තැචර්ගේ උරුමය

Thatcher’s legacy

2013 අප්‍රේල් 09

ඇයගේ මරනය පිලිබඳ නිවේදනය කෙරෙහි බොහොමයක් වැඩකරන ජනතාව, ගනනට නො ගන්නා, අවඥා සහගත හා සමහරවිට සතුට පලකරන ප්‍රතිචාරයක් පවා දක්වනු ඇත.

චිලියේ ෆැසිස්ට් ආඥාදායක ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ මිතුරෙකු හා දකුනු අප්‍රිකාවේ වාර්ගික වෙනස්කම් කිරීමේ ඇපාතයිඩ්වාදයේ ආධාරකරුවෙකුවූ 87 වියැති මාග්‍රට් තැචර්, හදෘයාබාධයකින් මිය ගියා ය.

ශ්‍රේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකාවක් ලෙස තැචර්ට පල කෙරෙන මාධ්‍ය ප්‍රශංසා හෝ පූර්න හමුදා ගෞරවාචාරය සහිත ජාතික ‍ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමෙන් හෝ ඇය මිය ගියේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ වඩාත් ම වෛරයට පාත්‍රවූ තැනැත්තියක් ලෙස ය යන විවාදයට තුඩු දෙන කාරනය වසං කල නොහැකි ය.

ඇයගේ මරනය පිලිබඳ නිවේදනය කෙරෙහි බොහොමයක් වැඩකරන ජනතාව, ගනනට නො ගන්නා, අවඥා සහගත හා සමහරවිට සතුට පලකරන ප්‍රතිචාරයක් පවා දක්වනු ඇත. ඇයගේ මරනය සැල වී පැය ගනනක් තුල හිටි ගමන් ම බොහෝ නඟරවල වීදි සාදයන් පැවැත් වින.

තැචර් හා වින්ස්ටන් චර්චිල් අතර නිරන්තර සාදෘෂ්‍යයන් ඇඳ තිබේ. ඒවා නිවැරදි නොවේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ දක්ෂිනාංශික ආරක්ෂකයෙකු වූ චර්චිල්ගේ විරුද්ධවාදීන් පවා ඔහුගේ පැහැදිලි දේශපාලන ආයාමය බැහැර නොකරනු ඇත. උග්‍ර අර්බුදයක අවධියක දී ඉතිහාසය ඇමතීමටත්, පාලක ප්‍රභූව තුල ඔහුගේ ස්වාභාවික ඡන්ද බල ප්‍රදේශයෙන් බොහෝ ඈත සමාජ ස්ථරයන්ට ආයාචනා කිරීමටත් ඔහු සමත් විය. ඊට සපුරා වෙනස් අයුරින්, ''නොහැරෙන කාන්තාව" වැනි ගැති මාධ්‍යය සඳහා සකස් කල මුග්ධ උද්ධෘතයන් පමනක් විනා, තැචර් පලකල එකදු බුද්ධිමත් වැකියක් හෝ සොයාගැනීමට නොපුලුවන.

ඉංග්‍රීසි මධ්‍යම පන්තිය අතර ඇති පටු අදහස් හා පිලිස්තීනු සියලු දේ මාග්‍රට් හිල්ඩා රොබට්ස් කැටිකර ගනියි. පොහොසත් සැමියෙක් හිමිකර ගැනීමෙන් උරුම කරගත් ඇයගේ බොහෝ සාර්ථකත්වයන් හමුවේ, ඇය නිමග්නව සිටියේ මුලුමනින් ම ස්වයං සාර්ථකත්වය හා පොහොසත් වීමට ය. එසේ වූ පරිද්දෙන් ඇගේ දේශපාලන දක්ෂතා අන්තර්ගත කර ගත්තේ, සමාජ නැග්මේ දරුනු කපටිකම හා නිර්දයභාවය යි.

වැදගත්කමේ එවන් තත්වයක් කරා නැඟීමේ දී වඩාත් සිත් ඇද ගන්නේ, ඇගේ පෞද්ගලික චරිතාපදානයට වඩා, ''සමාජය තරම් වන අන් කිසිවක් නැත" යන ඇගේ ප්‍රකාශය මගින් කැටිකර දක්වන, සාපේක්ෂව එවන් කමකට නැති හා දේශපාලනිකව දූෂිත සමාජ ප්‍රපංචයන්ගෙන් නිර්මිත පුද්ගලත්වයක හැකියාව ඇතිකල ඓතිහාසික අවස්ථා ය.

1975 දී තැචර් කොන්සවේටිව් පක්ෂයේ නායකත්වයට නැඟ ගැනීම පෙන්නුම් කලේ, බ්‍රිතාන්‍යයේ හා ජාත්‍යන්තර දේශපාලනයේ දක්ෂිනාංශික මාරුව යි. එම තත්වය වර්ධනය වූයේ, 1968 හා 1975 අතර කාලයේ ය ුරෝපය බිඳ දමන ලද පුපුරන සුලු පන්ති අරගලයන්ගේ රැල්ල බැසයාමත් සමඟ ය. 1974 පතල් කම්කරුවන්ගේ අරගලයෙන් පරාජයට පත්කරන ලද ඇගේ පූර්වගාමියාවූ එඩ්වඩ් හීත්ට වඩාත් ම නොකැමතිවූ බ්‍රිතාන්‍ය පාලක පන්තියේ අතිශය දූෂිත හා ප්‍රතිගාමී කොටස් තෝරාගත් වාහනය වූයේ ඇය යි.

එක්සත් ජනපදය තුල අනුගමනය කල ''රීගන් ආර්ථික විද්‍යාව" අනුපූරනය කල මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ මූල්‍යවාදය වෙත ලබාදුන් ඇගේ පිටුබලය සහිතව තැචර්, නොවෙන් කල හැකි පරිද්දෙන් රොනල්ඩ් රීගන්ගේ ජනාධිපතිත්වය සමග සහයෝගී වූවා ය. පෞද්ගලික ධන සමුච්ඡයකරනයේ සියලු සීමා ඉවත් කිරීම අරමුනු කරගත් ඇගේ අගමැති කාලය (1979-1990) පෙරට ගියේ, සමාජවාදයේ සියලු සීමා මායිම් ''අකුලා දැමීම" යන සටන් පාඨය යටතේ ය. මින් අදහස් කලේ, පශ්චාත් යුද්ධ අවධිය තුල කම්කරු පන්තිය විසින් දිනාගත් සියලු ම සමාජ සහන අතුගා දැමීම යි.

සිදු වූ පරිද්දෙන් ම ඇගේ දේශපාලන ආයාචනය යොමු වූයේ, බදු කපාහැරීම්, පොදු වත්කම් කුනු කොල්ලයට විකුනා දැමීම හා සමපේක්ෂනයේ උත්පාතයක් මගින් අරමුදල් සම්පාදනය කල, ඉක්මනින් ම ධනවත් වීමේ යෝජනා ක්‍රමයක් පිලිබඳව පොරොන්දුව මත මෙහෙයවා ගත්, ප්‍රධානකොට ම සුපිරි මධ්‍යම පන්තික කොටස් වෙත ය. කර්මාන්තයේ විනාශය ලන්ඩන් නඟරය බිඳ විසුරුවා දැමීම සමඟ අත්වැල් බැඳගෙන, වෘත්තීය සමිති බිඳීම, ශුභ සාධන මත ප්‍රහාර හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ආක්‍රමනශීලීව පෙරදැරිකර ගැනුනි. ප්‍රතිපලය වූයේ, මහා විරැකියාව හා ප්‍රචන්ඩ පන්ති ගැටුම් ය.

මාධ්‍ය විසින් දැන් ඓතිහාසික වාර්තාවෙන් මකා දමමින් ඇති තැචර්ගේ අපරාධ අතුරින් එකක් නම්, 1981 දී බ්‍රිතාන්‍ය රාජ්‍යයක් වන උතුරු අයර්ලන්තයේ සින් ෆේන්හි පාර්ලිමේන්තු මන්ත්‍රී බොබී සෑන්ඩ්ස් හා තවත් සිරකරුවන් නව දෙනෙක් සාගින්නෙන් මියයාමට හැරීමේ දී ඇය ඉටුකල මුඛ්‍ය ක්‍රියාකලාපය යි. වසරක් ඉක්ම යද්දී ඇය මැල්විනාස්/ෆෝක්ලන්ඩ් දූපත් මුල් කරගෙන, මැතිවරන වාසි ගැනීම සඳහා ආජන්ටිනාවට එරෙහිව යුද්ධය දියත් කලා ය. යුද්ධය පැවති දිනවල දී පසුබසිමින් තිබූ ඒආර්ඒ ජෙනරාල් බෙල්ග්රාවනෝ යන සැහැල්ලු යුද නැව, ජීවිත 323ක් ද සමගින් මහා බ්‍රිතාන්‍ය විසින් හිතුවක්කාරී ලෙස පනවන ලද ඇතුල් වීම තහනම් කලාපයෙන් පිටත දී හිතාමතා ම ගිල්වා දමන ලදි. තැචර්ගේ දකුනු අත්ලාන්තික් මදාවිය, 900ක් ජීවිත බිලිගත් අතර තවත් විශාල සංඛ්‍යාවකගේ ජීවිත සදහට ම පලුදු කර දැමී ය.

බෙහෙවින් පාරම්බාන ලද ඇගේ සියලු ජයග්‍රහන සඳහා දායකත්වය සපයමින්, ''යකඩ ගැහැනිය" ලෙස නිරූපිත තැචර්ගේ ඉමහත් වාසියට තිබුනේ, ඇය සටන් කලේ පැරදීමට තීන්දුකර තිබූ සතුරන් සමග පමනක් වීම යි.

ආජන්ටිනා ජුන්ටාව සම්බන්ධයෙන් නිශ්චිතව ම කාරනය මෙය විය. සියල්ලටත් වඩා වැදගත් වන්නේ, ඇය කම්කරු පන්තියට එල්ල කල ප්‍රහාරයේ දී, ලේබර් හා වෘත්තීය සමිති නිලධරයෙන් ලැබුනු ක්‍රියාකාරී සහයෝගයේ වාසිය යි. බලයේ රැඳී සිටීම පිනිස ඡන්ද පදනමේ දී ඇය, ලේබර් පක්ෂයේ කොටසක් විසින් සමාජ ප්‍රජාතාන්ත්‍රීය පක්ෂය ගොඩනැඟීම මත පාදකවූ අතර සියල්ලටත් වඩා වෘත්තීය සමිති සම්මේලනය සමඟ අත්වැල් බැඳගත් ලේබර් පක්ෂය විසින් ඇගේ ආන්ඩුව කෙරෙහි පලවූ මහජන විරෝධය ක්‍රමානුකූලව විසුරුවා හැරීම මත රැඳුනා ය.

මෙය එහි උච්ඡස්ථානයට ලඟා වූයේ, වසරක් දිගට ඇදී ගිය 1984-85 අවධියේ පතල් කම්කරු වැඩවර්ජනය හුදෙකලා කොට පාවාදීම තුල ය. වර්ජනය පැවති කාලය තුල පිකට් වැටවල දී දෙ‍දෙනෙක් මරුමුවට පත්ව, 1000ක් දෙනා ක්ෂනිකව දොට්ට දමා, 200ක් සිරගත කොට, 13,000ක් අත්අඩංගුවට ගත් අතර කම්කරුවෝ 20,000ක් පමන තුවාල ලැබූහ.

පතල් කම්කරුවන්ගේ පරාජය, ලේබර් හා වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියේ කිසිදු සමාජ අවශ්‍යතාවක් ආරක්ෂා කිරීම අතහැර දැමීම සඳහා නිකුත්වූ සංඥාව යි. පන්ති අරගලය හා කම්කරු සහයෝගිතාව පිලිබඳ මොන ම මතියක් හෝ ප්‍රතික්ෂේප කිරීමටත්, ''නිදහස් වෙලඳපොල" වැඩපිලිවෙල වැලඳගැනීම හා ලේබර් පක්ෂය මහා ව්‍යාපාරිකයේ දක්ෂිනාංශික පක්ෂය බවට විවෘතව ම පරිවර්තනය කිරීමේ ''නව යථාර්තය," සංකේත වචනය බවට පත් විය.

ලේබර් පක්ෂය වේගයෙන් ''තැචර්වාදයට" අනුගත වෙමින් සිටිය දී වුව ද ඇගේ ඉදිරිදර්ශනය දරන හරිමින් තිබුනි.

ලේබර් පක්ෂයේ හා වෘත්තීය සමිතිවල කිසිදු විරෝධයක් නොපැවතිය දී වුව ද මැතිවරන ව්‍යසනයක් වලක්වා ගැනීමේ අටියෙන් 1990 දී ගැඹුරින් ම භේද භින්නව පැවැති ඇගේ ම පක්ෂය විසින් උත්සවශ්‍රීයකින් තොරව ම ඇය ඉවත ලීය. ඒවන විට තැචර්ගේ ප්‍රතිගාමී ආර්ථික හා සමාජ ප්‍රතිකර්මයන්හි සමාජයීයව විනාශකාරී වූ ප්‍රතිවිපාක හොඳින් ම පැහැදිලිව තිබුනි. දශකයකට මඳක් වැඩි කාලයක් තුල, කම්කරු පන්තියේ තත්වය, මූල්‍ය වංශාධිපතිත්වයේ අවශ්‍යතා වෙනුවෙන් තියුනු ලෙස පසු බස්සවනු ලැබිනි. රටේ සමස්ත ප්‍රදේශයන් ම දුප්පත්කමේ හා අඩු වැටුප් රැකියා සහිත කාර්මික මුඩුබිම් බවට පත්කරනු ලැබින. රූපට් මර්ඩොක් හා නොගිනිය හැකි තරම් රුසියානු කතිපයාධිකාරීන්ගේ ක්ෂේම භූමියක් වූ සුපිරි ධනපතීන්ගේ සාපරාධී කටයුතුවල මධ්‍යස්ථානය බවට පරිවර්තනය වීමේ මඟට බ්‍රිතාන්‍ය එලැඹ තිබුනි.

බුද්ධිමය හා සංස්කෘතික ජීවිතය හඳුනාගත නොහැකි තරමට පිරිහෙලනු ලැබිනි.

පසුව එලැඹි වසරවල, ආර්ථික නිෂ්පාදනයේ කිසිදු සංවර්ධනයකට අසම්බන්ධිත ව්‍යාජ ප්‍රාග්ධනයේ දැවැන්ත සමුච්ඡකරනය හා නයෙන් දහනය කල වගකීම්වල පුපුරායාමක් සලකුනු කල තැචර්වාදී ආර්ථික මොඩලයේ අස්ථාවර පදනම්, ගෝලීය කොටස් වෙලඳපොලවල අර්බුද මාලාවක් නිර්මානය වීමට තුඩු දුන්නේ ය. එතෙකුදු වුවත්, ඇගේ ස්වයං ප්‍රකාශිත දේශපාලන උරුමක්කාරයා වූ ටෝනි බ්ලෙයාර් යටතේ ලේබර් පක්ෂය, තැචර්ගේ ප්‍රතිපත්ති ගැඹුරු කරමින් අඛන්ඩව පවත්වාගෙන ගියේ ය.

තවත් බොහෝදේ කිව හැකි හා කිව යුතු ය. එහෙත්, මහා කප්පාදු, දවසේ නියමය ව පැවති 2008 මූල්‍ය බිඳවැටීමෙන් ගතවන වසර පහ තුල, ඕනෑම වෛෂයික අගැයීමක් පැහැදිලි කරන්නේ, තැචර්ගේ සැබෑ උරුමය වනාහි, 20වන සියවසේ මුල් භාගයේ පටන් ධනවාදය විසින් හැඩ ගැස්වූ දැවැන්ත ම ආර්ථික හා සමාජ අර්බුදය බව යි.

ධනය ''පහලට පෙරී එන" හා ''වෙලඳපොලේ ආශ්චර්යය" තුලින් සුරක්ෂිත කරන, සියල්ලන් සඳහා සෞභාග්‍ය සමග බ්‍රිතාන්‍ය, ''නිවසක් සතු- ප්‍රජාතන්ත්‍රීය" ලෙස දක්වන ලද, ඇගේ මුග්ධ හා මුලුමනින් ම වංකවූ ''ජනප්‍රිය ධනවාදයේ" මොන ම පොරොන්දුවක් හෝ ඉතිරිව ඇත්තේ නැත. මතු පරම්පරාව ඇය සලකනු ඇත්තේ, සිදුවෙමින් තිබෙන ධනේශ්වර සමාජ හා දේශපාලන ජීවිතයේ කුනුවීමෙහි ආරම්භක අදියරයන් අරා සිටි තැනැත්තියක් ලෙස ය.

ජූලි හයිලන්ඩ් හා ක්‍රිස් මාස්ඩන්

Share this article: