මූල්‍ය කඩාවැටීමෙන් පස් වසරකට පසුව ද ගෝලීය ආර්ථිකය දුබල වෙමින් තිබේ

Five years after the financial crash, global economy continues to weaken

2013 අගෝස්තු 19

ගෝලීය මූල්‍ය අර්බුදය පැනනැංඟාවූ 2008 සැප්තැම්බරයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි, චීනය, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුලු ඊනියා “නැඟීඑන වෙලඳපොලවලට” ප්‍රමුඛ ධනේශ්වර ආර්ථිකයන්ගෙන් විතැන්වී, සමස්ත ලෝග ආර්ථිකයේම වර්ධනය සඳහා නව පදනමක් සැපයිය හැකියයි කියන ලදී.

ආර්ථික ප්‍රබන්ධයේ එම පැත්ත හෙලිදරව්වී තිබේ. “නැඟී එන වෙලඳපොලවලට” වර්ධනය සඳහා තල්ලුවක් සැපයීමට නොහැකිවී ඇතුවා පමනක් නොව, ඒවා ගෝලීය අස්ථාවරත්වයේ නව මූලාශ්‍රය බවට ද වේගයෙන් පරිවර්තනය වෙමින් තිබේ.

පසුගිය සතියේ පලවූ වෝල් ස්ට්‍රීට් ජර්නලයේ උපුටා දක්වන ලද ලෝකයේ විශාලතම ආරක්ෂන අරමුදල වන බ්‍රිජ් වෝටර්හි වාර්තාවකින් පෙන්වාදී ඇත්තේ, එක්සත් ජනපදය, යුරෝපය හා ජපානය ද ඇතුලු ප්‍රධාන ආර්ථිකයන්, දැන් ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන්, නැඟී එන ජාතීන්ට වඩා වැඩි දායකත්වයක් සපයන බවයි.

කෙසේ වෙතත් එම ප්‍රතිපලය, දියුනු රටවල ප්‍රකෘතිමත් වීමක් සලකුනු කරන්නේ නැත. ඒ වෙනුවට එය සැලකිය යුතු වන්නේ, සමස්ත ගෝලීය ආර්ථිකයේම දුබල වීමක් ලෙසය. සියලු ප්‍රමුඛ ආර්ථිකයන් සියල්ලේම වර්ධන අනුපාතිකයන් පවතින්නේ, 2007-08 වසරවල පැවති මට්ටමට වඩා බෙහෙවින් පහත් තැනකය. එය අර්බුද පූර්ව අනුපාතිකයන් කරා කිසියම් දිනෙකදී යලි ලඟා වනු ඇතැයි යන බලාපොරොත්තු එමගින් සුන්කර දමා ඇත.

ෆිලඩෙල්ෆියාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් නිකුත් කල අර්ථශාස්ත්‍රඥයින්ගේ සමීක්ෂනයකට අනුව, මැයි මාසයේදී එක්සත් ජනපද ආර්ථිකය 2013 වසරේදී සියයට 2න් වර්ධනය වනු ඇති බවට පල කල ඔවුන්ගේ පුරෝකථනය, දැන් සියයට 1.5 දක්වා පහත හෙලා ඇත. ප්‍රමුඛ ජේපීමෝගන් අර්ථශාස්ත්‍රඥයෙකු විසින් පල කල වාර්තාවකට අනුව, දිගු කාලයේදී වර්ධන වේගය යථා තත්වයට පත් නොවනු ඇත. එය සඳහන් කරන පරිදි, සියයට 3.5ක් විය යුතු විභව එක්සත් ජනපද ආර්ථික වර්ධන වේගය, ඉන් අඩක් පමනක් වී ඇත.

අනෙකුත් තැන්වල තත්වය ඊටත් වඩා නරකය. ජූනි මාසයෙන් අවසන් කාර්තුව තුල යුරෝ කලාපීය ආර්ථිකයන් වර්ධනයවී ඇත්තේ සියයට 0.3න් පමනක් වන තතු තුල, යුරෝපය එකතැන පල්වීමට පටන්ගෙන ඇත. එහි අර්ථය වාර්ෂික අනුපාතයකින් ගත් කල වර්ධනය සියයට 1.1ක් වන බවයි. එක දිගට කාර්තු හයක් තුල ඇතිව තිබෙන හැකිලීමෙන් පසුව, සාධනීය වර්ධනයක් යලි අත්කර ගතහැකි වුවත්, එයින් අදහස් කෙරෙන්නේ, යුරෝපය “වංඟුවෙන් හැරී” තිබෙන බවක් නො වේ. සමස්තයක් ලෙස ගත් කල යුරෝ කලාපීය ආර්ථිකය, 2008 තිබුනාට වඩා තවමත් පවතින්නේ සියයට 3ක් කුඩාවටය. බොහෝ විශ්ලේෂකයින් සලකන්නේ, විරුකියාව පහත වැටීම පටන් ගැනීමට පවා, ඉදිරි තුන් අවුරුද්ද තුල අඩුම තරමින් සියයට 2-3 අතර වාර්ෂික වර්ධන අනුපාතයක් අවශ්‍ය බවය. එහෙත් එවන් බලාපොරොත්තුවක් ඇත්තේ නැත.

වෝල් ස්ට්‍රීට් ජර්නලය සඳහන් කරන්නේ, “යුරෝපය ධාරිතාවයේ පලා යෑම මඟහරවා ගන්නේ කෙසේ ද යන්න දැක ගැනීම දුෂ්කර” බවයි. “ප්‍රකෘතිමත් වීමට ඇති තිරිංඟ අතර- අඛන්ඬ කප්පාදු, දැරිය හැකි බැංකු නය ගැනීමේ දුෂ්කරතා, වැඩෙන විරැකියාව හා දුබල කුටුම්භ ආදායම් මෙන්ම, තවමත් ධාරිතාවෙන් බොහෝ පහත් මට්ටමකින් ක්‍රියාත්මක වන සමාගම්වල ඇයෝජන හිගකම” පවතින බව පුවත්පත තවදුරටත් සඳහන් කරයි.

ජපාන මහ බැංකුවේ මුදල් සැපයුම දෙගුන කිරීමේ වැඩසටහන පෙනී යන පරිදි, ජපාන ආර්ථිකයට කිසියම් ආකාරයක උත්තේජනයක් ලබාදී ඇත. තෙවන කාර්තුවේ වර්ධනය වාර්ෂික අනුපාතයකින් සියයට 2.6ක මට්ටමේ පැවතිය ද මෙය අනාවැකි පලකර තිබුනු සියයට 3.6ට වඩා බෙහෙවින් පහත් අගයකි. ගෝලීය වර්ධනය කෙරෙහි “නැඟී එන වෙලඳපොලවල” දුබල දායකත්වය සඳහා බලපාන ප්‍රධාන සාධකය, චීනයේ මන්දගාමිත්වයයි. මේ වර්ෂය සඳහා අනාවැකි පලකර තිබෙන නිල වර්ධන වේගය සියයට 7.5ක් වන අතර එය 1990න් පසු පහත්ම වර්ධන වේගයයි. එහෙත් එය ද පහත වැටිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත්වී තිබේ.

පහත වැටෙන චීන වර්ධනය, ගිනිකොන දිග ආසියාවේ ආර්ථිකයන් මත මෙන්ම බ්‍රසීලය හා ඕස්ට්‍රේලියාව වැනි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් මත ද සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබේ.

චීනයට සෝයා බෝංචි හා යපස් අපනයනය කරන බ්‍රෙසීලය දෙවසරකට පෙර, සියයට 7.6න් වර්ධනය විය. මේ වසරේ පුරෝකථනය කර තිබෙන වර්ධනය සියයට 2.3ක් පමනි.

ප්‍රමුඛ යපස් සැපයුම්කරුවෙකු වන ඕස්ට්‍රේලියාවට, චීනයේ යටිතල ව්‍යුහ ආයෝජන හැකිලී යාම මගින් දැඩි ලෙස පහර වැදී ඇත. එරට භාන්ඬාගාර නිලධාරීන්, ආනයන මිලට අපනයන්ගේ අනුපාතය සලකුනු කරන ඕස්ට්‍රේලියාවේ වෙලඳ තත්වය සැලකිය යුතු තරමේ පහතට නැඹුරුවක් කෙරෙහි අවධානය යොමුකරමින් පුරෝකථනය කර ඇත්තේ තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවයි. රඩ්ගේ ලේබර් ආන්ඩුව, යපස් ව්‍යාපෘතීන් කරා ප්‍රධාන පෙලේ ආයෝජන ඇදගනු ලැබූ “චීන උත්පාතය” අවසන් බව කියා ඇත.

එකම ප්‍රශ්නය අඩු වර්ධනය පමනක් නොවේ. 2008-09 ගෝලිය මූල්‍ය අර්බුදයෙන් පසුව ක්‍රියාවට නඟන ලද නය හා මූල්‍ය උත්තේජනයන්ගේ ප්‍රතිපල වශයෙන්, චීනයේ නිර්මානය වූ ඉහල නය මට්ටම් මූල්‍ය අර්බුදයක් මුදාහරිනු ඇතැයි යන වැඩෙන කනස්සල්ලක් ද පවතියි.

පසුගිය සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස්හි වාර්තාකර තිබුනු පරිදි, චීනයේ ඊනියා සැඟවුනු බැංකු ක්ෂේත්‍රය පිලිබඳව ෆිච් වර්ගීකරන ආයතනයේ විශ්ලේෂක චාලීන් චූ කල අධ්‍යයනයකින්, රටේ සමස්ත නය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 200ක් තරම් විය හැකි බව හෙලිදරව් කර ඇත. බෙහෝ දෙනෙක් සිතනවාට වඩා, සමස්ත බැංකු ක්ෂේත්‍රය, සැඟවුනු බැංකු ක්ෂේත්‍රයට නිරාවරනය වී ඇති බවට චූ අනතුරු අඟවයි. චීන බැංකු පද්ධතියේ වත්කම්, 2008-2013 අතර කාලයේ ඩොලර් ට්‍රිලියන 14න්, එනම්, සමස්ත එක්සත් ජනපද බැංකු පද්ධතියේ ප්‍රමානයට සමානව, ප්‍රසාරනයවී ඇත.

කාර්තුගතව එක දිගට වැඩිවුනු හත්වන වතාවටත් වසරේ දෙවන කාර්තුවේ චීන බැංකු සතු බොල් නය බිලියන 2න් ඉහල ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ගෝලීය වර්ධනයේ විභව මධ්‍යස්ථානයක් ලෙස සැලකීමට භාජනයවූ තවත් ආර්ථිකයක් වන ඉන්දියාවේ වැඩී යන මූල්‍ය ගැටලු, වෙනත් තැන්වලදී ද මතුවිය හැකි තත්වය පිලිබඳ මනා සලකුනක් විය හැකිය. මේ වසරේ ආර්ථික වර්ධනය, තෙවසරකට පෙර තිබුනායින් අඩක්, එනම්, සියයට 5ක් තරම් පහත වැටෙනු ඇති බවට අනාවැකි පලවීමත් සමග එරට නරක අතට හැරෙන ආර්ථික පසුබෑම, රටේ ලොකුම කාර්මික සමාගම් සමහරක නය බර වැඩිවියහැකි බවට බියක් ඇතිකර තිබේ.

රුපියලේ අගය බාල්දු වීම නතර කිරීමේ වෑයමක් ලෙස පසුගිය සතියේ ප්‍රාග්ධන පාලනය යලි පනගැන්වීමක් සිදුවූ අතර, ප්‍රාග්ධනය පලායාම මගින් ඉන්දියානු මූල්‍ය ක්‍රමයට පහර වදිමින් තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය විස්තර කල පරිදි, “පහත වැටෙන රුපියල, වර්ධනයේ තියුනු පසුබෑම, ප්‍රාග්ධන ගිනුමේ හා අයවැය හිගයේ පිම්බීම හා එක දිගට පවතින අති උද්ධමනය යන සියල්ලේ විසකුරු සංයෝජනයෙන්” ඉන්දියානු ආර්ථිකයට පහර වදිමින් ඇත.

වර්ධනය වන මූල්‍ය ගැටලු වලට මුහුනපා ඇති එකම නැඟී එන ආර්ථිකය ඉන්දියාව පමනක් නොවේ. එක්සත් ජනපදයේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහනෙහි මධ්‍ය ලක්ෂය වන, සමහරවිට ලබන මාසය තරම් මෑතදීම සිදුවිය හැකි, භාන්ඬාගාර බැඳුම්කර මිලට ගැනීමේ වැඩසටහනට “ඇබ” ගැසීම, එරට ෆෙඩරල් මහ බැංකුව විසින් ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර එය, අනෙකුත් කලාප වලින් ද ප්‍රාග්ධනය ඉවතට ගැලීම වේගවත් කරනු ඇත. ඉන්දියාවට අමතරව වර්ධනයේ මධ්‍යස්ථානයක් ලෙස හුවාදක්වන ලද ඉන්දුනීසියාව ද වැඩි වෙමින් ඇති මූල්‍ය ගැටලු වලට මුහුනපා ඇත.

එක්සත් ජනපදයේ පොලී අනුපාතයන් ඉහල නැංවීමට දායක වෙමින් ෆෙඩරල් මහ බැංකුවේ “ඇබ ගැසීම,” ප්‍රාග්ධනයේ චලනය ආපසු ඇමරිකානු මූල්‍ය වත්තම් කරා හැරීමකට තුඩුදෙනු ඇති බවට පලවූ භීතිය හමුවේ, ආසියාව පුරා වෙලඳපොලවල් පසුගිය සතියේ පහත වැටීමකට මුහුන පෑවේය. අනතුර වන්නේ, වර්තමානයේ ප්‍රාග්ධනය ඉවතට ගලා යාම “ඇබ ගැසීම” පටන්ගන්නවාත් සමග ගංවතුරක් බවට පත්වීමේ හැකියාවයි.

ආසියාව පුරා මූල්‍ය බුබුල පුපුරා යාමට තුඩු දෙමින් 1997-98 කාලයේ තායි බාට් මුදලේ අගය කඩා වැටුනි. මහා අවපාතය අවධියේ ප්‍රධාන ධනපති ආර්ථිකයන්ට සිදුවුනු හානියට සමාන කලාපීය ආර්ථික ප්‍රතිවිපාක මේ මගින් ජනනය කලේය.

මෑත වසරවලදී “නැඟී එන වෙලඳපොලවල්” මත ලෝක ආර්ථිකය වඩ වඩාත් රඳා පැවැත්ම මෙන්ම, මූල්‍ය වෙලඳපොලවල පෙර නොවූ විරූ ඒකාග්‍රකරනය සැලකීමට ගත් කල, තවත් මූල්‍ය අර්බුදයක ප්‍රතිවිපාක ඊටත් වඩා බරපතල වනු ඇත.

නික් බීම්ස්

Share this article: