බිඩෙන්-සී හමුව නැඟෙනහිර චීන මුහුදේ අර්බුදය විසඳීමට අසමත්වේ

Biden-Xi meeting fails to resolve East China Sea crisis

ජෝන් චෑන් හා පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 දෙසැම්බර් 05

එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බිඩෙන් 04දා බීජිනයේදී චීන ජනාධිපති සී ජින්පින් මුනගැසුන නමුත් ජපානය සමග මතභේදයට ලක්ව තිබෙන ඩයේයු-සෙන්කාකු දිවයින් ද ඇතුලත් වන පරිදි බීජිනය විසින් නොවැම්බර 23දා ප්‍රකාශයට පත්කල ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය මුල්කරගෙන නැඟෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ හටගෙන තිබෙන අතිශයින් දහනශීලී තත්වයට විසඳුමක් ඇතිකර ගැනීමට අසමත් විය.

බීජිනයේ බලයට අභියෝග කරමින්, න්‍යෂ්ඨික බලය සහිත බී-52 බෝම්බ හෙලන ගුවන් යානා කලාපය තුලට පිටත්කර හැරි වොෂින්ටනය, වහාම ටෝකියෝවේ පැත්ත ගත්තේය. චීනය සමග ඇතිවන යුද්ධයකදී ජපානය සමග පවතින සන්ධානයට තමන්ගේ කැපවීම යලි සහතික කරමින් චීන අගමැති හමුවීමට පෙර බිඩෙන් ජපන් අගමැති හමුවිය. පසුගිය සතිය පුරා එක්සත් ජනපදය හා ජපානය, චීන ගුආහක තුලට අඛන්ඩව මිලිටරි ගුවන් යානා පියාසර කරවීය. අත් වැරැද්දක් හෝ වැරදි ගනන් බැලීමක් නිසා වඩාත් පුලුල් ගැටුමක් ඇවිල යාමේ අවදානම මතු කරමින් චීනය ප්‍රහාරක යානා ගුවන්ගත කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

බීජිනයේ රැස්වීම තුල, පැවති ආතතියේ තරම පෙන්වන සලකුනු දක්නට තිබුනු අතර විනාඩි 45කට සීමාකර තිබුනු රැස්වීම අඩුම තරමින් පැය දෙකක් පුරාවට ඇදී ගියේය. කලාපයේ “පවතින තත්වය ඒකපාර්ශවිකව වෙනස් කරන" පියවර ගැනීම පිලිබඳව චීනයට දොස් නඟමින් බීජිනයේදී තමන් ගුආහක පිලිබඳව "ප්‍රබල ප්‍රමුඛත්වයක්" දෙන බවට බිඩෙන් ටෝකියෝවේදී සහතික විය. සී හා බිඩෙන් කිසිදු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොකලේය. ගුවන් ආරක්ෂන කලාපය පිලිබඳව පැනනැඟී ඇති ආරවුල ගැන දෙදෙනාම ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැලකී සිටියහ.

සී හා බිඩෙන් යන දෙදෙනාම, ආරවුලේ බරපතල කම යටපත් කිරීමට උත්සාහ කල අතර එහි මූලික එල්ලය, යුද්ධයේ වැඩෙන තර්ජනය පිලිබඳව චීනයේ ද එජ හා ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය අඳුරේ තැබීමයි. කෙසේ වුව ද නම් සඳහන් නොකල නිලධාරීන් මාධ්‍ය වෙත සැපයූ වාර්තා තුල තුනී ආකාරයට පමනක් පිලිබිඹුවූ, වැසූ දොරවල් පිටුපස තියුනු වචන හුවමාරු සිදුවූ බව නිසැකය.

වොෂින්ටන් පෝස්ට් පත්‍රයට අනුව, “'තරඟයට හේතුවී ඇති දිවයින් ඉහලින් ගුවන් ආරක්ෂන කලාපයක් චීනය විසින් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි එක්සත් ජනපදය සමග ජපානය, දකුනු කොරියාව වැනි එහි අනුචරයින්ගේ විරුද්ධත්වය, උප ජනාධිපති බිඩෙන් විසින් සී වෙත විස්තරාත්මකව පෙන්වාදුන්නේය.' චීනය විසින් පැනවීමට උත්සාහ කරන ගුවන් සීමා එක්සත් ජනපද පාලනාධිකාරය විසින් පිලි නොගනු ඇති බව බිඩෙන් අවධාරනය කලේය."

“ඩයේයු/සෙන්කාකු දිවයින් චීනයේ ස්වෛරීත්වය යටතේ පැවතී ඇති බවටත්, එජ, ජපානය හා දකුනු කොරියාව එම අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවටත් පැමිනිලි කරමින් සී තදින්ම පසු පසට නැඹුරු විය." පුවත්පතට අනුව, එජ නියෝජිත පිරිසේ මූලික අරමුන, "ආක්‍රමනකාරී ලෙස ගුවන් ආරක්ෂන කලාපය බල නොගන්වන බවට චීනය ඒත්තුගන්වා ගැනීමය. එහෙත් සී, සාකච්ඡා අතර තුර කිසිදු පොරොන්දුවක් ලබා දුන්නේ නැත."

බීජිනයේදී බිඩෙන් සාම දූතයෙක් ලෙස පෙනී සිටීමට උත්සාහ කල නමුත් පසුගිය සිව් වසර පුරාම ඔබාමා පාලනාධිකාරයේ "ආසියාවට හැරීම" යටතේ එජ, රාජ්‍යතාන්ත්‍රික ලෙස චීනයට වල කපමින් හා මිලිටරිමය වශයෙන් එරට වැටලීමට ද හිතාමතාම කලාපය පුරා ආතතීන් උග්‍ර කිරීමට ද වැඩකර තිබේ.

වොෂින්ටනයේ ආක්‍රමනික ආස්ථානය මගින්, සෙන්කාකු ලෙස ජපානයේදී හඳුන්වනු ලබන නැඟෙනහිර චීන මුහුදේ පිහිටි ජන ශුන්‍ය, කුඩා ගල්පරය මත සිය පාලනය වඩාත් බලගතු ලෙස යෙදවීමට, බලයට පත් ජපන් ආන්ඩු දිරිගන්වා තිබේ.

ආතතීන් උග්‍ර කිරීමෙහිලා මූලික වගකීම එජ මත පැවරෙන අතර රටේ සුපිරි ධනපති ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා නියෝජනය කරන චීන තන්ත්‍රය, ඇමරිකානු අධිරාජ්‍යවාදයට කරන බියගුලු ආයාචනා හා අදූරදර්ශී මදාවිකමේ මිශ්‍රනයකින් ඊට ප්‍රතිචාර දක්වයි. රට තුල උග්‍රවන සමාජ ආතතින් වෙනතකට හැරවීමේ අටියෙන් චීන ජාතිකවාදය උසිගැන්වීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස බීජිනය, ඩයේයු දිවයින් පිලිබඳ ආරවුල, තමන්ට දේශපාලනිකව පසුබැසීම දුෂ්කර කරවන ජාතික ගෞරවයක් බවට පරිවර්තනය කර තිබේ. එසේ කිරීමේදී චීන තන්ත්‍රය, කෙලින්ම කටයුතු කර ඇත්තේ වොෂින්ටනයේ අතටය.

බිඩෙන් මෙම අර්බුදය, ජපානයේ දක්ෂිනාංශික ඇබේ ආන්ඩුව සමග මිලිටරි සබඳතා තරකර ගැනීම ගැන වගබලා ගැනීම පිනිස ගසාකනු ලබන අතර හෙට දිනයේ ඔහු සියෝල් වෙත ගමන් ගන්නා විට දකුනු කොරියාව සමග ද එයම කිරීමට උත්සාහ කරනු ඇත. බීජිනයේදී උප ජනාධිපති, ආසියාව තුල එජ අඛන්ඩ ආධිපත්‍ය චීන නායකත්වය විසින් පිලිගත යුතු බවට පනිඩයක් දීම සඳහා ගුආහක පිලිබඳ ආරවුල යොදාගැනීමට උත්සාහ කලේය.

ඒ සමගම බිඩෙන්, සී වෙතින් හා අද දිනයේ ඔහු හමුවීමට බලාපොරොත්තු වන චීන අගමැති ලී කෙකුඈන්ගෙන් තමන්ට හැකි සෑම සහනයක්ම උදුරා ගැනීමට වෑයම් කරයි. පෙර දිනයේදී චීන ජනාධිපති සමග පැවති සාකච්ඡාවන්ට මාතෘකාවූ මෙම සමහර ක්ෂේත්‍රයන් පිලිබඳව නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය ඇඟවුම් කලේය. ඇමරිකානු සංගතයන්ට දැවැන්ත නව ව්‍යාපාරික අවස්ථා පිලිගන්වනු ලැබූ මෑතක පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සමුලුවේදී නිවේදනය කල දුර දිග යන වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරන, බිඩෙන් “සාදරයෙන්" පිලිගත්තේය. “සමහර ප්‍රතිසංස්කරන හැකිතාක් ඉක්මනින් ක්‍රියාවට නඟන ලෙස බිඩෙන් සීට බලපෑම් කල" බවට වාර්තා විය.

සියවසක් තරම් ඈතදී, 1914 වසරේ පුපුරා ගිය ප්‍රථම ලෝක සංග්‍රාමයට පෙර පැවති තත්වයට, ගිනිකොනදිග ආසියාවේ තත්වය, ඇඟ කිලිපොලා යන ආකාරයේ සමානකමක් දරයි. ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මගින් පොලඹවන ලද ප්‍රමුඛ බලවතුන්, "යුද භීතිකා" මාලාවක් නිර්මානය කල රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන, ප්‍රකෝපකරනයන් හා මිලිටරි මැදිහත්වීම් පැතිරවීමේ නිරතවූහ. අවසානයේදී නොවැදගත් සිද්ධියක් ලෙස පෙනී ගිය, ඕස්ට්‍රියානු ආදිපාදවරයෙක් මරා දැමීම, පෙර නොවූ විරූ ඝාතනයන්ට මග පෑදූ ජාතික එදිරිවාදිකම් හා ආතතීන් මුදාහැරියේය. යන්තම් සියවස් කාලකට පසුව ගෝලීය ධනවාදය හා එහි බංකොලොත් ජාතික රාජ්‍ය පද්ධතිය යලි වතාවක් මානව වර්ගයා, ලෝක යුද්ධයක ව්‍යසනය තුලට ඇද දැමීය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පස් වසරකට පසුව අද, ලෝක ධනවාදය යලි වතාවක් පසුබෑමේ හා අවපාතයේ ගිලීගොස් තිබේ. පසුගිය දශක තුන පුරා චීනය ලෝකයේ විශාලතම ලාභ ශ්‍රම වේදිකාව බවට පරිවර්තනය වීම, එය එදිරිවාදිකම්වල යොමුව බවට පත්කර තිබේ. එජ අධිරාජ්‍යවාදය, නව “ආසියානු සියවස" තුල සිය අධිකාරය තහවුරුකර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින අතර විභව තරඟකරුවෙකු ලෙස චීනය පූර්වභංග කරන නව යුද්ධයක් සඳහා අදූරදර්ශී සූදානමක නිරතව සිටියි. එමෙන්ම ජපානය ද ඇතුලු සිය අනෙකුත් ජාත්‍යන්තර අනුචරයින්ට කොන්දේසි නියම කිරීමට ද සූදානම් වේ.

නැඟෙනහිර චීන මුහුදේ චීන ගුආහක නිවේදනය කිරීමට එරට යොමුවූ වේගය සමග එය, අන්තරායකාරී නව ජ්වලන කේන්ද්‍රයක් බවට පත්කර තිබීම, යුද්ධයේ තර්ජනය පිලිබඳව චීනයේ ද එජ, ජපානය හා ලෝකය පුරා ද වැඩකරන ජනතාවට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමකි. සියලු ප්‍රධාන ආර්ථිකයන්හි පෙර නොවූ විරූ ගෝලීය ඒකාග්‍රකරනය මගින් යුද්ධය වලක්වනු ඇතැයි කියා සිටින සියල්ලෝම කම්කරු පන්තිය මුලා කරති. යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය තුල බන්ධනගතවූ ආර්ථික ගෝලීයකරනයම, එදිරිවාදිකම් හා ප්‍රතිඝතිතා අවුලුවන සාධකය වී තිබේ.

යුද්ධය කරා වන තල්ලුව නතර කිරීමේ එකම මඟ, දැනටමත් ලෝක යුද්ධ දෙකක් නිර්මානය කර තිබෙන බංකොලොත් ලාභ පද්ධතියට අවසන් තිත තැබීමයි. ධනවාදය අහෝසි කිරීමට සමත් එකම සමාජ බලවේගය, සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයක් ගොඩනැඟීමට සටන් වැදිය යුතු ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි.

Share this article: