එක්සත් ජනපදය ඉරාකයේ ඉස්ලාම්වාදීන්ට එරෙහි ප්‍රහාර සූදානම් කරයි

US prepares strikes against Islamists in Iraq

බිල් වැන් ඕකන් විසිනි, 2013 දෙසැම්බර් 27

තම පාලනය විසින් “වගකීමෙන් යුත්, ස්වෛරී, ස්ථාවර හා දෙපයින් නැඟී සිටිය හැකි" ආන්ඩුවක් ස්ථාපිත කර, ඉරාකයේ විනාශකාරී යුද්ධය අවසන් කල බව ඔබාමා ප්‍රකාශයට පත්කල තැන් පටන් දෙවසරක් ගෙවී ගිය තැන එක්සත් ජනපදය, ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයන්හි රූපාකාරයෙන් සෘජු මිලිටරි මැදිහත්වීමක හැකියාවෙන් යුත් යුද්ධයක් යලි ආරම්භ කිරීම සඳහා බැග්ඩෑඩය වෙත යැවෙන හෙල්ෆයර් මිසයිල නැව්ගත කිරීමට කඩිනම් පියවර ගෙන තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් 26දා වාර්තාකල පරිදි මෙම පියවර ගෙන ඇත්තේ, ඉරාක අගමැති නූරි අල් මලිකි ආන්ඩුවේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි. පසුගිය මාසයේ පමනක් ඉරාක වැසියන් 8,000කගේ ජීවිත බිලිගත්, 2008 එජ මිලිටරි උත්සන්නියෙන් පසුව දක්නට නොලැබුනු මට්ටමේ ප්‍රචන්ඬ ක්‍රියාවන්හි නැඟීම හමුවේ, මෙම පියවර ගෙන ඇත.

ටයිම්ස් වාර්තාව අනුව, නැව්ගත හෙල්ෆයර් මිසයිල 75කින් යුත් තොගය පසුගිය සතියේ ඉරාකය වෙත ලඟාවිය. එලඹෙන වසරේදී නිරීක්ෂන ඩ්‍රෝන් යානා දුසිම් ගනනක් බැග්ඩෑඩ් තන්ත්‍රය වෙත ලබාදීමට පෙන්ටගනය ද සූදානම්ව සිටියි. එයට එෆ්-16 ප්‍රහාරක යානා හා ප්‍රහාරක ඇපචි හෙලිකොප්ටර් ද ඇතුලත්ය. ඉරාක ගුවන් ප්‍රහාර සඳහා ඉලක්ක තෝරාගැනීමේ තොරතුරු ද එජ ඔත්තු සේවා විසින් සපයනු ඇත. කෙසේ වෙතත්, ටයිම්ස් පත්‍රය සඳහන් කල මිලිටරි විශේෂඥයෝ, මෙවන් යුද ආම්පන්න හා ආධාර ඇතිව වුවත්, ප්‍රධාන කොටම සුන්නි බහුතරයක් සහිත එරට ඇන්බාර් පලාත තුල, අල් කයිඩාවේ සහාය ලබන ත්‍රස්තවාදයේ නැඟීම පරාජය කිරීමට ඉරාක මිලිටරියට හැකිවේ ද යන්න ගැන සැක පහල කරති.

ඩ්‍රොන් ගුවන් ප්‍රහාර දියත් කිරීමේ වැඩපිලිවෙලක් තුලින්, එජ සෘජු මිලිටරි මැදිහත්වීමක ශක්‍යතාව, ඉරාක විදේශ ඇමති හොස්බයර් සෙබාරි විසින් පසුගිය මාසවලදී මතුකර තිබුනි.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවක් වන ජෙන් ප්සාකි, අල් කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදීන් “ඉරාකය තුල ප්‍රෙද්ශයන්හි පාලනය සියතට ගැනීමට උත්සාහ කරන අතර එජ හා ඉරාක ජනරජයේ පොදු සතුරන් වන මෙම කොටස් මහා මැද පෙරදිග කලාපයටම තර්ජනයක්“ බව සඳහන් කරමින් 22දා, ඉරාකය තුල එජ මැදිහත්වීමක් පිලිබඳව ඇඟවුම් කලාය.

කෙසේ වුව ද මෙම “තර්ජනය" වොෂින්ටනයේම නිර්මානයකි. එසේම ඉරාකය තුල සිටින “පොදු සතුරා" වන්නේ, දැනට සිරියාවේ පාලන තන්ත්‍රය පෙරලා දැමීම සඳහා ගෙන යන එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධයේ කුලී හමුදාවක්ව සිටින මොවුන්මය.

මාධ්‍යවේදීන් පස් දෙනෙකුට මරු කැඳවමින් බැග්ඩෑඩයේ රූපවාහිනී මධ්‍යස්ථාන දෙකකට 23දා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් ද ඇතුලු, ඉරාකයේ අලුත්ම ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමහරක වගකීම ඉරාක ඉස්ලාමීය රාජ්‍යය හා අයිඑස්අයිඑස් යන අකුරු වලින් හඳුන්වාගන්නා ලැවෙන්ට් සංවිධාන භාරගෙන ඇත. ක්‍රිස්තියානි දේව මෙහෙයක් අවසන්වී පිටතට පැමිනෙමින් සිටි 24ක් මරුමුවට පත්වූ බෝම්බ ප්‍රහාරය ද ඇතුලුව ඉරාක අගනුවරදී ක්‍රිස්තියානි ප්‍රදේශයන්හි නත්තල් දින එල්ල කල බිහිසුනු බෝම්බ ප්‍රහාර පිටුපස ඇත්තේ ද මෙම කන්ඬායම බවට සැක කෙරේ.

අයිඑස්අයිඑස් ඉරාකය තුල බිහිවූයේ, එරට එජ මිලිටරි වාඩිලෑමේ අවධිය තුලය. සිරියානු ආන්ඩුවට පක්ෂපාත හමුදාවන් සමග සටන් වදිමින් ඉරාකයේ නැඟෙනහිර දේශසීමාව හරහා විශාල බිම් කොටසක් අල්ලාගෙන සිටින එම සංවිධානයේ යලි හිස එසවීම, සිරියාවේ පාලන තන්ත්‍රය පෙරලා දැමීමේ එජ පිටුබලය සහිත යුද්ධයේ අතුරු පලයකි. බටහිර යුරෝපය හා රුසියාව තරම් ඈත ප්‍රදේශ වලින් පැමිනි දහස් ගනන් විදේශික ජිහාඩ් වරුන් ද ඇතුලත් අයිඑස්අයිඑස්, “උතුරු සිරියාවේ බලගතුම කන්ඬායම" බව බ්‍රිතාන්‍යයේ මානව අයිතීන් සඳහා සිරියානු නිරීක්ෂනායතනය පසුගිය මාසයේදී පවසා තිබේ. ඉරාකය තුල ආන්ඩුවේ මෙන්ම ෂියා හා ක්‍රිස්තියානි ජනාවාස ද ඉලක්ක කල දිවිනසාගන්නා බෝම්බකරුවන්, මෙම කන්ඬායම් විසින් සිරියාවේ සිට එවනු ලැබේ.

මෙම කන්ඬායම, ඇන්බාර් පලාතේ බටහිර කාන්තාරයේ රහසිගත ස්ථාන හා පුහුනු කඳවුරු ද යලි ආරම්භ කර තිබේ. එහි සැඟව සිට එල්ල කල ප්‍රහාරයකින් පසුගිය 21දා, ප්‍රාදේශීය හමුදා සේනාංකයක අනදෙන මේජර් ජෙනරාල්වරයෙකු ද තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගනනාවක් ද ඇතුලු ඉරාක මිලිටරි සාමාජිකයින් 18ක් මරුමුවට පත් විය.

එම ප්‍රහාරයෙන් මේජර් ජෙනරාල් මොහමඩ් අල් කරාවි මියයාමත් සමග ඉරාක ආන්ඩුව, එම ප්‍රදේශයේ අල් කයිඩාවට සම්බන්ධ හමුදාවන්ට එරෙහිව ආරම්භ කල, “නායක මොහමඩ්ගේ පලිගැනීම" ලෙස නම්කල ප්‍රධාන මිලිටරි මෙහෙයුමක කොටසක් ලෙස, එරට සිරියානු දේශසීමාව වසා දැමීමට 24දා මිලිටරියට නියෝග කලේය. “ආයුධ හා නවීන මිලිටරි ආම්පන්න සිරියාවේ සිට බටහිර ඇන්බාර් කාන්තාරයටත්, නයින්වේ පලාතටත් ගලා එන බවට" තොරතුරු මිලිටරිය වෙත ලැබී ඇති බව ඉරාක ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මොහමඩ් අල් අස්කාරි ඒඑෆ්පී මාධ්‍ය ජාලයට පැවසීය. “සිරියාවේ සන්නද්ධ කන්ඬායම් වලට ප්‍රහාර එල්ල වන සෑම අවස්ථාවකම ඔවුන් ඉරාකයට පසුබැස, යලි කාන්ඬ ගැසී, දෙරටේම ත්‍රස්තවාදී මෙහෙයුම් ගෙන යන" බව ද ඔත්තු සේවා අනාවරනය කරගෙන තිබේ යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

සිරියානු තන්ත්‍රය් රසායනික නිරායුධකරනය හා ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන යන දෙකම සම්බන්ධයෙන් එකඟත්වයන්ට පැමිනීමේත්, සෘජු මිලිටරි මැදිහත්වීම් වලින් එක්සත් ජනපදය ඉවත්කර ගැනීමේත් ඔබාමා පාලනයේ පිලිවෙත හමුවේ, සිරියානු සිවිල් යුද්ධය දෙසටවූ එජ ප්‍රතිපත්තියේ වෙනස්වූ හැඩහුරුව සමග සම්පාත වන පරිදි, ඉරාක මිලිටරියේ ත්‍රස්තවිරෝධී මෙහෙයුම් සඳහා එජ ආධාර සැපයීම සිදුවේ.

ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුවට එරෙහිව සටන් වැද සිටින නිදහස් සිරියානු හමුදාවට නිල වශයෙන් සහාය දක්වන එජ, ඊනියා “මධ්‍යස්ථ" බලවේගයන් ලත් පරාජයන්ට ද ඊනියා “කැරලිකරුවන්" අතර සිටින විවිධ පැහැයන්ගෙන් යුත් ඉස්ලාම්වාදීන්ගේ වැඩෙන ආධිපත්‍යයට ද මුහුන පා සිටියි. බාබ් අල් හවා යන මූලෝපායික තුර්කි දේශසීමා කපොල්ලට මඳක් දකුනට වන්නට පිහිටි බබිස්කාහි නිදහස් සිරියානු හමුදාවේ උත්තරීතර මිලිටරි කවුන්සිලයේ අවි ගබඩා දුසිම් ගනනක් හා හමුදා සංකීර්නයක්, මෑතකදී පිහිටුවන ලද ඉස්ලාමීය පෙරමුනේ ගරිල්ලන් විසින් අත්පත්කර ගැනීමෙන් පසුව මේ මාසයේ මුල ඔබාමා පාලනාධිකාරය, සිරියානු සන්නද්ධ විපක්ෂයට දෙන ආධාර කපා හැරියේය. එජ සහාය දැක්වූ එම සංවිධානයේ හමුදා අනදෙන නිලධාරී සලීම් ඉද්රිස් දේශසීමාව හරහා තුර්කියට පලා ගියේය.

නිසිහ හා ජාතික සන්ධානය යන එහි දේශපාලන හස්තය, සීඅයිඒ හා අනෙකුත් බටහිර ඔත්තු සේවාවන්ට ගැටගැසුනු සිරියානු සංක්‍රමනිකයින්ගේ කල්ලියක් නියෝජනය කරනවාට වැඩි කිසිවක් නොවන බව හෙලිදරව් වීමත් සමග ඔබාමා පාලනාධිකාරය, අල් කයිඩාව හා සිරියානු පාලන තන්ත්‍රය අතර, බටහිරට ගැති “තුන්වන බලවේගයක්" ලෙස වර්ධනය කරගැනීමේ බලාපොරොත්තු ඇතිව, ඉස්ලාමීය පෙරමුන සමග සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සිය සිරියානු නියෝජිත රොට් ෆෝර්ඩ්හට උපදෙස් දුන්නේය.

විපක්ෂ නියෝජිතයින් සමග එකට වාඩිවී සාකච්ඡා කිරීමට සිරියානු ආන්ඩුවේ නියෝජිතයින් එකඟවී ඇති “ජිනීවා 11" යනුවෙන් හඳුන්වන, ලබන මාසයේදී එජ-රුසියානු අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා ක්ෂනික උත්සුකය වී තිබේ. දෙපාර්ශවයේම සාකච්ඡාකරුවන් අද දිනයේදී නම්කිරීමට නියමිතව ඇත. එජ හා අනෙකුත් බටහිර බලවතුන් මුහුනපා සිටින ගැටලුව, ඔවුන් පිටුබලය දෙන බලවේගයන්ට සිරියානු සමාජය අතුලතින් හෝ අසාද් තන්ත්‍රයට එරෙහිව සටන්වැද සිටින කන්ඬායම් අතරින් හෝ කිසිදු සහයෝගයක් නොමැති වීමයි.

සවුදි අරාබියේ අරමුදල් ලබන බව පෙනීයන ඉස්ලාමීය පෙරමුන, එජ සැලසුම් ප්‍රතික්ෂේප කර, අල් කයිඩාවට සම්බන්ධ සිරියාව තුල ක්‍රියාත්මක වන, අයිඑස්අයිඑස් හා අල් නුස්රා පෙරමුන සමග සමීප ක්‍රියාකාරී සම්බන්ධකම් ගොඩනඟාගෙන ඇති බව වාර්තා වේ.

සුන්නි ඉස්ලාම්වාදීන්ට එරෙහිව සිරියාවේ අසාද් ආන්ඩුව හා ඉරාන ආන්ඩුව සමග සන්ධානගතව සිටින ඉරාක තන්ත්‍රයට ආධාර කරන ඔබාමා පාලනාධිකාරය, සිරියාව තුල තමන් විසින්ම මුදාහරින ලද විනාශකාරී නිකායික සිවිල් යුද්ධය අඩුම තරමින් පාලනය කරගැනීමේ උත්සාහයක නිරතව සිටියි. තමන් දිව්රුම් දුන් පරිදි අසාද් පෙරලා දැමීමට අසමත් වීම ගැන සමහරෙකු තවමත් ඔබාමා හෙලා දකින අතර අනෙක් අය, අසාද් බලයේ රැඳී සිටීම සිරියාව ජිහාඩ්වරුන් අතට පත්වීමට හිතකර වනු ඇති බවට තර්ක කරන තතු හමුවේ, මෙම ආවෘත අන්තරය පාලනය කරගන්නේ කෙසේ ද යන්න ගැන වොෂින්ටනය තුල ගැඹුරු භේදයන් පවතියි. කෙසේ වෙතත්, අල් මලිකිගේ දූෂිත, නිකායික හා අත්තනෝමතික ආන්ඩුවට ආධාර කිරීමේදී වොෂින්ටනය, කලාපීය අර්බුදය ගැඹුරු කරනවා පමනි. ඉරාකය තුල අල් කයිඩාව යලි හිස එසවීම, අසල්වැසි සිරියාව තුල එජ පිටුබලය දෙන යුද්ධය මගින් පමනක් දිරිමත් කලා නොව, ඉරාකයේ සුන්නි සුලුතරයට එරෙහිව දේශපාලන කොන්කිරීම හා දැඩි මර්දනය නිසා ද දිරිමත් කෙරේ.

ඇන්බාර්හි අලුත්ම ප්‍රහාරය දියත් කරමින් අගමැති මලිකි, අන්බාර්හි විශාලතම නඟරය වන රමාදිහි දැනට කෙරීගෙන යන වාඩිලා ගැනීමේ විරෝධතාවට ද එරෙහිව රුධිර ස්නානයක් දියත් කරන බවට තර්ජනය කලේය. 22දා ඉරාක රූපවාහිනිය විකාශනය කල ප්‍රකාශයකදී මලිකි, “වාඩිලාගැනීම අල්කයිඩා නායකත්වයේ මූලස්ථානය බවට පත්ව ඇති" බව කියා සිටියේය. “කඩාකප්පල් කිරීමේ" යෙදී නොසිටින සියල්ලන්ම විරෝධතා කඳවුරෙන් ඉවත් විය යුතු යයි ඔහු පැවසීය. “එවිට ඉතිරිවන්නේ අල් කයිඩාවරුන් පමනි. නොවැලැක්විය හැකි මර්දනයෙන් බේරී පලායාම සඳහා විරෝධතාකරුවන්ට ඇත්තේ සීමිත කාලයක් පමනි.“

පසුගිය අප්‍රේල් මාසයේදී බටහිර කර්කුක් හවිජාහි එවැනිම සුන්නි විරෝධතා කඳවුරක් හමුදාවේ ආක්‍රමනයට ගොදුරුවූ අතර එහිදී අඩුම තරමින් පුද්ගලයෝ 42ක් මියගොස් 153ක් තුවාල ලැබූහ. ඉන් ඉක්බිති දින දෙක තුල ගැටුම් වලින් තවත් සිය ගනනක් මිය ගියහ.

Share this article: