ඇමරිකාවේ වර්ගය සහ පන්තිය

Race and class in America

2013 ජූලි 16

2012 පෙබරවාරියේ දී 17 හැවිරිදි ටෙ‍්‍රවොන් මාටින් ට වෙඩිතබා මැරූ, "අසල්වැසි මුර” ස්වෙච්චා සේවක ජෝර්ජ් සිමර්මන් නිදහස් කිරීම මහජන කෝපයක් අවුලුවා ඇත. තමාට පහරදුන් තැනත්තාට කිසිදු අන්තරායක් එල්ල නොකලා වූ නිරායුධ අප‍්‍රිකානු-ඇමරිකානු තරුනයෙකු ඉවබව නැතිව මරාදැමීම ද මිනීමරුවා නිදහස් කර දැමූ අධිකරනමය විහිලුවට ද එරෙහි විරෝධය ඇමරිකානු සමාජය පුරා පැතිර පවත්නා වඩාත් පලල් ප‍්‍රතිරෝධයේ කේන්ද්‍රය බවට පත්ව ඇත.

ටෙ‍්‍රවොන් මාටින් ගේ ඛේද ජනක මරනය ද සිමර්මන් නිදහස් කිරීම වැනි වික්ෂෝභයක් ද වටහා ගත හැකි වන්නේ එක්සත් ජනපදය තුල දශක ගනනාවක් තිස්සේ පසුගාමීත්වය ද, යුදවාදය ද මුරකාර මානසිකත්වයක් ද වගාකිරීමට පාලක පන්තිය නිර්දයව තැත් දරා තුබුනු සන්දර්භය තුලම පමනි.

ටෙ‍්‍රවොන් මාටින්ගේ මරනයෙන් පසුව මෙන්ම සිමර්මන් නිදහස් කිරීමට පසුව ද මාධ්‍යයන්ගේ ද දේශපාලන සංස්ථාපිතයේ ද විවිධ මධ්‍යම පන්තික ව්‍යාජ වාම කන්ඩායම් වල ද ප‍්‍රතිචාරයේ යොමුව වී ඇත්තේ ප‍්‍රශ්නය තනිකරම වාර්ගික පරාසයකින් ඉදිරිපත් කිරීම ය.

යලිවතාවක් පොදු කැඳවුම බවට පත්කරගෙන තිබෙන්නේ "වාර්ගිකත්වය පිලිබඳ ජාතික කතිකාවකි”. මෙය වනාහි ටෙ‍්‍රවොන් මාටින් සිද්ධිය විසින් මතුකර ඇති අති මූලික සමාජ, දේශපාලන සහ ඓතිහාසික ප‍්‍රයුක්තීන් මග හැරීමකි.

නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ පලවූ කතු වැකිය මේ පිලිබඳව පවත්වාගෙනයන සාමාන්‍ය ප‍්‍රචාරය පිලිබඳ මනා උදාහරනයකි. එය කියාසිටියේ "සිමර්මන් නිදහස් කිරීම සත්තකින්ම වාර්ගිකත්වය සම්බන්ධ වූවක්” බව ය. ඇමරිකා එක්සත් ජනපදය "වර්ග වාදී වසංගතයක ට හසු ව පවතී ය” යි ද නිව් යෝක් ටයිම්ස් පුවත් පත කියා සිටියේ ය. ද නේෂන් සඟරාව සහ ඉන්ටර් නැෂනල් සෝෂලිස්ට් සංවිධානයේ socialistworker.org එම තේමාව ම වඩා උම්මත්තක ආකාරයකට ඉදිරිපත් කල හ. "සුදු ආධිපාත්‍යවාදීහු සිමර්මන් නිදහස් කරති” යනුවෙන් ලිපියක් පලකල ද නේෂන් සඟරාව විත්තියේ (සිමර්මන් ගේ) නීතිඥයන් විසින් "වහල් හිමි ස්ත‍්‍රී දුෂක තෝමස් ජෙෆර්සන් ගෙන් උපුටාදැක්වීම” හෙලාදුටු වේ ය.

ටෙ‍්‍රවෝන් මාර්ටින් පිලිබඳ සිද්ධියේ දී වාර්ගිකත්වය ප‍්‍රයුක්තයක් වී ද ? සත්තකින් ම එසේ ය. වාර්ගිකත්වය ඇමරිකානු ජීවිතයේ භූමිකාවක් ඉටු කරන බව සැබැවි. එහෙත් එය එයම හැටියට ගෙන, ඇමරිකානු සහ ලෝක ධනවාදයේ සැබෑ ද්‍රව්‍යමය, ආර්ථික, සමාජ ඓතිහාසික මූලයන්ගෙන් වෙන් කොට වටහාගත නොහැකිය. එසේ කිරීම සකල වර්ග වල ම , වර්න වල ම, ආගම් වල ම, මූලය වනාහි කම්කරු පන්තිය සුරාකෑම බව ද ඉතිහාසයේ සැබෑ ධාවක බලවේගය වන පන්ති අරගලය වන බව ද වසන් කිරීමක් වනු ඇත.

ඇමරිකානු දේශපාලන ජීවිතයේ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කල, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙන් අවුරුදු හතලිහකට වැඩි කාලයක් මේවන විට ගත වී තිබේ. එකල වාර්ගික ප‍්‍රශ්නය පන්ති ප‍්‍රශ්න සමග බැඳී තිබෙන බව පුලුල්ව පිලිගැනුනි. ජිම් ක්‍රෝ නීති අනුව වර්නභේදවාදී වෙන්කර තැබීම් හා වෙනස්කම්, ප‍්‍රචන්ඩය සහ දකුනේ ලින්චිං (නීතිය සියතට ගත් රංචු විසින් කලු ජාතිකයන් ද, සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි සුදු ජාතිකයන් ද මරාදැමීම), දිලිඳුකම, පොලිස් මුර්ගය, සහ උතුරේ වෙනස්කම් යන මේ සියල්ල ධනේශ්වර සමාජය තුල මුල්බැස තිබුනි. පාලක පන්තිය කම්කරු පන්තිය බෙදා ලීම සඳහා යොදාගත් වඩාත්ම විෂ සහගත අවියක් වුයේ වර්ගවාදයයි.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට පෙර කල එලඹුනු කාර්මික වෘත්තීය සමිති වල මහා පන්ති ව්‍යාපාරයේ තීරක ප‍්‍රයුක්තයක් වූයේ වර්ගවාදයට එරෙහිව සියලු වර්ගවල සහ ජාතිකත්වයන්ගේ කම්කරුවන් එක්සත් කිරීම සඳහා කරන ලද සටනයි. 1941 එක්සත් මෝටර්රථ කම්කරු සංගමය (UAW) කැඳවු වැඩ වර්ජනයේ දී හොරිකඩකම් කිරීම සඳහා දකුනේ ජනපද වලින් අප‍්‍රිකානු ඇමරිකානු කම්කරුවන් ගෙන්වා ගෙන වාර්ගික භේදය උග‍්‍ර කිරීමට හෙන්රි ෆෝර්ඩ් ක‍්‍රියා කලේ ය. ඊට එරෙහිව කාර්මික ධනපති ආධිපාත්‍යයට එරෙහි පොදු අරගලයක් සඳහා සකල ආකාර වර්ගවාදයන් පරයා කම්කරුවන් එක්සත් කිරීමට සටන්කල සමාජවාදී - මානසිකත්වයක් දැරු මෝටර් කාර්මික කම්කරුවන් ගේ උත්සාහය නිසා ඔහුගේ සැලැස්ම අසාර්ථක විය.

ඉක්බිති දශකවල සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය එන්න එන්නම වැඩිවශයෙන් වඩාත් පෘථුල පන්ති අරගලය තුල පිහිටාගති. මෙයට 1960 ගනන් වල සහ 70 ගනන්වල සටන්කාමී ස්ට‍්‍රයික් සටන් ද ඇතුලත් විය. එන්න එන්නම පැහැදිලිවෙමින් පැවතුනේ සිවිල් අයිතිවාසිකම් සඳහා අරගලය සමස්තයක් වශයෙන් කම්කරු පන්තියේ අරගල සමග බැඳී පෑවති බවය.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සමාජවාදීන් ගේ අනුහසට පාත‍්‍ර වීම වඩාත් තත්වාරක්ෂක නායකයින්ගේ බරපතල විරෝධයට ලක් විය. මාර්ටින් ලූතර් කිං සහ වෙනත් අය කි‍්‍රයාමර්ගික වශයෙන් ප‍්‍රතිසංස්කරන වාදී වුව ද සමාජවාදී චින්තනයේ බලපෑම යටතේ ඔවුහු අප‍්‍රිකානු ඇමරිකානුවන්ගේ විමුක්තිය පොදුවේ සමාජ සහ නීතිය ඉදිරියේ සමානතාව සඳහා අරගලය සමග බැඳී පවතින බව දුටුවෝය. ඔවුහු බරක් ඔබමා මෙන් ඊනියා "නිදහස් හා ව්‍යවසායේ” ආධාරකරුවෝ නොවූ හ.

1960 ගනන් වල ඇති වූ පෙරලිකාරිත්වයට ප‍්‍රතිචාර වශයෙන්, ඇමරිකානු පාලක පන්තිය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායකත්වයේ කොටසක් ද අපි‍්‍රකානු ඇමරිකානු ඉහල මධ්‍යම පන්තියේ කොටසක් ද වගා කිරීමේ පිලිවෙතක් ආරම්භ කලේ ය. එහි ඉලක්කය වුයේ මෙම කොටස් ඩිමොක‍්‍රටික් පක්ෂය හරහා, බලපැවරුම් පිලිවෙත මගින් ද දේශපාලනය මගින් ද ආර්ථික සහ දේශපාලන බල පර්යායට ඒකාග‍්‍ර කර ගැනීමය. මෙම සන්තතිය සමග ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් මොන යම්ම හෝ සමාජ ප‍්‍රතිසංස්කරන පිලිවෙතක් වුව අත හැර දැමීම සමපාත විය.

දශක හතරකට වැඩි කාලයක් තිස්සේ අමරිකානු පාලක ප‍්‍රභූව වර්ගය පිලිබඳ ප‍්‍රශ්නය පන්තිය පිලිබඳ ප‍්‍රශ්නයෙන් විසම්බන්ධ කිරීමට මෙවන් මාර්ගවලින් වැඩකර ඇත. මෙය පොහොසත් අපි‍්‍රකානු ඇමරිකානු සංස්ථාපිත යේ ආසක්තයන්ට සේවය කර තිබේ. එහෙත් පුලුල් මහජනතාවන්ට මින් ඇති වූ බලපෑම ව්‍යසනකාරී ය. ඇමරිකානුවන් බහුතරයකගේ තත්වය මීට අවුරුදු 40කට පෙර තිබුනාට වඩා බෙහෙවින් දුෂ්කර ය.

වාර්ගික සහ වෙනත් ආකාර අනන්‍යතා දේශපාලනය කතා කරන්නේ වාර්ගික සහ වෙනත් වර්ගවල බලගැන්වීමේ වැඩ පිලිවෙලවල් වලින් වාසි ලබා ඇති ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථරයන් උදෙසා ය.

ටෙ‍්‍රවොන් මාටින්ගේ ඉරනම වාර්ගික දේශපාලනය වගාකිරීම සඳහා පාවිච්චි කිරීමට යාම තුල ඉමහත් කුහක බවක් හා වාසි සෙවීමක් පවතී. අල් ශාර්ප්ටන් වැනි දේශපාලන වේෂධාරීන්, නිල සිවිල් අයිතිවාසිකම් සංවිධානවල ඩිමොක‍්‍රටික් පක්ෂයට ගැට ගැසුනු ධනවත් අපි‍්‍රකානු ඇමරිකානු දේශපාලන මාධ්‍ය පන්ඩිතයන්, ශාස්ත‍්‍රාලිකයන් ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ වාම කන්ඩායම් යන මේ සියලු දෙන අනන්‍යතා දේශපාලන කර්මාන්තය පවත්වාගෙන යාමට බැඳුනු ආසක්තතාවෙන් මෙහෙය වෙති.

ටෙ‍්‍රවොන් මාටින් නඩුවේ පෘථුල සමාජ සහ දේශපාලන සන්දර්භය ගැන සලකා බැලීම ට මෙම කන්ඩායම් වලට උවමනාවක් නැත. එවැන්නන්ගේ ආස්ථානය සාරාංශගත කරමින් ඔබාමා ධවල මන්දිරයේ වෙබ් අඩවිය තුල සිත් කම්පා කරවන තරම් වංචනික වූ ප‍්‍රකාශයක් පලකලේ ය: එය මෙසේ කිවේ ය, "අපි නීති සහිත ජාතියකි, ජූරියක් දැන් කතාකර තිබේ.”

ඔහු කිසිවිටෙකත් සඳහන් නොකල කරුන නම් "ටෙ‍්‍රවොන් මාටින් මරාදැමූ ෆ්ලොරීඩාවේ සැන්ෆර්ඩ් නැමති ස්ථානයේ, "ගේට්ටු වලින් වටවසිටින අසල්වැසිය” උගස් සින්න වූ නිවෙස් වලින් පිරීඇති බවයි. ටෙ‍්‍රවොන් මාටින් නඩුව පිලිබඳ මාධ්‍ය වල නොනවතින හඬගෑමේ දී, මහජන විරැකියාව, ඉහල නගින දිලිඳු කම, සහ සංගතවල වැටුප් කප්පාදුවේ ව්‍යසනකාරී බලපෑම සහ ආන්ඩුව පටවන කටුකත්වය ගැන යම්තමින් වත් සඳහන් නොකරනලදී.

අද අවශ්‍ය වී තිබෙන්නේ ‘වර්ගය පිලිබඳ ජාතික කතිකාවක්’ නොව අමරිකා එක්සත් ජනපදයේ කාර්මික පොදුකාර්ය පිරිවැය බිඳවැටීම පිලිබඳ ව ද, කොල්ලකාරී මූල්‍ය වංශාධිපතිත්වයක් පැනනැගීම පිලිබඳව ද ඇමරිකානු සමාජය යුදවාදී වීම ද මෘග වීම ද සමාජ අසමානතාවයේ වර්ධනය පිලිබඳ ව ද බරපතල ජාතික සාකච්ඡාවකි.

මේවා වනාහි ධනේශ්වර පද්ධතියට ද එහි හදවතේ පවත්නා පන්ති සූරාකෑමට ද එරෙහි විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු පන්තිය එක්සත් කිරීම මගින්ම පමනක් ජයගත හැකි තත්වයන්ය.

බැරී ගේ‍්‍ර

Share this article: