චර පුරුෂ සේවය, බියවැද්දීම හා තෙල් - නැගෙනහිර ටිමෝරය තුල ඕස්ට්‍රේලියානු නව විජිතවාදය

Espionage, blackmail and oil—Australian neo-colonialism in East Timor

වික්ටෝරියා සසප සෙනට් සභික ධුරාපේක්ෂක පැට්රික් ඕකොනර් විසිනි , 2013 ජුනි 3

තෙල් හා ගෑස් සම්පත්වලින් පොහොසත් ටිමෝර මුහුද බෙදාගැනීම සඳහා පැවති සාකච්ඡාවල දී ඕස්ට්‍රේලියානු ආන්ඩුව නිරතව ඇති නීති-විරෝධී චර පුරුෂ මෙහෙයුම් පිලිබඳ නව හෙලිදරවු වීම් නැගෙනහිර ටිමෝරය සමග කැන්බරාවේ සබඳතාවල නව විජිතවාදී ස්වභාවය එලි මහනට ගෙනැවිත් තිබේ.

ඕස්ට්‍රේලියානු සංගත සඳහා ටිමෝර මුහුදේ බලශක්ති සම්පත් සම්භාරය සුරක්ෂිත කරගැනීමට සෑම ලේබර් හා ලිබරල් ආන්ඩුවක්ම පිලිකුල් සහගත උපාමාරුවල යෙදී තිබේ. 1972 දී කැන්බරා ආන්ඩුව ඉන්දුනීසියාව සමග අතිශය වාසිදායී නාවුක සීමා එකඟතාවකට එලැඹි අතර එය පාර්ශවීය වසයෙන් පිලිබිඹු කලේ, 1965-66 මිලිටරි කුමන්ත්‍රනයේ දී කම්කරුවන් ගොවියන් 500,000ක් පමන සමූලඝාතනය කිරීම කෙරෙහි ඕස්ට්‍රේලියාවෙන් ලැබුනු සහයෝගය ගැන (ඉන්දුනීසියාවේ) මිලිටරි ජුන්ටාවේ කෘතඥතාව යි. 1975 දී එවකට පෘතුගාල යටත් විජිතයක් පැවති නැගෙනහිර ටිමෝරය ආක්‍රමනය කිරීම සඳහා ගෆ් විට්ලම්ගේ ලේබර් ආන්ඩුව, සුහර්තෝ තන්ත්‍රය උනන්දු කලේ ය. ටිමෝර භූමි ප්‍රදේශයේ තෙල් හා ගෑස් නීති-විරෝධී ලෙස බෙදමින් 1989 දී බොබ් හෝක්ගේ ඊලඟ ලේබර් ආන්ඩුව ජාකර්තාව සමග ටිමෝර කපොලු ගිවිසුම අවසානයකට ගෙන ආවේ, ඉන්දුනීසියානු මිලිටරිය විසින් නැගෙනහිර ටිමෝර වැසියන් දස දහස් ගනනක් මරා දමනු ලබද්දී ය. සුහර්තෝ තන්ත්‍රය ඇද වැටීමෙන් පසු, ඕස්ට්‍රේලියානු බලශක්ති අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම සඳහා ඊනියා නිදහසට පරිවර්තනය වීම අධීක්ෂනය කිරීමට ඉන් වසර දහයකට පසුව 1999 දී අගමැති ජෝන් හොවාඩ් නැගෙනහිර ටිමෝරයට එරෙහිව මිලිටරි ආක්‍රමනය දියත් කලේ ය.

හොවාඩ් ආන්ඩුව හා අගමැති මාරි අල්කාතිරි‍ගේ නැගෙනහිර ටිමෝර පරිපාලනය අතර පසුව පැවති සාකච්ඡා, නො සැඟවූ බලයපෑම් හා බියවැද්දීම් විසින් අරක් ගනු ලැබීය. කැන්බරාවේ ඉල්ලීම්වලට එකඟ නො වුනහොත් සියලු තෙල් හා ගෑස් ව්‍යාපෘති කඩාප්පල් කරමින් හා ඒ වනවිටත් දරිද්‍රතාවේ පැවති රාජ්‍යය බංකොලොත් කරමින් අල්කාතිරිට "දේශපාලනය පිලිබඳ උපදේශයක්” ලබාදෙන බවට විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ඩවුනර් යලි යලිත් ඔහුට කෑගැසීය. ජාත්‍යන්තර උසාවිය හා සාගර නීතිය පිලිබඳ ජාත්‍යන්තර අධිකරනය විසින් අනවා ඇති කිසිදු දේශසීමා නීතියකට තමන් බැඳී නො සිටින බව අධාරනය කරමින් -එම නීතිවලට අනුව ඕස්ට්‍රේලියාව හා ටිමෝරය අතර නාවුක මුහුදු සීමාව රටවල් දෙක අතර මධ්‍ය ලක්ෂ්‍යයේ සලකුනු කල යුතු වේ- හොවාඩ් ආන්ඩුව පූර්වයෙන් ම ජාත්‍යන්තර නීතිය කෙරෙහි සිය අවඥාව පලකලේ ය.

චර පුරුෂයන් භාවිතා කිරීම පිලිබඳව ද ඕස්ට්‍රේලියානු ආන්ඩුව චෝදනාවට ලක්විය. 2004 සැප්තැම්බරයේ කැන්බරා නුවර පැවති සාකච්ඡා අතරතුර දී, ටිමෝර නියෝජිතයන්ට ඔවුන්ගේ ජංගම දුරකථන භාවිතා කිරීම හා ඔවුන්ගේ හෝටල් කාමර තුල රැස්වීම් පැවැත්වීම නවත්වන ලෙස නියම කරමින් අල්කාතිරි චර පුරුෂ නිරීක්ෂනයෙන් මගහැරීමට උත්සාහ ගත්තේ ය.

සනානා ගුස්මාඕගේ වර්තමාන ආන්ඩුව, ටිමෝර මුහුද පිලිබඳ සීඑම්ඒටීඑස් ගිවිසුම නම් වත්මන් එකඟතාව අවලංගු කිරීමට ගන්නා උත්සාහයේ කොට‍සක් ලෙස, එම චර පුරුෂ මෙහෙයුම් පිලිබඳ වැඩිදුර විස්තර ඉස්මතු වී තිබේ. සාකච්ඡා අතරතුර ඕස්ට්‍රේලියාව කල ඔත්තු බැලීම් ලේඛනය අවලංගු කරනු ඇත යන පදනම මත, ගිවිසුම නෛතික බේරුම්කර‍නයකට යටත් කිරීමට ටිමෝර ආන්ඩුව උත්සාහ දරමින් සිටී.

අවම වසයෙන් වසර 50ක් හෙවත් සාගර පත්ලේ තෙල් හා ගෑස් නිධි අහවර වනතෙක්, නාවික දේශසීමාව සලකුනු නො කර සිටින්නැ’යි කැන්බරාව කරන ඉල්ලීමට ඩිලි ආන්ඩුව සීඑම්ඒටීඑස් ගිවිසුම යටතේ එකඟ වේ. ජාත්‍යන්තර නීතියට අනුව භුමියෙන් අවම වසයෙන් සියයට 80ක්වත් නැගෙනහිර ටිමෝරයට අයත් වුවත් ගිවිසුම යටතේ ද ග්‍රේටර් සන්රයිස් (The Greater Sunrise) සමාගමේ ආදායම් 50-50 ලෙස බෙදේ. එහි නාවික දේශසීමාව මත නැගෙනහිර ටිමෝරයේ ස්වෛරීභාවය පිලිගනු ලැබුවහොත්, එරටේ භූමිය තුල ගෑස් සැකසීමේ කර්මාන්තයක් ද වර්ධනය කිරීම සහතික කරගැනීමට එයට හැකි වේ. දැනට, වුඩ්සයිඩ් පෙට්රෝලියම් සංගතය විසින් පිටුබලය දෙන ඕස්ට්‍රේලියානු- ඇමරිකානු-ජපාන බද්ධ ව්‍යාපාරයක්, ටිමෝර මුහුදේ යාත්‍රාකිරීමේ අවකාශය ඉල්ලමින් සිටී. ටිමෝර මුහුදේ ගෑස් ව්‍යාපෘතියේ කිසිදු වර්ධනයක් ඇති වීම මෙම බෙදීම විසින් නවතාලනු ලැබ තිබෙන්නේ, ටිමෝර ආන්ඩුව ඉච්ඡා භංගත්වයට පත් කරමින් හා පෙනෙන පරිදි සීඑම්ඒටීඑස් ගිවිසුමට අභියෝග කිරීම ඉස්මතු කරමිනි.

නීතිඥයෙකු හා ඕස්ට්‍රේලියානු අගනුවර හිටපු නීතිපතියෙකු වන බර්නාඩ් කොලාරි ටිමෝර ආන්ඩුව විසින් කුලියට ගත් ජාත්‍යන්තර නීතිඥ කන්ඩායමක සාමාජිකයෙකි. සීඑම්ඒටීඑස් ගිවිසුම පිලිබඳව 2004 පැවති සාකච්ඡා අතරතුර ඕස්ට්‍රේලියානු ආන්ඩුව, ඩිලි නුවර (ටිමෝර) ආන්ඩුවේ කාර්යාලවල රහස් ශ්‍රව්‍ය උපකරන සවිකල බව ඔහු විස්තර කලේ ය. "එය වෝටර්ගේට් තත්ත්වයක්” යයි ඔහු ඕස්ට්‍රේලියන් පුවත්පතට කීවේ ය. “ඇතුලට කඩාවැදුනු ඔවුන්, කැබිනට් කාමරය හා එවකට අගමැති අල්කාතිරිගේ හා ඔහුගේ ආන්ඩුවේ කාර්යාලවල රහස් උපකරන සවිකලේ, ස්වෛරීභාවය මුලුමනින් ම උල්ලංඝනය කරමිනි. අපි කැබිනට් කාමරයක් ලෙස හඳුන්වන අමාත්‍ය සම්මේලන කාමරය තුල ඔවුන් රහස් ශ්‍රව්‍ය උපකරන සවිකලා.”

“එය ගිවිසුම් නීතිය පිලිබඳ වියානා සම්මුතිය ද රාජ්‍ය-තාන්ත්‍රික සබඳතා පිලිබඳ වියානා සම්මුතිය ද සිතාමතා කඩකරමින් කල්තබා ඉතා හොඳින් සැලසුම් කල දීර්ඝ මෙහෙයුමකි. මෙය ‍ස්වෛරී දේශයකට කඩාවැදුනු හා ඕස්ට්‍රේලියානු නීතිය නො තැකූ අපරාධකාරී කුමන්ත්‍රනයක්” යයි ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශ ඇමතිවරයා මෙම ඔත්තු බැලීම මෙහෙයැවූ බව කොලාරි පැවසීය. “මෙහෙයුම ගෙන ගිය ඕස්ට්‍රේලියානු රහස් ඔත්තු සේවය ඇත්ත වසයෙන් ම විදේශ ඇමති (ඇලෙක්සැන්ඩර්) ඩවුනර්ට නිසිකලට වාර්තා ඉදිරිපත් කලා.”

ලේබර් ආන්ඩුව මෙම කරුන අරබයා ඒකමතිකව සිටීම පුදුමයක් නොවීය. රහස් තොරතුරු පිලිබඳව අදහස් දැක්වීමෙන් ඇමතිවරුන් වලක්වන "සම්මුතියට” තමන් බැඳී සිටින බව අවධාරනය කරමින් විදේශ ඇමති බොබ් කාර් ඉහත චෝදනා ප්‍රතික්ෂේප කලේ ය. ආන්ඩුව සීඑම්ඒටීඑස් ගිවිසුම වලංගු ලෙස සලකන බව ඔහු තවදුරටත් කීවේ ය. ටි‍මෝරය තුල ලේබර් ආන්ඩුව‍ පෙනී සිටින්නේ වුඩ්සයිඩ් පෙට්රෝලියම් සංගතයේ විලි ලජ්ජා රහිත නියෝජිතයා ලෙසිනි.

නැගෙනහිර ටිමෝරය තුල ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයේ පිලිකුල් කටයුතු වාර්තාව, “මානවවාදී” මැදිහත්වීම්වල දේශපාලනය පිලිබඳ නිශ්චිත පාඩමක් සම්පාදනය කරයි.

1999 දී හොවාඩ් ආන්ඩුව, ස්වාධීනත්වය පිලිබඳ ජනමත විචාරනයකට පෙර හා පසුව ඉන්දුනීසියානු සෙබලුන් හා සටන්කාමීන් විසින් ඇති කරන ලද දේශසීමාවේ ප්‍රචන්ඩත්වය ගසාකෑවේ, එක්සත් ජනපද පිටුබලය ලබන ආක්‍රමනික හමුදාවක් යැවීමට කල්තබා සකස්කර තිබූ සූදානම පෙරදරි කරගෙනය. නැගෙනහිර ටිමෝරය තවදුරටත් ඉන්දුනීසියාවෙන් පාලනය කිරීම ශක්‍ය නො වන බව තීන්දු කිරීමෙන් පසු, පෘතුගාලය හා චීනය වැනි ප්‍රතිමල්ලව බලයන් පලවාහැර ටිමෝරයේ සම්පත් මත ආධිපත්‍යය පවත්වාගෙන යාමට කැන්බරාව ඊනියා නිදහස කරා පරිවර්තනය අධීක්ෂනය කලේ ය.

සීඑම්ඒටීඑස් ගිවිසුම පිලිබඳ සාකච්ඡා අතරතුර සිදු කරන ලද චර පුරුෂ මෙහෙයුම්, “නිදහස්” ටිමෝරය තුල සිය අවශ්‍යතා පෙරදැරි කරගත් ඕස්ට්‍රේලියානු ආන්ඩුව ක්‍රියාවේ යෙදවූ බොහෝ තුච්ඡ උපායන් හා ‍ප්‍රකෝප කිරීම්වලින් කිහිපයකි. අල්කාතිරිගේ ෆ්‍රෙටිලින් ආන්ඩුව බලයෙන් පහකල ප්‍රචන්ඩ පාලන තන්ත්‍ර-මාරු කිරීමේ මෙහෙයුමක් සමගින්, නව ඕස්ට්‍රේලියානු මිලිටරි ආක්‍රමනයකට කඩතුරාව ලෙස ටිමෝර සන්නද්ධ හමුදා බෙදාලීමට කැන්බරාව 2006 දී උදවු දුන්නේ ය.

"ජීවිත ආරක්ෂා කරමින්” ටිමෝර ජනතාවට "මානවවාදී” සහයෝගය ලබා දීමේ පදනම මත, මේ සියලු මෙහෙයුම් සාධාරනීකරනය කරනු ලැබී ය. ප්‍රධාන මාධ්‍ය ආයතන සංහාරයක් වැලැක්වීමේ එක ම ක්‍රමය ඕස්ට්‍රේලියානු මිලිටරි මෙහෙයුමක් යයි ඉදිරිපත්කල යෝධ ප්‍රචාරක උද්ඝෝෂනයක්, 1999 ආක්‍රමනය සමගින් අත්වැල් බැඳ ගත්තේ ය. එවකට විපක්ෂයේ සිටි ලේබර් පක්ෂය, හොවාඩ් ආන්ඩුව වටා ගැලතීගත් අතර, දකුනු පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියානු මිලිටරි ආක්‍රමනවල දීර්ඝ-කාලීන උද්යෝගීමත් පාර්ලිමේන්තු සහකරුවන් වන හරිතයන් ද එයට බද්ධ විය.

මධ්‍යම පන්තික ව්‍යාජ-වාම සංවිධාන, ඕස්ට්‍රේලියානු පාලක ප්‍රභූව වෙනුවන් තීරනාත්මක දේශපාලන භූමිකාවක් ඉටු කලහ. දැන් සමාජවාදී සංධානය සැදුම්ලත් කන්ඩායම් ආක්‍රමනයට පෙර රට වටා “භටයින්” රැඳවීම ඉල්ලා සිටීමේ විරෝධතාවල නිරත වූයේ, ක්‍රියාත්මක වන ලෙස හොවාඩ්ට බලකරමිනි. ඒ සමයේ ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් පුවත්පතේ කතුවැකිය, විදෙස් මිලිටරි මෙහෙයුම්වලට එරෙහි පශ්චාත් වියට්නාම් “තහංචියක්” යයි විස්තර කල දෙය අභිබවා යාමටත්, ඕස්ට්‍රේලියානු සන්නද්ධ හමුදා ප්‍රසාරනය කිරීම හා පසුකාලීන ඇෆ්ගනිස්තාන, ඉරාක හා සොලමන් දූපත් මෙහෙයුම්වලටත් මෙය උපකාරී විය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම අධිරාජ්‍ය ගැති සම්මුතියට එරෙහිව මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේ, 1999 දී හා 2006 දී ඕස්ට්‍රේලියානු මිලිටරි ආක්‍රමනයට විරුද්ධ වෙමිනි. ටිමෝර තෙල් හා ගෑස් සම්පත් කැන්බරාව විසින් නීති-විරෝධී ලෙස අත්පත් කරගැනීම යලි හෙලා දකින අපි, පීඩිත රට තුල නීති-විරෝධී කටයුතුවල නිරත වූ හොවාඩ්, ඩවුනර් හා අනෙකුත් අයට එරෙහිව චෝදනා ඉදිරිපත් කල යුතු යයි කියා සිටිමු. චීනයට එරෙහි එක්සත් ජනපදය නායකත්වය දෙන යුද මූලෝපායට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අප උද්ඝෝෂනයේ ඉලක්කය වන අතර ඒ සඳහා අධිරාජ්‍යවාදයට හා නව විජිතවාදයට එරෙහිව නැගෙනහිර ටිමෝරය හා අසල්වැසි දකුනු පැ‍සිෆික් රාජ්‍යයන් ද ඇතුලු කලාපීය කම්කරු පන්තියේ ඒකාබද්ධතාව අවශ්‍ය කෙර්. සියල්ලන්ට ඉහල ජීවන තත්ත්වයන් සුරක්ෂිත කරමින් කලාපයේ ස්වාභාවික සම්පත් සාමාන්‍ය ජනතාව‍ගේ අවශ්‍යතා සපුරාලීම පිනිස උපයෝගී කරගනු ලැබිය යුත්තේ ජාත්‍යන්තරව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක පදනම මත ය.

Share this article: