ආන්ඩුව " ඉගිල්ලෙන මාලුවෝ” තහනම් කරමින් කලාවේ නිදහසට එරෙහි බරපතල ප්‍රහාරයක් කරයි

පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 ජූලි 17

ජාත්‍යන්තර සම්භාවනාවට පත් සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත කිරීම තහනම් කිරීමට පසු ගිය සතියේ රාජපක්ෂ ආන්ඩුව ගනු ලැබූ පියවර, සුවිශේෂී වශයෙන් කලාවටත්, පොදුවේ ප්‍රකාශනයේ නිදහසටත් එල්ල කල බරපතල ප්‍රහාරයකි. සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරය තරයේ හෙලා දකින අතර එම තහනම වහාම ඉවත් කල යුතුයැයි කියා සිටී.

2011 හොංකොං ආසියානු සිනමා උලෙලේ දී හොඳම ආසියානු සිනමාකරු සම්මානය ද, 2011 දී ප්‍රන්සයේ නෑන්ට්ස් ජාත්‍යන්තර සිනමා උලෙලේදී ගෞරව සම්මානය ද, 2011 බැන්ගලෝර් ජාත්‍යන්තර සිනමා උලෙලේ දී හොඳම ආසියානු චිත්‍රපටයට හිමිවන නෙට්පැක් සම්මානය ද හිමිකර ගත් ඉගිල්ලෙන මාලුවෝ, පසු ගිය සතියේ කොලඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ පවත්වමින් තිබූ ජාත්‍යන්තර සිනමා උලෙලකදී තිරගත කිරීමත් සමග ආන්ඩුව විසින් මෙම තහනම පනවන ලද්දේ සිනමා උලෙලද නවතා දමමිනි. ප්‍රන්ස තානාපති කාර්යාලය මුල්වී මෙම උලෙල සංවිධානය කර තිබුනි.

"අවසරයකින් තොරව ශ්‍රී ලංකාවේ හමුදා නිල ඇඳුම් භාවිතා කොට, ශ්‍රී ලංකා හමුදාව සහ ආන්ඩුව අපකීර්තියට පත්වන අයුරින් මෙම සිනමාපටය නිමවා ඇති බැවින්” එය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කොට ඇති බවත්, ඉදිරියේදී චිත්‍රපටය නිර්මානය කිරීමට සම්බන්ධවූවන්ට එරෙහි "නීතිමය පියවර පවා ගැනීමට සූදානම් බවත්” ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ල පැවසීය. වාරනයේ යකඩ සපත්තුව පෙන්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ "සම්පුර්න" පරීක්ෂනයකට නියෝග කර ඇතැයි, රාජ්‍ය මාධ්‍ය වාර්තා කලේය.

ඉගිල්ලෙන මාලුවෝ ඇතුලු චිත්‍රපට පෙන්වීමට සිනමා උලෙල සඳහා සම්මන්ත‍්‍රන ශාලාවෙන් අවසරය ලබා ගත්තේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයේ ලිඛිත අවසරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවත්, එවන් තත්වයක් තුල හදිසියේ මෙම සිනමා උලෙල වාරනය කිරීමෙන් තමා බලවත් අපහසුතාවයකට පත් වූ බවත් පවසමින් එය සංවිධානය කල ප‍්‍රන්ස තානාපති කාර්යාලය ශී‍්‍ර ලංකාවේ ආන්ඩුවට තම විරෝධය අඟවන නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේ නමුත් මෙම කලා දඩයම තව දුරටත් ඉදිරියට ගෙන යමින්, ඉදිරි සිනමා උලෙලවලදී ප‍්‍රදර්ශනය කෙරෙන චිත‍්‍රපටවල අන්තර්ගතය සලකා බැලීම සඳහා නියාමනයක් ලබා දෙන ලෙස රැඟුම් පාලක මන්ඩලයේ සභාපති ගාමිනී සුමනසේකර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

ඉගිල්ලෙන මාලුවෝ තහනමෙන් පසු එහි අධ්‍යක්ෂ පුෂ්පකූමාරට, චිත‍්‍රපටයේ නිශ්පාදකවරුන්ට හා ලේඛකයකු වන ගාමිනී වියන්ගොඩට එරෙහි පොලිස් දඩයමක් ද රාජ්‍ය මාධ්‍යයන් කේන්ද්‍ර කොට ගත් වර්ගවාදී ප‍්‍රකෝපකරනයක් ද දියත් කොට ඇත. රජය සතු ස්වාධීන රූපවාහිනී සේවය තම ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්හිදී පුෂ්පකුමාර සහ වියන්ගොඩ ජාති ද්‍රෝහීන් ලෙස නම් කරමින් සහ ඔවුන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක හවුල්කරුවන් බව ප‍්‍රකාශ කරමින් මෙම ප‍්‍රකෝපකරනයේ කසකාරයන් ලෙස වැඩට බැසගෙන සිටී.

මේ අතර තහනමට එරෙහිව කලාකරුවන් හා බුද්ධිමතුන් අතර බලගතු විරෝධයක් වැඩෙමින් පවතී. වියන්ගොඩට එරෙහි ප‍්‍රකෝපකරනයට විරුද්ධව අත්සන් කෙරෙන පෙත්සමකට ප‍්‍රමුඛ කලාකරුවන් සහ කි‍්‍රයාකාරිකයන් සිය ගනනක් දැනටමත් අත්සන් තබා ඇති අතර ශී‍්‍ර ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ” ඉගිල්ලෙන මාලුවෝතහනම් කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ කලාව සහ සංස්කෘතිය පවා මිලිටරීකරනයට ආන්ඩුවට අවශ්‍ය වී ඇති” බවයි.

පුෂ්පකුමාර විදෙස් ගතව අධ්‍යයන කටයුතු වල නියැලී සිටින තතු තුල, රහස් පොලීසිය ඉගිල්ලෙන මාලුවෝ චිත‍්‍රපටය නිශ්පාදනය කල ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් සමාගමේ නිලධාරීන් පසුපස හඹා යමින් සිටී. සමාගමේ උපදේශක සහ සිනමා අධ්‍යක්ෂ කැලුම් පාලිත මහීරත්න මාධ්‍යයට පැවසුවේ "චිත‍්‍රපටය නිර්මානය කිරීමට තුඩු දුන් හා එයට ආවේශය ලබා දුන් හේතු වැනි මූලික කරුනු” රහස් පොලීසිය විසින් තමාගෙන් ප‍්‍රශ්න කල බවයි. පොලීසිය චිත‍්‍රපටයේ පිටපතක් ඉල්ලා සිටි බවත් එය ලබා දීමට එකඟ වූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඬේලිමිරර් පුවත්පතට ප‍්‍රකාශයක් නිකුත් කරමින් ආන්ඩුවේ චෝදනාවට පුෂ්පකුමාර මෙසේ පිලිතුරු දුනි: "සිනමාකරුවෙකු ලෙස මම මගේ ජීවන අත් දැකීම් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස සිනමාව යොදා ගන්නා අතර මෙම චිත‍්‍රපටයට ද බලපා ඇත්තේ සහ එයට ආවේශය ලබා දී ඇත්තේ එවන් අත්දැකීම් ය. කෙසේ නමුත් අන් සෑම කලා කෘතියකදී මෙන්ම මෙම චිත‍්‍රපටය ද විවිධ අය එකිනෙකට වෙනස් අයුරින් අර්ථ කථනය කල හැක. මෙම චිත‍්‍රපටය බහු ආඛ්‍යානමය වන අතර හමුදා නිලධාරියාගේ කතාව එහි එන ආඛ්‍යාන තුනෙන් එකක් පමනි. එම තතු තුල මා විශ්වාස කරන්නේ සමස්ත චිත‍්‍රපටයම හමුදාව අපකීර්තියට පත් කරන්නක් ලෙස විස්තර කිරීම අසාධාරන බවයි.”

2009 අවසන් වූ ශී‍්‍ර ලංකාවේ වර්ගවාදී යුද්ධය පසුබිම් කර ගනිමින් නිර්මානය කොට ඇති ඉගිල්ලෙන මාලුවෝ චිත‍්‍රපටය, රාජ්‍ය හමුදාවන් ද, එම හමුදාවන්ට එරෙහිව සටන් කල බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානය ද සම්බන්ධයෙන් විවේචනාත්මක ආකල්පයක් ගෙන ඇති බව බොහෝ විචාරක මාධ්‍ය සටහන් වලින් ප‍්‍රකාශයට පත් වේ.

විසි හය අවුරුදු යුද්ධයේ දී අවම වශයෙන් ලක්ෂයකට අධික ජන සමූහයක් මිය ගිය ගියහ. 2006 දී ජනාධිපති රාජපක්ෂ බලයට පැමිනීමෙන් පසු යුද්ධය යලි වටයකින් ඇරඹූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරුවකට අනුව යුද්ධයේ අවසන් මාස කීපය තුල මියගිය සංඛ්‍යාව 40,000 කි. එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් අනතුරුව තුන් ලක්ෂයක් දෙමල ජනයා විවිධ වද බන්ධන යටතේ හමුදා කඳවුරුවල සිරගත කෙරින.

රාජපක්ෂ ආන්ඩුව පසුගිය වසර කීපය තුල චීනය සමග ගොඩනගා ගෙන ඇති සබඳතාව සම්බන්ධයෙන් උත්සුක වන එක්සත් ජනපදය හා බටහිර බලයන් කොලඹ-බෙයිජින් සබඳතා ඈත් කිරීමේ අදහසින් රාජපක්ෂ තන්ත‍්‍රය මත වඩ වඩාත් පීඩනය යොදමින් සිටී. රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ඔවුන් ඉදිරිපත් කරන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටින් පවතින්නේ මෙම උත්සුකයයි.

මෙම සියලු අපරාධ චෝදනා රාජපක්ෂ ආන්ඩුව විසින් එක හෙලා ප‍්‍රතික්ෂේප කරන තතු යටතේ හමුදාවේ අපරාධ සම්බන්ධයෙන් කෙරෙන කවර හෝ හෙලි කිරීමක් ආන්ඩුව නොඉවසයි. ඉගිල්ලෙන මාලුවෝචිත්‍රපටයට එරෙහි ප‍්‍රහාරය යටින් පවත්නේ එයයි.

යුද්ධය මධ්‍යයේ, අනෙක් සෑම ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියකට මෙන්ම කලාත්මක නිදහසට ද දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල වූ අතර යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මක ආකල්පයක් ගත් කලා නිර්මානයන්ට සහ නිර්මානකරුවන්ට එරෙහි දඩයම වඩවඩාත් උත්සන්න කෙරුනි. අනෙක් සෑම ක්‍ෂේත‍්‍රයකදී මෙන්ම කලාව ක්‍ෂේත‍්‍රයේ ද මිලිටරි අත පෙවීම් තීව‍්‍ර විය.

යුද්ධය මගින් දකුනේ දුගීන්ට අත්කර දුන් දුකඳුර ගෙන හැර පෑ චිත‍්‍රපටයක් වන ප‍්‍රසන්න විතානගේ විසින් නිර්මිත පුරහඳ කළුවර, චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින් 1997 දී වාරනය කරනු ලැබුවේ ඉන් හමුදාවේ "ධෛර්ය” හීන වන බැව් පවසමිනි. 2005 දී එවකට නාවික හමුදාවේ රියර් අද්මිරාල්වරයෙකුව සිටි සරත් වීරසේකර සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින්, විමුක්ති ජයසුන්දර, ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ සුදත් මහදිවුල්වැව යන සිනමාකරුවන්ගේ යුද විරෝධී චිත‍්‍රපට නිර්මානයන් හෙලා දකිමින් ඒවා "එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට” සහාය දෙන කෘති ලෙස නම් කරමින් යුද්ධයට පක්ෂපාතී චිත‍්‍රපට නිර්මානය කරන ලෙස එම නිර්මානකරුවන්ට බල කලේය. පසුව ජාතික චිත‍්‍රපට සංස්ථාවට ජයසුන්දර හා හඳගම කැඳවූ වීරසේකර "යුද්ධයට පක්ෂපාතී චිත‍්‍රපට නිර්මානය නොකලහොත් ප‍්‍රතිවිපාකයන්ට මුහුන දීමට සිදුවනු ඇතැයි” තර්ජනය කලේය.

ලෝක ආර්ථික අවපාතය මධ්‍යයේ වඩාත් ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මුහුන දී සිටී. ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත කම්කරු පීඩිත මහජනතාවට එල්ල කරන ප‍්‍රහාර හමුවේ වැඩෙමින් පවතින අරගල මැඩීම සඳහා පොලීසිය හා මිලිටරිය මත වඩවඩාත් වාරුවෙමින් ආන්ඩුව ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් දෙසටයි.

මෙම ගමනේදී කලාත්මක නිදහස ඇතුලු අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සියල්ල තලා දැමීම රාජපක්ෂ ආන්ඩුවේ එල්ලය වන අතර ඉගිල්ලෙන මාලුවෝ චිත්‍ර පටයට එරෙහි ප‍්‍රහාරය එහි ආසන්නතම ප‍්‍රකාශනයකි.

Share this article: