එක්සත් ජනපදය සිරියාවට එරෙහිව යුද්ධය දියත් කරන්නේ මක්නිසා ද

Why the United States is waging war against Syria

2013 අගෝස්තු 28

පසුගිය සතියේ සිදුවූ බවට චෝදනා නැඟී ඇති රසායනික අවි ප්‍රහාරය හමුවේ එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයෝ, සිරියාවට එරෙහිව යුද්ධයක් දියත් කිරීම කරා වේගයෙන් තල්ලු වෙමින් සිටිති. රට යටත් කිරීම පිනිස බෝම්බ හෙලීමට, මිසයිල් ප්‍රහාර එල්ල කිරීම දින ගනනක් තුල ආරම්භ විය හැකිය. තවත් අපකීර්තිමත් යුද්ධයක් සඳහා මහජන මතය වාත්තු කිරීම අරමුනු කරගෙන මාධ්‍ය විසින් වමාරන ප්‍රචාරක ව්‍යාපාරය එහි ඉහලම තුඩට ලඟාවී ඇත.

දිගු කලක් තිස්සේ සැලසුම් කල පිලිවෙතක් යුක්තිසහගත කිරීම අරමුනු කරගත් කඩතුරාවන් එකතුවක් වන, තහවුරු නොකල පච ගොන්නක් දෙසාබාමින්, මඟ නොහැරිය හැකි ප්‍රහාරය සඳහා නිල හේතු දැක්වීම් ඉදිරිපත් කෙරේ.

මෙම අලුත්ම යුද්ධය සඳහා පවතින සැබෑ හේතු වටහාගත හැක්කේ, සමස්ත ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ ද ඇමරිකානු හා යුරෝපීය ධනවාදයේ භූදේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදයේ ද සන්දර්භය තුල පමනි.

පලමුවෙනුව - භූදේශපාලනික ආස්ථානයෙන් ගත් කල සිරියාවට එරෙහි දිගු කලක් තිස්සේ සැලසුම් කල යුද්ධය වනාහි, 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් පටන්, මිලිටරි බලය තුලින් සිය ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමට වොෂින්ටනය ගෙන යන ව්‍යාපාරයේ තවත් පියවරකි. ලෝක ආර්ථික තුල තමන් කලෙක පවත්වාගෙන ගිය අධිපති තත්වයේ දිග් ගැස්සුනු දිරාපත්වීම හමුවේ එක්සත් ජනපදය, එම අධිකාරවත් තැන පිහිටුවා ගැනීමේ මාධ්‍ය ලෙස දකින්නේ තම මිලිටරි බලයයි. පෙන්ටගනයේ ආරක්ෂක සැලසුම් මඟපෙන්වීම 1992 තරම් ඈතකදී කියා සිටියේ, එක්සත් ජනපද ප්‍රතිපත්තියෙහි අරමුන, එරටට සමානවූ තරඟකරුවෙකු බවට පත්විය හැකි මොනම බලවතෙකු හෝ මතුවීම වැලැක්වීම බවයි. මෙම අරමුන සාක්ෂාත්කර ගැනීම පිනිස එක්සත් ජනපදය පූර්ව භංඟ යුද්ධය යොදාගනු ඇති බව 2002 වසරේදී එක්සත් ජනපද ජාතික ආරක්ෂක මූලෝපාය පැවසීය.

එක්සත් ජනපද මිලිටරිවාදයේ ගෝලීය පරිමාන පුපුරා හැලීමේ මූලික ලක්ෂනය, මැද පෙරදිග පමනක් නොව සමස්ත යුරේසියා භූමිභාගයන්හිම අධිකාරය පිහිටුවා ගැනීමට පවතින වොෂින්ටනයේ තල්ලුවයි. මෑත වසරවලදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද පෙන්ටගනයේ හා සීඅයිඒහි ද ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා, 19වන සියවසේ අග හා 20 සියවසේ මුල සිටි අධිරාජ්‍යවාදී මූලෝපායඥයෙකුවූ සර් හැල්ෆර්ඩ් මැකින්ඩර්ගේ ලියවිලි යලි වතාවක්, අත්‍යවශ්‍ය පුස්තකයක් බවට පත්ව තිබේ. ශාස්ත්‍රාලික සඟරාවන්හි පලව ඇති නිමක් නැති ලිපි ලේඛන හා විවිධ පොත්පත් තුල මැකින්ඩර් කියා ඇත්තේ, ජර්මනියේ නැ‍ඟෙනහිර දේශසීමාවේ සිට චීනයේ බටහිර දේශසීමා දක්වා ඇදෙන “ලෝක දිවයින” එක්සත් ජනපදයට හා එහි යුරෝපීය අනුචරයින්ට තීරනාත්මක මූලෝපායික වැදගත් කමක් දරන්නේ යයි සලකන බවය.

මෑත අධ්‍යයනයක අවධාරනය කර ඇති පරිදි, “යුරේසියානු භූමි භාගය බටහිර මූලෝපායික විහිදුම් වල කේන්ද්‍රීය ලක්ෂය වනු ඇත. බටහිර පරිහානියේ දලුලන ක්‍රියාවලිය පාලනය කර ආපසු හැරවිය යුතු නම්, යුරේසියාවේ භූ දේශපාලනික අදාලත්වය පිලිබඳ මනා වැටහීම හා එහි අරගලය ද එහි ඒකාබද්ධ උත්සාහය ද තීරනාත්මකය.” [The World Island- Eurasian Geopolitics and the Fate of the West by Alexandros Petersen (ලෝක දිවයින, යුරේසියා භූදේශපාලනය හා බටහිර ඉරනම), ඇලෙක්සැන්ඩ්‍රොස් පීටර්සෙන් විසිනි] ලෝක ආධිපත්‍යය සඳහා සියලු අධිරාජ්‍යවාදී මූලෝපායන් සමග ගත් කල මෙය ගැබ්කර ගන්නේ, සිය අරමුනු සාක්ෂාත්කර ගැනීමෙදී බාධකයක් ලෙස පවතින්නාවූ බලවතුන්ට එරෙහි අරගලයකි. යුරේසියානු ආධිපත්‍යය සඳහා තල්ලුව, රුසියාව හා චීනය සමග, පැතිර යන අනිවාර්ය ගැටුමකට තුඩුදෙයි.

බෝල්කන්හි ද මැද පෙරදිග ද මධ්‍යම ආසියාවේ ද වශයෙන් 1990 ගනන්වල පටන් එක්සත් ජනපදය ගෙන යන ආක්‍රමනකාරී යුද්ධ මාලාව, එක්සත් ජනපදයේ අනභියෝගී ගෝලීය ආධිපත්‍යයේ සැලසුම් සහගත න්‍යායපත්‍රයේ කොටසකි. කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවල හා බොහෝකොටම විය හැකි පරිදි ග්‍රහලෝකයේම වියදමෙන් ගෙන යන යුද්ධයන්ගෙන් තොරව, ලෝක ආධිපත්‍යය අත්කරගත නොහැකිය යන කාරනය, එක්සත් ජනපදයේ ඉදිරියට කඩා පැනීම වලක්වනු නැත.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අභිමතාර්තයන් සමග සසඳන කල පරිමාවෙන් මුලුමනින්ම පාහේ ප්‍රාදේශීය ලෙස පෙනී යන ඇඩොල්ෆ් හිට්ලර්ගේ භූදේශපාලන අරමුනු සේම, වත්මන් අධිරාජ්‍යවාදී දිග් විජයේ මූලෝපාය ද උමතුවකි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරිනාමය පෙර දකිමින් වසර 80කට පමන පෙර ට්‍රොට්ස්කි ලිවූ පරිදි, “ජර්මනිය සම්බන්ධයෙන් නම් එය, යුරෝපය සංවිධානය කිරීම පිලිබඳ ප්‍රශ්නයකි. එක්සත් ජනපදය ලෝකයම සංවිධානය කල යුතුය.”

යුරෝපීය බලවතුන් පිලිබඳව සලකන කල්හි, දැනට ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අභිලාෂයන්ට වඩාත් ගැලපෙනු ඇත්තේ සිය වාසනාව පෙන්ටගනයට ඈඳා තැබීම බව පෙනී යයි. එක්සත් ජනපදයේ යුද්ධ වල කොල්ලකෑමෙන් පංඟුවක් තමන්ට ද බෙදාගත හැකි බවටත්, ව්‍යායාමය ඉදිරියට යාමේදී ප්‍රන්සය අප්‍රිකාව තුල යුද්ධ ගෙන යන ආකාරයට, තමන්ගේම කොල්ලකෑමේ ක්‍රියාන්විතයන් යුක්තිසහගත කර ගැනීමටත් හැකි යයි ඔවුහු ගනන් බලති.

දෙවනුව - ආර්ථික වශයෙන් ගත් කල, ජීවන තත්වයන්ගේ අතොරක් නැති බිඳ වැටීම ද මහජන විරැකියාව ද ආර්ථික පල්වීම ද නිර්මානය කර ඇති, මහා අවපාතයෙන් මෙපිට ලෝක ධනවාදය මුහුන දෙන ගැඹුරුම අර්බුදයේ පස්වන වසර ගතවෙමින් තිබේ. ප්‍රසාරනය වන නය, අගය බාල්දු වන මුදල හා උග්‍ර වන ජාත්‍යන්තර තරඟය සමග ඇතිව තිබෙන පෙර නොවූ විරූ මංමුලා සහගත ආර්ථික තත්වය, පෙර නෑසූ විරූ වගකීම් විරහිත හා ප්‍රචන්ඬ විදේශ පිලිවෙත් වලට තල්ලුව සපයයි.

ධනවාදයේ ව්‍යාධීන්ට පිලියම ලෙස යුද්ධය යොදාගැනීමට අධිරාජ්‍යවාදී බලවතුන් උත්සාහ දරන අතර 1930 ගනන්වල මහා ආර්ථික අවපාතය දෙවන ලෝක සංග්‍රාමයට තුඩු දුන්නේය. පහව යාමේ සලකුනක් දක්නට නැති, 2008දී ආරම්භවූ මහා අවපාතය තෙවන ලෝක සංග්‍රාමය කරා මාවත සකස් කරයි. සමාජයේ තුනී තට්ටුවකගේ ඉසුරුමත්කම ලඟාකර ගැනීමට දැවැන්ත පරිමානයෙන් වංචාවේ යෙදෙන ගෝලීය මූල්‍යකරන සන්තතිය සමග අත්වැල් බැඳගත් ආර්ථික පරපුටු කමේ ආකෘතීන්, සාපරාධී ප්‍රචන්ඬත්වය තුලින් සිය අරමුනු සාක්ෂාත් කරගත හැකි විදෙස් පිලිවෙත තුල තම ස්වාභාවික ඌනපූරනය සොයා ගනියි.

ෆැසිස්ට් ඉතාලිය 1935දී ඇබිසීනියාව ආක්‍රමනය කිරීමෙන් පසුව ජාතීන්ගේ සංඟමය බිඳ වැටුනු ආකාරයටම, රුසියාවට හා චීනයට නිෂේධ බලය හිමි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයෙහි අනුමැතියකින් තොරව, යුද්ධය ගෙන යාම පිනිස එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මන්ඬලය පසෙකට අතුගා දැමීම වැදගත් කාරනයකි.

තුන්වනුව - නැඟී එන පන්ති ආතතීන් හා සමාජ අසමානතාවය මගින් නිර්මිත පෙර නොදුටු විරූ පරිදි නරක අතට හැරෙන සමාජ අර්බුදයකට සෑම අධිරාජ්‍යවාදී රටක්ම මුහුනදී සිටියි. ජනගහනයේ ධනවත්ම සියයට 10 සමස්ත ධනයෙන් හතරෙන් තුනක් හා උඩම සියයට එක ඒ ධනයෙන් අඩක් පොදිගසා ගන්නා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවන තත්වයන්ට හා වැටුප් මත එල්ල කෙරෙන අනවරත ප්‍රහාර හමුවේ නාඟරිකයන් බංකොලොත් කමට තල්ලුකර දමා ඇත.

යුරෝපයේදී, යුරෝපීය බලවතුන් අතර නැ‍ඟෙන ආතතීන් හා ග්‍රීසියේ සමාජ ව්‍යසනය මගින් සංකේතවත් කල පරිදි රැකියා හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරය හමුවේ, යුරෝපීය සංඟමය බිඳී විසිරෙමින් තිබේ. ප්‍රමුඛ යුරෝපීය බලවතුන් අතර ගැටුම් වඩාත් කටුක හා නොහික්මුනු ස්වරූපයක් ගන්නා තරමටම ඔවුහු, තමන්ට එකඟ විය හැකි එකම ප්‍රතිපත්තිය වන විදේශීය ආක්‍රමනකාරිත්වය දෙසට වඩ වඩාත් හැරී ගනිති.

ජනතාවට එරෙහිව යොමුකල තමන්ගේ සාපරාධී මෙහෙයුම් හෙලිදරව් වීමෙන් අවධානය වෙනතකට යොමුකිරීමේ මාධ්‍යයක් ලෙස, අධිරාජ්‍යවාදී බලවත්තු වඩ වඩාත් දකින්නට පටන්ගෙන ඇත්තේ යුද්ධයයි. එක්සත් ජනපදයේ ද ප්‍රධාන යුරෝපීය බලවතුන්ගේ ද ජනතාවන්ට එරෙහිව ඔත්තු සේවා ආයතන විසින් සිදුකරන මහා පරිමාන, නීති විරෝධී ඔත්තු බැලීම් පිලිබඳ එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම් මගින් ඇවිලවූ දේශපාලන අර්බුදය, වත්මන් යුද්ධයේ කාලසටහන සමග පැහැදිලිවම සම්බන්ධය. යුද්ධයේ නිෂ්ඵල හා විනාශකාරී ඇල මං ඔස්සේ සමාජ ආතතීන් වෙනතක හැරවීමේ අත්‍යවශ්‍ය මාධ්‍යයක් ලෙස පාලක පන්තීහු, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය දැක ගනිති.

එහෙත් 20වන සියවස උගන්වා ඇත්තේ, මිලිටරිවාදයේ රූලට් (සූදු) මේසයේදී පොදි පිටින් දිනාගැනීම මගින් ධනවාදයේ බංකොලොත් කමෙන් ගැලවී යාමට බලාපොරොත්තුවන පාලක පන්තීන් අවසානයේදී අත්විඳින්නේ, ඉතිහාසයේ විෂමතා තමන්ට එරෙහිව පිහිටන බවත් එබැවින් ඔවුන් අල්ලා ඇත්තේ නරකම ඔට්ටු බවත්ය.

ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද්ධ මෙන්ම සිරියානු යුද්ධයත්, දැවැන්ත පරිමානයෙන් නිර්මානය කරනු ඇත්තේ මරනයත් විනාශයත්ය. එමගින් ලෝක ආර්ථික හා දේශපාලන අර්බුදය උත්සන්න කර සමස්ත මානව වර්ගයාම ව්‍යසනයේ මුව විටට ගෙන එනු ඇත.

තවත් කුඩා රටකට විරුද්ධව යුද්ධය දියත් කිරීම දෙස් දෙන්නේ ම්ලේච්ඡත්වයට පමනක් නොවේ. එය, සූරාකෑම හා කොල්ලකෑම මත පදනම්වූ සමස්ත ලෝක පද්ධතියේ හා ඇමරිකානු, යුරෝපීය ධනවාදයේ බංකොලොත් කම ද එලිමහනට ගෙන එයි. ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ මෙම ආවෘත අන්තයෙන් ගොඩ ඒමේ එකම මඟ වැටී ඇත්තේ, ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් අරගලය තුලින් පමනි.

ඩේවිඩ් නෝර්ත් හා ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: