එක්සත් ජනපද චීන සාකච්ඡා අවුලෙන් අවුලට පත්වෙයි

US-China dialogue in shambles

ජෝන් චෑන් විසිනි, 2013 ජූලි 20

පසුගිය සතියේ පැවති එක්සත් ජනපද-චීන මූලෝපායික හා ආර්ථික සාකච්ඡා සලකුනු කරන්නේ, පසුගිය මාසයේ කැලිෆෝනියාවේ සනි ලෑන්ඩ්ස් උද්‍යානයේදී චීන ජනාධිපති හා ජනාධිපති ඔබාමා අතර බෙහෙවින් ප්‍රසිද්ධ කරන ලද නොනිල සමලුව පැවති තැන් පටන්, දෙරට අතර සම්බන්ධතා වේගයෙන් පලුදු වෙමින් පවතින බවයි. ජනාධිපති ක්සි, ආතතීන් ලිහිල් කරන “මහ බලවතුන් අතර සම්බන්ධතාවන්හි නව ආකෘතියක්” සඳහා කැඳවුම් කලේය.

වාර්ෂික සිදුවීමක් වන සාකච්ඡාව, මෙම වසරේ එක්සත් ජනපදයේදී පැවැත්වුනු අතර ඊට ඇමරිකානු උප ජනාධිපති ජෝ බිඩෙන් හා චීන රාජ්‍ය නියෝජිත යැන් ජෙශේ වැනි ඉහල පෙලේ නිලධාරීහු සම්බන්ධ වූහ. දේශගුනික විපර්යාස මෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුලු ක්ෂේත්‍ර 91ක “පලදායී” එකඟතා ඇතිකරගත් බවට කයිවාරු ගසන ප්‍රකාශයක් ඔවුහු නිකුත් කලහ. කෙසේ වෙතත් ප්‍රකාශනය සමීපව නිරීක්ෂනය කරන විට පෙනී යන්නේ, සඳහන් කල කිසිදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සැලකියයුතු ප්‍රගතියක් ඇතිවී නැති බවයි.

නව වටයක වෙලඳපොල-ගැති විස්තීර්න ප්‍රතිව්‍යුහකරන හා චීන ආර්ථිකයේ රාජ්‍ය පාලිත ක්ෂේත්‍ර විදේශ ආයෝකයින්ට විවෘත කිරීමට ද බීජිනය කටයුතු කරන බවට චීන නිලධාරීහු, එක්සත් ජනපදයට සපථ කිරීමේ වෑයමක නිරතව සිටියහ. සාකච්ඡා ආරම්භ කල බිඩෙන් කියා සිටියේ, “සිය ආර්ථිකය පිලිබඳව ඊලඟ පියවරයන්හිදී චීනය විසින් එක්සත් ජනපදයට ද ශුභදායී වන පියවර ගත යුතුව ඇති” බවයි.

කෙසේ වෙතත් සාකච්ඡා, ඉක්මනින්ම පසමිතුරුකම් බවට පත් විය. විශේෂයෙන්ම සයිබර් ආරක්ෂාව හා බුද්ධිමය දේපල වැනි ප්‍රශ්න. ඔබාමා-ක්සී සාකච්ඡාවන්හි ද ප්‍රධාන මාතෘතාවක් වූයේ සයිබර් ආරක්ෂාවයි. ඒ අනුව සයිබර් ක්‍රියාකාරී කමිටුවක් පත්කරගෙන තිබුනි. කන්ඩායමේ පලමු රැස්වීම විස්තර කර තිබුනේ “බෙහෙවින්ම පලදායී හා දිරිගන්වන සුලු” එකක් ලෙසය. එහෙත් එය ඉදිරියේදී යලි රැස්වන බව හැරෙන්නට වෙනත් කිසිදු එකඟත්වයක් නිවේදනය කර නොතිබුනි.

දොරවල් වසාගෙන පැවැත්වූ “පලදායී”සාකච්ඡා කටුක, ද්වේෂ සහගත ඒවා වූ බව නිසැකය. මාස ගනනක් තිස්සේ එක්සත් ජනපදය, මිලිටරිය හරහා ප්‍රධාන ඇමරිකානු සමාගම්වල වානිජ්‍ය රහස් “සොරකම්” කිරීමට චීන ආන්ඩුව සෘජුවම සම්බන්ධවූ බවට චෝදනා නඟා ඇත. කෙලින්ම චීනය නම් නොකර බිඩෙන් “දැන් එක්සත් ජනපද සමාගම් අත්දකිමින් සිටින සයිබර් අවකාශයේ සිදුකරන සොරකම් නර කිරීමට කාලය එලඹ තිබේ” යයි පැවසීය.

කෙසේ වෙතත්, රහස් හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන්, ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් සිදුකර තිබෙන දැවැන්ත ඔත්තු බැලීමේ මෙහෙයුම් පසුගිය මාසය තිස්සේම හෙලිදරව් කර ඇත. සාකච්ඡාවලදී චීන නිලධාරීහු, සයිබර් සොරකම් වලට තම රට සම්බන්ධ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කල අතර එක්සත් ජනපදයේ හා අනෙකුත් රටවල සයිබර් සොරකම්වල ප්‍රධාන ගොදුර බවට පත්ව තිබෙන්නේ චීනය බව ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම් වලින් නිගමනය කල හැකි බව පෙන්වා දුන්හ.

සයිබර් ආරක්ෂක සාකච්ඡාවන්ට සහභාගී වූ එක්සත් ජනපද නිලධාරියෙකු රොයිටර් සේවයට පැවසූ පරිදි, “සියලු රටවල් දැනට සිදුකෙරෙමින් තිබෙන බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු හා ව්‍යාපරික කටයුතු පිලිබඳ බුද්ධිමය දේපල සොරකම් කිරීම අතර දැවැන්ත වෙනසක් පවතියි.” එහෙත් ස්නෝඩන් හෙලිදරව් කර ඇති පරිදි ජාආඒ යෙදී සිටියේ, චීනයේ ද හොංකොං හා ජර්මනියේ පවා ආන්ඩුවල ද මිලිටරියේ මෙන්ම පෞද්ගලික සංගතවල ද ඔත්තු බැලීමේය.

චීන නිලධාරීන් සමග පැවති රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ඔබාමා, ස්නෝඩන්ට හොංකොං සිට රුසියාවට යෑම සඳහා ඉඩකඩ සලසා තිබීම පිලිබඳව “නොසතුට හා කනස්සල්ල” පලකරමින් ද්වේෂය වැගිරීය. නියෝජ්‍ය රාජ්‍ය ලේකම් විලියම් බර්න්ස් වාර්තාකරුවන් හමුවේ පැවසුවේ තීන්දුව, “සනිලෑන්ඩ්ස්හි පැවති ජවය සමග ගත් කල අප දෙගොල්ලන්ම ගොඩනැඟීමට බලාපොරොත්තු වන වර්ගයේ, නව ‍ආකෘතියක සම්බන්ධකම්වල අනිශ්චිත” බවය.

චීනය පිලිබඳ එක්සත් ජනපද පිලිවෙත, සහයෝගිතාව වර්ධනය කිරීම සමග මෙලොව සම්බන්ධයක් නැත. ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි යන සෑම ක්ෂේත්‍රයකම දිගහැරෙන ප්‍රචන්ඩත්වයකි. එහි අරමුන, එක්සත් ජනපදයේ අධිකාරය පවත්වාගැනීම සඳහා චීනයට වල කැපීමයි. ජාතික ආරක්ෂක ඒජන්සියේ විස්තීර්න සයිබර් ඔත්තු බැලීම්, චීනයට එරෙහිව යුද්ධය සඳහා ගෙන යන එක්සත් ජනපද සූදානමේ කොටසකි.

චීන එක්සත් ජනපද සාකච්ඡා ගෙනයන අතරතුර රුසියාව හා චීනය, එක්සත් ජනපද-ජපාන සන්ධානය එල්ල කරගත්, පෙර නොවූ විරූ දැවැන්ත ඒකාබද්ධ නාවික අභ්‍යසය ජපාන මුහුදේ පැවත්වීය. එම කලාපයේදීම එක්සත් ජනපදය ජපානය සමග ඒකාබද්ධව ප්‍රකෝපකාරී ගුවන් අභ්‍යාසයක් පැවැත්වීය.

එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ජැක් ලිව් හා චීන උප අගමැති වැන් ලෑන්ග් සම්බන්ධවූ ආර්ථික සාකච්ඡා ද නරක අතට හැරෙන දෙරටේ සම්බන්ධතා පෙන්නුම් කලේය. චීනයේ නව වෙලඳපොල ගැති පියවර ප්‍රසංශාවට ලක්කරන අතරම ලිව්, “අපගේ ව්‍යාපාරික ආයතන හා කම්කරුවන් එක සමාන ක්‍රීඩා පිටියක ක්‍රියාත්මක වනබව සහතික කිරීමත්, ගෝලීය ආර්ථිකය තුල ක්‍රියාත්මක වන නව්‍යෝත්පාදකයින් හා බුද්ධිමය දේපල හිමිකරුවන් ද ඇතුලු කොටස්වල අයිතීන් ආන්ඩුවේ අනුග්‍රහයෙන් සිදුවන සයිබර් විනිවිදීම් වලින් සුරක්ෂිත කිරීමත්” සඳහා ඉල්ලීම් මාලාවක් ගෙනහැර දැක්වීමට වහාම හැරී ගත්තේය.

යථාර්තයේදී ඇමරිකානු සංගතයන්ගේ සුපිරි ලාභ පදනම්ව ඇත්තේ, ඇපල් හා වොල්මාර්ට් වැනි සමාගම් වලට අඩු වියදම් භාන්ඩ සම්පාදනය කරන්නාවූ, දැවැන්ත ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස චීනයේ පැවැත්ම සහතික කරන්නාවූ, වෙලඳ නාම හා තාක්ෂනයේ පරපුටු ඒකාධිකාරීන් මතය. ඒ සමග ම වොෂින්ටනය, ඇමරිකානු සමාගම් වලට මෙන්ම භාන්ඩ වලට ද චීන ආර්ථිකය තව තවත් විවෘත කර ගැනීම සඳහා බලපෑම් කරයි.

ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් මුදල ඉක්මනින්ම යලි අගැයීමට චීනය පියවර ගත යුතු යයි ලිව් ප්‍රකාශ කලේය. චීනයේ අපනයන කර්මාන්තයේ පසුබෑම සැලකිල්ලට ගත් කල, යලි අගැයීමක් කර්මාන්තශාලා වැසීයාමකට හා රැකියා විනාශයකට මඟ පාදනු ඇත. එම ඉල්ලීම වෑන්ග් ප්‍රතික්ෂේප කලේය. හෙතෙම මෙසේ අනතුරු ඇඟවීය. “එක්සත් ජනපදය සේම අප ද අපගේ මූලික පද්ධතිය හෝ ජාතික අවශ්‍යතා පරදුවට තැබීමට තුඩුදෙන අදහස්, කුමන ලෙසකින් ඉදිරිපත් කල ද කිසිවිටෙකත් පිලිගැනීමට සූදානම් නැත.”

එක්සත් ජනපදය හා චීනය අතර ආතතීන් නැඟී එමින් තිබිය දී, ඝර්ෂනයේ හා යුද්ධයේ වාතාවරනයක් තුල, චීනය රුසියාව වෙතට තල්ලු කිරීමේ අන්තරාය පිලිබඳව ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සම්පාදන යාන්ත්‍රනය තුල උපක්‍රමික වෙනස්කම් මතුව තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට ලියමින් මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජෙෆ්රි මැන්කොෆ් 18දා උපදෙස් දුන්නේ, “බීජිනයට හා මොස්කෝවට ලෝකය පාලනය කිරීමේ දී තවත් ඉඩ ලබාදීම අසීරුතා පැනනංවනු ඇත. එහෙත් විකල්පය, එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින් බිය ගන්වන චීන-රුසියානු අක්ෂය යථාර්තයට සමීප කරනු ඇත.”

ඒ සමානම අදහස් දරන හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කීසිංජර්, ඔබාමා-ක්සී සමුලුව කෙරෙහි මහත් බලාපොරොත්තු තබා සිටියේය. සෝවියට් සංගමයට වල කැපීම අරමුනු කරගෙන, 1972 දී ගත් ජනාධිපති නික්සන්ගේ චීනය සමග යලි මිත්‍රවීමේ පියවර සම්බන්ධයෙන් කීසිංජර් තීරනාත්මක චරිතයක් විය. වඩාත් මැදහත් ප්‍රවිෂ්ටයක් ගැනීමේ අවශ්‍යතාව සඳහන් කරන අතර කීසිංජර් හා ඔහු වැනි අනෙක් අය, අවසානයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බලය පාවිච්චි කිරීමට සහාය දක්වනු නොඅනුමානය.

අනෙකුත් අය කියන්නේ, එක්සත් ජනපදය විසින් චීනයට සහන සැලසීම අතාර්කික බවයි. මේ මාසය මුල “නව ඇමරිකානු විරෝධී අක්ෂයක්?” යන හිසින් නිව් යෝර්ක් ටයිම්ස්හි පල කල ලෙස්ලි ගෙල්බ් හා ඩිමිත්‍රි සිම්ස් ගේ ලිපියක මෙසේ සඳහන් විය. “තමන්ගේ අවශ්‍යතා පෙරට ගෙනයාමේදී වඩාත් යෝග්‍ය වන්නේ, වොෂින්ටනය අඩියක් හෝ දෙකක් පසුබැස්සවීමේ අවශ්‍යතාව බව රුසියාව හා චීනය කල්පනා කරන බව පෙනේ... එක්සත් ජනපදයට බල කෙරෙන පරිදි දැඩි රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයක් මගින් පමනක් එය අත්කරගත හැකි බව දෙරටම කල්පනා කරන බව පෙනී යයි.”

යථාර්තය නම්, එක්සත් ජනපදය තවදුරටත්, තමන්ගේ විභව එදිරිවාදීන්ට සහන පිරිනැමීමේ තත්වයක නොසිටින බවයි. පසුගිය දශක දෙක පුරා වොෂින්ටනය, එකක් පසුපස තවෙකක් වශයෙන් යුද්ධ ගෙනගොස් ඇත. ඒ, තම ආර්ථික පරිහානිය හා තම ගෝලීය ආධිපත්‍යය පවත්වාගැනීම පිනිස මිලිටරි බලය යොදාගැනීම මගිනි. අලුත්ම එක්සත් ජනපද-චීන සාකච්ඡා, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලෝකය ගැටුම් හා යුද්ධ කරා ඇදගෙන යන බවට කෙරෙන තවත් අනතුරු ඇඟවීමකි.

Share this article: