ඕස්ට්‍රේලියානු අගමැති සැප්තැම්බර් 7දාට මැතිවරනය කැඳවයි

Australian PM calls September 7 election

පැට්රික් ඕ'කොනර් විසිනි, 2013 අගෝස්තු 5

සුලුතර ලේබර් ආන්ඩුව මැතිවරනය නිවේදනය කොට ඇත්තේ උග්‍ර අතට හැරෙමින් ඇති ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය.

අගමැති කෙවින් රඩ් ෆෙඩරල් මැතිවරනය සැප්තැම්බර් 7දා පැවැත්වෙන බවට අගෝස්තු 4දා නිවේදනය කල අතර දැන් දියත් වෙමින් තිබෙන නිල උද්ඝෝෂනය විශාල වංචාවකි. එලඹෙන සති හතර හමාරේ කාල සීමාව තුල කම්කරු පන්තිය මුහුන දෙන කිසිදු සැබෑ ගැටලුවක් විවෘතව සාකච්ඡාවට නො ගැනෙනු ඇත.

තව ද ලේබර්, ලිබරල්-නැෂනල් හා හරිත යන පාර්ලිමේන්තු පක්ෂ එකක්වත් මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් නො වේ. ඊ ලඟ ආන්ඩුව කවර පක්ෂයකින් සැදුම් ලද්දේ වුවත් කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් ස්ථීර ලෙසම පහත හෙලීම ඉලක්ක කරගත් ව්‍යාපාරික ගැති ආර්ථික ප්‍රතිව්‍යුහකරනය හා කප්පාදු පියවර ක්ෂනිකව තීව්‍ර වනු ඇත. එලෙස ම ප්‍රාදේශීය ආතතීන් භ්‍රමනය කරමින් හා විනාශකාරී යුද්ධයකට තර්ජනය කරමින් චීනයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනකාරී ගැටුම සමග කැන්බරාව ගෙනයන සමීප පයුරුපාසනය නො නැවතී පවතිනු ඇත.

සුලුතර ලේබර් ආන්ඩුව මැතිවරනය කැඳවා ඇත්තේ උග්‍ර වෙමින් ඇති ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය. දිනය නිවේදනය කරමින්, චීනය මත රඳා පවතින ආකර කර්මාන්තය තුල ආයෝජනය “අවසන්” යයි අවධාරනය කල රඩ් “එබැවින් මහා ආර්ථික සංක්‍රාන්තියක් ඉදිරියේ පවතී” යයි වැඩිදුරටත් කීවේ ය. මෙම “සංක්‍රාන්තිය අලුත් විදිහකට සිතිය යුතු, අලුත් විදිහකට ක්‍රියාත්මක විය යුතු, අලුත් සැලසුම් ක්‍රම අවශ්‍ය කරන අලුත් අභියෝග” මතු කරන බව ඔහු කියාගෙන ගියේ ය.

මෙය සංගත ප්‍රභූවට දුන් සංකේතාත්මක පොරොන්දුවකි. ඩොලර් බිලියන 33ක වැඩිදුර ආදායම් වාර්තා අනාවරනය කරමින් හා වැඩිදුර වියදම් කප්පාදු නිරාවරනය කරමින් අගෝස්තු 2දා භාන්ඩාගාරික ක්‍රිස් බොවන් යාවත්කාලීන කල ආර්ථික ප්‍රකාශනයක් නිකුත් කලේ ය. සිදුවෙමින් ඇති ආර්ථික “සංක්‍රාන්තිය” අවධාරනය කරමින් ඒ හා සමානව ඕස්ට්‍රේලියානු ධනවාදයේ ජාත්‍යන්තර තරඟකාරීත්වය නඩත්තු කරගෙන යාමට මූල්‍ය ප්‍රාග්ධනය විසින් අවශ්‍ය යයි සිතන “අසීරු තීන්දු”, එනම් වඩා ගැඹුරු වියදම් කප්පාදු, ලේබර් ආන්ඩුවෙන් සලසා ගනු ඇතැයි බොවන් ප්‍රකාශ කලේ ය. මහජන සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය හා සුභසාධන හිමිකම් ඇතුලු කම්කරු පන්තිය අතීතයේ අරගල කොට දිනාගත් සමාජ සහනාධාර අවසන් කිරීම ඉලක්ක කරගත් යුරෝපීය පන්නයේ දරුනු කප්පාදු පියවරවල් සූදානම් කෙරෙමින් තිබේ.

ලේබර් පක්ෂය, ලිබරල්-නැෂනල් සභාගයට එදිරිව, කප්පාදුවට විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමට රඩ් දරන උත්සාහය, සැබවින්ම බොරුවකි. “රැකියා ද සෞඛ්‍යය හා අධ්‍යාපනය යන මූලික සේවා ද තියුනු ලෙස කැපීම අරමුනු කරගත්” විපක්ෂ නායක ටෝනි ඇ‍‍බෝගේ “ඩොලර් බිලියන 70ක වියදම් කප්පාදුව හා හිඟමන් ඉල්ලීම” අගමැතිවරයා වාචාල ලෙස හෙලා දැක්කේ ය. මෙම “අඩු නපුර” තෝරා ගැනීමේ පදනම මත ලේබර් පක්ෂයට ඡන්දය දෙන ලෙස රඩ් මංමුලා සහගත ලෙස කරන ආයාචනය, මූලික සමාජ සේවා හා කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් දැනටමත් කාබාසිනියා කොට ඇති වියදම් කප්පාදු කෙරෙහි මහජනයා අතර පවතින පුලුල් විරෝධය කෙරෙහි දක්වන ප්‍රතිචාරයකි.

අගෝස්තු 5 ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් (ඒඑෆ්ආර්) පුවත්පතේ කතුවැකිය “ජාතික සමෘද්ධියේ දශකයක නිමාව” සලකුනු කරමින් පැවැත්වෙන “ඕස්ට්‍රේලියාවේ පශ්චාත්-සම්පත් උත්පාත යුගයේ ප්‍රථම මැතිවරනය” ලෙස කල සඳහන සාදරයෙන් පිලිගත්තේ ය. යථාර්ථයේ දී මෙම “උත්පාතය” සුපිරි ධනවතුන් පෙර නුවූ විරූ පරිමානයෙන් පුද්ගලික සම්පත් මඩිගසාගන්නා අතරතුර, කම්කරු පන්තිය එකතැන පල්වන වැටුප්, අනාරක්ෂිත රැකියා හා ඉහල යන ජීවන වියදම්වලින් පීඩාවට පත්වීම අත්විඳ ඇත. “ලේබර් පක්ෂයේ බියවැද්දීමේ උද්ඝෝෂන” නො තකා “පහසු සමෘද්ධිමත් යුගයක අවසානය සමග, ඵලදායී ලෙස ගනුදෙනු කිරීමට ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් ජනවරමක් ලබා ගැනීමට” කටයුතු කරන ලෙස ඒඑෆ්ආර් ඇබට් හට උපදෙස් දුන්නේ ය.

යථාර්ථයේ දී රැකියා හා වැඩ කොන්දේසි විනාශ කිරීම වේගවත් කරනු ඇති ඉහල “ඵලදායකත්වය” සඳහා වන ඉල්ලීම්වලට හා කප්පාදු න්‍යාය පත්‍රයට ජනවරමක් ලැබිය නො හැක. සමාජයේ ඉහල ම හිනිපෙත්තේ සිටින ආන්තිකව ධනවත් තුනී තට්ටුවෙන් පිටත එවැනි ප්‍රතිගාමී පියවරයන්ට පක්ෂ සමාජ කොට්ඨාශයක් ඇත්තේ නැත.

තිරයෙන් පිටුපස සිට ප්‍රජාතන්ත්‍ර-විරෝධී නව පාලන ක්‍රම සූදානම් කරද්දී, මැතිවරන උද්ඝෝෂනය දේශපාලන අපසරන මාලාවක් මගින් සංලක්ෂනය වනු ඇත. ප්‍රතිගාමී ලෙස සරනාගතයන්ගේ පැමිනීම ඉලක්ක කරගැනීම මෙම අන්ත දෙකට ම සේවය කරයි. ජුනි 27 දී අගමැති තනතුරේ පිහිටුවනු ලැබීමෙන් පසුව, රැකවරන පතන්නන්ට සැලකීම පාලනය කරන ජාත්‍යන්තර නීතියේ මූලික ප්‍රඥප්තීන්ට ඇති සියලු බැඳීම් විවෘතව උල්ලංඝනය කරමින් රඩ් සිය පූර්වගාමී ජූලියා ගිලාඩ් පරයා පෙරට ගියේ ය. ඔහුගේ “පැපුවා නිව් ගිනියා විසඳුමට” අනුව, මුහුදු මගින් පැමිනෙන සරනාගතයන්ට කිසිදා ඕස්ට්‍රේලියාවට ඇතුල් වීමට අවසර නොලැබෙන අතර පැරනි ඕස්ට්‍රේලියානු යටත් විජිතයට ඔවුන් පිටුවාහල් කරනු ඇත. අසල්වාසී කුඩා නායුරු රාජ්‍යය සමගත් තමන් එවැනි ම එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බව රඩ් අගෝස්තු 3දා නිවේදනය කලේ ය.

ජීවන වියදම ඉහල යාමෙන් හා ඛාදනය වන රාජ්‍ය සේවා වෙනුවෙන්, සරනාගතයන් හා රැකවරන පතන්නන් දඩමීමා කර ගනිමින්, සමාජ ආතතීන් වෙනතකට හැරවීම සඳහා ප්‍රධාන පක්ෂ උත්සාහ දරමින් සිටිති. ඕස්ට්‍රේලියානු පාලක පන්තියට ජාතිකවාදය හා විදේශික භීතිකාව ඇවිස්සීමේ දශක ගනනාවක අත්දැකීම් ඇත.

ඒ සමගම රඩ් ආන්ඩුව, රැකවරන පතන්නන්ට නීති විරෝධී ලෙස සැලකීම, රැකියා හා ජීවන කොන්දේසිවලට එල්ල කරන ප්‍රහාරයන් කෙරෙහි කම්කරු පන්තිය දක්වන ඕනෑම විරුද්ධත්වයක් දැඩි මර්දනයකට ලක් කරන බවට පෙර නිමිති පල කරයි. වොෂින්ටනය ද කැන්බරා ඇතුලු එහි සහචරයන් ද පොලිස් රාජ්‍යයක් සඳහා රාමුව ගොඩනැගීමේ දී කොපමන දුරක් ඉදිරියට ගොස් ඇද්දැයි ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) හිටපු සාමාජික එඩ්වඩ් ස්නෝඩන් හෙලිදරවු කර තිබේ.

ප්‍රධාන පක්ෂවල සරනාගත විරෝධී පිලිවෙත් මගින් ඇතිකර තිබෙන කෝපය හා විරුද්ධත්වය ගසා කමින් විශේෂයෙන් ම තරුන ජනයා අතරින් සහයෝගය දිනා ගැනීමට හරිත පක්ෂය උත්සාහ කරයි. ඔවුන්ගේ “මානවවාදී” මවාපෑම වංචාවකි. ගිලාඩ් ආන්ඩුවේ කීකරු කනිෂ්ඨ සහකරුවන් ලෙස හරිතයෝ වසර තුනක් තිස්සේ සේවය කලහ. කලින් තිබුන හොවාඩ් ආන්ඩුවේ “පැසිෆික් විසඳුම” ප්‍රකෘතිමත් කිරීම තුලින් වත්මන් පිලිවෙතට පාර කපන ලද ගිලාඩ් ආන්ඩුව, සරනාගතයින් මැලේසියාවට පිටුවහල් කිරීමේ සැලැස්ම හා තවත් අය පැමිනීම වැලැක්වීමේ දන්ඩනීය පියවරක් ලෙස, නිල වසයෙන් පිලිගත් සරනාගතයන් පවා නීති විරෝධී යයි සලකන ලදී. එම කාලය පුරාවටම හරිතයෝ ආන්ඩුවට සහාය දෙමින්, සෑම වාර්ෂික අයවැයකටම ඡන්දය දුන්හ. ඊට ඕස්ට්‍රේලියානු හා ශාන්තිකර සාගර රැඳවුම් කඳවුරු පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම ද ඇතුලත්ය.

එලෙස ම හරිතයෝ, කප්පාදු වලට අඛන්ඬව සහයෝගය දී ඇත. මධ්‍යම පන්තියේ පොහොසත් ස්ථරයක් මත පදනම්වූ ධනේශ්වර සංවිධානයක් වන හරිත පක්ෂය, තස්මේනියාවේදී ලේබර් හා ලිබරල් පක්ෂවල නායක්ත්වයෙන් පැවති සභාග ආන්ඩුවල කොටස් කරුවන් ලෙස මෙන්ම,

ගිලාඩ්ගේ මධ්‍යම ආන්ඩුවේ ද කොටස්කරුවන් ලෙස, කම්කරු පන්තිය ඉලක්ක කරගත් ප්‍රතිගාමී වියදම් කප්පාදු ක්‍රියාත්මක කිරීමේ දී සිය වාර්තාව පිලිබඳව විවෘතව කයිවාරු ගසා තිබේ. මෙම වාර්තාව පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියානු දේශපාලන සංස්ථාපිතයේ කේන්ද්‍රීය සංරචකයක් ලෙස හරිතයන්ගේ භූමිකාව යි.

සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයෙන් ම පෙර නුවූ විරූ ආකාරයට දුරස්ත වීමක් හා එය කෙරෙහි කෝපයක් සාමාන්‍ය මහජනයා අතර පවතී. පසුගිය දශක තුන තුල මධ්‍යම හා ප්‍රාන්ත මට්ටමේ ආන්ඩුවල දී අනුකම්පා විරහිත ලෙස මහ ව්‍යාපාරිකයේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ඉටු කිරීම හේතුවෙන් ලේබර් පක්ෂයට කම්කරු පන්තිය අතර අව්‍යාජ පදනමක් නැත. එම පක්ෂය කෙරෙහි පවතින පුලුල්ව පැතිරුනු මහජන වෛරය ව්‍යංගයෙන් පිලිගනිමින් තම මැතිවරන නිවේදනයේ දී රඩ් “ලේබර්” යන වචනය භාවිතා කලේ එක් වරක් පමනි.

කුඩා පක්ෂ මත බාධක පැනවීමට ප්‍රධාන පක්ෂ දරන උත්සාහය හමුවේ ගොඩනගා ඇති අතිරේක ප්‍රජාතන්ත්‍ර විරෝධී මූල්‍ය හා පරිපාලනමය බාධක තිබියේ වුව ද මැතිවරනයට වාර්තාගත ලෙස දේශපාලන පක්ෂ 54ක් තරඟ කිරීම ද්වි-පක්ෂ පාර්ලිමේන්තු ක්‍රමයේ බිඳ වැටීම පිලිබඳ එක් රෝගී ලක්ෂනයකි.

එහෙත් කම්කරු පන්තියට අව්‍යාජ විකල්පයක් ඉදිරි පත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සවුත් වේල්ස්, ක්වීන්ස්ලෑන්ඩ්, වික්ටෝරියා, දකුනු ඕස්ට්‍රේලියාව හා බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රධාන ප්‍රාන්ත පහට ම සසප ‍‍සෙනට් සභික අපේක්ෂකයන් ඉදිරිපත් කරයි.

කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන හදිසි කර්තව්‍යය වන්නේ, යුද්ධයට හා මිලිටරිවාදයට ද කප්පාදු හා ප්‍රජාතාන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට ද එරෙහිව තමන්ගේ ම ස්වාධීන පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා මැදිහත් වීම යි. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් සඳහා ගෙන යන සසප උද්ඝෝෂනය මේ සඳහා මාවත ඉදිරිපත් කරයි. මැතිවරන උද්ඝෝෂනයේ දී පාර්ලිමේන්තු පක්ෂ කිසිවක් සාකච්ඡාවට නො ගන්නා, චීනයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන යුද සැලසුම ඇතුලු කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන තීරනාත්මක ගැටලු මෙම උද්ඝෝෂනය තුලදී මතු කරන්නේ සසප පමනකි. සිය උපරිම සහයෝගය සසප මැතිවරන ව්‍යායාමයට ලබා දෙන ලෙසත්, කම්කරු පන්තියේ නව මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමේ අරගලයට එක්වන ලෙසත්, කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන්, සමාජවාදයට හිතැති බුද්ධිමතුන් හා වෘත්තිකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: