ඇමරිකානු මහ බැංකුව, බැංකු වලට ඩොලර් ලබාදීම නැවැත්වීමේ අන්තරාය පිලිබඳව ගෝලීය වෙලඳපොල තැතිගනී

Global markets shudder at prospect of Fed pullback on dollar handouts to banks

2013 දෙසැම්බර් 17

2008 සැප්තැම්බර් වලදී පුපුරා ගිය මූල්‍ය අර්බුදයේ පටන් තමන්ට ඩොලර් ට්‍රිලියන ගනනින් පල නෙලන්නට ඉඩ පෑදුනු, "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" වැඩ සටහන "ටිකින් ටික කපා හරින්නට" එජ ෆෙඩරල් මහ බැංකුව තීරනය කරයිදෝ යන්න පිලිබදව දැන ගැනීමට 18දා නිකුත් කිරීමට නියමිත බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති නිවේදනය දෙස එක්සත් ජනපදයේත් ලෝකය පුරාත් සමපේක්ෂකයෝ තම දෑස් දල්වා නොඉවසිලිමත්ව බලා සිටිති.

මහ බැංකුව විසින් දැනට බැංකු වෙත පිරිනමන බිංදුවට ආසන්න වන තෙක් අඩුකල නිල පොලී අනුපාතය සමග එක පෙලට, මසකට ඩො බිලියන 85 ක හෝ වසරකට ඩොලර් ට්‍රිලියන 1 ක එජ භාන්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත් දැවැන්ත ලෙස මිලදී ගැනීම් ඇතුලත් ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන මෙම සතියේදී එහි පස්වන වසර සමරයි.

සිය සාපරාධී ක්‍රියා මගින් මූල්‍ය අර්බුදය නිර්මානය කල බැංකු, ආරක්ෂිත (හෙජ්) අරමුදල් සහ අනෙකුත් මූල්‍ය සමපේක්ෂකයන්ට මුදල් ලබාදීමේ තරම, පසුගිය වසර පහ පුරාවට මහ බැංකුවේ වත්කම් එකතුවෙහි පුලුල්වීමෙන් අනාවරනය කෙරිනි. 2008 දී ඩොලර් බිලියන 870 ක් පමන වූ එම අගය තව දින කීපයකදී ඩොලර් ට්‍රිලියන 4 කට ලඟාවනු ඇතැයි බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම යුරෝපයේ සහ එක්සත් ජනපදයේ (එජ) මිලියන සිය ගනනක කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වැඩෙන විරැකියාව, වැටුප් කප්පාදු සහ කපාහැරුනු සමාජ සේවාවන් අත්විඳිද්දී, මූල්‍ය සමපේක්ෂකයන්ට වාසනාවක සතුට උරුම වී තිබේ.

මෑතකදී නිකුත් කල ප්‍රකාශයක් තුල ඩොයිෂ් බැංකුව පිලිගත් ලෙස: "මෙය, එජ හා සැබැවින්ම සියලු සංවර්ධිත වෙලඳපොලවල වාර්තාගත දුර්වලම ආර්ථික ප්‍රකෘතිමත්වීම් වලින් එකක් වුවත්, සියලු වත්කම් සඳහා මහ බැංකුව ආශ්චර්යමත් වාතාවරනයක් සෑදූ බව පැවසීම සාධාරනය.“

ජර්මනියේ හැර අන් සෑම රටකම දල දේශීය නිෂ්පාදිතය, 2007 දී පැවති මට්ටමට වඩා පහල අගයක් ගත් යුරෝපයේදී විශේෂයෙන්ම ප්‍රලි ක්‍රමවේදයේ හරිමැද පවතින පරපුටුභාවය සලකුනු වෙයි. යුරෝපියානු ඉහල ප්‍රතිලාභ (“හයි ඊල්ඩ්“) සහිත හෝ කසල (“ජන්ක්“) බැඳුම්කර, සමස්ත වශයෙන් සියයට 150 ක ලාභ නිපදවීය. තනි තනි සමපේක්ෂකයන්ට ලැබුන සැබෑ ලාභ මෙම පෙනෙන අගයන්ටත් වඩා ඉහලය. මක්නිසා ද යත් -තම ගනුදෙනු සඳහා ඉතා අඩු පොලියට ගත් මුදල් යොදවනු ලබන- සමපේක්ෂකයන්ට මිලදී ගත් තම වත්කම් "ඇපයට තැබීමේ" හැකියාව ලැබුන නිසාය.

"ප්‍රකෘතිමත්වීමේ" කතාව පදනම් විරහිත කරමින්, 2007 ට පෙර පැවතියාට වඩා සැලකියයුතු අඩු තත්වයක ආර්ථික වර්ධනයක් පවතින සහ කම්කරුවන් මිලියන ගනනක් දිගු කාලීන විරැකියාවට මුහුන දී සිටින එක්සත් ජනපදයේදී, ස්ටෑන්ඩර්ඩ් සහ පුවර් හි 500 කොටස් දර්ශකය එහි අවම අගයට ලඟාවූ 2009 වසන්තයේ පැවති 666 ක සිට තුන් ගුනයකින් ඉහල ගියේය.

"ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" ප්‍රතිපලයක් ලෙස මූල්‍යමය වත්කම්වල අගයන්හි මෙම උද්ධමනය, පසුගිය වසර හතර පුරා ලෝක බිලියනපතියන් හට තම ධනය දෙගුනයක් කරගන්නට හැකියාව ලබා දුනි.

මූල්‍ය ප්‍රාග්ධනය සඳහා කිව නොහැකි තරම් ධනය සැපයෙන අතරේ, ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන නව මූල්‍ය අර්බුදයක් පුපුරායාම සඳහා තත්වයන් නිර්මානය කර තිබේ. "ටිකින් ටික කපා හැරීමෙන්" සහ එජ පොලී අනුපාත ඉහල දැමීමේ හේතුවෙන්, ඊනියා "නැගී එන වෙලඳපොලවල්" වෙතින් මුදල් ඉවතට ගලා යනු ඇතැයි යන්න ප්‍රධාන උත්සුකයක් වී තිබේ. රට තුලට ගලා එන ප්‍රාග්ධන අරමුදල් වලින් පියවාගනු ලබන, විශාල ජංගම ගිනුම් හිඟ පවතින බ්‍රසීලය, ඉන්දියාව, තුර්කිය, ඉන්දුනීසියාව සහ දකුනු අප්‍රිකාව වහාම අවදානමට වැටෙන රටවල් අතරට වැටේ.

බොහෝ ගිනිකොන දිග ආසියානු රටවල් පුරා අවපාතයක් වැනි ඇදවැටීමක් සනිටුහන් කල 1997-98 ආසියානු මූල්‍ය අර්බුදයටත් වඩා අතිශයින් පුලුල් පරිමාවක ගෝලීය මූල්‍ය අර්බුදයක් පැන නැංවිය හැකි පරිදි, මෙම වෙලඳපොලවල් වෙතින් අරමුදල් වේගයෙන් පිටතට ගලායාමේ විභවයක් පවතී. ෆෙඩරල් මහ බැංකුව විසින් "ටිකින් ටික කපා හරිනු ලැබීමේ“ කතා, මගින් සිදු වන්නේ කුමක්ද යන්න පසුගිය වසන්තයේදී සහ සරත් සමයේදී එජ පොලී අනුපාතවල ඉහල යෑමෙන් හා වඩා ආරක්ෂිත තැන් වෙත මුදල් ඉක්මනින් ගලායාමෙන් දැකගත හැකි විය.

මෙවැනි තත්වයක් මගින් මූල්‍ය අර්බුදයක් පැන නැංවූවහොත්, 2008-2009 මූල්‍ය උනු වීමට වඩා බරපතල ප්‍රතිවිපාක වලට මුහුනදීමට සිදුවනු ඇත. වසර පහකට පෙර තිබූ තත්වයට වෙනස්ව, ලෝකයේ ප්‍රධාන මහ බැංකු සහ සියල්ලටමත් වඩා එජ ෆෙඩරල් මහ බැංකුව දැන්, බොහෝ කොටම මූල්‍ය වෙලඳපොලේ ගනු දෙනු වල යෙදී ඇති අතර තම වත්කම් මත සැලකිය යුතු පාඩු අත් විඳිනවා ඇත.

හැකිලෙන සමස්ත ආර්ථිකයක් මත පැටවෙන දිනෙන් දින ඉහල යන මූල්‍ය ධනස්කන්ධය ද සමග, ගෝලීය ආර්ථිකය උඩු යටිකුරු කල පිරමීඩයක ස්වරූපයකට පත්වීමේ හැකියාව ඉහල යමින් තිබේ.

නොවැම්බරයේ පැවැත්වුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂන සම්මන්ත්‍රනයකදී කල කතාවකදී, හිටපු එජ භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් ලෝක ආර්ථිකයේ "පොදු පල්වීම" ගැන එනම් අස්ථිර, දුර්වල ඉල්ලුමක සහ අඩු හෝ හැකිලෙන වර්ධනයක් සහිත අවධියක හැකියාව ගැන අනතුරු ඇඟවීය. ෆයිනෑන්ෂල් ටයිම්ස්හි ආර්ථික ලියුම්කරු වන මාටින් වුල්ෆ් පැවසූ අන්දමට, සමර්ස්ගේ අදහස් "ඉතිරි වී සිටින යම් හෝ සුභවාදියෙකු මත අයිස් වතුර ගැලුම් ගනනක් හෙලීමකි."

නොවැම්බර් 25 වනදා ෆයිනෑන්ෂල් ටයිම්ස් හි ලියමින්, එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන ගෝලීය ආර්ථික විශේෂඥයා වන ස්ටීවන් කිං, “සංවර්ධිත ලෝකය හරහා සිදුවන ආර්ථික කටයුතු වල පරිමාව පුදුම සහගත ලෙස පහත වැටී පවතී,“ යයි ප්‍රකාශ කලේය. "මන්දාවධමනය සහ ප්‍රකෘතිමත්වීම පිලිබද භාෂාව තව දුරටත් අදාල නොවේ. ඊට වෙනස්ව, නොනැවතී පවතින ආර්ථික පල්වීමකට අප මුහුන දී ඇත. බටහිර ද ජපානයේ දක්නට ලැබුනු ආකාරයේ "අහිමිවූ දශකයකට" ඇතුල්වීමේ අවදානමක් ඇතැයි සිතන උදවියට ප්‍රධාන කාරනය වැරදී තිබේ. ප්‍රශ්නය වන්නේ දැනටමත් අපගේ ආර්ථිකයන්හි හුස්ම හිර කර ඇති නැතිවූ දශකයෙන්, අපට බේරෙන්නට හැකිද යන්නයි" ඔහු වැඩිදුරටත් ලීවේය.

සමාගම් මුදල් ආයෝජනය කරනවාට වඩා රැස් කොට තබාගන්නා අතරේදී, වැටුප් පහත වැටී ඇති අතර පොලී අනුපාත අතිශයින් පහල මට්ටමක ද රාජ්‍ය නය "අතිශයින්ම ඉහල මට්ටමක" සහ තවත් ඉහල යමින් ද පවතින බව ඔහු සඳහන් කලේය. 2008 කඩාවැටීම අද්දරදී ප්‍රතිපත්ති සම්පාදකයින් මහා අවපාතය වැලැක්වා ගත් බව කිව හැකි වුවද, ඔවුනට "මහා පල්වීම" වලක්වා ගත නොහැකි විය.

ධනපති ආර්ථිකයේ බිඳවැටීම, වරක් "සාමාන්‍ය" තත්වය ලෙස සැලකුන, ආයෝජන සංඛ්‍යාවලින් බලා ගැනීමට පුලුවන. අතීතයේදී, 1980 ගනන් වලදී එජ දල දේශිය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 9 ක් පමන පරාසයක් තුල ලාභ සහ ආයෝජන අනුපාත පුලුල් වශයෙන් එකිනෙක ලුහුබැඳ ගියේය. ජීඑම්ඕ වත්කම් කලමනාකරුගේ විශ්ලේෂනයකට අනුව, 2009ට පසු සම්බන්ධතාවය "පාලනයෙන් තොරව" යාමත් සමග වැඩිවන විකේන්ද්‍රනයක් සිදු විය. දැන් එජයේ බදු ගෙවීම් වලට පෙර ආයතනික ලාභ, දදේනියෙන් සියයට 12 ක් පමන වන නමුත්, ශුද්ධ ආයෝජන සියයට 4 ක් පමනය.

අනෙකුත් රටවල අගයයන්ද එවැනිම ප්‍රවනතාවක් පෙන්වයි. බ්‍රිතාන්‍යයේ සෝශලිස්ට් ඉකොනොමික් බුලටින් සඟරාව විසින් කල සමීක්ෂනයකට අනුව, ආයෝජනයට දල මෙහෙයුම් අතිරික්තයේ පෙන්වන ලද අනුපාතය (ලාභවල පුලුල් මිනුමක්) 2008දී සියයට 56 ක් වූ අතර එය 1979 දී එහි උපරිමය වූ සියයට 69 න් ඉතා පහල අගයකි. 2012 දී එය සියයට 46 ක් පමනි. 1979 මට්ටමට නැවත පැමිනීමට නම්, දදේනි සියයට 12 කට සමාන වන ඩොලර් ට්‍රිලියන 1.5 කින් ආයෝජන ඉහල දැමිය යුතුය.

2008 වැනි ආසන්න වසරකදී සියයට53.2 ක් වූ ආයෝජන අනුපාතය පසුගිය වසරේදී සියයට 47.1 කට කඩාවැටෙමින් යුරෝ කලාපයේද ඊට සමාන නැඹුරුවක් පෙන්නුම් කලේය. බ්‍රිතාන්‍යයේදී, 1975 දී සියයට 76 ක් වූ එහි ඓතිහාසික උපරිමයේ සිට 2008 දී සියයට 53 කට ඇද වැටුන අනුපාතය දැන් සියයට 42.9 දක්වා පහල ගොස් තිබේ.

ප්‍රධාන සමාගම් ෆැක්ටරි වසා දමමින් සහ වෙලඳපොල සහ ලාභ වෙනුවෙන් නොනවත්වා උත්සන්න වන අරගලයක යෙදෙමින් ගෝලීය "ප්‍රතිසංස්කරන" ක්‍රියාත්මක කරන තතු තුල, කම්කරු පන්තියේ වැඩෙන දුගීභාවය මෙම සංඛ්‍යාෙල්ඛන පිටුපසින් ඇති සමාජ යථාර්තයයි.

ජාත්‍යාන්තර කම්කරු පන්තිය තමන්ගේම නිගමන වලට එලඹිය යුතුවා සේම ඒවා මත ක්‍රියාත්මක වීමට පටන් ගත යුතුය. ගෝලීය ධනපති ආර්ථිකය "ප්‍රකෘතිමත් භාවයට" පත්වන්නේ නැත. එය කඩා වැටී තිබේ. බිලියන ගනනක් ජනතාවකට ගැඹුරුවන දුගීභාවයක් උරුමකර දෙමින්, ලාභ ක්‍රමය පෙර නොවූ විරූ දැවැන්ත පරපෝෂිතභාවයක සහ ඛාදනයක අවධියකට එලඹ තිබේ. එය පෙරලා දමා, බැංකු සහ ප්‍රධාන බහුජාතික සමාගම්වල වත්කම් අත්පත්කර ගනිමින්, සැලසුම්ගත ජාත්‍යන්තර සමාජවාදී ආර්ථිකයකින් එය විස්ථාපනය කල යුතුය.

නික් බීම්ස් විසිනි

Share this article: