මොරටුව සරසවියේ සිසු ගැටුම පිටුපසින්

By Kapila Fernando and Panini Wijesiriwardana, 31 January 2013

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂනික ආයතනයේ සිසුන් අතර ඇති වූ ගැටුමතුලින් ශිෂ්‍ය මර්දනය තීව‍්‍ර කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව නව පොටක් පාදාගෙන තිබේ.

මේ මස 16 දා ඉංජිනේරු සිසුන්ගේ නේවාසිකාගාරයට කඩා වැදුනු ජාතික තාක්ෂන ආයතනයේ සිසුන් පිරිසක් කල පහර දීමෙන් ඉංජිනේරු සිසුන් හතරදෙනෙකු තුවාල ලත් අතර එක් සිසුවෙකුගේ හිසට සිදුවු බරපතල තුවාල හේතුවෙන් කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගනිමින් සිටී.

පහරදීම සිදු කෙරී ඇත්තේ, ජනවාරි 01 දා ඉංජිනේරු පීඨ සිසුන් විසින් සිදු කල ප‍්‍රකෝපකරනයකට ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙසින් බව වාර්තා වලින් පෙනී යයි. මෙම ගැටුමෙන් පසු වසා දැමූ විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරන ලද්දේ ජනවාරි 09 දා ය.

සිද්ධියෙන් පසු වහාම, සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම පිලිබඳ කම්පා වන්නකු ගේ වෙස් ගනිමින්, උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ප‍්‍රකාශ කලේ විශ්ව විද්‍යාලවල මෙවැනි ප‍්‍රචන්ඩ ක‍්‍රියා නවතා දැමීමට තමන් ක‍්‍රියා කරන බවත් "රටේ සාමාන්‍ය නීතියට අනුව වරදට සම්බන්ධ සිසුන්ට දඬුවම් ලබා දෙන” බවත් ය. මෙම ප‍්‍රකාශයේ සැබෑ අර්ථය වන්නේ තම අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව ඉදිරියට එන ශිෂ්‍යයන්ට විරුද්ධව රාජපක්ෂ ආන්ඩුව දැනටමත් දිගේලි කොට ඇති මර්දනය තීව‍්‍ර කිරීම සඳහා සිසු ගැටුම දඩමීමා කර ගැනීමට සූදානම් වන බවයි.

මේ වන විට ප‍්‍රහාරයට සම්බන්ධ සිසුන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් සිසුවෙකු ඇප මත නිදහස් කර ඇති අතර ඉතිරි තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත ය. ප‍්‍රහාරයට සම්බන්ධ බවට "සැක කෙරෙන” තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශය යොදවා තිබෙන අතර බලධාරීන් විශ්වවිද්‍යාලය ජනවාරි 17 දා සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති සම්පත් චන්ද්‍රසිරි ප‍්‍රකාශ කරන්නේ ආන්ඩුව මැදිහත් වී ආරක්ෂාව සහතික කරන තුරු තම අධ්‍යයන හා විභාග කටයුතු ආරම්භ නොකරන බව හා බලධාරීන් සමග ඒකාබද්ධව ඒ සඳහා කටයුතු කරන බව යි. මේ ප‍්‍රකාශය ආන්ඩුවේ මර්දනයට උඩගෙඩි දීමකි.

අධ්‍යාපනයේ හා ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව අනතුරේ වැටී ඇත්තේ රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාර හේතුවෙනි. පසු ගිය වසරේ නොවැම්බර් අග යාපනය සරසවියේ සිසුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ය. ඉන් සිසුන් දෙදෙනෙකු මෙතෙක් අත්අඩංගුවේ පසුවෙයි. අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පැන නැගි සිසු විරෝධතා ආන්ඩුව විසින් මර්දනය කල අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය පසුගිය මාස කිහිපය පුරා අඩපන වී තිබේ.

රුහුනු සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හර්ෂ ගුනවර්ධන හට මේ මස 17 දා සිදුකල මැර පහරදීමකින් ඔහු දින තුනක් මාතර රෝහලේ ප‍්‍රතිකාර ගත් අතර මෙම ප‍්‍රහාරය ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂගේ නිල් බලකාය මගින් එල්ල කල එකක් බව එම සරසවියේ සිසුහු පවසති. මෙවැනි පහරදීම් දිගින් දිගටම එම සරසවියෙන් වාර්තා වී තිබේ.

ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා ආන්ඩුව පසුගිය වසර කිහිපය පුරාවට නව නීති බලාත්මක කර තිබේ. පලමු වසර සිසුන් මාසයක අනිවාර්ය හමුදා පුහුනුවකට යටත් කර ඇත්තේ ඔවුන් ආන්ඩුවට හා බලධාරීන්ට අවනත කර ගැනීමේ අරමුනෙනි. සරසවි ආරක්ෂක අංශ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත් අතර සිසු ක‍්‍රියාකාරීන් දඩයම් කිරීමේ අරමුනින් සරසවි තුල නිරීක්ෂන කැමරා සවි කර තිබේ.

අධ්‍යාපන කප්පාදුවට හා පුද්ගලීකරනයට එරෙහි සිසුන්ගේ විරෝධතාවලට සමගාමීව වැටුප් වැඩි කරන ලෙසත්, අධ්‍යාපනය සඳහා ඉහල ප‍්‍රතිපාදන ලබා දෙන ලෙසත් ඉල්ලමින් ගිය වසරේ පැනනැගි අනධ්‍යන කාර්ය මන්ඩලවල හා සරසවි ආචාර්යවරුන්ගේ උද්ඝෝෂනවලට එරෙහිව ද ආන්ඩුව මර්දනය දිගේලි කලේ ය.

අවිශිබමයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර මාධ්‍යයට කියා සිටියේ ආන්ඩු හිතැති සිසුන් මෙහෙයවා අවිශිබමයේ සිසුන්ට පහරදීමටත්, රාජ්‍ය සරසවි අකර්මන්‍ය කිරීමට හා ශිෂ්‍ය සංගම් තහනම් කිරීමටත් ආන්ඩුව සූදානම් වන බවයි. මෙය ආන්ඩුවේ මර්දනය හා ශිෂ්‍ය ගැටුම් සම්බන්ධව තමාට ඇති වගකීමෙන් අත සෝදා ගැනීමේ ප‍්‍රයත්නයකි.

සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත ප‍්‍රහාර එල්ල කිරීමට ආන්ඩුවට ඉඩ සකසා දීම සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් වගකිව යුතු ශිෂ්‍ය සංගමය වන්නේ පෙර ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) මෙහෙයවුනු දැන් ඉන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් (පෙසප) මෙහෙයවෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයයි (අවිශිබම). ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය වෙතට හැරී දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයකට ශිෂ්‍යයන් බලමුලු ගැන්විය යුතුයැයි උද්ඝෝෂනයේ යෙදෙන සමාජවාදී සමානතා පක්ෂයට (සසප ) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ව්‍යාපාරයට එරෙහි ප‍්‍රකෝපකරනයන් මාලාවක් සම්බන්ධයෙන් අවිශිබමය කුප‍්‍රකටය.

සසප හා සසජාශි ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත සටන් වැදීමෙන් ශිෂ්‍යයන් වලකා ඔවුන් අරාජකවාදී, පුද්ගලවාදී සහ කල්ලිවාදී උගුල්වල ද ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමාව තුල ද නිරතුරු සිරකර ආන්ඩුවේ ප‍්‍රහාරයට යටත් කර දෙනු ලබන්නේ අවිශිබමයයි.

රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට ද, අධ්‍යාපනය ඇතුලු මහජන සුබසාධනය සඳහා වෙන්කල හැකිව තිබූ බිලියන ගනන් මුදල් හා දහස් සංඛ්‍යාත ජීවිත විනාශ කරමින් පාලක පන්තිය ගෙන ගිය වර්ගවාදී යුද්ධයට ද සහයෝගය දීම හේතුවෙන් ජවිපෙ හා අවිශිබමයේ සහයෝගී සමාජ පදනම් බරපතල ලෙස ඛාදනය වී තිබේ.

දශක කීපයක සිට පැවත එන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා ජාතික තාක්ෂන ආයතනයේ සිසු දෙපිරිස අතර ගැටුම සම්බන්ධයෙන් අවිශිබමය ද ආන්ඩුව හා සරසවි බලධාරීන් සමග සමව වගකිව යුතුය.

සරසවිය තුල පහසුකම් වඩ වඩාත් අප‍්‍රමානවත් වීම නිසා ද, තම ලාභ රේට්ටු ඉහල දමා ගැනීම සඳහා ලොව පුරා ධනේශ්වරය සෑම ක්ෂේත‍්‍රයකම සිදු කරන ලද වැටුප් හා රැකියා කප්පාදුව ශී‍්‍ර ලංකාව තුල ද කි‍්‍රයාත්මකවීමෙන් රැකියා ක්ෂේත‍්‍රයේ ඇති වූ තරගකාරිත්වය නිසා ද, 1990 ගනන් මුල සිට ඉංජිනේරු හා ඩිප්ලෝමා සිසුන් අතර ආතතීන් වැඩෙන්නට විය.

ජවිපෙ හා අවිශිබමයේ මොරටුව සරසවි ශිෂ්‍ය නායකයෙකු වූ දැනට රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරයකු වන පාඨලි චම්පික රනවක 1990 ගනන් මුල ජවිපෙන් කැඩී බිහි කරන ලද "ජනතා මිතුරෝ” හා දැන් ඔහු නායකත්වය දරන ජාතික හෙල උරුමය වැනි සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරවල අනුහසට ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය කොටස් නතුවීම ශිෂ්‍ය එදිරිවාදීකම් වර්ධනයවීමේ බලගතු සාධකයකි.

ඉන්ජිනේරු පීඨය තම අනසකෙන් ගිලිහී ගිය තතු තුල අවිශිබමයේ අවස්ථාවාදී පිලිවෙත වූයේ ජාතික තාක්ෂන ආයතන ශිෂ්‍යයන්ගේ ගැටලු ගසා කමින් එම ශිෂ්‍යයන් ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට එරෙහිව පිහිටුවීමයි. අවිශිබමය ගෙනගිය මෙම කට්ටිවාදී කුලල් කා ගැනීමේ පිලිවෙත නිසා සිසුන්ට එරෙහි පාලනාධිකාරයේ මර්දනය පහසු කෙරුනි.

ඉංජිනේරු පීඨය යටතේ පැවති ජාතික තාක්ෂන පාඨමාලාව එම පීඨයෙන් ඉවත් කරන ලෙසත් එහි ඩිප්ලෝමා සහතිකයේ ඇති මොරටුව විශ්වවිද්‍යාලය යන නාමය හා "ඉංජිනේරු” යනුවෙන් ඇති සඳහන ඉවත් කරන ලෙස ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගම් ගෙන ගිය උද්ඝෝෂනයට පාලනාධිකාරියේ සහාය හිමි වූ අතර ඒවා ක‍්‍රියාවේ යොදවා ඇත.

ගැටුම් අවම කිරීම සඳහා යයි පවසමින් ජාතික තාක්ෂන ආයතනය මොරටුවෙන් බැහැර හෝමාගම ප‍්‍රදේශයේ ස්ථානයක වෙනම ආයතනයක් ලෙස ස්ථාපනය කිරීමට පෙර පැවති යෝජනාව කඩිනම් කිරීම සඳහා කටයුතු කරන බව ද, 2000 වසරේ සිට මෙම ක‍්‍රියාමාර්ගය ද ඇන හිට ඇත්තේ අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන නොලැබීමෙන් බව ද උපකුලපති ආනන්ද ජයවර්ධන ප‍්‍රකාශ කරයි.

අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන නොමැති තතු යටතේ ආන්ඩුව සහ පාලනාධිකාරය යන්තමින් අටවාගත් ගොඩනැගිලි කීපයක ජාතික තාක්ෂන ආයතනය ස්ථාපිත කිරීමට තැත් කරන අතර අඩු පහසුකම් යටතේ වෙනත් ස්ථානයක අධ්‍යාපනය ලැබීමට තමන් සුදානම් නැති බව හා තම ආයතනය මොරටුව සරසවියෙන් වෙන් කිරීමට ඉඩ නොදෙන බව සිසුහු පවසති.

2008 සිට අවපාතයක් දිසාවට වර්ධනයවන ධනේශ්වර අර්බූදය මධ්‍යයේ රාජපක්ෂ ඇතුලු ලොව පුරා පාලකයන් අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන විනාශ කරමින් තරුන විරැකියාව තීව‍්‍ර කරමින් තම අර්බූදයේ මුලු බර කම්කරු පීඩිත මහජනයා මත පටවමින් සිටී.

දල ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල් 2005 දී සියයට 3 මට්ටමේ සිට 2012 දී 1.8 ක මට්ටමක් දක්වා කපා හැර ඇත. 2013 අයවැය ඉදිරිපත් කරමින් අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල සියයට 15 න් වැඩි කර ඇති බවට ජනාධිපති රාජපක්ෂ ගැසූ පම්පෝරිය අමූලික ප්‍රෝඩාවක් බැව් ආසියාවේ ආන්ඩුවලට හා සංගතවලට අයත් ආයතන පිලිබඳ මූලෝපායික විශ්ලේෂක කන්ඩායමක් වන වෙරිතේ පර්යේෂකයෝ (Verité Research) වාර්තා කරති. ඔවුනට අනුව වැඩි කෙරී ඇත්තේ සියයට 5.9 ක් වැනි සොච්චමකි. රුපියලේ අවප‍්‍රමානය හා භාන්ඩ මිල ඉහල යාම හා සලකන කල වෙන් කෙරී ඇති මුදලේ සැබෑ වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇත.

මෙම කප්පාදු වලට එරෙහිව අනිවාර්යයෙන් පැන නැගීමට නියමිත පන්ති අරගල මැඩීම සඳහා ලොවපුරා සෑම පාලක පන්තියක්ම පොලිස් රාජ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටී. පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කර ගැනීමෙන් අනතුරුව අධිකරනය ද තම අනසක යටතට ගැනීම සඳහා රාජපක්ෂ ක‍්‍රියාත්මකවූයේ මේ සැලසුම් යටතේය.

ශිෂ්‍ය සංගම් සහ පාලකයන් විසින් අවුලුවන කල්ලිවාදී කුලල් කා ගැනීම් වලට ශිෂ්‍යයන් හසු නොවිය යුතු ය. අධ්‍යාපන අයිතිය රැක ගැනීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී ඔවුනගේ නායකත්වය යටතේ රාජපක්ෂ ආන්ඩුවටත් ලාභ ගරන ධනේශ්වර පද්ධතියටත් එරෙහි දේශපාලන අරගලයක් දියත් කල යුතුය.

බිලියන ගනන් මුදල් මහජන අධ්‍යාපනය සඳහා යෙදවීමට නම් බැංකු හා මහා ව්‍යාපාර කම්කරු පන්තිය යටතේ ජනසතු කල යුතු ය. එය ක‍්‍රියාවට යෙදවිය හැක්කේ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. එය ජාත්‍යන්තර සමාජවාදයේ අත්‍යන්ත කොටසකි.

ධනපති ක‍්‍රමයේ ආරක්ෂකයන් වන ජවිපෙ, පෙසප ශිෂ්‍ය සංගම්වලින් කැඩී මෙම වැඩපිලිවෙල සඳහා සටන් වැදීමට සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරයට ඒකාබද්ධ වන ලෙස අපි සියලු හිතන මතන ශිෂ්‍යයන්ට හා ආචාර්යවරුන්ට කැඳවුම් කර සිටිමු.

Share this article: