පෙබරවාරි සේවා නියුක්ති වාර්තාව ඇමෙරිකානු රැකියා අර්බුදයේ ගැඹුර සඟවයි

February employment report masks depth of US jobs crisis

ඇන්ඩ්‍රි ඩේමන් විසිනි, 2013 මාර්තු 9

මාර්තු 8 සිකුරාදා නිකුත් කෙරුනු කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම රැකියා වාර්තාවට අනුව පෙබරවාරියේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා සංඛ්‍යාව 236,000කින් වැඩි වී ඇති අතර, විරැකියා අනුපාතය 2008 සිට පැවැති පහල ම මට්ටම දක්වා පහත වැටී ඇත.

රැකියා 165,000ක් වැඩිවන බවට කලින් ගනන් බලා තිබුන ද එය කැපී පෙනෙන ලෙස වැඩි අගයක් ගැනීම පිලිබඳ ව උදම් වූ මාධ්‍ය, ආර්ථික තත්වයේ පනගැන්වීමක් ගැන කථා කිරීමට පටන්ගත් අතර, මෙම වාර්තාවෙන් පෙන්නුම් කෙරෙන්නේ "2009 වසරේ මැද භාගයේ ඇරඹුනු ප්‍රතිසාධනය, ගැම්ම ගනිමින් සිටින බවය"යි ඔබාමා ධවල මන්දිරයේ සිට ප්‍රකාශ කලේය.

යථාර්ථය නම්, පසුබෑමේ වකවානුව තුල අහිමිවී ඇති රැකියා සංඛ්‍යාව හා සැසැඳීමේ දී මේ වැඩිවීම, පනිට්ටුවකට වැටුනු දිය බිඳුවක් සේ අල්පතර එකක් බවයි. 2008 දී ඇරඹුනු පසුබෑම තුල ඇමරිකානු ආර්ථිකයට මිලියන 8.9ක රැකියා සංඛ්‍යාවක් අහිමි වූ අතර, ආර්ථිකයේ ඊට ඉහත පැවැති ප්‍රවනතා දිගටම පැවැතුනේ වී නම් මිලියන 5.9ක් රැකියා අලුතින් එක් විය යුතුව තිබිනි. 2009 අවසානයේ සිට ආර්ථිකයට එක් වී ඇත්තේ රැකියා මිලියන 5.7ක් පමනෙකි.

පෙබරවාරි මාසයේ රැකියා වර්ධන අනුපාතය අනුව පූර්ව පසුබෑමේ යුගය තුල පැවැති සේවා නියුක්ති මට්ටම කරා නැවත සේන්දු වීමට එක්සත් ජනපද ආර්ථිකයට 2017 වසර තෙක් බලා සිටීමට සිදුවනු ඇත.

පොදුවේ ගත් කල, අලුතින් නිර්මානය වී ඇති රැකියාවලට ගෙවනු ලබන්නේ ආර්ථික බිඳවැටීමේ දී අහිමි වූ රැකියාවලට කල ගෙවීමට වඩා බෙහෙවින් අඩු වැටුප් ය. 08දා නිකුත් කල සංඛ්‍යා ලේඛනවලට අනුව නිෂ්පාදන කම්කරුවන්ගේ පැයක ඉපැයීම්වල සාමාන්‍ය අගය පසුගිය වසර පුරාම ඉහල ගොස් ඇත්තේ සියයට 2කින් පමනකි. වැඩිවන බඩු මිල විසින් එකී වැඩිවීම අතුගා දමා තිබේ.

අඩු වැටුප් ගෙවීමට අමතරව, අලුත් රැකියාවලින් වඩ වඩාත් වැඩිවන කොටසක් අර්ධ කාලීන රැකියාවන් ය. 2007 පසුභාගය සමඟ සසඳන විට, පූර්න කාලීන රැකියාවන්හි දැන් නියැලී සිටින්නේ මිලියන 5.8ක් අඩු ඇමරිකානුවන් සංඛ්‍යාවකි. එහෙත් අර්ධ කාලීන රැකියාවන්හි නියැලෙන සංඛ්‍යාව මිලියන 2.8කින් ඉහල ගොස් ඇත. අර්ධ කාලීන රැකියාවන්හි නිරතවන්නන්ගේ අනුපාතය, අවපාතය ආරම්භයේ දී පැවැති සියයට 16.9 සිට අද දවසේ සියයට 19.2 දක්වා වර්ධනය වී ඇත.

පෙබරවාරියේ රැකියා සංඛ්‍යාව ඉහල යන විට පවා, සැලකිය යුතු සංඛ්‍යාවක් ජනයා රැකියා සොයා යාම අත හැර දමා ශ්‍රම බලකාය හැර ගියහ. 130,000ක් ජනයා මෙසේ ශ්‍රම බලකායෙන් දොට්ට වැටීමත් සමග, ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය දශක තුනක් තුල පෙන්නුම් කෙරුනු අවම අගය කරා ලඟා වෙමින් සියයට 63.5 දක්වා ඇද වැටිනි.

රැකියාවන්හි නියුක්තව සිටින ජනගහනයේ අනුපාතය 2007 පෙබරවාරියේ දී පැවැති සියයට 63.3 සිට 2010 පෙබරවාරියේ සියයට 58.5 දක්වා ඇද ව ැටිනි. එතුවක් පටන් මෙම මට්ටම ඉඳුරාම නොවෙනස්ව පැවැති අතර, අලුත්ම සංඛ්‍යා ලේඛන විසින් ද පෙන්නුම් කෙරෙන්නේ සියයට 58.5 අනුපාතයම ය.

එ පරිද්දෙන් ම වඩාත්ම මෑත දී නිකුත් වූ වාර්තාවෙන් පෙන්නුම් කෙරෙන්නේ දීර්ඝ කාලීන රැකියා වියුක්තියේ ද සැලකිය යුතු වැඩිවීමකි. අඩ වසරකට වඩා රැකියාවක් නොමැතිව සිටින්නට සිදු වූ රැකියා විරහිත ජන අනුපාතය ජනවාරියේ පැවැති සියයට 38.1 සිට පෙබරවාරියේ දී 40.2 දක්වා වූ උච්ඡස්ථානයකට නැඟී ගියේය. 2007 දෙසැම්බරයේ අවසානයේ මෙය පැවතියේ සියයට 17.4 මට්ටමේ ය.

නවතම රැකියා වාර්තාව එලි දක්වන ලද්දේ 2012 සිව්වන කාර්තුවේ ඇමරිකානු දල දේශීය නිෂ්පාදනයේ වාර්තා වූ මවිත කරවන සුලු පහත වැටීමෙන් පසුව ය. මෙම වැටීම පසුව සියයට 0.1ක් පමනක් වන වර්ධනයක් ලෙස ප්‍රතිශෝධනය කරන ලදී. එම කාර්තුව තුල දියුනු කාර්මික රටවල සංයුක්ත ආර්ථිකයන් සියයට 0.2කින් හැකිලී ගියේය.

එක්සත් ජනපද රාජ්‍ය සේවය පෙබරවාරියේ දී යලිත් වරක් රැකියා අහෝසි කලේ රැකියා අවස්ථා 10,000කට දොර වසා දමමිනි. 2009 ජූනියේ සිට මධ්‍යම රජයේ, ප්‍රාන්තයන්හි හා ප්‍රාදේශීය පරිපාලනයේ රැකියා 742,000ක් අහෝසි කොට ඇති අතර ඉන් අඩක් පොදු අධ්‍යාපන සේවයට අයත් වූ ඒවාය.

පසුගිය සතියේ නිවේදනය කරන ලද ඩොලර් ට්‍රිලියන 1.2ක "ෆෙඩරල් වියදම් කපා දැමීමේ" රැකියා කප්පාදු වැඩ පිලිවෙලත් සමග බොහෝ විට සිදුවීමට ඉඩ ඇත්තේ රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව තවත් තීව්‍ර කිරීමයි. කොන්ග්‍රසයේ අයවැය කාර්යාලයට අනුව, ෆෙඩරල් වැය සීමා නීති ක්‍රියාවට නැංවීම, රැකියා 750,000ක අහෝසිය කිරීමට හා රැකියා වියුක්ති අනුපාතය සැලකිය යුතු ලෙස ඉහල යාමට හේතුවනු ඇත.

සිකුරාදා ඇමෙරිකානු රැකියා වාර්තාව එලි දැක්වුනේ ඩව්ජෝන්ස් කාර්මික දර්ශකය එහි ඉතිහාසයේ ඉහලම මට්ටමට නැඟුනු දිනයේ දී මය. සංයුක්ත මුදල් සංචිතය ද එ පරිද්දෙන් ම නව වාර්තාවක් කරා නැඟුනේ පසුගිය වසරේ අවසාන කාර්තුවේ දී තක්සේරුගත ඩොලර් ට්‍රිලියන 1.79ක් සටහන් කරමින් ඊට ඉහත කාර්තුවේ වාර්තා වූ ඩොලර් ට්‍රිලියන 1.77 මට්ටම ඉක්මවා යමිනි. කෙසේ වෙතත්, මුදල් ආයෝජනය කරනු වෙනුවට සමාගම් විසින් ඒවා යොදවනු ලබන්නේ තමන්ගේ ම කොටස් පෙරලා මිල දී ගැනීමට හා වාර්තාගත ලාභාංශ ගෙවීමට ය.

සමාගම් විසින් ආයෝජකයන්ට ගෙවනු ලබන ලාභාංශ තියුනු ලෙස වැඩි කොට ඇත. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා වාර්තා කලේ එස්ඇන්ඩ්පී 500 සමාගම් මේ වසරේ දී ඩොලර් බිලියන 300කට වැඩි මුදලක් ලාභාංශ ලෙස ගෙවීමට අපේක්ෂා කරන බවයි. පසුගිය වසරේ ගෙවන ලද ඩොලර් බිලියන 282ක මුදල සමඟ සසඳන විට මෙය තියුනු වැඩිවීමකි. පසුගිය මාසයේ ඇමෙරිකානු සමාගම් ඩොලර් බිලියන 117.8ක් වටිනා තමන්ගේ ම කොටස් ආපසු මිල දී ගෙන ඇත. එය 1985න් පසු වාර්තා වූ ඉහලම අගය වෙයි.

බිරින්යිහි විශ්ලේෂකයෙක් වන රොබ් ලේෆාර්ට් ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි, "සමාගම්වල මුදල් දෝර ගලා යයි. සමාගම්වල පෙට්ටගම් පුරවා ඇති එම මුදල්වලින් කිසියම් ම හෝ ඉපැයීමක් නොසිදුවෙන තරම් ය". "සමාගම් එයින් යමක් කල යුතුය."

සමාගම් සිය කොටස් ආපසු මිල දී ගැනීම 2008 කඩා වැටීමට පූර්ව කාල පරිච්ඡෙදය යලි සිහිපත් කරවන්නකි. ටයිම් පුවත්පත සටහන් කරන පරිදි, "කොටස් මිල වාර්තාගත ලෙස ඉහල ගිය අන්තිම වතාවේ දී ද මේ ආකාරයෙන් ම කොටස් ආපසු මිල දී ගැනීමේ කටයුතු සිදු විය. 2007 අවසන් වූ නිවාස වෙලඳ පොල උත්පාතයේ දී එස් ඇන්ඩ් පී 500 සමාගම්, ස්වකීය කොටස්ම පෙරලා මිලදී ගැනීම ඉතිහාසයේ පැවැති ඉහලම මට්ටම් දක්වා ඔසොවා තැබූහ."

"ප්‍රතිසාධනයේ" සිව් වසරකට පසු එක්සත් ජනපද ආර්ථිකය එහි පූර්ව - අවපාත රැකියා වියුක්ති මට්ටමේ අහලකටවත් ලඟා වීමට සමත් වී නැත. නිෂ්පාදනයන්හි ආයෝජනය කරනු වෙනුවට ප්‍රමුඛ සමාගම් සමූහයන්, උතුරා යන මුදල් ද වාර්තාගත මට්ටම් කරා නැඟුනු සිය කොටස් මිල ද දැකගන්නා අතර, ලාභාංශ ගෙවමින් තමන්ගේම කොටස් වටිනාකම් පුම්බමින් සිටියි. මේ ක්‍රියා කලාපය විසින් සිදු කෙරෙනු ඇත්තේ කොටස් වෙලඳ පොලේ නැගීමත් සමඟ නාටකාකාරයෙන් සිය ධනය වැඩි වර්ධනය වනු දුටු මූල්‍ය ප්‍රභූ පැලැන්තිය තවදුරටත් පෝසත් කිරීම ය. බොහෝ දුරට මෙය කල හැක්කක් බවට පත් වී ඇත්තේ එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් (මහ බැංකුව) හි ප්‍රසාරනාත්මක මූල්‍ය ප්‍රතිපත්ති නිසාය. එය වාර්ෂිකව ඩොලර් බිලියන 85ක් මූල්‍ය වෙලඳ පොලට; හා එමගින් අවසානයේ දී සුපිරි ධනවතුන්ගේ පෙට්ටගම්වලට; පොම්ප කරමින් සිටී.

මහා පරිමාන විරැකියාවේ ද ඇද වැටෙන වැටුප් මට්ටම් වල ද ෆෙඩරල් රිසර්ව් වෙතින් නොමිලේ ගලා එන මුදල්වල ද අපූර්ව සංයෝජනය, සමාගම්වල ලාභයේ උත්පාතයකට පාර කපා ඇත. මේ වන විට එය පිට පිට වසර තුනක් ම වාර්තා පිහිටුවා තිබේ. 2012 වසරේ තුන්වන කාර්තුවේ දී සමාගම් ලද ලාභය සමස්ත ආර්ථිකයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14.2ක් විය. එය 1950 ගනන් දක්වා ඈත කාලයක සිට වාර්තා වී ඇති ඉහල ම මට්ටමයි. එහෙත් ඒ අතර, ජාතික ආදායමෙන් කම්කරුවන් අතට පත් වන ප්‍රතිශතය සියයට 61.7ක් ලෙස දශක පහකට ආසන්න කාලයක දී පැවැතුනු පහල ම මට්ටමේ පවතී.

Share this article: