කොටස් විකුනා දැමීම නව අර්බුදයක සලකුනකි

Share selloff points to new crisis

2013 ජූනි 25

වෝල් වීදිය 24 දිනයේ ද සියයට එකකින් පහත වැටීම හා ආසියානු වෙලඳපොලවල මූලික පසුබෑම් දක්නට ලැබුනු ගෝලීය මූල්‍ය වෙලඳපොලවල අලුත්වූ කලබැගෑනිය සලකුනු කරන කාරනය නම්, 2008 උනුවී යාමෙන් හටගත් කිසිදු ගැටලුවක් ජයගෙන නොමැති බවයි. ඊට විපරීතව නවතම පිනුම් ගැසීම, අලුත් අර්බුදයක් ලඟාවෙමින් ඇති බවට නොවරදින සලකුනකි. එය දිගහැරෙන්නේ, පසුගිය වසර පහ තුල මහ බැංකු විසින් අනුගමනය කරන ලද එම පිලිවෙත් වලින් ම ය.

කොටස් විකිනීමේ ආරම්භක ගිනිපුලිඟුව බවට පත් වූයේ, එක්සත් ජනපදයේ ආර්ථික තත්වයෙහි දියුනුවක් ඇතිවුවහොත්, සිය "ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ප‍්‍රතිපත්තිය යටතේ සිදුකරන බැඳුම්කරයන් මිලට ගැනීම, ඉවත් කරනු ඇති බවට ෆෙඩරල් මහ බැංකුවේ සභාපති බෙන් බර්නාන්කේ විසින් කල ප‍්‍රකාශයයි. ඊට පලවූ වෙලඳපොලවල කුලප්පු සහගත ප‍්‍රතිචාරය, මූල්‍ය බලධාරීන් විසින් මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කිරීම නිසා චීනය තුල නය මිරිකීමක් පිලිබඳව ඇතිවූ භීතිය නිසා, උග‍්‍ර විය.

QE3 යන ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ තුන්වන වටය නිවේදනය කලේ පසුගිය සැප්තැම්බරයේදීය. ඒ අනුව මහ බැංකුව මාසයකට ඩොලර් බිලියන 85ක වටිනාමකින් යුත් භාන්ඩාගාර බිල්පත් හා උකස්කරයන්ගේ පිටුබලය සහිත සුරැකුම් මිලට ගෙන තිබෙන අතර, බැංකුවේ ශේෂ පත‍්‍රය වසරකට ටි‍්‍රලියනයක අනුපාතයකින් ප‍්‍රසාරනය විය.

පසුගිය 19 දා පැවති මාධ්‍ය හමුවේදී බර්නාන්කේ මූල්‍ය වෙලඳපොලවලට යලි යලිත් සහතික වූයේ, බැංකුව වේග පැඩලය මත සිය කකුල මඳක් බුරුල් කිරීමක් මිස මූල්‍ය පිලිවෙත දැඩි කිරීමක් නොකරන බවටය. ආර්ථිකයේ තත්වය නරක අතට හැරුනොත්, මූල්‍ය ප‍්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කිරීම පවා සිදුකරන බව ඔහු පැවසීය.

එහෙත් මහ බැංකුව විසින් නොකඩවා එන්නත් කල අතිශයින්ම ලාභ ද්‍රවශීලතාව මත මූල්‍ය ප‍්‍රාග්ධනය කෙතරම් දුරට යැපුනේ ද යත්, අනාගත අරමුදල් ප‍්‍රවාහයේ කැපීමක් පිලිබඳ සුලු හෝ ඇඟවීමක් වෙලඳපොලවල් තුල ක්ෂනික අඩස්සියක් ඇති කලේය. බැඳුම්කර ප‍්‍රතිලාභ හෙවත් පොලී අනුපාත ඉහල ගොස් බැඳුම්කර මිල පහත වැටුනි. වෝල් වීදියේ ඩව් ජෝන්ස් දර්ශකය පහත වැටුනි. බර්නාන්කේගේ මාධ්‍ය හමුවෙන් ක්ෂනික ඉක්බිත්තෙහි ඒකක 200ක් අහිමි විය. පසු දිනයේදී ඒකක 350ක් සේදී ගිය අතර ඊට පසු දිනයේ යාන්තමින් හරිබරි ගැසුනි.

විකිනීම ලෝකය පුරා ප‍්‍රධාන බලපෑමක් ඇති කලේය. විශේෂයෙන්ම ඩොලරයට සාපේක්ෂව මුදලේ අගය ඉහල නගිමින් පැවති ඊනියා නැගී එන වෙලඳපොලවල් සැලකිය යුතු අලාභ අත්විඳීය. පසුගිය සතියේදී තුර්කි ලීරාව හා ඉන්දියානු රුපියල වාර්තාගත පහත ඉමකට ඇද වැටුනි.

ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එක්සත් ජනපදයෙන් පිටතට ගලන මුදල් ප‍්‍රවාහය මත ඕනෑවට වඩා රඳා පවතින මෙම බොහෝ රටවල නය අරමුදල් වලින් විශාල ලෙස මුදල් ඉවත්කර ගැනීමක්, අරමුදල් කලමනාකරුවන් විසින් වාර්තා කරන්නට යෙදුනි. එසේම මුදල් ප‍්‍රවාහය ආපසු හැරීමකින් බරපතල ආර්ථික ගැටලු ඇති කිරීමේ හැකියාව ගැන අදහස් පල විය. ප‍්‍රාග්ධන ගිනුමේ හිඟයන්ට මුහුනපා සිටීම නිසා තුර්කිය හා ඉන්දියාව යන දෙරටම මෙහි ගොදුරු බවට පත් වීමේ හැකියාව පෙන්නුම් කලේය.

එහෙත් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුනපා ඇති මෙම කලාපයන්, ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ හදවතෙහිම පවත්නා ගැඹුරුවන අර්බුදයෙහි කැපී පෙනෙන පිලිබිඹුව පමනි.

ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා ගිය 2008 වසෙර් පටන් ලෝකය පුරා මහ බැංකු එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ මූලිකත්වය යටතේ, ගනන් බලා ඇති පරිදි අවම වශයෙන් ඩොලර් ටි‍්‍රලියන 10ක් මූල්‍ය වෙලඳපොලවලට නිකුත්කොට තිබේ. ආධාර කිරීම් ආරම්භයේදී ඇපදීමේ රූපාකාරය ගත්තේය. දැන් අරමුදල් සැපෙයන්නේ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් රූපයෙනි. ඒ යටතේ මහ බැංකු විසින් බැඳුම්කර මිලට ගැනීම හරහා බැංකු හා මූල්‍ය ආයතනවලට ඉතා අඩු පොලියට බිලියන සිය ගනන් අරමුදල් සම්පාදනය කෙරේ.

මෙම පිලිවෙත නිල වශයෙන් යුක්තිසහගත කෙරෙන්නේ බැඳුම්කර මිලට ගනිමින් වැඩිම ආරක්ෂා සහිත මූල්‍ය වත්කම්වල ප‍්‍රතිලාභ පහත හෙලීම මගින් අවසානයේදී ආයෝජකයින් දැඩි අවදානම් දැරීම කරා මෙහෙයවනු ඇති බව කියමිනි. එයට සමස්ත ආර්ථිකය තුලට මුදල් යෙදවීම ද ඇතුලත්ය.

එහෙත් එසේ සිදුව ඇත්තේ නැත. ඒ වෙනුවට ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්, පෙර නොවූ විරූ සමපේක්ෂන ක‍්‍රියාවලියක් පනගන්වා ඇත. එය තුඩුදෙන්නේ කොටස් වෙලඳපොලවල් තියුනු ලෙස ඉහල නගිද්දී සමස්ත ආර්ථිකය එක්කෝ ඉතා මන්දගාමී වර්ධනයක් නැත්නම් එකතැන පල්වෙන හෝ හැකිලෙන තත්වයකට ඇද දැමීමටය.

අලුත්ම විකුනාදැමීම් වලට පෙර පවා නව අදියරක මූල්‍ය කැලඹීමක් ආරම්භවී තිබුනු බව පැහැදිලිය. බර්නාන්කේගේ මැයි 22 දා ප‍්‍රකාශයන් හමුවේ වර්ධනය වන අස්ථාවරත්වයක සලකුනු දක්නට ලැබුනි. ෆෙඩරල් මහ බැංකුව ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමට සීමාවන් පැනවිය හැකි බව එහිදී සඳහන් කිරීමත් සමග බැඳුම්කර මිල ගනන් පහත වැටීම හා එහි ප‍්‍රතිපල වශයෙන් පොලී අනුපාතික ඉහල යාම පිලිබඳ භීතියක් පැතිර ගියේය.

මේ මාසය මුල බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීන් කන්ඩායමක් අමතමින් එංගලන්ත මහ බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය පිලිබඳ අධ්‍යක්ෂ ඇන්ඩි හැල්ඬේන්, නව අර්බුදයක ශක්‍යතාව පෙන්වා දුන්නේය. "අපි පැහැදිලි කර ගනිමු. අප හිතාමතාම ආන්ඩුවක ඉතිහාසයේ විශාලතම බැදුම්කර බුබුල පුපුරවා හැර ඇත්තෙමු.” මූල්‍ය පද්ධතියට විශාලම අවදානම වන්නේ "අක‍්‍රමික පසුබෑම” ය. එනම්, බැඳුම්කර වෙලඳපොලේ වේගවත් වැටීමයි.

වත්මන් ධනපති ආර්ථික පර්යායේ ආන්තික බංකොලොත්කම මීටත් වඩා පැහැදිලි ලෙස පිලිගන්නා අවස්ථාවක් තවත් තිබිය නොහැකිය.

ලෝකය පුරා පාලක පන්තීන් වෙනුවෙන් ආන්ඩු හා මූල්‍ය බලධාරීන් විසින් බලගැන්වූ එම පිලිවෙත්ම, 2008 උනුවී යාමෙන් දැනටමත් ඇතිව තිබෙන සමාජ හා ආර්ථික විනාශය මතට තවත් ආර්ථික ව්‍යසනයක් පැටවෙන කොන්දේසි නිර්මානය කර තිබේ.

කැලඹීම්වල නව වටය මතුව ඇති රූපය ඇඟවුම් කරන්නේ, ධනේශ්වර ලාභ පද්ධතියේ හදවතෙහිම ඇති රෝගය තුල නව අර්බුදය ද උපත ලබා ඇති බවයි.

බර්නාන්කේ ප‍්‍රකාශ කල පරිදි QE3 වැඩසටහන අවලංගු කෙරෙන්නේ, සමස්ත ආර්ථිකයේ ප‍්‍රකෘතියක් ඇතිවන්නේ නම් පමනකි. එහෙත් මෙම අදහස කෙරෙහි වෙලඳපොලවල් දැක්වූ ප‍්‍රතිචාරය ඇඟවුම් කරන්නේ, එසේ අවලංගු කිරීම සැබවින්ම ක‍්‍රියාවට නැගුවහොත්, පූර්න පරිමානයේ බිඳවැටීමක් සිදුවනු ඇති බවය. වෙනත් වචන වලින් කිවහොත්, කලෙකදී "සාමාන්‍ය” තත්වය ලෙස සලකන ලද කොන්දේසි යටතේ මූල්‍ය වෙලඳපොලවලට තවදුරටත් පැවතිය නොහැකිවන බවයි.

මෙය වනාහි, ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලම ගැඹුරු බිඳ විසිරීමක ප‍්‍රකාශනයයි. ඊනියා "සාමාන්‍ය” තත්වය තුල, නිෂ්පාදන මාධ්‍යයන් හි මුදල් ආයෝජනය කරමින් ලාභයක් නිර්මානය කරන පරිදි විකිනීම සඳහා භාන්ඩ නිපදවීමට ශ‍්‍රමය කුලියට ගනු ලබයි. අවම වශයෙන් මෙම ලාභයෙන් කොටසක්වත් ඉන්පසුව තව තවත් ආයෝජන සඳහා යොදාගනු ලබයි. ඒමගින් තව තවත් නිෂ්පාදනය හා ආර්ථික වර්ධනය ඇති කරයි.

කෙසේ වෙතත් මෙම ක‍්‍රියාවලිය බිඳවැටී ඇත. ලාභ සමුච්ඡයකරනය සිදුවන නමුත් ඒ, සමස්තයක් ලෙස ආර්ථිකයේ ප‍්‍රසාරනය වීමේ ප‍්‍රතිපල වශයෙන් නොවේ. ඊට විපරිත ලෙස එය සිදුවන්නේ, එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේදී මෙන්, පිරිවැය හා වැටුප් කැපීමෙනි. නොඑසේ නම්, තරගකරුවන් වෙලඳපොලෙන් පලවා හරින නව තාක්ෂනය වර්ධනය කිරීමෙනි.

ආර්ථික පල්වීමේ හා හැකිලෙන වෙලඳපොලවල අර්ථය නම්, ලාභ ප‍්‍රතිආයෝජනයට නොයෙදවන බවත්, එක්සත් ජනපද ආර්ථිකය තුල පමනක් ඩොලර් ටි‍්‍රලියන දෙකකටත් වැඩි යයි ගනන් බලා තිබෙන, ව්‍යාපාරයන්හි ගිනුම් පොත්වල දැවැන්ත ශේෂයන් ලෙස ගොඩගැසෙන මුදල්, මුල්‍ය වෙලඳපොලවල සමපේක්ෂන මෙහෙයුම් සඳහා යොදාගැනෙන බවයි.

ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් කපාහැරීමේ හැකියාව කෙරෙහි පලවූ ප‍්‍රචන්ඩ ප‍්‍රතික‍්‍රියාව පෙන්නුම් කරන්නේ, ධනපති ආර්ථිකය ආර්ථික පරපුටුකමේ මෙම ආකෘතිය මත කෙතරම් දුරකට රැඳී පවත්නේ ද යන්නයි.

ගෝලීය ධනපති ආර්ථිකයේ ඊ ලඟ වටයේ බිඳවැටීම කුමන රූපය ගනු ඇත් ද යන්න සත්තකින්ම කල්තබා කිව නොහැකිය. එහෙත් වෙලඳපොල පිනුම් ගැසීමේ කුරිරු තර්කය බෙහෙවින් ඇස් අරවන සුලුය.

කලකදී ආර්ථික තත්වයේ "සාමාන්‍යය” ලෙස සලකන ලද තත්වය කරා සුලුවශයෙන් හෝ ආපසු යාමක් පිලිබඳ අදහසම කෙරෙහි පලවූ තැතිගත් ප‍්‍රතිචාරය, කම්කරු පන්තිය හා මහජනතාව තවදුරටත් දුප්පත්කමට ඇද වැටීම මත මූල්‍ය වෙලඳපොලවල සෞඛ්‍ය තත්වය රඳාපවතින්නේය යන කාරනය ඉස්මතු කෙරේ.

වැඩකරන ජනතාව මේ තත්වය සැලකිල්ලට ගනිමින් ඊට අනුකූලව ක‍්‍රියාකල යුතුය. තමන්ට එරෙහි වඩ වඩාත් ගැඹුරු කෙරෙන ප‍්‍රහාර කෙරෙහි ඔවුන්ගේ ප‍්‍රතිචාරය ලෙස, ලෝක ආර්ථිකය සමාජවාදී පදනම් මත ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය වන තමන්ගේ අතට බලය අල්ලා ගන්නා දේශපාලන අරගලයක් වර්ධනය කල යුතුය.

නික් බීම්ස්

Share this article: