එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවට ඉදිරිපත් කල වාර්තාව

Report to the Second National Congress of the Socialist Equality Party

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2012 නොවැම්බර් 27

සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන සමුලුව දැන් අපි ආරම්භ කරන්නෙමු. මෙම සමුලුව පවත්වන්නේ 1930 ගනන්වලින් මෙපිට ඇමරිකානු හා ලෝක ධනවාදයේ හට ගෙන තිබෙන බරපතල ම ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. සමස්ත ජාත්‍යන්තර පද්ධතියේ ම පවත්නා ආන්තික අස්ථාවරත්වය හඳුනා ගැනීමට මාක්ස්වාදියෙකු වීම ම අවශ්‍ය නැත... ධනේශ්වර මාධ්‍යවල ප‍්‍රකාශයන්ගෙන් නිශ්චය කල හැක්කේ “මහා ව්‍යසනයේ” න්‍යාය විශාල ශ‍්‍රාවක පක්ෂපාතිත්වයක් දිනා ගෙන ඇති බව ය... ලේමන් බ‍්‍රදර්ස් සමාගම නාටකීයව බිඳ වැටුනු 2008 සැප්තැම්බරයේ පටන් සිව් වසරක් ගෙවී ගිය තැන ලෝක ආර්ථික අර්බුදය පහව යාමේ සලකුනක් හෝ දක්නට නැත.

රැකියා වර්ධනය ඇන හිටීම සහ එක්සත් ජනපදය තුල කාර්මික නිෂ්පාදනයේ පරිමාව තියුනු ලෙස පරිහානියට පත් වීම “ප‍්‍රකෘතිමත් වීමක්” ඇරඹී ඇති බවට කරනු ලබන ඔබාමා පාලනයේ ප‍්‍රකාශ විකාරයක් බවට පත් කර තිබේ. එක්සත් ජනපදයේ ආර්ථිකයේ සැලකිය යුතු හා කල් පවතින පුනර්ජීවනයක ශක්‍යතාව යුරෝපයේ සහ ආසියාවේ උග‍්‍ර වන පසුබෑම මගින් පිරිහෙලනු ලැබ ඇත. චීන හා යුරෝපීය මහ බැංකු පසු ගිය දිනෙක එක වර පොලී අනුපාත කපා හැරීමත් සමග අත්වැල් බැඳ ගෙන එංගලන්ත මහ බැංකුව තම උත්තේජක වැඩ සටහන කඩිනම් කිරීමට ගෙන ඇති තීන්දුව ලෝක ආර්ථිකයේ තත්වය වේගවත් ලෙස පිරිහෙමින් පවත්නා බවට පාලක පන්තිය ම ඒත්තු ගෙන සිටින බවට සාක්ෂි ය.

මෙය පද්ධතිමය අර්බුදයක ස්වභාවය ගනී. දෙවන ලෝක සංග‍්‍රාමයෙන් ඉක්බිත්තේ ලෝක ධනවාදයේ වර්ධනයට හා තහවුරු වීමට කේන්ද්‍රීය වූ ආයතන බිඳ වැටෙමින් පවතී. යුරෝ මුදලේ අසාධ්‍ය අර්බුදය යුරෝපීය “සමගියේ” අසාර්ථකත්වය පිලිබඳ පෙරනිමිත්තකි. බොහෝ දුරට පාලක පන්තීන්ගේ ම අදූරදර්ශී බවින් අවුලුවාලන ලද අර්බුදයට කිසිදු විශ්වසනීය ප‍්‍රතිකාරයක් ඔවුන්ට ඇත්තේ නැත. ඔවුහු පන්තියක් ලෙස දේශපාලනිකවත් සදාචාරාත්මකවත් බංකොලොත්ව සිටිති. “ලාභය, භාන්ඩ නිෂ්පාදනය සහ වෙලඳාම තුලින් උකහා ගන්නවා වෙනුවට වඩ වඩාත් මූල්‍යකරනය මගින් සිදු කෙරෙන සමුච්චය රටාවක්” ලෙස සමකාලීන අර්ථ ශාස්ත‍්‍රඥයෙකු විසින් නිර්වචනය කරන ලද මූල්‍යකරනය පිලිබඳ සංසිද්ධිය(1) විසින් ප‍්‍රකාශිත කරනු ලබන පරපුටු භාවයේ ජයග‍්‍රහනය සමග ධනේශ්වර සමාජය සාපරාධී බවේ පතුලට ම කිඳා බසිමින් තිබේ.

බර්ක්ලේ බැංකුව ලිබෝර් හෙවත් ලන්ඩන් අන්තර් බැංකු පිරිනැමුම් අනුපාතය දුෂ්පරිහරනයෙහි යෙදවූ බවට පිලිගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස නවතම සෝලිය එලි බැස ඇත. එම බැංකුව මෙම වංචාවට සම්බන්ධ ආයතනවලින් එකක් බවට වාදයක් නැත. ලිබෝර් හොරට නියම කිරීමේ ඇඟවුම් හා බලපෑම සාකල්‍යයෙන් ම මෙතෙකැයි කිව නොහැකි විපාක සහිත ය. ලිබෝර් මගඩිය සමාන වන්නේ මූල්‍යමය වශයෙන් ලෝක කී‍්‍රඩා තරගයක ප‍්‍රතිඵල කල් තබා හොරට තීන්දු කිරීමකට ය. ලිබෝර් වනාහි ලෝකය පුරා දෛනිකව කෙරෙන නිමක් නැති වානිජ්‍ය ගනුදෙනු සඳහා බැංකු නය පොලී අනුපාත තීන්දු කරන පාදක ලක්ෂ්‍යය යි.

වසර 92කට පමන පෙර මූල්‍යකරනය අදට වඩා බෙහෙවින් නොදියුනුව පැවති අවධියක ට්‍රොට්ස්කි එහි ස්වභාවය මෙසේ නිරීක්ෂනය කලේ ය: “ජාත්‍යන්තර මංකොල්ලයේ පදනම උඩ සමපේක්ෂනය මගින් දින කිහිපයක් තුල සිය ප‍්‍රාග්ධනය දෙගුනයක් හෝ දස ගුනයක් වැඩි කර ගැනීමට ඇබ්බැහි වූ ධනපති උන්නැහේලාට ලාභසේවී ආර්ථිකයේ පදනම වන නිෂ්පාදන කි‍්‍රයාවලිය මගින් ක‍්‍රමානුකූලව අතිරික්ත වටිනාකම් උපුටා ගැනීම වැඩකට නැති කම්මැලි රස්සාවක් ලෙස පෙනී යයි.”(2) ආර්ථික ක්ෂේත‍්‍රයෙහි නීත්‍යනුකූල භාවයේ බිඳ වැටීම දේශපාලන ක්ෂේත‍්‍රයේ බිඳ විසිර යාමක් ලෙස පිලිබිඹු වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමට යටින් පවතින්නේ ධනේශ්වර සමාජය වසා ගෙන ව්‍යාප්ත වෙමින් පවත්නා පරපුටු භාවය යි. අවනීතිය ධනපති සමාජයේ මුදුන් අරක් ගෙන තිබේ. බුෂ් ගෝර්ට එරෙහිව 2000 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරනය වෙත පිය නැගූ අවස්ථාවේ මම මෙසේ කීවෙමි: “පාලක පන්තිය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සඳහා කිසි යම් සමාජ ආධාරකයක් තව මත් ඉතිරිව ඇත් නම්, එය කොතරම් දැයි මෙම නඩුවේ තීන්දුව පෙන්නුම් කරනු ඇත.” සංස්ථාපිතයේ කිසිදු සැලකිය යුතු කොටසකගේ විරුද්ධත්වයකින් තොරව ම ශ්‍රේෂ්ඨාධිකරනය බුෂ්ගේ මැතිවරන කොල්ලය අනුමත කලේ ය. ඉන් ඉක්බිතිව ගත වූ දශකය තුල අතිමූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට අතොරක් නැති ප‍්‍රහාර එල්ල කොට ඇත. දැන් අප ජීවත් වන්නේ අමූලික මුසාවාද පදනම් කර ගෙන යුද්ධ දියත් කරන, වධබන්ධන කරන, නීතියේ කිසිදු පිලිගත හැකි කි‍්‍රයාවලියකින් තොරව ඇමරිකානු පුරවැසියන් ද ඇතුලුව ලෝකය පුරා ජනතාව මරා දැමීමේ අයිතියක් ඇති බව කියා සිටින, ආන්ඩුවක් ඇති රටක් තුල ය. ඝාතනයන්ට නියෝග දුන් ප‍්‍රථම ජනාධිපති ඔබාමා නොවන බවට උපකල්පනය කිරීමට අපට හැකි වනු විය හැකි ය. එහෙත් ඒ ගැන පුරාජේරු දෙඩවූ ද සිය කාලයෙන් සැලකිය යුතු කොටසක් නීතියට පිටින් සිදු කරන ඝාතන වැඩ සටහනේ ගොදුරු තේරීමටත් අධීක්ෂනයටත් මිඩංගු කරන බව ප‍්‍රකාශයට පත් කලා වූ ද පලමු වැනියා ඔබාමා ය.

නීති විරෝධී හා නීතියට පිටින් සිදු කරන ඝාතන වැඩ සටහන තුල ඔබාමාගේ මුඛ්‍ය කි‍්‍රයා කලාපය හුවා දක්වන නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපියකින් පසුව හිටපු ජනාධිපති ජිමී කාටර් ඔබාමාගේ කි‍්‍රයා කලාපයට ප‍්‍රසිද්ධියේ සිය විරෝධය පල කලේ ය. කාටර් දේශපාලන නොදරුවෙක් නො වේ. එහෙත් ආන්ඩුව විසින් ධනේශ්වර පාලනයේ ව්‍යවස්ථාමය පදනම් අත හැර දැමීමේ ප‍්‍රතිවිපාක පිලිබඳව ඔහු බිය පල කරයි. එක්සත් ජනපද ආන්ඩුවෙහි නීතිමය සුජාත භාවයේ අත්‍යවශ්‍ය මූලාශ‍්‍රය ව්‍යවස්ථාව බව ඔහු දනී. සංරක්ෂනය, ආරක්ෂනය සහ සුරක්ෂනය කරන බවට ජනාධිපති විසින් දිවුරුම් දෙන ලද ව්‍යවස්ථාවේ බලයෙන් තොරව රාජ්‍යයට නීතිමය සුජාත භාවයක් ඇත්තේ නැත. ව්‍යවස්ථාවාදය අත හැර දමන තාක් දුරට පාලක පන්තිය විවෘතව ම පෙර නොවූ විරූ තරම් එලිපිට බලයේ හා ප‍්‍රචන්ඩත්වයේ සරන යා යුතු ය.

ව්‍යවස්ථාමය මූලධර්ම අත හැර දැමීම සලකුනු කරන්නේ හුදෙක් ආන්ඩුවක ප‍්‍රතිපත්ති වෙනසක් පමනක් නො වේ. එය සමාජයේ ප‍්‍රධාන පන්තීන් අතර සම්බන්ධතාවේ වෙනස් වීම් පිලිබඳ දේශපාලන ප‍්‍රකාශනයක් ද වන්නේ ය. පන්ති පාලනයේ රූපාකාරයන්හි මෙම වෙනස් වීම් එක්සත් ජනපද හා ලෝක ආර්ථිකයේ අවිසර්ජනීය ප‍්‍රතිවිරෝධයන්ගේ ප‍්‍රතිඵලය යි. පලමු ලෝක සංග‍්‍රාමය පුපුරා යාමට වසර ගනනකට පෙර ලෙනින් ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ පරිනාමය විශ්ලේෂනය කල ලිපියක මෙසේ අනතුරු ඇඟවී ය: “ඉතිහාසය තුල දේශපාලන නීත්‍යනුකූල භාවයේ සාධක ආධිපත්‍යය දැරූ ‘අඩ සියවස් අවධියක්’ තවත් අවධියකට ඉඩ දී ඉවත් වන්නේ ය.” වෛෂයික සාධක “සකල ධනේශ්වර නීත්‍යනුකූල භාවය ම වනසා දැමීමට” යොමු වෙමින් ඇති බව ලෙනින් පෙරදුටුවේ ය. “එහි මුල් සලකුනු වූයේ තමන් අතින් ම නිර්මානය කෙරුනේ වුව ද, නො ඉවසිය හැකි බවට පත්ව ඇති නීත්‍යනුකූලත්වයෙන් අත්මිදීමට ධනේශ්වරය පැත්තෙන් දැරුනු සන්ත‍්‍රාසමය ප‍්‍රයත්නයන්ගෙනි.”(3)

ඉතිහාසය ලෙනින්ගේ විශ්ලේෂනය සනාථ කලේ ය. පලමු ලෝක යුද්ධය සමාජ-ආර්ථිකයේ හා දේශපාලන වර්ධනයේ දිගු “අවධියක්” නිමාවකට ගෙන ආවේ ය. නීත්‍යනුකූල භාවයේ අනුක‍්‍රමික යුගයක් යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ අවධියකට ඉඩ හලේ ය. වත්මන්හි අපි ඓතිහාසික වර්ධනයේ තවත් දිගු අදියරක අවසානය අත්දකිමින් සිටිමු. එම අවධිය තුල අන්තර් අධිරාජ්‍යවාදී ප‍්‍රතිඝතිතතා පාලනය කර තිබුනු අතර කම්කරු පන්තියේ සමාජ ප‍්‍රතිරෝධය මර්දනය කරනු ලැබිනි. සැබවින් ම අප දැනට මත් ඓතිහාසික වර්ධනයේ නව අදියරකට ඇතුලු වී සිටින බව පැවසීම වඩාත් නිවැරදි වනු ඇත. එම නව අවධිය ලෝක ඉතිහාසයේ දැවැන්ත ම සමාජ කැලඹීම් මගින් සංලක්ෂිත වනු ඇත. 2008 අර්බුදය නියෝජනය කරන්නේ 1914, 1929 හා 1939 යන අර්බුදයන්ට නොඅඩු ලෝක ඓතිහාසික සන්ධිස්ථානයකැයි ප‍්‍රධාන දේශපාලන වාර්තාව තුල කර ඇති අවධාරනයෙහි අර්ථය සැබවින් ම මෙය යි.

මෙම සමුලුව හමුවේ පවතින කර්තව්‍යය වන්නේ හතර වන ජාත්‍යන්තරයේ ඓතිහාසික වර්ධනයේ දෘෂ්ටි ආස්ථානයේ සිට මෙම “හැරීමේ” දේශපාලන ඇඟවුම් වටහා ගැනීම යි. වසර හැත්තෑ හතරකට පෙර ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල පටන් ගත්තේ මෙවන් වැකියකිනි: “සමස්තයක් වශයෙන් ලෝක දේශපාලන තත්වය ප‍්‍රධාන කොට ම සංලක්ෂිත වන්නේ නිර්ධන පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයක් විසිනි.” ලෝක ධනේශ්වර ක‍්‍රමයේ වැඩි දියුනු අර්බුදය කෙරෙහි ප‍්‍රතිචාරය තීරනය කිරීමේ දී මෙම සමුලුව පහත දැක්වෙන ප‍්‍රශ්නය සැලකිල්ලට ගත යුතු ය: ලෝක ධනවාදයේ වෛෂයික ප‍්‍රතිවිරෝධයන්ගේ සහ පන්ති අරගලයේ හතර වන ජාත්‍යන්තරයේ වර්ධනයේ ද අන්තර් ප‍්‍රතිකි‍්‍රයා විභාග කිරීමේ සන්දර්භයක් තුල අප වත්මන දී කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය තක්සේරු කරන්නේ කෙසේ ද?

මෙම ප‍්‍රශ්නය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ සමාලෝචනයක් ඉල්ලා සිටියි. මෙය ශාස්ත‍්‍රාලික අභ්‍යාසයක් නො වේ: හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ අධ්‍යයනයක් පන්ති අරගලයේ වර්ධනයට යටින් පවත්නා සාරභූත සමාජ ආර්ථික සන්තතීන් කෙරේ අභිනිවේශයක් සපයයි. ඓතිහාසික අත්දැකීම් පිලිබඳ විමසුමකින් බැහැරව වත්මන් තත්වය විමසා බැලීම හා “සංයුක්ත” කර්තව්‍යයන් තීරනය කිරීමේ උත්සාහයක් වනාහි, මාධ්‍ය තුලින් ද ආන්ඩුවේ හා ශාස්ත‍්‍රාලිකයේ විවිධ වාර්තා හා සමහර විට පෞද්ගලික නිරීක්ෂනයන්ගෙන් ද ඇහිඳ ගන්නා අනුභූතික දත්ත අඩු වැඩි වශයෙන් සාරසංග‍්‍රහවාදීව තෝරා ගැනීම මත පදනම් වූ දේශපාලනික ධාරනාවාදයකට වැඩි නො වේ. එවන් ප‍්‍රවිෂ්ටයකින් පන්ති අරගලයේ වෙනස් වූ අවධීන් හා “අදියරයන්” ලෙස සුවිශේෂී ප‍්‍රකාශන අත් කර ගෙන ඇති ආර්ථික වර්ධනයේ වෛෂයික ප‍්‍රවනතාවන්ගේ බලපෑමට හසු වූ සමාජ බලවේගයන්ගේ ඓතිහාසික ව්‍යාපාරය විභාග කිරීමකින් ගලා එන ගැඹුරු අවබෝධය අත් කර ගත නොහැකි ය.

මෙකී ඓතිහාසික ප‍්‍රවිෂ්ටය, ඉහල මට්ටමක දේශපාලන සවිඥානකත්වයක් මෙම සමුලුවෙන් ඉල්ලා සිටී. මෙම සමුලුව ම පන්ති අරගලයේ වර්ධනයේ වැදගත් “මොහොතකි”. මෙම ශාලාවට රැස්ව සිටින නියෝජිතයන් මෙම සමුලුවේ සාකච්ඡාවන්ට සහභාගි වන්නේ හුදෙකලා පුද්ගලයන්ගේ එකතුවක් ලෙස නො ව ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයා මාර්ගය සඳහා දශක ගනනාවක් තිස්සේ කරන ලද අරගලය මගින් නිර්නයව පවත්නා සුවිශේෂී ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවනතාවක නියෝජිතයන් ලෙස ය. ඓතිහාසික වාර්තාව පෙන්වා දෙන පරිදි මෙම ව්‍යාපාරයේ අරගලයන් වර්ධනය වී ඇත්තේ ජාත්‍යන්තර දේශපාලන තත්වයේ ප‍්‍රමුඛ මාරු වීම් හා පන්ති බලවේගයන්ගේ අන්තර් සම්බන්ධතාවේ එක්කෝ සෘජු ප‍්‍රතිඵලයක් ලෙස ය. එසේ නැත් නම් එවැන්නක් පෙරදැක්ම ලෙස ය.

ඓතිහාසික කි‍්‍රයාවලිය තුල සවිඥානකව කි‍්‍රයාත්මක වීමට නම් හතර වන ජාත්‍යන්තරයේ අත්දැකීම් හා සම්ප‍්‍රදායන්ගෙන් උකහා ගත හැකි සියල්ල උකහා ගත් විප්ලවවාදියෙකු වීම අත්‍යවශ්‍ය වේ. මාක්ස්වාදියෙකු සිය භාවිතය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා ගෙන ගිය අරගලයේ ඓතිහාසික දිශා පථය තුල පිහිටුවා ගත යුතු ය. හරියට ම 30 වසරකට තරම් පෙර 1982 ශරත් සෘතුවේ දී න්‍යාය, දේශපාලන ඉදිරි දර්ශනය හා භාවිතය පිලිබඳ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඇතුලත හට ගෙන තිබුනු මතභේදයන්හි වැදගත්කම පලමු කොටම මසිත තුල නිරවුල් කර ගැනීමට මා දැරූ උත්සාහයේ දී මම මෙසේ ලිවීමි:

“ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය අසම්බන්ධිත සිදුවීම් මාලාවක් ලෙස වටහා ගත නොහැකි ය. එහි න්‍යායික වර්ධනය කාර්යධරයෙකු විසින් උපුටා ගනු ඇත්තේ ලෝක ධනේශ්වර අර්බුදයේ අඛන්ඩ දිග හැරීම හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයන් තුලිනි. සමස්ත ඓතිහාසික අවධියක් පුරා ම පන්ති අරගලයේ සියලු අතිමූලික අත්දැකීම් පිලිබඳ එහි නොබිඳුනු අඛන්ඩ දේශපාලන විශ්ලේෂනය, 1924 ලෙනින්ගේ මරනයෙන් පසුව මාක්ස්වාදයේ එක ම වර්ධනය ලෙස ට්‍රොට්ස්කිවාදයේ ඉමහත් පොහොසත් භාවය තුල අන්තර්ගතව පවතී.”

මෙම ඉතිහාසය සමස්තයක් වශයෙන් සාමූහිකව උකහා ගැනීමට පරිශ‍්‍රම නොදරන්නා වූ නායකත්වයකට කම්කරු පන්තිය කෙරේ සිය විප්ලවවාදී වගකීම් ප‍්‍රමානවත් පරිදි සපුරාලිය නොහැකි ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික වර්ධනය පිලිබඳ සැබෑ දැනුමකින් තොරව අපෝහක භෞතිකවාදය ගැන දෙඩවීම හුදෙක් නිස්සාර වනවා පමනක් නො වේ. එවන් පුහු ගෙන හැර දැක්වීම් අපෝහක විධික‍්‍රමය සැබවින් ම විකෘති කිරීමට මං පාදයි. න්‍යායේ මූලාශ‍්‍රය පවතින්නේ චින්තනය තුල නො ව වෛෂයික ලෝකය තුල ය. එබැවින් ට්‍රොට්ස්කිවාදයේ වර්ධනය සිදු වන්නේ අපගේ ව්‍යාපාරයේ ඓතිහාසිකව නිර්නය කරනු ලැබූ සමස්ත ඥාන සම්භාරය මත ප‍්‍රතිෂ්ඨා කරනු ලබන පන්ති අරගලයේ නව්‍ය අත්දැකීම් මත ය.

“එබැවින් ඥානනය අන්තර්ගතයෙන් අන්තර්ගතයට ගමන් කරයි. නිර්නයේ සෑම ඊලඟ අවධියකට ම තම පූර්ව අන්තර්ගතයේ සමස්තය ඔසොවා තබමින් සිය අපෝහක ප‍්‍රගතිය මගින් කිසිවක් නැති කර නො ගනිමින් පමනක් නො ව කිසිවක් අත නො හරිමින් එය, අත්පත් කර ගෙන ඇති සියල්ල තමන් සමග ඉදිරියට ගෙන යන්නේ, තමා ම තමා මත පෝෂනය වෙමින් හා ඒකාග‍්‍ර වෙමිනි.”

හේගල්ගේ Science of logic (තර්කයේ විද්‍යාව) නම් කෘතියෙන් මෙම කොටස උපුටා දැක්වූ ලෙනින්, තම Philosophical Notebooks (දාර්ශනික කටු සටහන්) නමැති කෘතියේ මෙසේ ලිවී ය. “අපෝහකය සාරාංශගත කිරීමක් ලෙස මෙම උධෘතය කිසි සේත් ම නරක නැත.” ට්‍රොට්ස්කිවාදී න්‍යායේ නිරන්තර අපෝහක වර්ධනය “සාරාංශ කිරීමක් ලෙස” ද මෙම උධෘතය එතරම් නරක නැත.(4)

අප දැන් හතර වන ජාත්‍යන්තරයේ සමස්ත “පූර්ව අන්තර්ගතයේ” අත්දැකීම් මත මෙම සමුලුව පාදක කල යුතු ය. මෙම ප‍්‍රයත්නය කම්කරු පන්ති නායකත්වයේ අර්බුදයෙහි වත්මන් අවධිය හා එය විසඳීමෙහිලා කල යුත්තේ කුමක් ද යන්න වටහා ගැනීමට සැලකිය යුතු ප‍්‍රතිපදානයක් කරනු ඇත.

ඓතිහාසික සවිඥානකත්වය හා ඓතිහාසික අත්දැකීම් යලි සලකා බැලීමේ වැදගත්කම මත අප තබන අවධාරනය මධ්‍යම පන්තික ව්‍යාජ වාම වාතාවරනය තුල පවත්නා ආකල්පයෙන් සපුරා වෙනස් වන අයුරු දැන් විමසා බලමු. ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂයේ (එන්පීඒ) ප‍්‍රමුඛයා වන ඇලේන් කි‍්‍රවීන් මෙසේ ලියා ඇත:

කෙසේ වෙතත්, එල්සීආර් මෙන් නො ව එන්පීඒ සමහර ප‍්‍රශ්න විසඳන්නේ නැත. එය ඒවා අනාගත සමුලු සඳහා විවෘත කොට තබයි. නිදසුනක් ලෙස, බලය අල්ලා ගැනීම, සංක‍්‍රමන ඉල්ලීම්, ද්වන්ද බලය යනාදිය ගැන සියලු මූලෝපායික විවාදයන් මේ අවස්ථාවේ සැලකිල්ලට නො ගැනේ. එබැවින්, එය ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නේ නැත: නමුත් ට්‍රොට්ස්කිවාදය අනෙකුත් ප‍්‍රවනතා අතර විප්ලවවාදී ව්‍යාපාරයට ප‍්‍රතිපදානය කරන්නා වූ එක් දායකයෙක් යැයි සලකයි. ස්ටැලින්වාදය යටතේ කරන්නට සිදුව තිබුනු පරිදි පිටුපස කන්නාඩියෙන් ප‍්‍රතිපත්ති කරා එලඹීමට කැමති නොවන එන්පීඒ සංවිධානය සෝවියට් සංගමය කුමක් ද ස්ටැලින්වාදය කුමක් ද යනාදිය පිලිබඳව ආස්ථානයක් ගන්නේ නැත. එය සිය පිලිවෙත පදනම් කරන්නේ අවධිය හා කර්තව්‍යයන් මත කෙරෙන විශ්ලේෂනය පිලිබඳ එකඟතාව මත ය.”(5)

වෙනත් වචනවලින් කිව හොත්, එන්පීඒ සංවිධානය විසි වන සියවසේ දේශපාලන අත්දැකීම් පිලිබඳ ආස්ථානයක් නො ගෙන ඓතිහාසික වර්ජකවාදය අනුගමනය කරයි. එයට අතීතය ගැන කීමට කිසිවක් ඇත්තේ නැත. එහෙත් ලෝක ඉතිහාසයේ අතිශයින් ම කැලඹිලිකාරී අවධියේ පාඩම් යලි හදාරන්නේ නැතිව කිසිදු ප‍්‍රශ්නයක් පිලිබඳ විප්ලවවාදී ප‍්‍රතිපත්තියක් වර්ධනය කල හැක්කේ කෙසේ දැයි ඇසිය යුතු ය. එන්පීඒට රුසියානු විප්ලවය ද සෝවියට් සංගමයේ පැවැත්ම ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ හා ස්ටැලින්වාදයේ පාවා දීම් ද ෆැසිස්ට්වාදයේ නැගීම ද, හොලෝකෝස්ටය (හිට්ලර් කල මහා යුදෙව් සංහාරය) ද, අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ ද, විසි වන සියවසේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයන්හි නැගීම හා වැටීම ද, වෘත්තීය සමිතිවල හා ලිබරල් ප‍්‍රතිසංස්කරනවාදයේ බිඳ වැටීම ද, යනාදී තීරනාත්මක අත්දැකීම් මග හැර යාම අවශ්‍ය ය. මේ සියල්ල අමතක කල හැක්කේ කෙසේ ද? කි‍්‍රවීන් හා ඔහුගේ අනුචරයන් දේශපාලන සිදුවීම් කෙරෙහි ප‍්‍රතිචාර දක්වන්නේ සම්පූර්නයෙන් ම ධාරනාවාදී හා තත්කාර්යවාදී පදනමකින් ය. ඔවුන්ගේ සමාජ තත්වය තුල මුල් බැස ඇති එවන් විධික‍්‍රමයකට සම්පාදනය කල හැක්කේ අතිශයින් ම අවස්ථාවාදී අදූරදර්ශී හා ප‍්‍රතිගාමී දේශපාලනයක් හැර අන් කිසිවක් නො වේ.

සුලු ධනපති “වාම” හෝ වඩාත් නිවැරදිව කිව හොත් ව්‍යාජ වාම සංවිධාන නියෝජනය කරන සමාජ අවශ්‍යතා සහ කම්කරු පන්තිය නියෝජනය කරන සමාජ අවශ්‍යතා අතර ප‍්‍රතිඝතිතතාව අන් කවරදාකටත් වඩා වත්මන්හි පැහැදිලිව වැඩෙයි. සසප සමුලු යෝජනාව සඳහන් කරන පරිදි මෙම සංවිධාන කටයුතු කරන්නේ ධනේශ්වර දේශපාලනය තුල වූ ප‍්‍රවනතා ලෙස ය. තව ද ප‍්‍රවනතාවන්ගේ හා පක්ෂවල ජාත්‍යන්තර දිශාවනතිය හා කඳවුරු ගත වීම තුලින් ඒවායේ දේශපාලන අනන්‍යතාව වඩාත් ම සාරභූත ප‍්‍රකාශනය අත්පත් කර ගන්නා තාක් දුරට එක්සත් ජනපදයේ අයිඑස් ඕ, බි‍්‍රතාන්‍යයේ එස්ඩබ්ලිව්පී හා ප‍්‍රන්සයේ එන්පීඒ වැනි සංවිධාන වැඩ කරන්නේ අධිරාජ්‍යවාදයේ ක්ෂමාලාපකයන් හා සාපරාධී අනුචරයන් ලෙස ය. එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා ප‍්‍රන්සය ලිබියාවේ සහ සිරියාවේ කරන නව යටත් විජිත මිලිටරි මෙහෙයුම්වලට උද්‍යෝගිමත්ව සහාය දක්වන මෙම සංවිධානවල න්‍යායාචාර්යවරු “ප‍්‍රතීක” (ඉබේ කෙරෙන) අධිරාජ්‍ය විරෝධය හෙලා දකින තරම් දුරට ගමන් කර සිටිති. වෙනත් වචනවලින් කිව හොත් මොවුහු මහ බලවතුන්ගේ මිලිටරි කටයුතු යුක්ති සහගත බව ද ඒවාට තම සහයෝගය දීම උචිත බව ද පිලිගැනීමට තරම් දුර ගොස් සිටිති.

ව්‍යාජ වාම සංවිධාන මේ අන්දමින් අධිරාජ්‍යවාදී ප‍්‍රතිගාමිත්වයේ විවෘත උපකරන බවට පරිවර්තනය වීම ඓතිහාසිකව දිග් ගැස්සුනු සමාජ, දේශපාලන හා න්‍යායික කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලය යි.

හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුව 1938 සැප්තැම්බරයේ දී පවත්වන්නට යෙදුනි. ඊට පෙර පස් වසර තුල කම්කරු පන්තිය ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂවල පාවා දීම් විසින් ඇති කරන ලද ව්‍යසනකාරී පරාජයන් මාලාවක් අත්දැක තිබුනි. නාසීන් 1933 ජර්මනියේ දී ලත් ජයග‍්‍රහනයේ ප‍්‍රතිඵලයක් ලෙස යුරෝපයේ දේශපාලනිකව වඩාත් ම අත්දැකීම් සහිත හා විශාලතම කම්කරු ව්‍යාපාරය තලා දැමුනි. ඉන් ඉක්බිත්තෙහි ස්පාඤ්ඤයේ හා ප‍්‍රන්සයේ ස්ටැලින්වාදීන් හා ලිබරල් ධනපති පක්ෂ අතර ‘මහජන පෙරමුනු’ සන්ධාන, කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගසා කම්කරු පන්තියේ දේශපාලන පක්ෂාඝාතය සහතික කර එහි පරාජයට මග පාදාලී ය. සෝවියට් සංගමය තුල, එහි පැවැත්ම තහවුරු කල හා ඔක්තෝබර් විප්ලවයට මග හෙලි කල මාක්ස්වාදී කාර්යධරයන් හා සමාජවාදී බුද්ධිමතුන් සමස්තය ම සමූල ඝාතනය කරන්නට ස්ටැලින්වාදී භීෂනය කි‍්‍රයාත්මක විය. මෙම සිදුවීම් යුරෝපයේ හා එක්සත් ජනපදයේ බුද්ධිමතුන් අවමංගත කර අපේක්ෂා භංගයට ඇද දැමී ය. කම්කරු පන්තිය අත්විඳි දේශපාලන පරාජයන් හමුවේ වාම බුද්ධිමත්තු සමාජවාදී විප්ලවය සඳහා පැවති ශක්‍යතා පමනක් නො ව එහි විභවය පිලිබඳව පවා එන්ට එන්ට ම සංශයවාදී වීමට පටන් ගත්තෝ ය.

ස්ටැලින්-හිට්ලර් ගිවිසුම අත්සන් තැබීමෙන් හා දෙවන ලෝක සංග‍්‍රාමය පැන නැගීමෙන් පසුව 1939 අගෝස්තු-සැප්තැම්බර් සමයේ හතර වන ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව වූ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) තුල ද සුලු ධනපති බුද්ධිමතුන්ගේ සංශයවාදය පිලිබිඹු විය. එස්ඩබ්ලිව්පීයේ ප‍්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකු වූ මැක්ස් ෂැට්මන්, ජේම්ස් බර්න්හැම් හා මාටින් ඇබර්න් සෝවියට් සංගමය (සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය) පිරිහුනු කම්කරු රාජ්‍යයක් ය යන පක්ෂයේ අර්ථකථනයට එරෙහිව සුලුතර කන්ඩායමක් ගොඩ නැගූහ. නිලධරය විසින් කෙරෙන රාජ්‍ය දේපල පාලනය හා පරිපාලනය මත පදනම් වූ පන්ති සමාජයේ නව රූපාකාරයක් ලෙස “නිලධාරිවාදී සාමූහිකකරනය” නම් නව සමාජ ක‍්‍රමයක පැවැත්ම ඇරඹී ඇති බවට තර්ක කල බෲනෝ රිසි නම් ඉතාලි ලේඛකයා සුලුතරයේ දෘෂ්ටීන් කෙරෙහි ඉමහත් සේ බලපෑවේ ය. ඔයැ ඊමරු්මජර්එස‘්එසදබ දෙ එයැ අදරකා (ලෝකය නිලධාරිකරනය වීම) යන සිය කෘතිය තුල රිසි මෙසේ ලිවී ය:

අපගේ මතයට අනුව සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුල හිමිකරුවන් වන්නේ නිලධරය යි. මක් නිසා ද යත්, බලය සියතෙහි රඳවා ගෙන සිටින්නේ ඔවුන් හෙයිනි. ධනපති ක‍්‍රමයට පොදු වූ පරිද්දෙන් ආර්ථිකය කලමනාකරනය කරන්නේ ද ඔවුන් ම ය. වැටුප් හා මිල ගනන් තීරනය කරන සියලු සූරා කන පන්තීන් කරන්නාක් සේ ලාභය හිමි කර ගන්නේ ද ඔවුන් ම ය. .... ඒ නිලධාරීන් ම ය. සමාජය පාලනය කිරීමේ දී කම්කරුවන් කිසි සේත් ම අදාල වන්නේ නැත; ඊට ද වඩා, ඔවුන්ට අතිරික්ත වටිනාකමේ කිසිදු පංගුවක් හිමි වන්නේ නැත. යථාර්ථය නම් සාමූහික දේපල කම්කරු පන්තිය අතෙහි නොමැති බව යි. එය ඇත්තේ අලුත් පන්තියක් අතේ ය. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුල එම පන්තිය දැනට මත් ඉෂ්ට වූ කාරනයක් ලෙස පවතින අතර, ආඥාදායක රාජ්‍යයන්හි මෙම පන්තිය තව මත් ගොඩ නැගෙමින් තිබෙන්නකි.(6)

ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිහිටුවීම විසින් පැන නංවන ලද්දේ, කම්කරු රාජ්‍යයක් නො ව පසු කලෙක වේගවත් පරිහානියකට පාත‍්‍රව මාක්ස්වාදීන් පූර්ව සංකල්පනය නොකල, ආකාරයේ පන්ති පාලනයේ නව රූපාකාරයක් ය යන ආස්ථානය මගින් මතු කරන ලද දේශපාලන හා ඓතිහාසික ප‍්‍රශ්න එස්ඩබ්ලිව්පීය තුල කන්ඩායමික අරගලය ආරම්භයේ දී ම ට්‍රොට්ස්කි හඳුනා ගත්තේ ය. ඔහුට මෙම තර්කය මීට පෙර ද බොහෝ විට අසන්නට ලැබී තිබුනි. රාජ්‍ය ධනවාදය සැබවින් ම තමන් ආර්ථික න්‍යාය මත පදනම් වූයේ නැත. රුසියානු විප්ලවයට බොහෝ කලකට පෙරාතුව “රාජ්‍ය ධනවාදී” සංකල්ප පිලිබඳ පෙර ඇඟවුම් විවිධාකාරයේ මාක්ස්වාද විරෝධී සුලු ධනපති දේශපාලනය තුල දක්නට ලැබුනි. ඒවා “රාජ්‍යය”, හෝ “ධනවාදී” යන යෙදුම මාක්ස්වාදී අර්ථයෙන් යොදා ගෙන නැත. අරාජකවාදයේ දේශපාලන අකාරාදිය තුල “රාජ්‍ය ධනවාදය” යන පද පොදුවේ යොදන ලද්දේ අවාලාපයක් ලෙස ය. රාජ්‍ය බලය යොදා ගැනීමේ දී යම් තාක් දුරට බලාත්කාරය යොදා ගන්නට සිදු වීම රාජ්‍යයේ පන්ති ස්වභාවය නො තකා ධනවාදී, යැයි හෙලා දැක්මට යොදා ගැනිනි. මෙම යෙදුම තුල ධනවාදය වනාහි හුදු ආධිපත්‍යය හා බලාත්කාරය යැයි සලකන ලදී. 1917 ඔක්තෝබරයේ පිහිටුවන ලද තන්ත‍්‍රය “රාජ්‍ය ධනවාදී ය” යි බොල්ෂෙවිකයන් බලය අල්ලා ගැනීමෙන් ඉක්බිත්තේ ක්ෂනිකව මතු කරන ලද්දේ අරාජකවාදීන් විසිනි. රාජ්‍යයේ කවර රූපාකාරයක් වුව, බලාධිපත්‍යය නියෝජනය කරන්නේ ය, සහ රාජ්‍යයේ සමාජ-ආර්ථික ස්වභාවය එතරම් වැදගත් නොවන්නේ ය යන කරුනු මත රාජ්‍යය පිලිබඳ ගුනාංගීකරනයට “ධනවාදය” යන යෙදුම ඔවුන් එකතු කලේ, කිසිදු විශ්වසනීය ක‍්‍රමයකට මෙම විශ්ලේෂනය සනාථ නො කර ම ය.

එබැවින් සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය “රාජ්‍ය ධනවාදී” බවට හෝ එය සූරා කෑමේ වෙනත් කිසි යම් සමාජ රූපාකාරයක් බවට කෙරෙන කතා හෝ ට්‍රොට්ස්කිට අරුමයක් වූයේ නැත. සෝවියට් ආර්ථිකය ගැන පැහැදිලි කිරීමක් ලෙස එය වැඩි බැරෑරුම්කමකින් සැලකීමට ඔහු නැඹුරු වූයේ ද නැත. රාජ්‍ය ධනවාදී “න්‍යාය” තුල මාක්ස්වාදී දේශපාලන ආර්ථික ප‍්‍රවර්ග අත් හැර දැමෙන අතර, ඒ වෙනුවට, විස්තාරනයේ අවිද්‍යාත්මක පද මාලාවක් ආදේශ කෙරේ. එය වනාහි ආර්ථික අවශ්‍යතාවේ පදනම ආන්තික දේශපාලන ආත්මීයත්වයක් මගින් මුලුමනින් ම විස්ථාපනය කල න්‍යායක් විය. එහෙත් ට්‍රොට්ස්කි විසින් බැරෑරුම් ලෙස සලකන ලද්දේ රිසි හා බර්න්හැම්ගේ තර්ක මගින් ගම්‍ය වූ මාක්ස්වාදයේ ඓතිහාසික ඉදිරි දර්ශනය පිලිබඳ අතිමූලික සංශෝධනය යි. රිසි හා බර්න්හැම්ගේ ආස්ථානයන්හි අරටුවේ ම තිබුනේ කම්කරු පන්තියේ විප්ලවවාදී කි‍්‍රයා කලාපය පිලිබඳ මාක්ස්වාදී තක්සේරුව ප‍්‍රතික්ෂේප කිරීම ය. ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

“...අපේක්ෂා භංගත්වයට හා භීතියට පත් ව්‍යාජ මාක්ස්වාදයේ සියලු ම ආකාරවල නියෝජිතයන් වැඩ අරඹන්නේ, නායකත්වයේ බංකොලොත්කම වනාහි, නිර්ධන පන්තියට තම විප්ලවීය කාර්ය භාරය පරිපූර්නත්වයට පත් කිරීමට පවතින අසමර්ථතාවෙහි හුදු ‘පිලිබිඹුවක් පමනක් ය’ බවට වන උපකල්පනයෙනි. අපගේ සියලු ම විරුද්ධවාදීහු මෙම අදහස පැහැදිලිව ප‍්‍රකාශයට පත් නො කරත්; එසේ වෙතත්, අතිවාමාංශිකයන්, මාධ්‍යමිකයන්, සහ අරාජිකවාදීහු යන සියල්ලෝ ම - සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ ස්ටැලින්වාදීන් ගැන කියනුම කවරේ ද - පරාජයන් පිලිබඳ වගකීම තමන් කෙරෙන් නිර්ධන පන්තියේ කර පිටට මාරු කරත්. නිර්ධන පන්තිය කෙබඳු නිශ්චිත කොන්දේසි යටතේ සමාජවාදී පෙරලිය සාක්ෂාත් කර ගැනුමට සමර්ථ වනු ඇත් දැයි ඔවුහු කිසිවෙක් පෙන්නුම් නො කරත්.

“අපගේ පරාජයන්ගේ හේතු මුල් බැස ඇත්තේ කම්කරු පන්තියේ ම සමාජ ස්වභාවය තුල ය යන්න සත්‍ය ලෙස පිලිගන්නේ නම් නූතන සමාජයේ තත්වය අපේක්ෂා විරහිත යැයි පිලිගැනීමට අපට සිදු වනු ඇත.”(7)

මධ්‍යම පන්තික බුද්ධිමතුන්ගේ පුලුල් කොටස් ඔක්තෝබර් විප්ලවය සමග සියලු සම්බන්ධකම් බිඳ ගනිද්දී ඔවුන් තුල හිස ඔසවමින් තිබුනු සමාජ මනෝගතීන් ට්‍රොට්ස්කි හඳුනා ගත්තේ ය. බර්න්හැම් හා ෂැට්මන් 1939-40 වසරවල ප‍්‍රකාශනයක් ලබා දුන් අසාර දර්ශනය විසින් පෙර ඇඟවුම් කරන ලද්දේ වඩාත් පුලුල් සමාජ කි‍්‍රයාවලියකි. ඒ වූ කලි සුලු ධනපති වාම බුද්ධිජීවීන් මාක්ස්වාදය තුල හුදු කිසි යම් නිශ්චිත දේශපාලන ප‍්‍රවනතාවකින් - එනම්, ට්‍රොට්ස්කිවාදයෙන් - බිඳී යාමක් නො ව, සමාජවාදී විප්ලවයේ සමස්ත ඉදිරි දර්ශනයෙන් ද, සමාජ ප‍්‍රගතියේ ශක්‍යතාව පිලිබඳ විශ්වාසයෙන් ම ද බිඳී යාමකි.

ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ න්‍යායාචාර්යවරුන් වූ මැක්ස් හෝකයිමර් හා තියඩෝර් ඇඩෝනෝගේ Dialectic of Enlightenment (බුද්ධි ප‍්‍රබෝධයේ අපෝහකය) කෘතිය පශ්චාත් දෙවන ලෝක සංග‍්‍රාම සමයේ සුලු ධනපති අපේක්ෂා භංගත්වය පිලිබඳ ප‍්‍රකාශයන් අතුරින් වඩාත් ප‍්‍රකට කෘතිය බව නිසැක ය. ප‍්‍රබුද්ධියට ද විචාරයට හා දුෂ්ට ප‍්‍රතිවිපාකයන් සහිත යැයි නම් කරන ලද තාක්ෂනයට ද එම කතුවරුන් එල්ල කල ප‍්‍රහාරය වාම බුද්ධිමතුන්ගේ සමස්ත පරම්පරාවක් මත ම දුර දිග යන බලපෑමක් ඇති කලේ ය. එහෙත් කෘතියෙහි බලපෑම නිෂ්පන්න වූයේ එහි අපූර්වත්වයෙන් නො වේ. ඇත්තෙන් ම ඔවුන් ලිවූ දෙය අපූර්ව වී නම් ඒ මඳ වශයෙන් පමනකි. ඒ වෙනුවට බුද්ධි ප‍්‍රබෝධයේ අපෝහකය කලේ, සුලු ධනපති බුද්ධිජීවී ක්ෂේත‍්‍රයේ පුලුල් කොටස් අතර පැතිර තිබුනු මනෝභාවයන් ඉදිරිපත් කිරීම ය.

බුද්ධි ප‍්‍රබෝධයේ අපෝහකය ප‍්‍රකාශයට පත් වූ අවස්ථාවේ ම වාගේ ෂැට්මන්ගේ වර්කර්ස් පාටියට ඇතුලුව සිටි හිටපු එස්ඩබ්ලිව්පී සාමාජික ඩ්විට් මැක්ඩොනල්ඩ් The root is Man (මූලය නම් මිනිසා ය) යන හිසින් යුත් ලිපියක් සම්පාදනය කලේ ය. පශ්චාත් යුද කාලීන බුද්ධිමතුන් අතර එතරම් පුලූල්ව පැතිර ගොස් තිබුනු ප‍්‍රතිභෞතිකවාදී හා ප‍්‍රතිමාක්ස්වාදී සංකල්ප මැක්ඩොනල්ඞ්ගේ තර්කයන්හි අන්තර්ගතව තිබූ තරම සිත් කා වදිනසුලු ය.

අන් සියල්ලටත් වඩා මැක්ඩොනල්ඞ් කරන්නේ විද්‍යාව හා තාක්ෂනය කෙරෙහි සුලු ධනපති බුද්ධිමතුන් තුල පැවති බිය වඩාත් විවෘතව එලියට දැමීම ය. සමාජවාදීන්ගේ මාරක වැරැද්ද නම් විද්‍යාවේ ප‍්‍රගතිශීලී භූමිකාව කෙරේ ඔවුන්ගේ පැවති විශ්වාසය හා, සමාජයේ ආධ්‍යාත්මික සාධකය සමග සැසඳීමේ දී ද්‍රව්‍යමය සාධකය මත තැබූ වැඩි අවධාරනය යැයි මැක්ඩොනල්ඩ් තර්ක කලේ ය. එබැවින් සමාජවාදීන් විසින් වටහා ගෙන තිබුනු පරිදි වම-දකුන පිල් බෙදීම යල් පැන ඇති බව ඔහු අවධාරනය කලේ ය. ඔහුට අනුව නූතනත්වයට එවැන්නක කිසිදු අදාලත්වයක් පැවතුනේ නැත. ඔහු කියා සිටියේ සැබෑ බෙදුම්කඩනය “ප‍්‍රගතිශීලීන්” හා “රැඩිකල්වාදීන්” අතර ය කියා ය. ඔහු ප‍්‍රගතිශීලීන්ට විරුද්ධව රැඩිකලුන්ගේ පිලේ තමා ස්ථාපනය කර ගත්තේ ය.

“ප‍්‍රගතිශීලීන් යන්නෙන් යමෙකු වටහා ගන්නේ, වර්තමානය, වඩාත් යහපත් අනාගතයක ගමන් මගෙහි එක් කථාංගයක් ලෙස දකින්නන් ය; සදාචාරාත්මක අගයන්ට වඩා ඓතිහාසික කි‍්‍රයාවලියේ අනුසාරයෙන් සිතන්නන් ය; ලෝකයේ ප‍්‍රධාන ගැටලුව වන්නේ එක් අතකින් විද්‍යාත්මක ඥානයේ අඩුව බවත්, තවත් අතකින් අප සතුව තිබෙන ඥානය මානව කටයුතුවල දී භාවිතයට ගැනීමට අසමත් වීම බවත් විශ්වාස කරන්නන් ය; අන් සියල්ලටත් වඩා, ස්වභාව ධර්මය මත මිනිසාගේ අධිපතිත්වය ඉහල නැංවීම ඒ හැටියට ගත් විට යහපත් ලෙසත්, පරමානු බෝම්බ සෑදීම වැනි නරක අන්තයන්ට විද්‍යාව පාවිච්චි කිරීම අපයෝජනයක් ලෙසත් දැක ගන්නවුන් ය. මා සිතන හැටියට මෙම නිර්නායකය, කොමියුනිස්ට්වාදීන්ගේ (ස්ටැලින්වාදීන්ගේ) සිට අපගේ ම නිව් ඩීල්වාදීන් වැනි සංශෝධනවාදී කන්ඩායම්, බි‍්‍රතාන්‍යයේ ලේබර් පාක්ෂිකයන්, යුරෝපීය සමාජවාදීන් හරහා ට්‍රොට්ස්කිවාදීන් වැනි කුඩා විප්ලවවාදී කන්ඩායම් දක්වා වන වාමාංශික යැයි තව මත් කියා ගන්නා රාශියකට ම හොඳින් අදාල වෙයි.

“රැඩිකල්” යන්න යෙදෙන්නේ තව මත් ගනනින් නොවැඩි පුද්ගල සංඛ්‍යාවකට ය - ඒ වනාහි බොහෝ කොට ම අරාජකවාදීන්, හෘදය සාක්ෂ්‍යානුගාමී යුද විරෝධීන් සහ මා වැනි භ‍්‍රෂ්ට මාක්ස්වාදීන් ය. ඔවුහු ප‍්‍රගතිය පිලිබඳ සංකල්පය ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් දේවල් නිර්නය කරන්නේ ඒවායේ වර්තමාන අර්ථයෙන් හා බලපෑමෙනි. විද්‍යාවට මානව කටයුතු මෙහෙයවීමට ඇති හැකියාව පිලිබඳ විශ්වාසය අධිතක්සේරුවකැයි සිතන ඔවුහු, එබැවින් දේශපාලනයේ සදාචාරාත්මක පැත්ත අවධාරනය කිරීම මගින් තුලනයක් ඇති කිරීමට යත්න දරති. ස්වභාව ධර්මය මත මිනිසාගේ ආධිපත්‍යය ඉහල නැංවීම හොඳ ද නරක ද යන්න මනුෂ්‍ය ජීවිතය මත අද දක්වා එය විසින් ඇති කොට තිබෙන තථ්‍ය බලපෑම මත නිර්නය වන්නා වූ විවෘත ප‍්‍රශ්නයකැයි සිතන ඔවුහු, - වඩාත් නිවැරදිව කිව හොත්, අපි - තාක්ෂනයට ගැලපෙන පරිදි මිනිසා සකසනු වෙනුවට මිනිසාට ගැලපෙන පරිදි තාක්ෂනය සැකසීමට - බොහෝ විට සිදු විය හැකි පරිදි, ඉන් තාක්ෂනික පරාභවයක් හැඟවෙන කල්හි පවා - පක්ෂපාතී වෙති/වෙමු. අපට නිතර ම චෝදනා කරන පරිදි, අපි විද්‍යාත්මක විධික‍්‍රමය “ප‍්‍රතික්ෂේප” කරන්නෝ නො වෙමු. එහෙත් අප සිතන්නේ ප‍්‍රයෝජනවත් ප‍්‍රතිඵල නෙලා ගැනීමට එයට ඇති හැකියාවේ පරාසය, අද දින පොදුවේ පිලිගැනෙන තරමට වඩා පටු ය කියා ය. අපට හැෙඟන පරිදි පැරනි වමේ අභිමතාර්ථය වූ මානව විමුක්තිය සඳහා අරගලය ගෙන යා යුතු ස්ථිරසාර පදනම වන්නේ ඉතිහාසය නො ව, (සත්‍යය, සාධාරනය, ආදරය යනාදී) සමාජවාදීන් සඳහා විලාසිතානුරූප නොවන බවට මාක්ස් විසින් පත් කර දමනු ලැබූ අනෛතිහාසික වටිනාකම් ය. (8)

පශ්චාත් දෙවන ලෝක යුද්ධ සුලු ධනපති රැඩිකල්වාදයේ කම්කරු විරෝධී ගමන් මාවත පූර්වාපේක්ෂනය කල මැක්ඩොනල්ඩ්ගේ පොතෙහි තවත් කොටසක් The Mirage of the Prolitarian Revolution (කම්කරු පන්ති විප්ලවයේ මිරිඟුව) යන හිසින් දැක්වෙයි.

යහපත් සමාජයක් නිර්මානය කිරීමේ දී මාක්ස් නෙත් යොමු කලේ කම්කරු පන්තිය වෙත ය. ඔහුගේ අනුගාමිකයන් අද දක්වා මත් නෙත් යොමු කරන්නේ ඒ දෙසට ය. එය ඕනෑ ම මාක්ස්වාදී මාධ්‍යයක කම්කරු ප‍්‍රවෘත්ති වාර්තාවක් දෙස බැලූ වහා ම පෙනී යනු ඇත. වඩාත් යහපත් ආකාරයකට සමාජය ප‍්‍රතිනිර්මානය කිරීමේ කුමන ප‍්‍රයත්නයක දී වුව නිසැකව ම කම්කරු පන්තිය මූලාංගයක් වනු ඇති නමුත් එය අද පමනක් නො ව කවර කලෙක වත් මාක්ස් කල්පනා කල අන්දමේ මූලාංගයක් නම් නොවූ හා නොවන බව වටහා ගැනීමට කාලය එලඹ ඇති බව මම සිතමි. මේ සඳහා බොහෝ සාක්ෂි පවත්නා අතර බොහෝ මාක්ස්වාදීන් මේ සියල්ල සවිස්තරව පිලිගන්නවා ඇත. කෙසේ වෙතත්, වටහා ගත හැකි පරිදි, ඔවුහු ඒවායේ තර්කාන්විත, එහෙත් අමිහිරි නිගමනයන් කරා එලඹීමෙහි පසුබට වෙති...

කම්කරු පන්ති විප්ලවයේ වඩාත් විශද කරුන නම් එය කිසි දා සිදු වී නැති බව ය. අද දවසේ කම්කරු පන්ති විප්ලවයේ ඓතිහාසික විභවය, එය 1900 දී පැවතුනාටත් වඩා අඩු ය.(9)

ඉන් ඉක්බිතිව එලඹුනු දශකයන්හි සුලු ධනපති වාම දේශපාලනයේ අත්‍යවශ්‍ය මූලධර්මය හා තේමාව බවට පත් වූයේ සමාජ ප‍්‍රගමනය ප‍්‍රතික්ෂේප කිරීම හා නූතන ධනේශ්වර සමාජයේ මුඛ්‍ය විප්ලවවාදී බලවේගය ලෙස කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කිරීම යි. මාකියුස් සහ ඩුනෙයෙව්ස්කායාගේ ලියවිලිවල ද තවත් නිමක් නැති තත්කාලීන අරාජකවාදී, පශ්චාත් අරාජකවාදී සහ පශ්චාත් ව්‍යූහවාදී ප‍්‍රවනතාවන්හි ලේඛන තුල ද මේවා තව දුරටත් වර්ධනය කර සහ පුනර්කරනය කොට ඇත.

මැක්ඩොනල්ඩ් බුද්ධිමතෙකු සහ න්‍යායවාදියෙකු ලෙස වැදගත් චින්තකයෙකු වූයේ නැත. ඇත්තෙන් ම ට්‍රොට්ස්කි වරක් සඳහන් කලේ, තකතිරු වීමේ අයිතිය මැක්ඩොනල්ඩ්ට ඇති නමුත් ඔහු එම වරප‍්‍රසාදය අපචාරයේ යෙදිය යුතු නැත යනුවෙනි. කෙසේ නමුත් මෙහි දී අදාල ප‍්‍රශ්නය බුද්ධිමතෙකු ලෙස මැක්ඩොනල්ඩ්ගේ ආයාමය නො වේ. ප‍්‍රශ්නය නම් මැක්ඩොනල්ඩ් ඉදිරිපත් කල ආස්ථානය වඩාත් විදග්ධ බුද්ධිමතුන්ගේ කෘතීන් තුල සැලකිය යුතු තරම් ප‍්‍රතිරාවය වීම ය. හෝකයිමර් සහ ඇඩෝර්නෝගේ ලේඛන වඩාත් බැරෑරුම් ය. දර්ශනවාදය පිලිබඳව ඔවුන් ලබා තිබුනු අධ්‍යාපනය නිසැකව ම ප‍්‍රගාඪ ය. එසේ වුව ද බුද්ධි ප‍්‍රබෝධයේ අපෝහකය නම් කෘතිය තුල ඔවුන් ඉදිරිපත් කරන අදහස් මැක්ඩොනල්ඩ්ගේ අදහස්වල ම ප‍්‍රතිරාවයකි. තත්කාලීන ලේඛකයන් වූ ඩුනෙයෙව්ස්කායා, සී.එල්.ආර්. ජේම්ස් හා කොර්නේලියස් කැස්ටොරියාඩිස් වැනි “රාජ්‍ය ධනවාදී” න්‍යාය ගුරුන්ගේ කෘතීන් පිලිබඳව ද එය ම කිව හැකි ය. පසුව කී අය සෝෂලිසම් ඌ බාබරී නමැති ප‍්‍රන්ස සඟරාවේ මූලාරම්භකයන් වූ අතර එය පශ්චාත් නූතනවාදී චින්තනයේ වර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කලේ ය.

පසුව ඇති වූ දේශපාලන වර්ධනයන්ගේ ආලෝකයෙන් ඔවුන්ගේ ලේඛන කියවන කෙනෙකු ඒවා කෙතෙක් අදූරදර්ශී සහ අවිචක්ෂන ද යන්නෙන් තිගැස්සෙනු ඇත. සෝවියට් සංගමය පිලිබඳ විශ්ලේෂනයේ දී ස්ටැලින්වාදී නිලධරයට වඩා බලගතු අන් කිසිවක් ඇති බවක් ඔවුහු නුදුටුවහ. දේශපාලන විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී කි‍්‍රයා මාර්ගය ඔවුහු අවඥාවෙන් බැහැර කලහ. ඔවුන්ට අනුව ස්ටැලින්වාදී නිලධරය මාක්ස්වාදය විසින් පූර්වාපේක්ෂා නොකරන ලද අලුත් බලවත් සමාජ බලවේගයක් නියෝජනය කලේ ය. කැස්ටොරියාඩිස් ලියූ පරිදි:

යුද්ධයෙන් දුබල වනවා වෙනුවට සිය බලය සැලකිය යුතු පරිද්දෙන් නැගෙනහිර යුරෝපය පුරා පතුරුවා ගෙන හැම අතින් ම රුසියානු තන්ත‍්‍රයට සැසඳුනු තන්ත‍්‍ර කොමියුනිස්ට් පක්ෂයේ අනුග‍්‍රහය යටතේ බිහි කර ගනිමින් සිටි නිලධරය “පරපුටු ස්තරයක්” නො ව බලවත් අධිකාරයකින් යුතු සූරා කන පන්තියක් ලෙස දැකීමට කෙනෙකු යොමු වීම අනිවාර්යයෙන් ම නො වැලැක්විය හැකි තරම් වූ අතර ආර්ථික හා සමාජ විද්‍යාත්මක මට්ටමේ කෙරුනු අලුත් විශ්ලේෂනයක් මගින් මෙය තව දුරටත් සනාථ කර ගන්නා ලදී.(10)

විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කිරීම නිලධරයට සුවිශේෂී ඓතිහාසික කාර්ය භාරයක් ආරෝපනය කිරීම මගින් තව දුරටත් තහවුරු කරන ලදී. සිය අඩයාලම වූ උද්ධච්චකම හා නරුමකමින් යුතුව කැස්ටොරියාඩිස් සඳහන් කල පරිදි:

...ශුද්ධ වූ ලියවිලිවල සත්‍ය භාවයේ සාක්ෂ්‍ය වනාහි දේව වාක්‍යය යි; තව ද දේව වාක්‍යය ප‍්‍රකාශ කරන ලද්දේ ය යන්න පිලිබඳ සාක්ෂ්‍යය ශුද්ධ වූ ලියවිලිවල එසේ පවසා තිබීම යි කියනු ලැබේ. මෙය වනාහි ස්වයං තහවුරුවේ පද්ධතියකි. ඇත්ත වශයෙන් ම මාක්ස්ගේ කෘත්‍යය එහි ජීව ගුනයෙන් ද අධ්‍යාශයෙන් ද පහත සඳහන් පිලිගැන්ම ඔස්සේ නැගී සිටින බව ද බිඳ වැටෙන බව ද සත්‍යයකි: එය නම් කම්කරු පන්තිය විප්ලවවාදී පන්තිය වන්නා සේ ම තමන් එලෙස ප‍්‍රකාශනය ලබන්නේ ය යන්න යි. තතු පවතින්නේ එපරිද්දෙන් නො වේ නම් - ඇත්ත වශයෙන් එය එසේ නො පවතී - මාක්ස්ගේ කටයුතු එය යථාර්ථය තුල සැම දා මත් පැවති දේ බවට, එනම්, සමාජය සහ ඉතිහාසය පිලිබඳව ඒවායේ විප්ලවීය පරිවර්තනයේ පර්යාලෝකයෙන් සිතා ගැනීමට දැරුනු (දුෂ්කර, දුරවබෝධ, සහ ගැඹුරෙන් ම අවිනිශ්චිතාර්ථ) ප‍්‍රයත්නයක් බවට, පත් වෙයි. එවිට අපට, මාක්ස් ම ද නිර්ධන පන්තියේ ඉතිහාසය ද යන මේ දෙක ම සංරචකයන් ලෙස ගන්නා වූ අපේ ම තත්වයෙන් සියලු කටයුතු ආරම්භ කිරීමට සිදු වේ.”(11)

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් ඉක්බිත්තේ සුලු ධනපති බුද්ධි ක්ෂේත‍්‍රයේ විවිධාකර කොටස් තුල එන්ට එන්ට ම දැනුවත්ව ම ප‍්‍රතිභෞතිකවාදී ප‍්‍රතිමාක්ස්වාදී ප‍්‍රතිට්‍රොට්ස්කිවාදී ප‍්‍රතිසමාජවාදී හා කම්කරු පන්ති විරෝධී දැක්මක් වර්ධනය වනු දැක ගත හැකි විය. විශේෂයෙන් ම එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ ධනපති පාලනය පුනස්ථාපනය වෙද්දී හා සෝවියට් නිලධරය සිය තත්වය තහවුරු කර ගනිද්දී, සුලු ධනේශ්වරය බුද්ධිමය සංකල්ප වර්ධනය කර ගැනීමටත් පශ්චාත් යුද්ධ පර්යාය තුල තමන්ගේ ම අවශ්‍යතාවන්ගේ ආරක්ෂාවට හොඳින් ම ගැලපෙන දේශපාලන කි‍්‍රයා මාර්ගය විස්තාරනය කර ගැනීමටත් උත්සුක විය. 1949 හා 1953 අතර කාලයේ පැබ්ලෝවාදය මතු වී ඒම, මෙම සමාජ දේශපාලන හා බුද්ධිමය කි‍්‍රයා දාමය හතර වන ජාත්‍යන්තරය තුල ප‍්‍රකාශයට පත් වීමක් විය.

හේගල් නිරීක්ෂනය කල පරිදි “මිනර්වාගේ දිවාන්ධයා පියඹන්නේ හැන්දෑවට” ය. 1950 ගනන්වල හා 60 ගනන්වල හතර වන ජාත්‍යන්තරය තුල සංශෝධනවාදයේ වර්ධනය ප්‍රේරනය කල සමාජ බලවේගයන් වඩා හොඳින් හඳුනා ගැනීමට හැකි වන්නේ ඓතිහාසික වර්ධනයේ වැඩි දියුනු අවධියක ය. එය ව්‍යාකුල වූ සුලු පිරිසක් සිදු කල අවාසනාවන්ත දේශපාලන “වැරදි” පිලිබඳ කාරනයක් නො වී ය. විප්ලවවාදී මාක්ස්වාදයේ දේශපාලන ප‍්‍රකාශනය වන සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදයේ වඩාත් වැදගත් විරුද්ධවාදීන් පමනක් නම් කල හොත්, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ න්‍යායික හා දේශපාලන දෝෂ පැන නැගුනේ දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තෙහි වර්ධනය වූ සමාජ-ආර්ථික කි‍්‍රයාවලියක ප‍්‍රකාශනය ලෙස ය. පැබ්ලෝවාදය ලෙස දන්නා මෙම ප‍්‍රවනතාව මගින් හතර වන ජාත්‍යන්තරයේ පාලනය සියතට ගැනීමටත්, එහි කීර්තිය තමාගේ ම උත්සුකයන් වෙනුවෙන් උපයෝගී කර ගැනීමටත් සුලු ධනේශ්වරය උත්සාහ දැරී ය. කැනන් විසින් “විවෘත ලිපිය” නිකුත් කරනු ලැබීම, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයෙන් බිඳී වෙන් වීම 1953 නොවැම්බරයේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දිය කර හැරීම වැලැක්වීම පිනිස ගත යුතුව තිබුනු අත්‍යවශ්‍ය ආත්මාරක්ෂක පියවරක් විය.

1953 සිදුවීම් හතර වන ජාත්‍යන්තරය තුල 32 වසරක් තිස්සේ ඇදී ගිය අභ්‍යන්තර යුද්ධයක් ආරම්භ කලේ ය. ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂකයන් මුහුන පෑ ඉමහත් දුෂ්කරතා ගලා ආවේ ලෝක පරිමානයකින් කි‍්‍රයාත්මක වූ සමාජ බලවේගයන්ගේ අවශ්‍යතා ඒ හා පැටලී පැවැත්තේ ය යන කරුනෙනි. එසේ ම අරගලය සිදු වූයේ; කම්කරු පන්තියේ අවශ්‍යතා මත පදනම් වූ විප්ලවවාදී පිලිවෙතක් මත පිහිටා සටන් වැදුනු අයට බෙහෙවින් ම අහිතකර වෛෂයික තත්වයන් යටතේ ය. ඒ හා සම්බන්ධ වූ ජාත්‍යන්තර බලවේග මතකයට ගන්න: ඒ වනාහි සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය හා නැගෙනහිර යුරෝපයේ බලය දරා සිටි ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් ද චීනයේ මා ඕවාදී තන්ත‍්‍රය ද “තුන් වන ලෝකයේ” හා දියුනු ධනපති රටවල ධනේශ්වර ජාතික ව්‍යාපාර ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ස්ටැලින්වාදය හා වෘත්තීය සමිති නිලධරයන් ද විශ්ව විද්‍යාල තුල හා අනෙකුත් ඉහල වැටුප් ලද වෘත්තීන් තුල ද වේගයෙන් පැතිර යමින් තිබුනු හා සාපේක්ෂව වරප‍්‍රසාදිත සුලු ධනපති තට්ටු ද යන බලවේග කි‍්‍රයාකාරීව සිටි සමයකි.

ජාත්‍යන්තර කමිටුව තුල සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් කන්ඩායම කුඩා සුලුතරයකට සිඳී ගියේ ය. හතර වන ජාත්‍යන්තරයේ බොහෝ කොටස් පැබ්ලෝවාදය වැලඳ ගනිමින් ස්ටැලින්වාදී හා වාම සුලු ධනේශ්වර රැඩිකල්වාදී වටපිටාව තුලට දිය වී ගියා පමනක් නො වේ. බොහෝ සතුරු දේශපාලන බලවේග විසින් යොදන ලද පීඩනයට ප‍්‍රතිරෝධය දක්වමින් පවා ජාත්‍යන්තර කමිටුව ම ද පැවතුනේ බෙහෙවින් අස්ථාවරව ය.

පුද්ගල අනන්‍යතාව හා ජීවන රටාව කේන්ද්‍ර කර ගත්තා වූ ද දැන් අප ඉතා නිවැරදිව 1980, 1990 සහ 2000 ගනන්වල “ව්‍යාජ වාම” දේශපාලනය ලෙස සඳහන් කරන නිර්නායකයට සුදුසුකම් ඇත්තා වූ ද දේශපාලන තේමාවන් බොහොමයක් උපත ලැබුවේ 1950 හා 60 ගනන්වල සුලූ ධනපති වාම හා පැබ්ලෝවාදී පරිසරය තුල ය. විශේෂයෙන් ම මාකියුස් විසින් අර්ථ ගන්වන ලද පරිදි ෆ්‍රොයිඩ් හා මනෝ විද්‍යාව, මාක්ස්ට හා භෞතිකවාදයට විකල්පයක් ලෙස හුවා දැක්වූ අවධිය වූයේ මෙය යි. කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය මාකියුස් විසින් අශුභවාදීව ප‍්‍රතික්ෂේප කිරීම, සර්ව බලධාරී යැයි කියන ලද පීඩාකාරී සමාජය තුල පුද්ගල විමුක්තිය සඳහා පදනම ලෙස පන්ති අරගලයට විකල්ප සෙවීමට අනුමැතියක් පමනක් නො ව බලකිරීමක් ද විය. ඔහුට විශේෂයෙන් ම විශ්ව විද්‍යාල තුල බෙහෝ උද්‍යෝගිමත් ගෝලයන් ලැබුනි. එවක දී පැවති බුද්ධිමය මනෝභාවයේ ප‍්‍රකට ප‍්‍රකාශනය දක්නට ලැබුනේ තියඩෝර් රොසාක් 1968 ලිවූ The Making of a Counter-Culture (ප‍්‍රතිසංස්කෘතියක් ගොඩ නැගීම) නම් කෘතිය තුල ය. රොසාක්, මාකියුස් ද Love’s Body (අනුරතියේ ශරීරය) රචනා කල නෝමන් බ‍්‍රවුන් ද මාක්ස් ඉක්මවා ඉදිරි පියවර ගත්හ යි උත්කර්ෂයෙන් ලිවී ය:

...මාකියුස් හා බ‍්‍රවුන් විමුක්තිය පිලිබඳව කථා කල ස්වරය සුවිශේෂිතව ම නිර්මාක්ස්වාදී ය. මාකියුස් පිලිබඳව කිව හොත් එය “ලුබ්ධිමය තාර්කිකත්වය” සාක්ෂාත් කර ගැනීමකි. බ‍්‍රවුන් සම්බන්ධයෙන් නම් එය “යථාර්ථය පිලිබඳ ශෘංගාරාත්මක සංවේදනයක්” හෙවත් “ඩයොනීසියානු මමංකාරයක්” නිර්මානය කිරීමකි. මෙම පරමාදර්ශයන් පහදා දීමට උත්සාහ දැරූ ඔවුන් දෙදෙනා ම පුරානෝක්තියේ හා කාව්‍යයේ සංකල්ප රූප හඳුන්වා දීමේ ප‍්‍රහර්ෂී රචකයන් බවට විෂය ස්වභාවය විසින් ම පත් කරනු ලැබූහ. මේ ආකාරයට ඔවුහු, සමාජ දෘෂ්ටිවාද සාහිත්‍යයෙන් හා ඊටත් වඩා විද්‍යාවන්ගෙන් අපකීර්තිමත් ලෙස වියෝ වූ තානයක් වාදනය කලහ...

“ෆ්‍රොයිඩ් - මානව ස්වභාවය පිලිබඳ සිය සංකල්පය බා ගත්තේ පුරානෝක්තිය, ආගම, සිහින, දෘෂ්‍යයන් යන අන්ධකාර ජලාශයෙනි. එහෙත් මේ සියලු ගුප්ත විෂය සම්බන්ධයෙන් මාක්ස්ට අල්පමාත‍්‍ර තැකීමක් හෝ නො වී ය. ඔහුගේ තෝරා ගැනීම වූයේ, මිනිසාට homo economicus, ... (ආර්ථික මිනිසා), homo faber (නිර්මානක මිනිසා) හැර වෙනත් කිසිදු සෙයියාවකින් පෙනී සිටීමට ඉඩක් නොපැවති බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලේඛනාගාරයේ කර්මාන්ත පිලිබඳ දත්ත හාරා අවුස්සමින් සෝබර පැය ගනන් ගත කිරීම ය.

කුපිත සදාචාරවාදියා, මහා ව්‍යසනයේ ජ්වලිත වක්තෘ සහ බහුශ‍්‍රැත බුද්ධි දාසයා වූ මාක්ස්ට සූරා කනු ලබන්නා වූ ද පී‍්‍රති රහිත වූ ද හෝමෝ ඉකොනොමිකස් හැර අන් කිසිදු මිනිසෙකු ගැන සිතන්නට අර්බුදයේ ගිනියම හා පීඩනය තුල කවර අවකාශයක් පැවතිනි ද?”(12)

මානව වර්ගයේ අනාගතය සඳහා තීරනාත්මක සටන් කෙරෙනු ඇත්තේ පන්ති අරගලයේ ක්ෂේත‍්‍රය මත නො ව මිනිස් සිරුර මත බව ෆ්‍රොයිඩ් වටහා ගත්තේ යැයි රොසාක් වෙනත් තැනක ලියා තැබී ය.

1960 ගනන්වල මධ්‍යම පන්තික තරුනයන්ගේ වැදගත් රැඩිකලීකරනයක් සිදු විය. මෙම තරුනයන්ගේ විශාල කොටස් තමන් සමාජවාදීන් පමනක් නො ව මාක්ස්වාදීන් ලෙස ද හඳුන්වා ගත්හ. එහෙත් ඔවුන් එම වැකිවලින් අදහස් කල දේ සම්භාව්‍ය මාක්ස්වාදය තුල ඒවා ගත් අර්ථයට වඩා බෙහෙවින් වෙනස් විය. තමන් මාක්ස්වාදීන් යැයි ඔවුන් විශ්වාස කලේ ද නැද් ද යන්න සැබවින් ම ප‍්‍රශ්නයට අදාල නො වේ. එහෙත් ඒ බව දැන හෝ නො දැන සිටියත්, - “ග‍්‍රාම්‍ය” භෞතිකවාදයට එල්ල කරන ලද හෙලා දැකීම්වල සලුපිලිවල දැවටූ - සම්භාව්‍ය මාක්ස්වාදයට එරෙහිව ඔවුන් එල්ල කල න්‍යායික විරුද්ධත්වයන් හුදෙක් ම පුනර්කරනය කලේ - මාක්ස්වාදය කම්කරු පන්තියේ මහා දේශපාලන ව්‍යාපාරයක්ව ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ ස්වරූපයෙන් ප‍්‍රකාශිතව තිබුනු 1890 ගනන් දක්වා අතීතයට දිවෙන, මාක්ස්වාදය පිලිබඳ ආත්මීය විඥානවාදී විවේචනයන් ය.

1968 අවුරුද්ද රැඩිකල් ශිෂ්‍ය ව්‍යාපාරයේ බුද්ධිමය හා දේශපාලන විකාශනයේ හැරීම් ලක්ෂ්‍යයක් සලකුනු කලේ ය. වියට්නාමයේ අධිරාජ්‍යවාදී යුද්ධයටත් අනෙකුත් සමාජ ප‍්‍රශ්නවලටත් එරෙහි දැවැන්ත විරෝධතා පැන නැගුනු වසර එය විය. මෙම විරෝධතාවන්හි ඉහල ම තුඩ වූයේ ප‍්‍රන්සයේ පැන නැගුනු ශිෂ්‍ය ව්‍යාපාරය යි. ශිෂ්‍ය වර්ජනයට එරෙහිව පොලීසිය විසින් සෝබෝන් විශ්ව විද්‍යාලය ආක‍්‍රමනය කිරීම 1968 මැයි-ජූනි සිදුවීම්වල ආරම්භය සලකුනු කලේ ය. පොලීසිය ශිෂ්‍යයන්ට එල්ල කල ලේ වැකි ප‍්‍රහාරය ඩිගෝල්ගේ ආන්ඩුවට විරුද්ධ විරෝධතා වෙතට ප‍්‍රන්ස කම්කරු පන්තියේ දැවැන්ත මැදිහත් වීමක් ජනනය කලේ ය. එක රැයකින් ම පාහේ, ශිෂ්‍ය විරෝධතා අඟුටුමිටි බවට පත් කරමින් පැන නැගුනු කම්කරු පන්ති බහුජන ව්‍යාපාරය, හුදෙක් ඩිගෝල් රජය මතු නො ව ප‍්‍රන්ස ධනවාදය ම පෙරලා දැමීමේ ශක්‍යතාව ඉස්මතු කලේ ය.

කම්කරු පන්ති විප්ලවයේ අවතාරය සුලු ධනපති විරෝධතා අභිභවාලූයේ ය. ප‍්‍රන්සය පුරා කම්හල්වල රතු ධජය ලෙල දුනි. ආර්ථිකය ඇනහිටියේ ය. රුමේනියාවේ සංචාරයක නිරතව සිටි ඩිගෝල් පෙරලා සියරට පැමිනි විට තම පාලන තන්ත‍්‍රය බිඳී යමින් තිබෙනු දුටුවේ ය. තකහනියේ ම ජර්මනියේ බෙඩන් නගරයේ ස්ථානගත කර සිටි සිය ජනරාල්වරුන් හමු වීමට එහි ගිය ඩිගෝල් පැරිසිය කරා ගමන් කිරීම පිනිස එම හමුදා බලමුලූ ගැන්විය හැකි දැයි විමසී ය. සිය අන යටතේ සිටි හමුදාවන්හි පක්ෂපාතිත්වය පිලිබඳව සහතික විය නොහැකි බව ජනරාල්වරු පැවසූහ. දැන් ඉතින් සියල්ල යථා තත්වයට පත් කිරීම රැඳී පැවතුනේ සීජීටී නම් වෘත්තීය සමිති සම්මේලනය පාලනය කල ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය හා ස්ටැලින්වාදීන් මත ය. මහා වැඩ වර්ජනය අවසන් කිරීමෙහිලා ඔවුන් දැරූ පලමු උත්සාහය අසාර්ථක විය. සීජීටීයේ නායක චාල්ස් සෙගුඉ විශාලතම කම්හල වූ රෙනෝල්ට්හි කම්කරුවන් හමුවට පැමිනි විට කම්කරුවෝ කෑකෝ ගසා ඔහු එලවා දැමූහ. අවසානයේ කොමියුනිස්ට් පක්ෂයේ ද සීජීටීයේ ද ඒකාබද්ධ ද්‍රෝහිත්වය තුලින් ම පමනක් මහා වැඩ වර්ජනය පාවා දී අවසානයකට ගෙන එන ලදී. ප‍්‍රන්ස පාලක පන්තිය විප්ලවයෙන් ගලවා ගනු ලැබුනි.

කම්කරුවන් වැඩ වර්ජනයට බැසීමත් සමග එහි මැදිහත්වීම සුලු ධනපති ව්‍යාපාරය ඉක්මවා යටපත් කර දමමින් එය නොවැදගත් තැනකට ඇද දැමී ය. එක් රැයකින් ම කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්‍යතාව ප‍්‍රදර්ශනය විය. කෙසේ වුව ද කම්කරු පන්තිය පැවතියේ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ ය. එහෙත් මෙම අත්දැකීම ප‍්‍රන්ස බුද්ධිමතුන්ගේ පුලුල් කොටස් අතර ඇති කල බලපෑම අප‍්‍රසන්න එකක් විය. ඔවුහු බියෙන් පැකිල තමන්ගෙන් ම මෙසේ විමසා ගත්හ. “දෙවියන්ගේ නාමයෙන් අප මේ කරමින් සිටින්නේ කුමක් ද? එහෙන් මෙහෙන් විරෝධතා කිහිපයක් නම් කමක් නැත. එහෙත් ධනවාදය පෙරලා දැමීම? කම්කරු පන්තියේ ආඥාදායකත්වය? මොන් ඩියු, මගෙ දෙයියනේ! ස්වර්ගයේ නාමයෙන් ඒවා නම් ඔට්ටු නැත!” 1968 මැයි-ජූනියේ දී සුලු ධනපති බුද්ධිජීවීහු අගාධය දැක භීතියට පත් වූවෝ ය. විප්ලවයේ සුලං වේගය යන්තමින් ඔවුන් පිරිමැද ගිය පමනෙකින් මුදා හැරුනේ දක්ෂිනාංශය කරා වූ තියුනු ව්‍යාපාරයකි.

ප‍්‍රධාන වශයෙන් ම ජීන් ප‍්‍රන්ශුවා රෙවෙල් හා බර්නාඩ් හෙන්රි ලෙවි විසින් නියෝජනය වූ ඊනියා “නව දර්ශනවාදීහු” “මානව අයිතීන්” යන කුහක ධජය යටතේ ප‍්‍රතිකොමියුනිස්ට්වාදය වැලඳ ගත්හ. ඒ අතර ස්ටැලින්වාදය හෝ සෝෂලිසම් ඌ බාබරී සමග සහවාසයෙන් දාර්ශනිකව හැඩ ගැන්වුන ඇතැමුන් ද ඇතුලත් තවත් දාර්ශනිකයන් කන්ඩායමක්, බුද්ධිමය වශයෙන් නාස්තිකවාදී පශ්චාත් නූතනවාදී සූත‍්‍ර මගින් මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කිරීමේ සිය ආස්ථානයන් යුක්ති සහගත කර ගත්හ.

තමන් වාමාංශික යැයි හඳුන්වා ගත් එම ප‍්‍රවනතා පවා, සම්භාව්‍ය මාක්ස්වාදය ද විශේෂයෙන් ම කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්ය භාරය පිලිබඳව කරන අවධාරනය ද තරයේ ම ප‍්‍රතික්ෂේප කලේ ය. සමකාලීන “පශ්චාත් ව්‍යූහවාදී” අරාජකවාදයේ න්‍යායගුරු සෝල් නිව්මන් මෙය පිලිගත්තේ ය: “68 මැයි මාසයෙන් මතු වී ආ මෙම නව වාමාංශය පශ්චාත් මාක්ස්වාදී වමක් වූ අතර, අඩු ම තරමින් මාක්ස්-ලෙනින්වාදී න්‍යායේ මූලික සිකපදයන් ගනනාවක්, විශේෂයෙන් ම පක්ෂයේ මුඛ්‍ය වැදගත්කම, අපෝහකය හා ඓතිහාසික භෞතිකවාදයේ සත්‍යතාව හා කම්කරු පන්තියේ සාර්වති‍්‍රක හා අත්‍යවශ්‍ය භූමිකාව ප‍්‍රශ්නයට බඳුන් කලේ ය.”(13)

කම්කරු පන්තිය පිලිබඳ මෙම ප‍්‍රතික්ෂේපය, රුසියානු විප්ලවයෙන් මෙපිට හට ගත් කම්කරු පන්තියේ විශාලතම සහ දිග් ගැසුනු ව්‍යාපාරය හමුවේ කරන ලද හෙයින් ම මෙම ප‍්‍රතික්ෂේපනය වඩාත් කැපී පෙනෙයි. එසමයෙහි කම්කරු පන්තියේ සටන්කාමිත්වය යුරෝපය, දකුනු ඇමරිකාව හා උතුරු ඇමරිකාව සිසාරා ගියේ ය. 1968 සිට 1975 දක්වා පැතිර පැවති කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරය වෙන කවර කලෙකටත් වඩා තියුනු ලෙසින් විප්ලවවාදී නායකත්වය පිලිබඳ මූලික ගැටලලුව ද මතු කලේ විය. එහෙත් කම්කරු පන්ති විප්ලවයේ න්‍යාය හා ඉදිරි දර්ශනයෙහි අසාර්ථකත්වය කියා පෑම සඳහා සුලු ධනපති වම තෝරා ගත්තේ ද හරියට ම මෙම මොහොත යි. මොවුනතර ප‍්‍රකට ප‍්‍රන්ස න්‍යායාචාර්ය ඇන්ඩෙ‍්‍ර ගෝර්ස් උද්ධච්ච හා ප‍්‍රකෝපකාරී මාතෘකාවක් යටතේ පොතක් ලිවී ය. Farewell to the Working Class! (කම්කරු පන්තියට ආයුබෝවන්!) යන හිසින් යුත් එම කෘතිය තුල ඔහු මෙසේ පැවසී ය. “කම්කරු පන්තිය පිලිබඳ මාක්ස්වාදී න්‍යායේ පදනම සොයා ගැනීමට දරන මොන ම උත්සාහයක් හෝ කාලය කා දැමීමකි.”(14)

ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වූ ජීන් ෆ‍්‍රැන්කෝ ලියෝටාර්ඩ්, පශ්චාත් නූතනවාදයේ යුගයෙහි එලඹීම නිවේදනය කලේ ය. මෙම යුගයේ විශේෂ ලක්ෂනය වන්නේ ඔහුගේ ම වචනවලින් කිව හොත් “මහා ආඛ්‍යානයන් හෙවත් මෙටානැරටිව්ස් කෙරේ දැක්වුනු ප‍්‍රගාඪ අවිශ්වාසයකි”. ලියෝටාර්ඩ් “මහා ආඛ්‍යානයන්” යනුවෙන් අදහස් කලේ ඉතිහාසය නියාම පාලිත සන්තතියක් ලෙස හැදෑරීමට ප‍්‍රවිෂ්ට වීම යි. අතිමූලික “මහා ආඛ්‍යානය” වනාහි මාක්ස් හා එංගල්ස් විසින් වර්ධනය කරන ලද ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය යි. විසි වන සියවසේ දී සියලු “මහා ආඛ්‍යානයන්ගෙන්” වඩාත් ම චිරකාලීන එක වූයේ, සාර්වාදය පෙරලා දැමීම ජාත්‍යන්තර ධනවාදයේ ප‍්‍රතිවිරෝධයන්හි ඓතිහාසිකව අත්‍යවශ්‍ය ප‍්‍රතිඵලය ලෙස පැහැදිලි කෙරුනු, ට්‍රොට්ස්කි විසින් සම්පාදිත History of the Russian Revolution (රුසියානු විප්ලවයේ ඉතිහාසය) නම් කෘතිය යි. මෙම විශ්ලේෂනය ප‍්‍රතික්ෂේප කිරීම සඳහා ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පයේ සියලු ප‍්‍රධාන මූලාශ‍්‍රයන්ට පහර දිය යුතු විය. බුද්ධිමය ඉතිහාසයේ එක් විශේෂඥයෙක් මෑතක දී මෙසේ සඳහන් කලේ ය: “සෑම විට ම නො වී නම් නිරතුරුව ම, නූතනවාදයට පශ්චාත් නූතනවාදී විවේචකයන් එල්ල කල ප‍්‍රහාරයේ ඉලක්කය වූයේ මාක්ස්වාදය බවට පැහැදිලිව ම තර්ක කල හැකි ය.”(15)

හතර වන ජාත්‍යන්තරය විසින් අත්පත් කර ගැනෙන දේශපාලන අත්දැකීම් වටහා ගැනීම සඳහා ඉහත කී බුද්ධිමය ඉතිහාසය, විශේෂයෙන් ම මාක්ස්වාදයේ දාර්ශනික පදනම් හා විප්ලවවාදී කි‍්‍රයා මාර්ගය වඩ වඩාත් ප‍්‍රකටව ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳ ඉතිහාසය, අධ්‍යයනය කිරීම බෙහෙවින් ම අවශ්‍ය වේ.

වර්කර්ස් ලීගය වර්ධනය කරන ලද්දේ සමාජවාදී කම්කරු පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දීමට එරෙහිව කරන ලද අරගලය තුල ය. මෙම ඉතිහාසය විමසා බලන කල්හි අපි, මෙම අරගලයේ දී මුඛ්‍ය වූ දේශපාලන හා න්‍යායික ප‍්‍රශ්න අවධාරනය කිරීමට යොමු වන්නෙමු. කෙසේ වෙතත්, වර්කර්ස් ලීගය වර්ධනය කරන ලද්දේ සමාජ රික්තයක් තුල නො වේ. මෙම අරගලයේ සමාජමය සංරචකයක් පවතී. මට මෙහි වැදගත්කම අවධාරනය කිරීමට උවමනා ය. පක්ෂය කම්කරු පන්තිය වෙත පැහැදිලි දේශපාලන දිශාවනතියක් පවත්වා ගැනීමට හැකි සෑම මාර්ගයක් ම යොදා ගැනීමට උත්සාහ දැරී ය. එහෙත් පක්ෂයේ මුල් අවුරුදුවල අධිකාරය දරන ලද්දේ දේශපාලනිකව හා සමාජීයව වෙන් වී ගැනීමේ සන්තතියකි. 1970 හා 73 අතර කාලයේ වර්කර්ස් ලීගය අත්පත් කර ගත් අර්ථභාරී වර්ධනය නො වැලැක්විය හැකි පරිදි බරපතල දේශපාලන අර්බුදයක් නිර්මානය කලේ ය. බොහෝ බඳවා ගැනීම් සිදු වූයේ සුලු ධනපති රැඩිකල් විරෝධතා ව්‍යාපාරයන්ගේ වාතාවරනය තුලිනි. එකල වර්කර්ස් ලීගයේ ජාතික ලේකම්ව සිටි ටිම් වුල්ෆර්ත් මතුව ආවේ ෂැට්මන්වාදී ව්‍යාපාරයෙනි.

වියට්නාම් යුද්ධය අවසානයෙන් ඉක්බිත්තෙහි සුලු ධනපති යුද විරෝධී ව්‍යාපාරය බිඳ වැටෙද්දී වර්කර්ස් ලීගය තුල සමාජ විභේදනයන්හි ඇඟවුම් වඩ වඩාත් ප‍්‍රකාශයට පත් විය. එක් එක් හා සෑම පුද්ගලයෙකුගේ ම පරිනාමය තීරනය වූයේ සෘජුව ම ඔහුගේ හෝ ඇයගේ සමාජ පසුබිමෙන් ය යන බවක් මින් කිසි සේත් ම අදහස් නො වේ. කෙසේ වෙතත්, 1973-74 කාල පරිච්ඡේදයේ දී මුහුන දුන් සාමාජික සංඛ්‍යාවේ බලගතු පහත වැටීම පිලිබඳව සැලකීමේ දී - නිසැකව ම වුල්ෆර්ත්ගේ හා ඔහුගේ සහායිකාව වූ නැන්සි ෆීල්ඩ්ස්ගේ විනාශකාරී හැසිරීම නිසා මේ තතු උග‍්‍ර වූ බැව් සත්‍යයක් වුවත් - එමගින් පිලිබිඹු කෙරුනේ වඩාත් පුලුල් සමාජ හා දේශපාලන කි‍්‍රයාවලියකි. 1960 ගනන්වල රැඩිකලීකරනය වූ මධ්‍යම පන්තික කොටස් තම සුපුරුදු සමාජ වාතාවරනය කරා පෙරලා ආපසු යාමට උත්සුකව උන්හ. මෙම ගමන විසින් ඔවුහු ධනේශ්වර දේශපාලන කක්ෂ තුලට නො වැලැක්විය හැකි පරිදි ම යලි ගෙන යනු ලැබූහ.

වර්කර්ස් ලීගය හා කම්කරු විප්ලවවාදී පක්ෂය යන දෙක ම, මධ්‍යම පන්තිය තුල පැන නැගී දක්ෂිනාවෘත ව්‍යාපාරයේ ගැඹුරු ම බලපෑමට හසු විය. එහෙත් එක්සත් ජනපදයේ දී වුල්ෆර්ත්ගේ භ‍්‍රෂ්ටත්වයෙන් නිර්මිත අර්බුදය වර්කර්ස් ලීගය විසින් ජය ගනු ලැබුවේ ගැටුමට යටින් පැවති න්‍යායික හා දේශපාලන මතභේද පිලිබඳව හැදෑරීම හා ක‍්‍රමානුකූල විශ්ලේෂනයක පදනම මත ය. එහෙත් බි‍්‍රතාන්‍යයේ ඇලන් තෝනට් සමග මතු වූ දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කරනු නො ලැබුනි. එබැවින් තෝනට් සමග කඩිමුඩියේ සංවිධානාත්මක ලෙස දෙකෙන් එකක් බේරා ගැනුනු නමුදු, ඔහුගේ ප‍්‍රවනතාව තුලින් ප‍්‍රකාශිතව තිබුනු සමාජ හා දේශපාලන පීඩනයන් විමසීමකට ලක් නො වී ය. විශේෂයෙන් ම කම්කරු විප්ලවවාදී පක්ෂය තෝනට් සමග ගැටුම පැබ්ලෝවාදයට එරෙහිව පූර්ව අරගලයේ ඓතිහාසික සන්දර්භය තුල තැබීමට අසමත් විය. ඒ අනුව, දකුනට ගමන් කරමින් සිටි සුලු ධනපති කොටස්වල බලපෑම පක්ෂය තුල දිගට ම වැඩී ගිය අතර, එය 1985 දී බි‍්‍රතාන්‍ය සංවිධානය තුල පිපිරීමකට තුඩු දුන්, වඩ වඩාත් අවස්ථාවාදයට නැඹුරු වූ වෙමින් පැවති, කවිපයේ දේශපාලන පිලිවෙත තුල ම ප‍්‍රකාශයට පත් විය.

කෙසේ වුවත් 1982 හා 1985 අතර කාලයේ වර්කර්ස් ලීගය විසින් වර්ධනය කරන ලද න්‍යායික හා දේශපාලන විග‍්‍රහය මෙම අර්බුදයට මුහුන දීම සඳහා ජාත්‍යන්තර කමිටුව තුල අවශ්‍ය සූදානම ඇති කර තිබුනි. කවිප අවස්ථාවාදය පිලිබඳ විවේචන තීරනාත්මක බහුතරයක ශාඛාවන්ගේ සහයෝගය දිනා ගත්තේ ය. වසර 1985 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුව විසින් කවිපයේ සාමාජිකත්වය අත්හිටුවන ලදී. මෙනයින්, 1953 විවෘත ලිපිය නිකුත් කිරීමත් සමග ආරම්භ වූ හතර වන ජාත්‍යන්තරය තුල 32 වසරක සිවිල් යුද්ධය සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදයේ ජයග‍්‍රහනයෙන් සමාප්ත විය.

දේශපාලනික හා සමාජීය යන දෙඅර්ථයෙන් ම 1985 ශරත් සමයේ සිදු වූ භේදය තීරනාත්මක විය. ජාත්‍යන්තර කමිටුවට විරුද්ධ වූ කවිපයේ කොටස් විප්ලවවාදී සමාජවාදය සමග පැවති ඔවුන්ගේ පූර්ව දේශපාලන හා පෞද්ගලික බැඳීම් සියල්ලෙන් ම තීරනාත්මක ලෙස බිඳී යාමේ කි‍්‍රයාවලියකට පිවිස තිබුනි. කවිප නායකයන් හා ඔවුන් අනුගමනය කල අය සමාජවාදී ඉදිරි දර්ශනයේ ගැටලූ හා කම්කරු පන්තියේ අවශ්‍යතා සාකච්ඡා කිරීමට උනන්දුවක් නො දැක්වූහ. බන්ඩා හා ස්ලෝටර්ගේ අනුගාමිකයන් අතර පැවතියේ උමතු තත්වයකි. මම මෙය පැහැදිලි කිරීමට අප රක්නා උරුමය තුල උත්සුක වීමි:

මධ්‍යම පන්තිය තුල සිර වී තිබුනු කෝපය 1985 ඔක්තෝබරයේ දී කවිපය තුල පුපුරා ගියේ ය. අපේක්ෂා භංගයට හා අතෘප්තියට පත්, වසර ගනනාවක නිෂ්ඵල ව්‍යායාමයකින් වෙහෙසට පත්, තම පෞද්ගලික තත්වයන් ගැන කලකිරී සිටි, ඉන් නැති කර ගත් කාලය යලි අත් කර ගැනීමට නොඉවසිලිමත් වූ සරලව ම විප්ලවය ගැන සියලු කථාවලින් වෙහෙසට පත්ව රෝගී වූ අර්ධ විශ‍්‍රාමික සරසවි ඇදුරන්ගේ වෛවාරන්න කන්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම මධ්‍යම පන්තික බලවේගයන්හි ආත්මීය ද්වේෂය දේශපාලනිකව පරිවර්තනය වූයේ දිය කර හැරීම්වාදය කරා ය. ඒ, හරියට ම එහි මූලය පැවතුනේ කවිප නායකත්වයේ ආත්මීය දෝෂයන් තුල පමනක් නො ව, ඊට වඩා අතිමූලික ලෙස, පන්ති සම්බන්ධතාවන්ගේ වෛෂයික වෙනස්කම් තුල වන නිසා ය. පක්ෂයේ විශාල කොටස් වෙලා ගත් සංශයවාදය කම්කරු විප්ලවවාදී පක්ෂය තුල බලගතු සමාජ ප‍්‍රවනතාවක ප‍්‍රකාශනය යි.(16)

1985 ශරත් සමයේ දී කම්කරු විප්ලවවාදී පක්ෂයේ ප‍්‍රවනතා පන්ති අර්ථයකින් පැහැදිලි කිරීමට අප උත්සාහ දැරූ කල කෝපයට පත් ක්ලිෆ් ස්ලෝටර් එක් අවස්ථාවක දී “තමන් නියෝජනය කරන්නේ කුමන පන්තියක් දැයි පැහැදිලි කරන මිනිසුන් ගැන මම වෙහසට හා කලකිරීමට පත්ව සිටින්නෙමි” යි කී ය. තමන් නියෝජනය කලේ කුමන පන්ති බලවේගය ද යන්න සාකච්ඡා කිරීමට නිසැකව ම ස්ලෝටර්ට උවමනා වූයේ නැත. ඊට හොඳ හේතුවක් තිබුනි. තමන්ගේ මූලධර්ම විරහිත දේශපාලනය සඳහා යුක්තිකරනයක් ලෙස 1985 දී ඔහු “විප්ලවවාදී සදාචාරය” යන ධජය දිග හැරියේ ය. එය සේවය කලේ අධිරාජ්‍ය ගැති “මානව හිමිකම්” දේශපාලනයට පාලමක් ලෙස ය. අවුරුදු දහයක් යන්නට පෙර ඔහුගේ සංවිධානයේ සාමාජිකයෝ බෝල්කන් ප‍්‍රදේශවල නේටෝ මැදිහත් වීම් සමග සහයෝගී වෙමින් සිටියහ.

ජාත්‍යන්තර කමිටුව තුල අරගලය කුලු ගැන්වෙමින් තිබුනු 1985 වසරේ දී අර්නෙස්ටෝ ලැක්ලාවු හා චැන්ටල් මවුෆෙ ඔවුන්ගේ Hegemony and Socialist Strategy (හෙජමොනිය හා සමාජවාදී මූලෝපාය) යන ප‍්‍රධාන කෘතිය නිම කලහ. එය ප‍්‍රධාන පැබ්ලෝවාදී ප‍්‍රකාශන මන්දිරය වන වර්සෝ විසින් පල කරන ලදී. මෙම පොත පශ්චාත් නූතනවාදී හා පශ්චාත් ව්‍යූහවාදී යන කවයන් දෙක තුල ම ඉමහත් බලපෑමක් දරා සිටියේ ය. එවක දී අප ඔවුන්ගේ ලේඛන ගැන දැන නොසිටිය ද - සමහර විට ස්ලෝටර් ද ඒ ගැන දැන නො සිටින්ට ඇත - ලැක්ලාවු හා මවුෆෙගේ සංකල්ප, කවිපෙ සඳහා න්‍යායික වේදිකාවක් ලෙස සේවය කර තිබුනා විය හැකි ය. ලැක්ලාවු හා මවුෆෙ මෙසේ ලිවූහ:

දැන් අර්බුදයට පත්ව ඇත්තේ කම්කරු පන්තියේ සත්භාවයෙහි කේන්ද්‍රීයතාව මත රඳා පවතින්නා වූ ද, එක් වර්ගයක සමාජයක් තවෙකකට පරිවර්තනය වීමේ දී ආරම්භක මොහොත ලෙස මහප‍්‍රානයෙන් “ආර්” අකුරෙන් අරඹන විප්ලවයක (Revolution) භූමිකාව මත රඳා සිටින්නා වූ ද, දේශපාලනයේ නිමේෂය අර්ථ විරහිත කර දමනසුලු, සර්ව අර්ථයෙන් ම ඒකීය හා සමජාතීය සාමූහිකත්වයක මායාවී ප‍්‍රාර්ථනා මත රඳා පවතින්නා වූ ද සමාජවාදය පිලිබඳ සමස්ත සංකල්පයකි....

මේ වූ කලි, මාක්ස්වාදී න්‍යායේ වලංගු භාවයෙහි ක්ෂේත‍්‍රය හා හැකියා පෑම් සිඳ දැමීමේ දී එම න්‍යායේ ගැඹුරින් ම නෛසර්ගික යමකින්; එනම්, සිය ප‍්‍රවර්ගයන්ගේ මාර්ගයෙන් ඉතිහාසයේ අර්ථයට යටින් පවත්නා සාරයක් හෝ අර්ථයක් ග‍්‍රහනය කර ගැනීමට මාක්ස්වාදයට පවත්නා අද්වෛතවාදී විජිගීෂාවෙන් අප බිඳී වෙන් වීමේ ප‍්‍රශ්නයක් නොවන්නේ ද? මෙයට දිය හැකි පිලිතුර නම් “ඔව්” යන්න යි. සාර්වත‍්‍රික පන්තියක පැවැත්ම මත පදනම් වූ සත්භාවික වරප‍්‍රසාදිත තත්වයකින් පැන නගින කුමන හෝ ඥාන විභාගාත්මක වරදානයක් වුව අප විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් පමනක් ම අපට මාක්ස්වාදී ප‍්‍රවර්ගයන්ගේ වර්තමාන වලංගු භාවයේ ප‍්‍රමානය මැන ගත හැකි වේ. අප දැන් පිහිටා සිටින්නේ පශ්චාත් මාක්ස්වාදී තලයක ය යන්න අප මේ අවස්ථාවේ දී පැහැදිලි කල යුතුව ඇත. මාක්ස් විසින් විස්තාරනය කරන ලද ආත්මීයත්වය සහ පන්ති පිලිබඳ සංකල්පය හෝ ධනේශ්වර සංවර්ධනයේ ඓතිහාසික මාවත පිලිබඳ මාක්ස්වාදයේ දැක්ම හෝ සත්තකින් ම කොමියුනිස්ට්වාදය වනාහි ප‍්‍රතිඝතිතතා රහිත පාරදර්ශී සමාජයක් ය යන සංකල්පය හෝ තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි ය.(17)

පසු ගිය විසි පස් වසර අංගලක්ෂිතව ඇත්තේ එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් සමාජය ආන්තිකව ධ‍්‍රැවාන්තගත වීමෙන් ය. සත්තකින් ම ජනගහනයේ පොහොසත් ම සියයට එක අත කියා නිම කල නොහැකි දැවැන්ත ධන සංකේන්ද්‍රනයක් වීම වෙත අර්ථ ශාස්ත‍්‍රඥයන්ගේත් සමාජ විද්‍යාඥයන්ගේත් අවධානය මූලිකව ම යොමුව ඇත. එහෙත් සසප පලමු යෝජනාවෙන් පෙන්වා දී ඇති පරිදි අවසාන දශක කිහිපය තුල ඉහල මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක් සැලකිය යුතු ධන සම්භාරයක් අත් කර ගෙන තිබුනි. මෙම සමෘද්ධිමත් කොටස ලබා ගෙන ඇති ධනය පොහොසත් ම සියයට එකේ සිට සියයට පහ දක්වා වූ පිරිස අත ඇති ධනයට කිසි සේත් ම කිට්ටු වී හෝ නැති හා සැසඳිය නොහැකි වුව ද, ඔවුහු කම්කරු පන්තියට සාපේක්ෂව හොඳ තත්වයකට පැන ගෙන සිටිති. කල් යාමේ දී සුලු ධනපති වමේ පදනම සකසාලූ සාපේක්ෂකව සමෘද්ධිමත් සමාජ ස්තරය මෙම ක‍්‍රියාවලිය තුලින් ද්‍රව්‍යමය, දෘෂ්ටිමය හා දේශපාලනික වශයෙන් කම්කරු පන්තියෙන් පරත්වාරෝපනය වීමට යොමුව ඇත.

අප විභාග කරන දේශපාලන සන්තතීන් වනාහි හුදෙක් න්‍යායික අස්ථාවරත්වයේ විපාක නො වේ. සුලු ධනපති වම කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්‍යතාවන් කෙරෙහි කාලාන්තරයක් පවත්වා ගෙන ගිය සංශය මෙම සුලු ධනේශ්වර ස්තරයන්ගේ එන්න එන්න ම ඉහල යන සමෘද්ධිමත් භාවය මගින් තව තවත් උග‍්‍ර කරනු ලැබ දැන් වඩ වඩාත් නපුරු අර්ථභාරයක් දරන අලුත් සුවිශේෂී සමාජ-ආර්ථික හා දේශපාලනික අංගලක්ෂන තහවුරු කර ගෙන සිටී. මොවුන් එහි ආර්ථික උත්සුකයන්, සමාජයේ මුදුනෙහි සිටින මුදුන්ගත සියයට දහය ඇතුලත ධනය හා වරදාන තමන්ට වඩාත් වාසිදායක ලෙස බෙදෙන තත්වයක් සකසා ගැනීමට ආර්ථික වශයෙන් වඩ වඩාත් යොමු වන තතු තුල හා, පාලක සංස්ථාපිතය විසින් තනනු ලබන දේශපාලන ව්‍යූහයන් තුලට පෙර නොවූ විරූ තරම් එය එලිපිට ම බැඳී ඇති තතු තුල පෝසත් වමට කම්කරු පන්තියේ අරගල කෙරේ තමන්ගේ උග‍්‍ර සතුරුකම පෙර පරිදි හිස් ව්‍යාජ සමාජවාදී කෙලතොලු කතාවලින් තව දුරටත් සඟවා තැබිය නොහැකි ය. කම්කරු පන්තියේ විප්ලවවාදී තබා මොන ම ස්වාධීන කාර්ය භාරයක් හෝ ප‍්‍රතික්ෂේප කරන “වාම” දේශපාලන නිර්නායකයක් සඳහා විවෘතව තර්ක කිරීමට “වමේ” දෘෂ්ටිවාදීන්ට සිද්ධ වී තිබේ.

සෝල් නිව්මන් “වාම” දේශපාලනයේ නව ආකෘතියක් සඳහා විවෘතව ම කැඳවුම් කරයි. එය,

මාක්ස්වාදී කම්කරු පන්ති අරගලයෙන් වෙනස්ව පවතින්නකි: එය තව දුරටත් නිර්ධන පන්තියේ මූලික මාතෘකාව මත පදනම් නො වේ. එබැවින්, සාම්ප‍්‍රදායික කම්කරු පන්ති සංවිධාන මෙම අරගල තුල වැදගත් ආකාරයෙන් මැදිහත් වන නමුත්, ව්‍යාපාරය තව දුරටත් පන්ති අරගලයේ මාතෘකාව යටතේ වටහා ගත හැකි නො වේ.(18)

සසප හා ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන ක‍්‍රියා මාර්ගය එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් ප්‍රෝඩාකාරී වමට අශමනීයව විරුද්ධ වෙයි. අපගේ දේශපාලනය පදනම් වන්නේ කම්කරු පන්ති අරගලයේ මධ්‍යගත ස්වභාවය මත ය. කම්කරු පන්තිය වනාහි ධනවාදයට එරෙහිව සටන් කරන විවිධ කොටස් අතර හුදෙක් එක් කොටසක් නො වේ. එය නූතන ධනේශ්වර සමාජය තුල තීරනාත්මක විප්ලවවාදී බලවේගය යි. පක්ෂයේ සියලු උත්සාහයන් යොමු කල යුත්තේ කම්කරු පන්තියේ අරගලයන් සූදානම් කිරීම හා ඒවායේ නායකත්වය ගැනීම දෙසට ය. විප්ලවවාදී අරගලය යථාර්ථවත් යැයි ද සැබවින් ම එය “වටහා ගත හැකි” වන්නේ පන්ති අරගලයේ “මාතෘකාව” තුල වර්ධනය වන විට පමනක් යැයි ද අපි අවධාරනය කරන්නෙමු. පන්ති ගැටුම තීව‍්‍ර වන මෙම නව අවධිය තුල කම්කරුවන් හා තරුනයන් අතර සිය බලපෑම ගොඩ නැගීමට සසප සටන් වදින්නේ මෙම පදනම මත ය.

සටහන්

1. ගේ‍්‍රටා ආර්. කි‍්‍රප්නර්, Capitalizing on Crisis: The Political Origins of the Rise of Finance [අර්බුදයෙන් ඵලප‍්‍රයෝජන ගැනීම: මූල්‍යකරනයේ නැගීමෙහි දේශපාලන මූලයෝ, (කේම්බි‍්‍රජ්: හාවඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2011)], 4 පි.

2. The First Five Years of the Communist International, Vol.1 [කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු පස් වසර, වෙලුම 1, (ලන්ඩන්: නිව්පාර්ක්, 1973)], 138 පි.

3. “Two Worlds,” in Collected Works, Volume 16 [ “ලෝක දෙකක්” එකතු කල කෘති, වෙලුම 16 (මොස්කව්: ප්‍රෝග්‍රෙස්, 1977)], 311 පි.

4. Leon Trotsky and the Development of Marxism [ලියොන් ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ වර්ධනය, (ඩිට්රොයිට්: ලේබර් පබ්ලිකේෂන්ස්, 1985)], 18-19 පිටු.

5. බෙන්සයිඩ් සූසා, New Parties of the Left:Experiences from Europe [වමේ අලුත් පක්ෂ: යුරෝපයේ අත්දැකීම්, (ලන්ඩන්: රෙසිස්ටන්ස් බුක්ස්, 2011)], 40 පි.

6. New York: The Free Press (නිව් යෝර්ක්: ද ෆ‍්‍රී ප්‍රෙස්), 69 පි.

7. In Defense of Marxism [ මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා, (ලන්ඩන්: 1966)], 15 පි.

8. ඩ්විට් මැක්ඩොනල්ඩ්, The Root is Man [මූලය මිනිසා ය, (බෲක්ලින්: එන්වයි. ඔටෝ මීඩියා, 1995)], 38-39 පිටු.

9. එම, 61-65 පිටු.

10. The Castoriadis Reader [කැස්ටොරියඩිස් රීඩර්, (ඔක්ස්ෆර්ඩ්: බ්ලැක්වෙල්, 1997)], 2 පි.

11. එම, 28 පි.

12. බර්ක්ලි: (යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ප්‍රෙස් 1995), 98-99 පිටු.

13. සෝල් නිව්මාන්, Unstable Universalities: Poststructuralism and Radical Politics [ අස්ථාවර සාර්වත‍්‍රිකත්වයන්: පශ්චාත් ව්‍යූහවාදය හා රැඩිකල් දේශපාලනය, (මැන්චෙස්ටර්: මැන්චෙස්ටර් යුනිවර්සිටි ප්‍රෙස්. 2007)], 179 පි.

14. ලන්ඩන්: ප්ලූටෝ ප්‍රෙස් , 1982, 21 පි.

15. ඬේවිඩ් වෙස්ට්, Continental Philosophy: An Introduction [මහාද්වීපික දර්ශනය: හැඳින්වීමක් (කේම්බි‍්‍රජ්: පොලිටි 2010)], 214 පි.

16. ඬේවිඞ් නෝර්ත්, (ඩිට්රොයිට්: ලේබර් පබ්ලිකේෂන්ස්, 1988), 13-14 පිටු.

17. ලන්ඩන්: වර්සෝ, 2-4 පිටු.

18. Unstable Universalities [ අස්ථාවර සාර්වත‍්‍රිකත්වයන්], 176 පි.

Share this article: