බංග්ලාදේශයේ කම්හල කඩා වැටීම හා ලාභ සූරාකෑමේ තල්ලුව

The Bangladesh factory collapse and the drive for profit

2013 අප්‍රේල් 27

මේ සතියේ දී බංග්ලාදේශයේ තට්ටු අටකින් යුක්තවූ රනා ප්ලාසා ගොඩනැඟිල්ල කඩාවැටීමෙන් පසු ව, 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තවත් බොහෝ සංඛ්‍යාවක් තුවාල ලැබූහ. ඉන් බොහොමයක් ඇඟලුම් කම්කරුවන් ය. මෙම ඛේදවාචකය ලෝකයේ බිහිසුනු ම කාර්මික ව්‍යසනයන්ගෙන් එකක් වන නමුත්, ලාභ ශ්‍රම කඳවුරු තුල කෙරෙන සූරාකෑම තුලින් නිරන්තර ව සුපිරි ලාභ පසුපස දුවන ගෝලීය සංගත හමුවේ, එය අවසානය ද නො වනු ඇත.

රනා ප්ලාසා සංකීර්නය, රටේ සීමිත ආරක්ෂක හා ගොඩනැඟිලි නියමයන් පිලිබඳ තුට්ටුවකට වත් මායිම් නො කරන, දැන් චීනයට පමනක් දෙවෙනි වන බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්ත ප්‍රසාරනය තුලින් මතු වී ආ තට්ටු ගොඩනැඟිලි පිලිබඳ මනා නිදසුනකි. එහි කම්කරුවන් දහස් ගනනක් සේවයේ යොදවා තිබුනු ඇඟලුම් කම්හල් පහක් සේ ම සාප්පු තොගයක් ද පිහිටා තිබුනි. හිමිකරු, පාලක අවාමි ලීගයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලකයෙකි. ඔහුට අවසර තිබුනේ තට්ටු පහේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පමනක් වුවත්, ඉන් නතර නො වී තවත් තට්ටු තුනක් ඔහු ඊට එකතු කලේ ය.

කම්කරුවන් ගොඩනැඟිල්ල ඇතුලත විශාල පැල්මක් දැක ගැනීමෙන් පසු ව 23 දා තාවකාලික ව ඔවුන් ඉන් ඉවත් කරන ලදි. එහෙත් අනතුරු ඇඟවීම් තිබියදී ද අයිතිකරු, පරිශ්‍රය සුරක්ෂිත බව පැවසීය. නිෂ්පාදන ඉලක්කයන් සපුරාලීමට තීරනය කල කම්හල් කලමනාකරුවෝ, ආපසු වැඩට යන ලෙස කම්කරුවන්ට බල කලහ. පසු දා උදෑසන හදිසියේ ම ගොඩනැඟිල්ල කඩා වැටුන අතර දින තුනකට පසු ව ද ගලවා ගැනීමේ කන්ඩායම් අස්ථාවර සුන්බුන් ගොඩවල් අතරින් මල කඳන් ගොඩ දමමින් සිටියහ.

පූර්ව ව්‍යසනයන්හි දී සේ ම බංග්ලාදේශ ආන්ඩුව ද රටේ ලාභ ශ්‍රමය සූරාකෑමේ යෙදී සිටින ව්‍යාපාරික කොටස් හා ගෝලීය ඇඟලුම් සමාගම් ද සිදු විය හැකි දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක අවම කර ගැනීමේ අටියෙන් වහා ම ක්‍රියාත්මක විය.

අගමැති ෂීක් හසීනා ගලවා ගැනීමේ මෙහෙයුම "යුද තත්වයක" පිහිටවූ අතර කම්කරුවන්ගේ කෝපය යටපත් කිරීමේ අටියෙන් කුප්‍රකට ක්ෂනික කාර්ය බලකාය ද ඇතුලු හමුදා‍ව හා පොලිසිය යෙද වී ය. රටේ අගනුවර හා කාර්මික කලාපවල ලක්ෂ ගනන් ඇඟලුම් කම්කරුවෝ 25 හා 26 දිනයන්හි වීදිවල උද්ඝෝෂනයේ යෙදී සිටියහ.

ගොඩනැඟිල්ල කඩා වැටීම පිලිබඳ ව අයිතිකරු වෙත වරද පැටවූ අගමැති ඔහුට දඬුවම් කරන බව පැවසුවා ය. ඒ සමඟ ම හසීනා, එවන් තවත් ව්‍යසනයන් වැලැක්වීමට කිසිවක් නො කරනු ඇති බව ද පැහැදිලි කලා ය. රටේ ගොඩනැඟිලිවලින් සියයට අනූවක් ම නිල ගොඩනැඟිලි සම්මතයන්ට අනුකූල ව ඉදිකර නොමැති බව ඇය පිලිගනු ලැබුව ද, "අපි දැන්ම ම සියලු ගොඩනැඟිලි විනාශ කල යුත්තෙමු?" දැ යි ප්‍රශ්න කරමින් කාරනය පසෙකට පිස දා හැරියා ය.

බංග්ලාදේශ ඇඟලුම්කරුවන් හා අපනයනකරුවන්ගේ සංවිධානය රනා ප්ලාසාහි ක්‍රියාත්මක වන සමාගම්වල සාමාජිකත්වය තහනම් කල අතර කඩා වැටීමට වගකිවයුත්තන්ට එරෙහි ව නීතියෙන් කටයුතු කල යුතු බව කියා සිටියේ ය. කෙසේ වෙතත්, ආන්ඩුව මෙන් ම සේවායෝජක කන්ඩායම් ද අනාරක්ෂිත තත්වය කර්මාන්තය පුරා පැතිර තිබෙන බව හොඳාකාර ව ම දැන සිටිති.

පසුගිය නොවැම්බරයේ දී අෂුලියා කාර්මික කලාපයේ ටස්රීන් ඇඟලුම් කම්හලේ කම්කරුවන් 112කගේ ජීවිත බිලිගත් ගින්න රටේ නරක ම එක විය. අනතුරු ඇඟවීමේ නලා ශබ්දවීමෙන් පසු ව ද කම්කරුවන් ඉහල මාලයන්හි කොටු වී සිටීමට ඉඩහැර වැඩ නිරීක්ෂකයෝ සේවකයින්ට ආපසු වැඩට යන ලෙසට නියෝග කලහ. 2005 වසරේ පටන් බංග්ලාදේශ්හි කම්කරුවන් 700ක් පමන කම්හල් ගිනිගැනීමෙන් මියගොස් ඇත. ඇඟලුම් හම්හල් කඩා වැටීමෙන් 2005 හා 2010 දී තවත් ජීවිත 79ක් බිලිගෙන තිබේ.

ආන්ඩුවේ හා සේවායෝජකයින්ගේ එක ම උත්සුකය, බංග්ලාදේශයේ අපනයනයන්ගෙන් සියයට 80කට වග කියන ඇඟලුම් කම්හල් දහස් ගනනක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ව තැබීම සහතික කර ගැනීම ය. දැනට සාමාන්‍යයෙන් මසකට ඇමෙරිකන් ඩොලර් 37ක් වන මාසික වැටුපේ මොනයම් ම හෝ වැඩිවීමක් නො එසේ නම්, දශ ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් කම්කරුවන් මුහුන දෙන නො ඉවසිය හැකි කොන්දේසිවල කිසියම් ප්‍රගතියක් ඇති වුවහොත් එය රටේ තරඟකාරිත්වය පහත හෙලනු ඇතැ යි යන්න ගැන ඔවුහු බෙහෙවින් ම සැලකිලිමත් වෙති.

ගෝලීය ඇඟලුම් අලෙවිකරන යෝධ සමාගම් හානි අවමකර ගැනීමේ සුපුරුදු ක්‍රමයට බැස ගනිති. කිඹුල් කඳුලු හෙලීමත්, ඉඩක් ඇත්නම් රනා ප්ලාසා සංකීර්නයට විශේෂිත සැපයුම්කරුවන් සමඟ තමන්ගේ සම්බන්ධයක් නැතැ යි කියා සිටීමත්, අනාගතයේ දී කම්හල්වල තත්වය නඟා සිටුවීම පිලිබඳ හිස් පොරොන්දු දීමත් සිදු වෙයි.ලෝකයේ විශාලත ම ඇඟලුම් අලෙවිකරුවන් වන වොල්-මාර්ට්, ස්පාඤ්ඤයේ එල් කෝටි ඉන්ගල්ස් සමූහය, පීසී පෙනී වැනි සමාගම්වල ලේබල් සුන්බුන් අතර තිබුනි. ගොඩනැඟිල්ලේ තිබුනු ඇඟලුම් කම්හල් වෙබ් අඩවිවල තොරතුරු අනුව ඔවුන්, ජර්මනියේ කික්, බෙල්ජියමේ සී ඇන්ඩ් ඒ, බ්‍රිතාන්‍යයයේ බෙනිටන්, ස්පාඤ්ඤයේ මැනගෝ, කැනඩාවේ ට්රිඤමාක් හා අයර්ලන්තයේ ප්‍රිමාක් සමාගම්වලට ඇඟලුම් සපයා තිබුනි. ඒ කිහිපයක් පමනි.

ව්‍යසනය කෙරෙහි එම සමාගම් පල කල, "කම්පාව" විශේෂයෙන් ම කුහකත්වයෙන් පිරී ඇත. තමන් ඉල්ලා සිටින මිල ගනන්වලට ඇඟලුම් නිපදවීම සඳහා ශ්‍රම කඳවුරු තත්වයන් පවත්වාගෙන යාම අවශ්‍ය බව එම සංගත සියල්ල හොඳින් දැන සිටියි. ඔවුන් කටයුතු කරන්නේ, සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත් ව සිටීම සඳහා යොදා ගනු ලබන අතරමැදියන් හා උප කොන්ත්‍රාත්කරුවන්ගේ සංකීර්න ක්‍රියාදාමයක් තුලින් ය. බොහොමයක් සමාගම් කම්හල් විගනන ක්‍රමයක් යොදා ගන්නා නමුත් ඒ, ආරක්ෂක හා සේවා තත්වයන් වැඩිදියුනු කිරීමට නො ව, සිය සංගත හා වෙලඳ නාමයන්ගේ කීර්තිය ආරක්ෂාකර ගැනීම පිනිස මුහුන බේරා ගන්නා උපායක් ලෙස පමනි.

ඛේදවාචකය හමුවේ ආන්ඩු, මාධ්‍ය, වෘත්තීය සමිති හා විවිධාකාර ආන්ඩු නො වන සංවිධාන එක් හෝ තවත් ආකාරයකින් යමක් කල යුතු යයි කියා සිටිමින්, ඇඟලුම් කම්කරුවන්ගේ ආරක්ෂාව හා ජීවන තත්වයන් නඟා සිටුවීමට ගෝලීය සංගතවල‍ට හා බංග්ලාදේශ ආන්ඩුවට බලපෑම් කල හැකි ය යන මිත්‍යාව තොරොම්බල් කරති. සත්‍යය නම්, සිය අපනයන හා ලාභ විනාශ කර ගන්නා කිසිවක් ආන්ඩුව විසින් නො කරන්නේ ය යන්න යි. ගෝලීය ධනවාදයේ බිඳ වැටීම ගැඹුරු වන තතු හමුවේ ආරක්ෂක විධි විධාන, තව තවත් නරක අතට හැරෙනවා මිස වැඩි දියුනු නො වන්නේ ය.

ජාත්‍යන්තර ව ද ක්‍රියාත්මක වන්නේ එම ක්‍රියාවලිය ම ය. පසුගිය සැප්තැම්බරයේ පකිස්ථානයේ කරච්චි නුවර, අලි එන්ටප්‍රයිසස් කම්හලේ ඇතිවූ එවක ලොව බිහිසුනු ම කම්හල් ගින්නෙන් 300ක් තරම් කම්කරුවන් සංඛ්‍යාවක් මිය ගියේ ය. චීනයේ දහස් ගනන් කම්කරුවෝ සෑම වසරක ම අනාරක්ෂිත යයි නම් දරන පතල් තුල සිර වීමෙන් හා පිපිරීම්වලින් මිය යති. පසුගිය මාසයේ බැබාඕ ගල් අඟුරු පතලේ පිපිරීම් දෙකකින් 34 දෙනෙක් මිය ගියේ ය. තවත් 83 දෙනෙක් ටිබෙටයේ තඹ ආකරයක බිත්ති කඩා වැටීමෙන් මිය ගියේ ය.

ලාභය සඳහා වන නිර්දය තල්ලුවේ දී කම්කරුවන්ගේ ජීවිත, යහ පැවැත්ම හා සෞඛ්‍යය නිරන්තරයෙන් ම බිල්ලට ගන්නේ, ආසියාවේ අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ ලාභ ශ්‍රම කඳවුරුවල දී පමනක් නො වේ. දියුනු ධනපති රටවල ද තත්වය එය ම ය. පසුගිය සතියේ එක්සත් ජනපදයේ ටෙක්සාස්හි පොහොර කම්හලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 200කට අධික පිරිසක් තුවාල ලදහ. එක්සත් ජනපද ඉතිහාසයේ විශාලත ම පරිසර විනාශය සිදුකරමින් 2011 අප්‍රේල් මාසයේ දී මෙක්සිකෝ බොක්කේ ඩීප් වෝටර් හොරයිසන් තෙල් අටල්ල පුපුරා යාමෙන් කම්කරුවන් 11 දෙනෙකු මිය ගියේ ය.

අවසානයේ දී මෙම ඛේදවාචකයන් ලාභ සූරාකෑමේ ක්‍රමය තුල ම මුල්බැස ඇති අපරාධයන් ය. ග්‍රහ ලෝකයේ සෑම අයෙකුට ම යහපත් දිවි පැවැත්මක් සපයා දීමේ විභවයක් සහිත ගෝලීය නිෂ්පාදනය ධනවාදය යටතේ දුවවනු ලබන්නේ ධනවත් අල්පතරයකට ඉමහත් ලාභ ද ලෝකය පුරා වැඩ කරන ජනතාවට කාලකන්නිකම ද හිමිකර දීමට ය.

එක ම විසඳුම වන්නේ, මෙම යල් පැනගිය හා ප්‍රතිගාමී සමාජ පර්යාය අහෝසි කර, සමස්ත මානව වර්ගයේ ම දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලිය හැකි තාර්කික ව සැලසුම් කල ලෝක සමාජවාදී ආර්ථිකයක් ගොඩනැඟීම යි.

කේ. රත්නායක

Share this article: