එක්සත් ජනපදයේ කොටස් මිල වාර්තාගත ඉහලම මට්ටමට නඟියි

රැකියා තත්වය පිලිබඳ අඳුරු වාර්තාවෙන් වෝල් වීදියේ කොටස් මිල නඟී

US stocks near record highs
Dismal jobs report sparks Wall Street surge

By Barry Grey, 2 February 2013

රැකියා වර්ධනයේ එක තැන පල් වීමක් ද නිල විරැකියා අනුපාතයේ ඉහල නැඟීමක් ද පෙන්වා දුන් කම්කරු දෙපාර්තමේන්තු වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාවේ වඩාත් ප්‍රචලිත බ්ලූ චිප් දර්ශකය (වෝල් වීදියේ පරාමිතීන්ට අනුව 'කීර්තිමත්' සමාගම්වල කොටස් හැඳින්වීමට යෙදේ-පරි.) වන ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයේ අගය පසුගිය සිකුරාදා ඒකක 14,000 ඉක්මවා යමින් එහි වාර්තාගත ඉහල ම අගයට සමීප විය. මෙම අගය මෙසේ 14,000ට වඩා ඉහල නැඟුනේ වසර පහකට පසුව ය.

ඩව් අගය ඒකක 149කින් ඉහල නැඟී 14,009 හි නතර වූයේ එහි ඉහල ම අගය වන 2007 ඔක්තෝබරයෙහි දී වාර්තා වූ 14,164 කරා සමීප වෙමිනි. වඩාත් පුලුල් පදනමකින් යුතු ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් හි 500 දර්ශකය ඒකක 15කින් ඉදිරියට පනිමින් 1,513ට නැඟුනේ කවර කලෙක හෝ දවසක් තුල එහි වාර්තාගත ඉහලම අගය වන 1,576ට ඒකක 63කින් පමනක් අඩු අගයක් අත්පත් කර ගනිමිනි. නැස්ඩැක් සංයුක්ත දර්ශකය ඒකක 37කට ආසන්න අගයකින් ඉහල නැඟුනේ ය.

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු සංඛ්‍යා ලේඛන බියුරෝව විසින් නිකුත් කරන ලද ජනවාරි සේවා නියුක්ති වාර්තාව, මහා අවපාතයෙන් මෙපිට එලැඹි දරුනු ම රැකියා අර්බුදයෙන් වසර පහකට පසු තවමත් අසීරු ජීවන අරගලයක යෙදෙන කම්කරු පංතිය සම්බන්ධයෙන් ගත් කල කිසිසේත් ම දිරි ගන්වන සුලු එකක් නොවේ. සැබෑ රැකියා විරහිතභාවයේ මට්ටමට වඩා අතිශයින් ම ඌන තක්සේරුවකට ලක් වූ අගයක් වන නිල රැකියා වියුක්ති අනුපාතය, ඊට ඉහත මාසයේ පැවැති සියයට 7.8 සිට 7.9 දක්වා ඉහල ගොස් ඇත.

එක්සත් ජනපදයේ ගොවිපොල නොවන රැකියා වැඩි වී ඇත්තේ 157,000කින් පමනකි. මෙය නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පැවැති, පිලිවෙලින් 247,000ක් හා 196,000ක් වූ ඉහල නැඟුනු රැකියා වැඩිවීම්වලට වඩා ඉතා පහල අගයකි. රැකියාවල ශුද්ධ වැඩිවීම වසරකට පෙර, එ නම් 2012 ජනවාරියේ දී, පැවැති අගයෙන් යන්තම් අඩක් පමනෙකි.

ජනවාරියේ මුලු රැකියා සංඛ්‍යාව ද 2012 පැවැති මාසික සාමාන්‍යය වූ 181,000ට වඩා බෙහෙවින් අඩු අගයක් ගනී. තව ද මෙය, විරැකියා අනුපාතය සැලකිය යුතු ප්‍රමානයකින් අඩු කිරීමට අවශ්‍ය කෙරෙන රැකියා උත්පාදන වේගයට වඩා අතිශයින් ම අඩු මට්ටමකි. ජනවාරියේ දී අලුතින් එකතු වූ රැකියා ප්‍රමානයේ ශුද්ධ එකතුව රැකියා කරන වයස් සීමාවේ සිටින ජනගහනයේ සාමාන්‍ය මාසික වර්ධනය සමඟ යන්තමින් සමාන විමක් පමනි. රැකියා වෙලඳ පොලෙහි සැබෑ ගොඩ ඒමක් සඳහා ආර්ථිකය විසින් 200,000ට ඉතා වැඩි රැකියා ප්‍රමානයක් මාසික ව ජනනය කල යුතුව ඇත.

රැකියා වාර්තාවට මූල්‍ය වෙලඳ පොලෙන් පල වූ උද්‍යෝගීමත් ප්‍රතිචාරයෙන් අවධාරනය කෙරෙන්නේ වෙලඳ පොල පාලනය කරන්නා වූත් කොටස් හා බැඳුම්කර භාරයන්හි ඒකාධිකාරය උසුලන්නා වූත් මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ භාග්‍යය හා වැඩකරන පුලුල් මහ ජනතාවන්ගේ භාග්‍යය ද අතර ඇති මුලුමනින් ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ස්වභාවයයි. ඔබාමා පරිපාලනයේ හා ඇමරිකානු මහ බැංකු පද්ධතිය වන ෆෙඩරල් රිසර්ව්හි ද පිලිවෙත් විසින් ඔසොවා තබන ලද ධනවත්තු හා සුපිරි ධනවත්තු මෑත සති ගත කලේ වාර්තාගත සංයුක්ත ලාභ සහ තරවන කොටස් ආයෝජන ප්‍රමානයන්හි ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙමිනි.

කම්කරු පංතියට ඉමහත් විරැකියාවෙන් ද ඇද වැටෙන ජීවන තත්ත්වයන්ගෙන් ද ඉස්පාසුවක් නො වීය. මෙඩිකෙයාර්1, මෙඩිකේඩ්2 හා සෝෂල් සිකියුරිටි3 ආදී අති මූලික සමාජ (ආරක්ෂන ) වැඩ පිලිවෙලවල් මත පෙර නො ඇසූ විරූ කප්පාදු කිරීම් පැටවීමට ඔබාමා පරිපාලනය හා කොන්ග්‍රසය සූදානම් වන තතු යටතේ නරක ම දවස් උදා වනු ඇත්තේ තවත් ඉදිරියට ය.

වෝල් වීදියේ ගැනුම්බර තත්ත්වය තථ්‍ය ආර්ථිකයේ කිසිත් සැබෑ ගොඩ ඒමක් මත පදනම් වූවක් නො වේ. මේ සතියේ දී ම වානිජ දෙපාර්තමේන්තුව වාර්තා කලේ එක්සත් ජනපදයේ ආර්ථික නිෂ්පාදිතය 2012 සිව්වන කාර්තුවේ දී සැබැවින් ම හැකිලී ගිය බවයි. සියයට 0.1ක් වූ එම අඩු වීම 2009 ජූනියේ අවපාතයේ නිල අවසානයෙන් පසු සිදු වූ ප්‍රථම සංකෝචනයයි. තව ද බ්‍රහස්පතින්දා කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රාරම්භක රැකියා වියුක්ති හිමිකම් පෑම්වල තියුනු වැඩි වීමක් වාර්තා කලේ ය. එය ඊට ඉහත සතියේ පැවැති 38,000 සිට 368,000ක් දක්වා ඉහල ගොස් තිබිනි.

ජනවාරි රැකියා වාර්තාවේ සිරස්තල හොබවන ඉලක්කම් මඟින්, සිදු වෙමින් පවත්නා සමාජ ව්‍යසනයක් බොහෝ සෙයින් වසං කෙරෙයි. අද ඇත්තේ, නිල වශයෙන් අවපාතය ඇරඹුනු 2007 දෙසැම්බරයේ පැවැතියාට වඩා මිලියන 3.2කින් අඩු රැකියා සංඛ්‍යාවකි. රැකියා කරන වයසේ සිටින ජනගහනයේ යථා වර්ධනය සැලැකිල්ලට ගත් විට රැකියා හිඟයේ මුලු අගය මිලියන 8 ඉක්මවයි. වොෂිටනය පාදක කොට ගෙන ඇති ආර්ථික ප්‍රතිපත්ති ආයතනය, රැකියා වාර්තාව පිලිබඳ සිය විශ්ලේෂනයේ දී මෙසේ ලිවීය: "රැකියා හිඟය කෙතරම් විශාල ද යත්, ජනවාරියේ පැවැති වර්ධන වේගය අනුව අවපාත පූර්ව සමයේ පැවැති විරැකියා අනුපාතය කරා ආපසු පැමිනීමට 2021 වන තුරු කල් ගත වනු ඇත."

රැකියා වියුක්තියේ නිල අනුපාතය, දිවි රැක ගැනීම සඳහා ආර්ථිකය විසින් අර්ධ කාලීන රැකියා කිරීමට බල කෙරුනු මිලියන 8ක පමන ජනයා රැකියාවක් ඇති අය ලෙස ගනන් ගන්නා අතර පසුගිය මාස 12 තුල රැකියා සෙවීම අත හැර දැමූ මිලියන ගනනක ජනයා ද ගනන් ගැනීමෙන් බැහැර කරයි. සිය කැමැත්තෙන් තොර ව ඉබේ ම අර්ධ කාලීන කම්කරුවන් බවට පත් වූවන් ද පසුගිය වසරේ රැකියා සෙවූ එහෙත් පසුගිය මාසයේ එසේ නො සෙවූ 'සේවා නවතා ලූ' ජනයා ලෙස හැඳින්වෙන්නන් ද ඇතුලත් කම්කරු දෙපාර්තමේන්තුවේ "ඌන සේවා නියුක්ති" අනුපාතයයැයි කියනු ලබන අනුපාතය ඊට වඩා යථාර්ථයට සමීප ය. ජනවාරියේ දී සියයට 14.4ක් වූ එම අනුපාතයෙන් නියෝජනය වූ ජන සංඛ්‍යාව මිලියන 23ක් පමන විය.

එහෙත් මෙය පවා සැලකිය යුතු තරමේ අඩු තක්සේරුවකි. සිය සේවා නියුක්ති නිමානයන්හි දී එක්සත් ජනපද ආන්ඩුව, රැකියා සෙවීම අත හැර දමා ඇති මිලියන ගනනාවක 'සේවා නවතා ලූ' ජනයා ද තවමත් සිය ප්‍රථම රැකියාවට පය ගැසීමේ අවස්ථාව නො ලද මිලියන ගනනක් තරුනයන් ද නිශ්චිත ව ම කපා හරී. මිලියන 6ක් ඇමරිකානුන් ප්‍රාන්ත රාජ්‍ය මෙන් ම මධ්‍යම රජය විසින් ද දෙනු ලබන සියලු සේවා වියුක්ති ප්‍රතිලාභ ලබා අවසන් කොට ඇති බව තක්සේරු කොට ඇත. මේ සංඛ්‍යාව ඉදිරි මාසවල දී වේගයෙන් ඉහල නඟිනු ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සැබෑ විරැකියා අනුපාතය සියයට 20 පෙනෙන තෙක් මානයට පැමින ඇතැයි සිතිය හැකිය.

විරැකියාවේ නිල අනුපාතය 2009 ඔක්තෝබරයේ පැවැති සියයට 10ක් වූ ඉහල අගයක සිට ජනවාරියේ දී සියයට 7.9ක් දක්වා පහත වැටී ඇතත්, එම අඩුවීම බොහෝ දුරට ම ජනයා රැකියා වෙලඳ පොලෙන් ඉවත් ව යාමෙන් තවදුරටත් ගනන් ගැනීම්වලට ඇතුලත් නො වීමේ ප්‍රතිඵලයකි. ජනවාරියේ දී සියයට 58.6ක් වූ ජනගහනයට-අනුව-රැකියා-නියුක්තියේ අනුපාතය, රැකියා අර්බුදයේ වඩාත් නිරවද්‍ය මිනුම් දන්ඩක් ලෙස සැලකිය හැකිය. තවත් එ වැනි මිනුම් දන්ඩක් වන්නේ අවුරුදු 16ට වැඩි, සක්‍රිය ලෙස රැකියා සොයන ජනයා ඇතුලත් වන ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතයයි. ජනවාරියේ දී එහි අගය සියයට 63.6ක් වූ අතර මෙම දර්ශක දෙක ම මෙසේ පෙන්වා ඇත්තේ වසර 30ක් ඇතුලත වාර්තා වූ අවම අගයන් ය.

සිකුරාදා වාර්තාව රැකියා විරහිත ජන සංඛ්‍යාවේ තථ්‍ය වැඩි වීමක් පෙන්නුම් කලේ ය. ඒ මිලියන 12.2 සිට මිලියන 12.3 දක්වා වූ වැඩි වීමකි. එ මෙන්ම එය රැකියාවක් ඇති ජන සංඛ්‍යාව 110,000කින් පහත වැටී ඇති බව ද, රැකියා විරහිත ජන සංඛ්‍යාව 117,000කින් ඉහල ගොස් ඇති බව ද පෙන්වා දුන්නේ ය.

දීර්ඝ කාලීන විරැකියාව දිගටම ඉහල මට්ටමක රැඳී තිබේ. සති 27ක් හෝ ඊට වඩා කාලයක් රැකියාවක් නො මැතිව සිටි ජන සංඛ්‍යාව මිලියන 4.7 ඉක්මවා ඇති අතර එය රැකියා විරහිතයන් ලෙස ගනනයට ගැනුනු මුලු ගනනින් සියයට 38.1ක් නියෝජනය කරයි. ජනවාරියේ දී විරැකියා ප්‍රවර්තන කාලයේ සාමාන්‍යය සති 35.3කි. පසුගිය වසරේ සියයට 1.9කින් ඉහල ගිය සති පතා වැටුපේ සාමාන්‍යය, උද්ධමනය සමඟ යාන්තමින් සැසැඳී ඇත්තේ, කම්කරුවන්ගේ සැබෑ වැටුප්වල දීර්ඝ කාලීන පහත වැටීම දිගටම පවත්වා ගනිමිනි.

රැකියා අර්බුදය දිගින් දිගටම එහි විශාලතම වන්දිය ලබා ගෙන ඇත්තේ තරුන හා සුලු ජාතික කම්කරුවන්ගෙනි. ගැටවරයන් අතර විරැකියා අනුපාතය සියයට 23.4කි. අප්‍රිකානු ඇමරිකානුන්ගේ එම අනුපාතය සියයට 13.8ක් වන අතර හිස්පැනික්වරුන් අතර 9.7කි.

සිල්ලර වෙලඳාම්, ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා හා තොග වෙලඳාම් මාසය තුල අලුත් රැකියා එකතු කොට ඇති ක්ෂෙත්‍රයන් ය. නිෂ්පාදන ක්ෂෙත්‍රය යන්තමින් වර්ධනය වී ඇත. ශුද්ධ වැඩිවීම 4,000කි. ඉදිකිරීම් හා නිෂ්පාදන යන ක්ෂෙත්‍ර දෙකෙහි ම සේවා නියුක්තිය 2007 දී ඒවා තිබුනු මට්ටම් වලට වඩා බොහෝ සෙයින් පහත මට්ටම්වල රැඳී ඇත.

මේ නවතම මුස්පේන්තු වාර්තාවට ඔබාමා පාලනය ප්‍රතිචාර දැක්වූයේ සුපුරුදු ලෙස ම නො තකනසුලුබවේත් කුසීතකමේත් සංකලනයකිනි. සිකුරාදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේ කානේ පැවසුවේ, මෙම වාර්තාවේ තේරුම "රැකියා නිර්මානය කිරීම සම්බන්ධයෙන් සලකන කල අප ගමන් කරමින් සිටින්නේ නිවැරදි දිශාවට බවය" යනුවෙනි.

ඔබාමාගේ ආර්ථික උපදේශක මන්ඩලයේ සභාපති ඇලන් කෲගර් පසුගිය මාසික රැකියා වාර්තා තුනටම ප්‍රතිචාර වශයෙන් දෙසා වදාල වාක්‍යය යලිත් වචනයෙන් වචනයට පුනරුච්චාරනය කරමින් මෙසේ පැවසීය: "තවත් බොහෝ දේ කරන්නට ඇතත්, එක්සත් ජනපද ආර්ථිකය මහා අවපාතයෙන් මෙපිට එලැඹුනු නරක ම ආර්ථික පසුබැස්මෙන් ලද තුවාල තවදුරටත් සුව කර ගනිමින් සිටින බවට අද පලවූ රැකියා වාර්තාව වැඩිදුර සාක්ෂ්‍ය සපයයි."

මේ නිදිමත කථා මඟින් දැනුම් දෙන්නේ, රැකියා නිර්මානය කිරීමට හෝ මහා පරිමාන විරැකියාවෙන් ආර්ථික විනාශයට මුහුන පා සිටින මිලියන ගනනකට සහන සැපයීමට හෝ ඔබාමා පරිපාලනය විසින් කිසිදු බැරෑරුම් යෝජනාවක් ඉදිරිපත් නො කරනු ඇති බවයි. සිය දෙ වන පාලන කාලය තුල අරපිරිමැසුම හා අය වැය හිඟය අඩු කර ගැනීම කෙරේ තමන්ගේ ඇති සුවිශේෂී අවධානය තවත් ඉස්මතු කොට දැක්වීමට මෙන්, ඔබාමා 2011 ජනවාරියේ තමන් විසින් පිහිටුවන ලද රැකියා සහ තරඟකාරීත්ව මන්ඩලය කල් ඉකුත් වී අහෝසි වීමට ඉඩ හැරියේ ය. මෙම මන්ඩලය කවර දාකවත් මහජන කාර්ය සාධනයට හෝ රැකියා උත්පාදනය කිරීම සඳහා වූ වෙනත් ඕනෑම රාජ්‍ය වැඩ පිලිවෙලකට ඔහුගේ පැවැති විරුද්ධත්වයේ නිරුවත ආවරනය කර ගැනීම සඳහා යොදා ගැනුනු දිඹුල් කොලයකට වැඩි යමක් වූයේ නැත. ජෙනරල් ඉලෙක්ට්‍රිකල් හි ප්‍රධාන විධායක ජෙෆ්‍රි ඉමෙල්ට් විසින් නායකත්වය දරන ලද එහි ආධිපත්‍යය ඉසුලුවේ මහා ව්‍යාපාරයි.

එතෙකුදු වුවත්, මෙම මන්ඩලය ඔබාමා විසින් විසුරුවා හරිනු ලැබීම ඔහුගේ න්‍යාය පත්‍රයේ රැකියාවල ප්‍රමුඛත්වය පහලට දැමීමත්, හිමිකම් වැඩපිලිවෙලවල් කප්පාදු කිරීම එහි මුදුනට ඒමත් සංකේතවත් කරන්නකි.

මාධ්‍ය සමහරක් රැකියා වාර්තාව පිලිබඳ වෝල් වීදියේ සතුට පිලිබිඹු කරමින් එය සුරංගනා කථාවක එන "ගෝල්ඩිලොක්ගේ" වාර්තාව ලෙස හඳුන්වා දී ඇත. එය වෙලඳ පොලෙහි අවතාර මවා භීතියෙන් මුසපත් කිරීමටත්, කොටස් ආයෝජන හා ලාභ කෙරේ නිෂේධාත්මක බලපෑමක් ඇති කිරීමටත් තරම් දුබල නැත; වැඩි වැටුප් ඉල්ලීමටත්, වැඩ වේගවත් කිරීම්වලට හෝ ෆෙඩරල් රිසර්ව් යන ඇමරිකානු මහ බැංකු විසින් ගෙන යනු ලබන, බැංකු හා මූල්‍ය ආයතනවලට සැබැවින් ම නොමිලේ නය සම්පාදනය කරන්නා වූ මුදල් අච්චු ගැසීමේ "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" වැඩ පිලිවෙල නවතා දමන ලෙස ප්‍රතිරෝධය දැක්වීම සදහා කම්කරු පංතියට දිරි දීමට තරම් ප්‍රබල ද නැත.

බැංකු හා ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධයෙන් ගත් කල මහජන විරැකියාවේ පවත්නා බලපෑම, වැටුප් මට්ටම් සිඳ බිඳ දැමීමට හා සමාජ වියදම් කපා හැරීමට රුකුලක් වන අතර ම, රැකියා සම්පාදනයේ නාමයෙන් දිගින් දිගට ම මූල්‍ය වත්කම් පිම්බීමටත් වෝල් වීදියේ සමපේක්ෂන ප්‍රතිරක්ෂනය කිරීමටත් රජයට ව්‍යාජ හේතුවක් සපයා දෙයි.

_________________________________________________________________________

1. මෙඩිකෙයාර් - ඇඑජහි ජාතික සමාජ රක්ෂන වැඩ පිලිවෙල

2. මෙඩිකේඩ් - අඩු ආදායම් ලාභීන් සඳහා වෛද්‍යාධාර ලබා දීමේ වැඩ පිලිවෙල

3. සෝෂල් සිකියුරිටි - මහලු හා ආබාධිත ජනයා සඳහා වන රක්ෂන වැඩ පිලිවෙල

Share this article: