උතුරු කොරියාවේ දේශපාලන අර්බුදය පිටුපසින්

Behind North Korea’s political crisis

2013 දෙසැම්බර් 23

උතුරු කොරියාවේ දෙවන නායකයා වූ ජැන් සොං තැක් දෙසැම්බර් 12දා කෙටි නඩු විභාගයකින් පසුව මරා දැමීම, පියොන්යෑං තන්ත්‍රය තුල පවතින ගැඹුරු අභ්‍යන්තර අර්බුදය සලකුනු කරයි. දෙවසරකට පෙර නායක කිම් ජොං ඉල්ගේ මරනයෙන් පසුව, අනුප්‍රාප්තිකයා බවට පත්වූ ඔහුගේ පුත් කිම් ජොං අන්, තම පියාගේ අවමගුල් රිය පසෙකින් ගමන්ගත් හත්දෙනාගෙන් දෙදෙනෙක් ද ඇතුලු රටේ ඉහල නිලධාරීන් 218දෙනාගෙන් 100ක් පමන ඉවත්කර ඇත.

"ආර්ථිකය මුලුමනින්ම බංකොලොත් වීමේ හා රාජ්‍යය බිඳ වැටීමේ අද්දරට පැමින තිබිය දී" තමන් බලය අල්ලාගැනීමට සැලසුම්කරන බව ප්‍රකාශ කලා යයි කියන ජෑන්ගේ පාපෝච්චාරනය උතුරු කොරියානු අර්බුදයේ පැහැදිලිම ඇඟවුම විය. පොලිස්-රාජ්‍ය තන්ත්‍රයේ අස්ථාවරත්වය හා ගැඹුරු සමාජ ආතතීන් නිර්මානය කර තිබෙන අර්බුදග්‍රස්ත ආර්ථිකයේ පල්වීම සඳහා ජෑන් දුක්ගන්නා රාල කෙනෙක් බවට පත්කරගෙන තිබේ.

කන්ඩායමික ගැටුම්වල ක්ෂනික හේතුව කවරක් වුවත්, දේශපාලන කැලඹීමේ මූලික වගකීම රැඳී ඇත්තේ පියොංයෑනය තුල නොව, වොෂින්ටනය තුලය. උතුරු කොරියාවේ ප්‍රමුඛ සහචරයා වන චීනයට වල කැපීමේ එල්ලය සහිත "ආසියාවට හැරීම" යන පිලිවෙතෙහි කොටසක් ලෙස ඔබාමා පාලනාධිකාරය, පියොංයෑනය දේශපාලන පීඩන උදුනක් තුලට ඇද දැමූ දිගුකාලීන එක්සත් ජනපද සම්බාධක දැඩිකර තිබේ.

දශක හයකට වැඩි කාලයක් තිස්සේ වොෂින්ටනය, උතුරු කොරියාව සම්බන්ධයෙන් නිමක් නැති සතුරු ආකල්පයක් පවත්වාගෙන ගොස් තිබේ. එජ අධිරාජ්‍යවාදය හා එහි අනුචරයින් විසින් 1950 සිට 1953 දක්වා කාලය තුල, සින්ග්මන් රීගේ නායකත්වයෙන් යුත් එජ විසින් අටවන ලද දකුනු කොරියානු තන්ත්‍රය නඟා සිටුවීම සඳහා කොරියානු අර්ධද්වීපය සුන්බුන් කල, සෙබලුන් හා සිවිල් වැසියන් මිලියන ගනනකගේ ජීවිත විනාශ කල යුද්ධයක් ගෙනයන ලදී. සටන් අත්හිටුවීමක් ප්‍රකාශයට පත්කරන ලද නමුදු සාම ගිවිසුමක් කිසිදාක අත්සන් කලේ නැත. එහි අර්ථය, යුද තත්වය දිගටම පවත්වාගෙන යන බවයි.

එක්සත් ජනපදය පැත්තෙන් ගත් කල, කොරියානු යුද්ධයේ ඉලක්කය උතුරු කොරියාව පමනක් නොව, තමන් පිටුබලය දුන් ක්වෝමින්ටෑනයේ පාලනය යටතේ පැවති, 1949 විප්ලවය විසින් පෙරලා දමන ලද චීනය ද විය. චීන දේශසීමාව කරා ලඟාවෙමින් සිටි ඇමරිකානු හමුදා පසුබැස්සවීමට චීන හමුදා පෙරමුනට පැමිනි අවස්ථාවේදී, එජ මෙහෙයවූ හමුදාවන්ගේ අනදෙන නිලධාරියාවූ ජෙනරාල් මැක්ආතර්, චීනයට එරෙහිව පරමානු අවි යොදාගත යුතු බවට උපදෙස් දුන්නේය. සීතල යුද්ධයේ කාලපරිච්ඡේදය පුරා එජ මිලිටරිය දස දහස් ගනනක් හමුදාව මෙන්ම යුද නෞකා හා ප්‍රහාරක ගුවන් යානා දකුනු කොරියාව තුල රඳවා තැබූ අතර අද දක්වාම එම පිලිවෙත අනුගමනය කරයි.

1991දී සෝවියට් සංඟමය බිඳවැටී සීතල යුද්ධය අවසන් වුව ද එහි ප්‍රතිපලය වූයේ උතුරු කොරියාව වෙත යෙදෙන ඇමරිකානු පීඩනය උත්සන්න වීම පමනි. දශක ගනනාවක් තිස්සේ දකුනු කොරියාව තුල උපායික න්‍යෂ්ටික අවි ස්ථානගතකර තිබුනේවී නමුත් එජ, දකුනු කොරියාවේ හා ජපානයේ සිය මිලිටරි කඳවුරු පවත්වාගෙන යාම සඳහා උතුරු කොරියාවේ සීමිත න්‍යෂ්ටික බලය කඩතුරාව ලෙස යොදාගත්තේය. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරන ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව ක්ලින්ටන් පාලනාධිකාරය, උතුරු කොරියාව න්‍යෂ්ටික හරන ආකෘතියක ගිවිසුම ලෙස හඳුන්වන සම්මුතියකට අත්සන් තැබීමට පසුව අකුලාගත් නමුත්, 1994දී අර්ධද්වීපය යුද්ධයක අද්දරටම ගෙන ගියේය. කෝ

බුෂ් පාලන සමයත් සමග, ඊනියා "බබලන හිරු ප්‍රතිපත්තිය" යටතේ උතුරු හා දකුනු කොරියාව අතර සංහිදියාවක් දෙසට වූ අඩමාන හා නොසංසුන් සහගත ක්‍රියාමාර්ගය වේගවත් අවසානයකට ලඟා විය. 2002දී බුෂ්, ඉරාකය හා ඉරානය සමග උතුරු කොරියාව ද "දුෂ්ට අක්ෂය" ලෙස හංවඩු ගැසීමත් සමග උතුරු කොරියාව සමග ගැටුම පතුරුවා හැරීමේ සිය අධිෂ්ඨානය ගෙනහැර දැක්වීය. පියෝන්යෑංහි දේශපාලන පිපිරීමකට තුඩු දෙන පරිදි එරට ආර්ථිකය අඩපන කිරීම පිනිස එජ දිගටම අනුගමනය කල මූලෝපාය බුෂ් වඩාත් පැහැදිලිව ඉදිරිපත් කලේය.

එජ මූලිකත්වය ගත් ඉරාක ආක්‍රමනය හා වාඩිලෑම මඩ ගොහොරුවක් බවට පත්වන තතු තුල බුෂ්ට, කොරියානු අර්ධද්වීපය තුල ආතතීන් ඇවිලවීම සඳහා චීනය වෙත හැරීමට බල කෙරුනි. බුෂ් පාලනාධිකාරය බීජිනයේ අනුග්‍රහයෙන් පැවැත්වූ සය පාර්ශවීය සාකච්ඡාවන්ට සහභාගී වුව ද එකඟත්වයට පැමින තිබූ ආකෘතිය පෙරටුකොටගෙන පියොන්යෑනයට සුලු හෝ සහනයක් දීමේ කිසිදු අදහසක් එරටට නොවීය.

1991දී සෝවියට් ආධාර අවසන් වීමෙන් පසුව උතුරු කොරියාව, චීනය මත රඳා පැවති අතර උග්‍ර ආර්ථික අර්බුදයකට මැදිව සිටියේය. ලෝකය පුරා ස්ටැලින්වාදී තන්ත්‍රයන් සේම පියොන්යෑනය ද ධනවාදය පුනරුත්ථාපනය කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය. එහෙත් ගෝලීය ආර්ථිකයට හා විදේශ ආයෝජන වෙත පිවිසීමේ දොරටු එජ විසින් වසාදැමීමේ තතු හමුවේ, එම සැලසුම් කඩාකප්පල් විය. 2006 පටන් සිදු කල පියොන්යෑනයේ න්‍යෂ්ටික පරියේෂන, පැවති සාකච්ඡා තුල පොටක් පාදාගැනීමේ මංමුලාසහගත උත්සාහයක් විය.

ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධයන්හි සිට ආසියාව වෙත මාරුවූ සිය විදෙස් පිලිවෙතේ කොටසක් ලෙස ඔබාමා පාලනාධිකාරය, උතුරු කොරියාවට යොදන පීඩනය දැඩිකර තිබේ. රාජ්‍යතාන්ත්‍රිකව චීනයට වල කැපීමටත්, මිලිටරිමය වශයෙන් එරට වැටලීමේත් ඉලක්කය සහිත ඊනියා "හැරීම" සුවිශේෂිතව අතිශයින්ම අදූරදර්ශී මූලෝපායකි. බලයට පත්වීමෙන් පසුව ඔබාමා, සය පාර්ශවික සාකච්ඡා යලි පන ගැන්වීමේ කිසිදු උත්සාහයක් නොදැරූ අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා රොකට් අත්හදාබැලීම් දඩමීමා කරගෙන, එරටට එරෙහිව නව සම්බාධක පනවමින් හා එයම කරන ලෙස චීනයට බලකරමින්, කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උත්සන්න කලේය. පසුගිය මාර්තුවේ පැනවූ එක්සත් ජාතීන්ගේ නව සම්බාධක කෙරෙහි පියොන්යෑනය ආවේගශීලී එහෙත් පුහු තර්ජන එල්ල කල විට එජ, දකුනු කොරියාව වෙත ප්‍රකෝපකාරී ලෙස බී-52 හා බී-2 යන න්‍යෂ්ටික බලය සහිත බෝම්බ හෙලන යානා යවමින් එම අවස්ථාව සිය බැලිස්ටික් මිසයිල හාරක පද්ධතීන් ආසියාව තුලට ව්‍යාප්ත කිරීම පිනිස ගසාකෑවේය.

ඔබාමාගේ "හැරීම" දකුනු චීනයේ හා නැඟෙනහිර චීන මුහුදේ භූමි භාගයන් පිලිබඳ අර්බුදය උත්සන්න කලාක් සේම, කොරියානු අර්ධද්වීපය තුල අතිශයින්ම උනුසුම් හා අස්ථාවර තත්වයක් නිර්මානය කලේය. අනෙක් අතට බීජිනය, කලාපයේ එජ මිලිටරි බලයට එරෙහිව වැදගත් මූලෝපායික බෆරයක් ලෙස පියෝන්යෑන් තන්ත්‍රයට මුක්කුව සැපයූ නමුත්, එමගින් තමන්ගේම උතුරු දේශසීමාවේ දේශපාලන කැලඹීමකට කොන්දේසි නිර්මානය කලේය. අප්‍රේල් මාසයේ පටන් චීනය, එජට සහන පුදන ලෙසට උතුරු කොරියාවට බලපෑම් කර තිබේ. බීජිනය සමග සමීප බැඳීම් ගොඩනඟාගෙන සිටි බව සැලකෙන ජෑන් ඝාතනය, ඊට පලවූ ප්‍රතිචාරය බව පෙනී යයි.

එක්සත්කම පිලිබඳ එහි මූනත්තහඩුවට පිටුපසින් උතුරු කොරියානු තන්ත්‍රය පවතින්නේ, පැහැදිලිවම ආතති සහගත හා අස්ථාවර තත්වයකය. නිශ්චිතවම චීනය හරස් කැපීමට තැත් කරනු ඇති, සහචරයින් වොෂින්ටනය සමග පෙල ගැසෙන තන්ත්‍රයක් නිර්මානය කිරීම සඳහා පියෝන්යෑන්ග්හි දේශපාලනික උනුවී යාම ගසාකෑමට එජ හා එහි උත්සාහ දැරීමත් සමග, ගැටුමක ක්ෂනික අන්තරාය මතුවනු ඇත.

කලාපයේ තම අඛන්ඩ ආධිපත්‍යය සහතිකකර ගැනීමට මිලිටරි ශක්තිය යොදාගැනීම සඳහා එජ අධිරාජ්‍යවාදය උත්සාහ දරන තතු හමුවේ, ඉන්දු-පැසිෆික් කලාපය ඔවුන් අවුලුවනු ලබන තවත් ජ්වලන කේන්ද්‍රයක් වනු ඇත. සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයක පදනම මත, ධනවාදය අහෝසි කර සමාජය ප්‍රති ව්‍යුහගත කිරීමේ එක්සත් අරගලයක් තුලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනක්, ව්‍යසනකාරී යුද්ධයක වැඩෙන අනතුර වැලැක්විය හැකි එකම සමාජ බලවේගය වන්නේය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: