තුර්කිය සන්ධිස්ථානයක

Turkey at the crossroads

2013 ජූනි 06

ජූනි 4 දා, ඉස්තාන්බුල් හි ටක්සිම් චතුරශ‍්‍රය ට හා ඇන්කාරා, ඉස්මර් ඇතුලු රට පුරා පිහිටි තවත් නගර 65ක ලක්ෂ ගනනක් ජනතාව වීදි බැසීමෙන් සතියකට පසුව, මෙම සිදුවීම් 2011 ඊජිප්තුවේ හා ටියුනීසියාවේ නැගිටීම්වලට සමාන කල නො හැකි බව පවසමින් කනස්සල්ලට පත් ව්‍යාපාරිකයන් හට තුර්කි ජනාධිපති අබ්දුන් ගුල් සහතිකයක් නිකුත් කලේය. මහජන නැගිටීමට ප‍්‍රතිචාර දනවමින් ඉස්තාන්බුල් කොටස් වෙලඳ පොල සියයට 10.5 කින් කඩා වැටීමට පසු දින ගුල්, තුර්කියේ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සංගමයේ රැස්වීමක් අමතා මේ බව ප‍්‍රකාශ කරනු ලැබිනි.

"වසර දෙකකට පෙර ලන්ඩනයේ දී, මීට සමාන හේතු උඩ කාර් ගිනි තබමින් කඩ සාප්පු කොල්ල කෑ බව” ගුල් කියා සිටියේ ය. "ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤයේ පැන නැගි කැරලි වල දී මහජනතාවගෙන් චතුරශ‍්‍ර පිරී ගියේ ය. එක්සත් ජනපදයේ වෝල් වීදිය වාඩිලා ගැනීම මාස ගනනක් තිස්සේ පැවතුනි. තුර්කියේ සිදු වෙමින් ඇත්තේ ඒ රටවලට සමාන දෙයකි.”

එක දිගටම පවතින සමාජ විරෝධතා, තම ආයෝජනයන්ට තර්ජනයක් වේ යයි බියවූ ව්‍යාපාරිකයන් ට එවන් සහතික වලින් ලැබුනේ මඳ අස්වැසීමකි.

නැගෙනහිර හා බටහිර අතර සන්ධිස්ථානයක පිහිටි තුර්කිය, දෙපැත්තේ සියලු පුපුරන සුලු පරස්පරයන් තමා තුලට ඇද ගෙන ඇත. විශාල වශයෙන් කප්පාදුව කි‍්‍රයාත්මක කරන යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සුක වන තුර්කිය, එක විටම සිරියාවේ ආන්ඩු-පෙරලියක් සඳහා එක්සත් ජනපදයේ සහාය ඇතිව ගෙන යන නිකායවාදී යුද්ධයේ ද තදින්ම වෙලී සිටියි.

වොෂිංටනයේ හෙංචයියා ලෙස වැඩ කරමින්, තුර්කි අගමැති රිසිප් ටායිප් ඒර්ඩොගන් සන්නද්ධ විරුද්ධවාදීන් මර්දනය කිරීම උඩ අසාද් ඉල්ලා අස් විය යුතු යයි කියා සිටියේය. "තම ජනතාව ඝාතනය කරන නායකයෙක් සිය යුක්ති යුක්ත භාවය අහෝසි කර ගන්නා” බව ඔහු සඳහන් කලේය. ඒර්ඩොගන්ගේ මර්දනකාරී හමුදාවන් මේ වන තෙක් සාමකාමී තුර්කි විරෝධතාකරුවන් තිදෙනෙක් ඝාතනය කර, 3200 කට වැඩි ගනනක ට තුවාල සිදු කර හා 3300 වැඩි සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇත.

2011 විප්ලව දෙක හා බටහිර සිදුවීම් ගැන ජනාධිපති ගුල් කරන සඳහන මෙන් ම, තුර්කි නැගිටීම ද ගැඹුරින්ම මුල් බැස ඇත්තේ ධනපති ක‍්‍රමයේ ව්‍යුහය තුල හා එහි ගෝලීය අර්බුදය තුල ය. තුර්කිය දශකයක ට වැඩි කාලයක් පාලනය කල අගමැති ඒර්ඩොගන් හා ඔහු ගේ ඉස්ලාමීය ඒකේපී (යුක්තියේ හා සංවර්ධනයේ පක්ෂය) ආන්ඩුවේ පාලනය යටතේ තුර්කිය තුල සමාජ අසමානතාවයේ නාටකාකාර වර්ධනය තුල මෙය ප‍්‍රකාශිතව ඇත.

ඉස්තාන්බුල් හි ගේසි උද්‍යානය බුල්ඩෝසර් කර නවීන සාප්පු සංකීර්නයක් ගොඩනැගීම නතර කිරීම සඳහා අතලොස්සක ගේ විරෝධතාවයක්, තුර්කි කැරලි මර්දන හමුදාවේ මෘග මර්දනය සමග ගැටීමට සූදානම් ලක්ෂ ගනනක ගේ ශක්තිමත් ජාතික විරෝධතාවයකට තුඩු දීම වෙන ආකාරයකට පැහැදිලි කල නො හැක.

උද්‍යාන ව්‍යාපාරයම වුවත්, ඒර්ඩොගන් ආන්ඩුවේ ආක‍්‍රමනශීලී හා ප්‍රතිගාමී වෙලඳ පොල පිලිවෙත් සංකේතවත් කරයි. එනම්, පොදු භූමිභාග පෞද්ගලිකකරනය තුලින් ඒකේපීයේ ප‍්‍රධාන දේශපාලන පදනම වන පරපුටු ධනපතියන් අතෙලාස්සක් තව තවත් ධනවත් කිරීම හා කම්කරු පන්තිය එලවා දැමීම හරහා ඉස්තාන්බුල් නගරය ධනවත් හා වරප‍්‍රසාදිතයන්ගේ පාරාදීසයක් බවට පත් කිරීමයි. කේවලය තුල දී, ඒර්ඩොගන් ඉස්ලාමීය ප‍්‍රතිගාමීත්වයට අනුග‍්‍රහ දක්වමින්, තුර්කි කම්කරුවන්ගේ සම්ප‍්‍රදායික රැස්වීම් මධ්‍යස්ථානයක් වූ ටක්සිම් චතුරශ‍්‍රරයේ ඉස්ලාමීය පල්ලියක් ගොඩ නැගීමට තර්ජනය කරන අතර තුර්කි අලෙවි සුලුතරය ඝාතනය ගැන කුප‍්‍රකට 16 වැනි ශතවර්ෂයේ ඔටෝමාන් සුල්තාන්ගේ නමින් පාලමක් නම් කිරීමටත් වැඩ කරමින් සිටියි.

ඒකේපී ආන්ඩුවේ ප‍්‍රහාරයන් මූලිකව ම එල්ල වූයේ තුර්කි කම්කරු පන්තිය ට ය. වෙනත් තැන් වල දී මෙන්ම තුර්කියේදී ද ධනපතියන්, 2008 ලෝක මුල්‍ය අර්බුදය, වැටුප් කැපීම සඳහාත් ශ‍්‍රම වියදම අඩු කිරීම සඳහාත් අවස්ථාවක් ලෙස ඩැහැ ගත්හ. 2009 මුල වන විට විරක්ෂාභාවය සියයට 16 ට ඉහල නැගුනි. එතැන් පටන් වර්ධනය බොහෝ විට සිදු වූයේ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමකින් තොරව ය. ඒ වෙනුවට, දොට්ට දැමීමේ තර්ජනය පාවිච්චි කරමින් තවමත් රැකියාවන්හි යෙදෙන්නන් ගේ වැටුප් අඩු කිරීමටත්, බොහෝ අවස්ථාවල දී, උප-කොන්ත‍්‍රාත් හා තාවකාලික වැඩ පැවරීමටත් කි‍්‍රයා කර ඇත.

2011 දී නිකුත් වූ අධ්‍යයනයකට අනුව, ආර්ථික සහයෝගීතාවයේ හා සංවර්ධනයේ ( ඕඊසීඩී) රටවල් 34න් වැඩිම ආදායම් විෂමතාවය අතින් දෙවන තැන හිමි ව ඇත්තේ තුර්කියටය. එය, මෙක්සිකෝවට වඩා යාන්තම් හොඳ වන අතර තෙවන වඩාත්ම අසමාන රට වන එක්සත් ජනපදනයට වඩා යාන්තම් නරකය.

ගී‍්‍රසියේ හා අවශේෂ යුරෝපයේ සිටින තම සහකරුවන් මෙන්ම, තුර්කි කම්කරුවන් ද මුහුන දී සිටින්නේ, එරට ලාභ-ශ‍්‍රම වේදිකාවක් හා සුපිරි ලාභ උල්පතක් ලෙස දකින ජාත්‍යන්තර බැංකු හා සමාගම් වල රුදුරු ආක‍්‍රමනයටය.

වෘත්තීය සමිති විසින් මෙහෙය වූ ජූනි 5 වැඩ වර්ජනයට හා විරෝධතාවන්ට ලක්ෂ ගනනක් කම්කරුවන් සම්බන්ධ වූවත් සමස්තයක් ලෙස කම්කරු පන්තිය තවමත් තීරනාත්මක අරගලයකට ඇතුල්වී නැත. "සාප්පු සවාරි යන්න” යන සටන් පාඨය යටතේ විරෝධතාවට අනුග‍්‍රහය දැක්වූ වෘත්තීය සමිති, ඒර්ඩොගොන් ආන්ඩුවට එරෙහිව මේ වන තෙක් කිසිම සටනක් කර නැතුවා පමනක් නොව, 2008 අර්බුදයට ඔවුන් ප‍්‍රතිචාර දැක්වූයේ ධනේශ්වර ගැති පියවරයන්ට සිය අනුමැතිය පලකරමිනි.

ආන්ඩුව සමග තීරනාත්මක ගැටුමකට යාමට සමිති වලට කිසිදු අවශ්‍යතාවක් නැත. යුරෝපීය සංගමයේ උපදේශක කමිටු වලට මුලුමනින්ම සම්බන්ධව ඊට සහාය දක්වන මොවුන්, අසල්වැසි ගී‍්‍රසියේ හා අනෙක් තැන්වල යුරෝපීය සංගමය පටවා ඇති කප්පාදු වැඩ පිලිවෙලවල් සමග එක පෙලට සිටී.

ඒර්ඩොගන් ආන්ඩුව පෙරලීම සඳහා විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයක් පැන නැගිය හැක්කේ සමිතිවලින් ස්වාධීනව හා ඊට එරෙහිව ය.

තුර්කි සිද්ධීන් නියෝජනය කරන්නේ, තෙල් සම්පතින් අනූන මධ්‍යම ආසියාවේ හා පර්සියානු ගල්ෆ් කලාපයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා එහි මිලිටරි ව්‍යාපාරයේ ගැඹුරු වන අර්බුදයයි. මෙහිදී තුර්කිය, නැටෝවේ සාමාජිකයෙක් ලෙස එම ව්‍යාපාරයේ කඩ ඇනය ලෙස ක‍්‍රියා කරයි.

වර්තමාන ව්‍යාපාරය පැන නැගීමට යන්තම් සති දෙකකට පෙර, එර්ඩොගන් වොෂින්ටනයේ සංචාරයක යෙදුනි. ඔහු හා එක පෙලට සිටිමින් ඔබාමා, "කලාපයේ හා ලෝකයේ සෑම තැනකම සිටින සිය ශක්තිමත් මිතුරෙකු සහ සහචරයෙකු” වීම ගැන එර්ඩොගන් පැසසුමට ලක් කලේය. මැද පෙරදිග සඳහා ආකෘතිය ලෙස වොෂිංටනය එර්ඩොගන්ගේ ආන්ඩුව ලෙස පෙන්නුම් කරයි. දේශපාලන විරුද්ධවාදීන්, පුවත් පත් කලාවේදීන් හා වාර්ගික සුලු ජන කොටස් මර්දනය කරන නමුත් ඊජිප්තුවේ හා ටියුනීසියාවේ විප්ලවවාදී මහජනයා ට එරෙහිව එක්සත් ජනපදයේ සහාය ලබන "මධ්‍යස්ථ ඉස්ලාමීය” තන්ත‍්‍රයක වර්ගයේ පාලන තන්ත‍්‍රයක් ලෙස වොෂිංටනය ඒර්ඩොගන්ගේ ආන්ඩුවට සහාය දක්වයි. දැන් තුර්කියේ මහජනතාව මෙම ආකෘතිය ප‍්‍රතික්ෂේප කර ඇත.

සිරියාව හා ඉරානය අස්ථාවර කිරිමේ පෙරමුනක් ලෙස තුර්කිය යොදා ගනිමින් වොෂිංටනය, තුර්කියම අස්ථාවර කිරීමට සමත් ව ඇත. සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් පෙරලා දැමීම සඳහා ගෙන යන කුලීකාර හමුදාවන්ගේ යුද්ධයේ දී අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සන්නද්ධ කන්ඩායම් බලල් අත් ලෙස යොදා ගැනීම ගැන අති බහුතරයක් මහජනතාව විරුද්ධ ය. තමන්ට එරෙහිවත් ඊට සමාන කන්ඩායම් යොදා ගනිතැයි ඔවුන් බියට පත් ව ඇත.

තුර්කිය සන්ධිස්ථානයකට පැමින ඇත. අරගලයට පැමිනෙන තුර්කි කම්කරුවන් මූලික තෝරාගැනීමකට මුහුන දී ඇත. අධිරාජ්‍යවාදීන් විසින් තම මූලෝපායික හා ලාභ අවශ්‍යතා ලුහුබැඳ යාමේදී වර්ධනය කරනු ලබන, එක්සත් ජනපදය, චීනය හා අනෙක් බලවතුන් ද ඇද ගන්නා, ලෝකයම වෙලා ගත් ගිනි ජාලාවක් ඇවිලවීමේ හැකියාව සහිත යුද්ධයක් බවට පත්විය හැකි ලේ වැකි නිකායවාදී යුද්ධ වලට, ඔවුන් වඩාත් සෘජු ලෙස ඇදී යන්නේ ද?

එසේ නොමැති නම්, අධිරාජ්‍යවාදයට, හා ඉස්ලාම්වාදී හා අනාගමික යන දෙකොට්ඨාසයම ඇතුලත් තුර්කි ධනපතියන්ට එරෙහිව ගම්බද දුගීන් හා පීඩිතයන් තමන් වටා රැලිකර ගන්නා කම්කරු පන්තිය, තම ස්වාධීන විප්ලවවාදී අරගලය මත සමාජවාදී විසඳුම ඉදිරිපත් කරනවා ද?.

ඉස්තාන්බුල් හා තුර්කිය පුරා ඇති අනෙකුත් නගර තුල පැන නැගී ඇති විරෝධතා ව්‍යාපාරයේ ක්ෂනික ඉරනම අවිනිශ්චිතය. එහෙත් තුර්කි කම්කරු පන්තිය අරගලයට ඒම, මැද පෙරදිග, යුරෝපයේ හා ඊට එපිට ලෝක ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රශ්නයකි.

බිල් වෑන් ඕකන්

Share this article: