වෙනිසියුලාවේ මදුරෝ මහා ව්‍යාපාරයන්ට හා වොෂින්ටනයට කිට්ටු වෙයි

Venezuela’s Maduro reaches out to big business and Washington

බිල් වෑන් ඕකන් විසිනි, 2013 ජූනි 07

මදුරෝ නැවත නැවතත් චෝදනා කර තිබුනේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඔහුගේ ආන්ඩුව පෙරලීමට කුමන්ත්‍රන කරමින් සිටි බවත්, අප්‍රේල් මාසයේ දී දක්ෂිනාංශික අපේක්ෂක හෙන්රික් කැප්‍රිල්ස්ට එරෙහිව ඔහුගේ පටු මැතිවරන ජයග්‍රහනයෙන් පසුව ආ දේශපාලන රැල්ල පිටුපස මෙහෙයුම් හස්ථයක් තිබූ බවත් ය. එහෙත් ගෝතමාලාවේ දී එක්සත් ජනපද විදේශ ලේකම් සමග 05දා මිනිත්තු 40ක සාකච්ඡා පැවැත් වීමෙන් පසුව වෙනිසියුලානු විදේශ ඇමති එලියස් ජෝආ සිටියේ බොහෝ සන්තෝෂයෙනි.

ගෝතමාලාවේ ඇන්ටිගුවා හි ඔර්ගනයිසේෂන් ඔෆ් ඇමරිකන් ස්ටේට්ස් ජෙනරල් ඇසෙම්බ්ලි රැස්වීමට අමතර කටයුත්තක් ලෙස රහසේ රැස් වූ ඔවුන් දෙදෙනා, කෙරීගේ වචනවලින් කිව හොත්, “වඩා ඵලදායි හා සාධනීය සම්බන්ධතාවක් ස්ථාපිත කිරීමට සිය කැපවීම ප්‍රකාශ කලේය.” 2010 සිට තහනම් කර තිබූ තානාපති හුවමාරුව නැවත ඇරඹීම මෙයට ඇතුලත් ය. රැස්වීමක් ඉල්ලා සිටියේ වෙනිසියුලාව යි.

“ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා විදේශ අමාත්‍යංශය අතර නොකඩවා සංවාදයක් පැවත් වෙනු ඇතැ යි අප එකඟ වූ අතර එකට වැඩ කල හැකි යැයි අප එකඟ වන දේවල් මත න්‍යායපත්‍රයක් සැකසීමට අපි උත්සාහ ගන්නෙමු” යි කෙරී පැවසී ය.

ඔහුගේ පැත්තෙන් ජෝආ පැවසුවේ, “ජනාධිපති නිකලස් මදුරෝගේ ආන්ඩුව හා ජනාධිපති බරක් ඔබාමාගේ ආන්ඩුව අතර යහපත් සම්බන්තාව දෙරටේ ම මහජනතාවට ගැලපෙනු ඇති බවයි. එනම් එය අපගේ මහජනතාව සඳහා සාමය හා ස්ථාවරත්වයේ සහතිකය යි” යනුවෙනි.

යන්තම් පසු ගිය මාසයේ දී, ප්‍රස්ද්ධ කතාවක දී මදුරෝ “යක්ෂයන්ගේ මහ එකා” ලෙස ඔබාමා හැඳින් වූ අතර වෙනිසියුලානු මහජනතාවට පහර දීමේ දී "ෆැසිස්ට් දක්ෂිනාංශයට” තල්ලුව දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කලේ ය.

ගෝතමාලාවේ දී ජොආ ප්‍රකාශ කලේ, චාවේස්ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට අප්‍රේල් 14දා පැවති මැතිවරනයෙන් පසුව, 11දෙනෙකු ඝාතනය කෙරුනු හා 80දෙනෙකු තුවල ලද ප්‍රචන්ඩ ක්‍රියා පිලිබඳ වාර්තාවක් කෙරීට ඉදිරිපත් කර තිබූ බව යි. විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනා මදුරෝගේ ආධාරකරුවෝ වූහ. ඔහු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ට ලබා දුන්නේ, සිද්ධිය පිලිබඳව වෙනිසියුලාවේ රජයේ නීතිඥයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාවකි.

ඔහු පැවසුවේ සාකච්ඡාවේදී “වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදයට, ස්ථාවරත්වයට තර්ජනය කරන්නා වූ ද, නිතර ම වෙනත් රටවල දේශපාලන හා ආර්ථික අංශවල ආධාර ලබන්නාවූ ද වෙනිසියුලාව තුල ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍ර විරෝධී කන්ඩායම්වල ක්‍රියාවන් කෙරීගේ අවධානයට යොමු කලේය.” යනුවෙනි.

ඇත්ත නම්, දීර්ග කාලයක් තිස්සේ වෙනිසියුලානු තන්ත්‍රය අස්ථාවර කිරීමට උත්සාහ දරන වඩාත් කැපී පෙනෙන "අංශ” සීඅයිඒ හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වීමයි.

එක්සත් ජනපදය සමග සහවාසයට මදුරෝගේ හැරීම අත්වැල් බැඳගෙන ඇත්තේ, විදේශීය හා දේශීය ප්‍රාග්ධනය කෙරේ ඒ සමානවූ ප්‍රවේශයක් මගිනි.

විදේශ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගත හොත්, ඉතාමත් කැපී පෙනෙන ගනුදෙනු අතර පසු ගිය මාසයේ දී චෙව්රොන් සංගතය සමග ඇති කර ගැනුනු ගනදෙනුව විය. එක්සත් ජනපද තෙල් යෝධයා සහ වෙනිසියුලා රජයට අයත් තෙල් සමාගම වන පීඩීවීඑස්ඒ අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන පෙට්‍රෝබොස්කන් සඳහා චෙව්රෝන්, වයඹ දිග ෂූලියා ප්‍රාන්තයේ බැර බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ඩොලර් බිලියන 2ක් සපයන්නේ ය. වැඩි කල් යාමට පෙර පීඩීවීඑස්ඒ ලෝකයේ විශාල ම තෙල් බිම් සේවා සමාගමක් වන හූස්ටන්හි සිට ක්‍රියාත්මක වන සීමා සහිත ෂ්ලුම්බර්ග් සමාගම සමග ගිවිසුමක් මගින් ඩොලර් බිලියන 1ක නය ම්‍රදලක් ලබා ගැනීමට සමත් වූයේ ය.

එක්සත් ජනපදයට තෙල් අපනයන කිරීම දිනකට බැරල් 900,000කින් අඩු වී ඇති නමුත් එය වෙනිසියුලාවේ ප්‍රධාන තෙල් පාරිභෝගාකයා වෙයි. රටේ අපනයන ආදායමෙන් සියයට 95ට හා එරට අයවැයෙන් භාගයකට දායක වන්නේ තෙල් ය.

එක්සත් ජනපදයේ බලශක්ති ව්‍යාපාර සමූහයන්ගේ දෘෂ්ටි කෝනයට අනුව, වෙනිසියුලානු තෙල් සංචිතය මත ආධිපත්‍යය පවත්වා ගෙන යාම මූලෝපායික අරමුනකි. "බොලිවාරියන් විප්ලවය” පිලිබඳ වෙනිසියුලානු ආන්ඩුවේ කයිවාරු කෙසේ වෙතත්, චෙව්රොන් හා ෂ්ලූම්බර්ග් විසින් කෙරෙන ආයෝජන පැහැදිලි කරන්නේ ඔවුන් විශාල ලාභ ඉපැයීම සඳහා විභවයන් දකින බව යි.

දේශීය වශයෙන්, එක්සත් ජනපද ගැති ප්‍රමුඛ වෙනිසියුලානු ධනපතියන් ආන්ඩුවට එරෙහිව "ආර්ථික යුද්ධයක්” ගෙන ගිය බවට මාස ගනනාවක් තිස්සේ චෝදනා කිරීමෙන් පසු, රටේ දෙවැනි විශාලත ම පොහොසතා ද එරට විශාලත ම ආහාර සමාගමේ ප්‍රධානිය ද වන ලොරෙන්සෝ මෙන්ඩෝසාට කැරකැස් හි මිරාෆ්ලෝරෙස් ජනාධිපති මන්දිරයේ දී තමන් මුන ගැසෙන ලෙසෙ මදුරෝ ආරාධනා කලේ ය.

රටේ වැඩිවෙන්නා වූ දැඩි ආහාර හිඟය හා වැඩිවෙන මිල ගනන් වෙනුවෙන් චාවේස් හා මදුරෝ යන දෙදෙනො ම පහර දීමට තෝරා ගෙන තිබුනේ පෝලා හා මෙන්ඩෝසා ය. සැඟවීම (ආහාර) හා "ආර්ථික යුද්ධයක්”ගෙන යාම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කරමින් ඔවුහු සමාගම ජනසතු කරන බවට තර්ජනය කලහ.

ඩොලර් බිලියන 4.5ක වත්කම් ඇති මෙන්ඩෝසා 2002දී කෙටි කලකට චාවේස් බලයෙන් පහකල එක්සත් ජනපද පිටුබලය ලත් කුමන්ත්‍රනයේ උද්යෝගීමත් සාමාජිකයෙකු විය. මෙම ඉතිහාසය නිසා චාවේස් යටතේ සාමාන්‍යය නිහඬතාවක් පවත්වාගෙන යාමට ඔහුට සිදුව තිබුන නමුත් වෙනිසුවෙලානු මාධ්‍ය තුල වාර්තා කෙරුනේ මදුරෝගේ මෑත චෝදනා අභිමුවෙහි ඔහු සිය සමාගම සම්බන්ධයෙන් ප්‍රබල ආරක්ෂක පියවර ගෙන තිබූ බවයි.

රැස්වීම "ඉතා සුහද, ඍජු හා අවංක” එකක් ලෙස විස්තර කල මෙන්ඩෝසා, “ආයෝජනය, නිෂ්පාදනය හා වෙලඳපොල සැපයුම් පවත්වා ගැනීමේ අවශ්‍යතාව දැනුම් දෙමින් හා අපට කන් දෙමින් ජනාධිපති දැඩි කරුනාවක් පෙන්වූ” බව යි. ආහාර පිලිබඳ කාරනය දේශපාලනීකරනය නොකිරීමට දෙදෙනො එකඟත්වයකට පැමින ඇති බව ඔහු පැවසී ය.

“කම්කරු පන්ති ජනාධිපති” හා කෝටිපතියා අතර හමුව ගැන උප ජනාධිපති ජෝජ් අරේෂා ඒ ආකාරයේ ම විස්තරයක් සැපයී ය.

මෙන්ඩෝසා හමුවීම, ආන්ඩුව හා ප්‍රමුඛ වෙනිසියුලානු ධනපතියන් අතර සාකච්ඡා මාලාවක වඩාත් දෘශ්‍යමාන එක පමනී. එකඟ වූ ගනදෙනු අතර සමහර මිල පාලනයන් ඉවත් කිරීම හා මුදල් සීමාවන් ලිහිල් කීරීම ද වේ.

“සමගි සන්ධානයේ තවත් ඇඟවුමක් ලෙස, අවුරුදු ගනනාවකින් පසු පලමු වතාවට මුදල් අමාත්‍යංශයේ කොරිඩෝර ජැන්ඩියට හැඳගත් ව්‍යාපාරිකයින්ගෙන් පිරී ඇත.” රොයිටර් වාර්තා කලේ ය. "බොහෝ අය ගෙනියන්නේ මුදල් පාලන පද්ධතියේ වඩා විශාල නම්‍යතාව හා මිල පාලනයන් ලිහිල් කිරීම සඳහා ඉල්ලීම්වලින් යුත් ලිපි ගොනු ය.”

ව්‍යාපාරික විධායකයින් සමග පැවති එක් රැස්වීමකින් පසු මුදල් ඇමති නෙල්සන් මෙරෙන්ටෙස්ගේ ප්‍රකාශයක් ප්‍රවෘති ඒජන්සිය මෙසේ උපුටා දැක්වී ය: "නව සමාජවාදී ආර්ථිකය නොසලකා හරින්නේ නැතිව අප පිවිසී ඇත්තේ, පුද්ගලික අංශය සමග කිට්ටු සම්බන්ධතා ඇති කරන අවධියකට ය.”

මාස ගනනාවක් වෙනිසියුලාවේ මහා ධනේශ්වරයට “කඩාකප්පල් කිරීමේ” චෝදනා එල්ල කිරීමෙන් පසු, මදුරෝ ආන්ඩුව දැන් එහි අනුග්‍රහය බලාපොරොත්තු වන අතර එහි නිෂ්පාදනය වැඩි කරන ලෙසට අයාචනය කරයි. මෙම හැරීමට තල්ලුව සපයන්නේ, ආර්ථික වර්ධනයේ බිඳවැටීමක්, ඉහල යන උද්ධමනය හා පුලුල් ව පැතිරුන හිඟයන් විසින් උපලක්ෂනය කෙරුනු ගැඹුරුවන ආර්ථික අර්බුදය විසිනි.

ආහාර මිල ගනන්වල තියුනු නැගීමක් පිලිබිඹු කිරීම සමග වෙනිසියුලාවේ උද්ධමන රේට්ටුව දැන් සියයට 30ට ආසන්න ය. මේ අතර 2013 පලමු කාර්තුවේ වර්ධන අනුපාතය යන්තම් සියයට 0.7කි .කෙසේ නමුත්, මෙම සමස්ත සංඛ්‍යා සලකුනු තත්වයේ බරපතලකම සලකුනු කරයි.

ලෝකයේ ඉහල ම ලාභ අනුපාතයන් සමහරක් භුක්ති විඳින වෙනිසියුලාවේ මූල්‍ය අංශය මෙම කාලය අතරතුර දී සියයට 31ක වර්ධනයක් පෙන් වූ අතර නිෂ්පාදන කර්මාන්තය සියයට 3.6කින් ද ඉදිකිරීම් සියයට 1.3කින් ද පහත වැටුනි. ගබඩා රාක්ක වලින් අතරුදහන් නිෂ්පාදනයන්ගේ සංඛ්‍යාව පිරික්සන හිඟකම් දර්ශකය ඉහල ම මට්ටමට ලඟ වී ඇත්තේ මහ බැංකුව මෙම සංඛ්‍යා සකස් කිරීම ඇරඹූ තැන් සිට ය.

මදුරෝ ආන්ඩුව සහ එක් පසෙක වෙනිසියුලාවේ ධනපතීන් ද, අනෙක් පස වොෂින්ටනය ද අතර ඇයි හොඳයිකම් මැතිවරන වංචා ගැන නොකඩවා චෝදනා කර ඇති හා මදුරෝ නීති විරෝධී ජනාධිපතියෙකු යයි හෙලා දුටු දක්ෂිනාංශික අපේක්ෂක හෙන්රික් කැප්‍රිල්ගේ කයිවාරු වලට අභියෝග කර ඇත. ඔබාමාගේ පාලනය මදුරෝගේ පටු මැතිවරන ජයග්‍රහනය තවමත් නිල වශයෙන් පිලිගෙන නැති නමුත් වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ (ඕඒඑස්) සම්බාධක සඳහා ඉල්ලීම් නොසලකා හැර ඇත. එමෙන් ම මිරාෆ්ලෝස් මන්දිරයට මැන්ඩෝසාගේ ගමන ගම්‍ය කරන්නේ ප්‍රකෝටිපතියා මදුරෝගේ නීත්‍යානුකූල භාවය පිලිගන්නා බව යි.

පැහදිලිව ම, දේශීය හා විදේශීය ධනපති දෙකොට්ඨාසය ම පිලිගන්නේ වාම කයිවාරු හා "බොලිවාරියන් විප්ලයේ” සීමිත සමාජ ප්‍රතිසංස්කරන පිටුපසින් මදුරෝගේ ආන්ඩුව ධනවාදය ආරක්ෂා කරන බව හා ඔවුන්ට එය සමග ගනදෙනු කල හැකි බවත් ය. අති මූලික වශයෙන්, දක්ෂිනාංශයේ උද්ඝෝෂන හා ගැඹුරුවන ආර්ථික අර්බුදය, නැගෙන මහජන අප්‍රසාදය හා සමාජ කොන්දේසි හැඩ ගස්වන්නේ, කම්කරු පන්තිය සමාජ පිපිරීමක් දෙසට තල්ලු කිරීමේ අන්තරායයි.

Share this article: