දස දහස් ගනන් ජනතාව පෘතුගාල හා ස්පාඤ්ඤ කප්පාදු ප්‍රතිපත්ති වලට විරෝධය දක්වති

Tens of thousands protest austerity policies in Portugal, Spain

By Patrick Martin, 1 October 2012

බැංකුකරුවන්, මහා ව්‍යාපාරිකයන් හා යුරෝපීය සංගමය ඉල්ලා සිටි ම්ලේච්ඡ කප්පාදු ප්‍රතිපත්ති සමග යුරෝපීය කම්කරු පන්තියේ වැඩෙන ගැටුම් මධ්‍යයේ, දස දහස් ගනනක් කම්කරුවෝ, තරුනයෝ, රැකියා නැත්තෝ හා විශ්‍රාමිකයෝ 29දා, පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ ප්‍රධාන නගර තුල පෙලපාලි වලට සහභාගීවූහ.

Lisbonට්‍රොයිකාවට එරෙහි සැප්තැම්බර් 15 ලිස්බන්හි පැවති උද්ඝෝෂනයක් [ පිංතූරය: පේද්‍රෝ රිබේරෝ සිමෝස්]

විශාලතම විරෝධතා පැවති පෘතුගාලයේ, ආනයන අපනයන වෙලඳාම ඇනහිටුවමින් වරාය කම්කරුවෝ ද වැඩවර්ජනය කලහ. රැකියාවලට තර්ජනය කරන සේවා නීති වෙනස් කිරීමට පලවන විරෝධය මගින් ඇවිලවූ වරාය වැඩවර්ජනය සති පහක් පුරා ඇදී ගියේය. පෘතුගාලයේ විරැකියා රේට්ටුව නිල වශයෙන් සියයට 15.7ක් වුවත් සීජීටීපී වෘත්තීය සමිති සම්මේලනය විසින් එය සියයට 20ටත් වඩා ඉහල බව ඇස්තමේන්තු කරනු ලැබේ.

ගෝලීය ආර්ථික පසුබෑම ද අගමැති පෙඩ්‍රෝ පැසෝ කොඑල්හෝගේ දක්ෂිනාංශික සභාග ආන්ඩුව විසින් පටවන අයවැය කප්පාදුවල බලපෑම ද යටතේ, පෘතුගාල ආර්ථිකය මෙම වසරේ සියයට 3කින් හැකිලෙන අතර ලබන වසරේ ද අවපාතයට මුහුන පානු ඇතැ යි බලාපොරොත්තු වේ.

සමාජ ආරක්ෂනය සඳහා කම්කරුවන්ගේ දායකත්වය සියයට 11 සිට සියයට 18 දක්වා නැංවීමට, එනම් සියයට 7කින් සියලු ම දෙනාගේ වැටුප් කැපීමකට සමාන වන කොඑල්හෝ ආන්ඩුවේ යෝජනාව, සති දෙකකට පෙර දැවන්ත විරෝධතා ඇවිලවී ය. දශලක්ෂයක් ජනතාව ලිස්බන් අග නගරයේ හා අනෙකුත් ප්‍රධාන නගරවල වීදි අරක්ගෙන විරෝධය දැක්වූහ. පෘතුගීසි විප්ලවය අතරතුර දී පැවති 1974 මැයි දින විරෝධතාවන්ට පසු පැවති විශාලත ම විරෝධතාව මෙය විය.

කම්කරුවන්ගේ වැටුප්වලින් වැඩි වැඩියෙන් කපාගන්නා මුදල් හාම්පුතුන් සඳහා සියයට 6ක බදු කප්පාදු සමග ඈඳීම නිසා කොඑල්හෝ ආන්ඩුවේ යෝජිත පියවර "සිය හාම්පුතුන්ට ගෙවීමට කම්කරුවන් කොල්ලකෑම” ලෙස විස්තර කෙරුනි. ආන්ඩුව මෙම සැලැසුමෙන් පසුබා ඇතත් එය පෘතුගාල ධනවාදයේ අර්බුදය සඳහා කම්කරුවන්ට ගෙවීමට සලස්වන ඒ සමාන ම ප්‍රතිගාමී වෙනත් ක්‍රමවේදයන් සූදානම් කිරීම සඳහා පමනි.

ලිස්බන් නුවර ප්‍රකා ඩි කොමර්සිඕ චතුරශ්‍රය තුල ආසන්න වශයෙන් 100,000ක් යයි ගනන් බලන ලද ජනකායක් රැලිවූ අතර සති දෙකකට පෙර පැවති තරම් විශාල නොවුනත් මෙය, ජනගහනය මිලියන 11ක් පමනක් වන රටකට තවමත් දැවන්ත සංඛ්‍යාවකි. සමාජ ආරක්ෂන බදු වැඩි කිරීම අත්හිටුවීමේ තීරනය චිරස්ථායි ජයග්‍රහනයක් ලෙස වෘත්තීය සමිති, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ පක්ෂය හා ව්‍යාජ වාම කන්ඩායම් විසින් පතුරන ලද මිත්‍යාවන් නිසා සහභාගිත්වය යම් තරමකින් අඩුවුනි.

ග්‍රීසිය, අයර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය ඇතුලත් අනෙකුත් නය ගැති යුරෝපීය රටවල කම්කරු ජනතාව මත යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන “ත්‍රිත්වය” විසින් ඒකාබද්ධව පටවා ඇති කප්පාදු ප්‍රතිපත්ති හෙලා දකිමින් කම්කරුවෝ බැනර ගෙන ගියහ. කොඑල්හෝ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බලකරන ක්‍රියාවන් සඳහා මහජන ඉල්ලීම් නැඟී එයි.

මහා වැඩවර්ජනයක් කැඳවීමට තර්ජනය කරමින් සීජීටීපී වෘත්තීය සමිති නායකයෝ රැස්වීමේ දී මහ හඬින් කයිවාරු ගැසූහ. මහජන අප්‍රසාදය වාෂ්පකර හැරීමේ එක් දින සංකේත වැඩවර්ජනයකට සීමාවීමට ඉඩ ඇති ක්‍රියාව පිලිබඳව තීරනයක් ගැනීමට, සීජීටීයූ නායකත්වය 03දාට රැස්වීමක් සූදානම් කර ඇති අතර, කම්කරු පන්තිය මත කප්පාදු බර පැටවීමට වෘත්තීය සමිති, දක්ෂිනාංශික ආන්ඩුව හා බැංකු සමග අතිනත ගෙන වැඩ කරති.

පෘතුගාල මුදල් ඇමති විටෝර් ගැස්පර් පැවසුවේ, කම්කරුවන් මත පැනවූ සමාජ ආරක්ෂන බදු වැඩිකිරීම් වෙනුවට ආන්ඩුව, ඉක්මනින් ම නව අයවැය කප්පාදු ඉදිරිපත් කරනු ඇති බව යි. මුලින් අනකල පරිදි අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.5 සිට සියයට 5ක් දක්වා වැඩි කරමින් පෘතුගාලය සඳහා 2012 වර්ෂයේ හිඟ පියවීමේ ඉලක්ක ලිහිල් කිරීමට ත්‍රිත්වය එකඟ විය. එහෙත් ආන්ඩුව 28දා නිකුත් කල සංඛ්‍යාවලට අනුව, 2012 පලමු භාගයෙහි පෘතුගාලයේ හිඟය සියයට 6.8ට ලඟාවී තිබුනි.

යුරෝපා සංගමය හා බැංකු අනකල කප්පාදු වැඩසටහන යටතේ, වැටුප් කප්පාදු හා බදු නැංවීම් සමග මේ වන විටත් පෘතුගාලයේ සාමාන්‍ය කම්කරුවෙකුගේ ජීවන තත්වය සියයට 24කින් කපා හැර ඇත. එරට වැටෙමින් පවතින මූල්‍ය පද්ධතියට ඇප දීමේ යුරෝ බිලියන 78 සඳහා ගෙවා ඇත්තේ කම්කරුවන් මිස පෘතුගාල ධනේශ්වරය විසින් නොවේ. ඔවුන්ගේ ධනය ඉතිරිකර තිබේ.

සෙනසුරාදා ස්පාඤ්ඤය හරහා පැවති විරෝධතා පොලීසිය විසින් ප්‍රචන්ඩ ලෙස මර්දනය කෙරිනි. මැඩ්රිඩ්හි අගමැති මරිආනෝ රජෝව්ගේ දක්ෂිනාංශික ආන්ඩුවට එල්ල කල “ඔවුන් පන්නව්, ඔවුන් පන්නව්” යන සටන් පාඨ හඬ නඟමින් මේ සතියේ තුන්වැනි වතාවටත් පෙලපාලිකරුවන් පාර්ලිමේන්තුව වෙතට ගමන් කල නමුත් පොලීසිය ගොඩනැගිලිවලට පිවිසීම අවහිර කලහ.

බැටන් පොලු වලින් සන්නද්ධ පොලීසිය ප්ලාසා ඩී නෙප්චූන් චතුරශ්‍රය අතහැර යාම ප්‍රතික්ෂේප කල පෙලපාලිකරුවන් 300ක් වට කරමින් පහර දුන්හ. ගිලන් රථයකින් ඉවතට ගෙන යන ලද විරෝධතාකරුවෙකුට පොලීසිය තදින් පහර දෙනු දුටු බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පියෙක් වාර්තා කලේ ය.

සිකුරාදා රජෝයිගේ ආන්ඩුව, රජයේ සේවකයන්ගේ වැටුප් කැටිකරමින්, විරැකියා ප්‍රතිලාභ කපමින් හා ස්පාඤ්ඤයේ රාජකීය පවුලේ වියදම් අඩුකරමින් සමස්ත වියදම යුරෝ බිලියන 40කින් කපා දමන අයවැය යෝජනා කෙටුම්පත ඉදිරිපත් කලේ ය.

ඔබ්සර්වර් ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කල එක් වීඩියෝවක්, හෙල්මට් ලා ගත් පොලීසිය ඔවුන්ගේ මුගුරු ලෙලවන විට මැදි වයසේ පුද්ගලයෙකු තම අත් තරුනයෙකු වටා යවමින් ඔහු ආරක්ෂා කරන අතර “ලැජ්ජා නැද්ද, ලැජ්ජා නැද්ද” යි කෑගසනවා පෙන්වී ය. එම වීඩියෝ පටයම, පොලිස් භටයින් දෙදෙනෙකු දුම්රිය නැවතුම්පොලක් තුල තරුනයෙකුට පහර දෙනු පෙන්වීය. “ඔහු මගියෙක් ද නැත්නම් විරෝධකරුවෙක් ද මම දන්නේ නෑ” යි ඔවුන්ගෙන් එකෙක් අනෙකාට පවස යි.

මැඩ්රිඩ්හි පාලක මහජන පක්ෂයේ(පීපී) නායිකා ක්‍රිස්ටිනා සිෆියුන්ටේස් ප්‍රචන්ඩ රැඩිකලුන් පෙලපාලි තුලට වැ‍ෙදමින් සිටින බව පැවසූ අතර පෙලපාලිකරුවෝ, විරෝධතා ව්‍යාපාරයට අයත් වූවන් ලෙස මවාපාමින් හා ප්‍රචන්ඩ ක්‍රියා උසිගන්වමින් සිටි වෙස්වලාගත් පොලිස් භටයින් කන්ඩායමක් හඳුනා ගත්හ. එක් වීඩියෝ පටයක් පෙන්වූයේ, වෙස්වලාගත් පොලිස් භටයින්ගෙන් එකෙකු පොලීසිය විසින් සෙනඟ ගොඩෙන් පිටතට ඇදගෙන යන ආකාරය යි. ඔහු අත්අඩංගුවට ගැනීම ගැන කැමති බව දක්නට තිබුනු අතර “මම සහෝදරයෙක්!” යයි ඔහු පොලිසියට පවසනු එහි දිස් විය.

පෘතුගාලයේදී මෙන්ම ස්පාඤ්ඤයේ ද සමහර ප්‍රදේශවල පෙලපාලි, වැඩවර්ජකයින් සමග ඒකාබද්ධ විය. රාජ්‍ය ප්‍රවාහන සේවකයෝ මැඩ්රිඩ් ඇතුලුව ස්පාඤ්ඤයේ වැඩිකොටසක වැඩවර්ජනය කල අතර, දුම්රිය පද්ධතිය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධව දුම්රිය මාර්ග කම්කරුවන් ද ඊට එක් වෙමින් 01දා වර්ජනය දුරදිග යෑමේ තර්ජනය එල්ල කර තිබේ.

යුරෝපා සංගම් සංඛ්‍යාලේඛන ආයතනය වන යුරෝස්ටැට් විසින් යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා සමස්තයක් වශයෙන් පාලක පන්තිය සැලැසුම් කර තිබෙන කම්කරු පන්තියේ ජීවන තත්වයන්හි කප්පාදුවේ තරම පිලිබඳ දැකීම් මාත්‍රයක් සපයයි. යුරෝස්ටැට් පුරෝකථනය කලේ 2012 හා 2013දී ඒකක ශ්‍රම පිරිවැය ස්පාඤ්ඤයේ සියයට 4.7කින් ද, පෘතුගාලයේ සියයට 3.8න් හා ග්‍රීසිය තුල විස්මය ජනක සියයට 9.5කින් ද කපනු ඇති බව යි.

කම්කරුවන් දරුනු කප්පාදුවලට මුහුන දෙන අතර බැංකු තවත් ඇපකර ලබා ගන්නවා ඇත. අයවැය ඇමති ක්‍රිස්ටෝබල් මොන්ටෝරෝට අනුව ස්පාඤ්ඤ ආන්ඩුවේ යුරෝ බිලියන 100ක බැංකු ඇපකරය, අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 8.96 සිට සියයට 9.44 දක්වා වැඩි කලේ ය. දදේනියේ කොටසක් ලෙස රාජ්‍ය නය 2012දී සියයට 85.3 සිට සියයට 90.5 දක්වා නගිනු ඇති අතර, එහි අර්ථය වනුයේ යුරෝපා මහ බැංකුව ඉල්ලූ මට්ටමට සංඛ්‍යාව පහත දැමීම සඳහා රාජ්‍ය අංශයේ තවතවත් කප්පාදු අවශ්‍ය වන බව යි.

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහ සමුලුව තුල අගමැති රජෝයිගේ හැසීරීම මගින් ස්පාඤ්ඤයේ කප්පාදු ප්‍රතිපත්ති තවදුරටත් අප්‍රිය වුනි. වැටුප් හා ප්‍රතිලාභ කප්පාදුවලට එරෙහිව කම්කරුවන් වීදිවල පෙලපාලී යද්දී ඔහු, මිල අධික අවන්හලක් තුල සුරුට්ටුවකින් දුම් පිටකරනවා ඡායාරූප ගත කර තිබුනි.

ඔහු වෝල් ස්ට්‍රීට් ජර්නලයට සම්මුඛ සාකච්ඡාවක් ද දුන් අතර, අවශ්‍ය වුවහොත් පූර්න පරිමානයේ ඇපදීමකින් ස්පාඤ්ඤ බැංකු පද්ධතිය බේරා ගැනීමට වන ඔහුගේ පොරොන්දුව නැවත සහතික කලේ ය.

Share this article: