එක්සත් ජනපදය ආසියා පැසිෆික් කලාපයේ බැලස්ටික් මිසයිල නාශක පද්ධතිය වැඩිදියුනු කිරීමට සැරසේ

US to boost anti-ballistic missile systems in Asia Pacific

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 මාර්තු 16

2017 වසර වන විට පෙන්ටගනය ආසියානු පැසිෆික් කලාපය තුල පිහිටුවා ඇති, බිම්ගත බැලස්ටික් මිසයිල නාශක ප්‍රතිග්‍රාහක සංඛ්‍යාව සියයට 50කට ආසන්න ප්‍රමානයකින් ඉහල දමනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් චක් හෙගල් ඊයේ [මාර්තු 15] ප්‍රකාශ කලේ ය. ඇලස්කාවේ ෆෝර්ට් ග්‍රීලිහි දැනට ඇති ප්‍රතිග්‍රාහක 26ට අමතරව තවත් 14ක් පිහිටුවනු ඇත. තවත් තුනක් දැනටමත් කැලිෆෝර්නියාවේ ස්ථානගත කොට ඇත.

එක්සත් ජනපද බැලස්ටික් මිසයිල නාශක පද්ධතිය ව්‍යාප්ත කිරීමට කඩතුරාව ලෙස ‍හෙගල් අල්ලාගෙන ඇත්තේ, උතුරු කොරියාව විසින් පසුගිය මාසයේ පවත්වන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හා දෙසැම්බරයේ දී සිදු කල චන්ද්‍රිකා කක්ෂගත කිරීම යි. "විශේෂයෙන් ම උතුරු කොරියාව, මෑතක දී සිය ශක්‍යතාවන් ඉහල නංවා ඇති අතර වගකීම් විරහිත හා නොසැලකිලිමත් ප්‍රකෝපකරනයන් මාලාවක් ම සිදු කර ඇතැ"යි ඔහු පැවසීය.

මේ ප්‍රකාශ මුලුමනින් ම නරුම ය. මූලිකව ම චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාවන්ට එරෙහිව පිහිටුවීමේ අරමුනින් සංකීර්න මිසයිල නාශක පද්ධතීන් ආසියා පැසිෆික් කලාපය පුරා ම ඉදිකිරීම සාධාරනීකරනය කිරීමට ඔබාමා පාලනය උතුරු කොරියාවේ සීමිත න්‍යෂ්ටික හා මිසයිල ශක්‍යතාව උපයෝගී කර ගනී.

මේ මස මුල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය විසින් පනවන ලද සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියා රජය ප්‍රකාශ කලේ, "ආක්‍රමනිකයාගේ මූලස්ථානයට එල්ල කරන "පූර්ව භංඟ න්‍යෂ්ටික ප්‍රහාරයක්" මඟින් වේවා, සිය ආරක්ෂාව සලසා ගැනීම සඳහා තමන්ට අයිතියක් ඇති බව යි. කෙසේ වෙතත්, ඔබාමා පාලනය මෙම තර්ජනය සරලව ම ඉවත දැමී ය. වොෂින්ටනයට එවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්යොංයැං පාලනයට ඇත්තෙන් ම හැකියාවක් ඇතැයි හෙගල් හෝ කිසියම් පෙන්ටගන් නිලධාරියකු හෝ අදහස් දක්වා නැත.

තව ද, ප්‍රතිග්‍රාහක ව්‍යාප්ත කිරීමේ පෙන්ටගන් සැලසුම උතුරු කොරියානු මිසයිල වැඩ පිලිවෙල දියත් කිරීමට ද න්‍යෂ්ටික පරීක්ෂනවලට ද පූර්වයෙන් සිදු කෙරුනකි. ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු වොෂින්ටන් පෝස්ට් පත්‍රයට පැවසූ පරිදි, මෙම ව්‍යාප්ති වැඩ පිලිවෙල "මාස හයක පමන කාලයක සිට ක්‍රියාත්මක වෙමින් තිබුනි." වෙනත් ලෙසකින් කිවහොත්, උතුරු කොරියාව හුදෙක් එම වැඩසටහන ප්‍රසිද්ධියට පත්කිරීමට උචිත වන නිදහසට කරුනක් සපයා තිබුනා පමනෙකි.

හෙගල් තවදුරටත් ප්‍රකාශ කලේ, එක්සත් ජනපදය අමතර කල්තබා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ජපානයෙහි පිහිටුවනු ඇති බව යි. එය බැලස්ටික් මිසයිල සොයා ගැනීමට සමත්, X තරංග පරාසයේ ක්‍රියාකරන සංකීර්න 'X බෑන්ඩ්' රේඩාර් යන්ත්‍රයකි. එක්සත් ජනපදය දැනටමත් මෙවැනි පද්ධතියක් උතුරු ජපානයේ ස්ථාපනය කොට ඇති අතර දෙවැන්න දකුනු ජපානයේ පිහිටුවීමට සැලසුම් කරයි.

මිසයිල නාශක සැලසුම් පිලිබඳව පසුගිය අගෝස්තුවේ දී පෙන්ටගනය වෝල් ස්ට්‍රීට් ජර්නලයට තොරතුරු කාන්දු කර තිබින. (බලන්න: “US to expand anti-missile systems in Asia”). එම වාර්තාවට අනුව, එක්සත් ජනපදය අග්නිදිග ආසියාවේ තුන්වැනි X බෑන්ඩ් රේඩාර් පද්ධතියක් ද ගොඩ නැඟීමට අර අදිමින් සිටී. මෙය බොහෝවිට පිලිපීනයේ ස්ථාපනය කෙරෙනු ඇත. ඉදිකෙරෙන සෑම අමතර කල්තබා අනතුරු ඇඟවීමේ පද්ධතියක් සමඟ ම බැලස්ටික් මිසයිලයන් ගමන් ගන්නා පථය සොයා ගැනීමට ද එමඟින් ඒවා ප්‍රතිග්‍රාහක යොදා විනාශ කිරීමට ද එක්සත් ජනපද හමුදාවට ඇති හැකියාව විශාල ලෙස ඉහල නංවයි.

එක්සත් ජනපදය මෙම බැලස්ටික් මිසයිල නාශක පද්ධති වර්ධනය කරන්නේත්, ඉදිකරන්නේත්, ආසියාවේ එහි අනුචරයන් සමඟ - විශේෂයෙන් ම ජපානය සමඟ - කිට්ටු සහයෝගීතාවකිනි. ගොඩබිම පිහිටුවා ඇති දිගු දුර ප්‍රතිග්‍රාහකවලට අමතරව, නැව්වල සවි කෙරුනු මිසයිල නාශක පද්ධතීන් ද ඇමරිකාව හා ජපානය සතු වන අතර ඔවුහු ඒවායේ ශක්‍යතාවන් ඉහල නැංවීමට ඉඩ ප්‍රස්ථා සොයමින් සිටිති.

ඇමරිකානු නාවික හමුදාව මෑතක දී, දකුනු කොරියාවත් සමඟ පැවැත්වූ ඒකාබද්ධ අභ්‍යාසයක කොටසක් ලෙස, කොරියන් අර්ධද්වීපයෙන් එපිට සාගරයේ ස්ථානගත කොට ඇති එරට සතු 'ආලෙයි බර්ක් පංතියේ' මිසයිල නාශක ගනන වැඩි කිරීමට කටයුතු කලේ ය. ඇමරිකානු හමුදාව විසින් දකුනු කොරියාවේ පේට්‍රියට් මිසයිල විදින මෙවලම් ද පිහිටුවා තිබේ.

යුරෝපයේ ගොඩනඟමින් සිටින ආරක්ෂක පද්ධතීන් සැලැකිල්ලට ගත් විට, ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවෙන් ද ඉරානයෙන් ද එල්ල විය හැකි තර්ජනවලට මුහුන දීම සඳහා බැලස්ටික් මිසයිල නාශක පද්ධති ගොඩනැඟීමට ඩොලර් බිලියන ගනනින් වැය කරමින් සිටින බවට කරන ප්‍රකාශ විකාර සහගත ය. මේ පද්ධති මූලිකව මානා ඇත්තේ, එක්සත් ජනපදයට න්‍යෂ්ටික අවි යෙදූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාව ඇති චීනයට හා රුසියාවට එරෙහිව ය.

පසුගිය අගෝස්තුවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට කථා කල නම හෙලි නොකල ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරියෙක්, උතුරු කොරියාවට මානනු ලබන ඕනෑම බැලස්ටික් මිසයිල නාශක පද්ධතියක්, භූගෝලීය පිහිටීම මත, චීනයට ද මානනු ලබන බව පිලිගත්තේ ය. "භෞතික විද්‍යාව යනු භෞතික විද්‍යව යි," ඔහු කීය. "එක්කෝ ඔබ උතුරු කොරියාව හා චීනය යන දෙකම අවහිර කරන්නෙහි ය. නැතහොත් ඒ දෙක ම අවහිර නොකරන්නෙහි ය."

මේ පද්ධතීන් උදක් ම ආරක්ෂක ඒවායැයි පැවසීම ද බොරුවකි. චීනයෙන් හෝ රුසියාවෙන් එල්ල කෙරෙන ඕනෑ ම විශාල පරිමාන න්‍යෂ්ටික ප්‍රහාරයක් මඟින් එක්සත් ජනපදය සතු සීමිත ප්‍රතිග්‍රාහක සංඛ්‍යාව විනාශ කෙරෙනු ඇත. ඒ වෙනුවට, බැලස්ටික් මිසයිල නාශක ශක්‍යතාවන් වර්ධනය කිරීම වූ කලී, ඊනියා "න්‍යෂ්ටික ප්‍රමුඛතාව" ලෙස හඳුන්වනු ලබන, පෙරලා පහර දිය නොහැකි ලෙස සතුරා වනසා දැමෙන පරිදි පලමුවෙන් න්‍යෂ්ටික ප්‍රහාරය දියත් කිරීමට ඇති හැකියාව සඳහා වන ආක්‍රමනශීලී ව්‍යායාමයේ එක් සංරචකයකි.

ආසියාවේ හා යුරෝපයේ ඇමරිකානු බැලස්ටික් මිසයිල නාශක පද්ධති මූලික ව සැලසුම්කොට ඇත්තේ, ඇමරිකානු එක්සත් ජනපදය විසින් පලමුවෙන් එල්ල කරන ලද න්‍යෂ්ටික ප්‍රහාරයකින් දරුනු ලෙස හානියට පත් සතුරෙකුගේ සීමිත මිසයිල ප්‍රහාරයක වෙඩිමුරයක් අකර්මන්‍ය කරනු සඳහා ය.

මිසයිල නාශක පද්ධතීන් ස්ථාපනය කිරීමට එරෙහි ව රුසියාව හා චීනය යන දෙරට ම බලගතු ලෙස විරෝධය දක්වන්නේ මේ නිසා ය. හෙගල් මාර්තු 15 දා නිකුත් කල නිවේදනයෙන්, බීජිං නුවර පාලක කවයන් තුල උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇති විවාදය තවදුරටත් තීව්‍ර කෙරෙනු ඇත. සිය සගයා වන ප්යොංයැං පාලනය කපා හැරිය යුතු වගකීමක් බවට පත්ව ඇතැයි චීන නිලධරය තුල ඇතැම් කොටස් එලිපිට ම අදහස් දක්වමින් සිටිති.

උතුරු කොරියාවේ අවි වැඩ පිලිවෙලවල් හා එහි ආකල්ප, හුදෙක් එක්සත් ජනපදයට හා එහි මිත්‍ර රාජ්‍යයන්ට ආසියාවේ බැලස්ටික් මිසයිල නාශක පද්ධති පිහිටුවීම සඳහා ව්‍යාජ හේතුවක් සපයා දෙනවා පමනක් නොව, තමන්ගේ ම න්‍යෂ්ටික අවි හා විසර්ජන පද්ධති ඉදිකිරීම සඳහා හේතු වශයෙන් ඒවා ජපානය හා දකුනු කොරියාව විසින් ඩැහැ ගැනීමට ද ඉඩ ඇති බව චීන විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, බීජිං පාලනය උභතෝකෝටිකටකට මුහුනපා සිටියි. ආර්ථික වශයෙන් දැඩි ලෙස චීනය මත යැපෙන උතුරු කොරියානු තන්ත්‍රය ඇද වැටුන හොත්, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ සරනාගතයන් ගංගාවක් උතුරු චීනය තුලට ගලා ඒම හා බොහෝ විට සිදු විය හැකි පරිදි චීනයේ උතුරු දේශසීමාවේ ඇමරිකානු ගැති තන්ත්‍රයක් පැන නැඟීම යි. පෙනී යන පරිදි, ඔවුන් කිසිදු තීරනයකට මෙතෙක් එලැඹ නැත. එහෙත් වොෂින්ටනයේ තීව්‍ර වන පීඩනය නිසා තත්වය හදිසි සහ පුපුරන සුලු තැනකට ගමන්කර තිබේ.

ඇමරිකානු බැලස්ටික් මිසයිල නාශක ධාරිතාව ඉහල නැංවීම වනාහි, ඔබාමා පාලනය පුලුල් ලෙස ''ආසියාව වෙත හැරීම" යන වැඩ පිලිවෙලෙහි කොටසකි. මෙම වැඩ පිලිවෙල, කලාපය පුරා ම චීන ආනුභාවයට යටින් වල කැපීමේ පුලුල් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයකින් සහ චීනය වට කෙරෙන පරිදි හමුදාමය සම්මුතීන් මාලාවක් ඇති කිරීමෙන් ද සමන්විත වේ. මෙය, ආසියාවට යැවෙන ඇමරිකානු හමුදා බලඇනි මෙන් ම, කලාපය තුල ඇති බල ඇනිවල ද "ප්‍රතිතුලනයක්" සමඟ ඒකාබද්ධ කෙරෙයි. එමඟින්, චීනයට එරෙහිව නාවුක බාධක පැනවීමේ සිට පූර්න පරිමාන න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වූ, ආක්‍රමනික විකල්ප ගනනාවක් එක්සත් ජනපදය සතුව පැවතීම තහවුරු කෙරේ.

බීජිං පාලනයට මීට ප්‍රතිචාර දැක්වීමට සිදු වී තිබේ. ජනවාරියේ (චීන) හමුදාව භූගත බැලස්ටික් මිසයිල ප්‍රතිග්‍රාහකයක් සාර්ථකව අත්හදා බැලූ බව සිංහුවා චීන නිල පුවත් සේවය නිවේදනය කලේ ය. ගුවන් හමුදා විශේෂඥ ෆු ක්වියැංෂෝ මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ, කෙසේ වෙතත්, චීන පද්ධතීන් තවමත් ලදරු අවධියේ පසුවන අතර ඒවා ඇමරිකානු පද්ධතීන් පසුපසින් ගාටන බව යි.

සෙසු ක්ෂේත්‍රවල දී මෙන් ම මිලිටරි තාක්ෂනය පිලිබඳ මෙම ක්ෂේත්‍රය තුලදී ද, ඔබාමා පාලනය භයානක අවි තරඟයක් කුපිත කරමින් සිටී. එයින් සිදු වනු ඇත්තේ යුද්ධයේ අනතුර වැඩිවර්ධනය වීම පමනෙකි.

Share this article: