හොස්නි මුබාරක් නිදහස් කිරීම

The release of Hosni Mubarak

2013 අගෝස්තු 23

කම්කරු පන්තියේ දැවන්ත විප්ලවවාදී අරගලයන් මගින් බලයෙන් පහ කල තැන් සිට වසර දෙකකට වැඩි කාලයකට පසු එක්සත් ජනපදයේ සහාය ලත් ඊජිප්තු මුලිටරි ජුන්ටාව විසින් 22දා හිටපු ඒකාධිපති හොස්නි මුබාරක් නිදහස් කිරීම සංකේතවත් කරන්නේ, ජූලි 3වැනිදා කුමන්ත්‍රනයේ සිට ඊජිප්තුව තුල ප්‍රතිවිප්ලවයේ ඉදිරියට ඒම යි.

මුබාරක් පිලිබඳව ජනතාව‍ගේ වෛරය කෙරෙහි අවඥා සහගත පිලිකුලක් දක්වන ජුන්ටාව ක්‍රියාත්මක වන්නේ, කම්කරු පන්තියේ සෑම ඉල්ලීමක් කෙරෙහිම සිය හතුරුකම සමග ය. කුමන්ත්‍රනයෙන් පසුව සිදුකල ලේ වැකි ප්‍රහාරයන්හි දී ජුන්ටාව, 1,000කට වඩා නිරායුද විරෝධතාකරුවන් සංහාරය කර ඇති අතර තියුනු ලෙස පාන් හා ඉන්ධන මිල වැඩි කරමින් කම්කරුවන්ගේ මූලික සහනාධාර කපා දැමීමේ සැලසුම් නිවේදනය කලේ ය.

හෙලිකොප්ටර් යානයකින් මුබාරක් කයිරෝවේ මිලිටරි රෝහලකට ගුවනින් ගෙන ඒමත් සමග වරප්‍රසාදිත හා පොහොසත් අයට සිය ප්‍රමෝදය පාලනය කර ගත නොහැකිවූ තරම්ය. "නීතිමය තාක්ෂනික කාරනා මත මුබාරක් නිදහස් කිරීම, 2011ඊජිප්තු මහජන නැගිටීමේ සිට ගත වෙමින් ඇති මාස ගනන් වලදී දැවැන්ත මහජන කෝපයක් ඇවිලිය හැකිව තිබුනි. ඇතමෙක් මුබාරක් පිලිබඳව නිකුත් කල උසාවි තීරනය පිලිගත්තේ "විස්සෝපයෙන් ” යයි වොෂින්ටන් පෝස්ට් සඳහන් කලේ ය.

වර්තමාන කාලපරිච්ඡේදයේ සැබවින් ම මහා විප්ලවවාදී නැගිටීම්වලින් එකක් පුපුරා ගොස් වසර දෙකකට පසුව දේශපාලන තත්වය, බොහෝ පසුපසට තල්ලු කර දමා ඇති බවක් දක්නට ඇත. තීරනාත්මක ප්‍රශ්න වන්නේ: මෙය කල හැකි වූයේ කෙසේ ද, ඊට වගකිව යුත්තේ කව් ද? යන්න යි.

2011 පෙබරවාරියේ දී තරීර් චතුරශ්‍රයේ දැවන්ත ජනසන්නිපාතය මුබාරක්ගේ මැරයන්ට එරෙහිව සටන් වැද, ඔහුගේ තන්ත්‍රය බිම දැමූහ. ජනතාවගේ හා හමුදාවේ එක්සත්කම සඳහා ස්ත්‍රෝත ගැයූහ. සමාජයේ විවිධ කොටස් වලින් ඇද ගැනුනු හා එකිනෙකට වෙනස් පන්ති අවශ්‍යතා පිලිබඹු කල ජන සමූහයේ රොක් වීම, දේශපාලන මිත්‍යාවන් සඳහා කාලය උදා කලේය. මාධ්‍ය තුල හඬක් තිබූ අය මත් කෙරුනේ අපහැදිලි දේශපාලන මනෝගතීන්ගෙන්, වඩා ලිහිල් තන්ත්‍රයක බලපොරොත්තු වලින් සහ මුබාරක් හා ඔහුගේ හෙන්චයියන්ගේ ධනසම්පත් නැවත බෙදාහරින සැලැසුම් සමගිනි.

කෙසේ නමුත්, මෙයට ඔබ්බෙහි දරිද්‍රාපන්න කම්කරුවන්ගේ සහ නාගරික හා ග්‍රාමීය දුප්පතුන්ගේ ජනසමූහ ප්‍රජාතන්ත්‍රවාදය වටහා ගත්තේ සමාජය තුල වඩාත් ගැඹුරු වෙනස්කම් ඇති කිරීමට මාර්ගයක් ලෙස ය.

2011 විප්ලවයේ තීරනාත්මක බලවේගය වූ කම්කරු පන්තිය, මුබාරක් පලවා හැරියාට පසු පෙර නොවූ විරූ තරම් අවධාරක වූහ. විප්ලවයට පෙර වසරවල සිදු වූයේ හරියට ම වසරකට වැඩවර්ජන 200ක් බැගිනි. එහෙත් 2011දී එය 1000ට වැඩි සංඛ්‍යාවක් කරා නැඟුනු අතර 2013දී වාර්තා බිඳහෙලූ වැඩවර්ජන හා සමාජ විරෝධතා 5,500ක් දැකගත හැකි විය. මෙය අවසානයේ දී කූඨප්‍රාප්ත වූයේ, ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මූර්සිගේ කුප්‍රසිද්ධ තන්ත්‍රයට එරෙහිව ජූනි 30දා ඇරඹුනු ඉජිප්තු වැසියන් මිලියන ගනනාවකගේ පෙලපාලි තුල ය.

ජීවන රටාව පිලිබඳ තමන්ගේ උත්සුකයන් ඉක්මවා ගොස් කම්කරු පන්තියේ ඉල්ලීම්, වඩාත් වැඩි ලිංගික නිදහස හෝ සාප්පු සංකීර්නවල වඩා මිල අධික භාන්ඩ වලට අත පෙවීම දක්වා බොහෝ දුර ගිය බව වටහා ගනිත්ම ඉසුරුමත් මධ්‍යම පන්තිය, සිය සමාජ තත්වය පිලිබඳව කනස්සලුවී, භීතියෙන් හා ක්‍රෝධයෙන් ගල් ගැසුනි. විප්ලවය තුල මවාපෑ රඟපෑම අත්හැර දැමූ ඔවුහු, සිය ගැලවුම්කරුවන් ලෙස මුබාරක් හා ජුන්ටා නායක ජනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසී තෝර ගත්හ. කම්කරු පන්තියේ පැතිරෙන පෙරලිකාරිත්වයට එරෙහිව සටන් වැදීම සඳහා ටැමරොඩ් ("කැරලිකාර”) කුමන්ත්‍රනය සැලැසුම් කරමින් ඔවුහු, තෙමේම ධනපතියන්ට කුලියට විකුනුනාහ.

ටැමරොඩ් යනු මියගිය ඊජිප්තු ඔත්තුසේවා ප්‍රධානි හා සීඅයිඒ වදකයෙකු වන ජනරාල් ඔමාර් සුලෙයිමාන්ගේ සහචරයින්, අමර් මූසා හා ජනරාල් අහ්මඩ් ෂාෆික් වැනි මුබාරක් තන්ත්‍රයේ හිටපු නිලධාරීන්, කොප්ටික(ඊජිප්තුවේ ස්වදේශික ක්‍රිස්තියානුවෙකු) කෝටිපතියෙකු වන නගුයිබ් සවාරිස් හා මොහමඩ් එල්බරඩේයිගේ ජාතික ගලවා ගැනීමේ පෙරමුන ඇතුලත් සභාගයකි.

මෙම වංචාකාරී ව්‍යාපාරය තුල තීරනාත්මක භූමිකාවක් රඟපාන ලද්දේ, ව්‍යාජ-වාම දේශපාලන හොර වෙදකම මූර්තිමත් කරන සංවිධානයක් වන ඊනියා විප්ලවවාදී සමාජවාදීන්(විස) විසිනි. ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරයේ, විවිධ මාධ්‍ය උත්සුකයන්ගේ හා සැක කටයුතු රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන උපකරනයක් ලෙස ක්‍රියාත්මක වන මෙම කන්ඩායම ටැමරොඩ් පිටුපස ගාල්වෙමින් එයට කීර්තියක් ගෙන දීමට උත්සාහ කලේය.

ජනරාල්වරු සමග සති ගනනාවක සාකච්ඡා වලින් පසුව ටැමරොඩ් ජූලි 3වැනිදා කුමන්ත්‍රනය සඳහා "මාර්ග සිතියමක්” සකස්කල අතර විප්ලවවාදී සමාජවාදීන්(විස) එයට දේශපාලන ආවරනය සැපයුවේ "එයට විප්ලවවාදී කටයුතු හා අත්දැකීම් ගෙන ඒම පිනිස විප්ලවවාදී තරුනයන්ගේ කන්ඩායමක්... පතුලේ සිට ක්‍රියාත්මක වන්නේ” යයි එය පුම්බාලීමෙනි. ටැමරොඩ් තුල ක්‍රියාත්මකවූ විප්ලවකාරී සමාජවාදීන්, අනෙකුත් තරුන කන්ඩායම් සහ පක්ෂ ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනය සඳහා සූදානම නිරතුරුව ඉදිරිපත් කලේ, මූර්සිට එරෙහි මහජන වෛරය කෙරේ පලවන "විප්ලවවාදී” ප්‍රතිචාරයක් ලෙස ය.

ජූනි 30වැනිදායින් පසු හටගත් මහජන විරෝධතාවන්හිදී ටැමරොඩ් හා එහි මිතුරන් ඉටුකිරීමට යන ප්‍රතිගාමී භුමිකාව පිලිබඳව ලෝසවෙඅ අනතුරු ඇඟවී ය. “විරෝධාතාවන් තුල දේශපාලන ආධිපත්‍යය ගන්නේ නොයෙකුත් ලිබරලුන්, ඉස්ලාම්වාදීන්, ව්‍යාජ වාම පක්ෂ හා මුබාරක් තන්ත්‍රයේ සුන්බුන් වල සහාය ලබන ටැමරොඩ් (කැරලිකාර) වේදිකාව මගිනි. ලෝසවෙඅ කුමන්ත්‍රනයට පෙර සඳහන් කලේ, මිලිටරිය අපේක්ෂා කරනු ලබන දේශපාලන සභාගය "සේවය කරනු ඇත්තේ විරෝධතා නීති විරෝධී කිරීමට හා වඩා ප්‍රචන්ඩ කඩා පැනීමක් සූදානම් කිරීම සඳහා මිලිටරියට කාලය ලබා දීමට ය” යනුවෙනි.

හමුදාව හා විප්ලවකාරී සමාජවාදීන් ගැන ලෝසවෙඅ අනතුරු ඇඟවීම් නිවැරදි බව සිදුවීම් මගින් ඔප්පු කර තිබේ. මූර්සිගේ විරුද්ධ වාදී කඳවුර, කුමන්ත්‍රනයේ ඉදිරිදර්ශනය පිටුපස දැක්කීමට කටයුතු කරමින් ඔවුහු, සුළු ධනේශ්වරයේ පුළුල් කොටස් ඒකාධිපතිත්වයේ හා ප්‍රතිවිප්ලවයේ කඳවුරට තල්ලු කිරීමට උදව් කලහ. මෙම කොන්දේසි තුල යි ජුන්ටාවට මුබාරක් පුනස්ථාපනය කල හැකි වන්නේ. වාමාංශික වාක්‍යාංශ දොඩවන නමුත් විප්ලවකාරී සමාජවාදීන් මූර්තිමත් කරන්නේ, ධනේශ්වරයට සහාය දෙන ප්‍රතිගාමී ව්‍යාජ වාම දේශපාලන ආකෘතියකි. ඊජිප්තු විප්ලවයේ වසර දෙක අතරතුර දී, හමුදාව තුල වේවා නැත්නම් මුස්ලිම් සහෝදරත්වය තුල වේවා ඔවුන් විසින් ම සොයා ගත්, ඊජිප්තු දේශපාලන සංස්ථාපිතයේ සෑම දක්ෂිනාංශික කොටසක් සමග ම ඔවුහු සන්ධානගත වූහ. ඔවුන්ගේ දේශපාලනයේ එක ම ස්ථාවර තේමාව වී ඇත්තේ, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් කෙරෙහි වන දැඩි විරුද්ධත්වය යි.

ඔවුන්ගේ සමස්ත ඉදිරිදර්ශනයම ඊජිප්තු විප්ලවය මගින් සවිස්තරාත්මක ලෙස ප්‍රතික්ෂේප කරනු ලබයි. නැවත නැවතත් බලගතු ප්‍රහාරයන්ට එලඹෙමින් කම්කරු පන්තිය විප්ලවය තුල කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. කෙසේ නමුත් එයට මග පෙන්වන විප්ලවවාදී නායකත්වයක් නොමැති තතු හමුවේ කම්කරු පන්තිය අවමංගතකර ඇති අතර ව්‍යාජ වම්මුන්ගේ අළුත් ම ප්‍රතිගාමී උපාමාරුවලට සාර්ථකව විරුද්ධවීමට අවශ්‍ය සූදානමින් තොර කෙරුනි.

මහා විප්ලවවාදී අත්දැකීමක් මගින් යලි වතාවක් සලකුනු කර ඇත්තේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ වැදගත්කම යි. කල් පසුවූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ජයගත හැක්කේ ජනතා විප්ලවවාදී පක්ෂයක් විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදය සඳහා වන කම්කරු පන්තියේ දේශපාලනිකව ස්වාධීන අරගලයක් ලෙස පමනක් බව එම න්‍යායෙන් පෙන්වා දෙයි. ඕනෑම රටක විප්ලවයේ ජයග්‍රහනය ශඛ්‍ය වන්නේ ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා වන ජාත්‍යන්තර මූලෝපායක පදනම මත පමනි.

කම්කරු පන්තිය සැලකිය යුතු පසුබැස්මක් අත්විඳ ඇති බව අවිවාදිතය. මිලිටරිය ආඥා පැටවීමට උත්සාහ කරනු ඇත. කෙසේ නමුත්, ඊජිප්තු විප්ලවය තවමත් එහි ගමන් මග නිමා කර නැතුවාක් මෙන්ම, කම්කරු පන්තිය එහි අවසන් වචනය ද දී නැත. මුබාරක් මිනීවලෙන් ගොඩ ගැනීම ඊජිප්තු ධනවාදයේ කැටිවූ ලේ නහර වලට නව ජීවනයක් පිඹින්නේ නැත. අධිරාජ්‍යවාදී යුද්ධ හා ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුද මගින් අවුලුවනු ලබන මැද පෙරදිග ගැටුම් විසඳීම ගැන කියනුම කවරේ ද. බලය අල්ලාගෙන සිටිමට අසමත්, ඊජිප්තු මිලිටරියේ යුද ටැංකි මගින් පමනක් ආරක්ෂාවි සිටින ධනේශ්වරය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන බලවේගයක් වශයෙන් මුලුමනින්ම අපකීර්තියට පත්ව සිටියි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ එලඹෙන අරගලයන් සඳහා සූදානම් වීමට කම්කරු පන්තිය තුල දේශපාලන නායකත්වයක් ගොඩනැගීම යි. මෙහි අර්ථය වන්නේ ඊජිප්තුව තුල, මැද පෙරදිග පුරා හා ජාත්‍යන්තරව හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනැගීම යි.

ඇලෙක්ස් ලැන්ටියර් හා ඩේවිඩ් නෝත් විසිනි

Share this article: