ශ්‍රී ලංකා ආන්ඩුව දඹුල්ලේ දුගී පවුල් නෙරපා හරියි

Sri Lankan government evicts poor families in Dambulla

විලානි පීරිස් විසිනි, 2013 ජූනි 25

නාගරික සංවර්ධන අධිකාරිය (නාසංඅ) මධ්‍යම පලතේ දඹුල්ල නගරයේ පිහිටි පන්සල වටා ප්‍රදේශයෙන් දුගී පවුල් ඉවත් කිරීමට පටන්ගෙන ඇත. නාසංඅ පවසන්නේ මෙම භූමි භාගයන් රංඟිරි දඹුලු පන්සලේ "පූජා භූමියට” අයත් බවය. යථාර්තය නම්, දඹුල්ලේ සිදුවන මෙම නෙරපා හැරීම්, ජාත්‍යන්තර මූල්ය අරමුදලේ ඉල්ලීම් වලට සරිලන පරිදි මෙරටට ආයෝජකයින් ගෙන්වා ගැනීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලෙහි කොටසක් වන බවයි.

ජීවත් විම පිනිස විකල්ප ස්ථාන සොයාගැනීම සඳහා රුපියල් ලක්ෂයක (එජඩො 780) සොච්චම් මුදලක් ගෙන නිවාස වලින් ඉවත් වීමට එකඟවූ පවුල් 22කගේ නිවාස නාසංඅ විසින් ජුනි 19දා කඩා දමන ලදී. එසේම අධිකාරිය 27දාට පෙර ඉවත් වන ලෙස තවත් පවුල් 44ක් වෙත දැනුම්දී ඇත. සමහරෙක් නිවාස වලින් ඉවත් වීමට හිලව් වශයෙන් සොච්චම් වන්දියක් ලබාගැනීමට එකඟ වුවත් අනෙක් අය සිය නිවාස රැකගැනීමේ අරගලයක යෙදී සිටිති.

පසුගිය සතියේ නාසංඅ අත්හැර දැමූ වෙල් යායක ඉදිකර තිබෙන තවත් කුඩා නිවාස 20ක නිවැසියන්ට, "පූජා භූමියට” අයත් ප්‍රදේශයක පදිංචිව සිටින බව පවසා ඉවත් වන ලෙස දැනුම්දී තිබේ. පාදෙනිය සිට නිස්සංක හන්දිය දක්වා පන්සලට ආසන්න ප්‍රදේශයේ ජීවත් වන තවත් පවුල් ද නෙරපා හැරීමට මුහුනපා සිටින අතර මෙය සලකුනු කරන්නේ ආන්ඩුව පවුල් සිය ගනනක් අතරමං කිරීමට සූදානම් වන බවයි.

ජනාධිපති මහින්ද රාපක්ෂගේ ආන්ඩුව ආයෝජන හා සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ සැලසුමෙහි කොටසක් ලෙස රට පුරා නගරවල ජනතාව ඉවත් කිරීමේ යෙදී සිටියි. මෙය ආරම්භ වූයේ කොලඹ නගරයෙනි. එහි ඉලක්කය පවුල් 70,000ක් ඉවත් කිරීමයි. පදිංචිකරුවන්ගේ විරෝධය මැඬීම පිනිස රාජපක්ෂ, සිවිල් ආයතන දෙකක් වන නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් ප්‍රතිසංස්කරන හා සංවර්ධන මන්ඩලය සිය සොහොයුරෙකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතට, එනම් මිලිටරිය යටතට පවරන ලදී.

දඹුල්ල නගරයේදී මෙසේ නෙරපා හැරීමට ලක්ව සිටින අය අතර කුඩා වෙලඳසැල් හිමියන්, නගරය ශුද්ධ පවිත්‍ර කරන්නන් හා අනියම් කම්කරුවන් ද වෙති. නිවැසියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ආන්ඩුව ප්‍රදේශය තුල සංචාරක හෝටල් ඉදිකිරීමට සැලසුම්කර ඇති බවයි.

පදිංචිකරුවන්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමටත් ඔවුන් ගැන ඔත්තු බැලීමටත් ආන්ඩුව සිවිල් ඇඳුමින් සැරසුනු සීඅයිඩීයේ පොලිස් නිලධාරීන් යොදවා ඇත. නිවාස කඩා දැමීමට යොදවන නාසංඅ සේවකයින් ආරක්ෂා කිරීමට ද පොලිසිය යොදවනු ලැබේ.

මෙම හිරිහැර වලට මුහුන දෙන සමහර පවුල් සිය බඩු බාහිරාදිය අකුලාගෙන ඉවත් වීමට සූදානම්ව සිටිය ද ඔවුන්ට විකල්ප වාසස්ථාන සොයාගත නොහැකිව ඇත. එක් කාන්තාවක් පැවසුවේ, "මම මව ද සමග නිවහනක් සොයාගැනීම පිනිස ප්‍රදේශය පුරා ඇවිද්දෙමි. එහෙත් අපට නිවසක් සොයාගත නොහැකි විය. නිවසක් සොයාගත්ත ද ඒවායේ කුලිය අපට ඔරොත්තු නොදේ.” යනුවෙනි.

තමන්ට වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ බැවින් නාසංඅ වන්දි මුදල ලබාගත් බව වයස්ගත කාන්තාවක් පැවසුවාය. "ඊට එකඟ නොවන්නේ නම් මට කිසිවක් නොලැබෙන බව ඔවුන් කියා සිටියා. දරුවන්ගේ පවුල්වල අය ද සමඟ පවුලේ සාමාජිකයින් 17 එකම නිවසේ මා සමඟ පදිංචිව සිටිනවා. දැන් අපි වැටී සිටින්නේ මහ මඟටයි.” ඇය තවදුරටත් කියා සිටියාය.

වැඩෙපාල අවසන් කර නිවස අසල රැස්වූ ගැහැනු කම්කරුවන්

දිවයිනේ ඉපැරනි බෞද්ධ මධ්‍යස්ථානවල පිහිටි ඊනියා පූජනීය නගර පලමුවෙන්ම ප්‍රකාශයට පත්කරනු ලැබුවේ දඹුල්ල, අනුරාධපුරය, පොලොන්නරුව හා මහනුවරය. ඒ 1982දී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ අගමැති ආර්. පේ‍්‍රමදාස විසිනි. එම තීන්දුව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව 1983 ආරම්භ කල යුද්ධයට පෙරාතුව අවුලුවන ලද දෙමල හා අනෙකුත් සුලු ජාතීන්ට විරුද්ධ වර්ගවාදී ප්‍රකෝපකරනයන් මාලාවකින් එකක් විය.

දඹුල්ල පන්සල් භූමියෙන් දුප්පත් පවුල් ඉවත් කිරීම මහා දඹුලු සංවර්ධන සැලැස්මට ඇතුලත් "විශාල ව්‍යාපෘතියකින්” කොටසකි. එයට වර්ග කිලෝ මීටර් 1063ක භූමි භාගයක් අයත් වෙයි. එම ප්‍රදේශය ආයෝජකයින් සඳහා "වානිජ්‍ය මධ්‍යස්ථානයක්” ලෙස සලකුනු කොට තිබේ. දැන් සිදුවෙමින් තිබෙන නෙරපා හැරීම් පෙන්නුම් කරන ආකාරයට, බිම් කොටසක් හෝ නිවසක් සැපයීමේ කිසිදු විකල්ප සැලැස්මකින් තොරව දුප්පත් පවුල් ඉවත් කෙරෙනු ඇත.

නාසංඅ අනුව, 2009 වසරේ ආරම්භවූ මෙම ව්‍යාපෘතිය 2020දී සම්පූර්න කිරීමට නියමිතය. මෙහිදී ආපදාවට ලක්වන්නේ පන්සල අවට පදිංචි දුගී පවුල් පමනක් නොව සමස්ත ප්‍රදේශයේම ජනතාවයි.

ඕනෑම විරෝධයක් බෙදා දැමීමේ මාධ්‍යයක් ලෙස දඹුල්ලේ භික්ෂූන් වාර්ගික හා ආගමික ප්‍රකෝපකරනයන් අවුස්සති. 2012 අපේ‍්‍රල් මාසයේදී රංඟිරි දඹුල්ල පන්සලේ ප්‍රධාන හිමිනම වන ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමි, මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙන ගියේය. ඔවුන් ඉල්ලා සිටියේ ඊනියා පූජා භූමියේ පිහිටි මස්ජිදුල් කයිරා පල්ලිය බිඳ දමන ලෙසයි.

ආන්ඩුව හා ස්වෝත්තමවාදී කන්ඬායම්වල වාර්ගික බෙදීම් උසිගැන්වීමේ උත්සාහය නොතකා සිංහල, දෙමල හා මුස්ලිම් නිවැසියෝ තම නිවාස අයිතිය වෙනුවෙන් ඒකාබද්ධව සටන් වැදුනෝය. මැයි 19දා 300කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් වාර්ගික හා ආගමික රේඛා ඉක්මවා ගිය ඒකාබද්ධ උද්ඝෝෂනයක් පැවැත්වින.

දෙමල තරුනයෙක් ලෝසවෙඅට මෙසේ පැවසීය. "පන්සල සිංහල බෞද්ධ වර්ගවාදය ප්‍රචාරය කිරීම හමුවේ දෙමල අයට අලුත් නවාතැනක් සොයාගැනීම වඩාත් දුෂ්කරවී තිබෙනවා.” ආන්ඩුව වර්ගවාදී උද්ඝෝෂනයන්ට සහාය දෙන බව ද ඔහු පැවසීය.

සිංහල තරුනයෙක් පැවසුවේ මෙසේය. "අපි අපගේ නම් හෙලිකිරීමට බියෙන් සිටින්නෙමු. මෙහදී වුනත් සුදු වෑන් වලින් මිනිස්සු උස්සන්ට පුලුවන්, සීඅයිඩීය අප වටේටම සිටිනවා. අපි මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට විරුද්ධයි. තමන් විශ්වාස කරන ආගම ඇදහීමට සෑම අයෙකුටම අයිතිය තිබිය යුතුයි. එසේම අපි ප්‍රදේශයෙන් දෙමල මිනිසුන් ඉවත් කිරීමටත් විරුද්ධයි.”

තවත් නිවැසියෙක් අප වාර්තාකරුවන්ට පැවසුවේ එජාප හා ජවිපෙ වැනි ප්‍රධාන විරුද්ධ පක්ෂ නිවැසියන් නෙරපීමට විරුද්ධ නොවන බවය. “අපි මැතිවරන වලදී රාජපක්ෂ ආන්ඩුවට සහාය දුන්නෙමු. එහෙත් ආන්ඩුව අපට විරුද්ධයි. දැන් අපට මේ කිසිම දේශපාලන පක්ෂයක අනුකම්පාවක් නෑ.”

විරුද්ධ පක්ෂ වලට ඇත්තේ ද ආන්ඩුවේ ආර්ථික වැඩපිලිවෙලට සමාන පිලිවෙත්ය. ඔවුහු ද සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට පිටුබලය දෙති.

සමාජවාදී සමානතා පක්ෂය "දඹුල්ල නිවැසියන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කරනු!” යන හිසින් යුත් පත්‍රිකා ප්‍රදේශය පුරා බෙදාහරින ලදී. නිවැසියන් බියවැද්දීමේ උත්සාහයක නිරත වෙමින් සීඅයිඩීය දෙවතාවක්ම පත්‍රිකා උදුරාගත් නමුත් ජනතාව සසප කන්ඬායම් සමඟ දිගටම සාකච්ඡා පවත්වති.

සසප සාමාජිකයා නිවාස කඩාදැමීමට ඉලක්කවූ නිවැසියන් සමග සාකච්ඡා කරයි

නිවැසියන්ට, වැටුප් හා ජීවන තත්වයන්ට, මහජන සේවාවන්ට හා සමස්තයක් ලෙස වැඩකරන ජනතාවගේ මූලික අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර පිටුපස ඇති ආර්ථික අර්බුදය පිලිබඳව සසප සාමාජිකයෝ ප්‍රදේශවාසීන්ට පැහැදිලි කලහ. විකල්ප සමාජවාදී වැඩපිලිවෙලක් සහිතව ලාභ පද්ධතියට අභියෝග කිරීමෙන් තොරව වැඩකරන ජනතාවට සිය ප්රශ්න විසඳාගත නොහැකිය.

සසප සාමාජිකයින් පැහැදිලි කල පරිදි මෙය ජාත්‍යන්තර අරගලයකි. දියුනු කාර්මික රටවල ද ඇතුලු ලෝකය පුරා ආන්ඩු , නිදහස් අධ්‍යාපනය, නිවාස හා සෞඛ්‍ය සේවාවන් ද ඇතුලු වැඩකරන ජනතාව කලින් දිනාගෙන තිබෙන සියලු සහනයන්ට පහර දෙමින් සිටිති.

දඹුල්ල නිවැසියන්ට පාලක පන්තියේ කිසිදු පක්ෂයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකිය. ඔවුන් සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත සමස්ත කම්කරු පන්තිය වෙතම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ක්‍රියාකාරී කමිටු ගොඩනැඟිය යුතුය. ධනවත් අතලොස්සක් විසින් පාලනය කරන ධනේශ්වර ක්රමය පෙරලා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් තොරව වැඩකරන ජනතාවට නිවාස අයිතිය වැනි සිය මූලිකම අයිතීන් පවා ආරක්ෂාකරගත නොහේ.

සසප සෑම තැනකම කම්කරුවන්, තරුනයින් හා ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටින්නේ, නෙරපා හැරීමට මුහුනපා සිටින අය ආරක්ෂා කරන ලෙසය. සිය රාජකාරි ස්ථානයන්හිදී ආන්ඩුවේ ක්‍රියාවන්ට විරුද්ධව යෝජනා සම්මත කරමින් දඹුල්ල නිවැසියන්ට යහපත් හා දැරිය හැකි මට්ටමේ නිවාස ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙසත් සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

Share this article: