැකිය නොහැකි” බව යි.

එස්එන්සීය "විශාල විපක්ෂයක කොටසක්” විය හැකි යයි ක්ලින්ටන් පිලිගත්තා ය. "එහෙත් එම විපක්ෂයට සිරියාව තුල නීත්‍යානුකූල හඬක් ඇති මිනිසුන් හා තවත් අය ද ඇතුලත් විය යුතු ය .”

සීඅයිඒ සංවිධානයට හා මුස්ලිම් සහෝදරත්වයට සම්බන්ධකම් ඇති තුර්කියේ පැලපදියම්ව සිටින ඉසුරුමත් සිරියානු පිටුවහලුන්ගේ එකතුවක් වන එස්එන්සීය බෙහෙවින් අපකීර්තිමත් හා සිරියාව තුල කිසි ම බලපෑමක් නොදරන සංවිධානයකි. වොෂින්ටනය අනපේක්ෂිත ව හා ඒකපාර්ශ්වීය ව එස්එන්සීය ඉවත දැමී ය යන කරුන, සිරියාව තුල "සාමය” හා "ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීමට තමන්කටයුතු කරන්නේය යන එක්සත් ජනපද ප්‍රකාශයේ ව්‍යාජ ස්වභාවය හෙලිදරව් කර යි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව "ඕනෑ ම නායකත්ව ව්‍යුහයකට ඇතලත් කල යුතු යයි අප විශ්වාස කරන නම් හා සංවිධාන” ගොනුකර ඇතැ යි ප්‍රකාශ කරමින් ක්ලින්ටන් නව සිරියානු විපාර්ශ්වයක් ගොඩනැගීමට යෝජනා කලා ය.

කටාර්හි අගනගරය වන ඩෝහාහි සුඛෝපභෝගී හෝටලයක තම සිරියානු සහචරයින්ගේ රැස්වීමක් කැඳවීමට වොෂින්ටනය කඩිමුඩියේ මැදිහත් විය. එක්සත් ජනපදය, කටාර්, සෞදි අරාබිය, තුර්කිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් සහභාගී වුන 11දා නිමාව දුටු සිව්දින රැස්වීම, නොයෙකුත් විපක්ෂ කන්ඩායම් හා පුද්ගලයන්ගෙන් සමන්විත 55-60 අතර වන සාමාජික සභාවක් ඇටවීම සඳහා ගිවිසුමක් ඇතිකර ගැනීමට කපුකම් කලේ ය.

එස්එන්සී නියෝජිතයන් නව විපක්ෂ කන්ඩායම මත තම බලපෑම ගොඩනැඟීමට පොරවැදීමත් සමග 11දා අලුයම 3.00 දක්වා ම ඩෝහා සාකච්ඡා බිඳවැටීමේ අද්දර පවතින බවක් දක්නට ලැබුනි. එක් අයෙක් රොයිටර් සේවයට පැවසු ආකාරයට එස්එන්සීයේ සහභාගිත්වය ඇතිව හෝ නැතිව එක්සත් ජනපදය හා එහි මිතුරන් මූලික කන්ඩායමක් පිහිටවනු හා පිලි ගැනෙනු ඇති බවට තර්ජනය කිරීමෙන් පසු පමනක් අවසානයේ දී එස්එන්සීය නව සභාව තුල පසුපෙල භූමිකාවක් පිලිගැනීමට එකඟවූයේ ය.

විරුද්ධ පාර්ශ්වය හා විප්ලවීය හමුදා සඳහා සිරියානු ජාතික සභාගය නම් නව විපාර්ශ්වීය නායකත්වය රාජ්‍ය දෙපාර්තමේන්තුව, පෙන්ටගනය හා සීඅයිඒ වෙතින් එන නියෝගයන්ට වඩාත් ඍජුව යටත්වනු ඇතැ යි ඔබාමා පාලනය බලාපොරොත්තු වෙයි.

යලි ඔප දැමුනු විපාර්ශ්වීය කන්ඩායම අපකීර්තියට පත් එස්එන්සීයට වඩා රට තුල බලපෑම පවත්වාගෙන යාමට හැකි බව ඔප්පුකරමින් සිරියාවට එරෙහිව එක්සත් ජනපදය මෙහෙයවන කුලීකාර යුද්ධය සදහා වඩා පුලුල් මුහුනුවරක් සපයනු ඇතැයි ද වොෂින්ටනය බලාපොරොත්තු වෙයි.

විවිධාකාරයේ ආගමික නායකයන්, පිටුවහල් කෙරුනු ශාස්ත්‍රාලිකයින්, අතෘප්තියට පත් ව්‍යාපාරිකයන්, අසාද් තන්ත්‍රයෙන් පලාගියවුන්, හා ඉස්ලාමීය මිලීෂියාවන් රොක්කර අලුත්වැඩියා කල විරුද්ධ පාර්ශ්වය හා විප්ලවීය හමුදාවන‍්ගේ නව සිරියානු ජාතික සභාගය, එස්එන්සීයට වඩා ජනප්‍රිය බව ඔප්පු නොකරනු ඇත.

සිරියානු විපක්ෂ සභාවේ නව නායකයා සුන්නි මුස්ලිම් පූජකයෙකු වන මොආෂ් අල්-ඛාටිබ් ය. දමස්කස්හි උමායඩ් පල්ලියේ හිටපු ඉමාම් වන ඛාටිබ් අසාද් තන්ත්‍රය පිලිබඳ විවේචන නැගීම හේතුවෙන් නැවත නැවතත් සිරියානු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ජූලි මාස‍යේ දී සිරියාවෙන් පලා ගියේ ය.

දේශපාලනික හා ආගමික "මධ්‍යස්ථවාදියෙකු” ලෙස සැලකෙන ඛාටිබ් සිරියානු විරුද්ධ පාර්ශ්වයේ පසුමිතුරු කන්ඩායම් අතර සම්මුතියේ අපේක්ෂකයා වී තිබේ. මෙකී විරුද්ධ පාර්ශ්වයේ සියලු දෙනා විදේශීය අනුග්‍රහය ද අසාද් තන්ත්‍රය වැටෙන අවස්ථාවේ දී විජයග්‍රහනයේ සුන්බුන්වලින් කොටසක් ද ඩැහැ ගැනීමට පොරකති. ඩෝහා සමුලුවේදී එලිමහනට පැමිනි මෙම බෙදීම් සැලකිල්ලට ගන්නා කල විපක්ෂ බලවේග එක්සත් කිරීමට කාටිබ්ට ඇති හැකියාව අනිශ්චිතය.

ප්‍රධාන දමස්කස් පල්ලියක ඛාටිබ්ගේ ප්‍රමුඛ තත්වය, මධ්‍යස්ථ සුන්නිවරුන්ගේ හා සිරියානු අගනගරයේ නාගරික ජනගහනයේ සහාය විපාර්ශ්වය සඳහා රැලි කර ගනු ඇතැ යි අපේක්ෂා කෙරේ. අසාද්ගේ ඒකාධිපතිත්වය පිලිබඳව පුලුල් ව පැතිරුන මහජන වෛරය නොතකා බොහෝ සිරියානුවෝ, වොෂින්ටනය හා එහි මිතුරන් අසාද්ගේ හමුදා දුර්වල හා අස්ථාවර කිරීමට තුවක්කුකාර හමුදා ප්‍රයෝජනයට ගනු ලබන සුන්නි නිකායික "කැරලිකාර” මිලීෂියාවන්ට ගැඹුරින්ම සතුරු ව සිටිති.

එහෙත් වොෂින්ටනයට තවත් මුහුනක් සැපයීම සඳහා පුළුල් ව පැතිරුන සහයෝගයක් නොමැති හා එස්එන්සීය මෙන් ම ඉවතලිය හැකි ඛාටිබ් හදිසියේ ඉහලට එසවීමේ ප්‍රධාන අරමුන වන්නේ, ඒ පිටුපසින් සිරියානු ජනතාවගේ සමාජ ඉල්ලීම් මර්දනය කිරීම හා මැද පෙරදිග තුල අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවන් ක්‍රියාත්මක කිරීම යි.

Share this article: