ශ්‍රී ලංකා ජනාධිපති අගවිනිසුරුවරිය ඉවත් කරයි

Sri Lankan president removes country’s chief justice

By W.A. Sunil and S. Jayanth , 14 January 2013

ජනාධිපති මහින්ද රාජපක්ෂ 09දා මෙරට ශ්‍රේෂ්ඨාධිකරනයේ නියෝග නොතකා හැරියේ ය. ඔහුගේ පාලක සභාගය අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක දෝෂාභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කර යන්තම් දිනකට පසුව ජනාධිපති ඇය ධුරයෙන් පහ කරන ආඥාවක් නිකුත් කලේ ය. ඔහුගේ ක්‍රියාව ව්‍යවස්ථාමය හා දේශපාලන අර්බුදයක් සඳහා වේදිකාව සකසා ඇත.

දෝෂාභියෝගයට විරුද්ධ නීතිඥයින්ගේ පෙලපාලිය

ආඥාව අත්සන් කිරීමට පෙර රාජපක්ෂ, එදින සවස සියලු ම ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් ද, අභියාචනාධිකරන විනිසුරුවන් ද කැඳවූයේ ඔවුන් අවනත කර ගැනීම සඳහා බියවැද්දීමේ උත්සාහයක් ලෙසය. විනිසුරුවන්ගේ බහුතරය බන්ඩාරනායක දෝෂාභියෝගයට ලක්කිරීමට විරුද්ධ වූ අතර ඇය වෙනුවට පත්කෙරෙන අගවිනිසුරු සමග වැඩ නොකරන බවට ද තර්ජනය කලහ.

බන්ඩාරනායකට සහාය දුන් නීතිඥයින්ගේ එකමුතුව "ව්‍යවස්ථා විරෝධී ලෙස ධුරයෙන් පහකරනු ලැබුව ද ඇය තවමත් අගවිනිසුරු ලෙස රැඳී සිටින” බව සඳහන් ප්‍රකාශනයක් නිකුත් කලේ ය. බන්ඩාරනායකගේ එක් නීතිඥවරයෙකු වන සාලිය පීරිස් බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රවෘත්ති සේවයට පැවසුවේ "ඇය උත්සුක වනතාක් දුරට නෙරපා හැරීමේ නීත්‍යානුකූල බව ඇය පිලි නො ගන්නවා ඇත” යනුවෙනි.

බන්ඩාරනායක සම්බන්ධ චෝදනා පරීක්ෂා කිරීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට වෛරී සහගත තීන්දුවක් ගැනීමට නීත්‍යානුකූල බලයක් නොමති බව ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කර තිබුනි. මෙම තීන්දුවට සමාන්තරව අභියාචනාධිකරනය පසුගිය සතියේ පාර්ලිමේන්තු කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව අවලංගු කලේ ය.

කෙසේ නමුත් රාජපක්ෂගේ පාලක සභාගය මෙම අධිකරන නියෝග හෙලා දුටු අතර පසුගිය 10 හා 11 දිනවල කමිටු වාර්තාව පිලිබඳ පාර්ලිමේන්තු සැසියක් පැවත්වීමට කටයුතු කලේ ය. කමිටු විභාගය නීතිමය ක්‍රියාවලියට කල අවමානයකි. ආන්ඩුවේ බහුතරය සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට හෝ ඇගේ නිර්දෝෂී භාවය පැහැදිලි කිරීම සඳහා ප්‍රමානවත් සූදානම්වීමකට ඉඩ නො දුන්හ. ඇය දූෂනය පිලිබඳ චෝදනා තුනකට වරදකරු යයි ඔවුන් යුහුසුලුව තීන්දු කලේ ය. චෝදනා දෙකක් ඉවත දැමූ අතර දෝෂාභියෝගයේ මුල් යෝජනාව තුල වූ ඉතුරු චෝදනා 14 නොසලකා හැරියේ ය.

චෝදනාවන් ද ගෙතූ ඒවා ය. පලාත් සභාවලට පවරා තිබූ ආර්ථික බලතල ආපසු ගැනීමේ ඉලක්කය සහිත දිවි නැගුම සංවර්ධන පනත ව්‍යවස්ථා විරෝධී යයි ඇය සභාපතිත්වය දැරූ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් තීන්දු කිරීමෙන් පසුව ආන්ඩුව ඇය ධුරයෙන් පහකිරීමට තීරනය කොට තිබුනි. දෝෂාභියෝගයේ එල්ලය වී ති‍බුනේ ජනාධිපති රාජපක්ෂ වටා පෙලගැසී සිටින පාලාක ප්‍රභුවට සීමිත හෝ අභියෝගයක් එල්ල කිරීම වැලක්වීම සඳහා රටේ අධිකරන පද්ධතිය හීලෑ කිරීම ය.

155 කට 49 ක් ලෙස වාර්තාව පිලිගන්නා ඡන්දයක් බලහත්කාරයෙන් දිනා ගැනීමට ආන්ඩුව තම පාර්ලිමේන්තු කන්ඩායම යොදා ගත්තේ ය. ලංකා සම සමාජ පක්ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීන්ට ඡන්දය දීමෙන් වැලකී සිටීමට ආන්ඩුව ඉඩ දුන්නේ ය. කම්කරුවන්ට හා පීඩිතයින්ට එරෙහි ආන්ඩුවේ සියලු ම කප්පාදු පියවරයන්ට සහාය දී ඇති මෙම වැරහැලිවූ මුහුන බේරා ගැනීමේ ප්‍රයෝගය අපකීර්තියට පත් මෙම පක්ෂ නඟා සිටුවනු නැත. වාම රැඩිකලෙකු හා නව සමසමාජ පක්ෂයේ (නසසප) හිටපු නායක හා දැන් ජ්‍යෙෂ්ඨ ඇමතියෙකු වන වාසුදේව නානායත්කාර දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන්නේ ය.

විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය ඡන්දයක් පැවත්වීම ප්‍රමාද කිරීමට උත්සාහ ගත් අතර පසුව දෙමල ජාතික සන්ධානය සමග වාර්තාවට එරෙහිව ඡන්දය දුන්නේ ය. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීහු විරෝධය පාමින් පිටවී ගියහ. කෙසේ නමුත් මෙම පක්ෂ තුනම දෝෂාභියෝගයට තුච්ඡ විශ්වනීයත්වයක් ලබා දෙමින් පාර්ලිමේන්තු කමිටුවට සහභාගී වී තිබුනි.

ආන්ඩුව හා ශ්‍රේෂ්ඨාධිකරනය අතර ආරවුල ශ්‍රී ලකාවේ පාලක ප්‍රභූව ඇතුලත තියුනුවන බෙදීමක නිපයුමකි. දීර්ග කාලයක් රටේ ඉහල උසාවි දේශපාලන පත්වීම් වලින් පිරී තිබුනි. බන්ඩාරනායක පදවිප්‍රාප්ත කරන ලද්දේ ද රාජපක්ෂ විසින්ම වන අතර මෑතක් වන තුරු ම ඇය ඔහුට ඉතා සමීපව සිටියා ය. එහෙත්වඩවඩා අතට හැරෙන ආර්ථික අර්බුදය හා වැඩෙන සමාජ ආතතිය මධ්‍යයේ රාජපක්ෂට කිසි දු විරුද්ධත්වයක් ඉවසිය නොහැක.

රාජපක්ෂගේ ආර්ථික ගැතිකම හා බටහිරට විපරීතව චීනය වෙත නැඹුරු වූ ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ධනේශ්වරයේ කොටසක් සසල කර තිබේ. තව ද, ජනාධිපති විසින් ව්‍යවස්ථාව මෙන් ම අධිකරන හා පාර්ලිමේන්තු සම්මතයන් ද අවඥාවෙන් බැහර කිරීම නිසා සමාජ අසහනයේ වැඩෙන සංඥා මධ්‍යයේ පාර්ලිමේන්තු පාලනය අපකීර්තියට පත්වන බවට පාලක කවයන් තුල උත්සුකයන් පවතී.

දෝෂාභියෝගය "බරපතල ව්‍යස්ථාදායක අර්බුදයකට ගමන් කල හැකි ” බවත් එය "රටේ ආර්ථික හා ව්‍යාපාර වටපිටාවේ යහපත් අපේක්ෂාවන්ට නොගැලපෙනු ඇති ” බවත් කර්මාන්ත හා වානිජ මන්ඩලය ආන්ඩුවට අනතුරු ඇඟවී ය.

සංගත ප්‍රභූව භීතියට පත්ව ඇත්තේ දෝෂාභියෝගයට එරෙහි විරෝධතා ආන්ඩුවේ නිර්දය කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ පුලුල් ව්‍යාපාරයකට දොර විවෘත කිරීමට ඇති හැකියාව පිලිබඳවයි. නසසප හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි පැරනි වාමාංශික සංවිධානවල සහාය ඇතිව විරුද්ධ පක්ෂ එසේ සිදු නොවීමට වග බලා ගැනීම සඳහා සියලු ශක්තිය යොදනු ඇත.

පාර්ලිමේන්තු විවාදය අතරතුර දී දෝෂාභියෝගයට විරෝධය දැක්වීමට නීතිඥයෝ වැඩ වර්ජනය කලහ. විරුද්ධ පක්ෂයේ සාමාජිකයන් හා වෘත්තීය සමිති සමග එක්ව නීතිඥයින් දෝෂාභියෝග ක්‍රියාවලිය නතර කිරීම සඳහා රාජපක්ෂට බල කිරීම පිනිස 10දා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ කල නමුත් දැවැන්ත පොලිස් මැදිහත්වීමකින් එය නවත්වන ලදී.

කඳුළු ගෑස් හා ජලවිදින වලින් සන්නද්ධ පොලිස් කොමාන්ඩෝ භටයන් ඇතුලු දහස් ගනනක් පොලිස් භටයන් එදින යොදවා තිබුනි. ආන්ඩුව, ප්‍රාදේශීය පක්ෂ සාමාජිකයන්, මැරවරයින් හා සිවිල් ඇඳුමින් සැරසුන ආරක්ෂක හමුදා සාමාජිකයන් ද බලමුලු ගැන් වූ අතර පොලීසිය බලා සිටිය දී ඔවුහු විරෝධතාකරුවන්ට පහර දුන්හ. මැරවරයෝ ශ්‍රේෂ්ඨාධිකරන පරිශ්‍රයට ද ගල් මුල් වලින් පහර දුන්හ.

විරුද්ධ පක්ෂ නායකයෝ හා ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටියහ. ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත පැවසුවේ, පාර්ලිමේන්තුව තුල සටන අවසන් බවත් දැන් "සටන ඇත්තේ මහ පාරේ” බවත් ය. 2005දී රාජපක්ෂ දිනවීමට උදව් දුන් ජවිපෙ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද පිලිබඳව කුප්‍රකට ය.

එසප, නසසප වැනි ව්‍යාජ වාම සංවිධාන විශේෂයෙන්ම රටේ චිරාගත ධනපති පක්ෂය වන දක්ෂිනාංශික එජාප විසින් නායකත්වය දෙන විපක්ෂ පෙරමුනකට කම්කරුවන් ගැටගැසීමේ විනාශකාරී පිලිවෙතක් අනුගමනය කරති. බලයේ සිටිය දී මහා ව්‍යාපාරිකයින් සඳහා වූ තම න්‍යාය පත්‍රය පැටවීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගැනීම සම්බන්ධයෙන් එජාපයට කිසිදු පැකිලීමක් තිබුනේ නැත. එසේ වුවත් එසප නායක සිරිතුංග ජයසූරිය විරෝධතාකරුවන්ට පැවසුවේ මෙසේ ය: "ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට අපි අපගේ ජීවිත පරිත්‍යාග කල යුතු යි. මෙම ඒකාධිපති පාලනයට එරෙහිව වමේ හා දකුනේ සෑම අයෙක් ම එක් විය යුතු යි.”

එසප හා නසසප භයානක දේශපාලන උගුලක් අටවමින් සිටී. අගවිනිසුරුවරියට ආන්ඩුව සැලකූ කුරිරු ස්වභාවය තම ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සටනට පිවිසීමේදී කම්කරු පන්තියට එරෙහිව පාවිච්චි කරනු ඇති පොලිස්-රාජ්‍ය ක්‍රමවේදයන් පිලිබඳ අනතුරු ඇඟවීමකි. කෙසේ නමුත් බලය ගතහොත් මූල්‍ය ප්‍රභූව විසින් ඉල්ලනු ලබන කප්පාදු න්‍යාය පත්‍රය පැටවීමේ දී ඒ තරම් ම දුෂ්ට විය හැකි එජාප හා අනෙකුත් ධනේශ්වර පක්ෂ සමග පෙලගැසෙමින් කම්කරුවන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජයගත නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනිය හැක්කේ ධනේශ්වරයේ සියලු ම කන්ඩායම්වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලයක් සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හරහා පමනි. මෙය යි සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශනය. ආසියාව පුරා හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා එය සටන් කර යි.

Share this article: