ශ්‍රී ලංකාවේ සමිති මාස තුනක විශ්ව විද්‍යාල වර්ජනය පාවා දෙයි

Sri Lankan union sells out three-month university strike

By Panini Wijesiriwardane , 16 October 2012

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) මාස තුනක් පුරා ඇදී ගිය වැඩවර්ජනය ඉකුත් බ්‍රහස්පතින්දා ආන්ඩුවේ පීඩනයට යටත් වී පාවා දී ඇත. වැඩවර්ජනය අතහැර දමනු ලැබ ඇත්තේ අධ්‍යයන කාර්ය මන්ඩලයේ කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමෙන් තොරව ය.

ජුලි 04 දා ඇරැඹි වෘත්තීය ක්‍රියාමාර්ගයට විශ්වවිද්‍යාල 14 ක ආචාර්යවරු 4,000 ක් පමන සහභාගී වූහ. ඔවුහු සිය වැටුප් සියයට 20 න් ඉහල දමන ලෙස හා ආන්ඩුව අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමානය රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 6 ක් දක්වා ඉහල දමන ලෙස ඉල්ලා සිටියහ.

කැබිනට් අමාත්‍යවරු හා අධ්‍යාපන නිලධරයන් සමග පැවති රහස් හමුවන් මාලාවකට පසු විආසස නිලධරය ආන්ඩුවේ වැදගම්මකට නො මැති "සහතිකයන්” පිලිගනු ලැබී ය. විආසස ප්‍රකාශ කර සිටියේ භාන්ඩාරගාර ලේකම් පී.බී. ජයසුන්දර විසින් ලියනු ලැබූ ලිපිය මගින් ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධ මුදල් අමාත්‍යංශයේ පොරොන්දුව සහතික කොට ඇති බවයි. එය කෙසේ වුවද ඔහුගේ ලිපියේ සරලව ම සඳහන් කර තිබුනේ "2013 අයවැය සිට ආරම්භ වන අවුරුදු පහක් ඇතුලත වු මධ්‍ය කාලීන වැඩසටහනක් මත විආසස වැටුප් සම්බන්ධව මතුකර ඇති උත්සුකයන් ආමන්ත්‍රනය කිරීමට සලකා බලනු ඇත... .” යන්නයි.

මෙම ලිපිය වැඩවර්ජනය ආරම්භයේ පටන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ගනු ලැබු ස්ථාවරයම දරන අතර එය කිසිවක් සම්බන්ධයෙන් සහතික නොවෙයි. ඊට අමතරව, එය මහජන අධ්‍යාපන වියදම් ඉහල දැමීම සම්බන්ධව කුමන හෝ සහතික වීමක් ලබා නොදුනි.

තම ගිවිසුම ප්‍රකාශ කිරීම සඳහා විආසසයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයෝ ජනාධිපතිගේ සහෝදරයා වන ආර්ථික සංවර්ධන කටයුතු පිලිබඳ අමාත්‍ය බැසිල් රාපක්ෂ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානයක සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගී වීමට මුලදී සිය කැමැත්ත පල කලහ. කෙසේ නමුත් ආචාර්යවරුන් අතර පැන නැගිය හැකි උග්‍ර විරෝධය ගැන සලකා බලා වෘත්තීය සමිතියේ විධායක සංගමයේ කොටසක් තමන් හා ආන්ඩුව අතර පවතින ඉතා සමීප සම්බන්ධතාවයන් විද්‍යමාන වීම වැලැක්වීමේ දැනුවත් උත්සාහයක කොටසක් ලෙස වෙනම මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරනය කලහ.

එසේ වුවද, ආන්ඩුවේ දක්ෂිනාංශික තෘතීයික අධ්‍යාපන "ප්‍රතිසංස්කරන” වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීමේ දී වඩාත් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කිරීම සඳහා වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනය පාවා දුන් බව සනාථ කරමින් දේවසිරි, බැසිල් රාජපක්ෂ සමග ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබුවේය.

"ශ්‍රී ලංකාව දකුනු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට” පත් කිරීම නම් වූ කඩතුරාව යොදා ගනිමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීම සඳහා ආන්ඩුව ගෙන යන වැඩ පිලිවෙල ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අනුමත කෙරින. "විශ්වවිද්යාල සම්පත් පෞද්ගලික ආයතනයන් හි භාවිතය සඳහා”අවසර ලබා දීමේ දී විශ්වවිද්‍යාල පීඨ මන්ඩල සහ සනාථන සභාවන් හි සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් ලේඛනය යොමු වෙයි.

එපරිදිම, ආන්ඩු-වෘත්තීය සමිති ප්‍රකාශනය උදක්ම ප්‍රකාශ කර සිටිනුයේ, පසුගිය වසරේ ආන්ඩුව නිවේදනය කල නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන සති හතරක අනිවාර්ය මිලිටරි පුහුනු පාඨමාලාව හෙවත් නව නායකත්ව පුහුනු පාඨමාලාවේ ස්වරූපය විශ්වවිද්‍යාල දේහයන් විසින් තීන්දු කල යුතු බවයි.

සමිති සංගම් සභාපති දේවසිරි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලැබී නොමැති බව පිලිගත්තේ ය. එනමුදු ඔහු අවධාරනයෙන් කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු පවතින බව ආන්ඩුව විසින් පිලි ගැනීම "වඩාත් වැදගත්ම ජයග්‍රහනය” බවයි. "විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ වෘත්තීය කොට්ඨාසයක් ලෙස පිලිගැනීම යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ඔවුන් ලැබූ "ජයග්‍රහනයක්” බව ද ඔහු තවදුරටත් සඳහන් කලේය.

වෘත්තීය සංගම් පරිපාලන නිලධාරියා ලජ්ජා විරහිත ලෙස බැසිල් රාජපක්ෂට ප්‍රශංසා කලේ ය. ඔහු "ගැඹුරු සාකච්ඡාවක් පැවැත් වීමට” අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් "අමාත්‍ය රාජපක්ෂ ට ස්තුති කිරීමට මම නො පැකිලෙන්නෙමි” යයි ප්‍රකාශ කලේ ය.

අධ්‍යාපන වියදම් වැඩි කිරීමේ ඉල්ලීම සම්බන්ධව විආසස කිසිදාක බැරෑරුම් නොවු බව දේවසිරි මෙහිදී පෙන්නුම් කරයි. මෙම ඉල්ලීම හුදෙක් "සංකේතයක්” ලෙස පමනක් පැවති බවත් එමගින් එය "වෘත්තීය සමිති ඉල්ලීම් වල හරය හැඩ ගැන්වුනේ” නැති බවත් සමිති සභාපති ප්‍රකාශ කලේය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් "අවසානයක් නොමැතිව ගමන් කල නොහැකි” බව හා "සම්මුතියකින්” කෙලවර විය යුතු බව දේවසිරි ප්‍රකාශ කල බව නේෂන් පත්තරය වාර්තා කලේ ය. ඔහු වැඩි දුරටත් පැවසූවේ විආසස උද්ඝෝෂනයට මානයන් දෙකක් පවතින බවයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැන් අවසන් වී ඇති නමුත් අධ්‍යාපනය සඳහා මුදල් වැඩි කර ගැනීමේ "පුලුල් උද්ඝෝෂනය” දිගටම ක්‍රියාත්මක බවයි. විආසස ප්‍රකාශක මහීම් මෙන්ඩිස් මෙසේ ප්‍රකාශ කලේය: "මෙය ඓතිහාසික අරගලයක තාවකාලික කල්තැබීමක් මිස ස්ථීර ඉවත් වීමක් නොවේ. ඉමහත් අධිෂ්ඨානයෙන් අපි මෙය ඉදිරියට ගෙන යනවා ඒ වගේම ආන්ඩුව එකඟ වු දේවල් ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු වෙනවා”.

ආන්ඩුව හා විආසස අතර වු එකඟත්වය සම්මුතියක් නොව සමිතිය විසින් සිදු කරන ලද පරිපූර්න පාවාදීමකි. එමෙන්ම, පාවා දීම සම්බන්ධයෙන් විආසස සාමාජිකයන් අතර පුලුල්ව පැතිරුනු විරෝධය වාෂ්ප කරන අටියෙන් "ඓතිහාසික අරගලය” තාවකාලිකව නතර කලේයැයි විආසස කරන ප්‍රකාශය පචයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට විරුද්ධ සමිති නායකත්වය ආන්ඩුව සමග වන සම්මුතියට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සමිති සාමාජිකත්වයට අවස්ථාවක් පවා ලබා නොදුනි.

අරගලයේ දී පෙනී සිටි සියලුම ඊනියා විරුද්ධ පක්ෂ විආසස පාවාදීම මගින් හෙලිදරව් කරනු ලැබ තිබේ. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය, හිටපු වම්මුන් වන නව සමසමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය දක්වා වන සියල්ලෝම වර්ජනය මධ්‍යයේ දී සමිති නිලධරයට සහයෝගය දුන්හ. පාවාදීමේ සිට මේ දක්වා පොදුවේ මේ සියල්ලෝම මුනිවත රකිමින් සිටිති.

ව්‍යතිරේකයක් වන්නේ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පමනි. ලංකාදීප පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු සාමාජිකත්වයේ ඡන්දය ලබා ගැනීමට සමිතිය අසමත් වීමත් පාවාදීමත් යන දෙකම සාධාරනීකරනය කරයි. "අපි කව්රුත් දන්නවා වර්ජනයක් දින නියමයක් නොමැතිව ඉදිරියට යන්න බැරි බව,” ඔහු ප්‍රකාශ කලේ ය. සිල්වා අවධාරනය කරන්නේ ආන්ඩුවේ තර්ජන ඉදිරියේ ආන්ඩුවට යටත් වීම හැර වෙන විකල්පයක් නොමැති වු බවයි.

වර්ජනය ආරම්භයේ පටන්ම විආසස නායකත්වය සහ ඊට පිටු බලය දුන් දේශපාලන පක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් වැලැක්වීම සඳහා කල හැකි සියල්ල කලහ.

වෘත්තීය සමිති විසින් ඉටු කරමින් සිටින ක්‍රියාකලාපය සම්බන්ධව සමාජවාදී සමානතා පක්ෂය (සසප) විශ්වවිද්‍යාල ආචාර්වරුන්ට හා අනෙකුත් කම්කරුවන්ට අනතුරු ඇඟවීය. සැප්තැම්බර් 25 දා නිකුත් කල "ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු” යන සසප ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේ ය.

"ජීවන තත්වයන් ආරක්ෂා කිරීම සඳහා වන පුලුල්ම උද්ඝෝෂනයක කොටසක් ලෙස තමන්ගේම ක්‍රියාකාරකම් වලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහයෝගය දෙන ලෙස කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී. මෙය අත්‍යවශ්‍යයෙන්ම රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්තක් ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතයට එරෙහි දේශපාලන අරගලයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (විආසස) නායකයන් එවන් ඉදිරිදර්ශනයකට මූලිකව ම විරුද්ධ වන බවත් රාජපක්ෂ ආන්ඩුවට යටත් වෙමින් වර්ජනය පාවාදෙනු ඇති බවටත් අපි අනතුරු අඟවමු.”

රාජපක්ෂ පරිපාලනය යටතේ හෝ වෙනයම් ධනපති ආන්ඩුවක් යටතේ හෝ විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් යථාර්ථයක් කර ගත නො හැකි බව සසප පෙන්වා දුන්නේ ය. රාජපක්ෂ සහ ඔහුගේ සගයන්, ලෝකය පුරා ඔවුන්ගේ සහකරුවන් සේම, කුරිරු ලෙස ක්‍රියාත්මක කරමින් සිටින්නේ ගෝලීය ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීම ඉලක්ක කර ගත් කප්පාදු වැඩපිලිවෙලකි.

විආසස නායකත්වයේ ග්‍රහනයෙන් තම අරගලය මුදා ගෙන තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසත්, රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි මත එල්ල කෙරෙන ප්‍රහාරයන්ට මුහුන දී සිටින කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරී ගන්නා ලෙසත් සසප ආචාර්යවරුන්ට කැඳවුම් කර සිටී. අනෙකුත් සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සේම, ආචාර්යවරුන්ගේ ඉල්ලීම් දිනා ගත හැකි වන්නේ සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා වු පුලුල් දේශපාලන අරගලයක් තුලින් පමනි.

Share this article: