ඉතිහාසඥයින්ගේ සමුලුවේ පැවැත්වූ දේශනය: ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා

Lecture at Historians’ Convention : In Defense of Leon Trotsky

By David North, 4 October 2012

"ජර්මනියේ මේන්ස් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයින්ගේ සමුලුවේ දී එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනය අපි මෙහි පලකරන්නෙමු.

මේන්ස් විශ්වවිද්‍යාලයේ පවත්වන ඉතිහාසඥයින්ගේ සමුලුවට සහභාගී වීමට ලැබීම සතුටට කාරනයක් සේම, ජාත්‍යන්තර ආයාමයකින් හෙබි ශාස්ත‍්‍රාලිකයෙකු හා ඓතිහාසික මතභේද පිලිබඳව ආගන්තුකයෙකු නොවන මහාචාර්ය මාරියෝ කෙස්ලර් සමග මේ සැන්දෑවේ එකම වේදිකාවක පෙනී සිටීමට ලැබීම විශේෂයෙන්ම සතුටට කාරනයකි. ඔහු, යුදෙව් විරෝධය පිලිබඳ දේශපාලන ව්‍යාධිවේදය ගැන අධ්‍යයනයට මෙන්ම සමාජවාදී කම්කරු ව්‍යාපාරයක වර්ධනය හා යුදෙව් ජනතාව අතර සංකීර්න සම්බන්ධතා පිලිබඳව වැදගත් ප‍්‍රතිපදානයක් කර ඇත. ඔහුගේ උනන්දුව දැල්වෙන ක්ෂේත‍්‍රයේ ගුනය කරනකොටගෙන මහාචාර්ය කෙස්ලර්, තමා ප‍්‍රකාශයට පත් කරන ඕනෑම දෙයක් සමහර විට ඔහුගේ මිතුරන්ගේ පවා නොසතුටට හේතුවන බව හොඳින් දැන සිටියි. මට මනාප විය හැකි ගැටලුවකි මෙය.

ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා යන මාගේ කෘතිය ජර්මනිය තුල එතරම් පුලුල් පේ‍්‍රක්ෂක සමූහයකගේ අවධානයට යොමුකිරීම සඳහා ඉටුකර ඇති සියල්ල වෙනුවෙන්, විශේෂයෙන්ම වොල්ෆ්ගෑන්ග් වෙබර් ඇතුලු මේරිං වර්ලැග්හි මාගේ සහෝදරවරුන් වෙත ප‍්‍රනාමය පල කිරීමට ද මම කැමැත්තෙමි. මෙම කෘතියේ දෙවන සංස්කරනය දැන් සූදානම් වෙමින් තිබේ. මෙය මට යම් ආකාරයක නව අත්දැකීමකි. සමාජවාදී ව්‍යාපාරයේ දශක ගනනාවක් පුරා මාගේ පොතපත හා පත‍්‍රිකා මුද්‍රනයෙන් පිටවීමෙන් පසුව ඒවා කියවන්නවුන් සංඛ්‍යාව වර්ධනය වන තෙක් වසර කිහිපයක් බලා සිටීමට කෙසේ හෝ මම පුරුදුව සිටියෙමි. ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා කෘතිය හා විශේෂයෙන්ම එහි ජර්මානු සංස්කරනය සම්බන්ධයෙන් ගත් කල මට එතරම් කලක් බලා සිටීමට සිදු නොවීය.

Habent sua fata libelli හෙවත් "පොතපත ඒවායේම ඉරනම හිමිකර ගනී” යනුවෙන් ප‍්‍රකට කියමනක් තිබේ. සැබවින්ම මෑතකදී මා සමකාලීන ලෝකයේ අසම සම තොරතුරු මූලාශ‍්‍රයක් වන විකිපීඩියාව විමසීමේ දී වටහාගත් පරිදි මෙම වැකිය ටෙරන්ටියනස් මවුරස් නමැති ආදිකාලීන ව්‍යාකරනඥයා පල කල වඩා ප‍්‍රගාඪ ප‍්‍රකාශයක සංගෘහිත හා සරල සංස්කරනයකි. ඔහු මෙසේ ලිවීය. " pro captulectoris habent sua fata libelli” එහි අර්ථය, "පාඨකයාගේ ශක්‍යතාවන්ට අනුව පොතපත ඒවායේම ඉරනම හිමිකර ගනියි.” (1)

වෙනත් වචනවලින් කිවහොත් කෘතියේ ඉරනම හැඩ ගැස්වීමේදී පාඨකයා ක‍්‍රියාශීලී ඒජන්තයෙක් වන්නේය. පොතක් ලෝකය තුල එහි මාවත සොයාගන්නේ එහි පාඨකයින් හරහාය.

වාසනාවකට මෙන් ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා බෙහෙවින්ම මූලධර්මාත්මක ශාස්ත‍්‍රාලිකයින් ගනනාවකගේ අවධානය දිනාගෙන තිබේ. මහාචාර්ය බට‍්‍රන්ඩ් පැටිනෝඩි මාගේ පොත ද රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය ද ගැන ලිවූ බොහෝ අවධානයට ලක්වූ ඒකාබද්ධ විමර්ෂනය 2011 ජූනි මාසයේදී American Historical Review (ඇමෙරිකානු ඓතිහාසික විමර්ෂනය) තුල පලවිය. ඔහුගේ විමසුමෙන් පසුව මහාචාර්ය හර්මන් වෙබර්, මාරියෝ කෙස්ලර්, හෙල්මුට් ඩෑමර්, බර්නාඩ් බේයරලින්, යීකෝ හව්මාන්, ව්ලැඩිස්ලාව් හේඩිලර්, ඇන්ඩි‍්‍රයා හූටන්, හාට්මට් මේරිංගර්, ඔස්කාර් නෙග්ට්, හෑන්ස් ස්කාෆ්රානෙක්, ඔලිවර් රත්කෝල්බ්, පීටර් ස්ටේන්බක්, රේනර් ටොස්ටෝෆ් හා රොල්ෆ් වර්ස්ඩෝෆර් යන අය අත්සන් තබා සූර්කාම්ප් වෙත විවෘත ලිපියක් යවනු ලැබුනි.

මා හා අත්සන් තැබූවන් අතරත්, අත්සන්තැබූවන්ම අතරත්, රුසියානු විප්ලවයේ ගමන් මග, 1917 බොල්ෂෙවිකයින්ගේ නායකත්වයෙන් සිදු වූ නැගිටීමේ සමාජ පදනම, සෝවියට් පාලන තන්ත‍්‍රයේ ස්වභාවය හා ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලන සංකල්ප හා ඓතිහාසික භූමිකාව පිලිබඳව වෙනස් වූ දෘෂ්ටීන් පැවතීමට ඉඩ ඇත. ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳව මහාචාර්ය කෙස්ලර් චරිතාපදානයක් ලිවී නම් එය මා විසින් ලිවීමට ඉඩ ඇති කෘතියට වඩා බෙහෙවින් වෙනස් එකක් වනු ඇති බව මට හොඳටම විශ්වාසය. එසේ නොවිය හැක්කේ කෙසේ ද? අපගේ ව්‍යායාමය පිලිබිඹු කරනු ඇත්තේ අපගේ වෙනස් වූ දෘෂ්ටි ආස්ථානයන්ය, වෙනස් වූ ආසක්තයන්ය, වෙනස් වූ අත්දැකීම් ය. කෙටියෙන් කිවහොත් අපගේ වෙනස් වූ ජීවිතයන් ය. එහෙත් අප දෙදෙනාම කටයුතු කරනු ඇත්තේ සැබෑ ඓතිහාසික වාර්තාවට අනුව ය.

සෑම අව්‍යාජ ඉතිහාසයක්ම ඓතිහාසික සන්තතියක් ප‍්‍රතිනිර්මානය කිරීමකි. අර්ථනිරූපන ක‍්‍රියාවලිය පරිශ‍්‍රම දරනුයේ ඉතිහාසය විකෘති කිරීමට නොව එය විශ්ලේෂනය කිරීමටයි. ට්‍රොට්ස්කි වෛෂයික සමාජ හා ඓතිහාසික ක‍්‍රියාවලියක සැබෑ දායකයෙකි. ඔහුගේ ක‍්‍රියා හා අදහස් දැවැන්ත ලේඛනාගාර වාර්තාවක අන්තර්ගතව ඇත. එහි නොගිනිය හැකි හා විවිධාකාර මූලාශ‍්‍රයන්ගෙන් සැකසූ ලියවිලි ඇත. එවන් තරයේම ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිචාරයන් අවුලුවා ලූ තවත් මිනිසෙක් ගැන සිතීමට පවා නුපුලුවන. ට්‍රොට්ස්කි අනුගමනය කල අයගේ අනුස්මරන හා සාක්ෂි එහි පවතියි. ඔහුට වෛර කල අයගේ හෙලාදැකීම් ද එහි පවතින්නේය. ට්‍රොට්ස්කි ඔහුගේ කාලයෙහි සිටි බොහෝ නිර්මානශීලී ලේඛකයන්ගෙන් කෙනෙක් විය. හාවඩ්හි හූෆ්ටන් පුස්තකාලයේ ඒකරාශී කර තිබෙන විශාලතම ලේඛනාගාර එකතුවෙහි පවා ඔහුගේ ලේඛන සියල්ල අන්තර්ගත නො වේ. ඔහුගේ ලේඛන වලින් සැලකිය යුතු කොටසක් ප‍්‍රකාශයට පත්කර නොමැත. ඔහුගේ බොහෝ පොත්පත්වල, රචනාවන්හි, පුවත්පත් ලිපිවල හා සාකච්ඡාවන්හි කෙටුම්පත්වල පවා ප‍්‍රකාශිත වන ට්‍රොට්ස්කිගේ අදහස් නිමක් නැති රටවල දේශපාලන හා බුද්ධිමය ජීවිතය කෙරෙහි ප‍්‍රගාඪ හා කල්පවත්නා බලපෑමක් ඇති කර තිබේ.

ට්‍රොට්ස්කිගේ පරිමානයේ ඓතිහාසික චරිතයක් පිලිබඳ චරිතාපදානයක් ලියන ඉතිහාසඥයා අත ගසන්නේ යෝධ කර්තව්‍යයකට ය. ඔහු ලේඛනාගාර වාර්තාවන් තුල කිමිදීමට සූදානම් විය යුතුය. එම මිනිසා ජීවත්ව සිටි කාලය පිලිබඳ අර්ථාන්විත මට්ටමක වැටහීමක් අත් කර ගැනීමට මාස කිහිපයක් නොව වසර ගනනාවක් හා දශක ගනනාවක් පවා කැපකිරීමට ඔහු හෝ ඇය සූදානම් විය යුතුය.

මම ගෙනහැර දැක්වීමට වෑයම් කරන කාරනය නම්, ඉතිහාසඥයා ඔහුගේ විනයේ ස්වභාවය මගින් දැවැන්ත ඓතිහාසික වාර්තාවක් තුල කිමිදීමට බැඳී සිටින බවයි. සෑම චරිතාපදාන රචකයෙකුම සතුව "දෘෂ්ටි ආස්ථානයක්” තිබීම නිසැක කාරනයකි. එහෙත්, ඔහුගේ කර්තව්‍යය අරමුනු හඹායාම, දෘෂ්ටීන් දරා සිටීම හා තමාම ජීවත්වන අවධියට වෙනස්වූ අවධීන් තුල ජීවත් වීම සඳහා සිය වස්තු විෂය හෙලා දැකීම හා දේශනා පැවැත්වීම, දෙසාබෑම ලෙස එය දැකගත නොයුතුය. දේශපාලනිකව තත්වාරක්ෂක ඉතිහාසඥයෙක් රුසියානු කොමියුනිස්ට්වාදියෙකු පිලිබඳව ලිවීමට භාරගන්නේ නම්, තම වස්තු විෂය ඉටුකල ක‍්‍රියාවන් තීරනය කල අදහස් හැඩගැසුනු ඓතිහාසික හා සමාජ සන්දර්භය වටහා ගැනීමට ඔහු තවමත් උත්සාහ දැරිය යුතුය. ඔහු එසේ නොකලේ නම්, ඔහුට මන බඳින කෘතියක් නිර්මානය කල නොහේ. කෙසේ වුවත් ඔහු සිය වස්තු විෂයේ සංකල්ප වැලඳගත යුතු අතර ඒවායේ නීතියුක්ත භාවය පිලිගැනීමට සූදානම් විය යුතුය. අවම වශයෙන් ඒවා ප‍්‍රකාශනයක් අත්කර ගන්නා ඓතිහාසික කොන්දේසි හා තත්වයන් අවබෝධකර ගැනීමේ අර්ථයෙන් හෝ එසේ විය යුතුය. ඊ.එච්. කාර් සිහිපත් කල පරිදි ඉතිහාසඥ ආර්.ජී කොලින්වුඩ්ගෙන් වැකියක් නයට ගන්නේ නම් "තම නලුවන් කන්ඩායමේ සිත් තුල පැවතියේ කුමක් ද යන්න ඉතිහාසඥයා (සිය) චින්තනය තුල ප‍්‍රතිනිර්මානය කල යුතුය.” (2)

ඉතිහාසඥයා පොදුවේ "පරිසිද්ධි” ලෙස සලකන පුලුල් ප‍්‍රවර්ගයන් යටතට ගැනෙන සියල්ල හා ලේඛනාගාර වාර්තාව කෙරෙහි දක්වන ඔහුගේ සැලකීම පරම වශයෙන්ම අගති විරහිත අවංකභාවයකින් ප‍්‍රදර්ශනය කල යුතු යයි මීට එකතු කිරීම අවශ්‍ය නොවනු ඇත. සැබවින්ම වැකියේ ජනප‍්‍රියත්වය තිබිය දී ම කිසිදු ඉතිහාසඥයෙක් කිසිවිටෙකත් කිසිදු සැලකිය යුතු මාතෘකාවක "කියවිය හැකි සියල්ල කියවන්නේ” යයි සැලකිය නොහැකිය. එහෙත් ඔහු හෝ ඇය ඓතිහාසික වස්තු විෂය, සෑම පැත්තකම ප‍්‍රතිනිර්මානයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය සියල්ල හඳුනාගෙන විභාග කිරීමේ දී ආත්ම විශ්වාසයකින් යුතුව උත්සාහයක් දරනු ඇත. පරිසිද්ධි තෝරාගැනීම හිතූ මනාපයේ හා අගතිගාමීව සිදු නොවිය යුතුය. ඒවා ඉදිරිපත් කිරීම නිරවද්‍යව සිදුවිය යුතුය. ඉතිහාසඥයා සිය කරුනු කාරනා සාවද්‍ය ලෙස ලබාගෙන ඇති බවත්, ඔහුගේ ප‍්‍රකාශ හා අවධාරනයන් ඔහු සඳහන් කරන ලිපිලේඛන මගින් සනාථ නොකරන බවත් හෝ එක් අතකින් හෝ තවත් අතකින් ඔහු පූර්වනිර්නිත වෘතාන්තයක්, කලින් මුල්බැස තිබෙන අවශ්‍යතාවන් සඳහා ගැලපීමට ඓතිහාසික වාර්තාව මුසාකරනයට ලක්කර තිබීමත් තරම්, අන්කිසිවක්, ඉතිහාසඥයාගේ කීර්තියට හා ඔහුගේ කෘතියෙහි විශ්වාසනීයත්වයට යලි ප‍්‍රකෘතිමත් කල නොහැකි හානියක් සිදු නොකරනු ඇත.

සර්විස්ගේ චරිතාපදානය පිලිබඳව මා ලිවූ මගේ පලමු විශ්ලේෂනයේ පටන් ගතවූ තෙවසර තුල එය ඓතිහාසික ලේඛන කලාවේ විකාර රූපී කර්තව්‍යයක් බව නිසැක ලෙස තහවුරු කෙරී තිබේ. ඉතිහාසඥයින් දාහතරදෙනාගේ ලිපියේ නිරවද්‍ය ලෙස සඳහන් වන පරිදි ඔහුගේ පොත "අපහාසාත්මක නිගාවකි.” බර්ලින්හි දේශන දෙකක් ද ලිප්සිග්හි එකක් ද ඇතුලුව අතිරේක දේශන තුලදී මාගේ විවේචන සැලකිය යුතු තරමින් විස්තාරනය කරනු ලැබුවේ වී නමුත් මට කෙසේ හෝ සර්විස් එක් වෙලුමක් තුලට ගොඩගැසීමට සමත්වූ දෝෂ, මුසාකරන හා වැරදි අර්ථකන මුලුමනින්ම ලැයිස්තුගත කිරීමට නොපුලුවන් විය. සර්විස්ගේ වෘතාන්තයෙහි ආකෘතිය තුල එතරම් ගැඹුරට වියා ඇති වංකභාවයේ රටාව නිසා ඓතිහාසික ලේඛනය සදොස් ලෙස අර්ථ දැක්වීම සඳහා එසේ කිරීමට පැහැදිලි හේතුවක් නොතිබිය දී පවා හැඟීම් විසින් ඔහුට බලකෙරුනු බව පෙනී යයි.

නිදසුනක් ලෙස, අද රැස්වීම සඳහා මගේ කතාව පිලියෙල කරමින් සිටිය දී මම යලි වතාවක් සර්විස්ගේ චරිතාපදානය පෙරලා බැලුවෙමි. මා නෙත් යොමුකරන කුමන හෝ පිටුවක අඩුම වශයෙන් එක් දෝෂයක් හෝ සොයාගත හැකි බව දැනසිටි බැවින් මම අහම්බයෙන් පරිච්ඡේදයක් තෝරාගතිමි. "යුද්ධයට එරෙහි යුද්ධය” යන 14වන පරිච්ඡේදය මම පෙරලා ගතිමි. එහි ඇතුලත් වන්නේ, පලමු ලෝක සංග‍්‍රාමය පුපුරා යාම ට්‍රොට්ස්කිගේ ජීවිතය කෙරෙහි ඇතිකල බලපෑම ගැනය. 137වන පිටුවේ දී සර්විස්, සූරිච්හි වීදියක දී ට්‍රොට්ස්කි හා හර්මන් මොල්කැන්බුර් නමැති ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියා එකට හමුවූ අවස්ථාවක් විස්තර කරයි. සඳහන් කරන දෙවැන්නා ගැටුමට ඉක්මන් විසඳුමක් ලැබෙනු ඇති බවට අනාවැකි පල කලේය. මොල්කැන්බුර්ගෙන් උපුටාගත් වචන ලිවීමෙන් පසුව සර්විස් වහාම යට සඳහන් වැකිය ද එකතු කලේය. "මොල්කැන්බුර් ට්‍රොට්ස්කිගේ අනාවැකිය ‘මනෝරාජික’ කුනුහරුපයක් ලෙස සැලකීය.” (3)

සමස්ත විස්තරය ම ගෙන ඇත්තේ ට්‍රොට්ස්කිගේ My Life (මගේ ජීවිතය) කෘතියෙනි. සර්විස් පාද සටහන් විස්තරයක් ඇතුලත් කර තිබේ.

විස්තරය අඩංගු ඡේදය හැරුනු කල, ට්‍රොට්ස්කි සිහිපත් කල ආකාරයට, මොල්කැන්බුර්ගේ වචන නිවැරදිව පිටපත් කිරීමට සර්විස් සමත්ව ඇති බව අපට දැකගත හැකිය. එහෙත් පසුව දැක්වෙන ඡේදයේ "මොල්කැන්බුර් ට්‍රොට්ස්කිගේ අනාවැකිය ‘මනෝරාජික’ කුනුහරුපයක් ලෙස සැලකීය.” යන්නෙහි දී ට්‍රොට්ස්කිගේ විස්තරය සැලකිය යුතු තරම් වෙනස්කර තිබේ. ට්‍රොට්ස්කි එවැන්නක් කිසි තැනක ලියා නැත. ඔහු කතාව කියා ඇත්තේ බෙහෙවින් වෙනස් ලෙසකිනි. මොල්කැන්බුර්ගේ උපුටා දැක්වීමෙන් පසුව ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

සත්තකින්ම මොල්කැන්බුර් කියා ඇත්තේ තත්වය පිලිබඳ ඔහුගේ පුද්ගලික තක්සේරුව නොවේ, ඔහු හුදෙක් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිල අදහස ප‍්‍රකාශකර ඇතුවා පමනි. ඒ සමග ම, ශාන්ත පීටර්ස්බර්ග්හි ප‍්‍රන්ස තානාපති වැගරඩ් බුකානන් ස්ටර්ලිං පවුම් පහකින් නත්තලට පෙර යුද්ධය අවසන් කිරීමට හැකි බව කියා තිබුනි. නැත, මනෝරාජිකයින් වන අප, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා රාජ්‍යතාන්ත‍්‍රික කවයන්හි මෙම යථාර්තවාදී මහත්වරුන්ට වඩා තරමක් හොඳින් සිදුවීම් දැකගෙන තිබුනි. [ඇල අකුරු ඈඳිනි] (4)

සර්විස්ගේ විස්තරය මගින්, ට්‍රොට්ස්කි සත්‍ය වශයෙන්ම ලිවූ දෙයින් පාඨකයාගේ සිත්හි මතුවිය හැකිව තිබුනාට වඩා, සපුරා වෙනස් චිත‍්‍රයක් නිර්මානය කරයි. පලමුවැනියා පාඨකයාට ඉදිරිපත් කරන්නේ වයස්ගත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා තමන් ඉදිරියේ "කුනුහරප” අනාගත වැකි දොඩන ට්‍රොට්ස්කි කෙනෙකුගේ මනංකල්පිත දසුනකි. ට්‍රොට්ස්කි දේශපාලන විකට රූපයක් බවට පිරිහෙලා ඇත. එහෙත් මුල් පිටපතේදී ට්‍රොට්ස්කි මොල්කැන්බුර්ට තමාගේ ක්ෂනික පිලිතුර පිලිබඳව කිසිවක් කියා නැත. ඒ වෙනුවට ට්‍රොට්ස්කි උපහාසාත්මක හඬකින් සිහිපත්කර ඇත්තේ, අවස්ථාවාදීන්ගේ හා රාජ්‍යතාන්ත‍්‍රිකයින්ගේ දේශපාලන ගනන් බැලීම්වල උමතු සහගත නොමගයවන සුලු භාවයයි. ඔහු පාඨකයින්ගෙන් විමසන "මනෝරාජිකවාදීන්” කවුරුන් වී ද? යුද්ධයේ විනාශකාරී ප‍්‍රතිවිපාක පෙරදුටු විප්ලවවාදීන් ද? නැතිනම් මාස කිහිපයක දී සියල්ල සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි විශ්වාස කල ඊනියා "යථාර්වාදීන්” ද? සර්විස් ඓතිහාසික දර්ශනය විකෘති කරනවා පමනක් නොව සමස්ත ඡේදයේම අන්තර්ගත දේශපාලන කාරනය ද මගහැර ගනියි.

යන්තම් ඡේද කිහිපයකට පසුව සර්විස් මෙසේ ලියයි: "ඔහුගේ [ට්‍රොට්ස්කිගේ] කාර්ය සාධනයේ පලමු වතාවට දැන් ඔහු ආන්තික අවමානයකින් සලකන ප්ලෙකානොව් සමග වාදයකට පැටලෙයි.” (5) වාක්‍යය පාද සටහනකින් සමන්විතය. සර්විස් අපට කියන්නේ, ට්‍රොට්ස්කි ඊට වඩා බෙහෙවින් වයස්ගත විප්ලවවාදියෙකු වූ පාවෙල් බී. ඇක්සල්රොඩ්වෙත 1914 දෙසැම්බර් 22දින යවන ලද ලිපියකින් මෙය ලබාගත් බවයි. එය, චරිතාපදානය සඳහා සර්විස් සිය පරියේෂනයන් සියල්ලම පාහේ සිදුකල කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝහි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හූවර් ආයතනයෙහි තැන්පත්කර තිබෙන සුප‍්‍රකට නිකොලායෙව්ස්කි එකතුවේ කොටසකි. ප‍්‍රථමයෙන් එම ඡේදය කියවූ කල මම මවිතයට පත්වූයෙමි. සත්තකින්ම යුද්ධයට දුන් සහයෝගය ගැන ට්‍රොට්ස්කි ප්ලෙකානොව් හෙලා දුටු අතරම ඔහු "රුසියානු විප්ලවයේ පියාට” ආන්තික අවමානයකින් යුක්තව සැලකූ බව කියවීම පුදුමයට කරුනකි. බොල්ෂෙවිකයින් බලයට පැමිනියායින් පසුව ට්‍රොට්ස්කි ප්ලෙකානොව් කෙරෙහි සිය දැඩි හා සදාතනික ගෞරවය සිය වැදගත් ලිපි ගනනාවක දී ම අවධාරනය කර තිබුනි. එසේනම් 1914 දෙසැම්බරයේදී ට්‍රොට්ස්කි සැබවින්ම ඇක්සල්රොඩ් වෙත ලිව්වේ කුමක් ද? වයස්ගත සහෝදරයෙකුට ලිවූ පෞද්ගලික ලිපියක් තුල ට්‍රොට්ස්කි ප්ලෙකානොව්ගේ දේශපාලන පාවාදීම මගින් අවුස්සන ලද අභ්‍යන්තර කෝපය ප‍්‍රකාශකලා වද් ද?

ඇක්සල්රොඩ් වෙත ට්‍රොට්ස්කි යැවූ ලිපියේ කෙටි ඡේද තුනක් අන්තර්ගත වෙයි. ප්ලෙකානොව් ගැන කුමක් හෝ සඳහන් වන්නේ පලමු ඡේදය තුල පමනි. එහි මෙසේ සඳහන් ය.

ඔබ ප්ලෙකානොව්ගේ පොත් පිංච කියවා තිබේ ද? මම ඒ පිලිබඳව ලිපි මාලාවක් සූදානම් කිරීමට පටන් ගත්තෙමි. මගේ ජීවිතයේ පලමු වතාවට මම ප්ලෙකානොව්ට එරෙහිව විවාදයකට අවතීර්න වන්නෙමි. මට පෙනී ගොස් තිබුනු ආකාරයට ම ඔහු සුරක්ෂිත නැත. (6)

මූලාශ‍්‍රයට අදාල තොරතුරු ලබාගත නොහැකි බොහෝ පාඨකයින්, ලිපියේ සඳහන් කෙරෙන තොරතුරු සර්විස් විසින් නිවැරදිව අර්ථ දක්වා ඇතැයි සිතනු ඇත. එහෙත් එවන් ගෞරවයක් සර්විස්ට පුද කිරීම වරදක් වනු ඇත. සඳහන් ඡේදයේ කිසිවකින් ප්ලෙකානොව් කෙරෙහි ට්‍රොට්ස්කිගේ ආකල්පය "ආන්තික අවමානයක්” යයි අදහස් නොකරයි. ට්‍රොට්ස්කිගේ චරිතයෙහි පිලිබිඹු වනවා යයි කියන එවන් මනෝභාවයක් හුදෙක් සර්විස් විසින් සොයාගත් දෙයක් පමනි. යථාර්යේදී මෙම කෙටි ලිපිය පලකරන්නේ, ප්ලෙකනොව්ගේ පරිනාමය පිලිබඳ මනස්තාපයක් හා කනගාටුවකි. වර්ධනයන් කෙරෙහි පලකෙරෙන එම මනෝභාවයන් සර්විස් අදහස් කරන දේට වඩා බෙහෙවින් දිරිගන්වන සුලුය.

යන්තම් පිටු දෙකකට පසුව, 1915 වසන්තයේ දී ට්‍රොට්ස්කි පැරිසියට පැමිනීම ගැන වාර්තා කිරීමෙන් පසුව සර්විස් මෙසේ ලියයි:

ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම තමන් පැරිසියේ ගත කරන ජීවිතය අල්පේච්ඡ එකකැයි කියා සිටිති. මේ පිලිබඳව කිසිදු සාක්ෂියක් ඇත්තේ නැත. 1914දී ඔහු සැලකිය යුතු ලිපි හයක් කිව්ස්කායා මයස්ල් වෙත පිටත්කර හැරියේය. ඔවුන්ගේ සාර්ථකත්වය එසේ වූ අතර පුවත්පත 1915-16 අතර කාලය පුරාම ඔහුගේ සේවය ලබා ගත්තේය. ප‍්‍රන්සුවන් හා රුසියානුන් යුද්ධයේ මිත‍්‍ර පාක්ෂිකයින් වූ තාක් කල්, පැරිසියේ තම බැංකු ගිනුමට ඉක්මනින්ම හරවන ලද මුදල් මත ඔහුට විශ්වාසය තැබිය හැකි විය. යුද කාලීන ප‍්‍රන්සය තුල ට්‍රොට්ස්කි දරිද්‍රතාවට මුහුනපෑවේ නැත.(7)

සර්විස් ඇඟවුම් කරන්නේ ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ නටාලියා සෙඩෝවා පැරිසියේ තම ජීවිතය පිලිබඳව බොරුකියා ඇති බවයි. ඔහු නිශ්චිතව ලියන්නේ, යුද්ධය මධ්‍යයේ ජෝඩුව අල්පේච්ඡ ජීවිතයක් ගතකල බවට "සාක්ෂි නොමැති” බවයි. එසේ නම් ඔවුන් ජීවත් වූයේ කෙසේ ද? සුඛෝපභෝගී ලෙස? ඔවුන් මධ්‍යම පාන්තික සමෘද්ධියේ පහස වින්දේ ද? ට්‍රොට්ස්කිගේ පෞද්ගලික සම්පත් පිලිබඳව සර්විස් සපයන එකම තොරතුර 1) ඔහු 1914 වසරේදී කිව්ස්කායා මයිසල් පුවත් පතට ලිපි හයක් සම්පාදනය කල බව පමනි. 2) 1915-16 කාලයේ ද පුවත්පත ට්‍රොට්ස්කිගේ සේවය ලබාගත් බවය. ට්‍රොට්ස්කිගේ වැටුප ගැන සර්විස් කිසිදු නිශ්චිත තොරතුරක් සපයන්නේ නැත. ඒ වෙනුවට සනාථ කරන සාක්ෂි වලින් තොරව ම සර්විස් කියන්නේ ට්‍රොට්ස්කිට, "පැරිසියේ සිය බැංකු ගිනුමට ඉක්මනින්ම හරවනු ලබන මුදල් මත විශ්වාසය තැබිය හැකිවූ” බවයි. ප‍්‍රශ්නය හරියටම මෙය බව අඟවන සර්විස්ගේ මෙම අභ්‍යුපගමය පිලිබඳ පරිසිද්ධිමය පදනම කුමක් ද?

අවාසනාවකට මෙන් සර්විස් සම්බන්ධයෙන් ගත් කල, ට්‍රොට්ස්කිගේ ධනය හා ඔහුට පහසුවෙන් මුදල් ලබාගත හැකි වීම පිලිබඳ ඔහුගේ මෙම ස්වයං සහතිකය, යාන්තමින් එක් පිටුවකට පෙරාතුව පාද සටහනක ලිපියකින් කොටසක් උපුටාදැක්වීමේ දී ප‍්‍රතිවාචනය වෙයි. ට්‍රොට්ස්කි 1915 දෙසැම්බර් 11දා ඇක්සල්රොඩ්ට ලිවුවේ මෙසේය:

මට ඔබගෙන් ඉල්ලීමට උදව්වක් ඇත. 20දා වන විට නටා. අයිවා. ට්‍රොට්ස්කායාට ලොකු ගානක් මුද්‍රනාලයට ගෙවීමට තිබේ. තානාපති කාර්යාලයේ කොතැනක හෝ අප සඳහා රූබල් 200ක මුදලක් ඇති නමුත් සරලව ම එය ලබාගත නොහැකිව ඇත. මම විදුලි පනිවිඩයකින් මුදල් එවන ලෙස ඉල්ලා "කිව්ස්කායා මයිසල්” වෙත ලිවීමි. එහෙත් මුදල් නියමිත වේලාවට නොලැබෙනු ඇතැයි මම කනස්සලූ වෙමි. ඔබගේ උදව් ඇතිව ඇයට, දින 10-12ක උපරිම කාලයක් තුල නයක් ලබාගත නොහැකි වෙයි ද? එසේ වුවහොත් ඇයට ඇයගේ අමිහිරි අවස්ථා මගහරවාගත හැකි වනු ඇත. මාටෝව් කොහේ ද, සූරිච්හි ද නැත්නම් ඔහු දැනටමත් පිටව ගොස් ද? (8)

මෙම ලිපියෙන් ට්‍රොට්ස්කි ඇක්සල්රොඩ්ගෙන් නයක් ඉල්ලා සිටියි. ඔහුගේ බිරිඳ මුද්‍රනාලයට සැලකිය යුතු මුදලක් නය වී සිටියි. පැහැදිලිව ම ඔවුන් සිය පෞද්ගලික ආදායම දේශපාලන කටයුතු සඳහා යොදවා ඇත. සර්විස්ගේ ප‍්‍රකාශයට සපුරා වෙනස් ලෙස රුසියාවෙන් ප‍්‍රන්සයට මුදල් එවීම පහසු කටයුත්තක් වූයේ නැත. ට්‍රොට්ස්කිට හා ඔහුගේ බිරිඳට "අමිහිරි සිදුවීම්” වලක්වා ගැනීම සඳහා බෙහෙවින් අවශ්‍යව තිබුනු රූබල් 200 තානාපති කාර්යාලයේදී නැතිවී තිබුනි. යලිදු වතාවක් සර්විස්, ලේඛනාගාරයෙහි ඇති වැදගත් තොරතුරු සමහරක් සිය පාඨකයින්ගෙන් වසං කරනවා මෙන්ම වැරදියට අර්ථකථනය කරයි. මක්නිසා ද යත් පහත් හා අගතිගාමී ලෙස ගොඩනගන ලද ඔහුගේ වෘත්තාන්තය එමගින් ප‍්‍රශ්නයට බඳුන් කරන බැවිනි.

1907දී ට්‍රොට්ස්කි මවිතකර ලෙස සයිබීරියාවෙන් පලා යාමෙන් පසුව, බටහිර යුරෝපය තුල ගත කල දේශපාලන පිටුවහල් ජීවිතයේ දශකයක කාලය තුල, ඔහු හා බිරිඳ ගත කල ජීවිතය පිලිබඳ තතු කිසිවක් අපි සැබවින්ම දන්නේ ද? 1907-14 හත් වසරක් වියානාවේ ගත කල ජීවිතයේ අවස්ථා ට්‍රොට්ස්කි යට සඳහන් කෙටි විස්තරය තුල සපයා තිබේ.

කිව්ස්කායා මයිසල් වෙතින් මට ලැබුනු ආදායම අපගේ සාමාන්‍ය පැවැත්ම සඳහා හොඳටම සෑහුනි. එහෙත් ප‍්‍රව්ඩාව (පත‍්‍රයට) සඳහා මාස ගනන් වැඩකල අවස්ථාවන්හි දී ගෙවීමක් ලබාගැනීම සඳහා එක් පේලියක් හෝ ලිවීමට මට කාලවේලා නොතිබුනි. එසේ අර්බුදය ඇතිවිය. මාගේ බිරිඳ උකස් සාප්පු වෙත මග සොයාගත්තාය. වඩා ඉසුරුබර කාලයන්හි මිලට ගත් පොත පත, පොත් වෙලෙන්ඳන්ට යලි විකුනා දැමීමට මට සිදු විය. නිවසේ කුලිය පියවීමට අප සන්තකයේ තිබූ දුප්පත් වත්කම් අත්පත් කරගත් අවස්ථාවන් ද විය. අපට ලදරුවන් දෙදෙනෙකු සිටිය ද සේවිකාවක් නොසිටියේය. අපගේ ජීවිතය මාගේ බිරිඳට බාධක යුගලයක් විය. එහෙත් ඇය තවමත් විප්ලවවාදී වැඩකටයුතු වලදී මට උදව් කිරීමට ශක්තිය හා වේලාව සොයා ගත්තාය. (9)

ට්‍රොට්ස්කිගේ තොරතුරු රුසියානු විප්ලවවාදියෙකු වූ මොයිසෙයී ඔල්ජින්ගේ එකතුකිරීම් මගින් සනාථ කරයි. 1918දී ට්‍රොට්ස්කිගේ ලිපි ලේඛනවල මුල් එකතුවක සංඥාපනයට, ඔහුගේ පිටුවහල් ජීවිතය පිලිබඳ විස්තරයක් හෙතෙම ඇතුලත් කලේය.

වියානාහි ඔහුගේ නිවස, සතියකට ඩොලර් 18ක් උපයන සාමාන්‍ය ඇමරිකානු කම්කරුවෙකුගේ නිවහනකට වඩා දුප්පත් විය. ට්‍රොට්ස්කි (10) ඔහුගේ ජීවිතය පුරාවට ම දුප්පත්ව සිටියේය. වියානාහි කම්කරු පන්තික නිවහන් ප‍්‍රදේශයක පිහිටි කාමර තුනකින් සමන්විත ඔහුගේ නිවසෙහි සුවපහසු ජීවිතයකට අවශ්‍ය ගෘහ භාන්ඩ තිබුනේ නැත. වියානාවේ මධ්‍යම පන්තික වැසියන්ගේ දෑස් හමුවේ "ශිෂ්ඨ” ලෙස පෙනීසිටින්නට තරම් ඔහුගේ ඇඳුම් පැලඳුම් හොඳ තත්වයේ තිබුනේ නැත. මම ඔහුගේ නිවසට ගිය අවස්ථාවක දී ට්‍රොට්ස්කි මහත්මිය ගෙදර වැඩවල නිරතව සිටිනු දුටුවෙමි. දැකුම්කලු ලා පැහැති කෙසින් හෙබි පිරිමි ලමුන් දෙදෙනා ඇයට ලබා දුන්නේ මඳ සහායක් නම් නො වේ. නිවසට වැදගත් පෙනුමක් දුන්නේ සෑම අහු මුල්ලකම විසිරී තිබුනු පොත්පත් මිටි වලිනි. එය සමහරවිට සැඟවුනු මහත් බලාපොරොත්තු වලින් පිරී තිබුනි. (11)

සර්විස්ගේ චරිතාපදානයෙහි එහෙන් මෙහෙන් තෝරාගත් පිටු හතරකින් මම මේ නිදසුන් උපුටා ගත්තෙමි. අපහසුතාවකින් තොරව මට තවත් දුසිම් ගනනක් සොයාගත හැකිව තිබුනි. හුදෙකලාව බලන කල මෙම දෝෂයන්ගෙන් සමහරක් සාපේක්ෂව සුලු දේ ලෙස පෙනීයා හැකිය. එහෙත් පිටු 500ක පොතක් පුරා පැතිර තිබෙන ඒවායේ රාශීකාරක බලපෑම, සැබෑ ඓතිහාසික චරිතයක දැවැන්ත සරදමක් නිර්මානය කරන්නේය. පාඨකයාට ඉදිරිපත් කෙරෙන්නේ සමකාලීන ප‍්‍රති කොමියුනිස්ට්වාදියෙකුගේ සුදුසුකම් වලින් සපිරුනු "ට්‍රොට්ස්කි” කෙනෙකි.

නියු සූචර් සෙයිටුන්ග්හි වෙබ් සංස්කරනයක පල කල විමර්ෂනයක් තුල සර්විස්ගේ කෘතිය ප‍්‍රසංශාවට ලක් කරන ඉතිහාසඥ උල්රිච් ස්කිමිඩ්, "මොනිටා” යන වචනය භාවිතා කරමින්, කෘතියේ සමස්ත වටිනාකම සැලකිය යුතු තරම් බාල්දු නොකරන පරිසිද්ධිමය දෝෂ අදාල වන්නේ, සුලු විස්තර වලට පමනක් බවට තර්ක කරයි. පහත සඳහන් ප‍්‍රකාශය සමගින් ඔහු මෙම ආස්ථානය යුක්තිසහගත කරයි. "නෝර්ත් හෝ පැටිනෝඩි යන කවරෙකුවත්. ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී උන්මාදය හා ප‍්‍රචන්ඩත්වය යොදාගැනීමෙහිලා ඔහුගේ කැමැත්ත පිලිබඳව සර්විස්ගේ මූලික විවේචන දියකර හරින තර්ක ඉදිරිපත් කර නැත. අයෝමය හස්තයකින් ට්‍රොට්ස්කි 1918 රතු භීෂනය මුදාහල අතර 1921දී ක්‍රොන්ස්ටාඩ් නාවිකයින්ගේ නැගිටීම ලේ වැකි මර්දනයකට ලක් කරන නියෝග දුන්නේය.” (12)

ස්කිම්ඩ් තර්ක කරන්නේ ඉතිහාසඥයෙක් ලෙසින් නොව සුලු ධනපති සදාචාරවාදියෙකු ලෙසින්ය. සර්විස්ගේ පරිසිද්ධිමය දෝෂ හා ප‍්‍රබන්ධ, ට්‍රොට්ස්කි පිලිබඳව සදාචාරමය පදනමක කරන ඔහුගේ හෙලාදැකීම්වල බලපෑම නිෂ්ප‍්‍රභා කරන්නේ නැතැයි යන්න ස්කිමිඩ්ගේ ආස්ථානයයි. මේ වර්ගයේ අගතිගාමී තර්කයකට දියහැකි පැහැදිලි පිලිතුර, සර්විස් හුදෙක් ලිවිය යුතුව තිබුනේ "මා ට්‍රොට්ස්කිට වෛර කරන්නේ මන්ද” යන හිසින් යුත් පොත් පිංචකි. පසුව මෙම ලියවිල්ල ඓතිහාසික චරිතාපදානයක් ලෙස නොව ඔහුගේ ම පුද්ගල සදාචාරාත්මක, දේශපාලනික හා සමහරවිට ආගමික විශ්වාසයන් ඇතුලත් ප‍්‍රකාශයක් ලෙස අලෙවි කල යුතුය. බොල්ෂෙවික් නායකයින් ඝාතනයෙන් ද ලෙනින්ගේ ජීවිතය නූලෙන් බේරුනු ඝාතන තැතෙන් ද පසුව ආරම්භ වූ 1918 රක්ත භීෂනය සඳහා ද ක්‍රොන්ස්ටාඩ් නැගිටීම මැඞීමට ද ට්‍රොට්ස්කිගේ සහාය පලවූයේ මන් ද යන්න පැහැදිලි කිරීමට උල්රිච් ස්කිමිඩ් අසමත් වෙයි. ඓතිහාසික වාර්තාව සමග අප‍්‍රවේශමෙන් ගනුදෙනු කිරීමේ වගකීම වෙනුවෙන් ඔහු සර්විස්ට සමාව භජනය කරයි. තව ද හෙතෙම ඓතිහාසික සිදුවීම් වටහා ගැනීමට හා පැහැදිලි කිරීමට මෙන්ම ට්‍රොට්ස්කිගේ හා බොල්ෂෙවික් තන්ත‍්‍රයේ කටයුතු හැඩ ගැන්වූ දේශපාලන පීඩනයන් අවබෝධ කර ගැනීමට යම් උත්සාහයක් දරයි.

බැරෑරුම් ඉතිහාසඥයෙක් සදාචාරාත්මක ප‍්‍රශ්න කෙරෙහි උදාසීන ආකල්පයක් ගන්නේ නැත. එහෙත් සදාචාරමය හෙලාදැකීම නියමයක්ව පවතින්නේ නම්, එය වෘතාන්තයේම තර්කනයෙන් පරිබාහිර, ගොනුවූ බලයක් සහිතව හිස ඔසවනු ඇත. ඉතිහාසඥයා සිය "සදාචාර” ආස්ථානය තහවුරු කිරීමේ අටියෙන් ඓතිහාසික වාර්තාව සැඟවීමේ හෝ මුසාකරනයේ අවශ්‍යතාවය ඇඟට ගත නොයුතුය. ඉයන් කර්ෂෝ වැනි අව්‍යාජ ඉතිහාසඥයෙකුට හිට්ලර් වෙත සිය ඇඟල්ල වනමින් සිය පාඨකයාට නැවත නැවතත් ඔහු කෙතරම් භයංකර ද යන්න සිහිපත් කිරීමේ අවශ්‍යතාවක් නොතිබුනි. හිට්ලර්ගේ සාපරාධිත්වය හා ඔහු නායකත්වය ගත් තන්ත‍්‍රයේ බිහිසුනුකම ඉතිහාසඥයාගේ වෘත්තාන්තයෙන්ම මතුව එයි. ලේඛනාගාර වාර්තාව හා ද්වීතීයික සාහිත්‍යයේ ඉමහත් ස්කන්ධය පිලිබඳ කර්ෂෝගේ අධිකාරය ගැන කිසිදු සැකයක් නැත. තව ද ඉතිහාසඥයෙක් ලෙස කර්ෂෝ හිට්ලර් කෙරෙහි උනන්දු වූයේ හුදෙක් පුද්ගලයෙක් ලෙසින් නොවේ. ඔහු එවන් පුද්ගලයෙක් බලයට පත්වූයේ කෙසේ ද හා ජන සමූහයකගේ වන්දනාමානයට පාත‍්‍ර වූයේ කෙසේ ද යන්න වටහා ගැනීමටත් පැහැදිලි කිරීමටත් උත්සාහ කලේය.

සැබවින්ම වස්තු විෂය පිලිබඳ කර්ෂෝගේ තේරීම, සදාචාර ප‍්‍රශ්නය මත නිශ්චිත අර්ථයකින් සරල කෙරී ඇත. ඓතිහාසික වාර්තාවට අවංකව හා සාධාරනව සලකන්නේ නම් හිට්ලර් අපරාධකාරී තන්ත‍්‍රයකට නායක්වය දුන්නේය යන නිගමනය කරා පැමිනීම නොවැලැක්විය හැකිය. විකෘති කිරීමට, මුසාකරනයට හා බොරු ගෙතීමට යොමුවිය යුත්තේ, කුප‍්‍රකට ඩේවිඩ් අර්වින් වැනි එම තන්ත‍්‍රය යුක්තිසහගත කිරීමට වෑයම් කරන්නවුන්ය.

සර්විස් මුහුනපාන ගැටලුවේ මූලය පවතින්නේ මෙහිය. ට්‍රොට්ස්කි නින්දිත හා සාපරාධී දේශපාලන චරිතයක් ලෙස පවා පින්තාරු කරන ඔහුගේ උත්සාහයන් තිරසාර කිරීමේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ආම්පන්න, ඓතිහාසික වාර්තාවෙන් උපුටා ගැනීමට ඔහුට නොපුලුවන් විය. එබැවින් ඔහුගේ අරමුන සපුරා ගැනීම පිනිස 1930 ගනන්වල ස්ටැලින් කලාක් මෙන් බොරු ගෙතීම, අර්ධ සත්‍යයන් හා අමූලික මුසාවාදයන්හි පිහිට පැතීමට ඔහුට සිදුවිය.

සත්‍යවාදී අවස්ථාවක, ට්‍රොට්ස්කිගේ කීර්තිය විනාශ කිරීමේ ලා ඔහුගේ ඝාතකයා අසමත් වූ දේ සාර්ථකව නිමා කිරීමට තමන් සමත්වී ඇතැයි කල්පනා කරන බව සර්විස් පැවසී ය. එහෙත් මෙම ව්‍යායාමය මුලුමනින්ම අසාර්ථක වී ඇත. සර්විස්ගේ චරිතාපදානයෙන් මුලුමනින්ම විනාශ කර ඇති එකම දෙය එහි කතෘගේ ම කීර්තිය පමනි.

පාද සටහන්:

(1) කියවන්න en. wikipedia.org/wiki/habent_sua_fata_libelli

(2) What is History? (ඉතිහාසය යනු කුමක් ද?) ලංඩන්, පෙන්ගුයින්, 1990, පි.23

(3) සර්විස්, Trotsky, (ට්‍රොට්ස්කි), පි.137

(4) My Life (මගේ ජීවිතය), මිනි ඕලා, නිව් යෝර්ක් ඩෝවර් 2007 පි.237-38

(5) සර්විස් Trotsky, (ට්‍රොට්ස්කි), පි.138

(6) පරිවර්තනය කලේ ෆෙඩ්රික් එස්. කොඒට් විසිනි.

(7) සර්විස් Trotsky, (ට්‍රොට්ස්කි), පි.140-41

(8) පරිවර්තනය කලේ ෆෙඩ්රික් එස්. කොඒට් විසිනි.

(9) My Life (මගේ ජීවිතය), පි.232

(10) ට්‍රොට්ස්කිගේ නම "z" අකුර යොදා කෙරෙන ඉංග‍්‍රීසි අක්ෂර පරිවර්තනය විප්ලවයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි සාමාන්‍ය දෙයකි.

(11) කියවන්න, www.Marxists.org/archive/trotsky/1918/ourrevo/ch01.htm

(12) “Streit um Trotzky,” February 21" 2012

Share this article: