චිකාගෝ පාලනය රජයේ පාසැල් 61ක් වසා දැමීමේ සැලසුම් නිවේදනය කරයි

Chicago announces plans to shut down 61 public schools

ෂේන් ෆෙරාටු විසිනි,2013 මාර්තු 23

මහජන විරෝධය මධ්‍යයේ පාඨශාලා වර්ෂය අවසන් වීමෙන් පසු රජයේ පාසැල් 61ක් වසා දැමීමේ සැලසුම් ඉලිනොයිස් හි චිකාගෝ පාලනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම පියවර ශිෂ්‍යයන් 30,000කට බලපාන අතර දහසක් පමන ගුරු තනතුරු අහෝසිවීම හෝ ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීම සිදුවනු ඇත. චිකාගෝවේ රජයේ පාසැල් වලින් සියයට 13ක් වසා දැමීම වනාහි, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම රජයේ පාසැල් වසා දැමීමයි.

පාසැල් වසා දැමීමේ ලැයිස්තුව 21 දා රාත‍්‍රී නිවේදනය කල විට ඒ කෙරෙහි, මව්පියන්, ගුරුවරුන් හා ශිෂ්‍යයන්ගේ බලවත් කෝපය පල වූ අතර, පසු දිනයේ සවස ඔවුන් බොහෝ දෙනෙක් නිරායාසයෙන් ම විරෝධතා ව්‍යාපාර සංවිධානය කලෝය.

ඇමරිකාවේ තුන්වැනි විශාලතම පාඨශාලා දිස්ති‍්‍රක්කය වන චිකාගෝවේ රජයේ පාසැල් 681ක් ඇත. මෙම නිවේදනය නිකුත් කෙරී ඇත්තේ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා හි පොදු පාසැල් 26ක් හා අගනුවර වන වොෂින්ටන් ඞීසී හි පොදු පාසැල් 15ක් ද වසා දැමීමේ සැලසුම් ප‍්‍රකාශයට පත් වීමෙන් ඉක්බිති ය. මිචිගනයේ ඩෙට්‍රොයිට් හි 2010 වසා දැමූ පාසැල් 40ක් ද ඇතුලූ ව පාසැල් 130ක් 2005 පටන් මේ දක්වා වසා දමා ඇති අතර තවත් 28ක් වසා දැමීමට සැලසුම් කොට ඇත.

මේ වසා දැමීම් ඔබාමා පරිපාලනයේ "පාසැල් ප්‍රතිසංස්කරන" වැඩ පිලිවෙලේ කොටසකි. එම වැඩ පිලිවෙලේ අරමුන වී ඇත්තේ ගුරුවරුන් දඩයම් කිරීම, රජයේ පාසැල් වසා දැමීම හා බලපත‍්‍රලත් පාසැල් ව්‍යාප්ත කිරීම හරහා අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමයි.

18දා නිවේදනය ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපති ඔබාමාගේ හිටපු කාර්ය මන්ඩල පධානී, පුරපති රාම් එමෑනුවෙල් විසින් චිකාගෝ රජයේ පාසැල් මන්ඩලයේ ප‍්‍රධාන විධායක ධුරයට පත් කර සිටින බාබරා බයර්ඩ් බෙනට් විසිනි. ප‍්‍රාථමික හා මැද පෙල පාසැල් 54ක් මුලුමනින් ම වසා දැමෙනු ඇති අතර තවත් පාසැල් ගනනාවක් "සමීපව ස්ථානගත” කෙරේ. එනම්, පාසැල් ගනනාවක් එකම වහලයක් යට ඒකාබද්ධ කෙරේ.

තවත් පාසැල් හයක් "සංසරන” පාසැල් ලෙස නම් කෙරෙනු ඇත. එහි අර්ථය වන්නේ, එහි සමස්ත ආචාර්ය මන්ඩලය හා කාර්ය මන්ඩලය පහ කර දැමෙන බවයි. ලැයිස්තුව පිලිබඳ අවසාන තීරනයක් ගැනීමට පවත්වනු ඇතැයි කියනු ලබන අධ්‍යක්ෂක මන්ඩල ඡන්ද විමසීම මැයි මාසයේ පැවැත්වීමට නියමිතව ඇත.

වසා දැමෙන පාසැල්වලින් වැඩි කොටස ඇත්තේ චිකාගෝවේ දකුනු හා බටහිර දිග පිහිටි, නගරයේ දුප්පත් ම ප‍්‍රදේශවලින් සමහරක ය. දාමරික කල්ලිවල සැහැසිකම් ඉහල මට්ටමක පවතින අන්ත දරිද්‍රතාවයේ ගිලුනු ප්‍රදේශ හරහා ද යමින් වඩාත් වැඩි දුරක් පයින් යාමට මේ අනුව ලමුන්ට සිදුවන හෙයින්, ඔවුන්ගේ ආරක්ෂාව මවුපියන්ගේ ද ගුරුවරුන්ගේ ද ප‍්‍රධාන උත්සුකයන් අතර එකක් බවට පත් වී ඇත.

රට පුරා ම පාසැල් වසා දැමීමේ දී සිදු කෙරෙන පරිදි මෙහිදී ද එමෑනුවෙල් පරිපාලනය, පොදු පාසැල් පවත්වා ගෙන යාමට මුදල් නැති බව සහ, සිසුන් ඇතුලත් වීම ක‍්‍රමයෙන් පහත වැටීම නිසා ඒවායේ පහසුකම් ”ඌන උපයෝජිත” බව පවසමින් මහජන අධ්‍යාපනය මත එල්ල කෙරෙන සිය ප‍්‍රහාරය සාධාරනීකරනය කිරීමට තැත් කරමින් සිටී.

නාගරික පාලනයට අනුව, මෙම පාඨශාලා දිස්ති‍්‍රක්කයේ ඩොලර් බිලියනයක පමන හිඟයක් ඇති බවට ගනන් බලා ඇත. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය සිව් වසරේ විශ‍්‍රාම වැටුප් සඳහා ලැබුනු අරමුදල් ප‍්‍රමානවත් නො වීමයි. පූර්වාපේක්ෂිත පරිදි පැසැල් මන්ඩලය විසින් පාසැල් වසා දැමීම සඳහා ඇත්තෙන් ම ඩොලර් මිලියන 233ක වියදමක් දැරීමට සිදු වේ. නාගරික බැඳුම්කර නිකුත් කිරීම මගින් මෙම වියදම ගෙවා දැමීමට නියමිත අතර, අවසානයේ දී එමගින් දස වසරක කාල පරිච්ඡෙදයක් තුල වියදම් ඩොලර් මිලියන 560කින් අඩු කෙරෙනු ඇත.

මේ සමග සන්සන්දනය කල විට ඉලිනොයිස් ප‍්‍රාන්තයේ කෝටිපතියන් 13 දෙනා සතු ඒකාබද්ධ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 25ක් ඉක්මවයි. මෙය පාසැල් වසා දැමීමෙන් ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල මෙන් 45 ගුනයක් පමන වේ. මේ ලැයිස්තුවට අයත් වන්නන් අතර හයට් හෝටල් වාසනාවේ උරුමක්කාරිය වන පෙනී පි‍්‍රගට්ස්කර් ද වෙයි. එමෑනුවෙල්ගේ සමීප මිතුරියක් වන ඇය එක්සත් ජනපද වෙලඳ ලේකම් ධුරය සඳහා ඔබාමා පරිපාලනයේ තෝරා ගැනීම බවට පත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

"ඌන උපයෝජනය” ගැන කියාපෑම් සම්බන්ධයෙන් ගත් කල, ඇත්ත තත්වය නම්, සීපීඑස් හි තදබදය ලේඛනගත කල මෑත අධ්‍යයනයන්ට අනුව පන්ති විශාල වැඩි බව වාර්තා කොට තිබීමයි. පූර්න උපයෝජනය නිශ්චය කිරීම සඳහා දිස්ති‍්‍රක්කය විසින් භාවිත කෙරෙන්නේ ද, පන්ති කාමරයට සිසුන් 31ක් ලෙස ගැනෙන අසාමාන්‍ය ලෙස ඉහල උපමානයකි. කොයි හැටි වෙතත්, එම තර්කය තම අභිමතාර්ථය මුදුන් පමුනුවන්නා වූ අනාගත වාක්‍යයක් වැනිය. අවට ප‍්‍රදේශ හා ප‍්‍රදේශීය පාසැල්වලට සම්පත් අහිමි කල විට සිසුන් ඉවත්ව යාමට එය හේතු වෙයි. අනෙක් අතට එසේ ඉවත් ව යාම, තවතවත් පාසැල් වසා දැමීම හා ලාභ ඉපැයීම පරමාර්ථ කොට ගත් බලපත‍්‍ර ලාභී පාසැල් වලට වඩ වඩාත් මහජන සම්පත් හරවා යැවීම සාධාරනීකරනය කිරීමට යොදා ගනී.

එමෑනුවෙල් පරිපාලනයේ ඉල්ලීමට හිස නමමින් පසුගිය සැප්තැම්බරයේ ගුරුවරුන් 26,000ක් සම්බන්ධවූ වර්ජනය පාවා දුන් චිකාගෝ ගුරු සංගමය, චිකාගෝවේ පාසැල් මහා පරිමානයෙන් වසා දැමීම සඳහා පාවඩ එලයි. වැටුප් හා ප‍්‍රතිලාභ සම්බන්ධ කරුනු වලට පමනක් සාකච්ඡා සීමා විය යුතු බව කියන, වෘත්තිය සමිති අනුග‍්‍රහය මත ම පනවා ඇති ප‍්‍රාන්ත නීතියකට ඇඟිල්ල දිගු කරන ඔවුන්, පාසැල් වසා දැමීම නතර කරන ලෙස ඉල්ලීම ඉදිරිපත් කිරීම තමන්ට තහනම් වන බව කියා සිටිති. මෙකී පියවරයන් සැලසුම් කෙරුනේ පාසැල් වසා දැමීම පහසු කර ගැනීම සඳහා ය.

මහජන කෝපය පාලනය කිරීමට තැත් කරමින් සීටීයූව ද එහි සභාපති කැරන් ලුවිස් හා ජාත්‍යන්ත ර සමාජවාදී සංවිධානය යන ඊනියා වාම සංවිධානයේ සාමාජිකයෙකු වන සීටීයූවේ උප සභාපති ජෙස් ෂාර්කි ද පාසැල් වසා දැමීමේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිති. සීටීයූව මාර්තු 27 දින විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත. තමන් තිරය පසුපස සිට පාසැල් අධ්‍යක්ෂක මන්ඩලය සමග දිගටම කටයුතු කරන අතරතුර මවුපියන්, ගුරුවරුන් හා සිසුන්ගේ කෝපාග්නිය නිවා ලීම එහි අරමුනයි.

පාසැල් වසා දැමීමට සීටීයූව සහාය දෙයි. එහෙත් එම කි‍්‍රයාවලියේ කොටස්කරුවෙකු වීමට ද ඊට අවශ්‍යය. වර්ජනය අතරතුර දී චිකාගෝ ටි‍්‍රබියුන් පුවත්පත ඇමතූ ලූවිස් මේ බව පැහැදිලිව ම ප‍්‍රකාශ කලාය. "පාසැල් වසා දැමීමේ හා එය ප‍්‍රහාරාත්මක ආකාරයකින් සිදු කිරීමේ ව්‍යාපාරය අපට වටහා ගත හැකිය. එක්කෝ අප එක් ව යම් යුක්තිගරුක ආකාරයකින් මෙය සිදු කල යුතු ය. නැතහොත් අප සෑම විටම කලහ කර ගනිමින් සිටිනු ඇත.”

චිකාගෝ මහජන ගුවන් විදුලිය සමග සිකුරාදා කල සම්මුඛ සාකච්ඡාවක දී ද ලුවිස් මේ කරුන යලිත් ප‍්‍රකාශකලේ, සංගමය වසා දැමීම්වලට විරුද්ධ නො වනබවත් එහි විරුද්ධත්වය පවතින්නේ එය සිදු කරන ක්‍රමය ගැන බවත් පැහැදිලි කරමිනි. පාසැල් වසා දැමීම් සියල්ලටම එරෙහි වන්නී දැයි කෙලින්ම ඇසූ ප‍්‍රශ්නයට පිලිතුරු වශයෙන් ඇය පැවසුවේ මෙසේ ය: "ඔබ දන්නවද? ඒක ඇත්තටම හරි තර්කයක්වත් නොවෙයි. අපට කථා කරන්න ඕනෑ ප‍්‍රශ්නය නම්, මේ තරම් දරුනු ලෙස විශාල පාසැල් සංඛ්‍යාවක් වසා දැමීම ගැන සහ මේ තරම් දේකට මුහුන දෙන්න සරිලන තරමින් ජනයා සූදානම් කිරීමට කිසිවක් ම හෝ කර නො තිබීම ගැනයි.”

බොහෝ දුරට සීටීයූ නිලධරයේ පධාන සැලැකිල්ල යොමු වන කරුන වන්නේ මහජන පාසැල් පද්ධතිය කැබැලිවලට කැඩීමෙන් උපයනු ලැබෙන ලාභයෙන් තමන්ට ද පලප‍්‍රයෝජනයක් ලබා ගැනීමයි. මේ මාසයේ මුල දී, බලපත් ලද පාසැල්වල අඩු වැටුප් ලබන ගුරුවරුන්ගෙන් වෘත්තිය සමිතියට ලැබිය යුතු හිඟ මුදල් ලබා ගැනීම සඳහා විශාලතම බලපත‍්‍ර ද ලාභී පාසැල් සමාගම වන යූඑන් ඕව සමග තමන් ගනුදෙනුවකට එලැඹි බව සීටීයූව නිවේදනය කලේය. මේ ගුරුවරුන්ට සීටීයූවේ සහෝදර සමිතිය වන එලයන්ස් ඔෆ් චාටර් ටීචර්ස් ඇන්ඞ් ස්ටාෆ් (බලපත‍්‍ර ලාභී ගුරු හා කාර්ය මන්ඩල සමිති සන්ධානය ) හෙවත් ඒසීටීඑස් සමිතියට බැඳීමට බල කෙරෙනු ඇත.

මහජන අධ්‍යාපනය කෑලි කඩා කාබාසිනියා කර දැමීමට පාලක පන්තිය ද මහා ව්‍යවසායයන්හි දේශපාලන පක්ෂ දෙකම ද නිර්දය උද්ඝෝෂනයක් ගෙනයමින් සිටිති. ධුරයට පත් තැන් පටන් ඔබාමා පරිපාලනය තක්සේරුගත 4,000ක් පාසැල් වසා දැමීමට ද 300,000ට අධික ගුරුවරුන්ගේ රැකියා විනාශ කිරීමට ද වග බලා ගෙන ඇත.

මහජන අධ්‍යාපනය සඳහා ඇති අයිතිය, සමාජයේ සම්පත් ජනගහනයෙන් ඒ සා කුඩා කොටසක් අත සංකේන්ද්‍රනය කරන්නා වූ ක‍්‍රමෝපායක් දිගටම පැවතීම සමග සීහෙන්නේ නැත. මහජන අධ්‍යාපනය විසින් මූර්තිමත් කෙරෙන සමානාත්මතාවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන්ට සංස්ථාපිත හා මූල්‍ය ප‍්‍රභූ පැලැන්තිය මුලුමනින් ම සතුරු ය.

මහජන අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහි ව විරුද්ධත්වය රට පුරා ම වැඩෙමින් පවතී. පාසැල් වසා දැමීම් පිලිබඳ ව සාකච්ඡා කිරීමට පැවැත්වූ රැස්වීම්වල දී, එකී වසා දැමීම්වලට එරෙහි ව වෘත්තීය සමිති හා ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු පිහිටුවා ගැනීමටත්, මහජන අධ්‍යාපනය සුරැකීම සඳහා සමස්ත කම්කරු පන්තිය බලමුලූ ගන්වා ගැනීමටත් සමාජවාදී සමානතා පක්ෂය ගුරුන්, දෙගුරුන් හා සිසුන්ට කැඳවුම් කලේය.

සසප පාසැල් වසා දැමීම් සියල්ලට ම එරෙහි වන අතර මහජන අධ්‍යාපනය සඳහා වන අරමුදල් විශාල ලෙස වැඩි කිරීමට සටන් වදී. ධනවතුන්ගේ බදු තියුනු ලෙස ඉහල දැමීමෙන් මූලාරම්භයේ දී ඒ සඳහා අවශ්‍ය වන මුදල් සපයා ගත හැක. මෙම අරගලය ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකට ම ද ඒවා විසින් ආරක්ෂා කරනු ලබන ලාභය මත පදනම් වූ ධනේශ්වර ක‍්‍රමයට ද එරෙහි දේශපාලන ප‍්‍රහාරයක් සමග ඒකාබද්ධ කල යුතුය.

Share this article: