කම්කරුවන්ට ඩිමොක්‍රටිකයන් වෙත විශ්වාසය තබන්නැයි කියමින් වෘත්තීය සමිතිය නිව්යෝර්ක් පාසැල් බස් වර්ජනය අත්හරියි

Union calls off New York school bus strike, telling workers to rely on Democrats

By Bill Van Auken , 16 February 2013

නිව් යෝර්ක් නාගරික බස් කම්කරුවන්ගේ මාසයක් පුරා පැවැති වර්ජනය අවසන් කිරීමට තීරනය කරන ලදැයි සිකුරාදා රාත්‍රියේ කල නිවේදනය, වෘත්තීය සමිති විසින් කරන ලද තුච්ඡ පාවාදීමකි. එහි දුර දිග යන ප්‍රතිවිපාකවලට බස් කම්කරුවන්ට ද සමස්ත කම්කරු පංතියට ම ද මුහුන දීමට සිදු වනු ඇත.

රැකියා හා ජ්‍යෙෂ්ඨත්ව අයිතීන් ආරක්ෂා කෙරෙන වසර 33ක් පුරා බල පැවැත් වූ කොන්ත්‍රාත් විධිවිධානයක් අහෝසි කරනු නො දී රැක ගනු සඳහා ජනවාරි 16 දින වර්ජනයට එලැඹුනු 9,000ක් රියැදුරන් රථ වාහන පාලිකාවන් හා කාර්මිකයන් නියෝජනය කරන ඒකාබද්ධ මාර්ගස්ථ සමිතියේ 1181වන ශාඛාව, ශීත ඍතුවේ-මැද දෙ දින නිවාඩුවකින් පසු ලබන බදාදා - පෙබරවාරි 20 දා - පාසැල් යලි ඇරඹෙන විට ආපසු වැඩට යන ලෙස සිය සාමාජිකත්වයට දැනුම් දුන්නේ ය.

කම්කරුවන් වර්ජනයට එලැඹුනු තතුවල කිසිදු වෙනසක් සිදු වී නැත. නගර පාලනය පෞද්ගලික බස් සමාගම්වලට නව කොන්ත්‍රාත්තු පිරිනමන විට දහස් ගනනකට සිය රැකියා අහිමිවනු ඇත. තම රැකියා රැක ගැනීමට සමත්වන්නන්ට වැටුප් හා ප්‍රතිලාභයන්හි දරුනු කප්පාදු කිරීම් සඳහා වන බලකිරීම්වලට මුහුන පෑමට සිදු වනු ඇත.

වසරකට ඩොලර් 35,000ක් ලබන කම්කරුවන්, තම රැකියා විනාශ කිරීමට ද වැටුප් කපා හෙලීමට ද මං සෙවූ ඩොලර් බිලියන 26ක පමන වත්කමකට හිමිකම් කියන පුරපති මයිකල් බ්ලූම්බර්ග්ට මුහුන ලා ගැටුනු මෙම වර්ජනය, එහි පටන් ගැන්මේ සිට ම නිව් යෝර්ක් නගරයේ හා රට පුරාම ද පවත්නා අතිමහත් වූ පංති බෙදුමට සුපැහැදිලි ප්‍රකාශයක් ලබා දුන්නේ ය. බොහොමයක් ලෝක ගෝලයේ සෑම අස්සක් මුල්ලකින් ම ඇද ගැනුනු සංක්‍රමනිකයන් වන මේ කම්කරුවන් පල කල අධිෂ්ඨානය, බ්ලූම්බර්ග් විසින් පුද්ගලාරෝපිත මූල්‍ය ප්‍රභූ පැලැන්තියට එරෙහි සැබෑ සටනක් දකිනු රිසි වූ නිව්යෝර්කයේ, සමස්ත එක්සත් ජනපදයේ හා සත්තකින් ම ලොව පුරා ම ද කම්කරු පංතියට අනුප්‍රනයක් ලබා දුන්නේ ය. කෙසේ වෙතත්, සිකුරාදා එහි ක්‍රියා පටිපාටිය විසින් ඉස්මතු කෙරුනු පරිදි, කම්කරුවන් නියෝජනය කිරීමට නියමිත වෘත්තීය සමිතිය කම්කරුවන්ගේ ජීවනෝපායයන් රැක ගැනීම සඳහා වූ අරගලයක ප්‍රධාන බාධකය බවට පත්ව ඇත.

ඒටීයූවේ 1181වන ශාඛාවේ සභාපති මයිකල් කෝඩියෙලෝ හා ඒටීයූවේ ජාත්‍යන්තර සභාපති ලැරි හැන්ලි කම්කරුවන්ට පැවසුවේ නිව්යෝර්ක් පුරපති ධුරයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටින අපේක්ෂකයන් පස් දෙනා විසින් අත්සන් තබා ඇති ලිපියක් මත පදනම්ව ඔවුන් ආපසු වැඩට යා යුතු බව යි. වර්ජනය අවසන් කරන ලෙස ඉල්ලා සිටි මෙම පස් දෙනා, තමන් තේරී පත් වුවහොත් "පාසැල් ප්‍රවාහන පද්ධතිය හා කොන්ත්‍රාත්තු යලි සලකා බලන බවට" ප්‍රතිඥා දුන්හ.

මෙය ප්‍රෝඩාවකි. පාලක පංතිය විසින් නිර්මිත ආර්ථික අර්බුදයට කම්කරු පංතිය ගෙවිය යුතු යැයි බලකිරීමෙහි ලා ඩිමොක්‍රටිකයන්ට ඇති අධිෂ්ඨානය රිපබ්ලිකනයන්ට වඩා අඩු එකක් නොවේ. කෙසේවෙතත්, එය වෘත්තීය සමිති පාලනය කරන, ඉහල ගෙවීම් ලබන නිලධරයන්ගේ සේවය ලබා සිදු කිරීමට ඔවුහු වඩාත් කැමැත්තෝ ය. මුල පටන් ම ඒටීයූව මෙම වර්ජනය දුටුවේ තමන්ගේ ම තැන රැක ගැනීමේ මාර්ගයක් ලෙස ය. එහි දී දේශපාලන සංස්ථාපිතය හා සංස්ථාවන් සමඟ සමිතියේ සම්බන්ධතා තුල කම්කරුවෝ හුදු ඉත්තන් ලෙස භාවිත කරන ලදහ.

ආපසු වැඩට යාම සාකච්ඡා කිරීමට සාමාජිකත්වයේ රැස්වීමක් කැඳවීමෙන් 1181 ශාඛාවේ නායකත්වය වැලැකී සිටියේ, සාමාන්‍ය කම්කරුවන් කෙරේ තමන්ට පවත්නා යුක්ති සහගත භීතිය පිලිබිඹු කරමිනි. ඒ වෙනුවට මෙම නිවේදනය සිදු කෙරුනේ කිසිදු සාකච්ඡාවකින් තොර, පරීක්ෂාකාරීව තෝරා ගත් ප්‍රශ්නවලට පමනක් ඉඩ දෙමින්, දුරකථන හරහා සිදු කෙරුනු "පොදු රැස්වීමකිනි." සමිතියේ ප්‍රකාශකයෙක් එහි ආරම්භයේ දී ම සඳහන් කලේ, ඇත්තෙන් ම කිසිදු සාමාජිකයෙකුට කථා කිරීමට ඉඩ දිය නො හැකි තරමට අති විශාල සංඛ්‍යාවක් ප්‍රශ්න ඉදිරිපත් වී ඇති බව යි.

ඒටීයූවේ අතුරු ව්‍යවස්ථාවන්ට අනුව වර්ජනයක් අවසාන කිරීමට සාමාජිකත්වයේ ඡන්දයක් විමසිය යුතු බව සාමාන්‍ය කම්කරුවන් පැවසූ අතර, එදින සවස් භාගයේ පැවැති අප්‍රකාශිත රැස්වීමක දී ශාඛාවේ විධායක මන්ඩලය වර්ජනය නවතා දැමීමට ඡන්දය දෙන ලදැයි පවසමින් කෝඩියෙලෝ එම අවශ්‍යතාව අත්හැර දැමී ය.

වර්ජනයට ප්‍රස්තුත වූ විෂයය අතිශය වැදගත් එකකි: ඒ, ලංසු තැබීමෙන් කවර සමාගමක් කොන්ත්‍රාත්තුව දිනා ගත්ත ද බස් රියැදුරන්ගේ රැකියා සුරක්ෂිත කෙරෙන සේවා ආරක්ෂන විධිවිධාන (ඊපීපී) රැක ගැනීම යි. ඊපීපී විධිවිධාන නොමැති විට ජ්‍යෙෂ්ඨ කම්කරුවන් දොට්ට දමා අඩු වැටුපට අර්ධ-කාලීන ශ්‍රම බලකායක් යොදා ගනිමින් ලාභ පොදි තර කිරීමට බස් සමාගම්වලට ඉඩ ලැබේ.

බ්‍රහස්පතින්දා තම වාර්ෂික පුරපති දේශනයේ දී, ස්වකීය අරගලය "අසාර්ථක ප්‍රයත්නයක්" ලෙස සලකා අත හැර දමන්නැයි කම්කරුවන්ට බල කරමින්, සාර්ථක ව වර්ජනය බිඳ දැමීම පිලිබඳව පම්පෝරි ගැසූ බ්ලූම්බර්ග්, වියදම් කැපීමේ පියවරක් වශයෙන් නගර පාලනය විසින් රැකියා සහතික කිරීම අත් හැර දමනු ලැබ ඇතැයි තිර කොට පැවසීය.

මේ කථාවේ කොටසක් පමනකි. තමන්ට විශාල සහනයන් ලබා දීමට පැහැදිලිව ම කැමැත්තෙන් සිටියා වූ ද, කිසිදු සැබෑ අරගලයකට නායකත්වය දීමට අකැමැති ව සිටියා වූ ද සමිති නායකත්වය හා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කල බ්ලූම්බර්ග්, එමඟින් හිතාමතා ම වර්ජනයක් අවුස්සා ගැනීමට ප්‍රකෝපකරනයේ යෙදෙමින්, පාසැල් බස් රියැදුරන් ඉලක්ක කලේ ය. ඔහුගේ අරමුන වූයේ කුඩු පට්ටම් කෙරෙන පරාජයක් (ඔවුන්ට) අත් කර දී, එමඟින් සමස්ත නාගරිකයේ ශ්‍රම බලකායට නව ප්‍රහාර රැල්ලක් එල්ල කිරීම සඳහා වේදිකාව සකසා ගැනීම යි.

ඔහුගේ සාර්ථකත්වයට, හුදු ඒටීයූව හා 1181 ශාඛාව විසින් පමනක් නොව, පාසැල් බස් කම්කරුවන් ආරක්ෂා කිරීමට ඇඟිල්ලක් හෝ එසැවීම ප්‍රතික්ෂේප කල නගරයේ සියලු ප්‍රධාන වෘත්තීය සමිති විසින් ද ඉඩ සලසන ලදී. මේ සමිති හැමෙකක් ම තමන්ගේ ම කම්කරුවන්ගේ වියදමින් (ධනපතීන්ට ) සහන දීමට සූදානම් වෙමින් සිටිති.

සිව් වසරක් පුරා නව කොන්ත්‍රාත්තුවක් නොමැති ව වැඩ කරමින් සිටින්නා වූත්, ලක්ෂ 2ක් වූ සිය සාමාජිකත්වය, පාසැල් බස් රියැදුරන් සමඟ සමීප ව සේවය කරන්නා වූත්, එක්සත් ගුරු සම්මේලනය (යූ එෆ් ටී) වර්ජකයන් ආරක්ෂා කිරීමට කිසිවක් නො කලේ ය. ඒ වෙනුවට යූඑෆ්ටීය මහා ව්‍යාපාරයන්හි නායකයන් සමඟ පාසැල් ප්‍රවාහන වියදම් කපා හැරීම සඳහා යෝජනා පිලියෙල කිරීමට රාජ්‍ය කොමිසම් තුල එකට ක්‍රියා කලේ ය. බ්ලූම්බර්ග් විසින් දැන් ක්‍රියාවට නංවා ඇත්තේ එම යෝජනාවන් ය.

වසරකට ඉහත දී සිය කොන්ත්‍රාත්තු කල් ඉකුත් වී ඇති බස් හා උමං මාර්ග කම්කරුවන් 35,000ක් නියෝජනය කරන ප්‍රවාහන කම්කරු සමිති 100වන ශාඛාව සිය ප්‍රවාහන කම්කරු සගයන් ආරක්ෂා කිරීමට කිසිවක් ම කලේ නැත. ඒ හා සමානව ම අලුත් ගිවිසුම් අත්සන් කිරීමෙන් තොර ව වැඩ කරන නාගරික කම්කරුවන්ගේ ඒඑෆ්එස්සීඑම්ඊ සමිතියේ ශාඛා සම්බන්ධයෙන් ද තතු එපරිදිම ය.

පාසැල් බස් කම්කරුවන්ගේ අරගලය හුදෙකලා කිරීමට මේ සමිති එක් ව ක්‍රියා කලෝ ය. ඊට හේතු වූයේ ඔවුන්ගේ අරගලයට පල වූ අනුවේදතාවේ හෝ සහයෝගයේ කිසියම් අඩුවක් නො වේ. ඒ වෙනුවට ඊට හේතු වූයේ කම්කරුවන්ගේ ද, ඔවුන් නියෝජනය කරන බව කියන වෘත්තීය සමිතිවල ද ලැදිකම්වල පවත්නා තියුනු පතිවිරුද්ධ ස්වභාවය යි. මේ සමිති, තමන් ද කොටසක් වන මූල්‍ය හා දේශපාලන සංස්ථාපිතය සමඟ තමන් පවත්වා ගෙන යන සම්බන්ධතාවයන් කඩා බිඳ දැමීමට හේතු විය හැකි කවර හෝ මහජන අරගලයක් දකිනු නො රිස්සෝ වෙති.

ඔවුන්ගේ ස්ව-ශක්තිය මත විශ්වාසය තබා අරගලය තුල කම්කරු පංතියේ පලල් ස්ථරයන්හි සහාය බලමුලු ගන්වා ගැනීමට සටන් කරනු වෙනුවට, ඒටීයූ නිලධරය සිකුරාදා රාත්‍රි දුරකථන මන්ත්‍රන ඇමතුම්වල දී කම්කරුවන්ට පැවසුවේ ඔවුන්ගේ විශ්වාසය එක් අතෙකින් ඩිමොක්‍රටිකයන් මත ද අනෙක් අතින් බස් කොන්ත්‍රාත්කරුවන් විසින් ගොනු කෙරී ඇති නඩු මත ද රඳවන ලෙස ය.

කෝඩියෙලෝ සටකපට ලෙස ප්‍රකාශ කලේ, ලබන ජනවාරියෙන් පසු "අප තවමත් මෙහි හිඳිනු ඇත, එහෙත් පුරපති බ්ලූම්බර්ග් යන්නට ගිහින් ය," යනුවෙනි. එහෙත් නව ලංසුවලට කොන්ත්‍රාත්තු පිරිනැමීම මත පදනම්ව 2,300ක් පමන බස් රියැදුරන්, රථවාහන පාලිකාවන් හා කාර්මිකයන් ද ඒ වනවිට සිය රැකියා අහිමි වීම නිසා "යන්නට ගිහින් ය."

හැන්ලි පවසන්නේ කම්කරුවන් මුහුන පා සිටින එක ම සැබෑ ප්‍රශ්නය "කිසියම් හේතුවක් නිසා පුරපති වශයෙන් තමා ගත කරන අවසාන වර්ෂය තුල පාසැල් බස් කම්කරුවන් මහජන සතුරන් බවට පත් කිරීමට තීරනය කොට සිටින එක් ඇට්ටර කෝටිපතියෙක්" බැව් ඩිමොක්‍රටිකයන්ගේ ලිපියෙන් පෙන්වා දී ඇති බව යි.

මෙය දැන දැන ම කියන බොරුවකි. බ්ලූම්බර්ග්ගේ ප්‍රතිපත්ති නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂික ආන්ඩුකාර ඇන්ඩෲ කූමෝ හෝ, තවදුරටත් කිවහොත් ඩිමොක්‍රටික් ජනාධිපති බරක් ඔබාමා හෝ විසින් අනුයනු ලබන ප්‍රතිපත්තීන්ගෙන් මූලික ව නො වෙනස් ය.

පුරපති ධුරය අපේක්ෂා කරන ඩිමොක්‍රටිකයන් පස් දෙනාගේ පොරොන්දු ඒවා ලියා ඇති කඩදාසිය තරම්වත් නො වටී. සිය ධුරයට පැන ගැනීමෙන් පසු ඔවුන් කිසි ලෙසකිනුත් චිකාගෝහි රාම් එමෑනුවෙල් වැනි ඩිමොක්‍රටික් පාක්ෂික පුරපතිවරුන්ගෙන් වෙනස් වනු නැත. එමෑනුවෙල් පසුගිය වසරේ ගුරු වෘත්තීය සමිතියේ සහයෝගය ලබමින් වර්ජනයක් මැඬ පැවැත්වූ අතර දැන් ඔහු පාසැල් වසා දැමීමේ ද ගුරුවරුන් සේවයෙන් දොට්ට දැමීමේ ද අධ්‍යාපන සේවකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ ද නිරත ව සිටී.

වර්ජනය නිමා කිරීම සඳහා පදනම් වී යැයි කියනු ලබන දෙවන කාරනය ද මේ තරම් ම සාහසික බොරුවකි. බස් කොන්ත්‍රාත්තුව දැනට හිමි ව සිටින කොන්ත්‍රාත්කරුවන්, ලංසු තැබීමේ දී තමන්ට තරඟකාරී වීමට ඉඩ සලසමින් ඊපීපී රැකියා ආරක්ෂන කොන්දේසි තම ගිවිසුම්වලින් ද ඉවත් කරන්නැයි ඉල්ලා පවරා ඇති නඩු නිසා හිත සනසා ගන්නා ලෙස සමිතිය කම්කරුවන්ට කියයි. සමිතියට අනුව මෙම නඩු, ඩිමොක්‍රටික පුරපතියෙක් පත්ව ඔවුන් ගලවා ගන්නා තුරු නව ගිවිසුම් උසාවියේ ගැට ගසා තැබීමට ආධාරවනු ඇත.

සමිති නිලධාරීන් විසින් භාර ගැනුනු ප්‍රශ්න අතර එකක් වූයේ, 1181 ශාඛාව සමාගම්කරුවන් ඉල්ලා ඇති සියයට 20ක වැටුප් කප්පාදුව පිලිබඳ ව සාකච්ඡා කරමින් සිටින්නේ ය යන්න ඇත්තක් දැයි කම්කරුවෙකු මතු කල ප්‍රශ්නය යි. එවැන්නකට ඇති ඉඩකඩ ප්‍රතික්ෂේප නො කල කෝඩියෙලෝ, සාකච්ඡා "දුෂ්කර වනු ඇතැ"යි අනතුරු හඟවමින් ප්‍රකාශ කලේ "කොන්ත්‍රාත්කරුවන් තරඟකාරී විය යුතුව ඇති" බව යි.

"අපට කොන්ත්‍රාත්තුවක් නැති නම් ආපසු යාමේ තේරුම කුමක් දැ"යි දැන ගැනීමට තවත් කම්කරුවෙකුට අවශ්‍ය විය. ශාඛා සභාපති ඊට පිලිතුරු දෙමින් කීවේ පසුගිය වාරයේ සාකච්ඡා අවුරුද්දකට වඩා පැවැති බව යි. ප්‍රශ්නය ඇසූ කම්කරුවාට එතෙක් කල් පිකට් වැටේ සිටීමට වුවමනාදැයි ඔහු පෙරලා ඇසී ය.

දුරකථන සංවාද සැසියෙන් පසු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කථා කල බස් වර්ජිකාවක් කම්කරුවන් අතර පුලුල් ව පැතිර ඇති කෝපය ප්‍රකාශ කලා ය. "අප මෙයින් දිනා ගන්නට යන්නේ කුමක් දැයි මට නම් තේරෙන්නේ නැහැ," ඇය කීවා ය. "කිසිම දෙයක් විසඳුනේ නෑ. අප දැන් ඉන්නේ වර්ජනය ආරම්භ කරන විට සිටියාට වඩා නරක තැනක යි. කොන්ත්‍රාත්කරුවන් සියයට 20ක වැටුප් කප්පාදුවක් ඉල්ලනවා. ඔවුන් අපේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ගෙවන්න කැමති නෑ. අපේ නිවාඩු ගෙවීම් හා අනෙක් පහසුකම්වලට පහර දෙන්න ඔවුන් කටයුතු කරනවා."

"හැන්ලි සහ කෝඩියෙලෝ කියන්නෙ අප දේශපාලනික විය යුතු බව යි. ඒත් එයින් ඔවුන් අදහස් කරන්නෙ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරී කමිටුවට වැඩි වැඩියෙන් මුදල් එවිය යුතු බව යි. ඩිමොක්‍රටිකයන් කිසිම දෙයක් රකින්නෙ නැහැ. පුරපති අපෙක්ෂකයන් එන්නේ අපේ ඡන්ද ගන්න යි. ඔවුනුත් ජනාධිපති හා අනෙක් දේශපාලනඥයො වගේ ම හොරු.

"සමිතිය කවදාවත් සාමාජික රැස්වීමක් කැඳවන්න තරම් ශිෂ්ට සම්පන්න වුනේ නෑ. ඔවුන් බයගුල්ලෝ. ඔවුන් දුර්වලයි. ඔවුන්ට සාමාජිකත්වයට මුහුන දෙන්න බෑ. ඒකයි ඔවුන් ඒක දුරකථන මඟින් කලේ."

Share this article: