“මධ්‍යම පන්තිය” නඟා සිටුවන ඔබාමාගේ ව්‍යාජ කුරුස යුද්ධය

Obama’s bogus crusade for the “middle class”

2013 ජූලි 29

මේටැග් ශීතකරන කම්හල 2004 වසරේදී වසා දැමීම නිසා විනාශයට පත්වූ කාර්මික නගරයක් වන ඉලිනොයිස් ගැලෙස්බර්ග්හි පැවැත්වූ කථාවකින් පසුව පසුගිය 24දා ඔබාමා ටයිම්ස් පත්‍රය ඇමතීය. ඔහුගේ ආර්ථික පිලිවෙත් කෙරෙහි අවධානය යොමුකරන ප්‍රචාරක ව්‍යාපාරයක පලමු රැස්විම එහිදී පැවැත්වින.

සම්මුඛ සාකච්ඡාවේදී ඔබාමා, එක්සත් ජනපදය තුල සමාජ අසමානතාවේ වර්ධනය හා වැඩකරන ඇමරිකානුවන් සඳහා "ඉහල නැඟීමක්” නොමැතිකම පිලිබඳව කථා කලේය. "එය, පසුගිය වසර 20, 30ක කාලය තුල එනම් මූල්‍ය අර්බුදයට බොහෝ කලක සිටම, සිදුව ඇති ඛාදනයක් බව” ඔහු පැවසීය.

"අප ආර්ථිකය වර්ධනය කරන්නේ කෙසේ ද, අප මධ්‍යම පන්තියේ ආදායම් හා වැටුප් ඉහල නංවන්නේ කෙසේ ද, මධ්‍යම පන්තියේ ආරක්ෂාව නඟා සිටුවන්නේ කෙසේ ද යන ප්‍රශ්න” තම සිතෙහි හොල්මන් කරන බව ඔහු කියා සිටියේය.

මෙම ප්‍රකාශ සිහිගන්වන්නේ, මහජන විරැකියාව, වැඩෙන දුප්පත්කම හා අත්‍යවශ්‍ය සමාජ වැඩ සටහන් කැපීම පසෙකින් ව්‍යාපාර වස්තු මිල ගනන්, ව්‍යාපාරික ලාභ හා විධායකයින්ගේ වැටුප් වාර්තා පිහිටුවමින් ඉහල යාම පිලිබඳ වැඩෙන මහජන නොසංසුන්තාව‍ය කෙරෙහි ඇමරිකානු පාලක පැලැන්තිය තුල ඇති විමසිලමත්කම හා කනස්සල්ලය. ඔබාමා ඉඟිකරන පරිදි සමාජ ප්‍රතිරෝධයේ වේගවත් වර්ධනයක විභවය පවතී.

කෙසේ වෙතත් ඔබාමා, වාචාලකමේ ලොකු මාත්‍රාවක් එන්නත් කිරීමෙන් මෙය මඟහැරිය හැකි බව සිතයි.

සම්මුඛ සාකච්ඡාව කුහකත්වයේ හා ව්‍යාකූලත්වයේ ප්‍රකාශනයකි. සියල්ලටත් වඩා මෙය ප්‍රකට වූයේ ඔබාමාගේ පදමාලාවෙනි. ඇමරිකානු දේශපාලඥයින්ගේ සම්මත භාවිතය රඳවා ගනිමින් ඔබාමා, කම්කරු පන්තිය ගැන කිසිදු සඳහනක් නොකලේය. ඒ වෙනුවට කිසිසේත්ම නිර්වචනය නොකල හා බඩ දඟලවන "ශ්‍රේෂ්ඨ” ඇමරිකානු "මධ්‍යම පන්තියක්” හුවා දැක්වීය.

යථාර්තය නම්, පූර්වයෙන් මධ්‍යම පන්තිය ලෙස සැලකිය හැකිව තිබුනු වෙලෙන්ඳන්, කුඩා ගොවීන්, වෘත්තිකයින්, සිවිල් සේවකයින් වැනි අයගෙන් සමන්විත ජනගහනයේ විශාල කොටසක් කම්කරු පන්තියේ මට්ටම් කරා ඇද දමා තිබෙන අතර එය අති බහුතර ජනතාවකගෙන් සෑදී තිබෙන බවයි. "කම්කරු පන්තිය” යන යෙදුම මඟහැරීම වනාහි, සමාජ අර්බුදයේ සැබෑ මූලාශ්‍රය යටගැසීමට දරන උත්සාහයේ කොටසකි.

සමාජ ගැටලු ගැන කථාකරනතාක් දුරට ඔබාමා අඟවන්නේ, තමන් අහිංසක නිරීක්ෂකයෙක් පමනක් බවය. සම්මුඛ සාකච්ඡාව පමනක් පදනම් කර ගත්ත ද ඔහු වසර හතර හමාරක් බලයේ සිටින බවත්, අනුගමනය කරන්නේ හා ඉදිරියට ගෙන යන්නේත්, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් විනාශයට ඇද හෙලූ හා ආර්ථික පසුබෑම තව තවත් ගැඹුරු කරන ප්‍රතිපත්ති බව යමෙකුට වටහා ගැනීම අපහසු නැත.

ඔබාමා සඳහන් කිරීමට අසමත් වූ ද ටයිම්ස් පුවත්පත මතුකිරීමට අපොහොසත් වූ ද වඩාත්ම කැපී පෙනෙන කාරනය වන්නේ, සම්මුඛ සාකච්ඡාවට යන්තම් දින හයකට පෙර නිවේදනය කරන ලද ඩිට්‍රොයිට් බංකොලොත් වීම පිලිබඳ කාරනයයි. ඔබාමාගේ "සිත තුල හොල්මන් කරනවා” යයි කියන ලද සාමාන්‍ය ජනතාවගේ දුක් ගැහැට පිලිබඳ කාරනය තුල, එක්සත් ජනපදය පුරා අනෙකුත් නගරවලට ද මොඩලයක් ලෙස හුවාදක්වන ලද එම පාදක සිද්ධියේදී, තෝරාපත්කර නොගත් නිලධාරී සමූහය, පෙර නොවූ විරූ පරිදි ඩිට්‍රොයිට් නගරවාසීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල විශ්‍රාමික ගෙවීම් හා සෞඛ්‍ය සහන තියුනු ලෙස කපාහැරීමටත්, එකඟතාවන් ඉරා දැමීම සඳහාත් ප්‍රයෝජනයට ගෙන තිබෙන බව කෙසේ හෝ සැලකිල්ලට ගැනීමට අසමත් විය.

මෙය අතපසු වීමක් නො වේ. සැබවින්ම කම්කරුවන්ගේ සහන කැපීම සඳහා ද බංකොලොත්කම ඉල්ලා ගොනුකල අභියාචනයට සහාය දීම මෙන්ම, නගරයට කිසිදු ආධාරයක් දීම ද ඔහුගේ පාලනය විසින් ප්‍රතික්ෂේප කල තතු හමුවේ, වැඩකරන ජනතාවගේ ගැලවුම් කරුවා ලෙස පෙනී සිටින අතරතුර ඔබාමාට, ඩිට්‍රොයිට් ගැන සඳහන් කිරීමට කිසිසේත්ම නොපුලුවන් විය.

තව ද "මධ්‍යම පන්තියට” උදව් කිරීමේ ඔබාමාගේ පුරසාරම තිබියදීම ඔහු සමාජ පිරිවැයේ තව තවත් කප්පාදු සඳහා සහාය‍දෙන බව පැහැදිලි කලේය. මම, “නිවැරදි හා පැහැදිලි කප්පාදු වෙනුවෙන්” සිටින්නෙමි යයි ඔහු පැවසීය. ආන්ඩුව "අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය කාරනා ද යටිතල ව්‍යුහය සම්බන්ධයෙන් ද වියදම් අඩු කිරීම ඕනෑවට වඩා වේගයෙන් සිදු නොකරන බවට” වගබලාගන්නා බව ඔහු පැවසීය.

තවදුරටත් සිය කැපවීම අවධාරනය කරමින් ඔහු කීවේ, "ආර්ථිකය වේගයෙන් වර්ධනය වන්නාවූ ද වඩ වඩාත් මිනිසුන් රැකියාවලට බඳවාගන්නාවූ ද මාවත, අලුතෙන් දැවැන්ත ලෙස ෆෙඩරල් ආන්ඩුවෙන් වැය කරන වැඩසටහන් වන්නේ නැත.” යනුවෙනි.

වෙනත් වචන වලින් කිවහොත්, තමාගේ ආර්ථික ප්‍රතිපත්ති හා රිපබ්ලිකානුවන්ගේ ප්‍රතිපත්ති අතර දැවැන්ත වෙනසක් ඇති බව පෙන්වීමට දරන උත්සාහය නොතකා, මහා අවපාතයේ පටන් ඇතිව තිබෙන ගැඹුරුම සමාජ අර්බුදය විසඳීමට කිසිදු බැරෑරුම් ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් එකඟත්වයක් පවතින බව මෙයින් සලකුනු කරයි. ඊට විපරිත ලෙස පැරනි වැඩසටහන් වලින් තවමත් ඉතිරිව තිබෙන සියල්ල කපා හැරෙමින් තිබේ. ඔහුගේ පාලනය හා රිපබ්ලිකානුන්ගේ පාලනය අතර වෙනස්කම්, කාලවකවානු හා උපක්‍රම මත පවතින සුලු වෙනස්කම් පමනි.

රැකියා, සෞඛ්‍ය පහසුකම්, නිවාස, අධ්‍යාපනය ආදිය සඳහා කිසිදු සැලකිය යුතු වියදමක් ඔබාමා බැහැර කලේය. ඒ, බැංකු ගලවා ගැනීමට ඩොලර් ට්‍රිලියන ගනනක් වෙන්කිරීමෙන් ද අලුතෙන් බඳවා ගන්නා කම්කරුවන්ගේ වැටුප් සියයට 50න් කැපීමේ එකඟතාවය මත ක්‍රයිස්ලර්, ජෙනරල් මෝටර්ස් වැනි සමාගම් වලට නය පහසුකම් පිරිනැමීමෙන් ද පසුවය. සිය සම්මුඛ සාකච්ඡාවේදී වෝල් වීදිය ගලවා ගැනීම ආරක්ෂා කිරීමට ඔහු වගබලා ගත්තේ, ("අප බැංකු පද්ධතිය බිඳ නොවැටෙන බවට වගබලාගත යුතුය.”) සමාජ අර්බුදය ජයගැනීමට කිසිදු බැරෑරුම් වියදමක් නොකිරීමට වගබලාගන්නා අතරතුරය.

යමෙක් මධ්‍යම පන්තිය ගැන ඔබාමාගේ කනස්සල්ල අවංක යයි පිලිගත්ත ද (අප නම් නැත) ඔහුගේ පාලනයට මෙන්ම වෙනත් ඕනෑම ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකානු පාලනයකට ද වත්මන් අර්බුදය ජයගැනීමට කල හැකි දෙයක් නැත. වත්මන් අන්ධ පථය වනාහි ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ නිමැවුමකි. එය මාධ්‍යගතව ඇත්තේ එරට ගෝලීය ආර්ථික තත්වයේ දිග්ගැස්සුනු පරිහානිය තුලය.

මෙම පිරිහීම සමග පොරබැදීමට ඇමරිකානු පාලක පන්තිය යොදාගත් එම ප්‍රතිපත්තීන්ම, සමාජ ප්‍රතිසංස්කරනයේ කුමන හෝ අව්‍යාජ ක්‍රියාමාර්ගයක හැකියාව ඛාදනය කර තිබේ. දශක හතරකට අධික කාලයක් තිස්සේ පාලක පැලැන්තිය, රටේ කාර්මික යටිතලය කැබලිති කර සිය ආයෝජන, මූල්‍ය උපාමාරු හා සමපේක්ෂනය වෙත හරවා ඇත. මෙහි ප්‍රතිපලය වී ඇත්තේ මූල්‍ය පරපුටුකමේ ඉහවහා යන වර්ධනයයි. ඒ සමග අත්වැල් බැඳගෙන ආර්ථික, සමාජ හා දේශපාලන ජීවිතයේ සෑම අංශයක් මතම වෝල් වීදිය හා කොටස් වෙලඳපොල ඉමහත් අධිකාරයක් ගොඩනඟාගෙන තිබේ.

පාලක ප්‍රභූව සඳහා ධනය නිර්මානය කිරීමේ ක්‍රියාවලිය, සැබෑ වටිනාකම් නිර්මානය කිරීමෙන් වඩ වඩාත් වෙන් කිරීම තුඩුදී ඇත්තේ, එක්සත් ජනපදයේ ආර්ථික පදනම් කුනුවී යාමටය. අද එක්සත් ජනපදයේ සමස්ත ලාභයෙන් සියයට 50ක්ම නිර්මානය කරන්නේ මූල්‍ය ක්ෂේත්‍රයයි.

මූල්‍ය කරනයේ ක්‍රියාවලිය පාලක පන්තිය තුල, දේශීය මෙන්ම විදේශීයවත් කුරිරු හා නිර්දය ප්‍රතිපත්තීන් සඳහා බලගතු පදනමක් ගොඩනංවා ඇත. මෙම මූල්‍ය වංශාධිපතිත්වය, ජාත්‍යන්තර වශයෙන් යුද්ධයේ හා ආක්‍රමනයේ මෙන්ම, එක්සත් ජනපදය තුල ආර්ථික කොල්කෑමේ පිලිවෙතකින් ද පසුබැසීමට කිසිදු ඉඩක් දීමට සූදානම් නැත. ඩිට්‍රොයිට්හි නාගරික ආයතනයන්හි බැඳුම්කරයන් හිමිකරගෙන සිටින බැංකු හා ආරක්ෂක අරමුදල්, කම්කරුවන්ගේ විශ්‍රාමික ගෙවීම් හා සෞඛ්‍ය පහසුකම් විනාශ කිරීම ද තමන්ට ක්ෂනිකව අත පෙවිය නොහැකි සියලු පොදු දේපල දියකර දැමීම ද සමස්ත වෝල් වීදිය වෙනුවෙන්ම කියා සිටියි.

විදේශයන්හිදී මිලිටරිවාදයත් රටතුලදී සමාජ ප්‍රතිවිප්ලවයත් සඳහා ජනතාව මැඬ ත්‍රස්ත කරන පාලනයක ආඥාදායක ආකෘතීන් අවශ්‍ය කෙරේ. එබැවින් දැවැන්ත හා නීති විරෝධී ඔත්තු ජාලයන් ද රාජ්‍යයේ පොලිස් බලතල ද සවිමත් කෙරේ.

ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් විසින් 1930 ගනන්වල ද කෙනඩි හා ජොන්සන් විසින් 1960 ගනන් වල ද ගෙනගියාක් වැනි සමාජ ප්‍රතිසංස්කරනයේ ඉතා නවීන ප්‍රතිපත්ති පවා අද දිනයේදී, ඉහවහා ගිය ආර්ථික, සමාජ හා දේශපාලන බාධකයන්ට මුහුනපායි. ධනපති ප්‍රතිපත්ති පිලිබඳ ආකෘතිය තුල ප්‍රගතිශීලී වෙනසක් සඳහා කිසිදු පදනමක් ඇත්තේ නැත.

කුමන හෝ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරනයක් තිබිම අවශ්‍ය නම් එවැන්නක් සිදුවිය හැක්කේ, සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමේ අතුරු පලයක් ලෙස පමනි. කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස එවන් අරගලයක් වර්ධනය කල යුතුය.

බැංකු හා ප්‍රමුඛ සංගත ජනසතු කර, වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර පාලනය සහිත පොදු අයිතිය යටතේ තැබිය යුතුය. මූල්‍ය කතිපයාධිකාරයේ හා සමාජයේ පොහොසත්ම සියයට එකේ කල ග්‍රහනය, කම්කරු පන්තියේ දේශපාලන හා සමාජ ක්‍රියාවලියක් තුලින් බිඳ දැමිය යුතුය.

ඩිට්‍රොයිට්හි පමනක් නොව රට පුරාම වැඩකරන ජනතාව මුහුනදෙන අතිශයින්ම හදිසි කර්තව්‍යය වන්නේ, සමස්ත දේශපාලන සංස්ථාපිතයට හා මහ ව්‍යාපාරිකයේ පක්ෂ දෙකටම එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.

එරික් ලන්ඩන් හා බැරී ග්‍රේ

Share this article: