දකුනු කොරියාව ගුවන් ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත්කරයි

South Korea declares air defence zone

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 දෙසැම්බර් 09

එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බිඩෙන් පසු ගිය සතියේ ආසියාවට කල සංචාරයෙන් පසුව, නැගෙනහිර චීන මුහුදේ චීන ගුවන් ආරක්ෂක හැඳුනුම් කලාපය මුල්කරගත් ආතතීන් දිගට ම උත්සන්න වෙයි. දකුනු කොරියාව සති අන්තයේ දී, චීන කලාපය මත වැටෙන පරිදි තමන්ගේ ම ගුවන් ආරක්ෂක හැඳුනුම් කලාපය ප්‍රසාරනය කල අතර එජ අනෙක් සහචරයින් දෙදෙනා වන ඕස්ට්‍රෙලියාව හා ජපානය චීනය සමග තියුනු රාජ්‍යතාන්ත්‍රික අරවුලක පැටලුනි.

දකුනු කොරියානු නිවේදනය 08දා නිකුත් කරන ලද්දේ, ඊට පෙර දින අවසන් වූ බිඩෙන්ගේ සංචාරය අතරතුර දී ජනාධිපති පාක් ගෙයුන්-හයි ඔහුට සැකෙවින් කරුනු ඉදිරිපත් කිරීමෙන් පසුව ය. කොරියානු ගුආහැ කලාපයට දැන් අතුලත් කර ගන්නේ කොරියාවේ දී ඉයෝඩෝ නමින් ද, චීනය නොවැ 23දා නිවේදනය කල තමන්ගේ ම කලාපයට ඇතුලත් බව කියා සිටින, චීනයේ දී සුයාන් රොක් නමින් ද දන්නා මතභේදයට ලක්ව ඇති ගිලුනු ගල් පරයකි. වර්තමානයේ දී දකුනු කොරියාව මෙම පරය පාලනය කරන අතර එහි නාවුක පර්යේෂන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

දකුනු කොරියානු ගුආහැ කලාපය මුලින් ම ස්ථාපිත කලේ වසර 62කට පෙර කොරියන් යුද්ධය මධ්‍යයේ ය. එය දැන් පලමු වරට කිලෝමීටර් 300කට වඩා දකුනු දෙසට විහිදුවා ඇත. එම තීරනය මිලිටරි ගුවන්යානා වලට බලපා යි. එම යානා කලාපයට ඇතුල්වීමට පෙර හඳුනාගැනීමක් කල යුතු අතර එසේ නොකලහොත් ගුවන් ගැටුමක අනතුර මතු වේ. චීන ගුආහැ කලාපය පිලිබඳ බොහෝ විමසිලිමත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුනු කොරියානු තීරනයට සිය සහයෝගය පල කරයි.

දකුනු කොරියානු ගුආහැ කලාපය සඳහා කොල එලිය දෙමින් බිඩෙන් මේ වන විටත් නැගෙනහිර චීන මුහුදේ ආතති සහගත තත්වය වැඩි කර ඇත. එක්සත් ජනපදය චීන ගුආහැ කලාපයට ප්‍රතිචාර දැක්වූයේ චීන බලධාරීන්ට නොදන්වා කලාපය තුලට ප්‍රකෝපකාරී ලෙස බී-52 බෝම්බ යානා පිටත්කර හරිමිනි. වොෂින්ටනය තවදුරටත් පැවසුවේ විවාදිත ගල්පර කිහිපය මත චීනය සමග ඇතිවන ඕනෑ ම ගැටුමක දී තමන් ජපානයට සහාය දෙන බව යි. ජපානයේ දී සෙන්කාකු ලෙස ද චීනයේ දී ඩයේයූ ලෙසද හඳුන්වන මෙම දූපත් චීනය තම ගුආහැ කලාපයට ඇතුලත් කර ගත්තේ ය.

දකුනු කොරියාවේ දී 06දා බිඩෙන් අවධාරනය කලේ, චීනය රාජ්‍යතාන්ත්‍රිකව බිඳදැමීම හා එය මිලිටරිමය වශයෙන් වටකිරීම ඉලක්ක කර ගත් තම "ආසියාවට හැරීම” කෙරෙහි ඔබාමා පාලනාධිකාරයේ ඒකාන්ත කැපවීම යි. ඔහුගේ ප්‍රකාශ සැලැසුම් කෙරුනේ මෑතකදී ප්‍රධාන ආසියානු සමුළුවවලට ඔබාමා සහභාගී නොවීමෙන් පසු "හැරීම” පිලිබඳව ආසියාවේ පවතින සැක දුරු කිරීමට හා කලාපය තුල ප්‍රධාන සහචරයින් සවිබලගැන්වීමටත් ය.

ආතතීන්ගේ තියුනුකම ඉතා හොඳින් පෙනුනේ ඕස්ට්‍රෙලියානු විදේශ ඇමතිනී ජුලී බිෂොප් හා ඇගේ චීන සහචරයා වන වෑන්ග් යී අතර පසු ගිය 04දා බීජීනයේ පැවති රැස්වීමේ දී ය. රාජ්‍යතාන්ත්‍රික හැදිච්චකම් පැත්තකට දමමින් චීන හා ජාත්‍යන්තර වාර්තාකරුවන් ඉදිරියේ වෑන්ග් ප්‍රසිද්ධියේ ඕස්ට්‍රෙලියාවට තරවටු කලේ චීනයේ ගුආහැ කලාපය ගැන කැන්බරාව "පවසා හා සිදුකර” තිබූ දෙය "අන්‍යොන්‍ය විශ්වාසය පලුදුකර, ද්විපාක්ෂික සම්බන්ධතාවන්ගේ යහපත් වර්ධනයට බලපා” තිබූ බව යි.

චීනය ගුආහැ කලාපය නිවේදනය කල වහා ම ඕස්ට්‍රෙලියානු ආන්ඩුව චීන තානාපති කැන්බරාවට කැඳෙව්වේ, එම පියවර "වර්තමාන කලාපීය ආතතීන් සම්බන්ධයෙන් උපකාරී නොවන අතර කලාපීය අස්ථාවරත්වයට දායක වේ” යයි පවසමින් තරවටු කිරීමට ය. එම අවස්ථාවේ දී කතා කරමින් බිෂොප් පැවසුවේ "නැගෙනහිර මහුදේ පවතින තත්වය වෙනස් කිරීමට දායක වන ඕනෑ ම බලාත්කාරී හා ඒකපාර්ශ්වීය ක්‍රියාවන්ට” ඕස්ට්‍රෙලියාව විරුද්ධ වන බව යි.

04දා වෑන්ගේ ප්‍රකාශ වලින් පැහදිලිව ම පුදුමයට පත්වූ බිෂොප් චීන ගුආ කලාපය පිලිබඳව සිය ආන්ඩුවේ හෙලාදැකීමේ ආස්ථානයෙන් පසු නො බැසී ය. සාකච්ඡා කාමරයෙන් පිටත පොරකෑ වාර්තාකරුවන් සමග ඈ පැවසුවේ "නැගෙනහිර චීන මුහුදේ කාරනය පිලිබඳව මම ඔබ සමග සාකච්ඡා කල යුතු යි. අප අපගේ අදහස් වෙනුවෙන් පෙනී සිටින අතර එය පිලිබිඹු කරන්නේ සාමයේ හා ස්ථාවරත්වයේ වැදගත්කම යි.” ඈ නැවතත් අවධාරනය කලේ "ඒක පාර්ශ්වීය ක්‍රියා තියෙන්න බෑ. බලාත්කාරී ක්‍රියා තියෙන්න බෑ” යනුවෙනි.

එවැනි ප්‍රසිද්ධ ඝෝෂාකිරීම් පිලිබිඹු කරන්නේ ගැඹුරු වෛරයයි. බිෂොප්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපනය කිරීමේ අසාමාන්‍ය පියවර ගැනීමට වෑන්ග් තීරනය කිරීම ගුවන් ආරක්ෂක කලාපය මත එක්සත් ජනපදය හා එහි අනුචරයින්ගේ ඒකාබද්ධ උද්ඝෝෂනයට එරෙහිව විරෝධය දැක්වීමේ උත්සාහයකි. එහි පාර්ශ්වයෙන් ගත් විට නව ඕස්ට්‍රෙලියානු ආන්ඩුව, ආසියාව තුල එක්සත් ජනපද මිලිටරිය ශක්තිමත් කිරීම සඳහා මේ වන විටත් සහාය දක්වා ඇත. එක්සත් ජනපද හමුදා සඳහා තවදුරටත් ඕස්ට්‍රෙලියානු කඳවුරු විවෘත කරමින් තිබේ. එහි විශාලතම වෙලඳ හවුල්කරුවා වන චීනය සමග නොරොක්වීමේ ප්‍රතිවිපාක නොසලකා ඕස්ට්‍රෙලියානු වෙරලින් කිලෝමීටර් දහස්ගනනක් ඔබ්බෙහි ගුආහැ කලාප ආරවුලට කැන්බරාව කොටස් කරුවෙකු වීමට ගත් තීරනය අවධාරනය කරන්නේ, "ආසියාවට හැරීම” සඳහා එහි ඒකාන්ත සහයෝගය යි.

බිෂෝප් බීජීනයේ සිටින අතරතුර ජපානය හා චීනය අතර ආතතීන් ද තීව්‍ර වුනි. ජපාන පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මන්ඩලය, චීනයේ "නොසැලකිලිමත් හා අවදානම් පියවරයන්ට” විරෝධය දක්වමින් හා එයට "වගකීමෙන්” ක්‍රියා කිරීමට හා එහි ගුආහැ කලාපය ඉවත් කර ගැනීමට බල කරමින් 04දා යෝජනාවක් සම්මත කලේ ය. බීජීනය "විවේචනය කිරීමට අයිතියක්” ටෝකියෝවට නැතැ යි ප්‍රකාශ කරමින් ඊලඟ දිනයේ චීන පාර්ලිමේන්තුව ප්‍රතිචාර දැක්වූයේ, නැගෙනහිර චීන මුහුදේ ආතති සහගත තත්වය මත ජපානයට දෝෂාරොපනය කරමින් හා සෙන්කාකු ඩියාඕයු දූපත් පිලිබඳව චීන අයිතිවාසිකම් පුනරුච්චාරනය කරමිනි.

ගුආහැ කලාපය පිලිබඳ බීජීන ප්‍රකාශය, පුද්ගලිකව ජපානයට අයිතිව තිබූ මතභේදයට ලක්ව ඇති දූපත් කීපයක් ටෝකියෝව විසින් "ජනසතු කිරීමෙන්” පසු නාටකාකාරව තීව්‍රවුනු එකට එක කිරීමේ ව්‍යාපාරයේ මෑත ම ප්‍රකෝපකාරී පියවර යි. දූපත් වටා ජපාන ගුවන් ආරක්ෂක හැඳුනුම් කලාපයට චීන නාවික ගුවන් යානා ඇතුල්වීමට ප්‍රතිචාර වශයෙන් ජපානය නැවත නැවතත් ඉමක් කොනක් නැතිව ප්‍රහාරක ගුවන් යානා පියාසර කරවා ඇත.

ජපාන අගමැති ෂින්ෂෝ අබේ ද ජපානය තමන්ගේ යයි සලකන ගුවන් අවකාශයට ඇතුල්වන මිනිසුන් රහිත චීන ගුවන් යානා වෙඩි තබා බිම දැමීමට තර්ජනය කර ඇත. එක්සත් ජනපදයේ "ආසියාවට හැරීම” චීනය දෙසට වන ජපානයේ වඩා ආක්‍රමනකාරී ආස්ථානයට උඩගෙඩි දීමක් බවට පත්ව ඇත.

ජපානය හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නව පහල මට්ටමකට වැටී ඇත. රටවල් දෙකේ ම ආන්ඩු ජාතිකවාදය හා මිලිටරිවාදය අවුලුවමින් සිටින්නේ දෙරටේ සමාජ ආතතීන්වලින් අවධානය ඉවතට හැරවීමට ය. දක්ෂිනාංශික ජාතිකවාදියෙකු වන අබේ පසු ගිය දෙසැම්බරයේ බලයට පත්වූ අතර ඔහු සිය චීන සහචරයා වන ජනාධිපති ෂී ජින්ග් පින්ග් හමුවී ඇත්තේ එක වතාවක් පමනි. ඒ ජාත්‍යන්තර හමුවක දී මිනිත්තු කීපයකට පමනි. මාස 14කින් චීන හා ජපාන විදේශ ඇමතීන් හමු වී නැත. ඊයේ අබේ සම්බන්ධතා යලි පිහිටුවීමට ෂී සමග සුමුළුවක් යෝජනා කල ද එවැනි සාකච්ඡාවක පදනම ගැන ඉඟියක් නො කලේ ය.

ඊසාන දිග ආසියාවේ හා පුළුල් කලාපයක සම්බන්ධතාවන්ගේ විෂඝෝර ස්වභාවය දුර්මතයක් හෝ අහම්බයක් මගින් යුද්ධයක් පිපිරී යාම පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමකි. මෙම නරක අතට හැරෙන ආතතීන් 2008දී පිපුරුනු ධනවාදයේ ගෝලීය අර්බුදය මගින් ගිනි අවුළුවයි. අස්ථාවර කිරීමේ ලොකුම සාධකය වන්නේ, ආසියාවේ දී හා ජාත්‍යන්තරව සෑම ආකාරයකින් ම අවශ්‍ය නම් යුද්ධය ද ඇතුළුව සිය අඛන්ඩ ආධිපත්‍යය තහවුරු කිරීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අධිෂ්ඨානය යි. පසු ගිය දශකයේ දී එකකට පසු තව යුද්ධයක පැටලී ඇති එක්සත් ජනපදය චීනය සමග ගැටුමකට වේදිකාව සූදානම් කරන අතර එය කලාපය හා ලෝකය ගිලගැනීමට තර්ජනය කරයි.

Share this article: