එක්සත් ජනපදය සැඟවී යන බෝම්බ ප්‍රහාරක යානා දියත්කරමින් කොරියාවේ යුද තර්ජනය උග්‍ර කරයි

US deployment of stealth bombers escalates military standoff in Korea

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 මාර්තු 30

රේඩාර් යන්ත්‍රවලින් සැඟැවී පියාසර කල හැකි, බෝම්බ හෙලීමට යොදවන B-2 යානා එක්සත් ජනපදයේ වයිට්මන් ගුවන් හමුදා කඳවුරෙන් නික්ම දකුනු කොරියාව බලා පියාසර කල බව 29 දා එක්සත් ජනපද නිලධාරීහු ප්‍රකාශ කලෝ ය. එම යානා, ජික් ඩෝ දූපතේ පිහිටි බෝම්බ පිටියට අජීවි බෝම්බ හෙලී ය.

මෙසේ B-2 යානා පියාසර කරවීම වූ කලී, තමන් රිසි විටෙක උතුරු කොරියානු භූමිය මත න්‍යෂ්ටික බෝම්බ හෙලිය හැකි යයි වොෂින්ටනය ප්යොංයැංහි රජයට කරනු ලබන තර්ජනයකි. අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන සැපයුම් සඳහා චීනය මත යැපෙන කුඩා, දුගී රාජ්‍යයක් වන උතුරු කොරියාව, එක්සත් ජනපදය හා කලාපය තුල එහි සගයන් වන දකුනු කොරියාවේත්, ජපානයේත් මිලිටරි බලය මගින් බොහෝ දුරට පසුබස්සවා ඇත.

දකුනු කොරියාවේ ඇමරිකානු හමුදා ආඥා මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින්, "ක්ෂනිකව හා කැමති පරිදි ඉලක්කයට දිගු දුර ප්‍රහාර එල්ල කිරීමටත්, ආසියා පැසිෆික් කලාපයේ අපේ මිත්‍ර රාජ්‍යයන්ට සතුරු යුද තර්ජනවලට එරෙහිව පුලුල් ආරක්ෂාවක් සම්පාදනය කිරීමට"ත් එක්සත් ජනපදයට ඇති හැකියාව මෙකී අභ්‍යාසය මගින් පෙන්වා දී ඇතැයි ප්‍රකාශ කලහ. පුලුල්ව වාර්තා වී ඇති පරිදි, B-2 යානාවලට න්‍යෂ්ටික මිසයිල රැගෙන යාමේ හැකියාව ඇත.

මෙම පියවර ගනු ලැබුවේ එක්සත් ජනපද - දකුනු කොරියානු හමුදා අභ්‍යසවලට සහභාගී වීම සඳහා න්‍යෂ්ටික අවි ගෙනයාමට සමත් B-52 බෝම්බ ප්‍රහාරක යානා පිටත්කර හරින ලදැයි එරට විසින් ප්‍රකාශ කොට යන්තම් දින 10ක් තුල දී ය. මෙය හුදෙක් "සාම්ප්‍රදායික" මෙහෙයුමක් ලෙස විස්තර කරන අතර ම පෙන්ටගනයේ ප්‍රකාශක ජෝර්ජ් ලිට්ල්, එහි අරමුන සාම්ප්‍රදායික මෙන් ම න්‍යෂ්ටික අවි ද පෙරමුනට ගැනීමක් බව මෙසේ පැහැදිලි කලේය: "මෙම මෙහෙයුම මඟින් බෝයිං B-52 ස්ට්‍රාටොෆෝට්‍රෙස් යානය සතුව වැලැක්වීමේ පුලුල් හැකියාවන් සේ ම එහි සාම්ප්‍රදායික ශක්‍යතාවන් ද ඉස්මතු කොට දැක්වෙනු ඇත."

සිය න්‍යෂ්ටික වැඩ පිලිවෙල පිලිබඳ ව දිගින් දිගට ම ඇදී යන සීතල යුද තත්වය මධ්‍යයේ ප්යොංයැංහි ස්ටැලින්වාදී පාලනය, තමන් හා දකුනු කොරියාව අතර පැවැති හමුදා හදිසි ඇමතුම් සම්බන්ධතා කපා දමා, ඇමරිකාවට පූර්ව භංග න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ තර්ජන ද ඇතුලු කුපිත කරවන ප්‍රකාශ නිකුත්කොට ඇත.

කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපදයට හෝ හවායි දූපත් කරා ලඟා වීමට තරම් පරාසයකින් යුත් මිසයිල ප්යොංයැං සතුව නොමැති හෙයින් මේවා පුහු තර්ජන ලෙස හමුදා විශේෂඥයෝ බැහැර කරති. ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි හි ජේම්ස් හාර්ඩි පැවැසූ පරිදි, "හවායිහි, ඇමරිකාවේ හෝ ගුවාම්හි එක්සත් ජනපද කඳවුරුවලට දිග දුර මිසයිල යොදවා පහර දෙන බවට කෙරෙන මේ අලුත් ම තර්ජන ක්‍රියාවට නැංවීම සඳහා උතුරු කොරියාවට ශක්‍යතාවක් නැත."

මේ සිදුවීම් මඟින් ඉස්මතු කෙරෙන්නේ, චීනය හුදෙකලා කිරීමේ අරමුනින් ඇමරිකානු නායකත්වයෙන් යුත් සන්ධානයක් ඇටවීමත්, නැඟෙනහිර ආසියාව තුල ඇමරිකාවේ මිලිටරි අධිකාරිය සහතික කර ගැනීමත් සඳහා ඔබාමා පාලනය විසින් පසු ගිය වසරේ ප්‍රකාශයට පත් කෙරුනු "ආසියාවට හැරීමේ" වැඩපිලිවෙලෙහි ඇති ගිනි අවුලන සුලු ස්වභාවය යි.

ජපානය හා චීනය අතර සෙන්කාකු / ඩියාඕයු දූපත් සම්බන්ධ ගැටුමකට තෙල් ඉසීමට එක්සත් ජනපදය පසුගිය වසර මුලුල්ලේ ම කටයුතු කලේ ය. තව ද, උතුරු කොරියාවට එරෙහි ව ගනු ලබන පියවරක් ලෙස ඉදිරිපත් කල ද ප්‍රධාන වශයෙන් චීනය වෙත ඉලක්ක කෙරුනු, බැලස්ටික් මිසයිල නිවාරකයක් ආසියාවේ ඉදි කෙරෙනු ඇතැයි ද එය නිවේදනය කොට ඇත. එය යලි යලිත් දකුනු කොරියාව සමඟ ද, එමෙන් ම අග්නිදිග ආසියානු රටවල් සමඟ ද දකුනු චීන මුහුදේ හමුදා හා නාවුක අභ්‍යාස පවත්වා ඇත. එක්සත් ජනපද උත්සුකයන් වෙනුවෙන් ගන්නා ආක්‍රමනශීලී පියවර හේතුවෙන් කොරියානු අර්ධද්වීපය යුද්ධයක අද්දරට ගෙනැවිත් තිබේ.

මාර්තු 29වන සිකුරාදා B-2 අභ්‍යාස පිලිබඳව සාකච්ඡා කෙරුනු ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හෙගල් මෙසේ පැවසීය: "මම හිතන්නේ නෑ අප අසාමාන්‍ය හෝ ප්‍රකෝපකාරී යමක්, එසේ නැතිනම් ජාතියක් තමන්ගේ ම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට ක්‍රියා කරන ආකාරයට පිටස්තර යමක් සිදු කරනවාය කියා."

එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී මඬුල්ලේ සභාපති ජනරාල් මාර්ටින් ඩෙම්සේ පැවසුවේ, "B-2 පිලිබඳව අපේ වැඩි ම සලැකිල්ල යොමුව‍න්නේ, උතුරු කොරියාව තුල එමගින් ඇවිලවිය හැකි ප්‍රතික්‍රියා ගැන නොව, අපේ මිතුරන් වන ජපානය හා දකුනු කොරියාවේ ප්‍රතිචාරය පිලිබඳව ය. මේ අභ්‍යාසවල ප්‍රධාන ම අරමුන, නිසි සූදානමෙන් සිටීම හා ගැටුම් අධෛර්යමත් කිරීම සම්බන්ධයෙන් අප මත විශ්වාසය තැබිය හැකි බව අපේ සගයන්ට සහතික කිරීම යි."

උතුරු කොරියාවෙන් එල්ලවන කිසිදු අසාමාන්‍ය තර්ජනයක් පෙනෙන්නට නැති බව ද ඩෙම්සේ පෙන්වා දුන්නේ ය. එහි හමුදා ස්ථානගත කිරීම් අසාමාන්‍ය නොවන බව ඔහු මෙසේ පැහැදිලි කලේ ය: "ඒවා, ඓතිහාසික ආකාරයේ මාරු කිරීම් හා පුහුනු අභ්‍යස විනා අනෙකක් යයි විශ්වාස කිරීමට හේතු වන කිසිවක් අප දැක නැත."

ඩෙම්සේ ගේ ප්‍රකාශය උතුරු කොරියාවට එරෙහිව වොෂින්ටනය ගෙන යන උද්ඝෝෂනයේ ප්‍රෝඩාකාරී ස්වභාවය ඉස්මතු කොට දක්වයි. එහි පදනම චීනයට එරෙහිව එක්සත් ජනපදය, ජපානය හා දකුනු කොරියානු සන්ධානයේ බැමි තද කිරීම විනා උතුරු කොරියාවෙන් එන කවර හෝ තර්ජනයක් නොවේ.

උතුරු කොරියාව සම්බන්ධ කාරනය වොෂින්ටනයට සුවිශේෂී වටිනාකමකින් යුතු ය. එමඟින් ප්යොංයැං පාලනය කෙරෙහි දක්වන සහයෝගය අවම කරන ලෙස ද එක්සත් ජනපද විදේශ පිලිවෙතේ අවශ්‍යතාවන්ට වඩාත් පුලුල් ආකාරයකින් අනුකූල වන ලෙස ද චීන රජයට අඛන්ඩව බලපෑම් කිරීමට වොෂින්ටනයට මඟ පෑදෙයි.

විකිලීක්ස් විසින් 2010 දී ප්‍රසිද්ධියට පත් කරන ලද රාජ්‍ය දූත ලියකියවිලිවලට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් කොටස්, උතුරු කොරියාව "නොමඟ ගිය ලමයෙකු" ලෙස සලකන අතර, කොරියාව දකුනු කොරියානු පාලනය යටතේ යලි එක්සත් කල යුතු යැයි සිතති. එබඳු ක්‍රියාමාර්ගයකට සැලකිය යුතු සහායක් ප්යොංයැංවලින් ද ලැබීමට ඉඩ ඇත. උතුරු කොරියානු රජය සියොල් සමඟ නිල සාම ගිවිසුමක් සඳහා ද, කොරියාව යලි එක්සත් කිරීම සඳහා ද කැඳවුම් කර ඇත. එරට අපේක්ෂා කරන්නේ, උතුරු කොරියානු කම්කරුවන් සුපිරි-සූරාකෑමේ කොන්දේසි මත පදනම් ව ලෝක වෙලඳ පොල සඳහා කෙලින් ම නිෂ්පාදනය කරන චීනය වැනි අපනයන බලවතෙකු ලෙස වර්ධනය වීමට ය.

කෙසේවෙතත්, අවසාන වශයෙන් ප්යොංයැං කපා හැරීමේ තීන්දුවකට බීජිං පාලනය එලැඹී නොමැති අතර චීනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය මෙහෙයුම්වල වඩාත් ම බලගතු බාධකය ලෙස දිගටම රැඳී සිටී. සිරියාවට එරෙහි හමුදා මැදිහත්වීම සාධාරනීකරනය කරමින් එක්සත් ජනපදය හා එහි යුරෝපීය අනුචරයන් විසින් එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත් කෙරුනු යෝජනා බීජිං පාලනය නිෂේධ බලය යොදා පරාජය කලේ ය. තව ද, එය වොෂින්ටනය විසින් පෙරලා දැමීමට ඉලක්ක කොට සිටින තවත් ප්‍රධානතම මැද පෙරදිග රජයක් වන ඉරානය සමඟ දිගට ම වෙලඳ කටයුතු පවත්වා ගෙන යයි.

මේ වර්ධනයන් මඟින්, මැද පෙරදිග සම්බන්ධ එක්සත් ජනපද පිලිවෙත සිය උත්සුකයන්ට තර්ජනයක් ලෙස දකින තවත් රාජ්‍යයක් වන රුසියාව සමඟ වඩාත් සමීප සන්ධානයකට එලැඹීමට චීනයට අද දින බල කෙරෙයි. (බලන්න: "Chinese president’s "historic visit" to Russia")

එක්සත් ජනපද නය කන්දරාවෙන් ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමානයක් හිමි චීනය, එරට විශාලත ම නය හිමියා ද වෙයි. වොෂින්ටනය සමඟ බරපතල ගැටුමක් ඇතිවන අවස්ථාවක දී ලෝක මූල්‍ය පද්ධතියට සැලකිය යුතු හානියක් කිරීමේ හැකියාව එය සතු ය.

උතුරු කොරියාවට එරෙහි ව තම න්‍යෂ්ටික තර්ජන උත්සන්න කිරීමට වොෂින්ටනය මෙහෙයවෙන්නේ, ප්යොංයැං වෙතින් එල්ල වෙතැයි කියනු ලබන කිසියම් තර්ජනයක් විසින් නොව ඉහත කී ආකාරයේ උත්සුකයන්ගෙනි.

කොරියානු අර්ධද්වීපයෙන් මතු විය හැකි කිසියම් මිලිටරි අන්තරායක් පිලිබඳව වොෂින්ටනයේ සැලැකිල්ල යොමු වී ඇත්නම්, එම අන්තරාය බොහෝකොට ම පැන නැඟී ඇත්තේ එහි අනුචරයන්ගේ ම අස්ථායීතාවය හා ආක්‍රමනශීලීභාවය නිසා ය.

ජපාන අගමැති ෂින්සෝ ඇබේ හා දකුනු කොරියානු ජනාධිපති පාර්ක් ගුවෙන් හයි යන දෙදෙනාම දක්ෂිනාංශික, ජාතිකවාදී ආන්ඩුවලට නායකත්වය දෙති. මෙම රටවල් දෙකෙහි ම අපනයන කර්මාන්තවලට ගෝලීය ආර්ථික අර්බුදය නිසා යටින් වල කැපෙමින් පවතින අතර, පාලක පංති කම්කරු පංතිය මත ගැඹුරු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටිති. හිටපු හමුදා ආඥාදායක පාර්ක් චුං-හීගේ දියනිය වන ජනාධිපති පාර්ක් විගසින් ම ජන මත විචාරනයන් පවත්වන තැනට වැටී ඇත. (බලන්න:"Former dictator’s daughter takes over South Korean presidency")

ප්යොංයැං වෙතින් කෙරුනු කුපිත කිරීමකින් ඇරැඹි ගැටුමක් තමන්ගේ ම අභිමතාර්ථයන් වෙනුවෙන් උග්‍ර අතට හැරවීමට සියොල් පාලනය ප්‍රයත්න දැරීමේ අවදානමක් ද පවතී. දකුනු කොරියාවේ අලුත් ජනාධිපතිවරයෙක් වැඩ ආරම්භ කරන විට උතුරු කොරියාව නිරතුරුව ම පාහේ එබඳු කුපිතකිරීම් සිදු කර ඇත.

ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් ඇමතූ එක් බුද්ධි අංශ නිලධාරියෙක් පවසා ඇත්තේ; "උතුරු කොරියාවේ වෙරල තීරයට ඉතා ආසන්න දකුනු කොරියානු දූපත්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ඔබ ඇතැම් විට දැක ඇත. අතීතයේ ද ඔවුන් එය සිදු කර ඇත. අන්තිමට ඔවුන් එසේ කල අවස්ථාවේ සිව් දෙනෙක් මරනයට පත් වූහ," යනුවෙනි.

හෙගල් හා ඩෙම්සේගේ ප්‍රකාශවලින් වැඩි දුරටත් ඇඟවෙන්නේ, ඇමරිකානු න්‍යෂ්ටික ඇපවීම මත ඔවුන්ට තව දුරටත් රඳා පැවතිය හැකි බව සියොල් හා ටෝකියෝවට ඔප්පු කිරීම සඳහා උතුරු කොරියාව සමඟ අර්බුදය පාවිච්චි කිරීමට වොෂින්ටනයට අවශ්‍යව ඇති බව යි. විශේෂයෙන් ම දකුනු කොරියාවේ මාධ්‍යයන්හි හා පාර්ක්ගේ ම සැනුරි පක්ෂයේ ද ඇතැම් කොටස් සියොල් පාලනය තමන්ගේ ම න්‍යෂ්ටික ආයුධ වර්ධනය කර ගත යුතුයයි ඉල්ලීමට පටන් ගෙන ඇත.

න්‍යෂ්ටික අවි තරඟය වඩාත් පුලුල් වනු ඇතැයි ද දකුනු කොරියාවට හා ජපානයට එක්සත් ජනපදය මත රඳා පැවතීමට සිදුවීමේ තතු එයින් ලිහිල් වනු ඇතැයි ද යන ආස්ථානයේ සිට එක්සත් ජනපදය මීට එරෙහි වෙයි.

Share this article: