ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රයේ දිරාපත් වීම

The decomposition of American democracy

2013 මැයි 20

මැයි 16 බ‍්‍රහස්පතින්දා ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම් මයිකල් ශිහාන් ත‍්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය තව අවුරුදු 10ක් හෝ 20ක් පවතිනු ඇතැයි සෙනෙට් මන්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවට කියා සිටියේ ය. ගිය මස ඔබාමා පාලනය විසින් මුලු බොස්ටන් නගරය ම නිවාස අඩස්සියේ තැබීම ගැන මතක් කල ඔහු, යුද හමුදාව තම "යුදකාලීන බලතල” ජනාධිපතිවරයා ද කොන්ග‍්‍රස් මන්ඩලය සහ උසාවිය ද පනවන සීමාවලට උඩින් "බොස්ටන් සිට ෆාටා දක්වා දිගින් දිගටම පවත්වාගෙන යනු ඇතැ”යි කියාසිටියේ ය. (මෙහි ෆාටා යනුවෙන් හඳුන්වනු ලැබුවේ පකිස්තානයේ මධ්‍යම ආන්ඩුව විසින් පාලනය කරනු ලබන ගෝත‍්‍රික ප‍්‍රදේශයන් ය) ඒක පාක්ෂිකව යුද්ධ ප‍්‍රකාශ කිරීමේ හා එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලු මිනිසුන් හිතුමතයට මරා දැමීමේ බලය ද මෙසේ තහවුරු කරගනු ලබන බලතල වල ට ඇතුලත්ය.

එදින ම පුවත් පත් සාකච්ඡාවක් කල ඔබාමා ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ව තම පාලනය කරගෙන යන ඔත්තු බැලීමට, පුවත් මාධ්‍ය ලක්කිරීම කෙලින්ම ආරක්ෂා කලේ ය. ඔබාමා එසේ කලේ, අධිකරන දෙපාර්තමේන්තුව ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් කතුවරුන් සහ වාර්තා කරුවන්ගේ ටෙලිෆෝන් වාර්තා රහසින් අල්ලා ගෙන තිබීම එලි වීම මගින් සිය පාලනය ව්‍යවස්ථා විරෝධී ඔත්තු බැලීමක් කරගෙන යන බව එලිදරව් වී තිබුනු තත්වයක් තුල ය. මෙම නීති විරෝධී ක‍්‍රියාවට හේතුවක් ලෙස ඔබාමා ඉදිරිපත් කලේ, "ජාතික ආරක්ෂාව” සහ ආන්ඩුවේ වෙනත් අවශ්‍යතා මෙම අවස්ථාවේ දී බිල් ඔෆ් රයිට්ස් පනත (1791 දී ඇමරිකානු පුරවැසියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තහවුරු කරමින් සම්මත කරගනු ලැබූ පනතකි) පරයා ඉහලින් නැගෙන බවකි.

ජනාධිපතිවරයා තනි මතය ට නිගමනය කරන ඕනෑම තැනක දී එක්සත් ජනපදයේ ද පිටත ද එක්සත් ජනපද ඝාතක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමේ බලය කිසිදු බාධාවකින් හෝ සමනයකින් තොරව, අවිනිශ්චිත අනාගතයක් දක්වා පවත්වාගෙනයාම පෙන්ටගනය විසින් මේ අන්දමින් තහවුරු කර ගැනීම වනාහි එක්සත් ජනපදය තුල අර්ධ පොලිස් එකාධිපතිත්වයක් ඇටවීමකි. ශිහාන් ගේ කතාව සලකාබලන විට වඩාත් ඉස්මතුවන කාරනය නම් එයට එරෙහි බරපතල විරෝධයක් සෙනේට් මන්ඩල සන්නද්ධ සේවක කමිටුවේ හෝ මාධ්‍යවල හෝ දේශපාලන සංස්ථාපිතයේ මොනයම් මැ තැනකින් වත් එල්ල නොවීමයි.

දැනටම තහවුරු කොට ඇති යුද්ධ රෙකුලාසිවලට අනුව, යුද හමුදාවට එක්සත් ජනපදය තුල මෙහෙයවී, කිසියම් ප‍්‍රාන්තයක හෝ ප‍්‍රදේශයක "සිවිල් කලබැගෑනි” මර්දනය කිරීමට ද "නීතිය සහ පර්යාය තහවුරු කිරීමට ද” බලය පැවරී තිබේ. රෙකුලාසි වලට අනුව සිවිල් කල්බැගෑනියක් නිර්වචනය වන්නේ "පොදු නීතියට සහ පර්යායට හරස් ව වූ ප‍්‍රචන්ඩ කන්ඩායමික ක‍්‍රියා සහ වියවුල් සහගත තත්වයකි.”

ශිහාන් සෙනට් මන්ඩලයට දුන් සාක්කි වලදී පෙන්නුම් කලේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කලින්ම පෙන්නුම් කල පරිදි, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාර වලින් ඉක්බිත්තේ සම්මත කර ගනු ලැබූ ඒ.යූ.එම්.එෆ්. හෙවත් හමුදා බලය යෙදීම අනුමත කරන පනත විසින් ජනාධිපති ට, මෙයට අවුරුදු දොලහකට පෙර (9/11) අපරාධය සිදු කල හමුදාවට අසීමිත බලය පැවරීම සඳහා අධිකාරය සැපයෙන බවය. ඔවුන් හට එරෙහිව ඉදිරිපත් කෙරුනු තවකාලික සහ සීමිත ආත්මාරක්ෂක පියවර ලෙස මුලදී ඉදිරිපත් කරන ලද ඒ.යූ.එම්.එෆ්. රෙකුලාසි දැන් හිට්ලර් රයික්ටාග් (ජර්මන් පාර්ලිමේන්තු) ගින්න යොදාගෙන 1933 දී හිට්ලර් පවරාගත් සර්වාධිකාරී බලය (එනේබ්ලිං ඇක්ට්) සමාන ව්‍යාජ නීතිමය කවරයක් බවට පරිවර්තනය වීමේ තැනට ලං වෙමින් පවතී.

පෙන්ටගනය මෙසේ අසීමිත විධායක බලය සියතට ගැනීම දේශපාලන සංස්ථාපිතයේ සැලකියයුතු විරෝධතාවකට ලක් වූයේ නැත. ඒ අතර "ආන්ඩුවේ ආසක්තයන්” මූලික අයිතීන්ට වඩා බරපතල වන්නේ නම් ව්‍යවස්ථා අයිතීන් යටපත් කර දැමිය හැකිය යන ඔබාමාගේ "ප‍්‍රති තුලන” න්‍යාය ට බරපතල විරෝධයක් ඉන් ඉස්මතුවී ද නැත. මෙයට දශක තුනකට පෙර දක්ෂිනාංශික අන්තයේ අතලොස්සක මතයක් හැටියට සැලකිය හැකිව තිබුනු මෙම මතය දැන් ඇමරිකානු උසාවි වල, දේශපාලන සංස්ථා තුල සහ බුද්ධිජීවින් අතර ඒකමතිකවම මෙන් පිලිගනු ලැබූ මතය බවට පත් වී තිබේ.

1991 පෙබරවාරි මස ප‍්‍රථම ගල්ෆ් යුද්ධයට පෙරාතුව ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ යුද්ධයට බැසිය යුතු ද නැත් ද යන්න පිලිබඳව තීන්දු කිරීමේ දී කොන්ග‍්‍රස් මන්ඩල විවාදයක් පවත්වා ඡන්දයක් විමසන්නට සිදුවූ බව මතක් කරගැනීම වටී.

දැන් එයට ප‍්‍රතිකූලව අපට දක්නට ලැබෙන්නේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා අවිනිශ්චිත දීර්ඝ කාලයකට තමන්ගේ ම රහසිගත තීන්දු අනුව කිසිදු වගකීමකින් තොරව ව්‍යවස්ථාව හෝ ජාත්‍යන්තර නීතිය නොතකා යුද වැදීමට බලය තහවුරු කරගනිමින් ඉන්නා බවය. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අහෝසි කිරීමට සහ පොලිස් රාජ්‍යයක් කරා දකුනට පැදීමට ප‍්‍රධානම පදනම සැපයෙන්නේ මූල්‍ය වංශාධිපති ස්ථරයෙනි.

මෙය නම්, සමපේක්ෂනය, සොරකම සහ අපරාධ මගින් අති මහත් ධනස්කන්ධයක් පොදි ගසාගෙන සිටින්නා වූ බිලියනපතියන් සහ මිලියනපතියන් අතලොස්ස කින් සමන්විත ස්ථරයයි. 2008 ගෝලීය ආර්ථික අර්බුදය තුලදී රාජ්‍යය විසින් ටි‍්‍රලියන සංඛ්‍යාත ඩොලර් සංග‍්‍රහ ලද මෙම ස්ථරය, මහා විරැකියාවෙන් සහ කප්පාදු පිලිවෙත් විසින් කම්කරු පන්තිය විනාශයට පත් කරනු ලබන තතු තුල තව තවත් පෝසත් වී ඇත.

මෙම චෞරොන්මත්තයින් ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හෝ ඉතිහාසගත ප‍්‍රතිසංස්කරන වල ඇති කිසිදු වැදගත් කමක් නැත. උන් පලල් මහජනතාව දෙස බලන්නේ ඉමහත් බියෙන් සහ සතුරු බවෙනි. අකටයුත්තෙන් අත් කරගත් ධනය රැකගැනීමේ තන්හාවෙන් පෙලෙන මොවුහු සමාජ විරෝධය යටපත් කිරීම සඳහා පොලිස් රාජ්‍ය පියවර ගැනීමට කැමති වෙති.

මුල්‍ය වංශාධිපතියා ලඟට ඔබාමා පිටුපසින් ඉන්නේ ඉහලම සියයට 90 සහ 99 අතර වූ වරප‍්‍රසාදිත මධ්‍යම පන්ති තට්ටුවයි. මොවුන් අතරින් යම් කොටසකට ජීවන රටාව, ජන වර්ගය, සංස්කෘතිය සහ අනන්‍යතා ප‍්‍රශ්නය උඩ මුල්‍ය වංශාධිපතිත්වය සමග සුලු සුලු මත භේද තිබිය හැකි වුවත් මහකොම්පැනි වල විධායකය තුලද සරසවිවල ආචාර්ය මන්ඩලය තුල ද නීතිඥ සමාගම් තුල ද වෘත්තීය සමිති වල ද, විනෝද සම්පාදක කර්මාන්තයේ ද එන්ජී ඕ සහ මාධ්‍යවල ද නම්බුකාර තැන් අරක්ගෙන ඉන්නා මොවුහු සිය වරප‍්‍රසාදිත තත්වය සහ ආදායම ලබාගන්නේ පවත්නා පර්යාය තුලිනි. අධිරාජ්‍යවාදී යුද්ධයට පක්ෂවාදිව ද, පොදුවේ ධනේශ්වරය ආරක්ෂා කිරීමට ද සැරසී ඉන්නා මෙම ස්ථරය, එකම විකල්පය කම්කරු පන්තිය විසින් මෙම පද්ධතිය විප්ලවකාරීව පෙරලා දැමීම වන තතු තුල, එය වලක්වාලීම සඳහා පොලිස් රාජ්‍යයක් පවත්වා ගැනීමට පක්ෂ වෙති.

ඇමරිකානු ජනගහනයෙන් අතිමහත් වැඩි කොටස - යටින්ම ඉන්නාවූ සියයට අනූව - රටේ නිල දේශපාලන ජීවිතයෙන් මුලුමනින්ම වෙන්කොට දමනු ලබා ඇත. ඔබාමා ඔවුන් අමතන්නේ නැත. ප‍්‍රමුඛ දේශපාලන තීන්දුවලදී ඔවුන්ගේ ආසක්තතාවන් ගනනට ගනු ලබන්නේ ද නැත. ඔවුන් ගනන් ගනු නොලැබේ.

ඇමරිකානු අයිතිවාසිකම් (බිල් ඔෆ් රයිට්ස්) පනතේ තිබෙන්නේ "ආන්ඩුවේ ආසක්තයන්” මත පදනම් වූ හුදු ඇඟවීම් ද නැතහොත් ජනයාගේ පරම සහ අවියෝජනීය අයිතිවාසිකම් දැයි ඕනෑම ඇමරිකානු කම්කරුවෙකුගෙන් අසන්න. එසේත් නැතහොත් ඇමරිකානු ජනාධිපති වරයාට, නිමක් නැති ඉදිරි කාලයක් සඳහා ව්‍යවස්ථා සහ මූලික අයිතිවාසිකම් පනත නොතකා සිවිල් කලබල ප‍්‍රචන්ඩ ව මැඩපැවැත්වීමට ද එක්සත් ජනපද වැසියන් මරාදැමීමට රහසේ සලසුම් කිරීමට ද බලය තිබේ දැයි ඕනෑම ඇමරිකානු කම්කරුවෙකුගෙන් අසන්න. ඔබට ඔහුගෙන් ලැබෙන්නට හොඳට ම ඉඩ ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවෙකු, කොන්ග‍්‍රස් මංඩල සාමාජිකයෙකු, හිටපු "ලිබරල්” පුවත්පත් කලා වේදියෙකු හෝ ජනාධිපතිවරයා ම (ජනාධිපති වරයා එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ නීති විද්‍යාලයක "ව්‍යවස්ථාව පිලිබඳ කථිකාචාර්යයෙකු" ලෙස සිටි බව ට පතල තැනැත්තෙකි.) යන මේ කවුරුන්ගෙන් ඇසුවත් ලැබෙනු ඇති පිලිතුරට වඩා මුලුමනින්ම වෙනස් එකකි.

2000 ජනාධිපතිවරනය සොරාගැනීම විශ්ලේෂනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරීක්ෂනය කලේ ඒ වනවිටත් ඇමරිකානු පාලක පන්තිය ද එහි දේශපාලන සංස්ථාපිතය ද තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කීරිම සඳහා අර්ථධාරි සහය පදනමක් නොපැවතුනු බව ය. අධිපතිවාදී පාලන ක‍්‍රමයක් කරා වේගවත් මාරුවක් සිදුවන බව පෙරදුටු ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2001, සැප්තැම්බර් 11 ප‍්‍රහාරයන්ගෙන් පසුව තමන් කල අනතුරු හැඟවීම් යලිත් ප‍්‍රකාශ කලේ ය.

දැන් යලිත් නව අනතුරු ඇඟවීමක් කලයුතුව ඇත, ඊනියා ත‍්‍රස්ත විරෝධී යුද්ධය දියත් කොට දශකයකට වඩා ගත වී ඇත. මෙම කාලපරිච්චේදය තුල ඇමරිකන් ප‍්‍රජාතන්ත‍්‍රය දිරාපත් වීම තව තවත් උග‍්‍රවී තිබේ. විශේෂයෙන් ඔබාමා පාලනය යටතේ එය වඩාත් තියුනු වී ඇත. ක්ෂිතිජය තුල මතුවී එන්නේ ඇමරිකානු පොලිස් රාජ්‍යයකි.

ඒකාධිපතිත්වය කරා මෙම ධාවනය වලකාලීමට සමත් එකම බලවේගය වනාහි කම්කරු පන්තියයි. එනම් පවුරු වාසල් තුල රැකී සිටින නිල දේශපාලන ප‍්‍රජාවගෙන් හැම අතින්ම වෙන්ව පිටත එලියේ සිටින සියයට අසූවක් අනූවක් ජනයා ය. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ ගැඹුරු කැපවීමක් පවතින්නේ ඔවුන් අතර ය. එහෙත් මෙම කැපවීම සාර්ථක කර ගැනීම සඳහා, කම්කරු පන්තිය තමන්ගේ ම සංවිධාන, ක‍්‍රියාමාර්ගය සහ නායකත්වය ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයන් ද එහි "වාම” ක්ෂමාලාපකයින් ගේ කුනුවෙන වාතාවරනයෙන් ද ස්වාධීන ව තහවුරු කර ගත යුතුය. බැංකු සහ සංගත ඇතුලු මූල්‍ය වංශාධිපතිත්වයේ දේපල අල්ලා ගැනීම සඳහා, කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය, සහ අධිරාජ්‍යවාදී යුද්ධ අවසන්කර දැමීම සඳහා එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය කම්කරු පන්තිය විසින් සියතට ගත යුතුව ඇත.

පාලක පන්තිය රාජ්‍යයේ මර්දක යන්ත‍්‍රය තකහනියේ ශක්තිමත් කරමින් සිටී. කම්කරු පන්තිය කල් නොයවා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පක්ෂ ගොඩ නැගිය යුතු ය.

ටොම් කාටර්

Share this article: