ජවිපෙ හා පල්ලිය හලාවත වැල්ලේ ධීවර ඝාතනයට ආන්ඩුවේ වගකීම යටගසති

By Our correspondents, 7 March 2013

හලාවත වැල්ල සැමරුමට රැස්ව සිටි පිරිසෙන් කොටසක්

පසුගිය වසරේ පෙබරවාරි 15 දින තෙල් මිල ඉහල දැමීමට එරහිව පැන නැගි ධීවර උද්ඝෝෂනයක දී විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමෙන් මියගිය හලාවත වැල්ලේ ඇන්ටන් ප්‍රනාන්දු ධීවරයා අනුස්මරනය කිරීමේ රැස්වීමක් ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ද සහභාගිත්වයෙන් වැල්ල පල්ලියේ දී පැවැත්වුනි. මෙම වෙඩි තැබීමෙන් තවත් ධීවරයන් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඉන් ඩබ්ලිව්. ජේසු මරිය කිංස්ලි රැකියාව කර ගැනීමට බැරිව තැවෙමින් සිට පසුගිය මැයි මාසයේ සිය දිවි හානි කර ගත්තේ ය.

ඝාතනය පිලිබඳව තම නොනැසී පවතින කෝපය හා විරෝධය පෙන්නුම් කරමින් පන්සීයක් පමන ධීවරයන් හා ඔවුන්ගේ පවුල් එම රැස්වීමට සහභාගී වූහ. ධීවරයන් බහුතරයක් එදින මුහුදු යාමෙන් ද වැලකී සිටියහ. එහෙත් අනුස්මරන රැස්වීමේ කතා එල්ලවී තිබුනේ ප්‍රනාන්දු ඝාතනයට ආන්ඩුවේ වගකීම මුලුමනින් යට ගැසීමට යි.

සැමරුමේ මුල්තැන හිමි වුයේ පල්ලියේ පුජක හයිසින් ක්ලෝට් හටය. ඔහු මෙසේ පැවසුවේ ය: "අපි අතරේ ඇති භේදය නම් පව්කාරයන් හා පවු නො කරන්නන් වශයෙන් ඇති භේදය පමනයි. අපිට වෙන දේශපාලනයක්, පක්ෂයක් අවශ්‍ය නෑ. ධීවර ජනයාගේ වේදනාව ගැටලු , ඇන්ටනි ප්‍රනාන්දුගේ ලේ දෙවියන්වහන්සේට ප්‍රසන්න යි. ඒ ලේ අපේ මීසමට ආඩම්බරයක් වේවා." ධීවර ජනයා දෙවියන්වන්සේගේ පිහිට ලබන, තමන්ගේ මහන්සියෙන් හම්බකරගෙන වෙන කාටවත් කරදරයක් නැතිව ජීවත්වෙන ජනතාවක් බව ඔහු පැවසීය.

පුජක ක්ලෝට්ගේ ප්‍රකාශ ධීවර ජනයා මුහුන දෙන සැබෑ ප්‍රශ්න යට ගැසී ය. තෙල් මිල වැඩි කර ධීවරයන්ට එදිනෙදා රැකියාව කර ගැනීම තවත් අමාරු කරන බරපතල ප්‍රහාරයක් එල්ල කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යි. මිල වැඩි කිරීමට එරෙහිව සාමකාමීව උද්ඝෝෂනය කල ධීවරයන් නතර කිරීම සඳහා ප්‍රනාන්දු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමට පොලිස් බලකායන් යොදවා මර්දනයක් දිගේලි කලේ ආන්ඩුව යි.

ආන්ඩුව තෙල් මිල ඉහල දැම්මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමිනි. ධීවරයන්ගේ ජීවන තත්වයන්ට එල්ල වී ඇති ප්‍රහාර සමස්ත කම්කරුවන්ට හා දුගීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයක කොටසකි.

පුජක ක්ලෝට්ගේ අනුශාසනාව පිලිගන්නේ නම්, කම්කරුවන් හා දුගීන් කලයුත්තේ මේ ප්‍රහාර පිලිගෙන තවතවත් දරිද්‍රතාවේ ගිලී ජීවත්වීම යි. මෙය වනාහි ධනපති ක්‍රමය ද එහි ප්‍රහාර ද යුක්ති සහගත කිරීමකි. ආගමික සංස්ථාපිතයන් පවත්නා ක්‍රමය ආරක්ෂා කරන මුරගල් ලෙස ක්‍රියා කරන එක් ආකාරයකි, මේ. පුජක කෝල්ට් දේශපාලනය එපා කීවාට ඔහු කරන්නේ ධනපති ක්‍රමය රැකීමේ දේශපාලනය යි.

පසුව අනුශාසනාව කල ජවිපෙ සමිති නායක රත්න ගමගේ පුජක තැන කල කතාවට උඩගෙඩි දුන්නේ ය. ඔහු පුජකගේ අවවාද පිලිගනිමින් දෙඩුවේ හිස් වගාලාපයන් ය. "ඇන්ටනි මියගියේ ධීවර ජනතාව වෙනුවෙන් අරගලයක් කරලා. අපටත් අරගලයක් තියනවා" යයි කී ගමගේ සිය අරගලයේ හැටි පෙන්වමින් "ඇන්ටනි මියගොස් වසරක් ගතවෙද්දී හෝ ධීවර ජනතාවට සහනයක් දෙන්න කියල අපි ආන්ඩුවට කියනවා," යයි කනිපින්දමක් ගැසුවේ ය.

ක්ලෝට් හට ජවිපෙ දේශපාලනය නම් කමක් නැත. ඔහු විරුද්ධ සමාජවාදි සමානතා පක්ෂයේ දේශපාලනයට යි. හලාවත වැල්ලේ ධීවර අරගලය දියත්වූ දිනවල සසප සාමාජිකයෝ බරපතල මැදිහත්වීමකින් ආන්ඩුවේ ප්‍රහාරයේ මූලයන් පෙන්වාදෙමින් ඔවුන්ගේ කාලයක් තිස්සේ ගැඹුරුවන ප්‍රශ්න විසඳාගැනීම කල හැක්කේ කම්කරු පන්තිය සමග එක්වෙමින් සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවකට සටන් වැදීමෙන් බව පෙන්වා දුන්නේ ය.

ආගමික සංස්ථා මෙන්ම දේශපාලන සංස්ථාපිතයේ ජවිපෙ ද ඇතුලු සියලු පක්ෂ මේ වැඩ පිලිවෙලට විරුද්ධ ය.

එජාපය, ව්‍යාජ වම්මුන් වන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය සමග එකතුව නිදහසේ වේදිකාව නමින් හලාවත නගරයේ සංවිධානය කර තිබු උද්ඝෝෂනයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පොලීසිය විසින් නතර කලේ "නගරය තුල සාමය කඩවීම වැලැක්වීම සඳහා" යයි අධිකරන නියෝගයක් ලබා ගෙන ය.

අධිකරනය එසේ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් උදුරා ගත්තත් මේ පක්ෂ එකතුව බෙදාහැරි පත්‍රිකාවක සඳහන් කර තිබුනේ ආන්ඩුව මහජන අයිතිවාසිකම් කඩ කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ඊට එරෙහිව නියෝග ලබා ගත හැකි බව යි.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය බලයේ සිටිය දී ධීවරයන්ගේ හෝ අනෙකුත් කම්කරු දුගී ජනයාගේ අයිතීන් උදුරා ගත්තා මිස ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවේ නැත. රාජපක්ෂ ආන්ඩුව අපකීර්තියට පත්ව ඇති තත්වය තුල එජාපයට සුදු හුනු ගා බලයට ගෙන ඒමට බොරු වම්මු තැත් කරති.

පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුල සිදුවී ඇත්තේ, අනෙකුත් කම්කරුවන්ගේ හා දුගීන්ගේ මෙන් ම ධීවරයන්ගේ ද ජීවන තත්වයන්ට ආන්ඩුව තව තවත් පහර එල්ල කිරීම යි. ලංකාවේ ධනපති ක්‍රමයේ හා රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය උග්‍රවී ඇත. ලෝක අර්බුදය නිසා ලංකාවේ අපනයන පල්ලම් බසියි. ආන්ඩුව ගෙවා ගත නොහැකි තරම් විදේශ හා දේශීය නය කන්දරාවකින් රට යට කර ඇත. මේ සියලු බරට කම්කරුවන් හා පීඩිතයන් වන්දි ගෙවිය යුතු බව ආන්ඩුව ද ධනපති පන්තිය ද තීන්දු කර ඇත.

මේ තතු තුල තමන්ගේ ප්‍රශ්න ගොඩ ගැසී ඇති සැටි ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල ධීවරයෝ පෙන්වා දුන්හ. අඛන්ඩව තෙල් හා දැල් ආම්පන්න මිල ඉහල දැමීම, මාලු සඳහා ස්ථාවර මිලක් නැතිකම, ධීවර වරායන් ප්‍රමානවත් ලෙස ඉදි නොකිරීම, නය භරිතකම දැවෙන ධීවර ප්‍රශ්න අතර වෙයි. ආන්ඩුවේ ඉන්ධන සහනාධාරය හොඳට ම අප්‍රමානවත් ය--එය ලබා දී ඇත්තේ ධීවර විරෝධය තුනී කර ගැනීම සඳහා ය. ඕනෑම වෙලාවක එය කපා දමනු ඇත. නූතන තාක්ෂනය යොදාගෙන රැකියාව කරමින් හොඳ ජීවන තත්වයක් ගොඩ නගාගැනීමට දරිද්‍ර ධීවරයන්ට මේ සමාජ ක්‍රමය තුල තැනක් නැත.

වැල්ල ධීවරයෙක් සිය ප්‍රශ්න පැහැදිලි කරයි

හලාවත වැල්ල කුඩා බෝට්ටු හිමියෙක් මෙසේ විස්තර කලේ ය: "ආන්ඩුව දෙන තෙල් සහනාධාරයෙන් අපිට සහනයක් වෙන්නේ නෑ. ඉන් ලැබෙන රුපියල් 9000න් රැකියාවට යන්න පුලුවන් දින තුනකට විතරයි. තෙල් මිලත් හොඳට ම ඉහල දමල දැල් ආම්පන්න හා අනෙක් භාන්ඩ මිල ගනනුත් ඉහල දාලා තියෙද්දී ආන්ඩුව අපිට සහන දෙනවා නෙමේ. අපෙන් තවත් උදුරගන්නවා. පසුගිය සතියෙත් භූමිතෙල් රුපියල් 6කින් ආයේ ඉහල දැම්මා. කුඩා බෝට්ටු එන්ජිමක් රුපියල් ලක්ෂයකින් වැඩි කරල. සූඩ දැල් පීස් එකක් වසරකට පෙර රුපියල් 9000. දැන් 13,500යි. දැල් ගැට ගැසීමට ගන්නා මදු රෝලක් රුපියල් 150කින් නැගල. රුපියල් 20,000 ට තිබුනු ප්ලාස්ටික් තෙප්පමක් දැන් රුපියල් 35,000යි. හැම ධීවරයෙක් ම ජීවත් වෙන්නේ ධීවර සමිතිවලින් නයට අරගෙන නැත්නම් රත්තරන් බඩු උගස් කරලා."

වැල්ල ධීවර කාන්තාවන් සිය පැල්පත් නිවාස අසල

හලාවතට දකුනින් පිහිටි තොඩුවාව ධීවර ගම්මානයේ ධීවරයෙක්: "යුද්දේ ඉවර වුනා ම උතුරු නැගෙනහිර පලාතේ වැව්වල රැකියාව කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටිය. ඒත් දැන් එහෙම වෙලා නැහැ. දැන් අපි එහෙ ගිහින් කව්රු හරි මුදලාලි කෙනෙක් යටතේ කුලීකාරයෙක් විදිහට වැඩ කරන්න ඕන. තෙල්වලට යන වියදම් වැඩි නිසා නය වෙන්න වෙලා. ගෙදර වියදම් බේත්හේත් මිල ඉස්කෝල වියදම් මේ ඔක්කො ම ඉහල ගිහින්."

ආන්ඩුව හා විරුද්ධ පක්ෂ පිලිබඳව විස්වාස භංගය පෙන්නුම් කරමින් තවත් ධීවරයෙක් මෙසේ පැවසීය. "මේ ආන්ඩුව මහජනතාවට කිසි ම සෙතක් සලසපු නැති ආන්ඩුවක්. මේ ආන්ඩුව වියදම් කරන්නේ මහජනතාවගේ මුදල්. ඒ මුදල්වලින් ආන්ඩුවේ ප්‍රධානියෝ බඩ වඩා ගන්නවා. නිදහස් අධ්‍යාපනයක්, සෞඛයක් ඇත්තේ නැහැ. විපක්ෂයේ එජාපය ආවත් ඔය ටික ම තමයි කරන්නේ."

Share this article: