එක්සත් ජනපද - චීන ජනාධිපතිවරු කැලිෆෝර්නියාවේ දෙදින සාකච්ඡාවක

US-Chinese presidents hold two-day discussions in California

ජෝසෆ් සැන්ටොලන් විසිනි, 2013 ජූනි 8

දෙදින නිල නොවන සාකච්ඡාවල මුල් දිනය අරඹමින් එක්සත් ජනපද ජනාධිපති බරැක් ඔබාමා හා චීන ජනාධිපති ක්ෂි ජින්පිං ජූනි 8දා දකුනු කැලිෆෝර්නියාවේ දී හමුවූහ. එය ක්ෂි චීනයේ ජනාධිපති ලෙස පත් වූ මාර්තුවෙන් පසු නායකයන් දෙදෙනා අතර සිදු වූ ප්‍රථම හමුවීමයි.

මුලින් සැලසුම් කොට තිබුනේ ඔබාමා හා ක්ෂි අතර ප්‍රථම හමුව සැප්තැම්බරයේ දී සිදු කිරීමටය. එක්සත් ජනපදය හා චීනය අතර සීඝ්‍රයෙන් උත්සන්න වන ආතතියත්, චීන සයිබර් යුද්ධය පිලිබඳ චෝදනාවන් හා උතුරු කොරියාව සමඟ බෙයිජිං පාලනය පවත්වන සම්බන්ධතාවය ද පාවිච්චි කොට ක්ෂි මත පීඩනය යෙදවීමෙහිලා වොෂින්ටනයේ අභිප්‍රායත් නිසා ජූනි 7-8 සමුලුවට මඟ පාදා ඇත.

බීජිං සමඟ ගැටුමකට එලැඹීමේ මාවතේ තමන් යන ගමන ආපසු හැරිය නොහෙන ලක්ෂ්‍යයකට ආසන්න වෙමින් පවතිතැයි යන්න පිලිබඳව එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදක ආයතනයන්හි කොටස්වල අවධානය පැහැදිලිව ම යොමු වී තිබේ. එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටුවීමේ ගනුදෙනු, හමුදා අභ්‍යාස, බලය පෙන්වීම් සහ රාජ්‍ය තාන්ත්‍රික කූටෝපායයන් හරහා චීනයේ ගෙල වටා ලූ තොන්ඩුව කල් යල් බලා තද කිරීමේ - "ආසියාවට හැරීම" ලෙස හඳුන්වනු ලබන - ඔබාමා පරිපාලනයේ වැඩ පිලිවෙල විසින් සමස්ත ආසියා පැසිෆික් කලාපය ම කලාපීය ගැටුම්වලින් කැකෑරෙන කටාරමක් බවට හරවනු ලැබ ඇත.

පසුගිය 04 දා ආසියා සංසදයෙහි පෙනී සිටිමින් එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කීසින්ජර්, ඔබාමා - ක්ෂි සමුලුව පිලිබඳව කථා කලේ මෙසේය: "අප දැන් මුහුන දෙන තත්වය හමුවේ දෙරට හවුලේ විසඳා ගත යුතු පොදු ප්‍රශ්න රාශියක් පවතී. අප එසේ නොකලහොත්, මුලු මහත් ලෝකයම, සෑම අංශයකින් ම, එක් මොඩලයක් හෝ අනෙක හා එක් වීමට බල කෙරුනු මිනිසුන් අතරේ බෙදී යනු ඇත. එවැන්නක් සිදු වුවහොත් එය අප දෙරටට හා ලෝකයට මහත් ව්‍යසනයක් වනු ඇත.”

චීනය සමග වර්ධනය වන ආතතීන් ලිහිල් කිරීමට සූදානම් වීම වෙනුවට ඊට හාත්පසින්ම පටහැනි ලෙස, සමුලු සන්ධ්‍යාවේ ඔබාමා පැහැදිලිවම ප්‍රදර්ශනය කලේ එක්සත් ජනපදයේ ආර්ථික හා මූලෝපායාත්මක පීඩනය තමන් විසින් තවදුරටත් දිගටම පවත්වා ගෙන යනු ඇති බවයි. බීජිං පාලනය "(සියලු) ජාතීන් එකම නීති මාලාවක් යටතේ ක්‍රීඩා කරන ආර්ථික පර්යාය"කට එකඟ විය යුතුයැයි ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. මේ කේතගත භාෂාවෙන් අදහස් කෙරෙන්නේ, එක්සත් ජනපදය තම උත්සුකයන්ට සරිලන පරිදි සිදු කෙරෙන ව්‍යවහාර මුදලේ හැසිරවීම් චීන නායකත්වය පිලිගත යුතු බව හා එක්සත් ජනපද සමාගම්වලට චීන ආර්ථිකය තවදුරටත් විවෘත කොට දිය යුතු බවයි.

ක්ෂි සමග පැවැත්වෙන සාකච්ඡාවල න්‍යාය පත්‍රයේ ප්‍රථම විෂයාංකය වන්නේ එක්සත් ජනපද හමුදාවන්හි මෙන්ම ඇමරිකානු සමාගම්වල ද පරිගනකවලට ක්‍රමානුකූලව අනවසරයෙන් ප්‍රවිෂ්ට වී දත්ත ලබා ගත් බවට චීන ආන්ඩුවට හා මහජන විමුක්ති හමුදාවට (පීඑල්ඒ) එරෙහිව පෙන්ටගනය නඟන චෝදනාව බව ඔබාමා පරිපාලනය පැහැදිලි ලෙසම පෙන්වා දී ඇත. සාකච්ඡාවලට මාස ගනනකට පෙර පටන් ධවල මන්දිරය මේ මාතෘකාව තෝරා ගෙන තිබුනේ, ප්‍රධාන පෙලේ ආර්ථික හා මූලෝත්පායික සහනයන් දිනා ගැනීමට බීජිං පාලනය මත පීඩනය යෙදීමේ ව්‍යාජ හේතුවක් ලෙසය.

චීන රජය විසින් කරන ලදැයි චෝදනා එල්ලවී ඇති, අනවසර පරිගනක ප්‍රවිෂ්ටය පිලිබඳ කිසිත් සාක්ෂියක් වොෂින්ටනය ඉදිරිපත් කොට නැත. කෙසේ වෙතත්, නම හෙලි නොකල ධවල මන්දිර නිලධාරියෙකු යුනයිටඩ් ඉන්ටර්නැෂනල් ප්‍රෙස් අමතා 04දා පවසා ඇත්තේ, කොහොමටත් සයිබර් ප්‍රහාර පිලිබඳ අපවාදය ක්ෂි භාරගත යුතු යැයි ඔබාමා විසින් ඉල්ලා සිටිනු ඇති බවයි. මක්නිසාදයත්, "වගකිව යුත්තා කවුරුන් වුව ද, ස්වකීය දේශසීමා ඇතුලත සිට නිකුත් කරන දේ පිලිබඳ වගකීම රටවල් විසින් භාර ගත යුතු හෙයිනි."

චීනයට එරෙහිව ඔබාමා නගන සයිබර් - චරපුරුෂ කටයුතු පිලිබඳ චෝදනාවෙන් කුහකකමේ දුගඳ වහනය වෙයි. සයිබර් - චරපුරුෂ කටයුතු වලදී, අවර ගනයේ මෘදුකාංග යොදා කෙරෙන ඉලක්කගත ප්‍රහාරයන්ගේ හා මාර්ගගත ප්‍රවීක්ෂනයේ (online surveillance) මධ්‍යස්ථානය වොෂින්ටනය මූලස්ථාන කොට පවතින්නකි. එක්සත් ජනපද බලධාරීහු තම අභිමතයට අනුව කටයුතු කිරීමට අසමත් වූ රටවලට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීමට යලි යලිත් ක්‍රියා කර ඇත්තාහ. ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමට ස්ටුනෙක්ස් පරිගනක කීට වයිරසය (computer worm) නිර්මානය කිරීම හා යෙදවීම සඳහා උදව් දීම ද මීට ඇතුලත්ය.

මීට වඩා දේවල් ද තිබේ. පසුගිය සතිවල දී හෙලි වූ පරිදි එක්සත් ජනපද ආන්ඩුව ඇසොෂියේටඩ් ප්‍රෙස් ආයතනයේ දුරකථනවලට රහසේ සවන් දී ඇති අතර, කෝටි සංඛ්‍යාත ඇමරිකානුන්ගේ දුරකථන වාර්තා රැස් කිරීමට ද මයික්‍රොසොෆ්ට් , යාහූ, ගූගල්, ෆේස්බුක්, පැල්ටෝක්, ඒඕඑල්, ස්කයිප්, යූ ටියුබ් හා ඇපල් මධ්‍ය සේවා පරිගනකවලට (central servers) හොරෙන් සම්බන්ධවී ඒවා පරිහරනය කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කර ගැනීමට ද ක්‍රියා කොට ඇත. හෙලි වී ඇති මේ ප්‍රහාර ඉදිරියේ චීනයට එරෙහිව එක්සත් ජනපදය විසින් නඟනු ලබන ඔප්පු නොකල සයිබර් අපරාධ චෝදනා හිරු දුටු කදෝපැනියන් සේ ප්‍රභා හීනව මලානික වෙයි.

ඔබාමා හා ක්ෂි අතර ප්‍රථම හමුව පැවැත්වුනු දිනයේම ගාඩියන් පුවත්පත, පසුගිය වසරේ ඔක්තෝබරයේ පැනැවුනු අතිශය රහසිගත ජනාධිපති ආඥාවක කාන්දුවක් පිලිබඳව වාර්තා කලේය. එමඟින් ඔබාමා, "එක්සත් ජනපදය විසින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමට උචිතයැයි සැලකිය හැකි එතෙර ඉලක්ක" ලැයිස්තුගත කිරීමට ජ්‍යෙෂ්ඨ ජාතික ආරක්ෂක හා රහස් තොරතුරු අංශ නිලධාරීන් පිරිසකට පවරා ඇත.

මේ ප්‍රහාරයන්හි අරමුන වූයේ "ලොව පුරා එක්සත් ජනපදයේ ජාතික අභිප්‍රායයන්" ඉහල නැංවීමයි. ආඥාවෙන් පැවසුනේ, "රාජ්‍ය ලේකම්, ජාතික රහස් තොරතුරු අධ්‍යක්ෂ හා සීඅයිඒ අධ්‍යක්ෂ... එක්සත් ජනපදය විසින් ප්‍රහාරක සයිබර් කාර්ය මෙහෙයුම් හැකියාවන් ගොඩ නඟා පවත්වා ගෙන යාමේදී, ඉලක්ක බවට පත් වීමේ විභවයකින් යුතු පද්ධති, ක්‍රියාවලීන් හා උපරිව්‍යුහයන් හඳුනාගැනීමේ සැලැස්මක් පිලියෙල කොට ජනාධිපතිගේ අනුමැතිය සඳහා ජාතික ආරක්ෂක උපදේශකවරයා හරහා ඉදිරිපත් කල යුතු" බවයි.

මේවා විදේශයන්ට එරෙහිව එල්ල කෙරෙන පූර්ව භංග ප්‍රහාර විය යුතුව තිබිනි. "හදිසි" අවස්ථාවක දී හැර, රට තුල සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමට ජනාධිපති අනුමැතිය අවශ්‍ය වනු ඇත.

ඔබාමා ක්ෂි වෙත පීඩනය යෙදීමට යත්න දරන තවත් පෙරමුනක් වනුයේ, උතුරු කොරියාව සමග චීනය පවත්වන සම්බන්ධතාවයන් ය. සිය "ආසියාවට හැරීමේ" වැඩ පිලිවෙල තීව්‍ර කිරීම සඳහා ව්‍යාජ හේතු තනා ගැනීමට වොෂින්ටනය සෑම විටම රැඳී සිටින්නේ, උතුරු කොරියාවෙන් නොවැරදීම පලවෙතැයි අපේක්ෂා කෙරෙන පූච්ඡානම් ගර්ජනා මතය.

මාස ගනනකට ඉහත දී සකස් කෙරුනු "නාට්‍ය පිටපතක්" අනුයමින් වොෂින්ටනය මාර්තුවේදී න්‍යෂ්ටික හැකියාවන් සහිත බී-52 හා බී-2 බෝම්බ ප්‍රහාරක යානා උපයෝගී කොට ගෙන බෝම්බ හෙලීමේ පුහුනු අභ්‍යාස පැවැත්වීම මඟින්, ප්යොංයැංහි හා බීජිංහි ආන්ඩු දෙකම හිතාමතාම ප්‍රකෝප කලේය. උතුරු කොරියාව මිසයිලයක් මුදා හැරීමට තර්ජනය කරමින් ඊට ප්‍රතිචාර දැක්වූ විට, එය අල්ලා ගත් වොෂින්ටනය, කලාපය තුල සිය හමුදා බලය වැඩි කිරීමට, සිය බැලස්ටික් මිසයිල නාශක නිවාරක පද්ධතිය ප්‍රසාරනය කිරීමට සහ ප්යොංයැං පාලනය සමඟ ආර්ථික හා දේශපාලන සබඳතා බිඳ දමන ලෙස බීජිං පාලනයට බල කිරීමට එය ගසා කෑවේය. කලාපයේ එක්සත් ජනපද අනුචරයෙකු වන දකුනු කොරියාව හා තමන් අතර අවරෝධක රාජ්‍යයක් (buffer state) ලෙස චීනය, දීර්ඝ කාලයක සිට උතුරු කොරියාව මත රැඳී සිටියි.

උතුරු කොරියානු රජයේ චපල කයිවාරු ගැසීම්, පෙරදිග ආසියාව තුල සිය හමුදා බලය වැඩි කිරීම සඳහා ව්‍යාජ හේතුවක් ලෙස වොෂින්ටනය විසින් අල්ලා ගනු ලැබීමත් සමඟ, බීජිං නායකත්වයේ ඇතැම් කොටස් ප්යොංයැං පාලනයෙන් දුරස්ථ වීමට ක්‍රියා කර ඇත. උතුරු කොරියාවේ විශාලතම විදේශ විනිමය බැංකුව සමඟ පැවැති මූල්‍ය සම්බන්ධතා කපා හැරීමට ක්‍රියා කල ඔවුහු, කිම් ජොං උන් ඉවත් කොට අනෙකෙකු පත් කිරීම සඳහා ශක්‍යතා සැලැස්මක් ජර්මන් මාධ්‍යයට කාන්දු කලෝය.

වොෂින්ටනයෙන් නැඟෙන පීඩනයට බීජිං පාලනය දන නමනු ඇතැයි බියපත් වූ ප්යොංයැං පාලකයෝ, පසුගිය 06 දා, දකුනු කොරියාව හා සාකච්ඡා යලි ආරම්භ කිරීමට ද, මාර්තුවේ සාකච්ඡාවලින් ඉවත්වීමේ දී වසා දමන ලද සෘජු හදිසි ඇමතුම් සම්බන්ධතා යලිත් විවෘත කිරීමට ද සියොල් පාලනය සමඟ කටයුතු සූදානම් කලහ.

කැලිෆෝර්නියා සමුලුවේ දී චීනය මත මිලිටරි පීඩනය යෙදීමේ අවස්ථාවක් උදා කර ගැනීමට ඔබාමා පාලනය අමතක කොට නැත. බීජිං ආන්ඩුවට එරෙහිව ගනන් බලා කෙරෙන තර්ජනයක් ලෙස, ක්ෂි සමඟ සමුලුවෙන් දින හතරකට පසු දකුනු කැලිෆෝර්නියාවේ දී ජපානය හා ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීමට පෙන්ටගනය කටයුතු යොදා ඇත. ජීව උන්ඩ භාවිත කරමින් පැවැත්වෙන වෙඩි තැබීමේ යුද සරඹ හා භූගත බෝම්බ මෙහෙයුම් ද සහිත මෙම අභ්‍යාසයන්ට, සැන් ක්ලෙමන්ට් දූපත ඉලක්ක කොට දිය ගොඩ දෙකෙන් ම එල්ල කෙරෙන ප්‍රහාර මාලාවක් ද ඇතුලත් වේ. සැන් ක්ලෙමන්ට් දූපත මේ කාර්යය සඳහා තෝරා ගෙන ඇත්තේ, එය ජපානය හා චීනය අතර දිගු කලෙක සිට පවතින නාවුක හා රාජ්‍ය තාන්ත්‍රික ආරාවුලකට හේතුභූත වී ඇති සෙන්කකු / දියෝයු දූපත්වලට සමානකම් දක්වන නිසාය.

චීන රජය මෙම අභ්‍යාස අත් හැර දමන ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා ඇතත්, ඔබාමා පාලනය එම ඉල්ලීම නිශ්චිතව ම ප්‍රතික්ෂේප කොට ඇත. එම තීරනයෙන් පිලිබිඹු වන්නේ චීනය සමඟ දේශසීමා ආරාවුල් අවුලා ගැනීමට ජපානය හා අනෙකුත් රාජ්‍යයන් දිරි ගන්වමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කලාපය තුල රඟ දක්වනු ලබන අතිශය ප්‍රකෝපකාරී භූමිකාවයි.

Share this article: