කොලඹ පවුල් 500ක් ඉවත් කිරීමට එරෙහි විරෝධය නඩුවකට කොටු කිරීමට විපක්ෂය තැත් කරයි

By Vilani Peiris, 29 September 2012

කොලඹ කොම්පඤ්ඤවීදියේ පවුල් 500ක් තම නිවෙස්වලින් ඉවත් කර දැමීමට විරුද්ධව ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය සැප්තැම්බර් 13 දා තීන්දු කල අතර මීලඟ විභාග කිරීම ඔක්තෝබර් 1 සඳදාට නියම වී තිබේ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව ගොනු කර ඇති මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉඩම් පවරා ගැනීමේ පනත යටතේ නිවාසවලින් ඉවත් කිරීමට පනවා ඇති නියෝගය බල විරහිත කරන ලෙස යි.

නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම නිවැසියන් ඉවත් කිරීම ඔවුන්ගේ මූලික අයිතියක් උල්ලංඝනය කිරීමක් මෙන් ම ජීවන හා සමාජ කොන්දේසිවලට එරෙහිව එල්ල කරන දරුනු පහරකි. එල්ල වන ප‍්‍රහාරය ගැන ප‍්‍රදේශයේ ජනයා අතර බරපතල විරෝධයක් ඇවිලී ඇත. ආන්ඩුවට සමාන ප‍්‍රතිපත්ති ඇති එක්සත් ජාතික පක්ෂය මහ ජනයා තුල පවතින කෝපය ගසා කෑමට තැත් කරන අතර ඔවුන් හුදෙක් නඩුවකට කොටු කර තැබීමට තැත් කරයි. නිවැසියන් වෙනුවෙන් නඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරයෙකු හා නීතිඥවරයෙකුු වන සුජීව සේනසිංහ සහ ෆාර්මන් කසීම් නීතිඥවරයාය.

මෙම නිවෙස්වල ජීවත් වන අති බහුතරය දුගීන් ය. ඔවුන්ගෙන් කොටසක් කම්කරු පවුල් ය. අනෙක් අය සුලු වෙලඳාමෙන් දිවි රැක ගනිති. කොම්පඤ්ඤවීදියේ දුම්රිය පල අසල ජාවා වීදිය දෙපස ජීවත් වන මෙම ජනයා පදිංචි නිවාස පිහිටා ඇති භූමියේ වපසරිය අක්කර 8ක් පමන වේ. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩම් අත්පත් කර ගන්නේ ඉන්දියාවේ මහ ව්‍යාපාරික ටාටා සමාගමට මහල් 65කින් යුත් දැවැන්ත නිවාස සහ වෙලඳ සංකීර්නයක් තැනීමේ ඩොලර් මිලියන 460ක ව්‍යාපෘතියක් සඳහා විකිනීමට යි. මේ සඳහා ගිවිසුම අත්සන් කෙරුනේ මාර්තු මාසයේ ය.

අක්කර පහක් මේ සඳහා වෙන් කෙරෙන අතර අක්කර තුනක් පෙදෙසෙන් ඉවත් කෙරෙන ජනයාට තට්ටු නිවාස සෑදීමට සමාගම කි‍්‍රයා කරන බව ද නිවාස සංවර්ධන අධිකාරිය පවසා ඇත. අධිකාරියේ සභාපති නිමල් පෙරේරා පැවසුවේ "අපට කරන්න තියෙන්නේ [ඉඩම්] අත්පත් කර ගැනීමේ කොටස හා පොදු කාර්ය ව්‍යුහය සකස් කර දීම පමනයි” කියාය.

අවුරුදු තුනකින් ප‍්‍රදේශයේ ම නිවාස ලබා දීමේ කතාව පදිංචිකරුවන්ගේ විරෝධය මකා දැමීමට ගෙතූ එකකි. ආන්ඩුව එවැනි බේගල් පොරොන්දු මීට පෙර ද දී ඇත.

කොම්පඤ්ඤ වීදියේ නිවැසියන්ගේ ඉවත් කිරීම, 70,000ක් පැල්පත්වාසී පවුල් කොලඹින් ඉවත් කර නගරය දකුනු ආසියාවේ වානිජ හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ ඉඩම් පවරා ගැනීම පුලුල් සැලැස්මේ කොටසකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ආර්ථික සැලැසුම ලෙස ඇත්තේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ගසා කෑමට ඉඩ විවෘත කර දීම මගින් ලංකාවේ ධනපති පන්තියේ වරප‍්‍රසාද රැක ගැනීම යි.

තමන්ගේ නිවෙස්වලින් පලවා හැරීමට එරෙහිව ප‍්‍රදේශයේ ජනයාගේ බරපතල ප‍්‍රතිරෝධයක් එල්ල වන බව දන්නා ආන්ඩුව එය මැඩීමට උතුරු නැගෙනහිර යුද්ධයේ දී මුවාත් තැබූ මිලිටරි මර්දනය උසිගැන්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය 2010 දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කෙරුනි. එතෙක් මෙතෙක් කොම්පඤ්ඤවීදියේ ද කොලඹ නගරයේ තවත් තැන්වල ද සිය ගනනක් නිවාස හා කුඩා වෙලඳ කුටි සමතලා කර දැමුනේ පොලීසියේ හා හමුදාවේ බයිනෙත්තු තුඩු එල්ල කර මර්දනය දියත් කිරීමෙනි.

එජාපයේ හා එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සේනසිංහ කරන පූච්චානම් දෙඞීම් නිවාස රැකගැනීමේ අරගලයක් සංවිධානය කිරීමට හතුරුව පවතී. ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති ආර්ථික පිලිවෙත නඩුවකට කොටු වීමෙන් පරාජය කල නොහැකි ය. එජාපය සිය පුහු විරෝධයෙන් වසන් කිරීමට තැත් කරන්නේ එම පක්ෂය සතුව ඇත්තේ ද ආන්ඩුවට සමාන පිලිවෙත් බවය.

1977 පටන් 17 වසරක් ආන්ඩුකල එජාපයයි මුලින්ම කොලඹ වානිජ නගරයක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස්කලේ. වෙලඳපොල විවෘත ආර්ථික පිලිවෙත ආරම්භ කරමින් එජාප ආන්ඩුව මහජන සුබ සාධන කැපීමේ ද පුද්ගලීකරනයේ ද ප‍්‍රතිපත්ති ඉස්මත්තට දැම්මේ ය. එම පක්ෂය දැන් මහජනයා කෙරෙහි කිඹුල් කරුනාවක් පල කරයි.

එජාප නායකයකු වන කොලඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් නාගරින සංවර්ධන අධිකාරියත් ටාටා සමාගමත් අතර ඇති කර ගත් ගිවිසුමට පක්ෂපාතී ය. අපේ‍්‍රල් 27 දා ගෝඨාභය රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා ටාටා සමගමේ නියෝජිතයන් කොම්පඤ්ඤ වීදියේ නිවැසියන් කැඳවා පැවැත්වූ රැස්වීමට මුසම්මිල් ද සහභාගි විය. රැස්වීම කැඳවූයේ නිවැසියන්ගේ විරෝධයට ඇල් වතුර වක් කිරීමට ය. රැස්වීමේ දී කතා කල මුසම්මිල් පදිංචිකරුවන්ට "නිවාස තනා දීමේ සූදානම”ගැන ටාටා සමාගමට ස්තුති කලේ ය. ඔහු එහි ගියේ නිවැසියන්ට අත්විය හැකි ඉරනම පිලිබඳව කරුනු වසංකර ආන්ඩුවේ සැලසුමට මුක්කු දීමට ය.

එජාපයේ මන්තී‍්‍ර සේනසිංහ ඒ අතර නිවැසියන් ඉවත් කිරීමෙන් වන හානිය ගැන ව්‍යාජ අනුකම්පාවක් පල කරයි. ඔහු උසාවියේ දී සඳහන් කලේ "කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශය ප‍්‍රතිසංවර්ධනය කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමෙන් වාසිය අත්පත් වන්නේ ඉන්දියානු සමාගමට මිස අක්කර හතක ජීවත් වන 500ක් පවුල්වලට හෝ පොදු මහජනයාට නොවේ” යනුවෙනි.

"ප‍්‍රදේශයේ ජනයා ඉවත් කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවලට ප‍්‍රගතියක් අත් නොවේ. ඔවුන්ගේ ජීවිකාව නැති වී යන අතර දරුවන්ගේ අධ්‍යාපනයට ද බාධා සිදුවේ. ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ද පාසල් ද පිහිටා ඇත්තේ මේ ප‍්‍රදේශයේ ය,”යි සේනසිංහ කියා සිටියේ ය.

මීට පෙර කොම්පඤ්ඤවීදියෙන් ඉවත් කෙරුනු ජනයා වෙනුවෙන් ද සේනසිංහ මුල්වී නඩුවක් පැවරුවේ ය. ඉන් අත් වූ සෙතක් නැත. ඔවුන් තැන්තැන්වලට විසුරුවා දමා ඇති අතර සමහර පවුල් තොටලඟ ලෑලිවලින් සෑදූ පහසුකම් රහිත ගෙවල්වල කොටු කර තිබේ. බොහෝ දෙනා ඉවත්කර අවුරුදු දෙකක් ගත වී ඇතත් ආන්ඩුව නිවාස දෙන බවට දුන් පොරොන්දු බොරු බව ඔප්පුවී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල කොම්පඤ්ඤවීදියේ නිවැසියන් පැවසුවේ සැප්තැම්බර් මාසයේ පවුල් පහ බැගින් කැඳවූ නිවාස අධිකාරිය සැප්තැම්බර් මාසය අවසානයට පෙර තමන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් බවයි. දැනට එය නැවතී ඇත්තේ උසාවියේ නඩුව ඇසෙන තතු යටතේ ය. නාගරික සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ නොවැම්බර් මාසය වන විට නිවාස බුල්ඩෝසර් කර ප‍්‍රදේශය ශුද්ධ කිරීමට කි‍්‍රයා කරන බවයි. නිවසක් කුලියට ගැනීමට මාසිකව රුපියල් 10,000ක සිට 25,000 දක්වා මුදලක් ඔවුන් දැනට සිටින නිවසේ වපසරිය අනුව ලබා දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් පවසා ඇත. අවුරුදු තුනකින් නිවාස ලබා දෙන බව ට දී ඇති පොරොන්දුව ගැන එක් නිවැසියෙක් මෙසේ කීවේ ය: "ආන්ඩුවේ පොරොන්දු ගැන අපිට විශ්වාසයක් නෑ. 2010 ඉවත් කල අයටත් ස්ථිර නිවසක් දුන්නේ නෑ.”

2011 ඔක්තෝබරයේ කොලඹ නගර සභා මැතිවරනය පැවතෙද්දී නගරවැසියන් ඉවත් කිරීමේ කිසිම සැලැස්මක් තමන්ට නැතැයි ආන්ඩුව බොරුවට කියා සිටියේ ඡන්ද ගරා ගැනීමට ය. කොලඹ පදිංචි බොහෝ ජනයා ආන්ඩුව විශ්වාස කලේ නැත. ඔවුන් තම විරෝධය පල කිරීම සඳහා එජාපයට ඡන්දය දුන්නේ ය. නගර වැසියන්ගේ විරෝධය ගසාකෑමට මුසම්මිල් ඇතුලු එජාප අපේක්ෂකයයෝ තමන් පැල්පත් ඉවත් කිරීමට තරයේ ම විරුද්ධ බව දෙසා බෑහ.

කොම්පඤ්ඤවීදිය ඇතුලුව කොලඹ ප‍්‍රදේශයේ නිවාස වලින් ඒවායේ පදිංචි පවුල් ඉවත් කිරීමට එරෙහිව ස්වාධීන අරගලයක් වර්ධනය කිරීම වැලැක්වීමේ උගුලක් ලෙස එජාපය නඩු පැවරීම යොදා ගනු ඇතයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි.

සසප එක දිගටම අවධාරනය කලේ කොලඹ පැල්පත් වාසීන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය ස්වාධීනව මෙහෙයවා ගත යුතු බවයි. කොලඹ පැල්පත් ඉවත් කිරීම රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ අයිතීන් උදුරා ගනිමින්, ධනේශ්වර අර්බුදයේ බර ඔවුන් මත පැටවීමේ සමස්ත ප‍්‍රහාරයක කොටසක් වන බවයි.

රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එජාපය වරින්වර රට පාලනය කලත් කොලඹ පැල්පත්වාසීන්ගේ හෝ ඒ සම්බන්ධයෙන් ගත් කල මුලු රටේම දුගී මහජනයාගේ නිවාස ප‍්‍රශ්නය හෝ අනෙකුත් ප‍්‍රශ්න විසඳුවේ නැත.

කොලඹ වාසීන්ට පහසුකම් සහිත ශීලාචාර ජීවිතයකට ඔබින නිවාස ලබා දීම කල හැක්කේ බිලියන ගනන් මුදල් වෙන් කිරීමෙනි. එවැනි පියවරක් ගත හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට කොන්දේසි සකස් කර ගැනීමෙනි. සසප ජාත්‍යන්තර සමාජවාදයේ කි‍්‍රයාමාර්ගය මත මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරයි.

කොම්පඤ්ඤවීදියේ ප‍්‍රහාරයට ලක්ව සිටින නිවැසියන්ගෙන් ද කොලඹ පැල්පත්වාසීන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ ධනපති පක්ෂවලින් ස්වාධීනව තමන්ගේ කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගා නිවාස රැක ගැනීමේ අරගලයට කම්කරුවන්ගේ හා අනෙකුත් ජනයාගේ සහයෝගය දිනා ගනිමින් අරගල කිරීමට පෙරට එන ලෙසයි.

Share this article: