එක්සත් ජනපදයේ විරැකියා දීමනා කැපීම හා දොට්ට දැමීම්, මිලියන 1.5 ත් වඩා දුගී බවට පත් කරයි

Cuts in US jobless pay, government layoffs throw 1.5 million more people into poverty

By Andre Damon , 10 September 2012

ඩිමොක්‍රටික් පක්ෂ සමුලුවෙන් දිනකට පසු, විරැකියා දීමනා කැපීම හා රාජ්‍ය අංශයේ කම්කරුවන් විශාල වශයෙන් දොට්ට දැමීම නිසා මිලියන 1.5ට වැඩි සංඛ්‍යාවක් ගිය වසරේ දී දරිද්‍රතාවට ඇද දමා ඇති බව ලාභ නොලබන බුද්ධි මන්ඩලයක් වන අයවැය හා ප්‍රතිපත්ති ප්‍රමුඛතා කේන්ද්‍රය (සීබීපීපී) නිකුත් කල වාර්තාවක් පෙන්නුම් කරයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ අගෝස්තු මාසය සඳහා වන අඳුරු රැකියා වාර්තාව සමග එක ම දිනයේ පලවූ සීබීපීපී වාර්තාව, සාමාන්‍ය "මධ්‍යම පන්තික” ඇමරිකානුවන්ගේ ආරක්ෂකයා හා රිපබ්ලිකානුවන් වෙනුවට අවංක විකල්පය ලෙස පෙනීසිටීමට ජනාධිපති බරක් ඔබාමා හා ඩිමොක්‍රටිකයන් ගනු ලැබූ නරුම කපටි උපාමාරුව කුඩු කර දැමී ය.

කම්කරු දෙපාර්තමේන්තුවට අනුව අගෝස්තුවේ දී ජනනය කෙරුනේ නව රැකියා 96,000ක් පමනක් වන අතර 368,000ට වැඩි රැකියා විරහිත පුද්ගලයෝ රැකියා සෙවීම අතහැර දැමූහ. ඇමරිකානු ජනතාව සිව් වසරකට පෙර සිටියාට වඩා අද පොහොසත් බව හා ඔබාමා පාලනය සුවවීමක් ආසන්නයට ආර්ථිකය ගෙනවිත් ඇතැයි ඩිමොක්‍රටික් සමුළලුව තුල එපාවන තරමට පුන පුනා කල ප්‍රකාශය මෙම සංඛ්‍යාලේඛන මගින් නිෂ්ප්‍රභා කලේ ය.

ඔබාමා පාලනයේ කම්කරු පන්ති විරෝධී ස්වභාවය හා එය හඹායන දක්ෂිනාංශික ප්‍රතිපත්ති පවා සීබීපීපී වාර්තා‍වෙන් පෙන්වා දෙයි. සංගත හා බැංකුවලට එරෙහිව කම්කරුවන් ආරක්ෂාකිරීමට වඩා ඔබාමා පාලනය රජයේ සේවකයන් සිය දහස් ගනනක් දොට්ට දැමීමට නිහඬව සහාය දෙන අතර, දොට්ට දැමුනු මිලියන ගනනක් කම්කරුවන් ඔවුන්ගේ එක ම ආදායම් මාර්ගයෙන් වියෝකර ඇත. රැකියා විරහිත ප්‍රතිලාභ තීරනාත්මක ලෙස කපා හරිමින් තිබේ.

රැකියා විරහිත ප්‍රතිලාභවල කාලසීමාව හා මට්ටම්වල කප්පාදු නිසා එම කාලය තුල පුද්ගලයන් 900,000ක් නිල දරිද්‍රතා මට්ටමින් පහතට වැටුන බව හා තවත් 666,000ක් ආන්ඩුවේ හා ප්‍රාන්ත ආන්ඩුවල දොට්ට දැමීම් නිසා දරිද්‍රතාවට වැටුන බව පසුගිය මාස 11 සඳහා වන දත්ත මත පදනම් ව සීබීපීපී වාර්තාව හඳුනා ගෙන ඇත . රැකියා විරහිත දීමනා කප්පාදුව හා ආන්ඩුවේ දොට්ට දැමීම් ඒකාබද්ධව සාමාන්‍ය මාසික දරිද්‍රතා රේට්ටුව 0.5කින් ඉහල නංවා ඇති බව සීබීපීපී නිගමනය කලේ ය.

2010දී පුද්ගලයෝ මිලියන 9.8ක් ප්‍රාන්ත හෝ මධ්‍යම ආන්ඩුවේ රැකියා විරහිත ප්‍රතිලාභ ලැබූහ. 2011දී මෙම සංඛ්‍යාව මිලියන 7.7 දක්වා සියයට 21න් වැටුනි. ගෙවන ලද ප්‍රතිලාභවල එකතුව සියයට 25න් නැතිනම් ඩොලර් බිලියන 36න් වැටුනි.

රැකියා විරහිත රක්ෂන ගෙවීම්වල දැවන්ත වැටීමක් සිදුවූයේ රැකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 569,000න් එනම් සියයට 4.2න් පමනක් අඩුවූ තතු තුලය. කාන්තාවක් හෝ පිරිමියෙක් රැකියාවක් සොයා ගැනීම හේතුවෙන් විරැකියා ප්‍රතිලාභ සඳහා නුසුදුසු වන හැම අයෙක් ම වෙනුවෙන් රැකියා නොමැති තිදෙනෙක් ප්‍රතිලාභවලින් කපා හැරුනි.

2011 වර්ෂයේ රැකියා විරහිත ප්‍රතිලාභ ගෙවීම්වල මුලු සංඛ්‍යාවේ වැටීම තුල වැදගත් සාධකයක් වූයේ 2009 සම්මත කරන ලද දිරිගැන්වීම් පනතේ ඇතුලත් වූ ඩොලර් 25ක මාසික ප්‍රසාද දීමනාව අවසන් වීම යි. ඔබාමා පාලනය මෙය දීර්ග කිරීමට උත්සාහ කලේ නැත.

මෙම වර්ෂයේ දී ආන්ඩුව රැකියා ප්‍රතිලාභවලට පහරදීම තවත් ඉදිරියට ‍ෙගන ගොස් ඇත. එය මධ්‍යම ආන්ඩුව මුදල් සැපයූ ප්‍රතිලාභ ගෙවීමේ කාල සීමාව සති 99 සිට සති 66 උපරිමය දක්වා තියුනු ලෙස අඩුකරමින් පසුගිය පෙබරවාරියේ දී පනතක් සම්මත කරන ලදී.

ජාතික රැකියා නීති ව්‍යාපෘතියට අනුව අගෝස්තුවේ දී පුද්ගලයන් 500,000ගේ රැකියා ප්‍රතිලාභ දීර්ග නොකරන ලද අතර මෙම වර්ෂය අවසාන වීමට පෙර තවත් 500,000ගේ ප්‍රතිලාභ අහිමිවෙතැ යි අපේක්ෂිත ය. දැනට තිබෙන අරමුදල් අවසන් වූ විට දෙසැම්බර් 31දා විරැකියා ප්‍රතිලාභ කල් ඉකුත්වීමට හැරීම ඔහුගේ බලපොරොත්තුව බවට ඔබාමා සෑම ඉඟියක් ම දී ඇත. එය වහාම තවත් පුද්ගලයන් මිලියන දෙකක් ප්‍රතිලාභවලින් ඉවත් කරනු ඇත.

දීර්ග කාලීන රැකියා විරහිතයන් මත එවැනි ප්‍රහාරයක් දෙවැනි ලෝක යුද්ධයෙන් මෙපිට ඇමරිකාව තුල එල්ල කෙරී නැත. නිල විරැකියා රේට්ටුව සියයට7.2ට ඉහලින් පවතිද්දී මීට පෙර රිපබ්ලිකානු හෝ ඩිමොක්‍රටික් පාලනයන් මධ්‍යම ආන්ඩුවේ රැකියා විරහිත ප්‍රතිලාභ අත්හිටවූයේ නැත. වර්තමාන රේට්ටුව 8.1කි.

ආන්ඩුවේ රැකියා අහෝසි කිරීම ද ඒ ආකාරයයේ ම විනාශකාරී බලපෑමක් ඇති කරයි. ප්‍රාන්ත, පලාත්පාලන හා මධ්‍යම ආන්ඩුව 2010-11 අතර රැකියා 386,000ක් අහෝසිකර ඇත. ඔබාමා බලයට පත්වීමේ තැන් පටන් ආන්ඩුවේ රැකියා 676,000ක් අහෝසි කිරීමට මූලිකත්වය ගෙන ඇත. මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද හමුදා විසුරුවාහල ටෲමන් පාලනයේ පලමු පාලන කාලය තුල දී නැතිවූ රැකියා සංඛ්‍යාව මෙන් දෙගුනයකට ආසන්න ය. සන්සන්ඳනය කර බලන විට, රේගන් පාලන‍ෙය් පලමු වාරයේ දී රැකියා 161,000ක ඉහලයාමක් පෙන්නුම් කරන ලදී.

කුමන පක්ෂය ධවල මන්දිරයේ පාලනය ගන්නවා ද යන්න නොසලකා ඔබාමා හා ඔහුගේ විරුද්ධවාදියා වන මිට් රොම්නි 2012 මැතිවරනය පසුපසින් සමාජ වියදම් කප්පාදුව අනිවාර්ය බව පැහදිලි කරමින් සිටිති.

සීබීපීපී වාර්තාව 2011 පලමු මාස 11 සඳහා වන ප්‍රාථමික දත්ත මත පදනම් විය. වඩා පුලුල් අධ්‍යයනයක් මත පදනම් වූ, 2011සම්පූර්න වර්ෂය ආවරනය කෙරෙන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දරිද්‍රතා වාර්තාව මෙම බදාදා නිකුත් කෙරෙනු ඇත.

ඔබාමා පාලනය ගෙනයන විරැකියා ප්‍රතිලාභ කප්පාදුව හා රාජ්‍ය අංශයේ රැකියා මත ප්‍රහාරය ඇමරිකානු කම්කරුවන්ගේ වැටුප් හා ප්‍රතිලාභ ඉන්දියාවේ හා චීනයේ කම්කරුවන්ගේ මට්ටමට පහල දැමීම සඳහා දැවන්ත විරැකියාව යොදාගැනීම සඳහා වන තල්ලුවේ සංරචක කොටස් ය.

මෙම තත්වය පෙන්නුම් කරන්නේ වත්මන් පාලනයේ ගැඹුරු ප්‍රතිගාමී ස්වභාවය හා රිපබ්ලිකානුවන් වෙනුවට ඩිමොක්‍රටිකයන් විකල්පයක් සපයන්නේ නැත යන කරුන යි. පක්ෂ දෙක අතර පවතින ඕනෑ ම වෙනසක් මුලුමනින්ම උපායාත්මක ස්වභාවයේ ඒවා ය. දෙගොල්ලන් ම මූල්‍ය ප්‍රභූවේ ආඥා ඉදිරියට ගෙනයති.

Share this article: