බර්ලුස්කෝනිගේ පක්ෂය ඉතාලි ආන්ඩුව බිඳ දැමීමට තර්ජනය කරයි

Berlusconi’s party threatens to bring down Italian government

මාරියන් ඇරන්ස් විසිනි, 2013 අගෝස්තු 05

සිල්වියෝ බර්ලුස්කෝනිගේ දක්ෂිනාංශික පීපල් ඔෆ් ෆ්‍රීඩම් පක්ෂය (පීඩීඑල්) සිය ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතාලි රජයෙන් ඉවත් කර ගැනීමට තර්ජනය කරයි. එසේ වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඩිමොක්‍රටික් පක්ෂය - පීඩී) එන්රිකෝ ලෙටාගේ නායකත්වයෙන් යුත් සභාග රජය බිඳ වැටෙනු ඇත. නව රජය බලයේ රැඳී සිට ඇත්තේ දින 100ක් පමනි.

පීඩීඑල්හි තර්ජනය එල්ල වී ඇත්තේ සිල්වියෝ බර්ලුස්කෝනි වරදකරු කරමින් අධිකරනය විසින් දෙන ලද තීන්දුවට ප්‍රතිචාර වශයෙනි. අගෝස්තු 1 දා ඉතාලියේ හිටපු අගමැතිවරයාට මුල්වරට දඬුවම් නියම කෙරිනි. මේ කෝටිපති මාධ්‍ය ව්‍යාපාර හිමියා 2002 හා 2003 වසරවල, සිය මීඩියාසෙට් ව්‍යාපාරය සඳහා චිත්‍රපටගත කිරීමේ අයිතිය මිල දී ගැනීම්වලදී බදු පැහැර හැරීම සඳහා ඩොලර් මිලියන 350කට වඩා විදේශ බැංකු ගිනුම්වලට මාරු කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරනය සිකුරාදා රෝමයේ දී බදු වංචාව සඳහා සිව් අවුරුදු සිර දඬුවම ස්ථිර කල නමුත්, මිලාන්හි පරිපාලන අධිකරනය ලබා දී තිබූ දඬුවමේ දෙවැනි කොටස, එනම් පස් වසරකට සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීම, ඉවත දැමීය. ඉදින් සිවිල් අයිතිවාසිකම් අහෝසි කෙරුනි නම්, බර්ලුස්කෝනිට ඔහු දරන සියලු දේශපාලන තනතුරු වලින් ඉවත් වීමට සිදු වනු ඇත.

මේ තීන්දුව සුවිශේෂ සිදුවීමකැයි මාධ්‍ය විසින් ඔල්වරසන් දී පිලිගන්නා ලදී. එය "බර්ලින් තාප්පයේ බිඳ වැටීම හා සැසැඳිය හැකි සිදු වීමකැ"යි පවා පැවැසීමට බෙප්පෙ ග්රිලෝ ඉදිරිපත් විය. යථාර්ථය නම් බර්ලුස්කෝනිට සිර ගෙයි ඇතුලත දැක බලා ගැනීමට කිසි විටෙකත් අවස්ථාව නොලැබෙනු ඇති බවයි.

2006 දී ප්රෝඩි රජය සම්මත කරන ලද ක්ෂමා නීතියක් යටතේ ඔහුගේ සිව් අවුරුදු දඬුවමේ අවුරුදු 3ක් කපා හරින ලදී. ඉතිරි අවුරුද්ද සිර ගෙයි ගෙවීමට 77 හැවිරිදි බර්ලුස්කෝනිට සිදු නොවීම පිලිබඳව ඔහු, හිටපු අගමැති මාරියෝ මොන්ටි විසින් අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති ධුරයට පත් කල, දැන් ලෙටාගේ රජයේ අධිකරන ඇමති ඇනා මාරියා කැන්සෙලීරිට ස්තුතිවන්ත විය යුතුය.

කැන්සෙලීරි සාමාන්‍යයෙන් සැලැකෙන්නේ නිර්දය තැනැත්තියක ලෙසය. අඩු තරමින් විරෝධතා දක්වන කම්කරුවන් හා නිසි ලේඛන නොමැති සංක්‍රමනිකයන් සම්බන්ධයෙන් ගත් කල ඇගේ ස්වභාවය එබඳුය. ජූලි 1 දින, හරියටම බර්ලුස්කෝනිගේ දඬුවමට පෙර, "මානුෂික" හේතූන් මත "සිර ගෙවල් හිස් කිරීමේ නියෝගයක්" (බන්ධනාගාර නීතිය) ඇය කල් යල් බලා ගෙන ආවාය. එමඟින්, වයස 70 ඉක්මවූවන්ට පනවා ඇති බරපතල වැඩ රහිත සිර දඬුවම් සමාජ වැඩ හෝ නිවාස අඩස්සියට යටත් කල හැකි පරිදි වෙනස් කල හැක.

බර්ලුස්කෝනි සම්බන්ධව දැනට පවත්වා ගෙන යන අනෙක් නඩු දෙක වන්නේ රූබි නඩුව ලෙස හඳුන්වනු ලබන බාල වයස්කාර දැරියක සමග ලිංගික සම්බන්ධතා පැවැත්විම හා සිය රාජ්‍ය නිලය අයථා පරිදි යොදා ගැනීම පිලිබඳ නඩුවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අල්ලස් දීම පිලිබඳ නඩුවකි. ඔහුගේ නීතිඥයන් අධිකරනයට භාර දී ඇති ප්‍රකාශ මගින් ඉල්ලා ඇත්තේ විභාගය අත්හිටුවන ලෙස හෝ සර්වග්‍රාහී දඬුවමකට එකඟ වන ලෙසයි. එවිට එම දඬුවම සැලකිය යුතු තරමකින් පහත වැටෙනු ඇත. අවසානයේ මුලු දඬුවම ම මාස කිහිපයක නිවාස අඩස්සියකට වැඩි යමක් නොවනු ඇත. එම නිවාස අඩස්සිය තමන් සතු සුඛෝපභෝගී විලාවන් 20න් එකක සැපපහසුකම් සහිත ව ගෙවා දැමීමට බර්ලුස්කෝනි සමත් වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නඩු තුනේම දඬුවම් එකවර නියම නොකිරීමත්, රූබි නඩුව සඳහා මුලින්ම දඬුවම් ලබා නොදීමත් දිරි ගන්වන සුලු ලකුනු ලෙස බර්ලුස්කෝනිගේ නීතිඥයෝ දකිති. රූබි නඩුවේ තීන්දුව දෙන ලද නම්, ඔහුට සත් වසරක සිර දඬුවමක් නියම කිරීමට විනිසුරුට සිදුවනු ඇත. එවිට එම දඬුවම බන්ධනාගාර නීතියේ ඉහල සීමාව ඉතා ඉහලින් ඉක්මවා යන්නකි. එහි ප්‍රතිඵලයක් ලෙස, දූෂිත දේශපාලනඥයා ඔහුගේ සිර දඬුවම විඳීමෙන් ගලවා ගැනීමේ කිසිදු ප්‍රායෝගික ශක්‍යතාවයක් පැවතීමට කරුනු නො යෙදෙනු ඇත. අවසානයේ සිර දඬුවමෙන් ඔහු ගලවා ගැනීමට, බර්ලුස්කෝනි විසින්ම යවා ඇති අධිකරනයේ "රතු ලෝගුධාරී" පිල්ලි විසින් කටයුතු කරනු ඇත.

ඔහුට සිය දේශපාලන තනතුරු අත්හැර දැමීමට සිදුවේද යන්න මෙතෙක් තීරනය වී නැත. තීරනයක් ගැනීම පසුවට කල් තබා ඇති අතර එසේ අත්හැර දැමීමට සිදුවනු ඇති බව තහවුරු වුවහොත් සෙනේට් සභාව ඔහුගේ ඉල්ලා අස්වීමට එකඟ විය යුතුව ඇත. ඊට එහි එකඟතාව පලවෙතැයි සහතිකයක් කොහෙත්ම නැත. මේ සියල්ල මෙපරිදි සිදු වුවහොත් එවිට බර්ලුස්කෝනිට තවත් වසර පහක් යන තුරු යලි තේරී පත්වීමට නීතියෙන් ඉඩක් නැත. 1990 ගනන්වල ඔහුගේ පක්ෂය වූ ෆෝර්සා ඉටැලියා සංවිධානය මේ කාල වකවානුව තුල දී මුල පටන්ම යලි ගොඩනැගීමට තමන් බලාපොරොත්තු වෙන බව ඔහු දැනටම නිවේදනය කොට ඇත.

ඔහුට ලබා දී ඇති අත්‍යන්තයෙන්ම මෘදු දඬුවමට හේතු වී ඇත්තේ බර්ලුස්කෝනි, රජයේ වැදගත් සංරචකයක් වීමයි. ඔහුගේ පීඩීඑල් පක්ෂය පීඩීය සමඟ හවුලේ එන්රිකෝ ලෙටාගේ නායකත්වයෙන් සභාග රජයක් පවත්වා ගෙන යයි. එන්රිකෝ ලෙටා යනු බර්ලුස්කෝනිගේ සමීප ආධාරකරුවකු වන ගියන්නි ලෙටාගේ ඥාති පුත්‍රයාය.

බර්ලුස්කෝනි ඇමතිවරයෙකු නොවෙතත්, පීඩීඑල් තුල ඔහුගේ ඇඟිලි ගැසීමෙන් තොරව කිසිවක් සිදු නො වේ. නියෝජ්‍ය අගමැති ලෙස ඔහුගේ පදවිය බර්ලුස්කෝනිගේ සමීපතම සගයකු වන හිටපු අභ්‍යන්තර කටයුතු ඇමති ඇන්ජලිනෝ ඇල්ෆානෝ විසින් භාර ගනු ලැබ ඇත.

පුරා වසර 20ක් එකිනෙකා සමග තරග වැදුනු මෙම පක්ෂ දෙක ආන්ඩුව තුල එකතු වී සිටින්නේ උග්‍ර දේශපාලන අර්බුදය මැඩ පැවැත්වීම හා මාරියෝ මොන්ටි නායකත්වය දුන් ඉහත පැවැති තෝරා පත් කර නොගන්නා ලද ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙල අඛන්ඩව පවත්වා ගෙන යාම සඳහා ය. පෙබරවාරියේ දී ඡන්ද දායකයෝ යුරෝපා සංගමයේ කප්පාදු පියවරයන්ට සහයෝගය දුන් සියලු පක්ෂ තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කලෝය.

සිකුරාදා සන්ධ්‍යාවේ බර්ලුස්කෝනිගේ තීන්දුව ප්‍රකාශයට පත් වූ වහා ම පීඩීඑල් තුල කලබැගෑනියක් ඇති විය. පක්ෂ නියෝජිතයෝ ආන්ඩුව පෙරලා දැමීමට තර්ජනය කරති.

අධිකරනය "වගකීම් විරහිත"යැයි ද, තමාට පැනවූ දඬුවම "ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක" එකකැයි ද විස්තර කරමින් බර්ලුස්කෝනි සිය පක්ෂ සගයන්ගේ සහයෝගය ඉල්ලා සිටියේය. වීඩියෝ පනිවුඩයක් තුල ඔහු නාටකාකාරයෙන් විමසා සිටියේ, "ඉතාලිය සිය හොඳම පුරවැසියන් දඩයම් කරන්නේ මේ ලෙසින්ද" කියා ය. අධිකරන පද්ධතිය වහාම ප්‍රතිසංස්කරනය කල යුතුයැයි ඔහු ඉල්ලා සිටියේ, එසේ නොකලහොත් තමන් නව මැතිවරනයකට යාමට සූදානම් බව හඟවමිනි.

ඉක්බිතිව පීඩීඑල් සෙනේට් සභිකයෝ හා පාර්ලිමේන්තු මන්ත්‍රීහු සිය ඉල්ලා අස්වීමේ නිවේදන අත දරා ගෙන මාධ්‍ය හමුවට යමින් බර්ලුස්කෝනිට ක්ෂමාවක් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ජෝර්ජියෝ නැපොලිතානෝගෙන් ඉල්ලා සිටියෝය. ජනාධිපතිවරයා එසේ කිරීම ප්‍රතික්ෂේප කලහොත් ඉල්ලා අස්වීම් භාර දීමට හා ආන්ඩුව පෙරලා දැමීමට ඔවුහු සූදානම් ව සිටියෝය.

සෙනසුරාදා, පක්ෂ නායක ඇල්ෆානෝ, නියෝජ්‍ය අගමැති හා අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති වශයෙන්, බර්ලුස්කෝනිගේ දඬුවම අත්හිටුවනු නොලැබුවහොත් පීඩීඑල් ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමස්ත කන්ඩායම ම ඉල්ලා අස්වීමට සූදානම් බව සනාථ කලේය. ඉරිදා රෝමයේදී විරෝධතා පෙලපාලියකට සහභාගී වන ලෙස ඔහු බර්ලුස්කෝනිගේ සියලු ආධාරකරුවන් කැඳවා සිටියේය.

කොටස් වෙලඳපොලේ ප්‍රතිචාරය කෙටි කාලයක් තුල සිග්-සැග් ආකාරයකින් වූ තියුනු නැඟීම් හා බැසීම්වලින් යුක්තවූ අතර, යලි අලුත් වූ කැලැඹිලි ස්වභාවය පිලිබඳව බොහෝ දේශපාලනඥයෝ කනස්සල්ලට පත් ව "සන්සුන්" වන මෙන් ආයාචනා කලෝය. කොරියර් ඩෙලා සේරා පුවත්පත අමතා හිටපු අගමැති මාරියෝ මොන්ටි සඳහන් කලේ, "ආන්ඩුව ඇද වැටුනහොත් එය නාටකීය සිදු වීමක් වනු ඇති" බවයි.

පීඩී පක්ෂය තියුනු ලෙස බෙදී ඇත. අපේ‍්‍රල් මාසයේ සිට බලයේ සිටින අගමැති ලෙටා, අර්බුදය මැඩ පැවැත්වීමෙහි ලා සමත් වී නැත. රජය පිහිටුවීමෙන් පසු ඔහුගේ ජනප්‍රියත්වය තියුනු ලෙස පහත වැටුනි. ඒ, හුදෙක් ම ඔහු මොන්ටිගේ කප්පාදු වැඩ පිලිවෙල පවත්වා ගෙන යාම නිසා පමනක් නොව, ඔහු බර්ලුස්කෝනි සමග හවුලේ ආන්ඩු කිරීමේ හේතුව ද නිසා ය.

ලෙටා ආන්ඩුවේ අත්හදා බැලීමෙහි අවසානයක් දැකීමට කැමැති පීඩීය තුල වැඩෙමින් පවතින කන්ඩායමකගේ සහාය ඊට ලැබී ඇත. බැංකු විසින් ඉල්ලා සිටින කප්පාදු පියවර බාධාවකින් තොරව ක්‍රියාවට නැංවිය හැකි වන පරිදි, මාධ්‍ය ප්‍රධානියාගෙන් හා ඔහුගේ අවිශ්වාස සහගත මාෆියා පිරිවරෙන් ද ගැලැවීමට එම බලවේගයෝ කැමැත්ත දක්වති.

ලා රිපබ්ලිකා පුවත්පතේ අගෝස්තු 2වන දින පල වූ මතයකට අනුව, පීඩීඑල් නායකයා වරදකරු කරමින් ලබා දුන් තීන්දුව නිසා නව දේශපාලන තත්වයක් වර්දනය වෙමින් තිබේ. එහි සඳහන් වූයේ පීඩීඑල් පක්ෂය නැති ආන්ඩුවක් පිහිටුවීමේ අවදානම භාර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අභියෝග කෙරී ඇති බවයි. මෙය "ඔවුන්ගේ අනන්‍යතාවය පිලිබඳ ප්‍රශ්නයක්" වන අතර, එහි දී සැලකිල්ලට භාජනය වන කරුන වන්නේ "හුදෙක් යුක්තිය පමනක් නොව, පාර්ලිමේන්තුවේ පාරිශුද්ධත්වය හා සියල්ලටමත් වඩා දේශපාලනයේ ස්වභාවය හා ගුනයයි."

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා සහ සීජීඅයිඑල් වෘත්තීය සමිතියේ හිටපු ප්‍රධානියා වන ගුග්ලීමෝ එපිෆනි, "අප බර්ලුස්කෝනිට බැඳී නැතැ"යි ප්‍රකාශ කලේය. බර්ලුස්කෝනි දරන සියලු දේශපාලන තනතුරුවලින් ඉල්ලා අස්වීම පිලිගැනීමට එකඟ වන්නැයි ඔහු සෙනේට් සභාවෙන් ඉල්ලා සිටියේය.

දෙවසරකට ඉහත දී මෙපරිද්දෙන් ම, මාරියෝ මොන්ටිගේ "තාක්ෂනතාන්ත්‍රික" රජය බලයට ගෙන ඒමට බර්ලුස්කෝනිගේ දූෂන සම්බන්ධයෙන් පැවැති මහජන වෛරය පාවිච්චි කරන ලදී. එතැන් පටන් වසර දෙක හමාරක් පුරා ඉතාලි හා යුරෝපීය බැංකුවල උත්සුකයන් මත උග්‍ර කප්පාදු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ලදී.

ලෙටා රජය බලයට පත්වීම මෙම තතුවල කිසිත් වෙනසක් ඇති කලේ නැත. බර්ලුස්කෝනි සිය ඡන්ද දායකයන්ට ලබා දුන් පොරොන්දු ප්‍රකාරව, එවකට පනවා තිබූ දේපල බද්ද තාවකාලිකව නවතා දමන ලදී.

රටෙහි පවත්නා අවපාතය උග්‍ර වී නය බර දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 130ක් වන - යුරෝ ට්‍රිලියන 2 ඉක්මවූ - නව උසකට නැඟී ඇති මුත්, වඩාත් දැඩි කප්පාදු පිලිවෙත් අනුගමනය කරන ලෙස බැංකු හා ව්‍යාපාරික කව ලෙටා වෙත කෙරෙන බලපෑම් තීව්‍ර කෙරී ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වර්ගීකරන ඒජන්සිය යලිත් වරක් ඉතාලියේ නය වර්ගීකරනය පහත හෙලා ඇති අතර, මෑතක දී ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය (ඕඊසීඩී), ශ්‍රම වෙලඳ පොල සැලකිය යුතු ලෙස ප්‍රතිසංස්කරනය කරන ලෙස ලෙටා රජයට බල කොට ඇත. මටසිලිටි වචන තුල සඟවා ඉදිරිපත් කෙරෙන මේ ඉල්ලීමෙහි අර්ථය, වඩාත් නිර්දය ආකාරයකින් කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමිය යුතු බවයි.

අර්බුදයට ගෙවමින් සිටින්නේ කම්කරු පන්තියයි. එය වෙන කවරදාටත් වඩා විවෘතව දරිද්‍රතාවට ඇද දමමින් තිබේ. නිල විරැකියා අනුපාතය සියයට 12.2ක රැඳී පවතී. තරුන විරැකියාව සියයට 40ට ආසන්න වෙමින් තිබේ. දිනෙන් දින ඉහල යන සියදිවි නසා ගැනීමේ මට්ටම් පිලිබඳ පුවත්පත් වාර්තා, කම්කරු ජනයාගේ ජීවන කොන්දේසිවල පවත්නා බියකරු තත්වය පිලිබඳව දෙස් දෙයි.

Share this article: