එක්සත් ජනපදය හා ප්‍රන්සය මධ්‍යම අප්‍රිකානු සමූහාන්ඩුවට හමුදා යවති

US, France deploy troops to Central African Republic

By Patrick O’Connor, 31 December 2012

ආන්ඩු විරෝධී මිලිෂියාවන් බන්ගූයි අගනුවරට කිට්ටුවීමත් සමග එක්සත් ජනපදය හා ප්‍රන්සය කලින් මාලි වශයෙන් හැඳින්වූ මධ්‍යම අප්‍රිකානු සමූහාන්ඩුව වෙත (ම.අ.ස) අතිරේක හමුදා දිගේලිකරති. වොෂින්ටනය හා එහි යුරෝපීය අනුචරයින් මහද්වීපය තුල ඔවුන්ගේ මූලෝපායික ආධිපත්‍යය හා එහි ස්වභාවික සම්පත් මත සිය අධිකාරය පවත්වාගෙන යාමට වැඩ කරමින් සිටිති.

බොෂීෂේගේ ආන්ඩුව පෙරලා දැමීමට තර්ජනය කරන කැරලිකාර ප්‍රහාරයකට පෙර පටන්ම එක්සත් ජනපදය හා ප්‍රන්සය මධ්‍යම අප්‍රිකානු සමූහාන්ඩුව තුල හමුදා මෙහෙයුම් ගෙන යමින් සිටියහ.

වාර්තා වී ඇති පරිදි දෙවියන්ගේ ප්‍රතිරෝධක හමුදාව (ලෝඩ්ස් රෙසිස්ටන්ස් ආමි) නම් සංවිධානයේ සටන්කරුවන් හඹායමින් අඩු වශයෙන් ඇමරිකානු විශේෂ හමුදා භටයින් 100ක් ක්‍රියාත්මක වන මධ්‍යම අප්‍රිකානු රටවල්වලින් එකකි ම.අ.ස. එක්සත් ජනපද තානාපති කාර්ය මන්ඬල හා අනෙකුත් ඇමරිකානු වැසියන් බන්ගූයිවලින් ඉවත් කර ගැනීම අවශ්‍යවී ඇති “පිරිහෙන ආරක්ෂක තත්වයක් ” ගැන සඳහන් කරමින් ජනාධිපති බරක් ඔබාමා 01දා කොන්ග්‍රසයට නිවේදනය කලේ ඔහු ම.අ.ස වෙත 50ක “පොරොත්තු ආරක්ෂක බලකායක් ” පිටත් කර යැවූ බව යි.

රට තුල සිය පුරවැසියන් 1,200කට ආරක්ෂාව සැපයීමේ පදනම මත ප්‍රන්සය ද ඒ ආකාරයෙන් ම මැදිහත් වී ඇත. සිය පැරනි යටත් විජිතයට විධිමත් නිදහස ප්‍රදානය කල 1960න් පසුව ආසන්න වශයෙන් අඛන්ඩ පදනමක 250ක හමුදා රඳවා තැබීමෙන් අනතුරු ව ප්‍රන්සය දැන් ආසන්න වශයෙන් භට සංඛ්‍යාව 600ක් දක්වා වැඩිකර ඇත.

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව විසින් රඳවන ලද තවත් විදේශික සෙබලුන් 500ක් ද රට තුල සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාව අසැල්වැසි චැඩ් රටට අයත්ය. ම.අ.ස ට සහාය සඳහා තවත් භටයන් 2,000ක් යැවීමට චැඩ් ආන්ඩුව පොරොන්දු වී ඇත.

මේ මාසයේ දී ජනාධිපති බොෂීෂේගේ පාලනය ම.අ.සමූහාන්ඩුවේ වැඩි ප්‍රමානයක පාලනය අහිමි කර ගත්තේ ය. ආන්ඩු විරෝධී මිලීෂියා කන්ඩායම්වල ලිහිල් සභාගයක් වන “සෙලෙකා” (සැන්ගෝ ජාතික භාෂාව අනුව “මිත්‍රත්වය”) රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි නගර අල්ලා ගෙන ඇති අතර වාර්තා වන පරිදි අගනගරයෙන් කිලෝ මීටර් 75ක් ඇතුලත රැඳී සිටී. කැරලිකාර ගරිල්ලා භටයන්ට වැටුප් ගෙවීම හා ඔවුන් ජාතික හමුදාවට ඒකාබද්ධ කිරීමට බලය දෙන ගිවිසුම අතහැර දැමීම ගැන සෙලෙකාව ආන්ඩුවට චෝදනා කර යි.

ජනගහනය 600,000ක් වන බන්ගූයිවල සමහර නිවැසියන් කැරලිකාර ප්‍රහාරයට බියෙන් පලා යන අතර වාර්තාවන පරිදි මූලික ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ගනන් සියයට 25ටත් වඩා වැඩි වී ඇත. ආන්ඩුව රාත්‍රී-කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර නගරයේ ප්‍රධාන මාර්ග හරහා ඇට වූ හදිසි මාර්ග බාධක අවිගත් තරුනයන්ගේ අනසක යටතේ පවතී.

ම.අ.ස ලෝකයේ දරුනු ලෙස දරිද්‍රතාවයේ ගිලුනු රටවලින් එකකි. ජීවිතාපේක්ෂාව යන්තම් වසර 50ක් වන අතර එරටටත් වඩා නරක ලමා මරන හා මාතෘ මරන අනුපාත ඇත්තේ තවත් රටවල් තුනක පමනි. මිලියන 4.5ක් වන ම.අ.ස ජනගහනයෙන් බහුතරය යැපුම් කෘෂිකර්මය මත පන ගැට ගසා ගනිති. එක් අතකින් රටේ අන්ත දරිද්‍රතාව ද දියමන්ති, රත්‍රන්, යුරේනියම්, දැව හා ඛනිජ තෙල් ඇතුලු සැලකිය යුතු ස්වභාවික සම්පත් ද අතර පැහදිලි වෙනස පිලිබිඹු කරන්නේ යටත් විජිත පාලනයේ විනාශකාරී උරුමය හා සිදු වෙමින් පවතින අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ ආනිසංසය යි.

අප්‍රිකාව තුල හමුදා මැදිහත්වීම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා වොෂින්ටනය මෙම අර්බුදය ඩැහගෙන ඇත. ම.අ.ස හමුදා මෙහෙයුම සිදුවන්නේ මහාද්වීපය පුරා අඛන්ඩ මෙහෙයුම් සඳහා 3,500ක පමන හමුදා සේනාංක යෙදවීමට එක්සත් ජනපද මිලිටරිය කල නිවේදනයට යන්තම් දින කීපයකට පසුව ය. අලුතින් ඇති කෙරුනු සේනාංකය, 2007දී පලමුවරට නිර්මානය කෙරුනු පෙන්ටගනයේ අප්‍රිකානු අනසක වැඩි කිරීමේ ඔබාමාගේ තල්ලුවේ සංරචකයකි.

අප්‍රිකාව තුල පොරකෑම අලුත්වී තිබේ. මහාද්වීපයේ තෙල් හා අනෙකුත් ස්වභාවික සම්පත් සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරී අත පෙවීම් ශාන්තිකර කලාපයේ හා ජාත්‍යන්තරව වැඩෙන චීන මූලෝපායික බලපෑමට එරෙහිව ඔබාමා පාලනය‍ ගෙනයන පිලිවෙතෙහි කොටසකි. මෑත වසරවල පටන් බීජීනය අප්‍රිකානු රටවල් කීපයක් සමග කිට්ටු රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බැඳීම් වර්ධනය කරමින් සිටී. දැන් මහාද්වීපය එත්සත් ජනපදය හා චීනය යන රටවල් දෙකට ම බලශක්ති සම්පත් පිලිබඳ වැදගත් මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. වොෂින්ටනය හමුදා බලය තරකරමින් සිටින්නේ එබැවිනි.

ම.අ.ස තුල සාපේක්ෂකව සීමිත ඇමරිකානු හමුදා රැඳවීම ඉක්මනින් ම පුලුල් මැදිහත්වීමක් දක්වා වර්ධනය විය හැක. අවශ්‍ය කඩතුරාවන් මේ වන විටත් දැකගැනීමට පුලුවන. එනම් රට තුල නරක අතට හැරෙන මානවවාදී අර්බුද හා වාර්තා වන පරිදි සෙලෙකා හමුදාව තුල ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායම් ගෙනයන කාර්ය භාරය යි. අල්කයිඩාවට සම්බන්ධ මිලීෂියා කන්ඩායම් බටහිර අප්‍රිකාවේ උතුරු මාලී හි පැලපදියම්ව සිටීමේ කාරනය මෙම මාසය මුල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් අනුමත කෙරුනු හමුදා මැදිහත්වීම සඳහා එක්සත් ජනපදය විසින් අල්ලාගෙන ඇත. පසුගිය වසරේ පාලන තන්ත්‍රය වෙනස්කිරීම අරමුනු කරගෙන අසැල්වැසි ලිබියාව තුල එක්සත් ජනපදය හා නේටෝව ගෙනගිය හමුදා මෙහෙයුම් අනුයමින් එක්සත් ජනපදය හා ප්‍රන්සය මාලී තුල මැදිහත්වීමක් සඳහා පෙරමුන ගෙන ඇත.

කැරලිකාර හමුදාවන්ට එරෙහිව මැදිහත් වන ලෙස ම.අ.ස ජනාධිපති බොෂීෂේ එක්සත් ජනපදය හා ප්‍රන්සයෙන් ඉල්ලා ඇත. පසුගිය සෙනසුරදා කල කතාවක් තුල බොසී කැරලිකරුවන්ට සහාය දීම පිලිබඳව නම් නොකල “විදේශිකයන්ට” චෝදනා කල අතර මෙම වසර මුල දී චීන හා දකුනු අප්‍රිකානු සංගතයන්ට තෙල් ගවේෂනය සඳහා තමන් ලබාදුන් කොන්ත්‍රාත්තු අසහනයට මුල්වී ඇති බවට ද ඉඟි කලේ ය.

“චීන ජාතිකයන්ට තෙල් දීමට පෙර මම පැරීසියේ දී ටෝටල් සමාගම මුන ගැසී එම කොන්ත්‍රාත්තුව ලබාගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවුන බැවින් මම චීනයට තෙල් කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. ඒක දැන් ප්‍රශ්නයක් වී ඇතැ” යි ඔහු පැවසී ය.

දැනට රටේ දකුනු ප්‍රදේශයේ යුරේනියම් පතලක් ගොඩනඟමින් සිටින ප්‍රන්ස සමාගමක් වන අරේවා ම.අ.ස විශාල ම විදේශීය ආයෝජකයින්ගෙන් එකකි.

මැදිහත්වීමට පක්ෂව ආන්ඩුව විසින් සංවිධානය කෙරුනු හෝ නිහඬව අනුමත කෙරුනු විරෝධතාවක් පසුගිය සතියේ බන්ගූයි හි ඇමරිකානු හා ප්‍රන්ස තානාපති කාර්යාලවලට පිටත පැවත්වුනි. පෙලපාලිකරුවන් කැරලිකරුවන්ට සහායදීම පිලිබඳව පැරීසියට චෝදනා කල බව ද වාර්තා වේ.

ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලොන්දේ සාමකාමී වන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශ කලේ “අපි මැදිහත් වුනොත් ඒ තන්ත්‍රය ආරක්ෂා කිරීමට නොව අපගේ ජාතිකයන් හා අපගේ උත්සුකයන් රැකීමට ය. රටක අභ්‍යන්තර කටයුතුවලට, මැදිහත්වීමේ අවස්ථාවක් දැන් ඇත්තේ නැත. මේ සිද්ධියේදී නම් ම.අ.ස යි. ඒ දවස් ඉක්ම ගෙසින්ය.”

මෙම ව්‍යාජ “මැදිහත් නොවීමේ” මවාපෑම පිටුපස ප්‍රන්ස ආන්ඩුව නිසැකවම ඔබාමා පාලනය සමග අත්වැල් බැඳගෙන ම.අ.සමූහාන්ඩුවේ අර්බුදයෙහි ප්‍රතිඵල තීරනය කිරීමට අධිෂ්ඨාන සහගතව සිටියි.

1960 සිට තම පැරනි යටත් විජිත ආන්ඩුවේ සෑම වෙනසකටම ප්‍රන්සය සමීපව සම්බන්ධ ය. තමන් විසින් ම අධිරාජයා යයි ප්‍රකාශ කර ගත් අපකීර්තිමත් ජීන් බිඩෙල් බොකාසා යටතේ වයස අවුරුදු 32දී ම.අ.සමූහාන්ඩුවේ ලාබාල ම ජෙනරාල් වීමට පෙර බොෂීෂේ ප්‍රන්ස හමුදා පුහුනුව ලැබී ය. බලයේ සිටි 1966 සිට 1979 දක්වා ප්‍රන්සය බොකාසා මිලිටරිමය වශයෙන් සන්නද්ධ කල අතර ඔහුට මුදල් ද සැපයී ය. සිය ගනනක ප්‍රන්ස විශේෂ හමුදා භටයින්ගේ නායකත්වයෙන් සිදුවූ කුමන්ත්‍රනයකින් පසුව බොකාසා බලයෙන් පහ කරන ලදී.

වසර ගනනාවක් ප්‍රන්සය තුල පිටුවහලේ ගත කිරීමෙන් පසුව, 2003දී බලය අල්ලා ගැනීමට පෙර බොෂීෂේ හමුදා කුමන්ත්‍රන කීපයක්ම දියත් කිරීමට උත්සාහ කලේ ය. ප්‍රන්ස හමුදා කන්ඩායම්වල ඍජු මෙහෙයුම් හා 2006 කැරලිකාර ගරිල්ලා හමුදාවන්ට එරෙහිව එල්ල කල ගුවන් ප්‍රහාර ද සමග ප්‍රන්ස ආන්ඩුව ඒ සඳහා තීරනාත්මක සහාය සැපයී ය. ප්‍රන්ස ආන්ඩුව දැන් බොෂීෂේගේ සහායට පැමිනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය අඟවන්නේ ප්‍රන්ස අධිරාජ්‍යවාදීන්ට ආන්ඩු විරෝධී හමුදාවන් බලය ගැනීම නැතහොත් බන්ගූයි ආන්ඩුවේ වෙනසක් අවශ්‍යව ඇති බව යි.

අප්‍රිකානු සංගමයේ තෝමස් යායි බොනී හමුවීමෙන් පසුව බොෂීෂේ සෙලේකා සමග නව “ජාතික එක්සත්” ආන්ඩුවක් පිහිටුවීමට තමන් කැමත්තෙන් සිටින බව ප්‍රකාශ කලේ ය. ලබන මස මුල දී බටහිර අප්‍රිකානු රටක් වන ගැබොන්හි දී ආන්ඩුව හා කැරලිකරුවන් අතර සාකච්ඡා පැවත්වීමේ සූදානමක් පවතියි.

Share this article: