සමුලුව අවලංඟු කර ඔබාමා, රුසියාව සමග ආතතීන් උග්‍ර කරයි

Obama cancels summit, escalates tensions with Russia

2013 අගෝස්තු 8

ජනාධිපති බරක් ඔබාමා හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවැත්විමට සැලසුම් කර තිබූ සමුලුවක් අවලංඟු කිරීමට එක්සත් ජනපදය ගත් තීරනය, රුසියාව මත එක්සත් ජනපදය යොදන පීඩනය දැඩි කිරීමේ මෙන්ම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආතතීන් උත්සන්න කරන ප්‍රධාන පියවරක් ද වේ. සීතල යුද්ධයේ අවසානයෙන් පසුව, රුසියාවේ නායකයින් සමග පැවැත්වෙන බවට ප්‍රසිද්ධියට පත්කර තිබූ ජනාධිපතිවරුන්ගේ රැස්වීමක් එක්සත් ජනපදය විසින් අවලංගු කර ඇත්තේ පලමු වතාවටයි.

රහස් හෙලිකරන්නා වූ එඩ්වඩ් ස්නෝඩන්හට තාවකාලික රැකවරන ලබාදීමට රුසියානු ආන්ඩුව ගත් තීරනය මෙම පියවර පිටුපස ඇති ක්ෂනික හේතුවයි. කෙසේ වෙතත් වඩාත් පුලුල් භූ මූලෝපායික ප්‍රශ්න පරදුවට තැබී ඇත. ධවල මන්දිරය සඳහන් කල පරිදි එම තීරනයට එලඹීමට හේතුවූ කරුනු අතර, “මිසයිල් ප්‍රතිරෝධක හා අවි පාලනය, වෙලඳාම හා වානිජ්‍ය සබඳතා හා ගෝලීය ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න” පවතියි. මේවා, සිරියාව හා ඉරානය පිලිබඳ එක්සත් ජනපද ප්‍රතිපත්තිය මුල්කරගෙන ඇතිව තිබෙන මතභේද වෙත ඇඟිල්ල දිගු කරයි.

නිවේදනයට මඳකට පෙර 07දා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ “සමුලුවක් සඳහා ඇති අවශ්‍යතාව කුමක් ද?’ යන හිසින් පලවූ කතුවැකිය, සමුලුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී පුවත්පත, ස්නෝඩන්ට එරෙහි වොෂින්ටනයේ පලිගැනීමේ ව්‍යායාමය පිටුපස කෙලින්ම පෙල ගැසෙමින්, හිටපු ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත්කරු විසින් හෙලිදරව් කර ඇති පොලිස් රාජ්‍ය ඔත්තු බැලීමේ යාන්ත්‍රනයට සහාය පල කරයි. මෙම කතුවැකියත් සමග ටයිම්ස් පත්‍රය, මිලිටරි/බුද්ධි අංශ යාන්ත්‍රනය තුලට මාධ්‍යයේ ඒකාග්‍රවීම පිලිබඳ තවත් නිදසුනක් ගෙනහැර දක්වයි.

ඒ සමග ම කතුවැකිය, රුසියාව, ලොව වටා එක්සත් ජනපදයේ ප්‍රමුඛ අරමුනු සාක්ෂාත් කරගැනීමට ඇති බාධකයක් ලෙස වටහා ගනිමින්, වඩාත් ආක්‍රමනකාරී ආස්ථානයක් ගැනීම අවශ්‍ය බවට, ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතය තුල වැඩෙමින් ඇති සහානුමතිය පිලිබිඹු කරයි. දේශපාලන රැකවරන පැතීමේ අයිතිය පිලිගන්නා ජාත්‍යන්තර නීති වලට කොටු වෙමින් ස්නෝඩන් පිටුවහල් කරන ලෙසට කල වොෂින්ටනයේ ඉල්ලීමට පිටුපා “ඔබාමාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමේ ප්‍රකෝපකාරී” තීරනයට එලඹීම සම්බන්ධව පුටින් හෙලාදකිමින් කතුවැකිය ආරම්භ කෙරේ.

“රැකවරන ඇත්තේ, තමන්ගේ වර්ගය, ආගම හෝ ඔවුන්ගේ දේශපාලන විශ්වාස නිසා දඬුවමට, නීති විරෝධී සිරගත කිරීමට හෝ මරනයට පවා පත්කරනු ඇතැයි යන බියෙන් සිය රටට ආපසු පැමිනීමට නොකැමැති පුද්ගලයින් සඳහා” යයි ලියමින් රැකවරන පතමින් ස්නෝඩන් කරන ප්‍රකාශ පුවත්පත නිර්ලජ්ජිත ලෙස ප්‍රතික්ෂේප කරයි.

පුවත්පත ලියන්නේ, ඇමරිකාව තුල දේශපාලන විරුද්ධවාදීන් නඩු නොඅසා අනියමිත කාලයක් රඳවා තැබීම, ගුවන්තනාමෝ සිර කඳවුරේදී බලහත්කාරයෙන් කැවීම හා වධ දීමේ වෙනත් ක්‍රම, ඩ්‍රෝන් ඝාතන හෝ මූනිච්ඡාවට පවත්වන නඩු විභාග හා හොර නඬු වැනි කිසිවක් නැතුවාක් මෙනි. දේශපාලන මර්දනයට මෙලෙස සුදුහුනු ගෑම සිදුවන්නේ, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද භීෂනය හා යුද අපරාධ හෙලිදරව් කිරීමේ “අපරාධයට” මරනීය දන්ඬනය පැනවීමේ හැකියාව ඇති, චරපුරුෂ සේවයේ යෙදීම සම්බන්ධයෙන්, බ්‍රැඩ්ලි මැනිං සෙබලා වරදකරු කොට සතියකට පසුවය.

සෑම දුරකථන ඇමතුමක්ම, ඊමේල් හා අන්තර්ජාල සන්නිවේදනයක්ම නිරීක්ෂනය කිරීමට සම්බන්ධව, ස්නෝඩන් විසින් හෙලිදරව් කල පුලුල් හා රහසිගත ඔත්තුබැලීමේ වැඩසටහන් වලට සම්බන්ධිතව සිදුවූ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ව්‍යවස්ථා හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ කිසිදු අදහසක් පුවත්පතෙන් ඉදිරිපත් නොකෙරේ. ස්නෝඩන් වැරදිකරු කිරීමට පිටුබලය දීම සමග එක්ව පලවන මේ නිහඬතාවය ඉස්මතු කරන්නේ, එම වැඩසටහන් වලට මෙන්ම ඒවා ක්‍රියාත්මක කරන ආයතන වලට පලවන සහයෝගයයි.

ස්නෝඩන්ට ඔබ්බෙන් සිරියාව, මිසයිල් ප්‍රතිරෝධක හා න්‍යෂ්ටික අවි අවම කිරීම පිලිබඳ රුසියානු ආස්ථානයන් ගැන සඳහන් කරමින් ටයිම්ස් පත්‍රය, “විශාලතම ගැටලුව නම්, රුසියාව සමග ඔබාමා ගොඩනැගීමට බලාපොරොත්තු වන හවුල්කාරිත්වය දරුනු ලෙස කඩා වැටීමයි.” යනුවෙන් ලියයි.

ඇෆ්ගනිස්ථානයට හා අනෙකුත් අධිරාජ්‍යවාදී මෙහෙයුම් වලට රුසියාව ලබාදුන් සහාය උපයෝගී කර ගැනීමේ අටියෙන් ඔබාමා පලමු වරට බලයට පත්වීමෙන් පසුව, එක්සත් ජනපද-රුසියානු සබඳතා “හරිගස්සා ගැනීම” පිලිබඳව කථා කලේය. එක්සත් ජනපදය සමග අත්වැල් බැඳ ගැනීමට පුටින් ඕනෑවටත් වඩා කැමැත්තෙන් සිටියේය. ස්නෝඩන් සම්බන්ධ සිද්ධියේදී, රුසියාව තුල සිටින කාලය තුල සියලු දේශපාලන කටයුතු වලින් වැලකී සිටිය යුතු බවට ඔහුට උපදෙස් දීම ද මීට ඇතුලත්ය.

“හරිගස්සා ගැනීම” බුෂ් පාලනයේ පිටුබලය සහිතව ජෝර්ජියාව විසින් දකුන ඔසේටියාව ආක්‍රමනය කිරීමෙන් පසුව එලිබට කැඳවුමක් විය. සිද්ධිය වොෂින්ටනය හා මොස්කෝව අතර සෘජු මිලිටරි ගැටුමක් සමීප කලේය.

පසුගිය සතියේ ස්නෝඩන්ට රැකවරන දීමට ගත් රුසියානු තීන්දුවෙන් පසුව, දේශපාලන පක්ෂ දෙකේම ඉහල නිලධාරීන්, සෙනේට් සභික රිපබ්ලිකානු ජෝන් මැකේන්ගේ වචන වලින් පැවසුවහොත්, “පුටින්ගේ රුසියාව සමග එක්සත් ජනපදයේ සම්බන්ධතාවන් ගැන යලි සිතාබැලීම” සඳහා කැඳවුම් කිරීමට තුඩු දුන්නේය.

සමුලුව අවලංගු කිරීමේ තීරනය ගනු ලැබුවේ, රුසියාවේ ප්‍රධාන සහචරයෙකු වන සිරියාවට මැදිහත් වීම සඳහා එක්සත් ජනපදය සිය සූදානම දැඩි කරමින් සිටිය දී ය. පසුගිය මාසයේදී පෙන්ටගනය, සිරියාවේ ගුවන් හමුදාව වැනසීම අරමුනු කරගත් “පියාසර තහනම් කලාපයක්” පිහිටුවීම ද ඇතුලු එකිනෙකට වෙනස් විවිධ සැලසුම් තමන් සලකා බලමින් සිටින බව හෙලි කලේය. පසුගිය මාසයේදී නියෝජිත මන්ත්‍රී මන්ඬලය හා සෙනේට් සභාවේ බුද්ධි මන්ඬල, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා එක්සත් ජනපදය අනුග්‍රහය සලසන යුද්ධය තුල ප්‍රධන විපක්ෂ බලවේගයන්ට සෘජුවම අවි සැපයීමට ඡන්දය දුන්නේය.

ප්‍රමුඛවම රුසියාවට හා කලාපය තුල මොස්කෝවේ බලපෑමට එරෙහිව එල්ල කෙරෙන මිසයිල් ප්‍රතිරෝධක පද්ධතියක්, නැගෙනහිර යුරෝපය තුල ගොඩ නැඟීමට ද එක්සත් ජනපදය පෙරට යමින් සිටියි.

එක්සත් ජනපදය හා ජපානය ඒකාබද්ධව පැවැත්වූ ගුවන් අභ්‍යාස සමඟ සම්පාත වෙමින් පසුගිය මාසයේදී, රුසියාව හා චීනය ඒකාබද්ධව පැවැත්වූ නාවික අභ්‍යාසයන්ගෙන් පසුව, එක්සත් ජනපද මූලෝපායික කවයන්හි ප්‍රමුඛ පුද්ගලයින් දෙදෙනෙක් වන ලෙස්ලි ගෙල්බ් හා ඩිමිත්‍රි සයිම්ස් ටයිම්ස් පත්‍රයේ කොලමක් තුල පැමිනිලි මුඛයෙන් සඳහන් කලේ, රුසියාව හා චීනය, “සිය අවශ්‍යතා සාර්ථකව පෙරට ගෙනයාම පිනිස, වොෂින්ටනය අඩියක් හෝ දෙකක් පහතට දැමීමට” මාන බලන බවයි.

මේ කිසිවක් එක්සත් ජනපදයට පිලිගැනීමට නුපුලුවන. එරට මැද පෙරදිග හා මධ්‍යම ආසියාව තුල අධිකාරී බලය දිගටම පවත්වා ගැනීමට ප්‍රයත්න දරන අතරම, චීනය දුබල කර හුදෙකලා කිරීමට “ආසියාවට හැරීම” පිලිවෙත අනුගමනය කරයි. මේවන තෙක්ම සිරියානු ජනාධිපති අසාද් පෙරලා දැමීමට අසමත් වීමෙන් කලකිරීමට පත්ව සිටින ඔබාමා පාලනය, මැද පෙරදිග මිලිටරි ගැටුම් පතුරුවා හැරීමට සූදානම් වන බවට දැන් පැහැදිලි සලකුනු දක්නට ඇත.

ගෝලීය ත්‍රස්ත විපරමේ කොටසක් ලෙස මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව පුරා එක්සත් ජනපද තානාපති කාර්යාල වසාදැමීම වනාහි, නීති විරෝධී ඔත්තු බැලීම් යුක්තිසහගත කිරීමේ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් එල්ල කෙරෙන ප්‍රහාර කෙරේ පලවන වැඩෙන විරෝධය මොටකර දැමීමේත් නරුම උත්සාහයකි.

ඒ සමග ම, ප්‍රධාන යමක් සැලසුම්කර ඇතැයි අඟවන වොෂින්ටනයේ “දෙඩවීමෙහි” කොටසක් ලෙස ගත් විට එය පූර්ව අනතුරු ඇඟවීමකි. යමෙක් ක්‍රියාවට නැඟුවහොත් සැබෑ ප්‍රහාරයක් වන හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක තර්ජනය, දැනටමත් මාරාන්තික නව ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක ඉලක්කය බවට පත්ව තිබෙන යේමනයට එරෙහිව පමනක් නොව, සිරියාවට හා ඉරානයට එරෙහිවත් සිය මෙහෙයුම් උත්සන්න කිරීම සඳහා ඔබාමා පාලනයට නිමිත්ත සම්පාදනය කරනු ඇත. කුමන හෝ එවන් ක්‍රියාවක්, ව්‍යසනකාරී ප්‍රතිවිපාක ජනනය කරන වඩාත් පුලුල් යුද්ධයක් ඇවිලවීමේ විභවය සහිතව, රුසියාව හා චීනය සමග ඉක්මන් සෘජු ගැටුමකට පැටලීමේ අනතුර ගෙන එයි.

පුටින් සමග නියමිතව පැවති සමුලුව අවලංගු කිරීම වටහාගත හැක්කේ මෙම සන්දර්භය තුලය.

ජොසෆ් කිෂෝර්

Share this article: